+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

    දේව භක්තියට අදාල සියලු දේ අපි භුක්ති විඳිමු - යෝෂා මනූ
September 10, 2023 Sunday Sermon Notes


අප දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබනවානම් අපට නිසැකභාවයෙන් ජීවත් විය හැකියි.

අප කිසිම දෙයකට භය වෙන්න අවශ්‍ය නොවේ, ස්වාමීන්වහන්සේ අප සමඟයි, උන්වහන්සේ අපව අත් නාරින දෙවියන්වහන්සේය.

අපට මුළු විශ්වාසය උන්වහන්සේ කෙරෙහි තැබිය හැකියි, උන්වහන්සේ අපේ සවිමත් පවුරයි.

අපි මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තැබුවා නම් ඔවුන් මනුෂ්‍යයන් නිසා පොරොන්දු කඩකළ හැකියි, නමුත් දෙවියන්වහන්සේ පොරොන්දු ඉටු කරන තැණැන්වහන්සේය.

යෙසායා 41:10
භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.

අපේ උපකාරය දෙවියන්වහන්සේය, උන්වහන්සේ කිසිදිනක අසමර්ථ නොවේ.

එබැවින් අපේ විශ්වාසය ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි තබමු.

මේ පොළොවේ භක්තිවන්ත ජීවිතයක් ගත කිරීම පිණිස උන්වහන්සේ අපව කැඳවා ඇත.

2 පේත‍්‍රැස් 1:5
එසේය, මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමඟ ගුණයද, ගුණය සමඟ දැනගැන්මද, 6දැනගැන්ම සමඟ පමණ දැන ක්‍රියාකිරීමද, පමණ දැන ක්‍රියාකිරීම සමඟ ඉවසිල්ලද, ඉවසිල්ල සමඟ දේවභක්තියද, 7දේවභක්තිය සමඟ සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහය සමඟ ප්‍රේමයද සපයාගන්න.

අප වටා තිබෙන දේවල් අප විශ්වාස කරන දේ සමඟ එකඟ නොවේ.

නිතරම අපට ඇසෙන්නේ අසුභ, අයහපත් ආරංචියයි.

පවුකාර සෙනඟක් මධ්‍යයේ උන්වහන්සේ අපව තබා ඇත, නමුත් අපි ධර්මිෂ්ඨකමේ ඵල දරමින් ජීවත්විය යුතුය.

අපි අධර්මිෂ්ඨයන් සමඟ එකඟ නොවිය යුතුය.

දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත්තේ කැපවූ, වෙන්වූ, ශුද්ධ වූ ජීවිතයක් ගත කිරීම පිණිසයි.

එලෙස ශුද්ධකමින් ජීවත්වීම සඳහා ශුද්ධාත්මය අප තුළට වගුරුවා ඇත.

උත්පත්ති 6 වන පරිච්ජේදයේ සඳහන් වන නෝවාගේ කාලයේ මනුෂ්‍යයන් ව්‍යවස්ථාව පැමිණෙන්නට පෙර යුගයේ ජීවත්වූ බැවින්, ඔවුන් පව්කාර ජීවිතයක් ගත කරමින් තමන් කැමති කැමති දේ කළහ.

එවැනි පව්කාර ලෝකය තුළදීද දෙවියන්වහන්සේ නෝවාව දුටුු සේක.

ධර්මිෂ්ඨ වූ, දෙවියන්වහන්සේට කැප වූ, උන්වහන්සේගේ හඬ අසන්නට තීරණය කළාවූ නෝවාව උන්වහන්සේ ඒ නපුරු පරම්පරාවෙන් ගළවා ගත් සේක.

උන්වහන්සේ මනුෂ්‍යයාව මැවීම ගැන තැවුන බව සඳහන් වී ඇත.

උත්පත්ති 6:1-2
තවද භූමිය මතුපිට මනුෂ්‍යයන් වැඩිවෙන්ට පටන්ගෙන ඔවුන්ට දූවරුන් උපන් කල 2දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය.

මෙහිදී කායින් හා සෙත්ගේ පරම්පරාව ලෙස වංශ දෙකක් ගැන සඳහන් වේ.

ආදම් හා ඒවගේ පළමු පුත‍්‍රයන් කායින් හා ආබෙල් වූ අතර කායින් විසින් ආබෙල්ව මරා දැමීමෙන් පසු දෙවියන්වහන්සේ ඔවුන්ට දුන් පුත‍්‍රයා වූයේ සෙත්ය.

