+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

  සැබෑවූ වචනය හරියාකාරව පහදා ගැනීම - මනූ මැතානි

August 27, 2023 Sunday Sermon Notes


ඔබේ ජීවිතයටත් භක්තිවන්තකමටත් අවශ්‍ය සියල්ල දෙවියන්වහන්සේ ඔබට දී ඇත.

භක්තිවන්තව ජීවත් වීම, පරීක්ෂා ජය ගැනීම අපහසුයි නොකියා දේව වචනය විශ්වාස කර එහි පැවතෙමු.

හැඟීම් වලින් දැනෙන දෙයට වඩා වචනය තුළින් ලැබෙන නිවැරදි දේ තෝරා ගෙන වචනය මත ජීවිතය ගොඩනැගීමට තීරණය කර ගනිමු.

බොහෝ කිතුනුවන් කාලයක් යන විට අධෛර්යයමත්ව දෙවියන්වහන්සේගෙන් පසුබට වී යාමට හේතුව ඔවුන් වචනය තුළ ස්ථීර නොවීම නිසයි.

වචනය තුළ ඔබ ස්ථිර නම් ඔබ කිසිදා අධෛර්යය නොවේ.

අපි නව මැවිල්ලක් ලෙස ජීවත් විය යුතු ආකාරය දැන ගැනීමට වචනය හරි ආකාරව තේරුම් ගැනීම වැදගත්ය.

වචනයෙහි සැබෑ ලෙස සියල්ල වාර්ථා වී තිබෙන්නේ අපේ ප‍්‍රයෝජනය පිණිසයි.

සමහර අය බයිබලයේ අලුත් ගිවිසුමේ අදහස්ද තවත් අය පැරණි ගිවිසුමේ අදහස්ද සමහරුන් ඒ දෙකෙහිම මිශ‍්‍ර අදහස්ද පිළිගන්නේ නමුත් ඒ කිසිවකින් වියවුලක් ඇති නොවේ,

මන්ද දෙවියන්වහන්සේ වියවුල්කමේ දෙවිඳුන් නොවේ.

1 කොරින්ති 14:33
මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.

දේව වචනයෙහි ලියා තිබෙන දේ ගැන උන්වහන්සේට වැරදුනේ නැහැ.

අපට එය තේරුම් ගත හැක්කේ ශුද්ධාත්මයාණන්ගේ උපකාරය ඇතුවයි.

උන්වහන්සේ නොමැති නම් අප ගන්නා වචනය අපේ ආත්මීක ජීවිතයට නිසි ආකාරව ජීර්ණය නොවේ.

අපි සත්‍යය නොදැන සිටිනවා නම් අපට බයිබලයේ ඉගැන්වීම් ගැන ප‍්‍රශ්න ඇතිවිය හැකියි, නමුත් අපි සත්‍යය දැන සිටිනවා නම් අපට නිදහස ඇත.

2 කොරින්ති 3:17
ඉදින් ඒ ස්වාමීන්වහන්සේ ආත්මයාණන්වහන්සේය. ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය.

ආත්මයාණන්වහන්සේ සිටින්නේ අප තුළයි.

උන්වහන්සේ අප තුළ වාසය කරමින් උන්වහන්සේ තුළින් අප වචනය ඉගෙන ගන්නා විට වියවුල්තාවයක් කිසිදා ඇති නොවේ.
මන්ද උන්වහන්සේ අපගේ නිදහසයි.

වියවුල්කමේ සිටින මිනිසා බන්ධනයේ සිටියි.

2 තිමෝති 2:15
සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.

වචනය අපි හරියාකාරව පහදා ගැනීම වැදගත්ය.

දෙවියන්වහන්සේ සිදුවී ඇති සියලු දේවල් මේ වචනයේ වාර්තා ගත කර තිබෙනවා.

මේ දේවල් ලියනු ලැබුවේ අපගේ ප්‍රයෝජනයටයි.

අපගේ මනසින් මේ වචනය අපට වටහා ගන්නට නොහැකියි. අපට හරියාකාරව පහදා දෙන පිණිස එළිදරව් වචනය දැනගන්නට ශුද්ධාත්මයාණන්වහන්සේ අවශ්‍යයය.

අප උන්වහන්සේ සමඟ කාලය ගත කිරීම අවශ්‍යයි.

වචනයෙහි කතෘ වන උන්වහන්සේ සමඟ සම්බන්ධ වීමෙන් අපට වචනය හරි ආකාරව තේරුම් ගත හැකිය.

2 පේතෘස් 1:19‭-‬20
ලියවිල්ලේ කිසි අනාගතවාක්‍යයක් යමෙකුගේ අභිප්‍රායෙන්ම හට නොගන්න බව පළමුකොට දැන, අලුයම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් තුළෙහි පායනතුරු අඳුරු තැනක බබළන පහනක් මෙන් එය සලකන්නහු නම් යහපත්ය.21මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.

