+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

 ඔබ කතා කරන වචන වලින් ඔබ ජීවත් වන්නේය - මනූ මැතානි

September 24, 2023 Sunday Sermon Notes


අපි ප‍්‍රකාශයේ ජීවිතයක් ගත කරන සෙනඟක් වෙමු.

ඇදහිලිවන්තයන් ජීවත් වන්නේ තමන්ගේ ප‍්‍රකාශන වලින්ය, බොහෝ කිතුනුවන් මේ එළිදරව්ව නොදැන සිටියි.

ඔබ දේව දරුවෙක් නම් දෙවියන්වහන්සේගේ භාෂාව කථා කළ යුතුය.

දෙවියන්වහන්සේ තුළ ඔබේ උරුමය ප‍්‍රකාශ කිරීම ඔබේ ජීවිතයේ පුරුද්දක් කර ගන්න, එය ඔබ තුළ විශාල වෙනසක් ඇති කරයි.

හෙබ්‍රෙව් 3:1
එහෙයින්, ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ ශුද්ධවූ සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් සහ උත්තම පූජකයාණන්වූ යේසුස්වහන්සේ කල්පනාකරන්න.

ඔබට ස්වර්ගීය කැඳවීමක් ඇත.

ඔබ ශුද්ධයි. ඔබගේ අශුද්ධ මනුෂ්‍යයා වතුර බෞතීස්මයේදී වළලා දමා ඇත.

හෙබ්‍රෙව් 3:1 හි ‘’කල්පනාකරන්න’’ වචනයේ අර්ථය නම් ප‍්‍රකාශ කරන්න යන ලෙසයි, යේසුස්වහන්සේ ඔබේ ප‍්‍රකාශනයයි, උන්වහන්සේ ඔබේ උත්තම පූජකයාණෝය.

හෙබ්‍රෙව් 4:14
එබැවින් අහස පසුකරගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගන සිටිමු.

ඔබේ ඇදහිල්ලේ ප‍්‍රකාශනය තදින් අල්ලා ගෙන සිටින්න.

ඔබේ කිතුනු ජීවිතය ඔබේ ප‍්‍රකාශනයෙන් වෙන් කළ නොහැක.

ගැළවීම ලැබීමට පෙර අපේ ප‍්‍රකාශනය කුමක් වූවත්, යේසුස්වහන්සේ පිළිගැනීමෙන් පසු අපේ ප‍්‍රකාශනය උන්වහන්සේ සමඟ එක් වී ඇත.
ප‍්‍රකාශනය වෙනස් කර ගැනීමෙන් ඔබේ ජීවිතයේ විශාල වෙනසක් ඔබ දකිනු ඇත.

ජීවනයත්, මරණයත් කථා කිරීම අපට තෝරා ගත හැක, නමුත් මරණයේ ජීවත් වූ අපි දැන් ජීවනයට පැමිණ සිටින නිසා ජීවනයේ වචනම කථා කරමු.

එපීස 2:1
නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත්කළසේක.

මළාවූ වචන වෙනුවට අපි දැන් ජීවනයේ වචන කථාකරමු.

ජීවමාන දෙවියන්වහන්සේ ප්‍රකාශ කරන වචන මම ප්‍රකාශ කරන්නෙමි.

ඔබගේ ප්‍රකාශනයෙන් ඔබගේ සිතුවිලි ඔබට වෙනස් කළ හැකියි.

මාංශාකාර රෝග, අසනීප, අධෛර්යමත්, භිය සිතුවිලි ඔබට වෙනස් කළ හැකියි.

ඔබ භය වන දේවල්ම ඔබේ ජීවිතයට සිදු වනු ඇත.

යෝබ් 3:25
මක්නිසාද මා භයවන දේ හා මා භයටපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.

රෝගයට, අසමාදානයට මනුෂ්‍යයන්ගේ කාරණාවලට ඔබව භය කිරීමට ඉඩ නොදෙන්න.

භය ඔබව පිටුපසට ගෙන යන අතර, ඇදහිල්ල ඔබව ඉදිරියට ගෙන යයි.

මම භය නොවී ජීවත් වෙන්නට තීරණය කර ගන්නෙමි.