කායින් පසුතැවිලි වෙන්න, වෙනස් වෙන්න අකමැතිව දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් ඉවත්ව ගිය අතර ඔහුගේ වංශය මනුෂ්‍ය පුත‍්‍රයන් ලෙසද සෙත්ගේ වංශය දෙවියන්වහන්සේගේ පුත‍්‍රයන් ලෙසද හඳුන්වන ලදි.

සෙත්ගේ වංශයේ එනම් දේව පුත‍්‍රයන් කායින්ගේ වංශයේ එනම් මනුෂ්‍යය ස්ත‍්‍රීන්ව අසම ලෙස විවාහ කර ගැනීම දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ නපුරුව තිබුන සේක.

දේව දරුවන් වන අප විවාහයන් වලදී දෙවියන්වහන්සේගේ ශුද්ධ දරුවන්වම තෝරා ගැනීම දෙවියන්වහන්සේට ප‍්‍රසන්න වන කාරණාවක්ය.

මේ මනුෂ්‍යයන්ට කිසිම පණතක් නොතිබුණ නිසා ඔවුන් තමන් කැමති ලෙස ජීවත් වුණෝය.

උත්පත්ති 6:3
ස්වාමීන්වහන්සේද: මාගේ ආත්මය මනුෂ්‍යයා හා සමඟ සදාකල්ම විවාද නොකරන්නේය; මක්නිසාද ඔහුත් මාංසයය. එසේවී නුමුත් ඔහුගේ කාලය එකසිය විසි අවුරුද්දක් වන්නේයයි කීසේක.

මෙතෙක් අවුරුදු නවසිය ගණනක් ජීවත් වූ මනුෂ්‍යයාගේ ආයුෂ දෙවියන්වහන්සේ අවුරුදු එකසිය විස්ස දක්වා අඩු කළ සේක.

උත්පත්ති 6:4
ඒ දවස්හි යෝධයෝ පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය.

මනුෂ්‍යයාගේ ඇස් හමුවේ කීර්තිමත්, බලසම්පන්න යෝධයන් ලෙස ගණන් ගත් නමුත් දෙවියන්වහන්සේ දුටුවේ ඔවුන් දුෂ්ඨයන් ලෙසයි.

උන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක් මෙන් නොබලන සේක.
(1 සාමුවෙල් 16:7)

උත්පත්ති 6:5
මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක.

සමහර පුද්ගලයන් මෙම දේව පුත‍්‍රයන්, දේව දූතයන් ලෙස අර්ථ දක්වා තිබුණත් ඔවුන් දේව දූතයන් නොවේ, මන්ද දේව දූතයන් මනුෂ්‍යයන් නොවේ.

ඔවුන් සේවක ආත්මයන් පමණක්ය, ඔවුන්ට වංශයක් බිහි කිරීම පිණිස බීජයක් නොමැත. හෙබ්‍රෙව් 1:14

නමුත් දෙවියන්වහන්සේ, මනුෂ්‍යයන් දේව ස්වරූපයෙන් හා සමානත්වයෙන් සාදා, බෝවී පොළොව පූර්ණ කිරීමට අණ කළ සේක. (උත්පත්ති 1:26-28)

මෙම යෝධයන් බිහිවුනේ දේව පුත‍්‍රයන් මනුෂ්‍ය දූවරුන් සමඟ වැරදි ලෙස කළාවූ විවාහයන් වල ප‍්‍රතිඵලයක් ලෙසය.

මෙම මනුෂ්‍යන්ගේ අරමුණ වැරදි බව දෙවියන්වහන්සේ දුටු සේක.

උත්පත්ති 6:6-8
තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක. 7ස්වාමීන්වහන්සේ: මා විසින් මවනලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැතිකර දමන්නෙමි; මනුෂ්‍යයන්ද මෘගයන්ද බඩගායන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැතිකර දමන්නෙමි; මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමියි කීසේක. 8එහෙත් නෝවා ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ලැබුයේය.

නෝවා දෙවියන්වහන්සේගෙන් අනුග‍්‍රහය ලැබුවේය.

අපි නෝවාගේ වංශයෙන් පැවතෙන්නෝ වෙමු.