මනුෂ්‍යයන්ව පාවිච්චි කළේ ශුද්ධාත්මයාණන්වහන්සේයි.

උන්වහන්සේ කතෘ නිසා එය අපට පහදා දිය හැක්කේ උන්වහන්සේට පමණි.

අපේ ආත්මික ජීවිතය දුර්වලව, කම්මැළිව, බන්ධනයට පත් වී තිබේ නම් අපගේ මනසින් අපට තනිවම දේව වචනය වටහා ගැනීමට නොහැකිය.

ආත්මයාණන්වහන්සේගේ උපකාරය අපට අවශ්‍යයි.

පාවුල් තුමා නොදැන සිටි දේවල් ඔහුට උගන්වා වචනය මනුෂ්‍යයන්ට පහදා දීමට ඔහුව පාවිච්චි කළේ ශුද්ධාත්මයාණන්වහන්සේයි.

වචනයෙන් අපට එළිදරව්වක් අවශ්‍යයි, එළිදරව් වාක්‍යය තුළ ජිවත් වන්නේ නම් අපි ජ්වලිතව සිටිනු ඇත.

එබැවින් අප වචනය තේරුම් කර දෙන මෙන් උන්වහන්සේගේ උපකාරය ඉල්ලා සිටීම අවශ්‍යයි.

අප මුල පටන් අග දක්වා බයිබලය කියෙවූවත් ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය නොමැතිව ඉන් ඵලක් නොවේ.

1 කොරින්ති 10:11
ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.

බයිබලයේ ජීවත් වූ සෑම කෙනෙක්ම සියල්ල කළේ ආත්මයාණන් කරණකොටගෙන නොවේ.

ඔවුන් කාමමිත්‍යාචාරිකව, දෙවියන්වහන්සේව පරීක්ෂා කරමින්, කොඳුරමින්, කැරළි ගසමින් සිටියෝය.

1 කොරින්ති 10:5
එසේවී නුමුත් ඔවුන්ගෙන් වැඩිදෙනාට දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවූසේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි හෙළාදමනු ලැබුවෝය.

ශුද්ධවූ බයිබලය ලෙස අප හඳුන්වන වචනයේ ඇත්තේ ශුද්ධ ලියවිල්ල පමණක් නොවේ, හොඳ නරක සියල්ලම එහි ඇතුළත්ව තිබේ.

සියල්ලක්ම සත්‍යය නොවේ, සත්‍යය නම් දෙවියන්වහන්සේගේ මුඛයෙන් පිටවෙන වචනයි.

සත්‍යතාවයේ වචනය ඇසූවත්, එය නොපිළිපදින ලද මිනිසුන්ගේ ප‍්‍රතිඵල අපට පැහැදිලිව දැක ගත හැකියි.

කීකරුව හා අකීකරුව ගමන් කළ අය සිටියා, ඇදහිල්ලෙන් ක‍්‍රියා නොකළ අය ගැන දෙවියන්වහන්සේ ප‍්‍රසන්න නොවීය.

1 කොරින්ති 10:6
ඉඳින් ඔවුන් නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය.

බයිබලයෙහි ලියා ඇති සමහර දේවල් අපේ වාසියට නොව ආදර්ශය පිණිස ගත යුතුයි.

1 කොරින්ති 10:7
සෙනඟ කන්ටද බොන්ටද හිඳ, ක්‍රීඩාකරන්ට නැගුටුණෝයයි ලියා තිබෙන ලෙස, ඔවුන්ගෙන් සමහරෙකුමෙන් රූපවඳින්නෝ නොවෙන්න.

දෙවියන්වහන්සේගේ මහිමය පිණිස නොව රූප වන්දනාව පිණිස ඔවුන් නැගිටුන බව වාර්ථා වේ.

වහලුන් ලෙස සිටිය ඔවුන්ව දෙවියන්වහන්සේ එක දවසෙන් බෙහෝ පොහොසත් කළ නමුත් ඔවුන් එම වස්තුවෙන් දෙවියන්වහන්සේගේ මාළිගාව වෙනුවට වස්සෙකුගේ රූපයක් සෑදුවෝය.

1 කොරින්ති 10:8
ඔවුන්ගෙන් සමහරෙක් වේශ්‍යාකම් කළාක්මෙන් අපි වේශ්‍යාකම් නොකරමු, එයින් එක දවසෙහි විසිතුන්දහස් දෙනෙක් විනාශවුණෝය.

1 කොරින්ති 10:9
අපි ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය.

ඔවුන්ගේ තෘෂ්ණාව දෙවියන්වහන්සේට ප‍්‍රසන්න නොවුන අතර යක්ෂ ආත්ම ඔවුන්ව විනාශ කළෝය.

