+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

බොහෝ සමූහයෝ යේසුස්වහන්සේ අනුව ගියෝය; උන්වහන්සේ ඔවුන් සුවකළ සේක.- මනූ මැතානි

August 20, 2023 Sunday Sermon Notes


භක්තිවන්තකමෙන් ජීවත් වීම ඉතා අලංකාරය.

අපි ලෝකයේ සිටින විට ඔවුන් අපේ භක්තිවන්තකම දැකිය හැකියි, නමුත් ඔවුන්ට පෙනෙන පිණිස නොව දෙවියන්වහන්සේ ඉදිරියේ අපි කැපවෙමින්, භක්තිවන්තව ජීවත් වෙමු.

අප ජීවත් විය යුත්තේ ස්වාමීන්වහන්සේ වෙනුවෙනුයි.

1 තිමෝති 6:6
ලත් පමණින් සතුටුවීම සමඟ භක්තිවන්තකම මහත් ලාභයක්මය.

අපගේ රැකියාව ගැන, වැටුප ගැන අසතුටු නොවෙමු.

සමහර අයට කොයිතරම් දේවල් ලැබුණත් තෘප්තිමත් නොවේ.

දෙවියන්වහන්සේ අප සමඟ බැවින් අපි භය නොවී සිටිමු.

හෙබ්‍රෙව් 13:5
නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.

දෙවියන්වහන්සේ කිසිම විදිහකින් අපව අත්නාරින සේක.

එය අපේ ඇදහිල්ලේ ගමනයි.

මනුෂ්‍යයන්ට පෙන්වන්නට අපේ අතේ කිසිවක් නැති වුනත් දෙවියන්වහන්සේ අපගේ සැපයීමයි.

කොහෙත්ම, කිසිසේත්ම, මොනම හේතුවක් නිසාවත් උන්වහන්සේ අපව අතහැර නොයයි.

දෙවියන්වහන්සේ අප සමඟ බව අපගේ කථාවෙන් තහවුරු කිරීම කළ යුතුය.

තෘෂ්ණාව ගැන කථා නොකර සිටිමු, එය අපේ මනසින් ඉවත් කර ගත යුතුය.

සමහර විට ලෝකයේ මනුෂ්‍යයන්ට ඇති දේවල් ඔබ ළඟ නැති විය හැකිය, නමුත් ඔබ තුළ වාසය කරන තැණැන්වහන්සේ ඔවුන්ට නොමැත, ඔබට ඇති විශ්වාසය ඔවුන්ට නැත, ඒ වෙනුවට ඔවුන්ට ඇත්තේ බියයි.

නමුත් අපි ස්ථීරව, නොබියව, ධෛර්යයමත්ව සිටිමු.

මනුෂ්‍යයන්, කාලය, මේ කුමක් වෙනස් වූවත් අපි එක සිතකින් හා එක මනසකින් ජීවත් වීම වැදගත්ය.

අන් අයගේ වචන වලින් නොසැලී අපේ ප‍්‍රකාශණයෙහි, ගමනෙහි ස්ථිරව පවතිමු.

උන්වහන්සේ අපේ සුවය හා සියල්ලෙන් සියල්ලයි.

මතෙව් 19:2
බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය; උන්වහන්සේ එහිදී ඔවුන්ට සුවකළසේක.

සුවයෙන් ජීවත් වන පිණිස අපේ ඇදහිල්ල ගොඩනඟා ගමු.

දෙවියන්වහන්සේ අපේ සුවය බව සැක නොකර හදවතින්ම විශ්වාස කරමු.

සමහර විට අන් අයගේ ඇදහිල්ල හෝ ජීවිත ගැන අපි දෙවියන්වහන්සේගෙන් නොවිමසා සිටිමු, මන්ද ඔවුන් ගැන අපට ප‍්‍රශ්න කළ නොහැක.

