+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේ අනුව යන්න- යෝෂා මනූ
July 30, 2023 Sunday Sermon Notes

 

යේසුස්වහන්සේගේ ලේ වල බලය අදටත් තිබේ. එය නතර වී නොමැත.

ඔබ අතින් යම් පාපයක් වූ කළ, ඔබ බයිබලය අතට ගෙන ඔබගේ වරද පිළිගෙන, එය ස්වාමීන්වහන්සේ ඉදිරියේ පවසා 1 යොහාන් 1:9 කියවා, ඔබව පවිත‍්‍ර කර ගත යුතුය.

අපගේ මනස අපවිත‍්‍රවී ඇති විට, අප ක‍්‍රියාවන් තුළින් අපවිත‍්‍රවී ඇත්නම්, අපට පවිත‍්‍ර විය හැක්කේ යේසුස්වහන්සේගේ ලේ තුළින් පමණි.

යේසුස්වහන්සේ ලේ හිම මෙන් අපව සෝදා පවිත‍්‍ර කරයි. (යෙසායා 1:18)

1 යොහාන් 1:7
7 නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.

අපගේ සැඟවුනු පාප, අප තුළ හට ගන්නාවු ඊර්ෂ්‍යයාව, වෛරය, ක්‍රෝධය වැනි සිතුවිලි පාප, අන්ධකාරයේ ක‍්‍රියාවන් වේ.

අප දේව වචනය කියවමින් එම පව් කියා දී, පවිත‍්‍ර වෙමින්, දෙවියන්වහන්සේ ආලෝකයේ සිටින්නා සේම අපද ආලෝකයට පැමිණිය යුතුය.

දෙවියන්වහන්සේට සියල්ල පෙනෙන සේක.

දාවිත් පැවසුවේ, අප කොතැන සැඟවී සිටියත් දෙවියන්වහන්සේ එය දකින බවය.

ගීතාවලිය 139:7-8
7 ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙම්ද? 8 මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයෝලෙහි මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය.

ඔබ පාපයක් කර ඇත්නම් ඔබ දෙවියන්වහන්සේ හා සමඟ කථා කරමින් ඒවා කියාදී දෙවියන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවය ගොඩ නගා ගන්න.

දෙවියන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවය ගොඩනගා ගැනීමේදී දෙවියන්වහන්සේ ස්වකීය ඒක ජාතක පුත‍්‍රයාව අප වෙනුවෙන් කුරුස පත් කළ නිසාත්, ඒ තුළින් යේසුස්වහන්සේගේ ලේ වලින් අපගේ පාපයට සමාව ලබා දුන් බැවිනුත් අප උන්වහන්සේට ස්තූතිය ප‍්‍රකාශ කළ යුතුය.

1 යොහාන් 1:8-9
8 අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත. 9 අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්, 10 අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව, උන්වහන්සේගේ වචනද අප තුළ නැත.

අප පාපයක් කර එය නොවුනා සේ නොසලකා හරීනම් අප අපවම රවටා ගනියි.

අප නිතරම හරිලෙස ජීවත් නොවුනත්, දෙවියන්වහන්සේ අපට ගැළවීමේ මාර්ගයක්, ධර්මිෂ්ඨකමේ මාවතක් දී ඇති නිසා සතුටු විය යුතුය.

බොහෝ අය අද ජීවත් වන්නේ පාපය තුළ දෝෂාරෝපණයට ලක්වෙමිනි.

අප පාපයට දෝෂාරෝපණයට ලක් වෙවී සති ගණන් ලතැවී නොසිට, එදිනම එය දෙවියන්වහන්සේ ඉදිරියේ කියා දී නිදහස් විය හැකිය.

අපි සත්‍යය තුළ පවතිමු.

ගැළවීම ලබා නව මැවිල්ලක් වූ දවසේදී උන්වහන්සේ අපව ධර්මිෂ්ඨ කළ සේක.

