+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

  දේව භක්තියට අදාල සියලු දේ අපට දී තිබ - යෝෂා මනූ

       September 3, 2023 Sunday Sermon Notes


යේසුස්වහන්සේගේ නාමය අපට නිදහස, ජීවනය ගෙන දී ඇත.

ඒ නාමය අපේ ජීවිතයේ වෙනසක් ඇති කළ නාමයයි.

අප සිටින්නේ ඉදිරියට යන ගමනක මිස, පසුපසට යන ගමනක නොවෙයි.

ඒ නාමයට ප්‍රශංසා කරන පිණිස ප්‍රශංසාවේ වස්ත‍්‍රයක් අපට දී ඇත.

යෙසායා 61:1‭-‬3
ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක;

අපි සියලුදෙනාම ආලේප ලත් සෙනඟක් වන්නෙමු.

දිළින්දන් යනු දෙවියන්වහන්සේ නාඳුනන අයය.

ඔබ මේ ලෝකයේ වස්තු සම්පත් ඇති පොහොසතෙකු වූවත්, ඔබ දෙවියන්වහන්සේව දැනගෙන නැත්නම්, නැතිනම් ඔබ උන්වහන්සේව ඔබේ ගැළවුම්කරු ලෙස, මිදුම්කරු ලෙස නොදැන සිටිනවා නම්, ඔබ දිළින්දෙකි. නැතහොත් ඔබ ආත්මික දිළින්දෙක් ලෙස සිටියි.

බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද,

අද ලෝකයේ බොහෝ මනුෂ්‍යයන් කැඩුනු බිඳුනු සිත් ඇතිව සිටී.

ඔවුන් ශාරීරිකව රෝගීව නොසිටියත්, හදවතින් රෝගීව සිටින නිසා ඔවුන්ට සුවය අවශ්‍යව සිටියි.

සමහර විට කරදර, ප‍්‍රශ්න නිසා දෙවියන්වහන්සේ ගැනත් කලකිරීමෙන්, දෙවියන්වහන්සේ තමන්ව අතහැර ඇති බව සිතන අයද බොහෝය.

නමුත් දෙවියන්වහන්සේ පවසන්නේ, ඔබ මා සමඟ සම්බන්ධකමකින් බැඳෙන්නේ නම් ඔබගේ බන්ධන වලින් ඔබට නිදහස ලබා ගත හැකි බවයි.

වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද, …

අපි ජීවත්වන්නේ බොහෝ දේවලට ඇබ්බැහි වී වහල් භාවයෙන් නිදහස ලබා ගත නොහැකිව ලතවෙන මිනිසුන් සිටිනා සමාජයකයි.

එය පාපය, ශාපය, ලෙඩරෝග, බිය හෝ පරම්පරාවෙන් පැමිණෙන වහල්කමක් විය හැකියි.

ඒවායින් මනුෂ්‍යන්ට තමාවම ගළවා ගැනීමට නොහැකියි.

සමහර විට ඔබ දුරකථනයට ඇබ්බැහි වී සිටින අයෙක් නම් ඔබ එයින් නිදහස් වීම අවශ්‍යයි, මන්ද ඔබට ලැබී ඇති ගැළවීමට වඩා එය උසස් නොවන නිසාය.

ඔබ එය පාලනය කිරීම මිස එයට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න.

අප වහල් වී සිටින පුරුදු වලින් නිදහස් වීම අවශ්‍යයි, මන්ද නිදහස්කම යහපත්ය.

සමහරවිට ඔබ ණයතුරුස් භාවයෙන් සිරවී සිටිනවා විය හැකියි, නමුත් යේසුස්වහන්සේ ඔබව නිදහස් කර ඇත, එය අත්පත් කර ගැනීම ඔබේ වගකීමයි.

ස්වාමීන්වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද,

ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ සැනසිලිකරුතුමාණෝය, අප සැනසීම ලබා ගත් විට අප සිනාසෙනු ඇත.

සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, …..

