+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

රූත් දෙවියන්වහන්සේව තෝරාගත් නිසා, ඇයට පරම්පරාගත ආශීර්වාද හිමි වූවා - යෝෂා මනූ
July 20, 2023 Sunday Sermon Notes


දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙන දේව ප්‍රේමය අපගේ හදවත් වල වගුරුවා ඇත.
 
දෙවියන්වහන්සේගේ අසීමිත දිව්‍යමය ප්‍රේමය අප තුළ ඇත. අපට ප්‍රේමය තුළ ක‍්‍රියාකිරීමේ හැකියාව තිබේ.
 
දෙවියන්වහන්සේගේ ප්‍රේමය කියා නිම කළ නොහැකි ප්‍රේමයකි. ස්වාමීන්වහන්සේ අපට කොතරම් ප්‍රේම කරනවාද කියා අපට කියා නිම කරන්නට බැරිය.
 
බලාපොරොත්තු සියල්ලක්ම නැති වුණ කළ අපගේ තීරණ ඉතාමත් වැදගත්ය.
 
රෝම 5:5
5 බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.
 
දෙවියන්වහන්සේගේ ප්‍රේමය තුළින් අපට අන් අයට ප්‍රේම කළ හැකිය.
 
කෙනෙකුට ප්‍රේම කරන්න බැහැ කියා ඔබ කිසිදින නොකියන්න. දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔබ තුළ තිබෙන බව, එම ප්‍රේමය තුළින් ඔබට අන් අයටද ප්‍රේම කළ හැකි බව ඔබ විශ්වාස කරන්න.
 
අප මේ වන විට රූත්ගේ කථාව පිළිබඳ කාරණා කිහිපයක් හදාරා ඇත.
 
රූත්ගේ ජීවිතය අප බලන විට ඇයට කිසිම බලාපොරොත්තුවක් නොතිබුණි.
 
ඔබගේ ජීවිතයේ බලාපොරොත්තුවක් නැති කළ, බලාපොරොත්තු සියල්ල නැති වූ විට ඔබ කරන්නේ මොනවද? එය ඉතා වැදගත්ය. ඔබගේ තීරණය ඉතා වැදගත්ය.
 
බලාපොරොත්තු සියල්ල නැති වූ නයොමි කළේ කුමක්ද?
 
ඇය නැවත බෙත්ලෙහෙමට යෑමට තීරණය කළාය. එනම්
දෙවියන්වහන්සේගේ භෝජනය තිබෙන ස්ථානයට යෑමටයි.
බෙත්ලෙහෙම යනු ආහාර තිබෙන නිවසයි.
ස්වාමීනි මට මෙතන ඉන්න අවශ්‍ය නැහැ. මට ඔබගේ පෝෂණය ලැබෙන ස්ථානය, මාගේ සෙනඟ අතරට, මම යනවා කියා ඇය තීරණය කළාය.
 
නයොමිගේ යෙහෙළියන් දෙදෙනත් ඇයත් සමඟ යන්නට තීරණය කළ අතර, මගක් දුරකදී ඔර්පා නයොමිගේ ඉල්ලීම පරිදි නැවත මෝවබ් දේශයට හැරී ගියාය.
 
නයොමි රූත්ටත් නැවත හැරී යන්නට කී නමුත් රූත් නයොමි සමඟ නතර වුණාය. (රූත් 1:16)
 
රූත් පැවසුවේ:

නුඹ අත්හැර හැරීයන ලෙස මට පෙරැත්ත නොකරන්න.
නුඹ යන තැනට මමත් යමි,
නුඹ නවතින තැන මමත් නවතිමි.
නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය,
නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක.

 
රූත්ගේ අභ්‍යන්තරයේ තිබුණේ දෙවියන්වහන්සේගේ ගැන දැන ගැනීමය. ඇයගේ තීරණය වූයේ නයොමි නමස්කාර කරන දෙවියන්වහන්සේව ඇයගේ දෙවියන්වහන්සේ කරගැනීමය. රූත්ගේ එකම අධිෂ්ඨානය වුණේ එයයි.
 
