+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව භක්තිය රැක ගනිමු -යෝෂා මනූ
August 27, 2023 Sunday Sermon Notes


බන්ධනයෙන්, වහල්භාවයෙන් සිටි සෙනඟක්වූ අපව යේසුස්වහන්සේගේ නාමයෙන් නිදහස් කෙරුණි.

යේසුස්වහන්සේගේ නිදහස්කම සමරන්නට උන්වහන්සේ අපව තමන් වෙතට ගෙනෙන ලදි. එය කොතරම් යහපත්ද?

අප ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කළ යුතුය. මන්ද ස්වාමීන්වහන්සේ අපගේ ප‍්‍රීතියයි. උන්වහන්සේගේ අභිමුඛයේ ඇත්තේ ප‍්‍රීතිය පමණි. එය මනුෂ්‍යයා රවටන්නාවූ ප‍්‍රීතියක් නොව, එය නිසැකවම සැබෑවූ ප‍්‍රීතියයි.

යේසුස්වහන්සේ පැවසුවේ, උන්වහන්සේ අනුව පැමිණියහොත් මෙම සැබෑවූ ජීවිතය හිමිකර ගෙන අපට සියළු ආශීර්වාද භුක්තිවිඳිය හැකි බවයි. එය උන්වහන්සේගේ කැමැත්තයි.

අපට දී තිබෙන මේ ජීවනය, නිදහස නිසා අප යේසුස්වහන්සේට ස්තූති කළ යුතුය. උන්වහන්සේ බලවත් තැනැන්වහන්සේය. අපගේ ජීවිතයේ දිනපතා අප උන්වහන්සේගේ ආශ්චර්ය ක‍්‍රියා අත්දැකිය යුතුය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය තුළින් දිනපතා අපට එළිදරව් කරනසේක. සමහරවිට ඔබ බයිබලය පෙරළා කියවන විට එය එදිනට ස්වාමීන්වහන්සේ ඔබට කථා කරන්නාවූ වචනය විය හැකිය. එසේ වීමට නම් ඔබ දිනපතා පිළිවෙළකට බයිබලය කියවමින් උන්වහන්සේ ඔබට කථා කරන බවට විශ්වාස කළ යුතුය.

එම විශ්වාසයෙන්, ඇදහිල්ලෙන් ඔබ දේව වචනය ගෙන කියවන්නට පටන් ගත් කල, දෙවියන්වහන්සේ ඔබට කථා කරනු ඇත. එදිනට අවශ්‍ය පණිවිඩය, වචනය දෙවියන්වහන්සේ ඔබට දෙනු ඇත.

එමඟින් උපදෙසක්, තරවටුවක් හෝ ඔබ නොගත යුතු යම් පියවරක්, තීරණයක් ගැන දෙවියන්වහන්සේ ඔබට කථා කිරීමක් විය හැකිය. (2 තිමෝති 3:16)

අප දෙවියන්වහන්සේගේ අභිමුඛයට එන කළ අප කනස්සල්ලෙන්වත්, යායුතු නිසාවත් නොව, ප‍්‍රීතියෙන් පැමිණෙමු.

ගීතාවලිය 16:11
ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.

දෙවියන්වහන්සේ අපට පෙන්වා දී තිබෙන්නේ ජීවන මාර්ගයයි. ඒ තුළ අපට ඇත්තේ සදාකාල ජීවනයයි. එනම් අප මේ පොළොවෙන් නික්ම ගියත් අපට මෙම සදාකාල ජීවනය ඇත. අප මෙම සදාකාල ජීවනයේ උරුමක්කාරයන්ය.

අපට නිතරම ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් අප සිටිය යුත්තේ ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙහිය.

සමහරවිට දේව අභිමුඛයට යන්නේ කෙසේදැයි ඔබ සිතනු ඇත. දේව අභිමුඛය, දේව මාළිඟාව ඇත්තේ අප තුළය. එසේ නම් ප‍්‍රීතිය ඇත්තේද ඔබ තුළමය.

ගලාති 5:22 සඳහන්ව ඇති ආත්මික ඵල වලට එය ඇතුළත්ය. ඒවා ඔබගේ ආත්මයේ ඇතුළේ තිබිය යුතු, ඔබ විසින් නිකුත් කරන්නාවූ ඵලයි.

දෙවියන්වහන්සේ තුළ කොහොමත් ආත්මික ඵල ඇත. උන්වහන්සේ පැමිණ අප තුළ වාසය කරන කල, ඒවා අපගේ ජීවිතය තුළ ක‍්‍රියා කරයි.

