+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ වියවුල්භාවයෙන් තොරව දේව වචනය තුළින් ශක්තිය ලබා ගන්නේ කෙසේද?- යෝෂා මනූ

September 17, 2023 Sunday Sermon Notes


දෙවියන්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය පූජා කළ සේක.

අප වියවුල්භාවයෙන් තොරව උන්වහන්සේගේ වචනයෙන් ශක්තිය ලබා ගනිමු.

හිතෝපදේශ 3:5
නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න.

දේව වචනයෙන් දිනපතා පෝෂණය ලබා ගැනීමට ආශා කරමු, මන්ද එයින් ඔබේ මනස වෙනස් කරමින් යක්ෂයා එවන භයේ, සැකයේ, සිතුවිලි පරාජය කිරීමට ඔබට හැකිවනු ඇත.

සෑම උදයකම දේව වචන, දේව පොරොන්දු ප‍්‍රකාශ කරමින් ඔබ ඔබවම ධෛර්යයමත් කර ගන්න.

අපව අධෛර්යයමත් කිරීමට බොහෝ කාරණා පැමිණිය හැකියි, කිසිවෙකු පිටස්තරව නොපැමිණියද ඔබව අධෛර්යයමත් කිරීමට ඔබ තුළ ඇති ඔබගේ හැඟීම් පමණක්ම සෑහෙනු ඇත.

ගැළවීම ලැබා ගැනීමට පෙර අප හැඟීම් වලින් මෙහෙයවනු ලැබූ, යක්ෂයාට බැඳී සිටි ජීවිතයක් ගත කළ නමුත් දැන් අප ජීවත් වන්නේ ඇදහිල්ලෙන් හා දේව වචනයෙනි.

දෙවියන්වහන්සේ අපව නිදහස් කළ සේක් නම් අප සැබවින්ම නිදහස්ය, එබැවින් නැවත වාරයක් බන්ධනයට යටත් නොවී සිටීමට තීරණය කර ගනිමු. (ගලාති 5:1)

අප ජීවත්විය යුත්තේ මේ ලෝකයෙන් ලැබෙන දැනුමෙන් නොව, දෙවියන්වහන්සේගේ සැලසුම කරමින් දේව දරුවන් ලෙසය.

1 කොරින්ති 6:19-20
නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? 20නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

දෙවියන්වහන්සේ අපව උන්වහන්සේගේ ලේ වලින් මිලදී ගත් සේක, දැන් අප අපටම අයිති නැත, අපේ ශරීරය උන්වහන්සේගේය.

භයාදුකමේ, වියවුල්කමේ කර්තෘ යක්ෂයා වන හෙයින්
සෑම උදෑසනකම අපව භය කිරීමට වියවුල් කිරීමට ඌ සූදානමින් සිටියි.

අපගේ මනස යක්ෂයාගේ කුණු බාල්දිය කිරීමට අප ඉඩ නොදෙමු.

යක්ෂයාගෙන් එන අධෛර්යයමත්කමේ වචන, හැඟීමි, සිතුවිලි කතා නොකර සිටීමෙන් ඒවාට ජීවනයක් නොලැබෙනු ඇත.

සිතුවිල්ලක් පරාජය කළ හැක්කේ දේව වචනයෙන් බැවින් වචනය කථා කිරීමට මුල් තැන දෙමු.

ගලාති 2:20
මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.

අපගේ පරණ ස්වභාවය මැරී ඇත.

අප දැන් නව මැවිල්ලකි, උන්වහන්සේගේ ආත්මය අපේ ආත්මය හා එක් වී සිටියි.

දේව වචනය ක‍්‍රියාත්මක වන්නේ නොපෙනෙන තලයේය.

අප ජීවත්වන්නේ ඇදහිල්ලෙනි.

හිතෝපදේශ 5:1
මාගේ පුත්‍රය, සිහිනුවණ රක්ෂා කරගැනීම පිණිසද දැනගැන්ම නුඹේ තොල්වල පවතින පිණිසද 2මාගේ ප්‍රඥාවට ඇහුම්කන්දී, මාගේ ඥානයට නුඹේ කන නමන්න.

වියවුල්කමේ, භයාදුකමේ සිතිවිලි පැමිණෙන්නේ ඔබට ඉදිරියට යාමට නොදී ඔබව සිර කරන පිණිසය.