නමුත් අපට උන්වහන්සේ සමඟ පෞද්ගලික සම්බන්ධයක් ඇත.
උන්වහන්සේ අප තුළ වාසය කරමින්, අපට අලුත් ආරම්භයක් දුන් සේක.

මතෙව් 12:15
නුමුත් යේසුස්වහන්සේ ඒ දැන එතැනින් අහක්ව ගියසේක. බොහෝ සමූහයෝද උන්වහන්සේ අනුව ගියෝය; උන්වහන්සේ සියල්ලන්ට සුවකොට,

කොයිතරම් විශාල සෙනඟක් සිටියත් ඔබගේ සුවය කෙරෙහි ඔබ විශ්වාස කරන්න.

ඔබ උන්වහන්සේගේ අනුගාමිකයෙක්ද? එසේ නම් උන්වහන්සේගේ සුවය අනිවාර්යෙන්ම ඔබට ඇත.

විශාල පිරිසක් මැද වූවත් උන්වහන්සේ අද දවසේ ඔබ මා සුව කරන, සපයන දෙවියන්වහන්සේය.

දෙවියන්වහන්සේ බොරු නොකියන තැණැන්වහන්සේය.

උන්වහන්සේ එදා කළ දේවල් අදද කරමින් සිටින සේක, අපේ අවශ්‍යතාවයන්ට වඩා අපට දීමට උන්වහන්සේට පුළුවන.

දෙවියන්වහන්සේ සියල්ලේ මැවුම්කරු නිසා උන්වහන්සේට කිසි හිඟයක්, කිසි අඩුවක් ඇතිවන්නේ නැත.

ඒ නිසා අපි අපගේ ඇදහිල්ල ගොඩනඟා ගමු.

අධෛර්‍යමත් නොවී සිටින්නට පුරුදු වෙමු.
අපි කණස්සලු වීමට, අධෛර්‍යමත් වීමට ඉඩ නොදෙමු.

දෙවියන්වහන්සේ කිසිදා අධෛර්‍යමත් නොවන සේක.

යෙසායා 40:28
පොළොවේ සීමාවල මැවුම්කාරවූ ස්වාමීන්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය.

ක්ලාන්ත වීමත් වෙහෙසට පත් වීමත් දෙකම එක් වූවිට අධෛර්‍යමත් වෙනවාමයි. නමුත් අපගේ දෙවියන්වහන්සේ වාගේම අපි සිටිමු.

මන්ද අපි උන්වහන්සේගේම පුත‍්‍රයන්ය.

දෙවියන්වහන්සේ ස්වර්ගයේ වාසය කරන්නා සේම ඔබද මාද ස්වර්ගීය පුරවැසියන් වන්නෙමු.

පියාගේ ස්වභාවය දරුවන්ට යම්සේද අපිද අපේ ස්වර්ගීය පියාණන්ගේ ස්වභාවය දරන්නෝ වෙමු.

දෙවියන්වහන්සේ උන්වහන්සේ සේම සිටීමට අපව උනන්දු කරන සේක.

අපව අධෛර්යයමත් කරන පිණිස යක්ෂාවේශව සිටින අය ආවද අපි නොසැලී සිටිමු.

අපි යේසුස්වහන්සේ දෙස බලමු, මන්ද උන්වහන්සේට විරුද්ධව ආ පරිසිවරු නිසා උන්වහන්සේ කවදාවත් අධෛර්ය නොවූ සේක.

යෙසායා 40:29
උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක.

පසුගිය කාලයේදී වූ සමහර දේවල් නිසා ඔබ ක්ලාන්තවී සිටියෙහිද?

දෙවියන්වහන්සේගේ ශක්තිය ලබා ගන්නා පිණිස ඔබ උන්වහන්සේ ඉදිරියට යන විට උන්වහන්සේ ඔබට ශක්තිය දෙන තැණැන්වහන්සේය.

අපි ජීවත් වෙන්නේ ලෝකයේ බංකලොත් ක්‍රමයට නොවේ, නමුත් දෙවියන්වහන්සේගේ බහුලත්වයේ ක්‍රමයටයි.

