+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේගේ මහත්වූ ගැළවීම නොසලකා නොසිටින්න - මනූ මැතානි
July 23, 2023 Sunday Sermon Notes

 

රූත් හා බෝවස්ගේ කථාවේ රූත් අසරණ කාන්තාවක් වූවත්, බෝවස් යනු, කිසිම අඩුවක් නැතිව සෑම දෙයක්ම තිබූ ඉතා පොහොසත් පුද්ගලයෙක් විය.

ඔහු සහ ඔහුගේ ක‍්‍රියාව, අලුත් ගිවිසුමේ යේසුස්වහන්සේගේ මහත් ක‍්‍රියාවට සමාන කළ හැක.

රූත්ගේ හදවතේ තිබුණු සැලසුම් වලට අනුව, ඇයගේ ක‍්‍රියාවන් තුළින් ගැළවීම ලබා ගැනීමට ඇයට හැකි විය.

නමුත් අලුත් ගිවිසුමේ මනුෂ්‍යයන් ලෙස අපි කිසිම ක‍්‍රියාවක් කරන්නට අවශ්‍ය නොවේ, අපි ඉන්න ආකාරයටම උන්වහන්සේ වෙතට පැමිණ ගැළවීම ලබා ගනිමු.

අප එය ලබා ගන්නේ පැරණි ගිවිසුමේ ආකාරයට ක‍්‍රියා වලින් නොවේ, ඇදහිල්ල කරණකොටගෙනය.

අපි යහපත් නොවේ යයි හැඟුනත්, ඇදහිල්ල මඳ වූවත්, යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් උන්වහන්සේ නොමිලයේ දෙන්නාවූ ගැළවීම ලබා ගනිමු.

ඔබේ පාපයෙන් ඔබව ගළවා නිදහස්කර, ඔබව ඉහල ස්ථානයකට ගෙන ඒමට යේසුස්වහන්සේ හැර වෙන කිසිවෙක් නැත්තේය.

උන්වහන්සේට ක්ෂණිකව ඔබේ ජීවිතයේ මහත් දේවල් කළ හැක.

එබැවින් අපගේ ගැළවීම සුළු නොකරමු.

හෙබ්‍රෙව් 2:3
පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?

අපි ගැළවීම තුළ ස්ථීරව ගමන්කරමු.

උන්වහන්සේ නොමිලයේ අපව ධර්මිෂ්ඨ කර තිබේ, නොමිලයේ අපව නව මැවිල්ලක් කර තිබේ, නොමිලයේ අප වෙනුවෙන් පාප පූජාව වී අපව ගළවා තිබේ.

එබැවින් ඔබ වටිනා පුද්ගලයෙකි, ඔබ ශුද්ධවන්තයෙකි, ඔබ දේව දරුවෙක්ය.

ඔබේ ජීවිතය ආරක්ෂා සහිතව ජීවත් වීමේ වගකීම ඔබ සතුය.

අපේ වචනයෙන් හා ක‍්‍රියාවෙන් අන් අයට ශුභාරංචිය ගෙන යන පිණිස අපේ ජීවිතය හසුරුවා ගත යුතුය.

යේසුස්වහන්සේ අපගේ ගැළවුම්කරු, මිදුම්කරු, ස්වාමීන්වහන්සේ, අපගේ සපයන්නා, අපගේ සුවය සහ අපගේ සියල්ලෙන් සියල්ල බව විශ්වාස කරමු.

අපට කිසිම අඩුවක් නොවන ලෙස, මනුෂ්‍යයන්ට කළ නොහැකි දේවල් අප උදෙසා කිරීමට උන්වහන්සේට හැකිය.

උන්වහන්සේට සියල්ල කළ හැකිය.

අපගේ වාතාවරණය දෙස නොව උන්වහන්සේ දෙස බලමින් ජීවත් වෙමු.

අපි ඇදහිල්ලේ ගමනක් ගමන්කරන්නේ නම්, අපගේ වාතාවරණයට දෙනෙත් වසා ගනිමු.

