+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ප්‍රේමය අනුව යන්න - යෝෂා මනූ
August 6, 2023 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධකමක් ඇතුව කාලය ගත කිරීම යනු උන්වහන්සේගේ වචනයට ප්‍රේම කිරීම, එය ක්‍රියාවට නැංවීම නැතහොත් කීකරු වීම.

දෙවියන්වහන්සේ කියන පරිදි අපි උන්වහන්සේ අනුව යන්නෝ වෙමු.

එපීස 5:1
එබැවින් නුඹලා ප්‍රිය දරුවන් මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙන්න.

ක‍්‍රිස්තුස්වහන්සේ අනුව යනවා නම් අප ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් අපි ප්‍රේමය අනුව ගමන් කළ යුතුයි. අපි ප්‍රේමයෙන් ගමන් කරන විට, අපට ‍ප්‍රේමයේ ජීවිතයක් ගත කළ හැකිය.
ප්‍රේමයේ ජීවිත රටාවක් ගත කිරීමට ඉගෙන ගනිමු.

එපීස 5:2
ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.

අපි ක්‍රිස්තුස්වහන්සේ මෙන් ප්‍රේම කළ යුතුයි.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් පූජාවක් ලෙස තමාගේ ජීවිතය කැප කළ බැවින් උන්වහන්සේ අපගේ ආදර්ශයයි.

තවද ක්‍රිස්තුස්වහන්සේගේ අධික ප්‍රේමයට යටත් වූ අපි ඇදහිල්ලෙන් දිගටම ගමන් කරමු.

උන්වහන්සේ අප කෙරෙහි දැක්වූ ඉමහත් ප්‍රේමය, නමස්කාරයේ සුවඳක් වැනි මිහිරි සුව කිරීමේ සුවඳක් මෙන් දෙවියන් වහන්සේට ප්‍රසන්න විය.

මිහිරි සුවඳක් සඳහා දෙවියන් වහන්සේට පූජාවක්ද යාගයක් ද මෙන් අප වෙනුවෙන් කැප කර ඇත.

ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළ ආකාරය අපි ඒ අනුවම කරමු,

උන්වහන්සේ ප්‍රේම කළේ අපෙන් යමක් ලබාගැනීමට නොව උන්වහන්සේගේ සියල්ල අපට දීමටය.

අපි මෙම නව ජීවනය නොමිලේ භුක්ති විඳින පිණිස උන්වහන්සේ මිලය ගෙවූ සේක.

අපි ප්‍රේමයෙන් හා එකමුතුකමෙන් හැසිරිය යුතු බව උන්වහන්සේ අපට පවසන සේක.

යම් කෙනෙකු ඔබගේ පය පෑගුවත් ඔබ අමනාප නොවන්න, පැකිලීමට ලක් නොවන්න.

ඔහුට සමාව දෙන්න ඔබගේ සිතින් තීරණය කරගත යුතුයි. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ කොන්දේසි රහිතව අපට සමාව දුන් සේක. එම ආකාරයටම අපිත් එකිනෙකාට සමාව දීම ඉතා වැදගත් වේ.

ඕනෑම මොහොතකදී ඔබගේ හදවත තරහවකින් තොරව සමාව දීමට හැකි ආකාරයට තබාගත යුතුයි.

දෙවියන්වහන්සේ පවසන පරිදි අපි ප්‍රේමයෙන් හැසිර ජීවත් විය යුතුයි.

දෙවි පුත්‍රයාණන්වහන්සේ මෙම පොළොවට පැමිණියේ මනුෂ්‍යයන්ට ප්‍රේම කළ නිසා බව බයිබලයේ සඳහන් වේ.

එකිනෙකාට කමාව දීම අපගේ ජීවිතයේ ඉතා වැදගත් ගුණාංගයකි.

එපීස 4:32
නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.

යම් කෙනෙකුගේ වැරදි වලට සමාව දෙන්න ඉක්මන් වන්න, වැරැද්ද නිතර සිහි නොකරන්න.

කෙනෙකු නොදැන කරන වැරදි නිසා ඔබගේ සිත වේදනාවට ලක් වූ විට එම වේදනාව ඔබ නිතර සිහි කර තදින් අල්ලාගන්නේ නම් එම පාපය ඔබ සතුය.

ක්‍රිස්තුස්වහන්සේ ඔබට සමාව දුන් ආකාරයටම ඔබත් එකිනෙකාට සමාවදෙන්න.

ඔබගේ නිවෙස් වල, කාර්යාලවල, සහෝදරයන් හා නෑදෑ හිතමිතුරන් අතර කුඩා දේවල්වලට සමාව දීමට පුරුදු වන්න.

