+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

 දෙවියන්වහන්සේට ඔබව පාවිච්චි කරන්නට නම්, යටහත්පහත් වීමෙන් වචනය දැනගන්න - මනූ මැතානි

September 17, 2023 Sunday Sermon Notes


දේව වචනය ඉගෙන ගැනීමෙන් අප යටහත් මනුෂ්‍යයන් වනු ඇත.

නමුත් හරි ආකාරව වචනය ඉගෙන නොගෙන බයිබල් පද උපුටා ගැනීමෙන් පමණක් ජීවත් වෙන්න උත්සාහ කරන්නන් අහංකාර මනුෂ්‍යයන් වනු ඇත.

1 තිමෝති 6:3‭-‬5
යමෙක් සාරවූ වචනවලට, එනම් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලටත් භක්තිවන්තකමේ හැටියටවූ ධර්මයටත් එකඟ නොවී, වෙනස් ධර්මයක් උගන්වන්නේ නම්, 4 ඔහු කිසිවක් නොදැන, වචන ගැන ප්‍රශ්නකිරීමෙන්ද වාදකිරීමෙන්ද උමතුව අහංකාරව සිටියි; එයින් ඊර්ෂ්‍යාවද විවාදයද අපහාසයද නපුරුයයි සිතීම්ද දූෂ්‍යවුණ සිත් ඇත්තාවූ, 5 සැබෑවෙන් වෙන්ව සිටින්නාවූ භක්තිවන්තකම ලාභයට මාර්ගයකැයි සිතන්නාවූ මනුෂ්‍යයන්ගේ නිරන්තර තරඟද උපදින්නේය.

තමාගේ දැනුම ගැන පමණක් පාරට්ටු කර ගන්නා මනුෂ්‍යයන්ගෙන් ඈත්ව සිටීමට අවශ්‍යයය.

අපි සියලුදෙනා ශුද්ධාත්මයාණන්වහන්සේගේ පාසලේ දිනපතා වචනය ඉගෙන ගත යුතු වෙමු.

අප දන්නා නමුත් ක‍්‍රියාත්මක නොවන්නාවූ දේවල් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේ අපට සිහිපත් කර දෙන සේක.

ඔබ, ඔබවම උසස් කර ගැනීමට පෙළඹවීම් එන විටදී දෙවියන්වහන්සේට ඒ ගැන ස්තූති දී උන්වහන්සේට ගෞරවය දෙන්න.

ඔබ උඩඟු වී සියල්ල දන්නවා යයි සිතීම ඉතාම භයානක තත්වයකි.

එවැනි තත්වයක ඔබ ජීවත් වන්නේ නම් වැරදි ඉගැන්වීම් වලට පහසුවෙන්ම ඔබ හසු විය හැක.

යෙරෙමියා 9:23
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රඥාවන්තයා තමාගේ ප්‍රඥාව ගැන පාරට්ටුකර නොගනීවා, බලවන්තයාද තමාගේ බලය ගැන පාරට්ටුකර නොගනීවා, වස්තුකාරයා තමාගේ වස්තුව ගැන පාරට්ටුකර නොගනීවා.

අපට ප‍්‍රඥාව හෝ බලය හෝ සියල්ල ලැබී තිබෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය.

යක්ෂයා ඉදිරියේ අප බලවන්ත හා ප‍්‍රඥාවන්ත නමුත් අපි එකිනෙකා මනුෂ්‍යයන් ඉදිරියේ කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමු.

අපි ප‍්‍රඥාව ලබා බලවත් වී සිටින්නේ ස්වාමීන්වහන්සේ නිසාය.

එදිනෙදාට අවශ්‍ය වචනයේ ආහාර වේල උන්වහන්සේ අපට සපයන සේක.

පේත්‍රැස්තුමා තමාගේ ඉකුත්වීමේ කාලය ආසන්න වූවත්, තමන් දන්නා සත්‍යතාවයෙහි පිහිටමින් ඒ පිළිබඳව අවදි විය යුතු බව පේත‍්‍රැස් 1:12-14 හි අපට පෙන්වා දෙයි.

12 එබැවින් නුඹලා මේ දේවල් දැන නුඹලාට තිබෙන සත්‍යතාවෙහි පිහිටා සිටින නුමුත් මම නුඹලාට මේ දේවල් සිහිකරවන්ට නිතර සූදානම්ව සිටිමි. 13 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට පෙන්වූ ලෙසම මාගේ කූඩාරම පහකරදැමීමේ කාලය වහාම පැමිණෙන බව දැන, 14 මම මේ කූඩාරමෙහි සිටින තුරු, නුඹලාට සිහිකරවීමෙන් නුඹලා පුබුදුවන්ට යුතුයයි සිතමි.