අප දෙවියන්වහන්සේ ඉදිරියේ ප‍්‍රසන්න ජීවිතයක් ගත කරන කල එම ප‍්‍රීතියේ සම්පූර්ණකම අප තුළ හට ගනු ඇත.

යේසුස්වහන්සේ පැවසුවේ, එය කිසිවෙකුට සොරකම් කළ නොහැකි බවය.

මළවුන්ගෙන් නැවත නැගිටුණු යේසුස්වහන්සේ වැඩවාසය කරනුයේ දෙවියන්වහන්සේගේ දකුණු පසෙහිය.

අප යේසුස්වහන්සේව පිළිගෙන වතුර බවිතිස්මයෙන් පරණ ස්වභාවය වළලා යේසුස්වහන්සේ සමඟ නැවත නැගිටුවණු ලැබුවහුය.

එම ජීවනය භුක්තිවිඳින්නාවු අපත් යේසුස්වහන්සේගේ දකුණු පස හිඳගෙන සිටිමු. ඒ සඳහා උන්වහන්සේ අපව ඔසවා ඇත.

එපීස 2:8
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.

ඒ ස්ථානයේ සිටිමින් අප රජකම් කරමු.

අපගේ ජීවිතයට අප යම් දේවල් තෝරාගෙන භක්තිවන්තකම අනුව යන්න පිළිබඳ ගිය සතිය තුළ අප හැදෑරුවෙමු. (2 තිමෝති 6:11)

භක්තිවන්තකම ආරක්ෂා කරගත යුතු ආකාරය පිළිබඳව අද බලමු.

දේව භක්තියට අදාල සියළු කාරණා දෙවියන්වහන්සේ අපට දී ඇත.

යේසුස්වහන්සේව පිළිගෙන අපගේ වෙනස්වූ ජීවිතය පිළිබඳ අන් අයට සාක්ෂි දරන විට ඔබ දැන් ආගමට ලැදි භක්තිවන්තයෙක්, සාන්තුවරයෙක් වී දැයි සමහරු ප‍්‍රශ්න නගන්නට පුලුවන.

සැබවින්ම අප සාන්තුවරයන්ය. යක්ෂයාට කොටු වී වහල්භාවයෙන් යක්ෂයා පවසන්නාවු සියළු ක‍්‍රියා කරමින් බන්ධනයන් තුළ ජීවත්වුණාවූ අපව යේසුස්වහන්සේ මුදවා නිදහස්කරන ලදි.

දේව භක්තිය යනු, දෙවියන්වහන්සේට ගෞරවය ගෙන දෙන සැබෑ ශුද්ධකමෙන් යුතුව මනුෂ්‍යයා ඉදිරියෙත් සැබෑ ජීවිතයක් ගත කිරීමය.

වෙස්මුහුණු පැළඳගෙන දෙවියන්වහන්සේගේ අභිමුඛයේත් මනුෂ්‍යයා ඉදිරියේත් එක හා සමානව ජීවත්වීමට අපට නොහැකිය.

ගැළවීම ලැබූ විගසින් අපගේ ජීවිත සෑම දෙයකින්ම සර්ව සම්පූර්ණව ක‍්‍රියාකළ යුතුයැයි බලාපොරොත්තු විය නොහැක.

දෙවියන්වහන්සේ අපට ධර්මිෂ්ඨකම දුන්සේක. එය අපගේ ස්වභාවයයි.

ධර්මිෂ්ඨකම යනු ස්ථීරව පවතින්නාවු දෙයකි.
එය වෙනස් නොවන දෙයකි. එය අපට දෙවියන්වහන්සේගෙන් ලැබුණු දීමනාවකි.

දේව භක්තියෙන්, ශුද්ධකමින් ජීවත්වෙනවා යනු ස්වභාවය නොව, එය අපගේ ක‍්‍රියාවයි.

භක්තිවන්තව ජීවත්වීමේදී දෙවියන්වහන්සේට කැපවූ උන්වහන්සේට ගෞරවය ගෙන දෙන ශුද්ධ පවිත‍්‍ර ජීවිතයක් ගත කරනවායැයි අප දිනපතා තෝරා ගැනීමක් කළ යුතුය.