ඔබගේ සිත වේදනාවට පත් කරන ආකරයට යමෙකු ඔබට සිත් රිදන වචන පැවසුවොත්, එය නිතරම ඔබගේ මනසට නොගන්න. සතුරා තව තවත් ඔබට වේදනා ගෙනදෙන සිතුවිලි දමයි. ඔබ එයට ඉඩ නොදී ඔබට වේදනාව දෙන කෙනෙකුට සමාව දෙන්න.

සමාව දීම දෙවියන්වහන්සේගේ ආත්මික චරිත ගුණාංගයකි.

උන්වහන්සේගේ සමාව දීම තුළින් නිදහස ලබාගන්න. අන් අයටත් එය පවසන්න.

සමාව නොදීමෙන් අපි අපවම සිරකර ගෙන සිටීමෙන් දෙවියන්වහන්සේ අපට ලබා දුන් නිදහස භුක්ති විඳීමට නොහැකිව ජීවත් වීමට සිදුවේ.

1 තිමෝති 6:6-10 පවසන පරිදි මුදල් වලට ආශා නොකරන්න.

කෙනෙකුට අපි ප්‍රේම කරන්නේ නම් ඔහුට උපකාර කිරීම හා සැලකීම ඉතා වැදගත් වේ.

1 තිමෝති 6:11‭
නුමුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, නුඹ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක් ගුණයද පස්සේ යන්න.
දෙවියන්වහන්සේ අපට අණ කළ පරිදි අපි ධර්මිෂ්ඨයන් විය යුතුයි.
උන්වහන්සේ සමඟ අපි නිවැරදි සම්බන්ධතාවයකින් ජීවත් විය යුතුයි.

දෙවියන්වහන්සේ ඔබත් සමඟ අමනාප නොවන්නේය. ඔබ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ දේව දරුවෙක්ය.

උන්වහන්සේ පවසන පරිදි ධර්මිෂ්ඨකම අනුව අපි ගමන් කළ යුතුයි.

අපි අපගේ හදවතින් දෙවියන්වහන්සේට ශුද්ධව භක්තිවන්තව ජීවත් විය යුතුයි.

අපගේ ඇදහිල්ල ඉතා වැදගත් වේ. මක්නිසාද ඇදහිල්ලෙන් අපට කඳු පවා පහ කිරීමට හැකි වේ. අපගේ යාච්ඤාවට පිළිතුරු ලැබෙන්නෙත් අපි ඇදහිල්ලෙන් විශ්වාසව සිටින නිසාය.

ප්‍රේමය, ස්ථීරකම හා මොළොක්ගුණය අප තුළ තිබිය යුතු චරිත ගුණාංග වේ.

උන්වහන්සේ පවසන පරිදි අපි මෙවැනි ගුණාංග අනුව ගමන් කළ යුතුයි.

1 තිමෝති 6:12‭
ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.

අපි ඇදහිල්ලේ සටන සටන් කොට දෙවියන්වහන්සේ අපට යම්කිසි පොරොන්දුවක් දී තිබෙනවා නම් ඔබ එය විශ්වාස කරනවනම් එය තදින් අල්ලා ගන්න.

සතුරා ගෙනදෙන සිතුවිලි විශ්වාස නොකරන්න.

යක්ෂයා ඔබට ගෙන එන සැක සහිත සිතුවිලි, ඔබට දේවල් නොලැබෙන බව, දෙවියන්වහන්සේ ඔබ ගැන සලකන්නේ නැති බව, ඔබගේ වැරදි නිතර මතක් කර දීමෙන් යක්ෂයා ඔබගේ විශ්වාසය නැති කරන්නේය.

එම අවස්ථාවේ දී අපි ඇදහිල්ලෙන් යහපත් සටන සටන් කළ යුතුය.

යහපත් සටන වන්නේ දේව වචනය නිතර ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කරමින් උන්වහන්සේට ස්තූති කිරීමයි.

යූදා දේශයට සතුරා ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී ගීතිකා කණ්ඩායමක් මගින් යහපත් සටනක් දෙවියන්වහන්සේ සැලසුම් කළ සේක. ( 2 ලේකම් 20:20-21)

අපගේ දිනපතා ගමනේදී යහපත් සටනක් වන්නේ ධර්මිෂ්ඨකම, භක්තිවන්තකම, ඇදහිල්ල, ප්‍රේමය, ස්ථීරභාවය හා මොළොක්ගුණ යන ගුණාංග තදින් අල්ලා ගනිමින් අපගේ චරිත ගුණාංගයන් ආරක්ෂා කර ගැනීමය.