‘’සියොන්’’ යනු ඉශ‍්‍රායෙල්හි ඇති කන්දක් පමණක් නොවේ, එය උන්වහන්සේගේ අභිමුඛත්වයයි.

එය උන්වහන්සේ වාසය කරන ස්ථානය මෙන්ම, ඔබ දැන් සිටිනා ස්ථානයද වේ.

යේසුස්වහන්සේ පැවසුවේ, ‘’දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් මාගේ නාමයෙන් එකට රැස්වන ස්ථානය මධ්‍යයේ මමද සිටිමි’’ කියාය.

උන්වහන්සේගේ නාමයෙන් මිනිසුන් එකතු වෙන තැන (සභාව තුළ වේවා) අපි වැලපෙනවා නම් උන්වහන්සේ අපව සනසන සේක.

අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ….

මරණයෙන් පසු ඉතිරිවෙන්නේ අළුය, එය කිසිත් නොවේ, නමුත් මරණයෙන් පසු උන්වහන්සේ අපට ජීවනය දී ඇත.

ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.

අපි උන්වහන්සේගේ ජීවනයට සම්බන්ධ වී සිටින නිසා අපි ප‍්‍රීති වෙමු.

දෙවියන්වහන්සේ වාගේම ජීවිතයක් ගත කරන පිණිස අපව තෝරා ගෙන ඇත.

දේව වචනයට අනුව දේව භක්තියට අදාල සියලුම දේ දැනටමත් අපට දී තිබේ.

අප ස්වර්ගයට ගිය පසුව නොව, මේ පොළවේදීම අපගේ සතුරන් මධ්‍යයේ උන්වහන්සේ අපට භෝජන සංග‍්‍රහයක් පිළියෙල කර ඇත.

ගීතාවලිය 23:5
මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක. මාගේ හිස තෙලින් ආලේපකළසේක; මාගේ කුසලාන උතුරායයි.

අපි උන්වහන්සේගේ සමාදානය, යහපත් දේවල් ලබා ගනිමු, ඒවා භුක්ති විදිමු.

දේව භක්තිය ඇතිව ජීවත් වෙමු, එනම් දෙවියන්වහන්සේට ගෞරවය දෙන ශුද්ධ පවිත‍්‍ර වූ ජීවිතයකි.

එය ආගමික හෝ ආගමට ලැදි ජීවිතයක් නොවේ, එය දෙවියන්වහන්සේ වාගේම ජීවත් වීමයි.

දේව ප‍්‍රීතිය අපගේ ශක්තියයි, අපි ප‍්‍රීතියෙන් ජීවත් වීම දේව කැමැත්තයි.

2 පේතෘස් 1:1‭-‬7
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්: දෙවියන්වහන්සේද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද දැනගැනීමෙන් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා.

දෙවියන්වහන්සේගෙන් අප සියලු දෙනාටම ලැබී ඇත්තේ එක හා සමාන ඇදහිල්ලකි. (රෝම 12:3)

එය අනර්ඝ ඇදහිල්ලකි.

එය වර්ධනය කර ගැනීම අපගේ වගකීමයි.

උන්වහන්සේව දැන ගැනීමෙන් ඒ ඇදහිල්ල වර්ධනය වේ.

යොහාන් 17:3 ට අනුව සදාකාල ජීවනය නම් යේසුස්වහන්සේව දැන ගැනීමයි.

නව ජීවනයට අපට ඇතුලු විය හැක්කේ එමඟිනුයි.

එම දැනගැනීමෙන් අපට අනුග‍්‍රහයත්, සමාදානයත් වැඩිවේ.

3 මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අපි සියල්ල උරුම කරගෙන ජීවත් වීමයි.

ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ;

දෙවියන්වහන්සේගේ පොරොන්දු උන්වහන්සේගෙන් අපට ලැබී ඇති බීජ මල්ලක් හා සමානයි.

එය රැගෙන වැපිරීම අප විසින් කළ යුතුය.

සඵලත්වයට, ජයග‍්‍රහණයට, සුවයට අදාල සියලු පොරොන්දු අපට ලැබී තිබේ.

එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිසය.

දෙවියන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය ඇතිව අපි මේ පොළොවේ ජීවත් විය යුතුය.

ක‍්‍රිස්තුස් යනු ආලේප ලත් සෙනඟක්ය, මනුෂ්‍යයන් අප තුළින් දෙවියන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය දැකිය යුතුයි.

දේව ස්වභාවයට අපව පංගුකරුවන් කර ඇත, අප උරුමක්කරුවන් ලෙස ජීවත් වෙමු.

එසේය, මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමඟ ගුණයද, ගුණය සමඟ දැනගැන්මද, දැනගැන්ම සමඟ පමණ දැන ක්‍රියාකිරීමද, පමණ දැන ක්‍රියාකිරීම සමඟ ඉවසිල්ලද, ඉවසිල්ල සමඟ දේවභක්තියද, දේවභක්තිය සමඟ සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහය සමඟ ප්‍රේමයද සපයාගන්න.

දෙවියන්වහන්සේගේ දිව්‍යමය බලයෙන් යන්නෙන් අදහස් වන්නේ මුලු දේවත්වයේ බලයෙන් නැතහොත් ශුද්ධාත්මයාණන්ගේ මළවුන්ගෙන් නැවත නැගිටීමේ බලයෙන් අපට සියල්ලම දී තිබෙන බවයි.

දෙවියන්වහන්සේගේ සැබෑ චරිතය පිළිබිඹු කරන්නට අවශ්‍ය සියල්ල දැනටමත් අප තුළ තැන්පත් කර තිබේ.

1 තෙසලෝනික 4:7
දෙවියන්වහන්සේ අප කැඳෙවුවේ අපවිත්‍රකමට නොව ශුද්ධකමටය.

ලෝකයේ ජීවත්වෙන මනුෂ්‍යයන් ලෙස ඔබ කැමති ඕනෑම විදිහකට ඔබට ජීවත් විය හැකි නමුත් මතක තබා ගත යුතු වැදගත් දේ නම් ඔබ වපුරන දේ ඔබ විසින්ම කපා ගත යුතු බවයි.

ඔබ ශුද්ධව ජීවත් වන්නේ නම් එහි යහපත ඔබට ලබා ගත හැකියි.

ඔබේ ජීවිතයේ ඔබ වපුරන දේ මොනවාද?

1 තෙසලෝනික 2:11
එසේය, තමන්වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් නුඹලා කැඳවන දෙවියන්වහන්සේට ඔබිනලෙස නුඹලා හැසිරෙන හැටියට,

එනම් භක්තිවන්තකමින් ශුද්ධව, පවිත‍්‍රව, ගෞරවය ගෙන දෙන ලෙස හැසිරිය යුතුය.

එපීස 4:1
එබැවින් නුඹලා කැඳවනු ලැබූ කැඳවීමට ඔබිනලෙස,

අපව කැඳවනු ලැබුවේ උන්වහන්සේගේ කැමැත්තේ ප‍්‍රකාරයට ඔබින ලෙස ජීවත් වීමටය.

අප වංක ලෙස දෙවියන්වහන්සේ ප‍්‍රසන්න නොවන කාරණා කරමින් සිටි අය වූවත් දැන් අපි ශුද්ධකමින් ජීවත් වීම උන්වහන්සේගේ අභිප‍්‍රාය වන්නේය.

ගීතාවලිය 84:11
මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.

ඔබ දෙවියන්වහන්සේ උදෙසා අවංකව ජීවත් වීමට තීරණය කරන්නේ නම් උන්වහන්සේ ඔබගේ ජීවිතයේ කිසි යහපතක් නොවලක්වන සේක.

මෙවැනි සමාජයක අවංකව ජීවත්විය හැකිද? එසේ සිටිය යුතුද?

අප එසේ සිටීම උන්වහන්සේ අපේක්ෂා කරන සේක.

අප අවංකව ජීවත්වන්නේ නම් අපේ අවශ්‍යතා සපුරාලීම පිණිස ස්වර්ගීය කවුළු විවෘත කිරීමට උන්වහන්සේ විශ්වාසවන්තව සිටින සේක.