මෙහි සඳහන් වන "අධර්මිෂ්ඨකම" යනු, ඔබගේ චරිතය පිළිබඳව, නොව ඔබ කළාවූ වැරදි ක‍්‍රියාවන්ය.

මතක තබ ගන්න දෙවියන්වහන්සේ විශ්වාසවන්තය.

දොස් පැවරීමේ හදවතක් ඔබට ඇත්නම් අන් අයට ශුභාරංචිය ප‍්‍රකාශ කිරීමටද ඔබට නොහැකි වේ.

යේසුස්වහන්සේ ගෝලයන්ව තෝරා ගැනීමට පෙර මුළු දවසක්ම යාච්ඤාවේ යෙදී සිටිමින් දේව මග පෙන්වීම අනුව ගෝලයන් දොළොස් දෙනෙකු තෝරා ගත් සේක.

එසේ කළේ ශුභාරංචියේ ගමන උන්වහන්සේ සමඟ යන පිණිසයි.

සුංගම් අය කරන්නෙකුව සිටි මතෙව්ව යේසුස්වහන්සේ කැඳවූ විට ඔහු ක්ෂණිකව කීකරු වූයේය. (මතෙව් 9:9)

යේසුස්වහන්සේගේ මහා ආඥාව ලෙස උන්වහන්සේ අපගෙන්ද ගෝලයන් බිහි කිරීම අපේක්ෂා කරන සේක.

අපගේ උදාහරණය යේසුස්වහන්සේය.

මතෙව් 28:16
‘’ගෝලයෝ එකොළොස්දෙනා යේසුස්වහන්සේ තමුන්ට නියමකළ ගලීලයේ කන්දට ගියෝය. 17 ඔව්හු උන්වහන්සේ දැක උන්වහන්සේට නමස්කාරකළෝය. නුමුත් සමහරෙක් සැකකළෝය.’’

වර්තමානයේද මෙවැනි සැක කරන අය සිටිති, උන්වහන්සේ මහා ආඥාව දුන්නේද මේ සෙනඟටමය.

‘’18 යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට: ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. 19 එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න,පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරන්න.’’

ගෝලයන් යනු, ඉගෙන ගන්නාවූ, අතහැර නොයන ස්ථීර සෙනඟකි.

ගැළවීම ලැබූ අපි සියල්ලෝම ගෝලයන්ය.

ජාතී, ආගම්, කුල භේදයකින් තොරව සියල්ලෝම ගෝලයන් කිරීමේ වගකීම අපට දී තිබේ.

ගෝලයකු වීම බලහත්කාරයෙන් නොව කැමැත්තෙන් සිදුවන ක‍්‍රියාවලියකි.

‘’20 මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.’’

එපීස 5:1
එබැවින් නුඹලා ප්‍රිය දරුවන්මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙයන්න.

‘’අනුව යාම’’ තාවකාලික ගමනක් නොවේ.

උන්වහන්සේ කළ ක‍්‍රියා අපිද කරන පිණිස ඒ බලය අපට දී ඇත.

නගුලට අත තබා ආපසු හැරී බැලිය නොහැකිය. (ලූක් 9:62)

පැකිළීමේ කාරණා වලදී තීරණ වෙනස් නොකර සිටිමු.

කීකරු ප‍්‍රිය දරුවන් මෙන් උන්වහන්සේ අනුව යමු.

අකීකරු පුත‍්‍රයා කළ පළමු වැරැද්ද නම්, පියාගෙන් තමාගේ කොටස ඉල්ලා සිටීමයි. දෙවනුව ඔහු එය නාස්ති කළේය.

පුතාගේ තත්වය එම පියාට ආරංචි වන්නට ඇත.
නමුත්, පුතා නැවත ගෙන ඒමට ඔහු එහි ගියේ නැති නමුත් පුතා සිහි කල්පනාවට පැමිණ නැවත එන තෙක් ඔහු බලා සිටියේය.

ඒ සම්බන්ධකම නිසා නැවත සියල්ල පිහිටුවනු ලැබුවා.