රූත් 1:17
නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය.
 
රූත්ගේ මෙම ප‍්‍රකාශයෙන් අපට දක්නට ලැබෙන්නේ, ඇයගේ තීරණය වූයේ මුළු ජීවිත කාලෙටම නයොමි සමඟ සිටීමය.
 
ඔර්පා මෙන් ඇයගේ තීරණය වෙනස් නොකරන බව පැහැදිලිව පෙනෙයි.
 
නයොමි රූත්ට නැවත හැරී යන ලෙස බල කළත්, ඇයට නැවත පුත‍්‍රයෙක් දෙන්නට නොහැකි යැයි පැවසුවත්, ඇයගේ සෙනඟ රූත්ව ප‍්‍රතික්ෂේප කරයි, ඇයට උරුම කරගන්න කිසිම දෙයක් නැති වෙන්නට පුළුවන් කියා පැවසුවත්, රූත් ඇයගේ තීරණය වෙනස් නොකළාය.
 
නුඹ නසින තැන මමත් නැසී - මුළු ජීවිත කාලෙටම නයොමි සමඟ සිටින්නත්. නයොමිගේ දෙවියන්වහන්සේගේ ගැන දැනගන්න ඇය තීරණය කළාය.
 
එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. ඇයට ආපසු මෝවබ් දේශයට යන්න බලාපොරොත්තුවක් තිබුණේ නැත. නයොමිගේ මරණයෙන් පසුවත් රූත් ආපසු යාමට තීරණය නොකළාය. නයොමිව තැන්පත් කරන ස්ථානයේ ඇයත් තැන්පත් වීමට තීරණය කළාය.
 
පරණ ගිවිසුමේ සඳහන් පරිදි ආබ‍්‍රහම්, ඊසාක්, යාකොබ් ගේ පරම්පරාවේ සියලු දෙනා එකම ස්ථානයේ තැන්පත් කරනු ලැබුවෝය. යුදෙව් සෙනඟ මැරුණු විට, ඔවුන් තම පියවරුන් සමඟ තමුන්ගේ දේහ තැන්පත් කළහ. එය පරම්පරාවෙන් පරම්පරාවට කෙරුණු දෙයක් විය.
 
මෙය ඉතා වැදගත් කාරණාවක් ලෙස ඔවුන් සැලකුවෝය. ඔවුන් කීවේ, මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ දරුවෝය, අපි උන්වහන්සේගේ සෙනඟ වන්නෙමු. අපි විශේෂයි අපි දෙවියන්වහන්සේව තෝරගත්ත සෙනඟ බව තමුන්ගේ සෙනඟට මෙමගින් කියා දුන්නෝය. (උත්පත්ති 50:13)
 
රූත් මෙසේ කීවාය, මරණය මිසක් වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළ නොහැකිය.
 
ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි ඇය තීරණය කළාය.
 
ඔවුන් බෙත්ලෙහෙම් ස්ථානයට එන විට දෙවියන්වහන්සේ රූත්ට එකතු කළ ආශීර්වාද නම්: නයොමි සමඟ ඒමට, දෙවියන්වහන්සේව දැනගැනීමට, ඔබගේ සෙනඟ අතරට පැමිණ විසීමයි.
 
ඊට වැඩියෙන්ද යන්නෙහි අර්ථ කිහිපයක්ම ඇත.
එකතු කිරීම, වැඩි කිරීම, නැවත කරන්න, සම්බන්ධ වීම, එකතු කළ යුතුයි, වැඩිපුර කරන්න, දිගටම කරගෙන යන්න, වැඩි වැඩියෙන් කරන්න, ගොඩාක් ලබා ගන්න අවශ්‍යයි, මෙතැන් සිට, අස්වැන්න, පිළිසිඳගන්න යන අර්ථයන්ය.
 