අපි ඇදහිල්ලේ කර්තෘ වන යේසුස්වහන්සේ දෙස බලමින් මේ දිවීම දුවමු. (හෙබ්‍රෙව් 12:1)

අපට පෙණෙන, හැඟෙන දේවල් තාවකාලික, වෙනස්වන සුළු වූවත් දෙවියන්වහන්සේගේ වචනය සැමදා එකාකාරීය, එය වෙනස් නොවේ.

අහස පොළව පහව ගියත්, උන්වහන්සේගේ වචනය ඔබේ ජීවිතය තුළ ඉෂ්ටවේ. (මතෙව් 5:18)

දෙවියන්වහන්සේ අපට උපදෙස් දෙන තැනන්වහන්සේය.

උන්වහන්සේගේ උපදෙස් සුළු කරන්නාට විනාශය පැමිණේ.

දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් කළ යුතු සියල්ල කර අවසන්ය, උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ, ස්ථීරව, ඇදහීමෙන් ජීවත්වීමය.

ඇදහීම යනු, දෙවියන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීමයි.

අදහන මනුෂ්‍යයා සහ නොඇදහිලිකාර මනුෂ්‍යයා වෙනස්ය, ඔවුන් සමඟ අපට කොහෙත්ම සම්බන්ධ විය නොහැකියි.

‘’මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි’’ කියා උන්වහන්සේ නොඇදහිලිකාර මනුෂ්‍යයන්ව ඇදහීමට කැඳවන සේක.
(මතෙව් 11:28)

ඔබ නව මැවිල්ලක්, ශුද්ධවන්තයෙක්, දෙවිඳුන්ගේ බැටළු පැටවෙක් නිසා නොඇදහිලිකාරකමේ නපුරු අදහස් ප්‍රතික්ෂේප කළ යුතුය.

ඔබේ ජීවිත ගමන ලෝකයේ සිටින මනුෂ්‍යයන්ගෙන් සම්පූර්ණයෙන් වෙනස්ය.

අපි සියල්ලන්ටම බාධාවන් පැමිණේ, නමුත් අපට එන බාධාවන් මධ්‍යයේ උන්වහන්සේ විශ්වාසවන්තව, අප සමඟ සිටින සේක.

ෂද්‍රක්, මේෂක්, අබේද්නෙගෝ ගින්න මැද සිටින විට, උන්වහන්සේ ඔවුන් සමඟ ඒ මැද සිටි සේක, ඔවුන් පිටතට ආ විට, ඔවුන්ගේ හිසකෙස් ගහක් වත් පිළිස්සී නොතිබුණ අතර, ඇඳුම් වල දුම් ගඳක් වත් නොවීය. (දානියෙල් 3:25-27)

අපගේ ජීවිතයේ බාධා පැමිණෙන විට, අප තුළ වාසය කරන තැනන්වහන්සේ ලෝකයේ සිටින තැනැත්තාට වඩා බලවත් බවත්, උන්වහන්සේ තුළින් අපට සියල්ල කළ හැකි බවත්, විශ්වාස කර, එය ප‍්‍රකාශ කරමු. (පිලිප්පි 4:13)

උන්වහන්සේ පොරොන්දු ඉටු කරන දෙවියන්වහන්සේය, උන්වහන්සේට කිරීමට අපහසු කිසිවක් නැත.

උදෑසන හිරු එළියත්, රාත‍්‍රියේ සඳ හා තාරකාත් තුළින්, උන්වහන්සේ අප සමඟ කළ ගිවිසුම රකින බව, සිහි කර දෙන සේක.
(යෙරමියා 33:20)

ඔබ සාමාන්‍ය මනුෂ්‍යයෙක් නම්, දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම ඔබට පහසුය.

යේසුස්වහන්සේව අනුගමනය කළ මනුෂ්‍යන්ගෙන් බහුතරයක් සාමාන්‍ය මනුෂ්‍යයන්ය.

ආගමික මනුෂ්‍යයන් උන්වහන්සේව විවේචනය කරමින් ප‍්‍රශ්න ඇති කළෝය.