ඒ අනුව යන මාර්ගය පටුය, ප‍්‍රිය මිතුරන්, සමීප අය අහිමිව තනිකම දැනෙන්නට පුළුවන.

උන්වහන්සේ අනුව යන තීරණයට කවුරුත් එකඟ නොවුනත්, කොපමණ කුණාටු ආවත්, දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටින සේක.

උන්වහන්සේ ඔබේ සාක්ෂිකරුවා ලෙස සිට, ඔබේ ක‍්‍රියාවට ආශීර්වාද කරන සේක.

ඔබ දෙවියන්වහන්සේ අනුව යා යුත්තේ ශුද්ධකම ඇතුවයි.

එපීස 5:2
ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.

උන්වහන්සේ අනුව යාමේදී පැකිළීමට ලක් වන කාරනා බොහෝ සිදුවුනත් දේව සමාදානයෙන් ක‍්‍රියා කරන්න.

1 කොරින්ති 11:1 සහ 1 කොරින්ති 4:16 කියවන්න

පාවුළුතුමා පැවසුවේ, මා ක්‍රිස්තුස්වහන්සේව ආදර්ශයට ගන්නාක්මෙන් නුඹලා මා ආදර්ශයට ගන්න.

ඔබේ ජීවිතයේ ආදර්ශය කෙසේද?

ක‍්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය ඔබ තුළින් අන් අයට දැක ගැනීමට හැකිද?

දෙවියන්වහන්සේ ඔබට කළාක් මෙන් අන් අයට ප්‍රේම කරමු.

දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල් සෙනඟ වහල්කමින්, ඵාරාවෝගේ හස්තයෙන් මුදවා මොසෙස්ගේ නායකත්වයෙන් පොරොන්දු දේශයට ගෙන ආ ආකාරයෙන්, යේසුස්වහන්සේ යක්ෂයාගේ වහල් බැම්මෙන් අප මුදවා පොරොන්දු දේශය වෙත රැගෙන යන සේක.

ඒ ගමන මැදදී, දෙවියන්වහන්සේ මහත් හාස්කම් කළත්, ඔවුන්ට නොතිබුණු සමහර දේවල් ගැන ඔවුන් කොඳුරන්නට මැසිවිලි කියන්නට පටන් ගැනීම දෙවියන්වහන්සේගේ අසතුටට හේතු විය.

අපද උන්වහන්සේ අනුව යන මේ ගමනේදී, අපට නැති දේ ගැන කෙඳිරිලි, මැසිවිලි නැතිව සිටිමු.

මන්ද අප එසේ කරන්නේ මිනිසුන්ට විරුද්ධව නොව, දෙවියන්වහන්සේට විරුද්ධව බැවින් වන නිසාය.

ඔවුන්ට මිසර දේශයේ කෑම බීම හා ලැබුණු වස්තුව මතක තිබුණත්, ඔවුන් එහි වහලුන් ලෙස සිටි බව හා ඔවුන් ආ ගමන අමතක විය.

තාවකාලික දේවල් නිසා සදාකාලික දේ මතක නැති වීමට පුළුවන.

ඔබව කැඳෙවූ දෙවියන්වහන්සේගේ පොරොන්දු තදින් අල්ලා ගන්න.

තරුණ සිංහයන් සාගිනි විඳිතත් දෙවියන්වහන්සේගේ දරුවන් කිසි දිනෙක කුස ගින්නේ නොතබන බව උන්වහන්සේගේ පොරොන්දුවයි. ගීතාවලිය 34:10

හෙබ්‍රෙව් 6:12
ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගෙන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.

ඔබගේ ජ්වලිතකම නැතිවී, අලසවීමට ඉඩ නොදෙන්න.

අපි පොරොන්දු උරුම කර ගෙන දෙවියන්වහන්සේ අනුව ගමන් කිරීමට තීරණය කර ගනිමු.


Watch the Sermon Video

Read 208 times