රූත්ගේ ප‍්‍රකාශය තුළ වූ විශ්වාසය, දෙවියන්වහන්සේ මට එකතු කරන බව, වැඩි කරන බව, මට නැති වූ සියලු දේ නැවත දෙන බවය.
 
රූත්ගේ අධිෂ්ඨානය; මට යම් දේවල් එකතු වෙන්නට යන බව, මම එම ස්ථානයට යන විට යම් දේවල් මාගේ ජීවිතේ සම්බන්ධ වෙන්නට යන බවය.
 
නයෝමි නමස්කාර කරන දෙවියන්වහන්සේ දිගටම උන්වහන්සේගේ ආශීර්වාද තුළ පවතින්න ඇයට ආශීර්වාද කරන බව රූත් විශ්වාස කළාය.
 
මෙතැන් සිට දෙවියන්වහන්සේ ඇයව අස්වැන්න නෙලන කාලයට ඇතුල් වෙන්න සලස්වන බවත්, බොහෝ ආශීර්වාද තුළින් ඇය ජීවත් වෙන්නට යන බවත්, වැඩි වැඩියෙන් ඇය එය ලබාගන්න යන බවට රූත්ට අධිෂ්ඨානයක් තිබුණි.
 
ගොවිතැන් කිරීමට නයොමිට අවශ්‍ය වී තිබුණත් ඇයට පුරුෂ සහයක් නොමැතිව එය කිරීමට නොහැකි වුණි. නුමුත් රූත් තීරණය කළා කෙතට ගොස් වැඩ කර දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ලබාගන්න.
 
රූත්ගේ තුළ තිබුණ බලාපොරොත්තුව නම් විවාහයක් කරගෙන දරුවෙකුව පිළිසිඳ ගැනීමය.
 
එම දේශයට ගොස් ඒ සෙනඟ සමඟ වාසය කර ඔවුන්ගේ චාරිත‍්‍ර හා භාෂාව ඉගෙනගෙන ඔවුන් හා සබඳකම් ඇතිකර ගැනීමට ඇය තුළ බලාපොරොත්තුවක් තිබුණි. රූත් ඇයගේ අධිෂ්ඨානය වෙනස් නොකළේය.
 
මරණය පවා අප අතරට පැමිණෙන්නේ නැත.
 
රූත් නයොමිට පැවසුවේ, මරණයට කලින් ඔබ මේ සියලු ආශීර්වාද දකින බවය.
 
මක්නිසාද නයොමිගේ ප‍්‍රකාශය වූයේ මම තික්ත කාන්තාවක් මාගේ මිහිරිභාවය නැති වී තිබෙන බවය.
 
පරණ ගිවිසුම අනුව මනුෂ්‍යයන් සිතුවේ දෙවියන්වහන්සේ යහපත සහ අයහපතත් එවන බවය.
 
දෙවියන්වහන්සේට අකීකරු වී උන්වහන්සේගේ හඬ නොඇසුව හේතුවෙන් තම පවුල මෝවබ් දේශයට ගිය බව නයොමි දැන සිටියාය.
 
නයොමි නැති කරගත්ත සියල්ල ඇයට නැවත ලබා දෙන්නට රූත් තීරණය කළාය.
 
රූත් තුළ දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට තිබුණු පිපාසය කොතරම්ද කියා අපට මේ පදයෙන් පැහැදිලිව දකිනවා.
 
මරණයටවත් අප දෙදෙනාගේ සම්බන්ධකම වෙන්කරන්නට නොහැකියි කියා රූත් කීවාය.
 
රූත් හිතුවේ නයොමිගේ දෙවියන්වහන්සේ ජීවමාන නම්, ඒ දෙවියන්වහන්සේ සමඟ මට ගිවිසුමකට බැඳුනොත් උන්වහන්සේ මට මරණයටත් එහායින් බලාපොරොත්තුවක් දෙනසේක.
 