දෙවියන්වහන්සේ පැවසූ යමක් කිසි විට වෙනස් නොවේ, එය ඊයෙත්, අදත්, හෙටත් එකාකාරවම තිබේ.

ස්වාමීන්වහන්සේ ගිවිසුම් ඉටු කරන දෙවියන්වහන්සේ මිස, ගිවිසුම් කඩ කරන දෙවියන්වහන්සේ නොවේ.

අපට බලාපොරොත්තු දෙමින්, එය ඇදහිල්ලට පරිවර්ථනය කරන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේය.

උන්වහන්සේ අපට ප‍්‍රකාශ කරන්නේ සියල්ල කළ හැකි උන්වහන්සේව විශ්වාස කරන ලෙසය.

ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය. (හෙබ්‍රෙව් 11:1)

යෙරෙමියා 33:20-21
දවාලත් රාත්‍රියත් ඒවායේ නියම වේලාවලදී නොපැමිණෙන හැටියට දවාල ගැන තිබෙන මාගේ ගිවිසුමත් රාත්‍රිය ගැන තිබෙන මාගේ ගිවිසුමත් නුඹලාට අවලංගු කරන්ට පුළුවන් නම්, 21මාගේ මෙහෙකරුවූ දාවිත්ගේ සිංහාසනයෙහි රජකම්කිරීමට ඔහුට පුත්‍රයෙකු නැතුව යන හැටියට, ඔහු සමඟද මාගේ සේවකයන්වූ පූජකයන් වන ලෙවීවරුන් සමඟද ඇති මාගේ ගිවිසුමත් අවලංගුවන්නේය.

දෙවියන්වහන්සේ කිසිවිටක ගිවිසුම් කඩ නොකරන සේක.

සෑම උදෑසනකම, සෑම දවසකම උන්වහන්සේගේ කරුණාව අලුත් වී තිබේ. (විලාප ගී 3:23)

දෙවියන්වහන්සේගේ වචනය කිසිවිටක බොරු නොවේ.

සභාව පිහිටුවා තිබෙන්නෙත්, පූජකයන් පත් කර තිබෙන්නෙත්, එහි ක‍්‍රියාකාරීත්වය සිදුවී පවතින්නෙත් උන්වහන්සේ නිසයි.

දෙවියන්වහන්සේගේ සභාව නම්, උන්වහන්සේගේ සෙනඟ වන අප මිස ගොඩනැගිල්ලක් නොවේ.

වර්තමානයේ සභාවන් බොහොමයක් විනාශ වී යන බව අපට පෙණුනත්, දේව වචනයට අනුව එය එසේ නොවේ.

දෙවියන්වහන්සේගේ සභාව උන්වහන්සේ ගොඩනඟමින් සිටියි, පාතාලයේ දොරටුවට එය පරාජය කළ නොහැකියි.
(මතෙව් 16:18)

දෙවියන්වහන්සේගේ මහත් වස්තුව අප තුළ තැන්පත් කර තිබේ, අපට වෛර කරන අයට ප්‍රේම කිරීමට අපට හැකි වන්නේ ඒ නිසයි.

යේසුස්වහන්සේගේ නාමය හා දෙවියන්වහන්සේගේ උරුමය, ධර්මිෂ්ඨකම අපට ඇති නිසා අපට විරුද්ධව කරන යක්ෂයාගේ කිසිදු ක‍්‍රියාවක් සඵල නොවේ.

අපගේ සුවය, සම්පූර්ණත්වය සොරකම් කර අපව අසනීප තත්වයට පත් කිරීමට යක්ෂයා නිරන්තරයෙන් උත්සාහ දරමින් සිටියි.

යෙසායා 54:17
නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ආයුධ නම් නපුරු වචන, ශාපලත් වචන, විරුද්ධව කරන සියලු ක‍්‍රියා විය හැකියි.

නමුත් උන්වහන්සේ ආබ‍්‍රහම්ගේ ආශීර්වාදය අපට දී තිබේ.

උත්පත්ති 15:1
මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ:

ඔබ ඇදහිල්ලේ තීරණයක් ගත් විට, පරීක්ෂා පැමිණිය හැකියි.