යෙසායා 59:21
තවද: ඔවුන් සමඟ කරන මාගේ ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ කෙරෙහි තිබෙන මාගේ ආත්මයද මා විසින් නුඹේ මුඛයෙහි තබා තිබෙන මාගේ වචනද නුඹේ මුඛයෙන්වත් නුඹේ වංශයේ මුඛයෙන්වත් නුඹේ මාංසයෙන් පැවත එන්නන්ගේ මුඛයෙන්වත් මෙතැන් පටන් සදාකාලේටම පහ නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

අපගේ දරුවන්ට අපි දේව වචනය ප්‍රකාශ කරන්නට, වචනය තුළ ජීවත් වෙන්නට උගන්වමු.

ස්වාමීන්වහන්සේ අපගේ හදවත් තුළට පැමිණියේ අපගේ ප්‍රකාශ කිරීමෙන්ය. එබැවින් අපේ ජීවිත ගමනත් ප‍්‍රකාශනයෙන් විය යුතුයි.
(රෝම 10:10)

මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.

ඔබගේ ප්‍රකාශනය වෙනස් කරන තුරු ඔබට ඔබගේ ගමන වෙනස් කරන්නට නොහැකියි.

මරණීය වචන කතා කිරීම නවතා ජීවන වචන කතා කරන්න. එවිට ඔබ සැබෑ පසුතැවිල්ලකට ඇතුළු වන්නේය.

ඔබ ක‍්‍රිස්තුස්වහන්සේ තුළ කවුරුන්ද? ඔබ තුළ වාසය කරන්නේ කවුරුන්ද? ඔබගේ හැකියාව වත්, ශක්තිය නිසා වත් නොව, ඔබ තුළ වාසය කරන තැනන්වහන්සේ කරණකොටගෙන ඔබට සියල්ල කළ හැකියි. (පිලිප්පි 4:13)

ජීවනයේ වචන ඔබ තුළ මෙන්ම ඔබේ දරුවන්ගේ මුඛයේද තිබිය යුතුයි.

සභාවෙන් පිටතදී අපේ කථා බහ කුමන ආකාරද? පරාජය, හිඟකම ගැනද?

අලස නොවී පොරොන්දු උරුම කරගත් අයගේ අඩිපාරේ ගමන් කරන්න.

දෙවියන්වහන්සේ බලවන්ත නමුත් උන්වහන්සේ කිසිවිටක අපව බලහත්කාරයෙන් වෙනස් නොකරන සේක.

තමන්ගේ ස්වාමිපුරුෂයන්, භාර්යාවන් වෙනස් කර දෙන මෙන් ඉල්ලමින් යක්ෂ බලවේග වලින් ක‍්‍රියා කරන කට්ටඩි මනුෂ්‍යයන් වෙත යන මිනිසුන් අද බොහෝය, නමුත් දෙවියන්වහන්සේ "මහත්මා ගති" ඇතිව ක‍්‍රියා කරන තැනන්වහන්සේය.

උන්වහන්සේ ඔබේ සිත නමැති දොරටුවට තට්ටු කරමින් සිටින සේක.

අපි උන්වහන්සේගේ හඬ අසා අපේ සිත නමැති දොර උන්වහන්සේට විවර කරන තෙක් උන්වහන්සේ බලහත්කාරයෙන් අපේ ජීවිතයේ කිසිවක් නොකරයි.

මේ පොළොවේ සිටින සියලුම මනුෂ්‍යයන් උන්වහන්සේ ඉදිරියේ බලහත්කාරයෙන් දණ නැමීමට සැලැස්වීමට උන්වහන්සේට පුලුවන් නමුත් උන්වහන්සේ එසේ නොකර අපට නිදහස් කැමැත්තක් දී ඇත.

අප දෙවියන්වහන්සේගේ වචනය බෙදා ගත යුතුයි, එමඟින් ඇදහිල්ල පැමිණේ.

ඔවුන් බියෙන් ජීවත්වෙනවාද, ඇදහිල්ලට පැමිණෙනවාද නැද්ද යන වග ඔවුන්ට තීරණය කළ හැකිය.

බලයෙන් මනුෂ්‍යයන්ව ගැළවීමට ගෙන ආ නොහැකියි.

නමුත් ඔබගේ හැසිරීමෙන්, වචනයෙන් හා ජීවිත රටාවෙන් මනුෂ්‍යයන්ට බලපෑමක් ඇති කළ හැකියි.

ගීතාවලිය 50:23
ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම (ප්‍රකාශනය) හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.