අපි වස්තුව ගැන පාරට්ටු කර නොගනිමු, මන්ද දෙවියන්වහන්සේ අපට වස්තුව දී ඇත්තේ උන්වහන්සේගේ මහිමය උදෙසා ජීවත් වන පිණිසයි.

උඩඟු වූවන් වර්ධනය නොවේ.

උඩඟු මනුෂ්‍යයන් නිතරම අනික් අයව තුවාල කරමින් සිටියි.

යෙරෙමියා 9:24
නුමුත් පාරට්ටුකරගන්නා පොළොවෙහි කරුණාවත් විනිශ්චයත් ධර්මිෂ්ඨකමත් පවත්වන ස්වාමීන්වහන්සේ මමයයි තේරුම්ගෙන, මා දැනගැනීම නම්වූ කාරණය ගැනම පාරට්ටුකරගනීවා. මක්නිසාද මා ප්‍රියවෙන්නේ මේ දේවලටයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ඔබගේ තත්වය මනුෂ්‍යයන්ට පෙනෙන ලෙස ඔබ ජීවත්වන්නට යන්නේ නම් දෙවියන්වහන්සේ ඔබගේ මෝඩකම දකින සේක.

උඩඟු භාජනයක් දෙවියන්වහන්සේට කිසිදා පාවිච්චි කළ නොහැකියි.

දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය ඇත්තේ යටහතුන්ට පමණක් බැවින් ඔබ කොතරම් ඉහළ තැනක සිටියත් කිසිවක් ගැන පාරට්ටු කර නොගන්න.

දෙවියන්වහන්සේ ප්‍රසන්න වන්නේ අප උන්වහන්සේව උසස් කරන කලයි.

මනුෂ්‍යයන් මා නොව, මා තුළ ජීවත්වන දෙවියන්වහන්සේව දැකිය යුතුයි.

අපට ඇති දේවල් අද තිබී හෙට නැතිවී යා හැකියි.

දෙවියන්වහන්සේට ඔබව පුදුමාකාර ලෙස පාවිච්චි කළ හැක.

අපි දෙවියන්වහන්සේගේ මහිමය දරන මැටි භාජන පමණක් වෙමු.

ගෞරවය, මහිමය අයත් උන්වහන්සේ ගැන මිස අපි අප ගැනම කථා නොකරමු.

අප අප ගැනම පාරට්ටු කර ගැනීම දුර්වල චරිතයකි.

මනුෂ්‍යයන්ගේ වර්ණනාව පසුපස නොයන්න.

ඔබ ගැන සැබෑව කථා කරන අවංක මිතුරන්ව මිසක් පුරසාරම් වලින් ඔබව ඔසවා තබන රසිකයන්ව ඇතිකර නොගන්න.

1 තිමෝති 6:17-19
මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්, 18 යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගවන්තව, බෙදාදීමට ලැදිව සිටින්ටත්, 19 සැබවින් ජීවනයවූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක් තබාගන්ටත් අණකරන්න.

යහපත් ගුණාංග ඇතිව ජීවත් වීමෙන් ඔබ යහපත් අත්තිවාරමක් ගොඩනඟා ගනු ඇත.

ඔබගේ වස්තුව කෙරෙහි විශ්වාස නොකර එකිනෙකා සමඟ බෙදා ගැනීම කළ යුතුයි, එවිට ඔබ යහපත් අත්තිවාරමක් ගොඩනඟා ගනු ඇත.

මේ සියල්ල දෙවියන්වහන්සේ ඔබට දී තිබෙන බව ඔබ විශ්වාස කළ යුතුයි.

එබැවින් මේ කිසිවක් ගැන නොව ජීවමාන දෙවින්වහන්සේ කෙරෙහි ඔබේ විශ්වාසය තබන්න.

යහපත්කම් කිරීම සඳහා පොහොසත් වී සිටිමු.

අද අප කරන දෙයින් අපේ අනාගතයේ අත්තිවාරම තීරණය වනු ඇත, එමනිසා අද දවස ගැන පමණක් පහසුවෙන් සිතා කටයුතු නොකළ යුතුය.

දෙවින්වහන්සේට කාලය පිළිබඳ ගැටළුවක් නැත, උන්වහන්සේ ඊයෙත් අදත් හෙටත් එකාකාරමය.

අපි සියල්ලෝම ජීවත් වන්නේ ස්වාමීන්වහන්සේගේ මහිමය උදෙසාය.

අපේ ශරීරයෙන්ද, ජීවිතයෙන්ද දේව මහිමය සඳහා ජීවත්වන්නේ නම් යහපත් අත්තිවාරමක් අප සතු වනු ඇත.

