+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ආත්මික හා මාංශාකාර අතර වෙනස - මනූ මැතානි
August 13, 2023 Sunday Sermon Notes


දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත්තේ ස්ථීර ගමනක් බැවින් වමටවත් දකුණටවත් නොහැරී, එහි ගමන්කිරීමට තෝරා ගැනීමේ වගකීම අප සතුය.

අප යේසුස්වහන්සේ අනුගමනය කරන්නේ නම් සියල්ල සමාදානයෙන් සිදුවිය යුතුය.

යේසුස්වහන්සේ පිළිගැනීම නිසා ඔබට අනිවාර්යයෙන්ම පීඩා වලට මුහුණ දීමට සිදුවන නමුත්, හිතුවක්කාරකමින් වත්, කැරළිකාරකමින් වත් නොහැසිරෙමින් යටහත්ව ඒ සියල්ලට මුහුණ දෙන්න.

ඔබ යේසුස්වහන්සේව පිළිගෙන ගැළවීම ලබා ගත් කුඩා දරුවෙක් වූවත් හදවතින් දෙවියන්වහන්සේට කැපවෙමින්, ඔබගේ දෙමාපියන් ඉදිරියේ කීකරුකමින්, යටහත්කමින් හැසිරිය යුතුය.

ඔබේ දරුවන් මුරණ්ඩුකමින්, අකීකරුකමින්, කැරළිකාරකමින් හැසිරෙන්නේ නම්, ඔබේ නිවසේ හෝ ඔබ යන සභාවේ හෝ කැරළිකාර ආත්මයක නායකත්වය ඊට හේතු විය හැකිය.

ශුද්ධ බයිබලයෙහි ලියා ඇති සැබෑවූ වචනය අප හරි ආකාරව තේරුම් ගත යුතුය.

මතෙව් 10:34
පොළොවෙහි සමාදානය දෙන්ට මම ආවෙමියි නොසිතන්න. සමාදානය නොව කඩුවක් දෙන්ට ආවෙමි.

යේසුස්වහන්සේ සාමයේ කුමාරයාය, නමුත් උන්වහන්සේගේ සහෝදරයන් පවා උන්වහන්සේව පිළිගත්තේ වත්, විශ්වාස කළේ වත් නැත.

යොහන් 7:4-5
මක්නිසාද ප්‍රසිද්ධවෙන්ට කැමති කිසිවෙක් කිසිදෙයක් රහසින් කරන්නේ නැත. නුඹ මේ දේ කරනවා නම් නුඹ ලෝකයාට ප්‍රකාශ වෙන්නැයි කීවෝය. මක්නිසාද උන්වහන්සේගේ සහෝදරයන් පවා උන්වහන්සේ කෙරෙහි අදහාගත්තේ නැත.

නමුත් යේසුස්වහන්සේ තමන් කවුදැයි දැන සිටි නිසා ඒ සියල්ලට ඉවසිලිවන්තව මුහුණ දුන් ආකාරයටම, අපද අපට එන පීඩා වලදී උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සමාදානයෙන් සිටිමු.

අප ජීවත් වෙන්නේ යහපත කළත් එය නපුරු ලෙස දකින සමාජයකයි.

ඔබ ආත්මයෙන් ගමන් කරන්නේ යයි කියන්නේ නම් ඔබ දේව වචනයට අනුව ජීවත් වෙන දරුවෙකි.

ඔබේ දෙමාපියන්ටවත් අසල්වැසියන්ටවත් නොව, ඔබ විරුද්ධව සිටින්නේ යක්ෂයාට බව සිහි තබා ගැනීම වැදගත්ය.

ඔබ සභාවේ සේවය කරන නිසා හෝ ඔබට ඇති දැනුම නිසා හෝ ඔබේ දෙමාපියන්ව සුළු නොකරන්න.

ඔබ සභාවට පැමිණීමට වඩා, සභාවේ වචනයට කීකරු වීමට වඩා ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයාට කීකරු වීම වැදගත්ය.
(1 කොරින්ති 7:12-16)

අපි ආත්මයෙන් ගමන් කරන්නෝ වූවත්, අපි ජීවත්වෙන්නේ අඳුරු බලවේග ඇති, මාංශයෙන් ජීවත් වන මිනිසුන් අතර බැවින් විරුද්ධකම් ගැන නොකැලඹී සිටිමු.