මෙතැන ‘’හැසිරීම’’ ගැන පවසන්නේ ඔබගේ ප්‍රකාශනයත් හරි ලෙස පවත්වා ගැනීම ගැනය.

අපට සුවය, මිදීම, සහනය, නිදහස අවශ්‍ය නම් අපගේ හැසිරීම හා ප‍්‍රකාශනය හරියාකාරව පවත්වා ගත යුතුයි.

මතෙව් 4:4
උන්වහන්සේ උත්තරදෙමින්: මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.

එනම්, දේව වචනය තදින් අල්ලා ගෙන, එය මෙනෙහි කිරීමෙන් හා ප‍්‍රකාශ කිරීමෙන් ඔබ ජීවත් විය යුතුයි.

ලෝකයෙන් පැමිණෙන කුමන පීඩාවක් හමුවේ වුවද, අපේ ප‍්‍රකාශනයෙහි ස්ථීරව සිටිමු.

ඔබ දේව වචනය සමඟ එකඟ වීමෙන් ඔබට එයින් ජීවත් විය හැකියි.

හෙබ්‍රෙව් 10:23
අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසව සිටිනසේක.

අපි ජීවත් වන්නේ අධෛර්යමත් වීමෙන් ජීවත් වන්නාවු, සෑම විටම ‘’නැහැ, බැහැ, අමාරුයි’’ යයි පවසන මනුෂ්‍යයන් අතර නම්, අධෛර්යමත් වීම සාමාන්‍ය දෙයකි.

ඔබ සාමාන්‍ය මනුෂ්‍යයෙක් නොවේ. ඔබ දේව දරුවෙකුය. ඔබ වෙනස්වූ පුද්ගලයෙකුය.

දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයේ විශාල පෙරළියක් ඇති කර තිබේ.

ඔබ අළුත් මනුෂ්‍යයෙකි, පරණ දේ සියල්ල පහවී ගොස් සියල්ලම අළුත් වී තිබේ.

ඔබ මාංශයෙන් එකිනෙකාව හඳුනා නොගන්න, ආත්මයෙන් තේරුම් ගන්න.

2 කොරින්ති 5:14-15
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත්,
15 උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැගුටුණාවූ තැනන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිසය කියාත්, අපි නිශ්චයකොට කියමුව.

මම දැන් මළවුන්ගෙන් නැගිටුණු ස්වාමීන්වහන්සේ උදෙසා ජීවත් වන්නෙමි.

ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය නිසා මනුෂ්‍යයන් අතර සාක්ෂියක් ඇතිව ජීවත් වෙමු.

2 කොරින්ති 5:16
එහෙයින් මෙතැන් පටන් අපි මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ දැනගෙන සිටිය නුමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව.

ගැළවීම නොලබා සිටින අයට ඔබ අනුකම්පාව දක්වන්න.

අපි සිටින්නේ ඒ කෙනාව නිරයෙන් ගළවා ගන්නා පිණිසයි. අපි ඒ අයගේ ආත්මයට කතා කරමු.

පිටස්තරව තමාගේ ජීවිතය ගළවා ගැනීමට, වෙනස් කර ගැනීමට ඔවුන් කුමක් කලද එහි ප‍්‍රතිඵලය මේ පොළොවට පමණක් සීමා වන තාවකාලික දෙයකි.

නමුත් අපි ඔවුන් ගැන ඉවසීමෙන්, ඔවුන් ඉදිරියේ අපේ වචන වලින්, හැසිරීමෙන්, දෙවියන්වහන්සේගේ ගෞරවය, මහිමය සඳහා ජීවත් විය යුතුය.

අපි මේ පොළොවේ සාමාන්‍ය මනුෂ්‍යයන් ලෙස නොව අන් අයට බලපෑමක් ඇති කරන කෙනෙකු ලෙස ජීවත් විය යුතුය.

ගැළවීම නොලැබූ අය මරණයට මුහුණ දෙන අවස්ථාවේදී ඔබ කීව වචන ඔවුන්ට සිහි වන්නේය.

පළමු විනිශ්චය නම් ඔබ යේසුස්වහන්සේ පිළිගත්තාද ප‍්‍රතික්ෂේප කළාද යන්න ගැනය.