කිතුනු ජීවිතයේ කල් යත්ම මළාවූභාවය ඇති වීමට ඉඩ නොදෙමු,

කිතුනු ජීවිතය දිනපතාම ඵල දරන ජීවිතයකි.

දිනපතා අපගේ නැවුම්භාවය, ශක්තිය අලුත් කර ගනිමු.

කොලොස්සි 3:1-2
ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක.

ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධකම දෙස බලන විට මේ ලෝකයේ සියල්ල ඔබට අඳුරු ලෙස පෙනෙණු ඇත.

ඔබට තිබෙන්නේ වෙනත් අයෙකුව ධෛර්යයමත් කිරීමට, සිනහවක් ගෙන ඒමේ ස්වභාවයක්ද? නැතිනම් ඔවුන්ව තුවාල කිරීමේ ස්වභාවයක්ද?

දෙවියන්වහන්සේ අපගේ හදවත දකින සේක.

නැති වී යන, විනාශ වී යන දේවල් නිසා එකිනෙකා සමඟ සමාදානය නැති කර නොගනිමු, රූප වන්දනාවක් හා සමාන එවැනි දේවල් අපේ නිවෙස් වලින් ඉවත් කර දමමු.

ක‍්‍රියා පොතේ සඳහන් ඇදහිලිවන්තයන් ගැළවීම ලබා ගත් පසු තමන්ගේ නිශ්ඵල ඇදහිල්ලෙන් යුත් වටිනා දේවල් පුළුස්සා දැමූ බව වාර්ථා වේ.

ක‍්‍රියා 19:19
යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාසකළ බොහෝ දෙනෙක්ද තමුන්ගේ පොත් එක්කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමුවෝය. ඒවායේ මිල ගණන් බලා, රිදීමිල පනස් දහසක් බව දැනගත්තෝය.

කොලොස්සි 3:1-2
පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න. 3මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.

ඔබ උසස් තැන්හි තිබෙන දේවල්ම සොයන්න.

ඔබගේ මාංශය මැරී, වතුර බෞතීස්මය තුළින් වළලා දමා ඇත.

ගලාති 2:20
මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.

හෙබ්‍රෙව් 11:24‭-‬25
මෝසෙස් වැඩුණායින් පසු ඵාරාවෝගේ දුවගේ පුත්‍රයායයි කියනු ලැබීම ඇදහීමෙන් එපාකර, 25 විපාකය දෙස බැලූ බැවින් මිසරයේ වස්තුවලට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ නින්දාව මහත් සම්පතක්යයි සිතා,

මෝසෙස්ට තත්වය, බලය, ප‍්‍රඥාව හා වස්තුව යන සියල්ලම තිබුනත් ඔහු යම් තේරුම් ගැනීමකට ආ විට ඒ සියල්ල ඇදහිල්ලෙන් එපා කර දැමුවේය.

යහපත් දේවල් ඇදහිල්ලෙන් එකතු කර ගන්නවා මෙන්ම අයහපත් දේවල් ඇදහිල්ලෙන්ම ප‍්‍රතික්ෂේප කළ යුතුය.

මෝසෙස් තමාගේ නියම ස්ථානය තේරුම් ගත් පසු දෙවියන්වහන්සේගෙන් ලැබෙන විපාකය අගය කොට සැලකුවේය.

මෝසෙස්ගේ මව ඔහුව දෙවියන්වහන්සේට පාවිච්චි කිරීමට හැකිවන ලෙස ඔහු ගැන යාච්ඥා කරන්නට ඇත.

හෙබ්‍රෙව් 11:26‭-‬27
කලකට පාපයේ සැප භුක්තිවිදීමට වඩා දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ දුක්විදීම තෝරාගත්තේය.

මේ ලෝකයේ ජීවත් වන මනුෂ්‍යන් අද දවස, හෙට දවස ගැන සලකන නමුත් අපි අපගේ අනාගතයට දෙවියන්වහන්සේගෙන් ලැබෙන විපාකය අගය කොට සලකමු.

අපට මහත් විපාක දීමට උන්වහන්සේ බලා සිටින සේක, අපි ස්ථීරව දෙවියන්වහන්සේ සමඟ ගමන් කරමු.

මේ සියල්ල මට දී තිබෙන්නේ මට කර තිබෙන්නේ ස්වාමීන්වහන්සේමය.

තාවකාලික සැප භුක්තිවිඳීමට වඩා දෙවියන්වහන්සේගෙන් විපාක ලැබීම අප අගේ කොට සැලකිය යුතුයි.

අපට ඉදිරි අනාගතය ගැන යහපත් අත්තිවාරමක් තිබේ.