රෝම 8:32
තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?

යේසුස්වහන්සේ අප තුළ සිටිනවා නම් අපට සියල්ල ඇත.

අද මනුෂ්‍යයන් සොයන සමාදානය, සුවය මේ සියල්ල යේසුස්වහන්සේ තුළ ඇත.

දෙවියන්වහන්සේ, යේසුස්වහන්සේ, ශුද්ධාත්මයාණන්වහන්සේ, එනම් මුලු දේවත්වයම ඔබ තුළ සිටිමින් භක්තිවන්තව, ශුද්ධව ජීවත්වීම පිණිස ඔබට උපකාර කරන සේක.

මතෙව් 28:18
යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට: ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ.

ඒ සියලු බලය උන්වහන්සේ දැන් සභාවට දී ඇත. උන්වහන්සේ එසේ යාච්ඤා කළහ.

යොහන් 17:2
ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ලන්ට ඔහු විසින් සදාකාල ජීවනය දෙන පිණිස ඔබ සියලු මනුෂ්‍යයන් කෙරෙහි ඔහුට බලය දුන් ලෙස, පුත්‍රයා ඔබ ගෞරවයට පමුණුවන පිණිස ඔබ පුත්‍රයා ගෞරවයට පැමිණෙවුව මැනව.

යේසුස්වහන්සේ ස්වාමීන් ලෙස ප‍්‍රකාශ කිරීමෙන් පමණක් අද මනුෂ්‍යයන් ගැළවෙන්නේය.

එපීස 1:4
උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක."

සෑම ආශීර්වාදයක්ම ආරම්භ වන්නේ ආත්මික තලයෙනි, එම ආශීර්වාද අපට දැනටමත් ලැබී ඇත, එබැවින් ඉල්ලීම වෙනුවට ස්තූතිදීම කළ යුතුය.

එපීස 1:19‭
අදහන්නාවූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත්, නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමති ඇස් පහදන ලෙසත්ය.

දෙවියන්වහන්සේගේ ආශීර්වාද, පොරොන්දු උරුම කර ගන්න පිණිස අපගේ ආත්මික ඇස්, මනස විවෘත කරන ලෙස අප උන්වහන්සේගෙන් අයැද සිටීම අවශ්‍යය.

එපීස 1:20-23
උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඉෂ්ටකළාවූ ස්වකීය පරාක්‍රමයේ ශක්තිමත්කමේ ඒ ක්‍රියාකිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් නැගුටුවා, සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් මේ ලෝකයෙහි පමණක් නොව පරලෝකයෙහිත් සඳහන්කරනලද සියලු නම්වලටත් වඩා උසස්කොට ස්වර්ගීය ස්ථානවල තමන් දකුණු පැත්තෙහි හිඳුවා, සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත්කොට, සභාව උදෙසා සියල්ලට ප්‍රධානියා වෙන්ට උන්වහන්සේ නියම කළසේක.

සභාවේ හිස යේසුස්වහන්සේ බැවින් උන්වහන්සේට අයිති බලය, අධිපතිකම, ස්වාමිකම, යහපත්කම මුළු ශරීරයටත් අයිතිය.

අපි උන්වහන්සේගේ ශරීරයේ අවයවයන් නිසා ඒ සියල්ල අපට අයිතිය.

ඒ සභාව නම්, සියල්ලන් තුළ සියල්ල සම්පූර්ණකරන තැනන්වහන්සේගේ පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරයය.

මතෙව් 6:33
නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය.

අප උන්වහන්සේව සොයන්නේ නම් අපට අවශ්‍ය සියල්ල උන්වහන්සේ අපට එකතු කරන සේක.

භක්තිවන්තව ජීවත් වීමට අවශ්‍ය සියල්ල භුක්ති විඳිමින්, ඔබ උරුමක්කරුවෙකු ලෙස ජීවත් වෙන්න.


Watch the Sermon Video

Read 157 times