යේසුස්වහන්සේ මෙසියස්වහන්සේ ලෙස යුදෙව්වරුන් නොපිළිිගත් බැවින් ඔවුන්ට උන්වහන්සේ ගැන මහත් පීඩාවක් තිබුණි.

යේසුස්වහන්සේ මනුෂ්‍යයන්ව උන්වහන්සේ අනුව එන පිණිස කැඳවූ සේක, එක් වැඩිමල් පුත‍්‍රයෙක් පියාගේ භූමිදානය අවසන් කර එන්නට උන්වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියේය. (මතෙව් 8:21)

යේසුස්වහන්සේ කැඳවූ මනුෂ්‍යයන් වැඩිහිටියන් වන්නට ඇති, ඔවුන්ට තමන්ගේ ජීවිතය ගැන තීරණයක් ගන්නට හැකියාවක් ඇතිව සිටි අය වන්නට ඇත, නමුත් සමහරුන් පසුබැස කැඳවීමට අකීකරු විය. (මතෙව් 8:18-22)

පරණ ගිවිසුමේ අවිශ්වාසය හා මෝසෙස්ට විරුද්ධව සිටීම නිසා කාන්තාරයේදී මිය ගියේ අවරුදු 20 න් ඉහළ සිටි අයය, නමුත් අවරුදු 20 න් පහළ සිටි අයට පොරොන්දු දේශයට ඇතුල් වෙන්නට අවස්ථාවක් ලැබුණි.

දෙවියන්වහන්සේ උන්වහන්සේව අනුගමනය කරන්නට අලුත් පරම්පරාවකට අවස්ථාවක් දුන් සේක.

ඔබගේ පවුලේ අයම ඔබට විරුද්ධ වන විට හදවතින් යේසුස්වහන්සේ විශ්වාස කොට උන්වහන්සේ තුළ පවතින්න.

ආත්මයාණන්වහන්සේගේ කඩුව දෙවියන්වහන්සේගේ වචනයයි, එම කඩුවෙන් ආත්මයත් මාංශයත් හරි ලෙස වෙන් කළ යුතුයි.

ඔබගේ ජීවනය උරා ගැනීමට අන් අයට ඉඩ නොදෙන්න.

යේසුස්වහන්සේ ස්වාමීන් හා ගැළවුම්කැරු බව දැන සිටියත් සමහරුන් පීඩා වලට භිය වෙමින් සිටියි, නමුත් එම පීඩා පවතින්නේ ස්වල්ප කාලයයි.

යක්ෂයා ඔබට පීඩා ගෙන එන පිණිස මාංශය පාවිච්චි කරන අතර, එම මාංශය ඔබේ පවුලේ කෙනෙකු විය හැකියි. එබැවින් ඔබ ඔවුන්ගේ ගැළවීම වෙනුවෙන් ඉවසා සිටීම අවශ්‍යයි.

ඔබගේ පවුලේ අය යේසුස්වහන්සේ පිළිගත්තද, ඔවුන් යම් ප‍්‍රමාණවල ආත්මික මට්ටම් වල සිටිය හැකි බැවින් කැරළි නොගසමින් යටහත්කමින් ඔබේ ආත්මික ගමන යා යුතුය.

මතෙව් 10:35
මක්නිසාද මනුෂ්‍යයෙකු තමාගේ පියා සමඟද දුව ඇගේ මවු සමඟද යෙහෙළී ඇගේ නැන්දා සමඟද භේදකරවන පිණිස ආවෙමි.

දෙවියන්වහන්සේ ඔබට දී තිබෙන දීමනා, හැකියාවන්, තලෙන්න ගැන යම් දිනක උන්වහන්සේට ගණන් දීමක් දිය යුතුයි.

යේසුස්වහන්සේ නිසා ඔබගේ පවුලේ අය, දෙමව්පියන් ඔබට පීඩා ගෙන එන්නේ නම්, ඔවුන්ට ප්‍රේම කරමින් ගරු කරන්න. නමුත් උන්වහන්සේ අනුව ගමන් කිරීමට සම්පූර්ණයෙන්ම තීරණය කිරීම ඔබ සතුය.