ගැළවීම ලබා ඇති අපි වෙනුවෙන් දෙවියන්වහන්සේ ක‍්‍රිස්තුස්වහන්සේව විනිශ්චය කළ නිසා අපි පළමු විනිශ්චයෙන් නිදහස් වී සිටිමු.

දෙවැනි විනිශ්චය නම් යේසුස්වහන්සේ පිළිගත් පසු ඔබ ජීවිතය ගතකරන පිළිවෙළ ගැනය.

දෙවැනි විනිශ්චයේදී අප කළාවූ දේවල් වෙනුවෙන් අපට විපාක ලැබේ.

එනම් අප යේසුස්වහන්සේ ගැන කොතරම් කථා කළාද? මනුෂ්‍යයන්ගේ ජීවිත වලට කොතරම් බලපෑමක් ඇති කළාද? අපේ ජීවිතය දෙවියන්වහන්සේට ප‍්‍රසන්නද? මේ ආදී සියල්ල උන්වහන්සේ ඉදිරියේ සිහිවීමේ පොතක සටහන් වනු ඇත.

ගැළවීම පමණක් සෑහේ යයි නොසිතමු.

සාමාන්‍ය ලෙස හෝ නාමිකව ජීවත් වෙමින් අපේ කිතුනුභාවය බාහිර පැළඳවීමෙන් අන් අයට ප‍්‍රදර්ශනය නොකරමු.

ඔබේ ආත්මික මනුෂ්‍යයා කොයි ආකාරද?

මලාකි 4:12-13
නුඹලා වාසනාවන්තයෝයයි සියලු ජාතීන් කියනවා ඇත. මක්නිසාද නුඹලා ප්‍රියකරු දේශයක් වන්නහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
13 නුඹලාගේ වචන මට විරුද්ධව තදව තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත්: අපි ඔබවහන්සේට විරුද්ධව කුමක් කීවෙමුදැයි නුඹලා අසන්නහුය.

මනුෂ්‍යයන් ඔබ ගැන ප‍්‍රසංශා කළද, ඔබ නිතරම කොඳුරන, වාද විවාද සහිතව සිටින කෙනෙකු විය හැකියි.

දේව වචනයවත්, පොරොන්දු වත් නැතිව, දෙවියන්වහන්සේගේ වචනයට පටහැනි වචන කථා කිරීම දෙවියන්වහන්සේට විරුද්ධව තිබේ.

දෙවියන්වහන්සේගේ වචන අපි කතා කරමු.

ද්වීතීය කථාව 7:17
මේ ජාතීහු මට වඩා වැඩිව සිටිති; ඔවුන් පන්නා දමන්ට මට පුළුවන් කෙසේදැයි නුඹට සිතෙන විට ඔවුන්ට භයනොවන්න.

අපගේ සිතින් අපි තනිව කතාකරන දේවල් දෙවියන්වහන්සේගේ වචනයට එකඟද නැතහොත් ඒවා පටහැනිද?

මගේ රෝගය, මගේ ප‍්‍රශ්නය යයි ඒ ගැන අයිතිවාසිකම් කියමින් එය ඔබ අයිති කර නොගන්න, යක්ෂයාට එය රැගෙන පිටවී යන ලෙස අණ කරන්න.

යෙසායා 53:4
සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව.

උන්වහන්සේ අපේ රෝග හා අසනීප උසුලා ගත්සේක.

ඔබේ නොඇදහිලිකාරකමේ ප‍්‍රකාශනයෙන් තුළින් යක්ෂයාට ඔබ වෙත රෝග ගෙන ඒමට හැකිය.

ඔබේ රෝගය ගැන දැනෙන හැඟීම් ප‍්‍රකාශ නොකර, යේසුස්වහන්සේගේ නාමයෙන් ආධිපත්‍යයෙන් රෝග වලට අණ කළ යුතුය.

බලය හා ආලේපය අප තුළ ඇත.

ඔබ තුළ වාසය කරන තැනන්වහන්සේ ලෝකයේ තියෙන සියලු රෝග වලට වඩා බලවන්තයි.

අපගේ වෛද්‍යවරයාණන්, අපගේ ඖෂධය, අපගේ සුවය වන යෙහෝවා රාෆා, අප සමඟයි, අප තුළයි.

යෙසායා 57:15
මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනන්වහන්සේ මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.

