+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

භක්තිවන්තකම අනුව යන්න - යෝෂා මනූ
August 20, 2023 Sunday Sermon Notes


යෝෂුවා තුළ තිබූ භය දෙවියන්වහන්සේ දුටු හෙයින් ඔහුට භයවෙන්න එපා, කැළඹෙන්න එපා යයි කියමින් කිහිප වතාවක්ම ඔහුව ධෛර්යමත් කරන ලදි. (යෝෂුවා 1:6-7,9)

ආත්මික තලයේ දෙවියන්වහන්සේ අපට ජීවනයේ වචන කථා කරන කල අපට භය නොවී ජීවත් වීමට පුළුවන.

අපව යක්ෂාකාර දේවල් වලට පොළඹවන්නේද ආත්මික තලයෙන් පැමිණෙන පරාජිත සිතුවිලි තුළින්ය. ඒ අවස්ථාවේදී අප එයට විරුද්ධව කථා කල යුතුයි.

භයාදුකමේ ආත්මය වධ දීමේ ආත්මයකි. එය අපට වධදීමට පටන් ගනී. එය දඬුවමට පත් කිරීමේ ආත්මයකි. එය ඔබව පහතට හෙලා දමනු ලබයි. ඔබගේ මනස තුළ වියවුල්භාවය හටගන්වයි.

භයාදුකමේ ආත්මය පැමිණෙන කළ ඔබ වෙව්ලමින් නොසිට එයට විරුද්ධව කථා කළ යුතුය.

මාගේ දෙවියන්වහන්සේ මගේ උපකාරකයාණෝ බැවින් මා භය නොවන්නෙමි. මා නොකැළඹෙන්නෙමි කියා ඔබ ප‍්‍රකාශ කළ යුතුය.

පසුගිය සතිවල අප යායුතු ආකාර පිළිබඳ හැදෑරුවෙමු.
එනම් දෙවියන්වහන්සේ අනුව යන්න, ප‍්‍රේමය අනුව යන්න, ධර්මිෂ්ඨකම අනුව යන්න. අප මේ දේවල් පසුපස යා යුතුය. මේ දේවල් අපගේ ජීවිතයට තෝරා ගත යුතුය.

අද අප භක්තිවන්නකම අනුව යන්න ඉගෙන ගනිමු.

භක්තිවන්තකම යන වචනය අප අතර බොහෝ දුරට පාවිච්චි නොවන අතර අප සිතන්නේ එය ආගමික වචනයක් කියාය.

භක්තිවන්තකම යන වචනයෙහි අර්ථය අප දේව වචනය තුළින් බලමු.

1 තිමෝති 6:11
නුමුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, නුඹ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න.

1 තිමෝති 6:12
ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.

ඔබට යක්ෂයාට විරුද්ධව ක‍්‍රියා කරන්න ඕනේ නම් මෙම ගුණාංග අවශ්‍ය වන්නේය.

ඇදහිල්ලේ සටනක් යනු මනුෂ්‍යයන්ට විරුද්ධව කරන සටනක් නොවේ. එය නොපෙණෙන තලයේ ආත්මික බලකොටු බිඳ හෙලමින් යක්ෂයාට විරුද්ධ වෙමින් දේව වචනය තුළින් ප‍්‍රහාරය එල්ල කිරීමයි.

ඇදහිල්ලේ යහපත් සටන යනු යක්ෂයා සමඟ මුහුණට මුහුණ සටන් කිරීම නොවේ. අපි එසේ කළත් අපට ජය ගැනීමට නොහැකි වේ.

අප සටන් කළ යුතු වන්නේ දේව වචනය තුළින්ය.

යක්ෂයා ඔබ වෙතට එවන සිතුවිලි, එනම්: "ඔබ වටින්නේ නැහැ, කවුරුත් ඔබට ප‍්‍රේම කරන්නේ නැහැ" යනාදිය ඔබ බිඳහෙළිය යුතුවන්නේ දේව වචනය තුළින්ය.