යේසුස්වහන්සේ පැවසුවේ අවසාන කාලයේ නෝවාගේ කාලයේ මෙන් දුෂ්ඨ පරම්පරාවක් ඇති වන බවත් (මතෙව් 24:37-39),

මේ පොළොව ගින්නෙන් විනාශ කිරීමට සූදානම් කර ඇති බවත්ය.

දෙවියන්වහන්සේගේ උදහසින් නෝවා මේ පොළොවේදීිම නැව තුළ ආරක්ෂා වූවා සේ අවසාන කාලයේ මේ පොළොවට පැමිණෙන පීඩාවෙන් ක‍්‍රිස්තුස්වහන්සේගේ නැව තුළ දෙවියන්වහන්සේ අපව ආරක්ෂා කරන සේක.

දේව භක්තියට ආදාල සියල්ල අපට දී ඇති බැවින් අප ඒවා භුක්ති විඳිය යුතුය.

ඔබ දකින දේවලින් නොසැලී මරණයෙන් ජීවනයට ඇතුලු වෙන්න.

යම් කෙනෙක් යේසුස්වහන්සේව පිළිගැනීමට තීරණය කිරීම යහපත් තීරණයකි.

එය තමන්ගේ ඉරණම වෙනස් කර සදාකාලික මරණයෙන් සදාකාලික ජීවනයට ඇතුලු වීමක් වැනිය.

2 පේත‍්‍රැස් 1:3
මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ.

අප දැන් සිටින්නේ අලුත් ගිවිසුමේ ශුද්ධවන්තයන්ට වඩා උතුම් ගිවිසුමකය.

යේසුස්වහන්සේගේ ලේ වල බලය අපට ඇත, ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ ඇත, පරණ ගිවිසුමේ මනුෂ්‍යන් තුළට ශුද්ධාත්මයාණන්වහන්සේ පැමිණියත් ඔවුන් තුළ වාසය කළේ නැත.

එබැවින් අප ස්වාමීන්වහන්සේ සමඟ කාලය ගත කිරීම අවශ්‍යය.

දැනගැනීම එපා නොකරමු, දැනගැනීම එපා කළ විට සතුරා ඇවිත් අපේ මුලු ජීවිතයම විනාශ කර දැමීමට පුළුවන, දේව වචනය වපුල වහාම සතුරා එම බීජය ඩැහැ ගැනීමට තැත්කරයි. (මතෙව් 13:18-19)

අපට අනුග‍්‍රහයත්, සමාදානයත් වැඩි වෙන්නේ දෙවියන්වහන්සේව දැනගැනීම තුළිනි.

2 පේත‍්‍රැස් 1:4
ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය.

අප දෙවියන්වහන්සේගේ පොරොන්දු උරුම කර ගනිමු, ඒවා කිසිම දිනක පහව නොයයි.

සැබවක් නුඹලාට කියමි: අහසත් පොළොවත් පහව යන තෙක්, සියල්ල සිදුවන තුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. (මතෙව් 5:18)

යක්ෂයා මාංශාකාරව ක‍්‍රියා කරමින් මනුෂ්‍යයන්ව තෘෂ්ණාවට පොලඹවනු ලබන බැවින් එයින් ජය ගැනීම පිණිස මේ පොරොන්දු අපට දී ඇත.

දෙවියන්වහන්සේ ආදම්ව මේ ලෝකයේ දෙවියා ලෙස පත් කළත් ඔහු ඒ බලය හා ආධිපත්‍යය යක්ෂයාට භාර දුන් නිසා දැන් මේ ලෝකයේ දෙවියා ලෙස සිටින්නේ සාතන්ය. (2 කොරින්ති 4:4)

නමුත් ක‍්‍රිස්තුස්වහන්සේ පිළිගැනීම කරණකොටගෙන අපට ලැබුණු එම බලය හා ආධිපත්‍යය පාවිච්චි කිරීම අපගේ වගකීමයි.

අපි තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට නම් මේ දූෂ්‍යකමින්, පව්කාරකමින් ගැළවීම අවශ්‍යය.

දෙවියන්වහන්සේ අප තුළ ජයග‍්‍රාහී ආත්මයක් තබා ඇත.

යාකොබ් 1 හි සඳහන් පරිදි පරීක්ෂාවන් හා පෙලඹවීම් පැමිණෙන්නේ අප මාංශිකව ජීවත් වන විටදීය.