පරණ ගිවිසුමේ යුදෙවි සෙනඟ දෙවියන්වහන්සේ ජීවමාන බව දැන සිටියේය.
ද්විතීය කථාව 5:26; යෝෂුවා 3:10 කියවන්න.
 
ගීතාවලිය 33:12
ස්වකීය දෙවියන් කොට ස්වාමීන්වහන්සේ ඇතුව සිටින ජාතියද, උන්වහන්සේ විසින් ස්වකීය උරුමය කොට තෝරාගත් සෙනඟද ආශීර්වාදලද්දෝය.
 
කෙනෙකු දෙවියන්වහන්සේව තමාගේ ස්වාමීන් ලෙස පිළිගන්නේ නම් උන්වහන්සේ ඇතුව සිටින සෙනඟක් වන්නේය.
 
උන්වහන්සේගේ ස්වකීය උරුමය ඔවුන් සතු වන්නේය. ඔවුන් ආශීර්වාද සෙනඟක් වන්නේය.
 
රූත්ගේ කථාව 1:22
මෙසේ නායොමිද ඈ සමග මෝවබ් රටෙන් ආවාවූ ඇගේ යෙහෙළීවූ මෝවබිය රූත්ද හැරී ආවෝය. යව කපන කාලය පටන්ගැන්මේදී ඔව්හු බෙත්-ලෙහෙමට පැමුණුණෝය.
 
රූත්ගේ කථාව 2:1
නායොමිගේ පුරුෂයා වන එලීමෙලෙක්ගේ පෙළපතට අයිතිවූ, මහත් වස්තුකාරයෙක්වූ බෝවස් නම් නෑයෙක් ඈට සිටියේය.
 
බෝවස් යන නමේ අර්ථය නම්, වේගය හා දේව මාළිගාව ඉදිරිපිට කණුවක නමය.
 
තීරණ ගන්න අවස්ථාවේදී බෝවස් ඉතා වේගයෙන් තීරණ ගත්තේය. විශේෂයෙන් රූත්ව විවාහ කරගැනීමට අවස්ථාවක් ලැබුණු කල ඔහු ඉක්මනින්ම තීරණ ගනු ලැබුවේය.
 
නයොමිගේ ළඟින්ම සිටි ඥාතීන් දෙදෙනෙකු සිටි අතර, ඉතා ළඟින්ම සිටි ඥාතීවරයා නයොමිව සහ ඇය සතු දේපල භාරගන්න සුදානම්ව සිටිය නුමුත් මෝවබිය කාන්තාව වූ රූත් ව විවාහ කරගැනීමට ප්‍රතික්ෂේප කළේය.
 
ඔහු රූත්ව භාරගන්නට ප්‍රතික්ෂේප කළ නිසා බෝවස් ඇයව සරණ පාවා ගත්තේය.
 
2:2 මෝවබිය රූත් නායොමිට කථාකොට: මම කෙතට ගොස් මට කරුණාව පෙන්වන කෙනෙකු පස්සේ යමින් කරල් ඇහිඳගන එන්නෙමියි කීවාය. ඈද: මාගේ දියණියෙනි, යන්නැයි කීවාය.
2:3 ඈ ගොස් කෙතට පැමිණ ගොයම් කපන්නන් පස්සේ කරල් ඇහින්දාය. වාසනාවට මෙන් ඈ එලීමෙලෙක්ගේ පෙළපතට අයිති බෝවස්ගේ කෙත් කොටසට පැමින්නාය.
 
රූත් මුළු දවසේම කෙතෙහි වැඩ කර ඇයට ලැබුණු කොටස නයොමිට ගෙන්විත් දුන්නාය.
 
බෝවස්ට රූත්ගේ කැපවීම ආරංචි විය.
 
රූත් යන නමේ අර්ථය - මිතුරිය.
 