ඇදහිල්ලේ යහපත් සටන යනු දේව වචනය තුළින් සටන් කිරීමය.

දෙවියන්වහන්සේ පවසන පරිදි වචනය තුළින් සටන් කිරීමෙන් ඔබ ජයග‍්‍රාහිකයෙකු වන්නේය.

දේව වචනය පවසන්නේ ලෝකයට සම්පූර්ණයෙන්ම විරුද්ධ දේවල්ය.

ප‍්‍රේම කරන්න, සමාව දෙන්න බැරි අයට ඔබ ප‍්‍රේම කරන්න, ඔබ සමාව දෙන්න,

ඔබට විරුද්ධව ද්‍රෝහි ක‍්‍රියා කරන අයට, ඔබ යාච්ඤා කරන්න, ඔබේ සතුරන්ට සලකන්න යයි උන්වහන්සේ පවසන සේක.

ලෝකයා එකිනෙකාට විරුද්ධව ක‍්‍රියා කරන්නට ඔබව පොළඹවන නුමුත් දෙවියන්වහන්සේ පවසන්නේ ලෝකයාට සම්පූර්ණයෙන් විරුද්ධ දේවල්ය.

අපට විරුද්ධව ක‍්‍රියාකරන්නේ මනුෂ්‍යයන් නොවේ යක්ෂයාය. මනුෂ්‍යයන් පිටුපසින් ක‍්‍රියාකරන්නේ යක්ෂයාය.

මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ වචනය තුළින් පූර්ණ නොවී සිටින අවස්ථාවේ දී, නැත්නම් යක්ෂයාගේ සිතුවිලි වලින් පිරී සිටින අවස්ථාවේ දී දෙවියන්වහන්සේගේ දරුවන්ට විරුද්ධව ක‍්‍රියා කරන්නේය.

මාංශයට ඇලුම් වී සිටින මනුෂ්‍යයන් ඔබට විරුද්ධව ක‍්‍රියා කරන අවස්ථාවේ දී ඔබ නිතරම දේව වචනය භාවිතා කිරීමෙන් එය ඇදහිල්ලේ යහපත් සටනක් වන්නේය.

දෙවියන්වහන්සේ පවසන පරිදි දේව වචනය තුළ ඔබ තිබෙනවා නම් ඔබ දෙවියනවහන්සේගේ උසස් ජීවිතයක් ගත කරන්නේය.

යහපත් සටන නිතර සටන් කරමින් දෙවියන්වහන්සේ ඔබට දුන්නාවූ සදාකාල ජීවනය උරුම කරගන්න.

ඔබේ මෙම තාවකාලික ජීවිතයේ ඇති වෙන බාධා අවහිරතාවන් ගැන භය නොවෙන්න.

ඔබට සදාකාල ජීවනය තුළ දිගු ගමනක් තිබේ. එමනිසා සදාකාලික ජීවනය තදින් අල්ලා ගන්න.

අමනාපය, කෝපය, භය, තැතිගැනීම, කනස්සල්ල හා සැක සහිත වචන සිතට ගෙන මෙම කෙටිකාලීන දේවල් මෙනෙහි කිරීමෙන් වළකින්න.

1 තිමෝති 6:12 සඳහන් පරිදි දෙවියන්වහන්සේ අපව කැඳවූ සේක. ජීවනයේ වචන කතා කරමින්, ඇදහිල්ලේ යහපත් සටන සටන් කරමින්, මනුෂ්‍යයන් ඉදිරියේ යහපත් ප‍්‍රකාශනය කිරීමෙන්, ඔබගේ ජීවිතයට ප‍්‍රතිඵල ලබාගන්න.

“භක්තිවන්නකම” යන වචනයේ ඉංග්‍රීසි වචනය නම් “Godliness” මෙයින් අදහස් වන්නේ දෙවියන්වහන්සේ වාගේම ජීවත් වීමයි.