අප තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින්නේ නම් අපි ක්ලාන්ත වන්නේ වත්, දුක් වන්නේ වත් නැත.

අප තුළ වාසය කරන තැණැන්වහන්සේ ප්‍රේමය බැවින් උන්වහන්සේ සියල්ල දරාගන්න සේක.

අපි අතිශයින් ජයගත් සෙනඟ වෙමු.

පරණ ගිවිසුමේ හා අලුත් ගිවිසුමේ ඇදහිල්ලෙන් ජීවත්වූ සෙනඟ ජයගත්තෝය.

නමුත් පරණ ගිවිසුමේ හා අලුත් ගිවිසුමේ නොඇදහිලිකාරකමෙන් ජීවත් වූ සෙනඟ පරාජිතයෝය.

ඔබ ලෝකයෙන් ජය ගන්නේ ඇදහිල්ලෙනි.

ඇදහිල්ලෙන් ජය ගත්තාවූ සෙනඟ ගැන හෙබ්‍රෙව් 11 වෙනි පරිච්ජේදයේ දක්වා තිබේ.

1 සාමුවෙල් 30:6
දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.

ඔබ ඔබගේ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගන්න.

ඔබ තුළ වාසය කරන දෙවියන්වහන්සේ ‘’බලය’’ නිසා, අද දින ඔබ තුළින්ම මේ බලය නිකුත් වන්නේය. එය ක‍්‍රියාත්මක වන්නේද ඔබ තුලින්මය.

ඔබ පීඩාවේදී නොසැලී සිටින්න.

පීඩාවේදී දෙවියන්වහන්සේගේ පොරොන්දු සිහි කරමින් ශක්තිය උපදවා ගත යුතුය.

දාවිත්ව රජකමට ආලේප කර තිබුනද එවකට රජව සිටි සාවුල් දාවිත්ට විරුද්ධව සිටි නිසා ඔහුට සැඟවී සිටින්නට සිදු විය, මේ අතර ඔහුට එකතුව සිටියාවූ සෙනඟට පැමිණි මේ විපත්තියේදී ඔවුන්ද දාවිත්ට විරුද්ධව නැගී සිටියේය. (1 සාමුවෙල් 30:1-6)

බාහිරව කොපමණ පීඩා පැමිණියද අපගේ අභ්‍යන්තරයේ ශක්තිය උපදවා ගැනීමට එය බාධාවක් නොවේ.

අපට ගසන පිණිස මනුෂ්‍යයන් පර්වත අතට ගත්තද අපි බිය නොවෙමින්, නොසැලී සිටිමු.

ගීතාවලිය 118:17
මම නොනැසී, ජීවත්ව සිට, ස්වාමීන්ගේ ක්‍රියා ප්‍රකාශකරන්නෙමි.

ප‍්‍රශ්නවලදී ඔබ අත් ඔසවා යක්ෂයාට යටත් නොවී, අත් ඔසවා දෙවිඳුන්ට ප‍්‍රසංශා කරන්න.

පීඩාවේදී ඔබේ ප‍්‍රතිචාරය කුමක්ද?

ඔබ ප්‍රතිචාරය දක්වන ආකාරයටම ඔබට ප්‍රතිඵල ලබා ගත හැකියි.

ඔබේ සියල්ල නැතිවූවා යයි සිතන්නේ නමුත් ඔබේ ගැළවීම තවමත් ඔබ තුළ පවතී.

බාහිර සියලු දේ නැති වූ පමණින් ඔබ අනාථයෙකු වන්නේ නැත, මන්ද ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ තුළ වාසය කරන නිසාවෙනි.

පිලිප්පි 4:13
මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.

මගේ සැපයීම එහිදී මට ලැබෙන්නේය.

ඔබව විලංගු වලින් බැඳ සිර කිරීමට යක්ෂයාට නොහැකියි.