රූත්ගේ කථාව 2:11‭-‬12
11 බෝවස් උත්තරදෙමින්: නුඹේ පුරුෂයා නැසුණු පසු නුඹේ නැන්දාට නුඹ කළ සියල්ලත් නුඹේ පියා හා මවුද ජන්ම භූමියද අත්හැර මීට ප්‍රථම නුඹ නෑඳින්න සෙනඟක් වෙතට ආ බවත් මට සම්පූර්ණයෙන් දන්වා තිබේ.
12 ස්වාමීන්වහන්සේ නුඹේ ක්‍රියාවට විපාක දෙනසේක්වා, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂාවී සිටින්ට ආවාවූ නුඹට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවයි ඈට කීවේය.
 
නයොමි වෙනුවෙන් රූත්ගේ කැපවීම ඔහු දැන සිටියේය.
 
බෝවස් රූත්ට ආශීර්වාද කළේය. ඔහු ඇයගේ ක‍්‍රියාව, ඇයගේ කැපවීම අගය කළේය.
 
3:1 එවිට ඇගේ නැන්දාවූ නායොමි ඈට කථාකොට: මාගේ දියණියෙනි, නුඹට ශුභසිද්ධියක් වෙන පිණිස මා විසින් නුඹට නිවාසයක් සොයන්ට ඕනෑ නොවේද?
 
රූත්ට නිවසක් සහ ස්වාමිපුරුෂයෙක් සොයා දෙන්නට නයොමිට අවශ්‍ය විය.
 
3:5‭-‬6 නුඹ මට කියන සියල්ල කරන්නෙමියි ඈ ඈට කීවාය. ඈ පාවරට ගොස් ඇගේ නැන්දා ඈට අණකළ සියල්ල ලෙස කළාය.
 
රූත් නයොමිට මුළුමණින්ම කීකරු වුණාය.
 
රූත් නයොමි පැවසූ සියල්ල ඒ ආකාරයෙන්ම කළාය.
 
3:10‭-‬11 ඔහු: මාගේ දියණියෙනි, ස්වාමීන්වහන්සේගෙන් නුඹට ආශීර්වාද ලැබේවා. නුඹ දිළිඳු හෝ පොහොසත් හෝ තරුණයන් පස්සේ නොගිය කාරණයෙන් නුඹ පටන්ගැන්මට වඩා අන්තිමේදී වැඩි කරුණාව පෙන්වූයෙහිය.
11 දැන් මාගේ දියණියෙනි, භයනොවෙන්න; නුඹ කියන සියල්ල නුඹට ඉෂ්ටකරන්නෙමි. මක්නිසාද මාගේ නුවර සියලු මනුෂ්‍යයෝ නුඹ සුශිලවත් ස්ත්‍රියක් බව දනිති.
 
සුශිලවත් යන්නෙහි අර්ථයන් වන්නේ, ගුණවත්, බලවත්, ශක්තිමත්, යහපත්, පොහොසත්, සහ නිර්භීතවත්ය.
 
4:5 එවිට බෝවස්: නයොමි අතින් ඒ බිම මිලේට ගන්නා දවසේදී, මැරුණු අයගේ නම උරුමය කෙරෙහි පවතින පිණිස මැරුණු අයගේ භාර්යාවවූ මෝවබිය රූත්ගෙනුත් ඒක මිලේට ගන්ට ඕනෑයයි කීවාය.
 
බෝවස් නයොමිගේ බිම මිලේට ගන්න විට එයත් සමඟම රූත්වද මිලේට ගත්තේය.
 
දෙවියන්වහන්සේ අපගේ යහපත, අයහපත නොබලා අපව මිලේට ගත් සේක.
 
රූත්ගේ මිදුම්කරු බෝවස් වූ ලෙසින් යේසුස්වහන්සේ අපව මිලදී ගත් අපේ මිදුම්කරු විය.
 
යේසුස්වහන්සේ අපගේ මනමාලයා වන අතර උන්වහන්සේව විශ්වාස කරන අප උන්වහන්සේගේ මනාලිය වන්නෙමු.
 