2 තිමෝති 2:19
එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.

අයුතු ක්‍රියාවන්වලින් ඔබ අහක් වෙන්න, මන්ද උන්වහන්සේට අපේ ජීවිතය ගැන සැලසුමක් ඇත

2 තිමෝති 2:20
ඉඳින් ලොකු ගෙයක රන් රිදී භාජන පමණක් නොව ලී මැටි භාජනත් ඇත්තේය; සමහරක් ගෞරවය පිණිසය, සමහරක් අගෞරවය පිණිසය.

ගෞරවය සඳහා ජීවත් වීමට අපි අපවම පවිත‍්‍ර කර ගනිමින් යටහත් වීම අවශ්‍යය.

2 තිමෝති 2:21
එබැවින් යමෙක් මේවා අත්හැර තමාම පවිත්‍රකරගනී නම්, ඔහු පිරිසිදුකරනු ලැබුවාවූ, ස්වාමියාගේ පාවිච්චියට සුදුසුවූ, සියලු යහපත් වැඩවලට සූදානම්වූ, ගෞරවය පිණිසවූ භාජනයක් වන්නේය.

දෙවියන්වහන්සේට අපව පාවිච්චි කිරීමට අවශ්‍යයි, අපි සිටින්නේ උන්වහන්සේගේ පාවිච්චිය සඳහාය.

එබැවින් අපවිත‍්‍ර දෙයින් ඈත් වී පිරිසිදු භාජනයක් ලෙස ජීවත් වෙමු.

සියලු යහපත් ක‍්‍රියා සඳහා යාච්ඤාවෙන්, ශුද්ධාත්ම ආලේපයෙන් අපගේ සූදානම වැදගත්ය.

අප වචන කථා කරද්දී එය එලෙසම සිදුවන බව විශ්වාස කිරීම අවශ්‍යයි.

යෙරෙමියා 15:19
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ හැරීආවොත්, මම නුඹ නැවත ගෙනෙන්නෙමි, නුඹද මා ඉදිරියෙහි සිටින්නෙහිය; නුඹ අනර්ඝ දෙය නීච දෙයින් වෙන්කළොත්, නුඹ මාගේ මුඛය මෙන් සිටින්නෙහිය. ඔව්හු නුඹ වෙතට හැරීඑන්නෝය, එහෙත් නුඹ ඔවුන් වෙතට හැරී නොයන්න.

අපි අපගේ මුඛය නීච දේවලින් ඉවත් කර ගත හොත් අපි දෙවියන්වහන්සේ හා සමානව කථා කරනු ඇත.

මරණය නීච දේ ලෙසත්, ජීවනය අනර්ඝ දේ ලෙසත් වෙන් කිරීම අවශ්‍යයි.

අපි දෙවියන්වහන්සේගේ මුඛය හා සමානයි.

දෙවියන්වහන්සේගේ වචනය අනර්ඝයි.

දෙවියන්වහන්සේට අප සමඟ සමීප සම්බන්ධයක් ඇත.

ඔබ අනර්ඝ දේ පමණක් කථා කරන්න.

හරි දේ පමණක් කථා කරන්න, නැතිනම් නිහඬව සිටීම යහපත්ය.

සෙකරියස් මාස 9 ක් ගොළුව සිටියේ දේවදූතයගේ පණිවිඩයට අවිශ්වාස වචන කථා කළ නිසාවෙන්ය, නමුත් අට වන දවසේ දරුවාට නම තැබීමේදී, ඔහුගේ නම යොහාන් යයි පවසා ඔහු නැවත කථා ශක්තිය ලැබුවේය. (ලූක් 1:13-20)

නිශ්ඵල වචන කථා කිරීමෙන් අප අපවම විනාශ කර ගනු ඇත.

හිතෝපදේශ 21:23
තමාගේ මුඛයත් දිවත් රැකවල්කරගන්නා තමාගේ ප්‍රාණය විපත්තිවලින් රැකගන්නේය.

ඔබගේ වචන පරිස්සම් කර ගැනීමෙන් බොහෝ කරදර වලින් ඔබට මිදිය හැක, සතුරාගේ අනවශ්‍ය ප‍්‍රහාර වලින් ගැළවී යා හැක.

එබැවින් යාකොබ් 3:3-12 පවසන පරිදි අපගේ දිව දමනය කර ගැනීමට පුරුදු වෙමු.

දෙවියන්වහන්සේ අපව පාවිච්චි කිරීමට සූදානමින් සිටින නිසා උන්වහන්සේ දෙස බලමින් අපේ ජීවිතය ගොඩනඟා ගනිමු.


Watch the Sermon Video

Read 140 times