උන්වහන්සේට විවිධාකාරව ඔබට කථා කළ හැකි නිසා උන්වහන්සේව එක් මාර්ගයකට සීමා නොකරන්න.

අපට උපකාර අවශ්‍ය බව දෙවියන්වහන්සේ දන්නා සේක.

යෙරමියා 6:16
නුඹලා මාර්ගවල නැවතී සිට බලා, හොඳවූ මාර්ගය කොයි එකද කියා පුරාණ මාවත් ගැන අසාගන එහි යන්න, එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

අප ඉදිරියෙහි මාර්ග කීපයක් ඇති විට, අප වියවුල් නොවී පුරාණ මාවත ගැන අපි උන්වහන්සේගෙන් විමසිය යුතුය.

පුරාණ මාවත - ‘’අපගේ සාමාන්‍ය ඇසට නොපෙණෙන මාර්ගය’’

යක්ෂයා අපට ආර්ථීක ප‍්‍රශ්න ගෙන එන විට, අපගේ සාමාන්‍ය දැනුමට හසු නොවන, ඇසට නොපෙණෙන, ඒ ඉහළ මාර්ගය අපි උන්වහන්සේගෙන් විමසිය යුතුයි.

මන්ද අපේ සිතුවිලි වලට, මාර්ග වලට වඩා උන්වහන්සේගේ සිතුවිලි, මාර්ග උසස් බැවින්ය. (යෙසායා 55:9)

ඔබ කරමින් සිටින්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තද?

යේසුස්වහන්සේට මෙන් අපටද එන එකම පරීක්ෂාව යක්ෂයාට කීකරු වන ලෙසයි.

යක්ෂයා උන්වහන්සේට ගෙන ආ පරීක්ෂා සියල්ල අසාර්ථක වූ පසු, අවසානයේ ලෝකයේ වස්තුව පෙන්වීම (එනම් ඇස්වල තාෂ්ණාවේ පරීක්ෂාව) ගෙන එන ලදි.

ඇස්වල තාෂ්ණාව, මාංශයේ තාෂ්ණාව, ජීවිතයේ අහංකාරකමින් ඔබේ තත්වය සොයා නොයන්න, මන්ද ඔබ ඉන්නේ උසස්තම ස්ථානයේය, එනම් දෙවියන්වහන්සේගේ දකුණුපස, උන්වහන්සේ සමඟ ඔබව හිඳුවා ඇත.

මේ පොළවේ අපි සිටින්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස බැවින්, උන්වහන්සේගේ ඒ නොපෙණෙන මාවත සොයා ගනිමු, එවිට අපට සහනය ලැබේ.

යෙසායා 55:6
ස්වාමීන්වහන්සේ සම්බවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයා, උන්වහන්සේ ළංව සිටිද්දී උන්වහන්සේට යාච්ඤාකරන්න.

අද දවසේදීම, මේ මොහොතේදීම, උන්වහන්සේව සොයමු, මන්ද උන්වහන්සේ අපට ලංව සිටින සේක.

අකීකරු පුත‍්‍රයා පියාගේ සියළු වස්තුව රැගෙන දුර ප‍්‍රදේශයට ගොස් සියල්ල නාස්ති කර දැමුවාක් මෙන් අපි දෙවියන්වහන්සේව සොයමින් දුර යා යුතු නොවේ.

උන්වහන්සේගේ උපදෙස් අනුව හැසිරෙමින් ළංව සිටින උන්වහන්සේ වෙතට යමු.

ද්විතීය කථාව 30:11
අද මා විසින් නුඹට අණකරන මේ ආඥාව නුඹට අමාරු වැඩිවූ එකක්වත් දුරව තිබෙන එකක්වත් නොවේ.

‘’අමාරු’’ සහ ‘’සැඟවී’’ නොවේ.

දෙවියන්වහන්සේගේ වචනය, උපදෙස්, අනුශාසනා අපගේ ළඟම තිබේ.