උන්වහන්සේ ශුද්ධව, පවිත‍්‍රව, භක්තිවන්ත ජීවිතයක් ගත කරන අකාරයටම ඔබත් ජීවත් විය යුතුයි.

භක්තිවන්ත ජීවිතයක් යනු දෙවියන්වහන්සේට ගෞරවය සහ මහිමය ගෙන දෙන ජීවිතයකි.

අපි මෙතෙක් කල් පව්කාර, අශුද්ධ, අධර්මිෂ්ඨ හා අභක්තිකවූ ජීවතයක් ගත කළ නමුත් දෙවියන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ ශුද්ධ පවිත‍්‍ර ජීවිතයක් ගත කිරීමටය.

උන්වහන්සේ අපව අන්ධකාරයෙන් ආලෝකයට ගෙන ආ සේක.

අපි මෙතෙක් අන්ධකාර ක‍්‍රියාවන් කළ නුමුත්, අපි ආලෝකයට පැමිණීමෙන් පසු දැන් මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේව දක්නට ලැබෙන්නේ අප තුළිනි.

ඔබගේ ක‍්‍රියාවන්, වචන, හැසිරීම හා ඔබගේ ගමන තුළින් මනුෂ්‍යයන් දෙවියන්වහන්සේව දකින්නේය.

අපි උන්වහන්සේව විශ්වාස කළේ වචනය, හාස්කම් හා සුවය ලබා ගැනීම තුළින් විය හැකිය.

නමුත් දෙවියන්වහන්සේගේ ක‍්‍රියාවන් තුළින් අපට මනසින් හා ආත්මයෙන් උන්වහන්සේව දැක ගත හැකිය.

අපගේ අභ්‍යන්තරයෙන් උන්වහන්සේගේ ක‍්‍රියාවන් දක්නට ලැබූ බැවින් අපි උන්වහන්සේව විශ්වාස කළෙමු.

දෙවියන්වහන්සේ ජීවමාන බව ඔබ මනුෂ්‍යයන්ට ප‍්‍රකාශ කළ යුතුය.

ඔබගේ ක‍්‍රියාවන්, වචනය තුළින් මනුෂ්‍යයන් “භක්තිවන්නකම” දකින්නේය.

බයිබලය පවසන්නේ අවසාන කාලයේ දී මනුෂ්‍යයන් අභක්තිවන්තව හා අශුද්ධව ජීවත් වන්නාවූ සෙනඟක් වන බවය.

මනුෂ්‍යයන් සිතන ආකාරය අනුව භක්තිවන්තකම යනු ආගමික ලෙස ජීවත් වීමය, නුමුත් එය සත්‍යය නොවේ.

භක්තිවන්තකම යනු දෙවියන්වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවයක් ඇති කර ගැනීම හා උන්වහන්සේ ඉදිරියේ ප‍්‍රසන්න ජීවිතයක් ගත කිරීමය.

අභක්තික ජීවිතය තුළින් ජය ගැනීමට උන්වහන්සේ අප තුළ සිටින සේක.

භක්තිවන්තකම යන වචනය පරණ ගිවිසුමේ අපට දක්නට නොලැබේ.

නුමුත් ඔවුන් ශුද්ධ වූ දෙවියන්වහන්සේව නමස්කාර කළෝය.

ඔවුන් දෙවියන්වහන්සේව සොයමින් උන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගෙන ස්තුති පුදමින් නමස්කාර කළෝය.

දාවිත්ගේ ජීවිතය අපට උදාහරණයක් ලෙස ගත හැකිය.

දාවිත්ගේ ජීවිතයේ අපට සමහර අශුද්ධ පාප ක‍්‍රියාවන් දක්නට ලැබේ. නුමුත් අලුත් ගිවිසුමේ පවසන්නේ දාවිත් තුළ තිබුනේ දෙවියන්වහන්සේට එකඟ වූ හදවතක් බවය.