1 කොරින්ති 10:10‭-‬11
නුඹලා නොකොඳුරන්න, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා, විනාශකයාගෙන් නාස්තිවුණෝය. ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.

කෙඳිරීම යක්ෂ ආත්ම වලට ආරාධනා කිරීමක් වැනිය, ක‍්‍රිස්තුස්වහන්සේ පරීක්ෂා කිරීමට යක්ෂයාට ඉඩ දීමක් වැනිය.

මේවා ලියා තිබෙන්නේ අපගේ අවවාදයටයි.

අපි නපුරෙන් වැලකී බයිබලයේ සඳහන් දේ අපේ වාසියට පාවිච්චි නොකරමු.

වචනය හරි ආකාරව පහදා ගනිමු.

කිතුනුවන් දුර්වලව සිටින්නේ දෙවිඳුන්ගේ අනුග‍්‍රහයෙන් ශක්තිමත් නොවී සිටීම නිසයි.

2 තිමෝති 2:1
එබැවින්, මාගේ දරුව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන කරුණාවෙන් ශක්තිමත්වෙන්න.

ඔබ අනුග්‍රහයෙන් ශක්තිමත් වී සිටින්න. එවිට ඔබට ජයග්‍රාහීව ජීවත් විය හැකියි.

දිනපතා, සෑම මොහොතකම අපට අනුග්‍රහය අවශ්‍යයි, එය අපව අතීතයට නොව ඉදිරියට ගෙන යයි.

2 තිමෝති 2:2
බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි නුඹ මාගෙන් ඇසූ දේම වෙන අයටත් උගන්වන්ට සමර්ථවූ විශ්වාසවූ මනුෂ්‍යයන්ට භාරදෙන්න.

ක්‍රිස්තුස්වහන්සේ දෙස බලමින් අපි මේ දිවීම දුවමු.

අනුග්‍රහය යනු දෙවියන්වහන්සේට සම්බන්ධ වී ජීවත් වීමයි.

එය පරණ ගිවිසුම තුළද තිබුණා, බොහෝ අය වැටී ගියේ මාංශය කෙරෙහි විශ්වාසය තැබීමෙනි.

අපි මාංශය කෙරෙහි විශ්වාස කළ විට අපි දුර්වල තත්වයට පත් වන්නෙමු.

1 පේතෘස් 1:14
නුඹලාගේ නොදන්නාකමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවී, කීකරුකමේ දරුවන් මෙන්,

අපි නොදැනුවත්කමින් කළාවූ දේවල් තිබේ, නමුත් අපි සත්‍යය දැන ගත් පසු එය අපව නිදහස් කර ඇත.

1 පේතෘස් 1:15
නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න.

අපගේ හැසිරීමේදී යනු අපගේ ප්‍රකාශ (කතාව) සහ ක්‍රියාවන් ශුද්ධ විය යුතුයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරන නිසා ශුද්ධව සිටීමට අපට හැකිය.

රෝම 6:14
කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.

අප අන් මනුෂ්‍යයන්ගේ ආදර්ශය නොගනිමු, අපගේ බැල්මෙන් අපි දුර්වල වන්නෙමු.

අපි ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග‍්‍රහය යටතේ ජීවත් වෙන දරුවන්ය.
අප දෙවියන්වහන්සේගේ කීකරු දරුවන් මෙන් මෙන් ජීවත් වෙමු.

අපිට උන්වහන්සේගෙන් කිසිවක් සැඟවිය නොහැකිය, උන්වහන්සේ සියල්ල දන්නා සේක.

අප අතින් වැරුද්දක් වූ පසු එය කියා දී අත හරිමු, දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය තුළින් අපට සමාව තිබේ.

එබැවින් අප පරාජයේ ජීවත් වීම අවශ්‍ය නොවේ.

අප වැරුද්ද කරන විටදීම උන්වහන්සේ ඒ බව දන්නා සේක, ආදම් ඒව වැරුද්ද කරන විටදීම උන්වහන්සේ ඒ බව දැන සිටි සේක.

දෙවියන්වහන්සේ ලෝකයේ අත්තිවාරම් දමන්ටත් පෙර බැටළු පැටවාණන්ව උන්වහන්සේ සූදානම් කළ සේක.

උන්වහන්සේ සියල්ල දැන සිටි නමුත් මේ සියල්ල මෙලෙස වීමට උන්වහන්සේ ඉඩ දී ඇත්තේ උන්වහන්සේ මනුෂ්‍යයාට නිදහස් කැමැත්තක් දී ඇති නිසාවෙන්ය.

අපට ස්වර්ගීය ජීවිතය හෝ අපාය තෝරා ගැනීමට නිදහස උන්වහන්සේ දී ඇත.

1 කොරින්ති 15:55
එම්බා මරණය, නුඹේ ජය කොයිද? එම්බා මරණය, නුඹේ කටුව කොයිද?