අපි යේසුස්වහන්සේව, එනම් හරි මාර්ගය පිළිගත් පසු ආගමක් නොව ආ මඟ වෙනස් කරන්නෙමු.

දෙවියන්වහන්සේට අපගේ කැපවීම අද දවසේදීම සම්පූර්ණයෙන් දීම වැදගත්ය, එය කල් දැමීමෙන් කිසිදා සිදු නොවනු ඇත.

හෙබ්‍රෙව් 3:7-8
එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම්, 8 කාන්තාරයේදී පරීක්ෂාකිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්න.

ඔබ තීරණයක් ගත යුතු දවස අදයි, මේ මොහොතයි.

අද, මේ මොහොතේ ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට පවසන දෙයට යම් කැපවීමක් කරන්නට අවශ්‍ය නම්, එය ඊළඟ මොහොතට හෝ දවසට කල් නොදමන්න.

ඔබගේ ප‍්‍රතිඵල වෙනස් වෙන්නේ ඔබේ තීරණ වෙනස් වීම මතයි.

ඔබේ පුරුදු වෙනස් නොවේ නම් කිසිවක් වෙනස් නොවේ.

හෙබ්‍රෙව් 3:15
අපගේ විශ්වාසයේ පටන්ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව. 16 එසේය, ඇසූ කල්හි උදහස් ඉපදෙවූවෝ කවරහුද? මෝසෙස් කරණකොටගෙන මිසරයෙන් පිටත්ව ආවාවූ සියල්ලෝ නොවෙද්ද?17 තවද උන්වහන්සේ සතළිස් අවුරුද්දක් අප්‍රසන්නව සිටියේ කවුරුන් කෙරෙහිද? පව්කළාවූ, තමුන්ගේ මළකඳන් කාන්තාරයේ වැටුණාවූ තැනැත්තන් කෙරෙහි නොවේද?

යේසුස්වහන්සේ නිසා ගන්නාවූ ඔබේ තීරණවල ස්ථීරව සිටින්න.

මතෙව් 10:36
මනුෂ්‍යයෙකුගේ සතුරෝ නම් ඔහුගේම ගෙයි වැසියෝය.

දේව කැමැත්තට කිරීමට ඇති බාධාවට යට නොවී, මනුෂ්‍යයන්ව නොව දෙවියන්වහන්සේව සතුටු කරන්නන් වෙමු.

ක‍්‍රියා 4:18
තවද ඔව්හු ඔවුන් ගෙන්වා, යේසුස්වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කථා නොකරන ලෙසද නූගන්වන ලෙසද ඔවුන්ට ආඥාකළෝය. 19 නුමුත් පේතෘස්ද යොහන්ද ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේට ඇහුම්කන්දීමට වඩා නුඹලාට ඇහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා නුඹලාම විනිශ්චයකරන්න.

සභාව ආරම්භයේදී ආගමික මනුෂ්‍යන්ගෙන් ඇතිවූ පීඩාවලදී ගෝලයන් දෙවියන්වහන්සේට පමණක් ඇහුම්කන් දුන්නෝය.
ඔබද දෙවියන්වහන්සේට කීකරු වීමට තෝරා ගත යුතුය.

ක‍්‍රියා 5:28-29
මේ නාමයෙන් නූගන්වන්ට නුඹලාට තදින් ආඥාකෙළෙමුව. එහෙත් නුඹලා නුඹලාගේ ඉගැන්වීමෙන් යෙරුසලම පුරවා, ඒ මනුෂ්‍යයාගේ ලේ අප පිට පමුණුවන්ට සාදන්නහුයයි ඔවුන්ට කීවේය.29 පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තරදෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.

යේසුස්වහන්සේගේ ලේ වල බලය ගැන එදා ගෝලයන් කතා කළ ආකාරයටම ඊට අවුරුදු 2000 කට පසුව අද පවා අප තවමත් ඒ ලේ වල බලය ගැන කතා කරන්නේය.

ඒ ගැන කථා කිරීම වැලැක්වීමට කුමන බාධාවන් ආවද යේසුස්වහන්සේ ගැන සුභාරංචිය හැරෙන්නට වෙන ආරංචියක් අපගෙන් පිට නොවිය යුතුය.