(දාවිත්)…. මාගේ සිතට එකඟ මනුෂ්‍යයෙක්වූ, මාගේ මුළු කැමැත්ත කරන්නාවූ දාවිත් මට සම්බවීයයි කීසේක.
ක්‍රියා 13:22

මක්නිසාද දාවිත් මිනී මැරුවත්, කාමයේ යෙදුනත් සෑම අවස්ථාවකදීම ඔහු පසුතැවිලි වී උන්වහන්සේගෙන් කමාව අයැද සිටියේය.

දාවිත්ට විරුද්ධව ක‍්‍රියා කළ සියලු දෙනාට ඔහු සමාව දුන්නේය.

දාවිත් සිතෙන් කනස්සලු නොවී නිතරම උන්වහන්සේට නමස්කාර කළේය.

දාවිත්ගේ නමස්කාරයට දෙවියන්වහන්සේ ප‍්‍රසන්න වූ අතර උන්වහන්සේ ඔහුට ප‍්‍රේම කළ සේක.

1 තිමෝති 3:16
දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.

අපි සැකයකින් තොරව භක්තිවන්තකමේ ජීවත්වීම මහත් දෙයකි.

ඔබ ශුද්ධව ජීවත් වීමෙන් උන්වහන්සේව ගෞරව කරන්නේය.

භක්තිවන්තකම යනු ඔබගේ රහස් ජීවිතය ශුද්ධව ජීවත් වීමය.

යේසුස්වහන්සේ භක්තිවන්තකමෙන් හා ශුද්ධ පවිත‍්‍රව ජීවත් වූ සේක.

යේසුස්වහන්සේ අපගේ උදාහරණයයි.

සමහර ලෝක නායකයන් තුළ භක්තිවන්තකම දක්නට නොලැබේ.

ඔවුන්ගේ වචන දේව වචනයට විරුද්ධ විය හැකියි. ඔවුන් ලෝකයා මෙන් ජීවත් වෙන්නට පුළුවන. නුමුත් අපගේ ජීවිතයට උදාහරණය වන්නේ යේසුස්වහන්සේ බව මතක තබා ගන්න.

පරණ ගිවිසුමේ දෙවියන්වහන්සේ ආදම්ව මවනු ලැබුවේ භක්තිවන්තකමෙන් ජීවත් වීමටයි.

නුමුත් ආදම්ට දිගු කාලයක් භක්තිවන්තව ජීවත් වීමට නොහැකි විය. මක්නිසාද ඔහු පාපයට වැටුනේය.

නව ගිවිසුම තුළ අපි දකිනුයේ, දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ තුළින් භක්තිවන්තකමේ රහස අපට පෙන්වා දුන් ආකාරයයි.

අපි අපගේ ජීවිතයේ අභක්තිවන්තකම ඉවත් කරමින් භක්තිවන්තව ජීවත් විය යුතුයි.

අපි අශුද්ධ ක‍්‍රියා, අශුද්ධ වචන වලින් තොරව දෙවියන්වහන්සේට කැප වූ, ගෞරවය ගෙන දෙන සැබෑ ජීවිතයක් ගත කළ යුතුයි.

අපි බොරු කීම නවතා, වෙස් මුහුණුවලින් තොරව, ඒවා ඉවත් කර දෙවියන්වහන්සේ ඉදිරියේ ජීවත් වන ආකාරයටම මනුෂ්‍යයන් ඉදිරියෙත් ජීවත් විය යුතුයි.

අපගේ ජීවිතය ඒකාකාරී ජීවිතයක් විය යුතුයි.

දේවභක්තිකයේ රහස නමස්කාර ජීවිතයක් ගත කිරීමය.

ගීතාවලිය 29:2
ස්වාමීන්ගේ නාමයට දියයුතු මහිමය දෙව්; ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන්ට නමස්කාරකරව්.