දාවිත් තම සතුරන් පසුපස ලුහුබැද යන්නට දෙවියන්වහන්සේගෙන් විමසා සිටි අවස්ථාවේදී දෙවියන්වහන්සේ ඔහුට යන්න යයි කියමින් ඔහුට නැති වූ සියල්ල නැවත ලබා ගන්නට යන බව පැවසූ සේක. (1 සාමුවෙල් 30:8)

ඔබේ ජීවිතය තවම අවසාන වී නොමැත.

පාවුල් තුමා යාච්ඤා කළේ ‘’මාගේ ඉකුත්වීමේ කාලය පැමිණ තිබේ’’ ලෙසය, ඔහුට ජීවත් වීම හා මරණය තෝරා ගැනීමට තිබුණු අතර ඔහු ජීවත්වීම තෝරා ගත්තේය. (පිලිප්පි 1:21-25)

යක්ෂයා මිනීමරුවෙකුය. ඌ මරණීය ආත්මයකි.

යොහන් 8:44
නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.

යක්ෂයාගේ වචන වලට සවන් නොදෙන්න.

ඌ කොතරම් මනුෂ්‍යයන්ව මරණයට, ඔත්පල තත්වයට හා ඇවිදින මළ කදන් ලෙසට පත් කර තිබේද?

ඔබ ජීවත් වී ස්වාමීන්ගේ නාමයට ප‍්‍රසංශා කරන්න.

නාහූම් 2:1
කැබෙලිකොට කඩන්නා නුඹේ මුහුණට විරුද්ධව නැගී ආයේය. බලකොටුව රැකවල්කර, මාර්ගය මුරකර, ඉඟටි බලවත්කර, නුඹේ ශක්තිය ඉතා බලවත්කරගන්න.

කැබෙලිකොට කඩන්නා යක්ෂයාය, අපගේ සතුරාය.

යක්ෂයා ඔබව විනාශ කරන පිණිස ඔබේ මුහුණ ළඟටම පැමිණ තිබේ.

ගීතාවලිය 127:5
එයින් පිරුණු ඊකොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. ඔව්හු දොරටුවේදී සතුරන් සමඟ කථා කරන විට ලජ්ජාවට පත් නොවන්නෝය.

ඔබ බිය නොවෙමින් ඌට විරුද්ධව සූදානම් වන්න.

ඔබට තවත් අවස්ථාවක් තිබේ.
දෙවියන්වහන්සේගේ පොරොන්දු සිහි කරමින් නැවත නැඟිටිමු.

ඔබ යක්ෂයන්ව දුරු කළ යුතුය, නැතහොත් යක්ෂයා ඔබව දුරු කරනු ඇත.

යේසුස්වහන්සේගේ නාමයේ බලය ඇත්තේ අපටය, ඒ නාමයේ බලය පාවිච්චි කරමින් යක්ෂයාව දුරු කර නැවත නැඟිටිමු.

දාවිත් උපකාර කළාවූ මිනිසුන්ම ඔහුට විරුද්ධව නැඟිටුන විට ඒ මිනිසුන් දෙස නොව, ඔහුගේ උපකාරය වූ දෙවියන්වහන්සේ දෙස බලමින් ඔහු ශක්තිය උපදවා ගත් ආකාරයට අපිද ශක්තිමත් වෙමු.

අපේ උපකාරය හා විශ්වාසය දෙවියන්වහන්සේ මත තබමු.

දාවිත් දෙවියන්වහන්සේගේ උපදෙස්ද පිලිපැද්ද නිසා නැතිවූ සියල්ල ලබා ගැනීමට ඔහුට හැකි විය.

එපීස 4:27
යක්ෂයාට ඉඩ නොදෙන්න.

සිතුවිල්ලකින් පවා යක්ෂයාට ඉඩ නොදෙමු.

2 කොරින්ති 10:5
අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.

අපගේ මරණයට දින වෙන් කරන්නේ හා මරණිය සිතුවිලි ගෙන එන්නේ, ඒ වචන කථා කරන්නේ යක්ෂයාය.