දෙවියන්වහන්සේ භයාදුකමේ ආත්මය ඉවත් කරමින් ඇදහිල්ලෙන් හා බලයෙන් ක‍්‍රියා කරන පිණිස ශුද්ධාත්මය අපට දී ඇත.

ඔබ ගැළවීම ලැබූ දින පටන් ඔබ මමත්වයෙන් නිදහස් වී සිටී.

දෙවියන්වහන්සේ යටහත් වූවන් තුළ වාසය කරන සේක.

යෙසායා 66:1
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද?

යෙසායා 66:2
මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.

උත්පත්ති පොතේ සඳහන් මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ කළාවු ආඥාවන් ගෙන් ඉවත්ව ගොස් එනම්, පොළොවේ විසිර නොගොස් එක් තැනක රැස්ව සිටිමින් දෙවියන්වහන්සේ හමුවන පිණිස ඉහළට යන පිණිස කොතක් සෑදුවෝය.

නමුත් දෙවියන්වහන්සේ මුළු පොළොවේ ඔවුන් විසුරවන පිණිස භාෂාව අවුල් කළ බැවින් ඊට බාබෙල් නම් වූ නම ලැබිණි.

එනම් ‘’වියවුල් මනස’’ යන්නයි. (උත්පත්ති11:4-9)

වියවුල් තොල් වලින් උන්වහන්සේට ගෞරවය දීමට, වචනයට උසස්තම ගෞරවය ගෙන දෙන කෙනා තුළ වාසය කරන්නට දෙවියන්වහන්සේ පැමිණ සිටියි.

1 කොරින්ති 6:19‭
නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද..

අපේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි, උන්වහන්සේ අප තුළ වාසය කරන සේක.

1 කොරින්ති 6:‬20
නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

අපේ ක‍්‍රියාවෙන් ගැළවීම ලබා ගත නොහැකි බව කියා සිටීම ඉතා යටහත් පහත් ප‍්‍රකාශණයකි.

එලෙස කිරීමට සමහර මනුෂ්‍යයන් අකමැතිය, මන්ද ඔවුන් තමන්ගේ ධර්මිෂ්ඨකම ප‍්‍රකාශ කිරීමට කැමති නිසාය.

අපි තවත් අපේ ක‍්‍රියාවෙන් ජීවත් වීමට උත්සාහ නොකරමු.

අපේ සියලු යහපත් ක‍්‍රියා දෙවියන්වහන්සේ ඉදිරියේ කිලිටි වැරහැලි මෙන්ය.

යෙසායා 64:6
අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.

අපේ යහපත්කම් වලින් අපේ ප‍්‍රශ්න විසදා ගත නොහැක, නමුත් දෙවියන්වහන්සේ ඔබට පවසන්නේ, "මගේ අනුග්‍රහය ඔබට සෑහේ."

පුත්‍රයා ඇති තැනැත්තාට තිබෙන්නේ ජීවනයයි.

අපගේ යහපත්කමෙන් අපට කවදාවත් ගැළවීම ලබා ගත නොහැකියි.

එපීස 2:10
මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම් කළසේක.

යොහන් 14:6
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,

කිසිදා නොමැරෙන ජීවිතයක් උන්වහන්සේ අපට දී ඇත, එය ලබා ගැනීමට නම් යේසුස්වහන්සේ පෙන්වන නිවැරදි මාර්ගයේ යා යුතුයි.

ගලාති 4:3‭-‬4
3 එසේම අපිත් බාලයන්ව සිටියදී, ලෝකයේ ගුරුකම් යටතේ දාසව සිටියෙමුව. 4 නුමුත් කාලය සම්පූර්ණවූ කල, දෙවියන්වහන්සේ ස්ත්‍රියෙකුගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයාණන් වහන්සේ එවූසේක.

අපි යහපත හා අයහපත ගහෙන් අනුභව කරමින් සිටි නමුත් දැන් අපි ජීවනයේ වෘක්ෂයෙන් අනුභව කරන්නෙමු. ඒ ජීවන වෘක්ෂය නම් යේසුස්වහන්සේය.

අපි අළුත් මැවිල්ලක් වූ පසුද අපි අතින් වැරදි සිදුවිය හැකි නමුත්, උන්වහන්සේ අපි අධර්මිෂ්ඨයන් ලෙස ගණන් නොගෙන, කමාව දී නැවත අප පිළිගන්න සේක.