අපි සියළු දෙනාටම දෙවියන්වහන්සේ ඉදිරියේ, මනුෂ්‍යයන් අතර උන්වහන්සේගේ සාක්ෂිකරුවන් වීමට ලැබී ඇති කැඳවීම සුළු නොකරමු.

යෙසායා 44:8
තැතිගන්ටවත් භයවෙන්ටවත් එපා; මම පුරාණයේ පටන් නුඹට ප්‍රකාශකර නොදැන්නුවෙම්ද? නුඹලා මාගේ සාක්ෂිකාරයෝය.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරන නිසා දේව වචනය සනාථ කරන සේක.

ක‍්‍රියා 1:8
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

අපි ආත්මික සේවකයන් වන්නෙමු, යේසුස්වහන්සේ ගැන නිර්භයව පවසන්නට හැකියාව අපට ඇත.

රෝම 8:11
තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

ආත්මයාණන්වහන්සේ මාගේ මරණීය ශරීරය ජීවත් කරන තැනැත්තාණෝය.

ක‍්‍රිස්තුස්වහන්සේ අප නිදහස් කර ඇති නිසා අපි නිදහසේ ගමන් කරමු.

මා ජීවත් වන්නේ මාගේ බලයෙන්වත් හැකියාවෙන්වත් නොව උන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙනය..

උන්වහන්සේගේ ආත්මය නැතිව හරි ආකාරව සිතීමට පවා අපට නොහැකිය.

දිනපතා උන්වහන්සේගෙන් ලැබෙන මගපෙන්වීම් වලට කීකරු වෙමු.

යේසුස්වහන්සේව අපායේ තැබීමට යක්ෂයාට නුපුළුවන් වූයේ ශුද්ධාත්මයාණන්වහන්සේ අපායට ගොස් උන්වහන්සේව මළවුන්ගෙන් නැඟිටෙවූ නිසයි.

අපේ ජීවිතය අපායක් කිරීමට යක්ෂයාට නොහැකි වන්නේ ඌව සම්පූර්ණයෙන්ම පරාජය කළ දෙවියන්වහන්සේ මා තුළ වාසය කරන නිසයි.

මේ පොළොවේ ස්වර්ගීක ජීවිතයක් අපට හිමිව ඇත.

යෙසායා 44:8
තැතිගන්ටවත් භයවෙන්ටවත් එපා; මම පුරාණයේ පටන් නුඹට ප්‍රකාශකර නොදැන්නුවෙම්ද? නුඹලා මාගේ සාක්ෂිකාරයෝය. මා ඇර වෙන දෙවිකෙනෙක් ඇද්ද? නැත, වෙන පර්වතයක් නැත;

උන්වහන්සේ එදත්, අදත් සදාකාලයටම එකාකාරයි. උන්වහන්සේගේ වචන බලවන්තයි.

අප ඒ වචන ප‍්‍රකාශ කරන විට ශුද්ධාත්මයාණන්වහන්සේ ඒ වචන සනාථ කරන සේක. දෙවියන්වහන්සේගේ වචනය හිස් දෙඩවිලි නොවේ.

ඔබ ධර්මිෂ්ඨයෙක් නම් ඔබ ජීවත් වන්නේ ඇදහිල්ලෙනි.

යොහාන් 6:62
මේක නුඹලාට බාධාවක්ද? එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටිය තැනට නගිනවා නුඹලා දුටුවොත් කිමෙක්ද?

අද අප යේසුස්වහන්සේගේ ගෝලයන්ය.

උන්වහන්සේ අපව මෙවැනි කාලයක තබා තිබෙන්නේ සාක්ෂිකාරයෙකු වන පිණිසයි, උන්වහන්සේගේ නාමය ඔසවන පිණිසයි.

යොහන් 6:63
ජීවත්කරන්නේ ආත්මයය;

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබව ජීවත් කරන, සුවපත් කරන, ඔබේ ජීවිතයේ සියල්ල කරමින් ඔබ තුළ වාසය කරන සේක.

2 කොරින්ති 3:17
ඉදින් ඒ ස්වාමීන්වහන්සේ ආත්මයාණන්වහන්සේය. ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය.

ශුද්ධාත්මයාණන්වහන්සේ සිටින ස්ථානයේ ඔබට නිදහස ඇත.