මෙම පදයෙහි සඳහන් පරිදි ඔවුන් ඔවුන්ගේ භක්තිවන්තකම ප‍්‍රකාශ කළේ ශුද්ධකමේ අලංකාරකමෙන් ස්වාමීන්වහන්සේට නමස්කාර කිරීමෙන්ය.

ඔවුන් ශුද්ධකමේ ජීවත් නොවූවත්, ඔවුන් ශුද්ධවූ ස්වාමීන්වහන්සේට නමස්කාර කිරීමට තීරණය කළෝය.

1 ලේකම් 16:29
ස්වාමීන්වහන්සේගේ නාමයට අයිති ගෞරවය දෙව්. පඬුරක් රැගෙන උන්වහන්සේ ඉදිරියට එව්. ශුද්ධවූ අලංකාරය ඇතුව ස්වාමීන්ට නමස්කාරකරව්.

ඔවුන් දෙවියන්වහන්සේගේ නාමය එසෙවූවෝය.

යෙහෝෂාපාට් රජතුමාට අසුභ පුවත් ඇසුනු විටදීත් ඔහු එය හදවතට නොගත්තේය. මක්නිසාද ප‍්‍රශංසාවේ නමස්කාරය තුළින් ඔහුගේ සටන ජය ගැනීමට පුළුවන් බව ඔහු විශ්වාස කළේය.

දෙවියන්වහන්සේ ඔහුට මෙම සැලැස්ම පෙන්වා දුන් සේක. ගීතිකා කණ්ඩායම ඉදිරියට යැවීමෙන් ඔහුට මෙම සටන ජය ගැනීමට හැකි වුණේය.

2 ලේකම් 20:21
ඔහු සෙනඟ සමඟ මන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේට ගීතිකාකරන්නන් පත්කෙළේය. ඔව්හු යුද්ධ සේනාවට පෙරටුව යමින්, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින්- ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේයයි කීවෝය.

දාවිත් සහ සාලමොන් රජු නමස්කාර කරන පිණිස ගීතිකා කණ්ඩායම් පත් කළෝය.

ඔවුන් නමස්කාරයේ ඇති වැදගත්කම දැන සිටියෝය.

2 ලේකම් 20:21 පදයෙහි සඳහන් පරිදි යෙහෝෂාපාට් රජතුමා
දෙවියන්වහන්සේට කීකරු වුණේය.

ඔවුන්ගේ කීකරුකමෙන් ඔවුන් එම සටන ජය ගත්තෝය.

ඔවුන් ස්වාමීන්වහන්සේට ස්තුති කළෝය.

ගීතාවලිය 96:9
ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන්ට නමස්කාරකරව්. පොළොවේ සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියෙහි වෙවුලමින් සිටිව්.

භක්තිවන්තකම යනු දෙවියන්වහන්සේට ගෞරවය දී ගරුබියෙන් ජීවත් වීමය.

ගීතාවලිය 110:3
ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජාවෙති. උදය ගර්භයෙන් නිකුත්වූ, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තවූ ඔබගේ යෞවනකමේ පිනි ඔබට ඇත්තේය.

ඔබ කිසිම බලපෑමකින් තොරව ඔබගේ ස්වකැමැත්තෙන්ම දෙවියන්වහන්සේව නමස්කාර කළ යුතුයි.

උදෑසන උන්වහන්සේව නමස්කාර කිරීම හා වර්ණනා කිරීම මහත් ආශීර්වාදයක්ය.

ගීතාවලිය 47:8
දෙවියන්වහන්සේ ජාතීන් කෙරෙහි රජකම්කරනසේක. දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධ සිංහාසනයෙහි වැඩහිඳිනසේක.

දෙවියන්වහන්සේ රජකම්කරන ජීවමාන දෙවි කෙනෙක්ය. අපි උන්වහන්සේව වර්ණනා කරමු.