නමුත් අපි අපේ ඇදහිල්ලේ වචන කථා කරමු.

හෙබ්‍රෙව් 1:1
දෙවියන්වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථාකරවා, 2මේ දවස්වල කෙළවරදී තමන්වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථාකෙරෙවුසේක.

දෙවියන්වහන්සේ අද උන්වහන්සේගේ පුත‍්‍රයාණන් තුළින් අපට කථා කරන සේක.

ඒ වචනය කියවා, මෙනෙහි කිරීමට කාලය දෙමු.

ඔබ දේව වචනය ප‍්‍රකාශ කිරීම යනු, ඔබේ අනාගතය ගැන ඔබම අනාවැකි කියා ගැනීම හා සමානයි.

ඔබ වෙනුවෙන් ඔබම කථා කළ යුතුය.

හෙබ්‍රෙව් 1:2
උන්වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූසේක. 3උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.

දෙවියන්වහන්සේ දවස් 6න් ලෝකය මවා 7 වැනි දවසේ විශ‍්‍රාම ගත් සේක. (උත්පත්ති 2:1-2)

උන්වහන්සේ පැවසු දේවල් වචනයෙන් උසුලා ගත් සේක.

එපීස 2:6
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක

අද දෙවියන්වහන්සේගේ දකුණු පස යේසුස්වහන්සේ සමීපයෙහිම, ඔබත් මමත් වාඩිව හිඳිමු.

උන්වහන්සේ ක‍්‍රියා කරන්නේ වචනයේ බලයෙන් නම්, අපද එසේමය.

උන්වහන්සේ සිටින ආකාරයටම, අපිද මේ පොළොවේ සිටිමු.

හෙබ්‍රෙව් 1:4
4 මෙසේ දේවදූතයන්ට වඩා උත්කෘෂ්ට නාමයක් උන්වහන්සේට උරුමව තිබෙන ලෙසම ඔවුන්ට වඩා එපමණ උතුම්වූසේක. 5 මක්නිසාද: නුඹ මාගේ පුත්‍රයාය, මම අද නුඹ ජනිතකෙළෙමියි කියාත්, මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේය කියාත්, දේවදූතයන්ගෙන් කවරෙකුට යම් කලක උන්වහන්සේ කීසේක්ද?

මේ දවස්වල කෙළවරදී තමන්වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථාකෙරෙවුසේක. උන්වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළසේක, උන්වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූසේක.

කිසිම දේව දූතයෙක් පුත‍්‍රයෙක් වූයේ නැත.

යේසුස්වහන්සේ ප්‍රථම ඵලය, නාඹුල් ඵලය ලෙස මරණයෙන් නැඟිටුනු ආකාරයෙන්ම අපද උන්වහන්සේ සමඟ නැවත ඉපදී සිටින්නෙමු.

හෙබ්‍රෙව් 1:6 හා 7 වන පදය
උන්වහන්සේ තමන්ගේ කුළුඳුල් පුත්‍රයා ලෝකයට නැවත ගෙනෙන කල: දෙවියන්වහන්සේගේ සියලු දූතයෝ උන්වහන්සේට නමස්කාරකරත්වයි කියනසේක. 7 දේවදූතයන් ගැන වනාහි: උන්වහන්සේ ස්වකීය දූතයන් සුළංද ස්වකීය ගිනි දැලක්ද කරනසේකැයි කියනසේක.

දේවදූතයන් අපට උපකාර කරන පිණිස සිටින අතර, ඒ මඟපෙන්වීම අපට අවශ්‍යයය.

අපි නිවැරදි වචන කථා කරන්නේ නම් ඔවුන් අපට ආරක්ෂාව දීමට බලා සිටිනු ඇත.

දෙවියන්වහන්සේගේ සේවකයන් වන අපි ගිනිදැල් මෙන්ය, මන්ද අපි කථා කරන වචන බලවත්ය.

ක‍්‍රියා 1:1
යේසුස්වහන්සේ තමන් විසින් තෝරාගත් ප්‍රේරිතයන්ට ශුද්ධාත්මය කරණකොටගෙන අණදුන් පසු,

යේසුස්වහන්සේ තමන් පොරොන්දුව ලෙස ගෝලයන්ව ශුද්ධාත්ම බලයෙන් පිරෙව්වා, ගිනිදැල් ඔවුන් මත තිබුණා.

