+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පවිත්‍ර වී ඔබ ස්වාමීන්වහන්සේ වෙතට ළං වන්න- මනූ මැතානි
July 30, 2022 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේට සියලුම දේ සඳහා නියමිත වේලාවක් ඇත.

යේසුස්වහන්සේගේ ජීවිතයටද එය එසේම වූයෙන් උන්වහන්සේට තම සහෝදරයන්ගේ පවා අවිශ්වාසයට ලක් වීමට සිදු විය.

යොහන් 7:4-5
4 මක්නිසාද ප්‍රසිද්ධවෙන්ට කැමති කිසිවෙක් කිසිදෙයක් රහසින් කරන්නේ නැත. නුඹ මේ දේ කරනවා නම් නුඹ ලෝකයාට ප්‍රකාශවෙන්නැයි කීවෝය. 5 මක්නිසාද උන්වහන්සේගේ සහෝදරයන් පවා උන්වහන්සේ කෙරෙහි අදහාගත්තේ නැත.

අවිශ්වාසය මධ්‍යයේ වුවද යේසුස්වහන්සේ නොවෙනස්ව සිටි සේක.

යොහන් 7:6
එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: මාගේ කාලය තවම පැමුණුණේ නැත; නුඹලාගේ කාලය නිතර සූදානම්ව තිබේ.

මාංශිකව ජීවත් වෙන අයට දෙවියන්වහන්සේගේ නියමිත වේලාවෙන් ඵලක් නැත.

නමුත් අපි ජීවත් වෙන්නේ උන්වහන්සේගේ කාලය යටතේ බැවින්, ශුද්ධාත්මයාණන්ගේ හඬට කීකරුව ගමන් කිරීමෙන් සඵලත්වය ලබා ගත හැකිය.

දේව වචනය අසන අතරම අපගේ ජීවිතයෙන්ද දෙවියන්වහන්සේගේ කාලයට යටත් වෙමින්, හදිසි තීරණ ගැනීමෙන් වැලකී දෙවියන්වහන්සේ අප වෙනුවෙන් සූදානම් කර ඇති දේ ඉවසීමෙන් සිට ලබා ගනිමු.

ගලාති 4:9-10
නුමුත් දැන් නුඹලා දෙවියන්වහන්සේ ඇඳිනගෙන සිටිද්දී නොහොත් ඊට වඩා දෙවියන්වහන්සේ විසින් අඳුනනු ලැබ සිටිද්දී, නුඹලා ඒ දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම්වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව, ඒ දෙසට නැවත හැරෙන්නේ කොහොමද? නුඹලා දවස්ද මාසද කාලවල්ද අවුරුදුද සලකන්නහුය.

ගැළවීම ලබා ගැනීමෙන් පසු අපි නැවත බන්ධනයට යටත් නොවී සිටිමු.

අපි නිතරම සිටින්නේ දෙවියන්වහන්සේගේ ආරක්ෂාව ඇතුවයි.

නමුත් ජීවිතයේ වැදගත් තීරණ වලදී උන්වහන්සේගේ මගපෙන්වීම සෙවිය යුතුය.

අපේ තීරණය ඇදහිල්ලේ තීරණයක් නම්, දේව මගපෙන්වීම ඒ සඳහා තිබිය යුතුය, මන්ද හිතුවක්කාරකමින් ගන්නා තීරණ වලින් බොහෝ ප‍්‍රශ්න ඇති විය හැකිය.

එබැවින් කීකරු කමින් හැසිරෙමු.

කම්මැළි නොවී, කඩිසර වීමෙන් දෙවියන්වහන්සේගෙන් අපට ලාභය පමණක් ලැබේ.

හිතෝපදේශ 21:5
කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.

දෙවියන්වහන්සේ අපට හදවතක්, මනසක් දී ඇති බැවින් අපි ප‍්‍රඥාවන්තව ගමන් කරමු.

හිතෝපදේශ 18:9
තවද තමාගේ වැඩට අලසව සිටින්නා නාස්තිකාරයාගේ සහෝදරයාය.

අලසයා සහ නාස්තිකාරයා සමානය, මන්ද දෙදෙනාගේම අවසාන ප‍්‍රතිඵලය හිඟතාවයයි.

හිතුවක්කාරව, හැඟීම්බරව ජීවත් වූ අපගේ ජීවන රටාව වෙනස් කරමින් ආත්මයාණන්වහන්සේට ඇහුම්කන් දෙමින් ආත්මික ගමනක් ගමන් කිරීමට තෝරා ගනිමු.