4:9‭-‬10
බෝවස් වැඩිමහල්ලන්ටත් මුළු සෙනඟටත් කථාකොට: එලීමෙලෙක්ට තිබුණ සියල්ලත් කිලියොන්ට සහ මාලොන්ට තිබුණු සියල්ලත් මා විසින් නයොමි අතින් මිලදී ගත් බවට නුඹලා අද සාක්ෂිකාරයෝය.
 
ගිවිසුමක් ඇති කර ගැනීමේදී මිලයක් ගෙවීම ඉතා වැදගත්ය.
 
10 ඇරත් මැරුණු අයගේ නාමය ඔහුගේ සහෝදරයන් අතරෙන්ද ඔහුගේ ස්ථානයේ දොරටුවෙන්ද මැකීනොයන පිණිස මැරුණු අයගේ උරුමය කෙරෙහි ඔහුගේ නාමය ගෙනයන පිණිස මාලොන්ගේ භාර්යාවවූ මෝවබිය රූත් මාගේ භාර්යාව කොට මිලදී ගතිමි. ඊට නුඹලා අද සාක්ෂිකාරයෝයයි කීවේය.
 
4:11 දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න.
 
මුළු සෙනඟම බෝවස්ටත් රූත්ටත් ආශීර්වාද කළෝය.
 
මක්නිසාද රූත් යහපත් කාන්තාවක් බව ඔවුන් දැන සිටියෝය.
 
4:12 ස්වාමීන්වහන්සේ මේ යෞවනීගෙන් නුඹට දෙන බීජය කරණකොටගෙන නුඹේ වංශය යූදා නිසා තාමාර් බිහිකළ පෙරෙශ්ගේ වංශය හා සමාන වේවයි කීවෝය.
 
4:13‭-‬14
මෙසේ බෝවස් රූත් පාවාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වූවාය. ඔහු ඈ වෙතට පැමිණි කල ස්වාමීන්වහන්සේ ඈට ගර්භෝත්පත්තිය දුන්සේක, ඈ පුත්‍රයෙකු බිහිකළාය. ස්ත්‍රියෝ නයොමිට කථාකොට: අද නුඹට ළඟ නෑයෙක් නැතුව සිටින්ට නෑරියාවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, ඔහුගේ නාමය ඉශ්‍රායෙල්හි කීර්තිමත් වේවා.
  
ඕබෙද් යන නමෙහි අර්ථය මෙහෙ කිරී නැතහොත් සේවය කිරීම.
  
රූත්ගේ කථාව 4:15‭-‬17‭, ‬19‭, ‬21‭-‬22
ඔහු වනාහි නුඹේ ජීවිතය ප්‍රාණවත් කරන්නෙක්ද නුඹේ මහලු වයසේදී නුඹ පෝෂ්‍ය කරන්නෙක්ද වන්නේය. මක්නිසාද නුඹට ආදරය ඇත්තාවූද පුත්‍රයන් සත්දෙනෙකුට වඩා නුඹට යහපත් වූද නුඹේ යෙහෙළිය ඔහු බිහිකළායයි කීවෝය.
16 නයොමි ළදරුවා ගෙන තමාගේ ළයෙහි හොවා ඇතිකළාය.
17 අසල්වාසි ස්ත්‍රියෝ: නයොමිට පුත්‍රයෙක් උපන්නේය කියා ඕබෙද් යන නම ඔහුට තැබුවෝය. ඔහු දාවිත්ගේ පියවූ යෙස්සේගේ පියාය.
පෙරෙශ්ගේ පෙළපත් මේය:

18 පෙරෙශ් හෙශ්රොන් ඉපදවිය;
19 හෙශ්රොන් රාම් ඉපදවිය, රාම් 20 අම්මිනාදාබ් ඉපදවිය; සල්මොන් බෝවස් ඉපදවිය, බෝවස් ඕබෙද් ඉපදවිය;
21 ඕබෙද් යෙස්සේ ඉපදවිය, යෙස්සේ දාවිත් ඉපදවිය.


Watch the Sermon Video

Read 211 times