1 තිමෝති 6:‬13
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශවීම දක්වා නුඹ මේ ආඥාව කැලලක්ද දෝෂයක්ද නැතුව පවත්වන ලෙස,

ගලාති 5:6 අනුව ඇදහිල්ල සැමවිටම ක්‍රියා කරන්නේ ප්‍රේමයෙන් බව මතක තබා ගන්න.

ඇදහිල්ල ප්‍රකාශ වන්නේ ප්‍රේමයෙන්ය. එපීස 3:17

ඔබට ඇ දහිල්ල තිබේ නම් ප්‍රේමයත් තිබිය යුතුයි. ඇදහිල්ල හා ප්‍රේමය එක හා සමානව ඔබගේ ජීවිතය තුළ ගමන් කළ යුතුයි.

පාවුල් දෙවියන්වහන්සේගේ දරුවන් වන අපට ප්‍රේමය ගැන කථා කරමින් ශක්තිමත් කරයි. (එපීස 5:2)

දෙවියන්වහන්සේ අනුව යන්නෙහි ග‍්‍රීක් අර්ථය දෙවියන්වහන්සේව අපගේ උදාහරණය කරගැනීමය.

දෙවියන්වහන්සේව අපි අපගේ ජීවිතයේ උදාහරණයක් කරගනිමු.

අප දෙවියන්වහන්සේ දෙස බැලිය යුතුය.

සරලව කිවහොත්, "දෙවියන්වහන්සේ කරන ආකාරයටම කරන්න."

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේ අනුව ක්‍රියා කරන්නයි. අපි උන්වහන්සේගේ ක්‍රියාවන් කිරීමය.

අපි උන්වහන්සේගේ සිතුවිලි වලින් පිරී සිටීමයි.

දේව වචනය මෙනෙහි කරමින් උන්වහන්සේගේ සිතුවිලි අපගේ මනසට අපි ඇතුල් කරගත යුතුයි.

අපි උන්වහන්සේගේ ප්‍රේමයෙන් පූර්ණ වීම.

1 යොහන් 4:8 සහ 16 පවසන්නේ, "දෙවියන්වහන්සේ ප්‍රේමයයි."

උන්වහන්සේ තුළ කිසි වෛරයක් නැත. උන්වහන්සේ ප්‍රේමයේ දෙවි කෙනෙක්ය.

උන්වහන්සේ අපව ප්‍රේමයෙන් මග පෙන්වන සේක. ප්‍රේමයට ඔබේ මග පෙන්වන්නා වීමට ඉඩ දෙන්න.

ඔබ ජීවිතය තුළ යම්කිසි වෛරයක්, කෝපයක් හා තරහක් තිබේ නම්, ඔබට දෙවියන්වහන්සේ ප්‍රේම කළාක් මෙන් ඔබත් ප්‍රේම කරන්න.

දෙවියන්වහන්සේගේ ප්‍රේමය අසීමිතයි.
දෙවියන්වහන්සේගේ ප්‍රේමය කිසි කෙනෙකුගේ ප්‍රේමයට සමාන කළ නොහැකිය.

දේව ප්‍රේමය කොන්දේසි රහිතයි උන්වහන්සේ ඔබගේ හරි වැරදි නොබලා නැවත නැවතත් ඔබට ප්‍රේම කරන සේක.

උන්වහන්සේ සභාව ඇදහිල්ලෙන් ශක්තිමත් කරනු වගේම ප්‍රේමයෙන්ද ශක්තිමත් කරන සේක. (එපීස 3:14-21 )

අපි එකිනෙකාට ප්‍රේම කිරීමෙන්, දෙවියන්වහන්සේගේ ස්වරූපයට සමානත්වයක් මනුෂ්‍යයන්ට පෙන්නුම් කිරීමට හැකි වේ.

මක්නිසාද අපි අපගේ පියාණන්ගේ ප්‍රේමයේ දූ පුතුන් ලෙස නියෝජනය වන්නේ එවිටය.

උන්වහන්සේගේ චරිතය අප තුළින් පිළිබිඹු වීම.

ක්‍රිස්තුස්වහන්සේ ද අපට ප්‍රේම කළාක් මෙන් ප්‍රේමයෙන් හැසිරීම ඉතා වැදගත්ය.

විවාහ බන්ධනයන් කැඩීයාමට හේතුව වන්නේ ප්‍රේමය නැති වීමය.

සෑම විවාහයන් තුළම දෙවියන්වහන්සේගේ ප්‍රේමය අවශ්‍ය වේ. ප්‍රේමයේ දෙවියන්වහන්සේ සිටී නම්, ඒ විවාහය සාර්ථකය.