හැම විටම දෙවියන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කරමු.

හෙබ්‍රෙව් 10:22
නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.

පවිත‍්‍ර ශුද්ධ වචනයෙන් අපගේ ජීවිත පිරිසිදු කරගැනීම කළ යුතුය.

වචනය අසන්නෝ පමණක් වන අය තමාම රවටා ගන්නා සහ වැලි මත්තේ නිවසක් සාදා ගන්නා කැපවීමත් නැති අයෙකි, නමුත් වචනය පිළිපදින්නෝ නොරැවටෙන අතර තම නිවස ගොඩනගා ගන්නේ වචනය නමැති අත්තිවාරම මතය.

අපි දෙවියන්වහන්සේ පවසන කුඩා දේවල් පවා වෙනස් කර ගෙන කීකරු වෙමු.

මන්ද එයින් විශාල දේවල් වලට කීකරු වීමට අපට පහසු වේ.

මේ පොළවේ අපි ජීවත් වෙන්නේ ඉතාමත් කෙටි කාලයක් බැවින් එකිනෙකා සමඟ සමාදානයෙන් සිටිමු.

අපගේ සිතුවිලි පවා දෙවියන්වහන්සේගෙන් සැඟවිය නොහැකිය, විවෘත මනසක් ඇතිව ජීවත්වෙමු.

අපි අහිංසකව නමුත් සර්පයන් මෙන් ඥානාන්විතව සිටිමු.

කිසිවිටක ඔබගේ සහෝදරයෙකු පාවා නොදෙන්න, මන්ද යූදස් තුළ ක‍්‍රියාත්මක වූයේ පාවාදීමේ ආත්මයයි. ඔහු තුළ කුඩාවට පටන් ගත් තෘෂ්ණාව වර්ධනය වී, නපුරු හෘදය සාක්ෂියක් ඇති වීම නිසා යේසුස්වහන්සේව පාවා දීම ඔහුට අමාරු වූයේ නැත. (ලූක් 22, මාර්ක් 14:10,21)

යෝසප්ව මුදල් වෙනුවෙන් වහලුන්ට පාවා දුන්නේ ඔහුගේ පියාගෙන්ම ඉපදුනු තම සහෝදරයන්මයි. (උත්පත්ති 37:1-30)

තිත්තකම් වෛර සමඟ ජීවත්වුන කාලය ඉවත දමමින් දේව අභිමුඛයට ඇදහිල්ලෙන් ළගාවෙමු.

හෙබ්‍රෙව් 10:23
අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසව සිටිනසේක.

ඔබට දේව වචනය තුළින් දී ඇති පොරොන්දු තදින් අල්ලා ගෙන සිටින්න.

චංචල නොවී එක් ප‍්‍රකාශනයකින් ජීවත් වීම වැදගත්ය.

දෙවියන්වහන්සේගේ වචනය මාගේ මුඛයේ ඇත.

එක උල්පතකින් තිත්ත සහ මිහිරි වතුර දෙකම නික්මිය නොහැක. (යාකොබ් 3:11)

දෙවියන්වහන්සේ නොවෙනස් වන නිසා අපත් ස්ථීරව සිටිමු.

ගැළවීමේ ප‍්‍රීතිය ඇතුළුව අපට ප‍්‍රීති වීමට බොහෝ කාරණා උන්වහන්සේගෙන් ලැබී ඇත.
අවංක සිතක් ඇති අයගෙන් උන්වහන්සේ කිසිම යහපත් දෙයක් නොවලක්වන සේක.

දෙවියන්වහන්සේ අපට නිදහස් කැමැත්තක් දී ඇත.

වචනය තුළ වර්ධනය වීම, මෙනෙහි කිරීම කළ යුතුය.

දේව වචනය ප‍්‍රතික්ෂේප කිරීමෙන් අපගේ යාච්ඤාව පිළිකුල් කාරණාවක් වේ.

යාච්ඤාව ඔබගේ ජීවිතයට වැස්මක් නොවේ.

ඵරිසිවරු පිටස්තරව පෙන්නූ යාච්ඤා ජීවිතය ඔවුන්ගේ අභ්‍යන්තරයේ නොතිබුණි.

හිතෝපදේශ 28:9
ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.

දෙවියන්වහන්සේගේ වචනය පිළිපැදීම, ඒ හඬට කීකරු වීම යාච්ඤාවේ මුලය.