අපට එන සිතුවිලි පවා මරණයේද ජීවනයේද යන වග සොයා බලමු.

යක්ෂයා වාතාවරණයේ දෙවියා ලෙස සිටින නිසා ඔබගේ වාතාවරණයට ඔබ යට නොවී සිටින්න.

කෙටි මාර්ග අප විනාශයට ගෙන යන බැවින් අපි සැලකිලිමත් වෙමු.

මරණීය සිතුවිලි වලට ඉඩ නොදෙමින්, ඇදහිල්ලෙන් ඉවත්ව නොයමු.

මරණයේ, රෝගයේ, පරාජයේ, අධෛර්යමත්කමේ, විනාශයේ සුවඳ අප තුළින් නික්මීමට ඉඩ නොදෙමු.

අප මනුෂ්‍යයන් සමඟ හිස් දෙඩවිලි, ඕපාදූප නොව දෙවියන්වහන්සේගේ ධෛර්යමත්කමේ, ජයග‍්‍රාහී වචන කථා කළ යුතුය.

අපි මරණයට භිය නොවෙමු.

දෙවියන්වහන්සේ අපට භයාදුකමේ ආත්මයක් දී නැත.

1 යොහන් 4:18
ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි.

දෙවියන්වහන්සේ සම්පූර්ණයෙන් අප තුළ වාසය කරන සේක.

භය නිසා වධ දෙන සිතුවිලි ඔබට පැමිණිය හැකිය.

එපීස 6:10‭-‬12
ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙන්න. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න. මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.

ලේ හා මාංශය සමඟ සටන් නොකරන්න, එසේ කළොත් ඔබ පරාද විය හැකියි.

යක්ෂයා මනුෂ්‍යයන් හරහා ඔබට පීඩා ගෙන ආවත්, ඔබගේ ප‍්‍රශ්නය ඔවුන් සමඟ නොවේ.

ඔබ යුද්ධ කළ යුත්තේද, ජයග‍්‍රහණය ලබා ගත යුත්තේද, ආත්මීක තලයේ බැවින් ඔබ ආත්මීක තලයට කතා කළ යුතුයි.

එපීස 6:13‭-‬18
එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණකරගන ස්ථිරව සිටින්ටත් පුළුවන්වෙන පිණිස, දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ අරගන්න. එබැවින් නුඹලාගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන, ධර්මිෂ්ඨකම නැමති ළයවැස්ම පැළඳගෙන, සමාදානයේ ශුභාරංචියේ සූදානම නැමති වහන් පයලා සිටින්න. ඒ සියල්ල ඇර, ඇදහිල්ල නැමති පලිහ අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට නුඹලාට පුළුවන්වන්නේය. ගැළවීම නැමති ආරක්ෂාතොප්පියද දෙවියන්වහන්සේගේ වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ කඩුවද ගන්න. සියලු යාච්ඤාවලින්ද ඉල්ලීම්වලින්ද සියලු කාලවලදී ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤාකරන්න.

යක්ෂයාගේ බාධා පීඩා මැද අපි දෙවියන්වහන්සේ දෙස බලාගෙන ගමන් කළ යුතුයි, එවිට අපට නිවැරදි මාවතේ ගමන් කළ හැකිවෙයි.

විශාල සමූහයක් අතර වූවත් දෙවියන්වහන්සේ ඔබව දකින සේක.

උන්වහන්සේ ඔබේ ජීවිතයේ සුවය ඇතුළුව සියල්ල කර දෙන සේක.

උන්වහන්සේට කළ නොහැකි දෙයක් නොමැත.

අපි උන්වහන්සේව අනුගමනය කරමින් සුවය, සමාදානය, සඵලත්වය, බහුලත්වය හා සියල්ල උන්වහන්සේගෙන් ලබා ගනිමු.


Watch the Sermon Video

Read 167 times