පාවුල්තුමා හිර ගෙදර සිටියද ඔහු කථා කළ වචන නවත්වන්නට කිසිවෙකුට නොහැකි විය.

ඔහු ලබාගත් බොහෝ එළිදරව් ඔහු ලැබුවේ සිරගෙදරදී වූවත් ඒ සියල්ල ලිපි වලින් මනුෂ්‍යයන්ට පැවසීමට ඔහුට හැකි වූයේය.

යොහාන් 6:63
ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.

ඔබගේ රෝග ලක්ෂණ ඉවත්වන තුරු බලා සිටීම නිශ්ප‍්‍රයෝජනය.

ඔබේ මාංශය කුමක් කීවත් ශුද්ධාත්මයාණන්වහන්සේ පැවසූ දෙය සත්‍යයය.

අප ආත්මයක් බැවින් නිතරම සුවයෙන් සිටිමුව.

දෙවියන්වහන්සේගේ වචනය ආත්මය හා ජීවනය වේ.

අපි නිදහසේ ජීවත් වෙමු, අපි කැරළිගසන්නේ නම් එකිනෙකාට විරුද්ධව නොව යක්ෂයාට විරුද්ධව කැරළි ගසමු.

අපේ ජීවිතයට විරුද්ධව කිසිදු ආධිපත්‍යයක් ඌට නැත.

සතුරා විසින් දිනපතා සාදා ඇති බලකොටු විනාශ කිරීමට නම් සුභාරංචි වචනය අසමින් සිටින්න.

අපගේ මනසේ ඇති භය නමැති බලකොටු දේව වචනයෙන් විනාශ කර දමමු.

යෙරෙමියා 23:29
මාගේ වචනය ගින්නක් මෙන්ද පර්වතය පොඩිකරන කුළුගෙඩියක් මෙන්ද නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

දෙවියන්වහන්සේගේ වචනයෙන් අපේ ජීවිතයේ සමහර දේවල් සම්පූර්ණයෙන් විනාශ වී යා යුතුය.

ඔබේ මානසිකත්වය වෙනස් කිරීමට දේව වචනයට හැකිය.

ත්‍යාගශීලී මනසක් ඇතිව ජීවත් වෙමු, එවිට අප ජීවත් වෙන්නේ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය ඇතුවයි.

හිතෝපදේශ 11:24-25
24 විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත. 25 ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.

ත්‍යාගශීලී මනසක් ඇතිව ජීවත් වන විට අපි අපේ වස්තුව වැඩි කර ගන්නෝ වෙමු.

අපෙන් යැපෙන පිණිස මනුෂ්‍යයන්ව බැඳ තබා නොගනිමු.

අපගේ සැපයුම්කරු මනුෂ්‍යයෙක් නොව, දෙවියන්වහන්සේම විය යුතුය.

යෙසායා 48:17
නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.

වැඩිවීමක් ඇති කර ගැනීමට, ප‍්‍රයෝජන ලබා ගැනීමට, අපේ මිදුම්කරුගේ ඉගැන්වීම අන් අයට උගන්වන්නට අවශ්‍යයයි.

අපි ඉගෙන ගැනීමේ සේවය සුළු කරනවානම් අපට ප‍්‍රයෝජන ලබා ගත නොහැකි වේ.

අපි ආබ‍්‍රහම්ගේ වංශය නිසා අපි ආශීර්වාද ලද්දෝය.

අපි එකිනෙකාගෙන් යැපෙමින් නොසිට අන් අයට ආශීර්වාදයක් වන්නේ කෙසේදැයි ඉගෙන ගනිමු.

උන්වහන්සේ අපව බහුලත්වයේ ජීවිතයක් ගත කරන පිණිස කැඳවා ඇත.

උත්පත්ති 12:2
මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න.

ඔබ ආශීර්වාදලද්දෙකි, වචනයෙන්, මුදල්වලින්, යාච්ඤාවෙන් ඔබට ඇති සියල්ලෙන් අන් අයට ආශීර්වාදයක් විය යුතුය.

යක්ෂයන් දුරු කිරීම ආශීර්වාදයකි, දෙවියන්වහන්සේගේ රැකවරණය අප සමඟ බැවින් භය නොවී, නොකැලඹී වචනය ප‍්‍රකාර ජීවත් වෙමු.