රෝම 7:10 මෙසේ ජීවනය පිණිස වූ ආඥාවෙන් මට මරණය පැමිණෙන බව දැනගතිමි.

රෝම 8:2
මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.

යොහන් 17:3
සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.

යේසුස්වහන්සේ හඳුනාගැනීම නිසා අපට සදාකාල ජීවනය හා ධර්මිෂ්ඨකම ඇත, මරණයට භයින් අපි ජීවත් නොවෙමු.

1 කොරින්ති 15:55‭-‬57
එම්බා මරණය, නුඹේ ජය කොයිද? එම්බා මරණය, නුඹේ කටුව කොයිද? මරණයේ කටුව නම් පාපයය; පාපයේ බලය නම් ව්‍යවස්ථාවය. නුමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපට මරණයෙන් නිදහස, ජයග‍්‍රහණය ලැබී ඇත.

1 කොරින්ති 15:58
එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.

අපිට ලැබී ඇති සේවයෙහි ස්තීරව යෙදී සිටිමින් නොසැළී සදාකාල ජීවනය තුළ ස්ථීරව සිටිමු.

1 තිමෝති 6:12
ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.

යහපත් සටන යන්නෙන් අර්ථවත් වන්නේ ඔබ පරාජය නොවන සටනක් නිසාය.

අපගේ ප‍්‍රකාශණය ජයග‍්‍රාහී වචන විය යුතුයි, ජය දකින්ටත් පෙර එය කථා කිරීම අවශ්‍යය.

ඔබගේ වචන බලවත්ය.

අපගේ සතුරාට විරුද්ධව ගේට්ටුවේදීම කථා කළ යුතුය.

ගීතාවලිය 127:5
එයින් පිරුණු ඊකොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. ඔව්හු දොරටුවේදී සතුරන් සමඟ කථා කරන විට ලජ්ජාවට පත් නොවන්නෝය.

එබැවින් අපගේ ප‍්‍රකාශණය තදින් අල්ලා ගෙන ජීවත් විය යුතුය.

යක්ෂයාව වත්, පාපය වත් වර්ණනා නොකරමු.

යක්ෂයාව විශ්වාස කරන අය බොහෝ වූවත් එය දෙවියන්වහන්සේට ප‍්‍රශ්ණයක් නොවේ, ඔබ එක්කෙනෙකු වූවත් දෙවියන්වහන්සේ ඔබට ජය ගෙන දෙනු ඇත.

1 සාමුවෙල් 14:6
යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය.

මනුෂ්‍යයන්ට කළ නොහැකි දේවල් දෙවියන්වහන්සේට කළ හැකියි.

ස්වල්පයක් හෝ විශාල පිරිසක් ගැන, එනම් සංඛ්‍යාව ගැන උන්වහන්සේට බාධාවක් නැත.

ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් අපට සියල්ල කළ හැකිය
(පිලිප්පි 4:13)

මාර්ක් 9:23
යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.

ඔබගේ විශ්වාසය ඔබට ජය ගෙන දෙන්නේය, ඔබ තෝරා ගෙන ඇත්තේ කුමක්ද?

අපි අනුග‍්‍රහය විශ්වාස කරමු, ආත්මයාණන්වහන්සේට කීකරුව ගමන් කිරීමට තෝරා ගනිමු.

පාවුල් තුමා මෙන් අපි කුමන තත්වයක සිටියත් ජීවත් වීමට ඉගෙන ගනිමු. ප‍්‍රශ්න තිබුනත් නැතත් ඔහු එක ඇදහිල්ලක සිටියාක් මෙන් ප‍්‍රශ්න මධ්‍යයේ ක‍්‍රියාත්මක වන දෙවියන්වහන්සේගේ ඇදහිල්ල අපි තදින් අල්ලා ගනිමු.

නව ගිවිසුමේ දරුවන් මෙන් ආදර්ශමත් ජීවිතයක් ගත කරමු.

දෙවියන්වහන්සේගේ සැබෑවූ වචනය හරි ආකාරව තේරුම් ගන්නාවූ මනුෂ්‍යයන් ලැජ්ජාවට පත් නොවේ.

උන්වහන්සේ අපගේ යහපත් එඬේරාය, රෝගයට, යක්ෂයාට අපේ ජීවිතයේ ඉඩ නොදෙමින් පසුගිය දේ දෙස නොව ඉදිරිය දෙස බලා ගමන් කරමු.

දෙවියන්වහන්සේගේ වචනය අපව වියවුල්කමින් නිදහස වෙත ගෙන එන නිසා එම වචනය හරි ආකාරව පහදා ගනිමින් ඇදහිල්ලේ ගමන ආදර්ශමත්ව ජීවත් වෙමු.


Watch the Sermon Video

Read 164 times