ගීතාවලිය 97:12
ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි ප්‍රීතිවව්. උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.

ධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේ තුළ ප‍්‍රීති වන්නෝය.

අපි උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට නැවත නැවතත් ස්තුති කරමු.

අපි උන්වහන්සේගේ ශුද්ධකම නිතරම සිහි කරමින් උන්වහන්සේට ගෞරවය, ප‍්‍රශංසාව හා නමස්කාරය පුද කරමු.

දෙවියන්වහන්සේව නොදන්න අය මැවිල්ලට හා තමන්ගේ හැඟීම්වලට නමස්කාර කරමින් සිටින්නෝය.

දේව දූතයන් කිසිම කාල පරිච්ඡේදයක් නොමැති ස්ථානයක ශුද්ධයි! ශුද්ධයි! ශුද්ධයි! කියමින් දෙවියන්වහන්සේව නමස්කාර කරන බව එළිදරව් පොතෙහි අපට දක්නට ලැබේ. (එළිදරව් 4:8)

එලිසබෙත්, සෙකරියා යන දෙදෙනා ඔවුන්ට දරුවෙක් බලාපොරොත්තු වූ අතර දෙවියන්වහන්සේ ඔවුන්ට දරුවෙක් දෙමින් ආශීර්වාද කළ සේක. (ලූක් 1:13-17)

නුමුත් දරුවා ඉපදීමට පෙර දේව දූතයාගේ පණිවිඩය අවිශ්වාස කළ නිසා සෙකරියාගේ මුඛය වසනු ලැබුවේය. (ලූක් 1:20)

ලූක් 1:64 එකෙණෙහිම ඔහුගේ මුඛය ඇරී, දිවද ලිහී, ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්, කථාකළේය.

දරුවාට නාමය තබන්ට යන අවස්ථාවේදී, ඔහුගේ මුඛය ඇරී දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරමින් දරුවාගේ නම ‘’යොහන්’’ ලෙස තබන්නට යයි කීවේය.
දෙවියන්වහන්සේ සෙකරියාට නැවත කතා කරන්නට ආශීර්වාද කළ සේක.

දෙවියන්වහන්සේ දරුවාට ‘’යොහන්’’ යන නාමය දුන් සේක.

ලූක් 1:65 ඔවුන් අවට විසූ සියල්ලන් කෙරෙහි භය පැමිණියේය. මේ සියලු කීම් යුදයෙහි මුළු කඳු රටේ පතළවී ගියේය.

ඔවුන්ගේ අවට සිටි සියල්ලෝම මෙම සිද්ධිය දුටු විට බියට පත් වුණෝය. මක්නිසාද මාස 9ක කාලයකට පසු නොසිතපු අවස්ථාවක දී සෙකරියාට කතා කිරීමට පුළුවන් වීම එයට හේතු විය .

ලූක් 1:66 ඒ ඇසූ සියල්ලෝ ඒ දේ තමුන්ගේ සිත්වල තබාගෙන: එසේ නම් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේදැයි කීවෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හස්තය ඔහු සමඟ වූයේය.

යොහන් කෙරෙහි ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය තිබූ බැවින් සෙනඟ ඔහු කෙබඳු කෙනෙකු වේද යන සිතුවිලි වලින් සිටියෝය.

ලූක් 1:67-68 ඔහුගේ පියවූ සෙකරියස් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව අනාගතවචන කියමින්: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟ බලා, ඔවුන්ට මිදීම සාදාදුන්සේක.

සෙකරියා ශුද්ධාත්මයාණන්ගෙන් පිරී අනාගතවචන කියමින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කළේය.

ලූක් 1:69-71 ලෝකයේ පටන්ගැන්මෙහි සිට විසූ ස්වකීය ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවු ලෙස 70 අපේ සතුරන්ගෙන්ද අප කෙරේ වෛර බැඳගත් සියල්ලන් අතින්ද 71 අප ගළවන්නාවූ අඟක් තමන් දාසවූ දාවිත්ගේ වංශයෙන් අපට නැගුටුවාදුන්සේක.