මලාකී 3:13-14
නුඹලාගේ වචන මට විරුද්ධව තදව තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත්: අපි ඔබවහන්සේට විරුද්ධව කුමක් කීවෙමුදැයි නුඹලා අසන්නහුය. නුඹලා කථාකොට: දෙවියන්වහන්සේට සේවයකිරීම නිෂ්ඵලය. අපි උන්වහන්සේගේ නියමය පවත්වා, සේනාවල ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශෝකලෙස හැසුරුණායින් ඇති වාසිය මොකද?

ලෝකයේ සැපත හා පව්කාර දේ වලින් වැලකී සිටිමු, තාවකාලික සැපත හා එකඟ නොවී එය ප‍්‍රතික්ෂේප කරමු.

මලාකී 3:15
එබැවින් උඩඟු තැනැත්තෝ වාසනාවන්තයෝයයි අපි දැන් කියමුව; එසේය, දුෂ්ටකම්කරන්නෝ දියුණුවෙති; ඔව්හු දෙවියන්වහන්සේ පරීක්ෂාකළ නුමුත් ගළවනු ලබතියි කියන්නහුය.

වැරදි අදහස් අපගේ මුඛයෙන් ප‍්‍රකාශ නොකරමු,

යේසුස්වහන්සේ මුළු මිනිස් සංහතිය වෙනුවෙන්ම ශාපයක් වූ සේක.

දෙවියන්වහන්සේ පරීක්ෂා කරන මනුෂ්‍යයන්ට උන්වහන්සේ ශාප නොකරන නමුත් මනුෂ්‍යයන් තමන් වපුරන දේට අනුව කපා ගන්නේය.

ලෝකයේ ක‍්‍රමය අනුව නොව, අපව දියණු කිරීම පිණිස දෙවියන්වහන්සේට මාර්ගයක් ඇත.

අපි ස්ථීරව ස්වාමීන්වහන්සේ තුළ ජීවත් වෙමු, දුෂ්ඨ මනුෂ්‍යයන් තමන්ගේ දුෂ්ඨ ස්වභාවය නිසා එම ක‍්‍රියාවන් කරන්නෝය.

ඒ අය දෙස නොබලා ඇස් ඔසවා ස්වාමීන්වහන්සේ දෙස බලමු,
අපට උපකාර ලැබෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය (ගීතාවලිය 121:2).

උන්වහන්සේ අපට විපාක සූදානම් කර ඇත.

මලාකී 3:16
එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය.

ඔබ දේව දරුවෙක් නම් ඔබ කථා කරන දේ උන්වහන්සේ අසා ගෙන සිටින සේක.

ස්වාමීන්වහන්සේට භය ඇතුව සිටින දරුවන්ගේ කථාබහ ගැන උන්වහන්සේගේ සිහිවීමේ පොතේ ලියන සේක.

මලාකී 3:17‭-‬18
ඔව්හු වනාහි මා විසින් පමුණුවන දවසේදී මාගේම සම්පතක් වන්නෝය; මමද මනුෂ්‍යයෙක් තමාට සේවයකරන තමාගේ පුත්‍රයාට කරුණාකරන්නාක්මෙන් ඔවුන්ට කරුණාකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන්වහන්සේට සේවයකරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.

ඔබ කථා කරන වචන, ඔබ ජීවිතය ගත කරන පිළිවෙළ සඳහා විපාක උන්වහන්සේ ඔබට එකතුකරන සේක.

ගීතාවලිය 37:6-7
උන්වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨකම එළිය මෙන්ද ඔබගේ යුක්තිය මද්දහන මෙන්ද නික්මවනසේක. ස්වාමීන් කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව. තමාගේ මාර්ගයෙහි දියුණුවන්නාද නපුරු ප්‍රයෝග ඉෂ්ටකරගන්නාද නිසා කල නොකිරෙව.

තමාගේ මාර්ගයෙන් දියුණු වන අය ගැන, නපුරුකම් කර දියණු වන අය ගැන අපි දුක් නොවී සිටිමු.

අපි ජීවත් වී සිටින්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමටයි.

දෙවියන්වහන්සේ තුළ අපේ සහභාගීකම පවත්වා අපි දියුණු වෙමු.


Watch the Sermon Video

Read 138 times