ඔබගේ සැපයුම්කැරු දෙවියන්වහන්සේය. ඔබ වපුරන දේ අසවැන්නක් ලෙස උන්වහන්සේගෙන් ලැබෙන බව විශ්වාස කරමු.

දේශනාකාරයා 11:1
නුඹේ ආහාර ජලය මතුපිට දමන්න. කුමක්හෙයින්ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි.

ඔබ වපුරන විට බෙහෝ දවසකට පසුව වූවත් දෙවියන්වහන්සේ ඔබට අස්වැන්න දෙන සේක.

දෙවියන්වහන්සේ ඔබට දීමට පොරොන්දු වී ඇති ප‍්‍රකාරයට සැපයීමට මේ ලෝකයේ එකම බැංකුවකට වත් කළ නොහැකිය.

ඔබගේ වස්තුව ඇති තැන ඔබේ සිත තිබෙන බැවින් ඔබේ සිත උන්වහන්සේ කෙරෙහි තබන්න.

දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ කාරණා මට අලාභයක් නොව ආශීර්වාදයක් ලෙස නැවත හැරී එනු ඇත.

ලෝකයේ ආර්ථීක තත්වය දෙස බලමින් භය නොවෙමු, එය ගොලියත් මෙන් පෙනුනද, ඒ සමඟ අපට ගිවිසුමක් නැත.

යක්ෂයාට දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් නැති සේ අප සමඟද ඌට ගිවිසුමක් නැත, මන්ද අපි සැපයීම පැමිණෙන දෙවියන්වහන්සේ කෙරෙහි ප‍්‍රීතියෙන් ත්‍යගශීලීව ජීවත්වෙමු.

දේව රාජ්‍යයට ඔබගේ වැපිරීම ක්ෂණිකව නැවත ඔබ වෙත ගෙනෙන සූදූ ක‍්‍රීඩාවක් මෙන් නොවේ.

ඔබ ධර්මිෂ්ඨව සිටින විට උන්වහන්සේ කිසිදු යහපත් දෙයක් ඔබගෙන් නොවලක්වන සේක.

ඔබ ජංගම දේව මාළිගාවකි.

දේව වචනය ධෛර්යමත්ව අන්‍යයන් සමඟ කථා කරන්න.

මලාකි 3:14-15
නුඹලා කථාකොට: දෙවියන්වහන්සේට සේවයකිරීම නිෂ්ඵලය. අපි උන්වහන්සේගේ නියමය පවත්වා, සේනාවල ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශෝකලෙස හැසුරුණායින් ඇති වාසිය මොකද? 15එබැවින් උඩඟු තැනැත්තෝ වාසනාවන්තයෝයයි අපි දැන් කියමුව; එසේය, දුෂ්ටකම්කරන්නෝ දියුණුවෙති; ඔව්හු දෙවියන්වහන්සේ පරීක්ෂාකළ නුමුත් ගළවනු ලබතියි කියන්නහුය.

ඔබගේ තරුණ වයසේ භාර්යාවට කිසිවිටවත් ද්‍රෝහිකම් නොකරන්න.

අප අන් අය වෙනස් වන පිණිස ධෛර්යමත්කමේ වචන කථා කරමු.

අප යහපත් වචනයෙන්, මුදල්වලින්, යාච්ඤාවෙන් යමක් දෙන පිණිස නිතරම සෑදී සිටිමු.

අප වෙතට එන මනුෂ්‍යයන් හිස් අතින් නොයවමින්, දේව වචනයෙන් ඔවුන්ව ප‍්‍රාණවත් කරමින්, ශක්තිමත් කරමින් යවමු.


දෙවියන්වහන්සේ ඔබ තුළින් සියල්ල කරන සේක, බොරු අනාගතවක්තෘන් පසුපස රැවටී නොයන්න, ඔවුන් සමඟ සම්බන්ධතා ගොඩ නඟා නොගන්න.

කිසිවෙකුට දොස් නොකියමින් මාංශය අනුවද නොයමින් ආත්මිකව දෙවියන්වහන්සේ සමඟ ඇදහිල්ලෙන් නිවැරදි සම්බන්ධතාවය ගොඩ නඟා ගනිමු.


Watch the Sermon Video

Read 157 times