කොතරම් යාච්ඤා කළද වචනය ක‍්‍රියාවට නොදමයි නම් ඵලක් නොවේ.

ආගමිකත්වය නොව ආදර්ශය වැදගත්ය, මන්ද ආගමිකත්වයෙන් මනුෂ්‍යයන්ව ගැළවීමට ගෙන ආ නොහැක.

සැබෑ කිතුනුවන් ලෙස වංචා සහිත ජීවිතය අපෙන් දුරු කළ යුතුය.

යාච්ඤාවේ ප‍්‍රතිඵලය ලබා ගත හැකි වන්නේ වචනය පිළිපැදීම මතය.

1 සාමුවෙල් 15:22
සාමුවෙල්ද: ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන සේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.

සාවුල්ගේ හදවතේ දෙවියන්වහන්සේව සතුටු කිරීමට බොහෝ ක‍්‍රියාවන් සැළසුම් කර තිබුණු නමුත් ඒ කිසිවකට උන්වහන්සේ සතුටු නොවීය.

දෙවියන්වහන්සේට ඕනෑකමින් ඇහුම්කන් දීම යහපත්ය.

අපි සම්පූර්ණයෙන්ම කීකරු වීම උන්වහන්සේ අපේක්ෂා කරන සේක.

අපගේ යාච්ඤාවෙන් හෝ භක්තිවන්තකමින් දේවල් වසා දැමිය නොහැක.

යාච්ඤාව ආගමික වැස්මක් කර නොගෙන දෙවියන්වහන්සේට කීකරු වීම වැදගත්ය.

හිතෝපදේශ 20:6
බොහෝ දෙනෙක් තම තමුන්ගේම කරුණාවන්තකම ප්‍රකාශකරති; එහෙත් විශ්වාස මනුෂ්‍යයෙක් කාට සම්බවේද?

අපේ ආශාව ඉෂ්ට වන පිණිස නොව දේව කැමැත්ත ඉෂ්ට වන පිණිස යාච්ඤාවේ යෙදී සිටිමු.

බොහෝ විට මනුෂ්‍යයන් තමන්ගේ තීරණ වලට දෙවියන්වහන්සේගේ අනුමැතිය ලබා ගැනීමට උන්වහන්සේ වෙතට පැමිණෙයි, නමුත් අපි අනුමැතිය නොව දෙවියන්වහන්සේගේ කැමැත්ත සොයා බලමු.

හිතෝපදේශ 28:20
විශ්වාස මනුෂ්‍යයෙකුට බොහෝ ආශීර්වාද ලැබේ; එහෙත් වස්තු උපදවාගන්ට ඉක්මන්වෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.

ධනවත් වූ පමණින් සතුට ලබා ගත නොහැක.

විශ්වාසවන්ත, අවංක, ස්ථීර මනුෂ්‍යයාට බොහෝ ආශීර්වාද ලැබේ.

දෙවියන්වහන්සේ අප තුළින් කරන්නට යන දේ සඳහා අප ඉන්න ස්ථානයේම ස්ථීරව සිටිමු.

සැබෑ, අවංක යාච්ඤාවෙන් බොහෝ දේවල් වෙනස් කළ හැකිය.

යාච්ඤාවට නොව, දේව කැමැත්ත අනුව කරන යාච්ඤාවට උන්වහන්සේ අපට පිළිතුරු දෙන සේක.

1 යොහාන් 5:14
උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.

අපගේ ඵල දරන ජීවිතය බොහෝ අයට ආශීර්වාදයක් වනු ඇත.

ස්වාමීන්වහන්සේ ඔබව ආශීර්වාද ලද්දෙක් කර ඇත.

අපගේ සමාදානයේ, ප‍්‍රීතියේ රහස නම්, දේව කැමැත්ත ඉටු කිරීමයි.

අපි නිතරම අන් අයට උපකාර කිරීමට, සහනයක් වීමට සූදානම්ව සිටිමු.

අප ගැළවීම ලැබුවේ කවුරුන් හෝ දේව කැමැත්ත ඉටු කළ නිසාවෙන් බව සිහි කරමින්, අපද අන් අයගේ ගැළවීමට දායක වන පිණිස දේව කැමැත්ත කරමින් ජීවත් වෙමු.