වෙනත් භක්තිවන්ත අයෙකු සමඟ ඔබ සිටිය නිසා භක්තිවන්තකම ඔබ තුළට නොපැමිණේ. එය ඔබ විසින්ම ගත යුතු තීරණයකි.

ඔබගේ ක‍්‍රියාවන්, ඔබ දකින දේවල් අශුද්ධ නම් ඔබ ඒවා වෙනස් කර ගත යුතුය.

තීතස් 1:3
දෙවියන්වහන්සේගේ තෝරාගත් අයවලුන්ගේ ඇදහිල්ලද දේවභක්තියේ හැටියට තිබෙන සත්‍යය දැනගැන්මද උදෙසා….

අප ගැළවීම ලැබූ සැනෙකින් අපගේ ජීවිත වෙනස් නොවේ. අප දවසින් දවස සත්‍ය වචනය දැන ගන්න, දැන ගන්න අපගේ ජීවිතය වෙනස්වේ.

ගැළවීම ලැබූ දවසේදීම අපේ ස්වභාවය වෙනස් වූවත් අපේ ක‍්‍රියාවන් වෙනස් නොවේ. එය වෙනස් කරගත හැකි වනුයේ වචනය කියවීමෙන් හා මෙනෙහි කිරීමෙනි.

2 කොරින්ති 5:17
එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.

මෙහි සියල්ලම යනු හැම දෙයක්ම අළුත් වීමයි.

යක්ෂයාගේ ගුහාවක්ව තිබුණු අපේ ශරීරය දැන් දෙවියන්වහන්සේගේ රජ මාළිගාවක් බවට පත් වී ඇත.

ඔබගේ ආත්මය තුළ යේසුස්වහන්සේ වැඩ වාසය කරන්නේ නම් අනිවාර්යෙන්ම යක්ෂයා ඉවත්විය යුතුය, ඔබගේ ආත්මය තුළ දෙන්නෙකුට රජකම් කළ නොහැක.

ස්වභාවය වෙනස් වූවද මනස වෙනස් කර ගැනීමේ වගකීම අප සතුය. එය මුළු ජීවිත කාලය පුරාම සිදුවන ක‍්‍රියාවලියකි.

දේව භක්තියෙන් ජීවත් වෙමින් දෙවියන්වහන්සේට ගෞරවය දෙන්න අවශ්‍ය නම් දවසින් දවස, මෙහොතින් මොහොත වෙනස් වෙන්න තීරණයක් කර ගත යුතුය.

පේත‍්‍රැස් හැම වෙලේම හදිසි තීරණ ගන්නා, කෝපයෙන් තීරණ ගන්න කෙනෙකු ලෙස සිටියත් කාලයාගේ ඇවෑමෙන් ඔහු බොහෝ සෙයින් වෙනස් පුද්ගලයෙකු විය.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු පේත‍්‍රැස්ව හමුවී ‘’ඔබ මට ප්‍රේම කරනවාද යයි තුන් වතාවක් ප‍්‍රශ්න කරමින්, මාගේ බැටළුවන් පෝෂණය කරන ලෙස ඔහුට වගකීම් බාර දුන් සේක.
(යොහාන් 21: 15 17)

මුලදී ඔහු තුන් වතාවක් යේසුස්වහන්සේව නාඳුනන බව පැවසුවත් එදින උන්වහන්සේගේ ප්‍රේමය නිසා ඔහු වෙනස් වීමෙන් මෙම වගකීම භාර ගත්තේය. (යොහාන් 18:15-27)

පෙන්තකොස්ත දවසේදී ඔහු සහ පිරිස ශුද්ධාත්මයෙන් පිරී අන්‍ය භාෂාවෙන් කතා කරන්නට පටන් ගෙන ඒ අවට සිටි වෙනත් දේශවලින් ආවාවූ සෙනඟගේ භාෂා වලින්ද කතා කරන්නට පටන් ගත්තේය.

මේ වන විට ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වීමකට භාජනය වී තිබුණි (ක‍්‍රියා 2 වන පරිච්ජේදය)

පේත‍්‍රැස් මේ ලිපිය ලියද්දි ඔහු යේසුස්වහන්සේ සමඟ ගත කළාවූ අත්දකීම්ද ඉවහල් වන්නට ඇත.

2 පේත‍්‍රැස්1:1-2
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්: 2 දෙවියන්වහන්සේද අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේද දැනගැනීමෙන් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා..