12 අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා ස්වර්ගයට නැගී, එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි නුඹ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය ස්වර්ගයෙහි තිබෙනවා නොවේ.

ඔබට විවෘතවූ කීකරු හදවතක් තිබේ නම් උන්වහන්සේට ඔබත් සමඟ කතාබහ කරන්නට පහසුය.

13 අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා මුහුදෙන් එතරට ගොස් එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි නුඹ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය මුහුදෙන් එතර තිබෙනවාත් නොවේ.14 නුමුත් ඒ වචනය ලෙස නුඹ කරන පිණිස එය නුඹට ඉතා ළංව නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේ.

ඔබගේ මුඛයේ, ඔබගේ සිතේ අභ්‍යන්තරයේ, ඔබ තුළ උන්වහන්සේගේ වචනය තිබෙන බැවින් උන්වහන්සේට ස්තූති පුදමු.

දෙවියන්වහන්සේගේ උපදෙස් ඇත්තේ අපගේ මුඛයේ හා සිතෙහිය.

අපට උපකාර කරන පිණිස මග පෙන්වන පිණිස ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුළ සිටින සේක.

උත්පත්ති 15:1
මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.

අපි භය නොවී ඇදහිල්ලෙන් සහ උන්වහන්සේගේ වචනය තුළ ස්ථීරව සිටිය යුතුයි.
උන්වහන්සේ ආලෝකය හා ප්‍රේමයයි.

උන්වහන්සේ අපගේ පලිහයි අපට විරුද්ධව කිසිම ආයුධයක් සඵල නොවන්නේය. (යෙසායා 54:17)

මරණ සෙවන මිටියාවත මැදින් අපි ගමන් කළත් උන්වහන්සේ අප සමඟ බැවින් අපි භය නොවිය යුතුයි. (ගීතාවලිය 23:4)

ඔබ බියෙන් සිටියොත්, කාන්දමක් මෙන් යක්ෂයාගේ විපත්ති හා අනතුරු ඔබ ඇද ගනු ඇත, නමුත් ඇදහිල්ල තුළින් ඔබ ඒ සියල්ලෙන් ජය ගනු ඇත.

ඇදහිල්ලෙන් සිටින විට භය අපගේ ජීවිතයෙන් දුරස් වන බව බයිබලය පවසයි.

උන්වහන්සේ අපගේ විපාකයයි, එමනිසා අප භය නොවිය යුතුය.

යෙසායා 54:14
නුඹ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත. නුඹ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක නුඹට ළං නොවන්නේය.

අපි ධර්මිෂ්ඨයන් බැවින් සිංහයන් මෙන් එඩිතරව සිටිය යුතුයි.

බලාත්කාරය, භිය, පීඩාව නුඹෙන් දුරස්ව තිබේ, එය නුඹට ළං නොවේ.

දෙවියන්වහන්සේ අපගේ ආරක්ෂාවයි, සතුරා නුඹට විරුද්ධව එක මඟකින් ඇවිත් සත් මඟකින් නුඹ ඉදිරියෙන් පලා යන්නෝය.

ඔබ දේව දරුවෙක් හා ශුද්ධවන්තයෙකි.

ඔබ ආලෝකයයි, අන්ධකාරය ඔබ ඉදිරියෙන් හැරී යන්නේය.

යෙසායා 55:7
දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත.

අපගේ සිත වෙනස් කර ගැනීමට අවශ්‍යයි,

ගැළවීම, සදාකාල ජීවනය, ශුද්ධාත්ම බෞතීස්මය, නව මැවිල්ලක් වීම ආදී සෑම දෙයක්ම උන්වහන්සේ අප තුළ තබා ඇත.

දේව රාජ්‍යය, ශුද්ධාත්ම බලය අප තුළ තබා ඇත.

උන්වහන්සේව අදහා ගෙන සිටින අප තුළ, අපගේ හුස්ම ලෙසින් දෙවියන්වහන්සේ අපට ළංව සිටින සේක.

යෙසායා 55:8
මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

දෙවියන්වහන්සේ යෝජනා කර, සැළසුම් කර තිබෙන මාර්ග වලම අප ගමන් කළ යුතුය.