අපි දේව ස්වභාවයෙන් එනම් භක්තිවන්තකමින් ජීවත් විය යුතුය.

2 පේත‍්‍රැස් 1:5
එසේය, මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමඟ ගුණයද, ගුණය සමඟ දැනගැන්මද,

ශුද්ධකම ඔබ තුළට ඉබේම ඇතුල් වන්නේ නැත, එය ඔබ විසින් ගත යුතු තීරණයකි.

ඇදහිල්ල අපේ ජීවිතයේ අත්තිවාරමයි.

ගුණය - කිතුනු චරිතය ලෙසද අර්ථ දැක්විය හැකිය

යේසුස්වහන්සේ පිළිගැනීම නිසා ධර්මිෂ්ඨකම නමැති චරිත ගුණාංගය අප තුළ තබා තිබේ. (රෝම 10:9-10)

එය දෙවියන්වහන්සේගේ දීමනාවක් ලෙසට අපට ලැබී ඇත.

යහපත්කම් කිරීම අපගේ චරිතයයි.

අපගේ මනසට එන සිතුවිලි වෙනස් කර ගැනීමෙන් වෙනස් වූ ජීවිතයක් ගත කරමු.

රෝම 12:1-2
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.

අපගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි.

යාගයක් ඔප්පු කරන විට එම සත්වයා පූජාසනය මතදී පුළුස්සා දමනු ලබනවා.

ගලාති 2:20 ට අනුව අපි ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසපත් වී ඇත, දැන් ජීවත්වෙන්නේ අප නොව අප තුළින් උන්වහන්සේය.

එය නුඹලාගේ ආත්මික සේවය වේ.

අපේ නමස්කාරය නම් දෙවියන්වහන්සේට කැපවූ ජීවිතයක් ගත කිරීමයි.

රෝම 12:2
නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

අපට මේ ලෝකයේ ආකාරයට සමාන වීමට බොහෝ පෙළඹවීම් පැමිණියද, දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට තීරණය කර ගැනීම යහපත්ය.

යහපත්වූ, පිළිගත යුතුවූ, සම්පූර්ණවූ දෙය කරන පිණිස අපගේ මනස, (සිත) අලුත් කර ගනිමු.

දේව වචනය පරිදි ජය ගනිමු.

2 පේත‍්‍රැස් 1:6
දැනගැන්ම සමඟ පමණ දැන ක්‍රියාකිරීමද, පමණ දැන ක්‍රියාකිරීම සමඟ ඉවසිල්ලද, දේවභක්තිය සමඟ සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහය සමඟ ප්‍රේමයද සපයාගන්න.

අපි ඇදහිල්ලේ ගමනකට ඇතුල් වී ඇත.

එය මාංශාකාරව, තෘෂ්ණාවන් සම්පූර්ණ කර ගැනීමේ ගමනක් නොවන බැවින් දේව වචනය තුළින් අපගේ කිතුනු චරිතය ගොඩනගා ගනිමු.

දේව වචනය තුළින් අපේ සිතුවිලි, ක‍්‍රියා, අපට හැඟෙන දේවල් පවිත‍්‍ර කර ගත යුතුය.

දේව භක්තියෙන් ජීවත් වීමට නම් දැනගැන්ම, පමණ දැන ක්‍රියාකිරීම, ඉවසිල්ල අපේ ඇදහිල්ලට එකතු කර ගැනීම අවශ්‍යය.

1 පේත‍්‍රැස් 1:15
නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න.

ගීතාවලිය 84:11
මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.

දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන ජීවිතය ගත කරන පිණිස අපි අවංකව ජීවත් වීමට තෝරා ගනිමු.

1 පේත‍්‍රැස් 3:9
නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න

අප දේව දරුවන් නිසා අපේ චරිත ස්වභාවය දේව භක්තිය හා ශුද්ධකමට අනුව වෙනස්විය යුතුය.

අපි ආශීර්වාදය උරුම කර ගන්නා සෙනඟක් බැවින් පීඩා කරන අයට අයට, ශාප කරන අයට පවා අපි ආශීර්වාදම කරමු.

භක්තිවන්තව ජීවත් වෙමින් දේව වචනයේ පොරොන්දු තුළින් අපි ජයගනිමු.


Watch the Sermon Video

Read 170 times