දෙවියන්වහන්සේගේ වචනය බීජයක් නම්, එය ඵල දැරීමෙන් අස්වැන්න ලැබෙන්නා සේ ශුභාරංචි වචනය අන්‍යයන්ට ප‍්‍රකාශ කරමු.

යොහාන් 15:4-5
මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය.

දෙවියන්වහන්සේ අපව නියමිත කාලයේදී ඵල දරන ධර්මිෂ්ඨ ගසක් ලෙස සිටුවා ඇත.

උන්වහන්සේ තුළ පැවැතීම යනු, කෙටි කාලයක් ගත කිරීම නොව නිරතුරුවම නොකඩවා උන්වහන්සේ තුළ රැඳී සිටීමයි.

වර්තමානයේ කිතුණුවන් පවා මාංශයෙන් ගමන් කරමින් සිටින අතර, ඔවුන් සමඟ එක් වීමෙන් අපේ යහපත් චරිතය විනාශ කර නොගනිමු.

‘’5 මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.’’

දෙවියන්වහන්සේගෙන් වෙන්ව ඕනෑම දෙයක් අපට කළ හැකි මුත්, එය කොහෙත්ම ශුද්ධ ඵල නොදරයි.

‘’6 යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.’’

අපේ හැකියාවන්, මුදල් මත සියල්ල කළ හැකියයි නොසිතිය යුතුය.

‘’රේමා’’- කථා කරන වචනය අප තුළ පවතී නම් ඵල දැරිය හැකිය.

ශෝකයට සැනසීමද, බලාපොරොත්තුවක් දීමට උන්වහන්සේගේ වචනයට හැකිය.

හිතෝපදේශ 12:25 මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමීයයි; එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂකරයි.

අපගේ වේදනාව, බර, ශෝකය දේව වචනයෙන් පහවී යයි.

ඔබ දෙවියන්වහන්සේගේ වටිනා වස්තුවයි, මේ ලෝකයේ මැවිල්ලට වඩා, රන් රිදී වලට වඩා ඔ බ වටිනා පුද්ගලයෙකි.

දෙවියන්වහන්සේ ඔබට කථා කරන කළ, ඔබගේ වේදනා කනස්සළු සිත වෙස්වෙයි. තවත් මට දුක්වෙන්නට, කනස්සළු වෙන්නට අවශ්‍යය නැහැ ස්වාමීනී. මම නැමී නොයන්නෙමී ස්වාමීනි, මම ඔබ වහන්සේගේ හඬට කීකරුවන්නෙමි කියා පවසන්න.

දෙවියන්වහන්සේ බලාත්කාරකමින් ඔබව සිර කර නොතබන සේක, අප නිදහස් කැමැත්ත ඇතුව දෙවියන්වහන්සේ තුළ පැවතෙමු.

යොහාන් 15:7
නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.

දේව කැමැත්ත අනුව ඔබ සිටින විට, ඔබ ඉල්ලන ඕනෑම දෙයක් පිරිසිදු බැවින් යාච්ඤාවට පිළිතුරු ඉතා පහසුවෙන් ලැබේ.

හිතෝපදේශ 11:23
23 ධර්මිෂ්ඨයන්ගේ ආශාව යහපතමය; දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව උදහසය.

දේව වචනය අප තුළ නිදන් කර ගන්නා විට අප පව්කාර ස්වභාවයෙන් වෙනස්වේ.

යොහාන් 15:8
මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය.

අපට යමක් කළ හැකි නිසා නොකර, උන්වහන්සේගේ මගපෙන්වීම කැමැත්ත නිසා එය කරමු.

යාකොබ් 4:13-17
13 මෙන්න: අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළෙඳාම්කොට ලාභ උපදවාගන්නෙමුයයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න. 14 මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය. 15 එබැවින්: ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි නුඹලා විසින් කිය යුතුය. 16 නුමුත් දැන් නුඹලාගේ අහංකාර කථාවලින් නුඹලා පාරට්ටුකරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය. 17 එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම්, ඔහුට ඒක පාපයය.

ඔබ කරමින් සිටින්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තද?

අහංකාර කථා, පාරට්ටු කිරීම් යක්ෂාකාරව තිබේ.

අපගේ සිත් පවිත‍්‍ර කර ගනිමින්, ස්වාමීන්වහන්සේගේ පොරොන්දු තදින් අල්ලා ගෙන, විශ්වාස කිරීමට තෝරා ගනිමු.


Watch the Sermon Video

Read 187 times