ස්වාමීන්වහන්සේ මා සමඟ බැවින්, මට විරුද්ධ වීමට කිසිවෙකුට නොහැකිය.

අපට විරුද්ධ වීමට කවුරුන් නැගී සිටියත්, ඔවුන්ට කිසිවක් කළ නොහැකිය.

ඔබේ හදවතින් දෙවියන් වහන්සේට කරන නමස්කාරය නැවැත්වීමට කිසිවෙකුට නොහැකියි.

දෙවියන්වහන්සේ ඔබගේ හදවත දකින දෙවියන්වහන්සේය.
ඔබ යාච්ඤා කාලයක්, නමස්කාර කාලයක් නොව යාච්ඤා ජීවිතයක්, නමස්කාර ජීවිතයක් පවත්වා ගත යුතුය.

ඔබ විශේෂ පුද්ගලයෙක්ය, මන්ද ඔබ පා තබන සෑම ස්ථානයකම දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටින නිසාවෙනි.

ඔබට බාධා කරන විට, දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් මැදිහත් වී භූමිකම්පාවක් එවමින්, විනාශයක් නොව තව තවත් මනුෂ්‍යයන් ගැළවීමට ගෙනෙන සේක.

ක‍්‍රියා 16:25
නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම් කන්දීගන සිටියෝය; 26හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය, එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. එකෙණෙහිම සියලු දොරවල් ඇරුණේය; සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය. 27 එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් පිබිද, හිරගෙයි දොරවල් ඇරී තිබෙනවා දැක, හිරකාරයෝ පැනලා ගියෝයයි සිතා, කඩුව ඇදගන තමාම මරාගන්ට හැදුවේය. 28 නුමුත් පාවුල් කථාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය.

දෙවියන්වහන්සේ විසින් එවන ලද පොළෝකම්පා වලින් මනුෂ්‍යන් තුළ දේව භයක් ඇති කරනු ලබන සේක.

යෙසායා 55:9
අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.

දෙවියන්වහන්සේගේ යෝජනා සහ මාර්ග අපිට නොපෙණෙන ආත්මික තලයේ තිබේ.

දෙවියන්වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත කරන පිණිස අපගේ සිත අපි අලුත් කර ගනිමු.

රෝම 12:1
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.

මේ අශුද්ධකමේ ලෝකය තුළ, ශුද්ධකමේ පණිවිඩය ගෙන යාම වැදගත්ය.

දෙවියන්වහන්සේට පිළිගත හැකි ජීවමාන යාගයක් ලෙස අපේ ශරීරය දෙවියන් වහන්සේගේ පූජාසනය මත තබමු.

වචන, සිතුවිලි, ක‍්‍රියාවෙන්, ගමන්බිමන් වලින්, අප අසන දකින දේවලින් දෙවියන් වහන්සේව ගෞරවයට පත් කරමු.

රෝම 12:2
නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

දෙවියන්වහන්සේගේ වචනය කියවීමෙන්, මෙනෙහි කිරීමෙන්, දිනපතා සිත අලුත් කර ගත යුතුය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම්, යහපත්, පිළිගත්, සම්පූර්ණ කැමැත්ත කරමු.

මරණය හා ජීවනය ඔබ ඉදිරියෙහි තිබෙි.

ද්වීතීය කථාව 30:19
මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන,

අපි ජීවනය තෝරා ගනිමු.

ඒ සමඟ උන්වහන්සේගේ ආශීර්වාදය හා යහපත අපට අත්දැකීමට හැකි වේ.

මොන යම් හේතුවක් හෝ පුද්ගලයෙක් නිසා අපට ජීවිතය වැරදී ඇත්ද, අප ආපසු හැරී දෙවියන්වහන්සේගේ යහපත්, පිළිගත හැකි වූ සම්පූර්ණ කැමැත්ත කරන පිණිස උන්වහන්සේට භාර වෙමු.


Watch the Sermon Video

Read 158 times