ප්‍රේරිත, අනාගතවක්තෘ, එවැන්ජලිස්ත, එඬේර හා ගුරුවර සේවය ලෙස පස් ආකාර සේවයක් තිබුණද පේත‍්‍රැස් ප්‍රේරිතයෙක් ලෙස මුලදී ඔහු නිතරම වැනෙන සුළුව සිටියද යේසුස්වහන්සේ ඔහුව ස්ථීර පුද්ගලයෙකු බවට පත් කළ සේක.

මාර්ක් 8:27-33 වන පදය දක්වා සඳහන් කොටසේදී යේසුස්වහන්සේ ක‍්‍රිස්තුවරයාණෝ ලෙසත්, පසුව උන්වහන්සේගේ මරණය ගැන නොකියන ලෙස උන්වහන්සේට තරවටු කළ තැනැත්තා ලෙසත් සඳහන් වේ.

පළමු වතාවේදී ඒ එළිදරව්ව පැමිණියේ පියාණන්ගෙන් වූවත් දෙවන අවස්ථාවේ ඔහුට එම සිතුවිල්ල ගෙන ආවේ යක්ෂයාය.

යාකොබ් 3:9-10 පරිදි එක මුඛයෙන් ප‍්‍රසංශාවත් ශාපයත් නික්මෙන්නට නුපුළුවන.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අපි මරණීය වචන නොව ජීවනයේ වචන කථා කිරීමය.

පේත‍්‍රැස් දෙවියන්වහන්සේගේ දාසයෙකු ලෙස තමන්ව හඳුන්වා ගත්තේය. අපිද කොතරම් විශාල සේවයක් කළද අපි උන්වහන්සේගේ යටහත් පහත් දාස දාසීන් බව මතක තබා ගනිමු.

රෝම 12:3
නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි

දෙවියන්වහන්සේ අපට දී ඇත්තේ අනර්ඝ ඇදහිල්ලකි. එය වටිනා දෙයකි. අපි දිනපතා උන්වහන්සේව දැන ගත යුතුයි.

අනුග‍්‍රහයත්, සමාදානයත් අපට වැඩි වෙන්නේ ඒ තුළින්ය.

2 පේත‍්‍රැස්1:3
මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ.
දැනගැනීම යනු ශුද්ධකමින් අපි උන්වහන්සේ සමඟ පවත්වන්නාවූ සමීප සම්බන්ධතාවයකි. කාලයාගේ අවෑමෙන් අපි උන්වහන්සේගේ විශ්වාසවන්ත භාවය දැන ගැනීමට යන්නේය.

අපි උන්වහන්සේව දැන ගත්විට උන්වහන්සේගේ දිව්‍යමය බලය අපටද උරුම වේ.

අපි මේ පොළවේ ශුද්ධවන්තයෙක් ලෙස ජීවත් වීම උන්වහන්සේගේ කැමැත්තය. එලෙස ජීවත් වීමට අවශ්‍ය බලය අපට දී ඇත.

අප තුළ වාසය කරන තැනැන්වහන්සේ අපට උපකාර කරන සේක. එමෙන්ම අපට උපකාර කරණ පිණිස දේව දූතයන්ද අප වටා සිටින සේක.

අපට මේ වෙනස අත්දැකිය හැකි වන්නේ අපේ වචන වෙනස් කර ගැනීමෙන්ය.

අපි පහත් ලෙස, අපව සුලු කරමින් වචන කතා කරන්නේ නම්, අපේ වචන වලින් අපව කොටු කිරීමට යක්ෂයාට ඉඩ දෙන්නෙමු.

දෙවියන්වහන්සේ අපට දී ඇත්තේ කුමන බලයද? යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවූ එම බලයමයි.

ශුද්ධාත්මයාණන් විසින් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවූ එම බලය අපට දේව භක්තියෙන් ජීවත් වෙන පිණිස උපකාර කරන සේක.

අප තුළ ජීවිතයටත් දේව භක්තියටත් අදාල සියලුම දේ දී ඇත.

අප විඩාවට පත් වන විට, අධෛර්ය වන විට මේ වචනය කියවමින් ශුද්ධකමින් ජීවත් වෙන්නට පුළුවන.

දේව වචනය තුළ සියල්ලට විසඳුම ඇත.

ඔබට තනිවම කිසිවක් කළ නොහැක, නමුත් දෙවියන්වහන්සේගේ බලය ඔබ තුළ බලවත් ලෙස ක‍්‍රියා කරන සේක.


Watch the Sermon Video

Read 182 times