ලූක් 1:72-73 මෙසේ උන්වහන්සේ අපේ සතුරන්ගේ අත්වලින් අප ගළවා, අපේ සියලු දවස්වල භයක් නැතුව උන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින්ද ධර්මිෂ්ඨකමින්ද 73 උන්වහන්සේට සේවයකරන්ට වරදෙන පිණිස,

මුළු ජීවිත කාලයම බියකින් තොරව දෙවියන්වහන්සේ ඉදිරියේ ශුද්ධකමෙන්, ධර්මිෂ්ඨකමෙන් උන්වහන්සේට සේවය කිරීමට හැකි වන පිණිස ඔහු යාච්ඤා කළේය.

මතු කාලයේ ධර්මිෂ්ඨ සෙනඟක්, ශුද්ධකමේ සෙනඟක් ගොඩනැගෙන බව ඔහු අනාගත වචන ප‍්‍රකාශ කළේය.

ශුද්ධකමට තවත් අර්ථයක් “භක්තිවන්තකමය’’.

දෙවියන්වහන්සේ වාගේම සෙනඟක් උන්වහන්සේ ගොඩනඟන සේක.

රෝම 1:5
ඒ පුත්‍රයාණන්වහන්සේ මාංසාකාරයෙන් දාවිත්ගේ වංශයෙන් ඉපිද, ශුද්ධකමේ ආත්මයේ ප්‍රකාරයට දේව පුත්‍රයාණන් හැටියට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන බලයෙන් යුක්තව ප්‍රකාශකරනු ලැබූසේක.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබුවේ ශුද්ධකමේ ආත්මය, නැතහොත් ශුද්ධාත්ම බලය තුළිනි.

ශුද්ධාත්ම බලයෙන් පිරී සිටීමෙන් අපට ශුද්ධකමෙන් ජීවත් විය හැකිය.

අපි අශුද්ධකමෙන් ජීවත් වන්නේ නම් අපට ශුද්ධාත්මය ලබා ගැනීමට නොහැකිය.

උන්වහන්සේ අශුද්ධ භාජනයකට ශුද්ධාත්මය වගුරුවන්නේ නැත.

1 යොහන් 4:17
අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.

අපි ලෝකයාට ශුද්ධකමෙන්, උන්වහන්සේගේ චරිතය අප තුළ ප‍්‍රකාශවන පිණිස ස්වර්ගීක ජීවිතයක් ගත කළ යුතුය.

අධර්මිෂ්ඨයන් අතර ධර්මිෂ්ඨයන් ලෙස ජීවත් වීම අපහසු යැයි නොසිතන්න. ලෝකයා දෙස නොබලා සිටිමු.

ඔබගේ පළමු බැල්ම වෙනස් කරන්න නොහැකි නුමුත් ඔබ නැවත බලන ආකාරය වෙනස් කරගත යුතුය.

ගැළවීම ලබා ඇති අපි තීරණය කළ යුත්තේ නිවැරදි දේ කිරීමටය.

තීතස් 1:3
දෙවියන්වහන්සේගේ තෝරාගත් අයවලුන්ගේ ඇදහිල්ලද දේවභක්තියේ හැටියට තිබෙන සත්‍යය දැනගැන්මද උදෙසා, දෙවියන්වහන්සේගේ දාසයෙක්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්,

අපි ඇදහිල්ලෙන්ද දේවභක්තියෙන්ද දෙවියන්වහන්සේට ප‍්‍රසන්න වූ ජීවිතයක් ගත කරමු.

අපි උන්වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියේ සැබෑ වූ ඒකාකාරී ජීවිතයකින් ජීවත් වෙමු.


Watch the Sermon Video

Read 213 times