පේත‍්‍රැස් ශුද්ධාත්ම බලයෙන් පිරුණු පසු ඔහු කථා කළ වචන ගැනත් ක්‍රියා 3 වන පරිච්ජේදයේ සඳහන් කොරවූ මනුෂ්‍යයා සුවය ලැබුවේ කෙසේද කියාත් මනුෂ්‍යයන් පුදුම වුණා.

කිසිම අධ්‍යාපනයක් නොලැබූ පේත්‍රැස් බලවත් වචන ලැබුවේත්, කොර මිනිසා සුවය ලැබුවේත් ශුද්ධාත්ම බලය නිසාය.

අපි ගිනිදැල් නිසා යහපත පමණක් කථා කරමු, මරණයත්, ජීවනයත් දිවේ වසඟයෙහි පවතින නිසාවෙනි. (හිතෝපදේශ 18:21)

අපි අසුභවාදී, මරණීය වචන කථා කළ විට ඒවාද එලෙසම සිදුවනු ඇත.

එබැවින් අපි ජීවනයේ වචන කථා කරමු.

ඔබ යමෙකුගේ ප‍්‍රශ්නය නොදන්න නමුත් දෙවියන්වහන්සේ ඔහු ගැන, ඔහුව ශක්තිමත් කිරීමට ඔබට යම් වචනයක් දෙනු ඇත.

හෙබ්‍රෙව් 4:12
මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.

දෙවියන්වහන්සේ ඔබව ගිනිදැලක් ලෙස පත් කර ඇති නිසා ඔබ කථා කරන වචන බලවන්තයි.

ඔබ පොළොවේ ලුණුය, ලෝකයේ ආලෝකයයයි.

ඔබේ ආලෝකය සඟවා නොගන්න, එනම් නිතරම ඔබ ජීවනයේ වචන කථා කරන්න.

එවිට ඔබ ඔබවම ශක්තිමත් කර ගන්නවා ඇත, අන් අයවද ශක්තිමත් කිරීමේ වචන කථා කිරීමට සූදානමින් සිටින්න.

දේව වචනයෙන් දිනපතා ජීවත් වන නිසා අපි වියවුලට පත් නොවෙමු.

1 යොහාන් 5:4
මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.

ඔබ ලෝකයෙන් ජය ගෙන සිටියි, එබැවින් ලෝකයේ නපුරු ප‍්‍රවෘත්ති වලට යට නොවී ජීවත් විය යුතුය.

මාධ්‍යයෙන් ලැබෙන තොරතුරු වලින් ඔබේ ජීවිතය පුරවා ගන්නේ නම් ඔබ බිය වනු ඇත, ඔබෙන් පිට වන්නේ භයේ වචනය.

නමුත් දෙවියන්වහන්සේ පවසන්නේ දිව්‍යයමය ප‍්‍රඥාවෙන් කථා කරන ලෙසය.

ලෝකයේ වචන කතා කරන විට ඔබ ලෝකයේ මිනිසුන් සමඟ එකඟ වනු ඇත.

නමුත් ඔබ දේව වචනයෙන් ශක්තිමත් වී, දිව්‍යමය ප‍්‍රඥාවෙන් ඔබේ මනස පුරවා ගත් විට අන් අයව ධෛර්යයමත් කිරීමට ඔබට හැකි වනු ඇත.

දෙවියන්වහන්සේ අපට දී ඇත්තේ භයාදුකමේ ආත්මයක් නොවේ.

ඔබ ගිනිදැලක්ය, ඔබ තුළ බැබළෙන ආලෝකය ඔබට නොපෙනුණාට මනුෂ්‍යයන් එය දකිනු ඇත.

දේව වචනය කථා කිරීම නිසා ඔබව සමාජයෙන් වෙන් කළ හැකියි.

රෝම 12:1-2
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ. 2නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

නමුත් අපගේ මනස වෙනස් කර ගනිමින්ද, නිතරම දේව වචනය කථා කරමින්ද අපි ස්වර්ගීක ජීවිතයක් ගත කරමු.

එවිට දිව්‍යමය ප්‍රඥාව ඔබේ මනසට ගලා එනු නියතය.


Watch the Sermon Video

Read 179 times