එපීස 3:17‭-‬19 දේව ප්‍රේමයට සීමාවක් නැත
ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසයකරන පිණිසත්, නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට, දෙවියන්වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණවන පිණිස සියලු ශුද්ධවන්තයන් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන, එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම්ගන්ට නුඹලාට පුළුවන්වන පිණිසත්, උන්වහන්සේගේ මහිමයේ සම්පෙතේ හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤාකරමි.

අප මේ පොළොවෙහි සිටින කාලය තුළ දෙවියන්වහන්සේ සම්පූර්ණ ප්‍රේමයට අපට වටහා ගැනීමට නොහැකිවේ. එය අපට මැනිය නොහැකිය. එතරම් දෙවියන්වහන්සේගේ ප්‍රේමය මහත්ය.

දෙවියන්වහන්සේගේ ප්‍රේමය තුළ අප ජීවත් වෙමු.

යේසුස්වහන්සේ වේශ්‍යාකමේ ස්ත්‍රීයට කමාව දුන් සේක. නමුත් ඒ මනුෂ්‍යයන්ට කමාව දීමට නොහැකි විය. යේසුස්වහන්සේ ඇයගේ වැරදි නොබලා ඇය දෙස ප්‍රේමයෙන් බැලූ සේක. (ලූක් 7: 37-50)

යොහන් 4 පරිච්ඡේදයේ සමාරිය ස්ත්‍රියගේ කතාවේ සඳහන් පරිදි උන්වහන්සේ ඇයට ප්‍රේමයේ වචන වලින් කතා කළ සේක.

ඇය සමඟ කතා කරන්නේ මෙසියස්වහන්සේ බව ඇය තේරුම් ගත්තා. ඉන්පසුව උන්වහන්සේ ඇයව භාජනයක් ලෙස ශුභාරංචිය සඳහා පාවිච්චි කළ සේක. (යොහන් 4:28-29)

දෙවියන්වහන්සේගේ ප්‍රේමය මනුෂ්‍යයන්ගේ හදවත සහ අභ්‍යන්තරය වෙනස් කරන සේක.
ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් විය. ඇය තව දුරටත් වේශ්‍යාකමෙන්, තික්තකමෙන් හා වෛරයෙන් ජීවත් වන්නේ නැති බව තීරණය කළාය.

අපි අන් අයට ආදර්ශයක් වන පිණිස දෙවියන්වහන්සේගේ ප්‍රේමය තුළ ජීවත් විය යුතුයි.

මතෙව් 5:45-46
මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක. නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලා ප්‍රේමකරනවා නම්, නුඹලාට කවර විපාකයක්ද?
ප්‍රේම කිරීමෙන් අපට විපාක තිබේ.

අපට ප්‍රේම කරන්නාට නොව අපගේ සතුරන්ට ප්‍රේම කිරීමෙන් අපට විපාක තිබේ.

සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද? 47 නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවානම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද? 48එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න. (මතෙව් 5:46-48)

දස පනතේ පළමු ආඥාව වන්නේ පළමුව දෙවියන්වහන්සේට ඔබගේ මුළු හදවතින්, ආත්මයෙන් ප්‍රාණයෙන්, ශක්තියෙන්ද හා බුද්ධියෙන් ප්‍රේම කරන්න. (මාර්ක් 12:30)

දෙවනුව ඔබගේ සහෝදරයාට ප්‍රේම කරන්න, ඔබගේ අසල්වාසින්ට ප්‍රේම කරන්න. දෙවියන්වහන්සේ ප්‍රේමය බව ඔවුන් දැනගන්නා පිණිස ඔබ ප්‍රේම කරන්න. (මාර්ක් 12:31)

අපි දේව ප්‍රේමය තුළ පවතිමු.

දේව වචනය තුළින් උන්වහන්සේගේ ප්‍රේමය සොයා ඒ අනුව ජීවත් වෙමු.

නිතරම සමාදානය ආරක්ෂා කර ගනිමු. ප්‍රේමය ආරක්ෂා කර ගනිමු.

ඔබගේ පවුල තුළ නිතරම ප්‍රේමයෙන් සිටින්න. අනෙකුත් පවුල් වලට එය ආදර්ශයක් වේ. එමෙන්ම දෙවියන්වහන්සේ තුළ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ඔබට හැකි වේ.

අපෙන් නිසි හැසිරීම ඉගෙන ගන්නා දරුවන්ට දෙමාපියන් ලෙස අපි හොඳ ආදර්ශයක් විය යුතුයි.

Watch the Sermon Video

Read 183 times