+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ලේ ප්‍රකාශනයන් | - යෝෂා මනූ
October 1, 2023 Sunday Sermon Notes


අපට උපකාර ලැබෙන්නේ අපගේ දෙවියන්වහන්සේගෙන්ය.

අපි මනුෂ්‍යයන් දෙස නොබලා උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා නම් ඒ උපකාරයේ කිසිම අඩුවක් වන්නේ නැත.

හිතෝපදේශ 28:20
විශ්වාස මනුෂ්‍යයෙකුට බොහෝ ආශීර්වාද ලැබේ; එහෙත් වස්තු උපදවාගන්ට ඉක්මන්වෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.

ඔබ විශ්වාසවන්ත මනුෂ්‍යයෙක්ද?

ඔබ රැකියා කරන ස්ථානයේ ඔබ විශ්වාසවන්තව සේවය කරනවාද?
භාර්යාවක්, ස්වාමිපුරුෂයෙක් ලෙස ඔබ විශ්වාසවන්තව සිටිනවාද?

ආශීර්වාදය ලබා ගැනීම සඳහා දෙවියන්වහන්සේ දී ඇති උපදෙස් හා ප‍්‍රතිපත්ති අහක දමා උන්වහන්සේගේ ආශීර්වාදය අපේ ජීවිතයට ලබා ගත නොහැක.

දෙවියන්වහන්සේ අපව තෝරා ගත්තේ උන්වහන්සේගේ චරිත ගූණාංගය විදහා පෙන්වන පිණිසය.

උන්වහන්සේගේ නව මැවිල්ලේ සෙනඟක් ලෙස වචනය අපගේ ජීවිතයට අදාල කර ගත යුතුය.

දෙවියන්වහන්සේ ඔබටත්, මටත් විශ්වාසවන්තව සිටිනවා නම් අපිත් එලෙසම සිටිමු.

මන්ද බොහෝ ආශීර්වාද ලැබෙනුයේ, විශ්වාසවන්ත මනුෂ්‍යයාටය.

අද ඔබ බොහෝ ආශීර්වාද ලබා ජීවත් වන්නේ නම් එය ලැබුණේ ස්වාමීන්වහන්සේගෙන්ය.

එය ඔබගේ බලයෙන්, ශක්තියෙන්, හැකියාවෙන් ලැබුණ දෙයක් නොවේය.

ස්වාමීන්වහන්සේ දන්නාවූ අය නිතරම ගෞරවය දෙන්නේ දෙවියන්වහන්සේටය.

අපි උන්වහන්සේට ගෞරවය දෙන විට උන්වහන්සේ අපට තවත් ආශීර්වාද වගුරු වන්නට බලා සිටින සේක.

ඒ ආශීර්වාදයට දුකක් එකතු වන්නේ නැත.

දෙවියන්වහන්සේ ආශීර්වාදයේ තැනැන්වහන්සේය.

උන්වහන්සේ අපව ශාපයෙන් ගළවා ගත්තේ ආශීර්වාදය තුළ ජීවත්වන්නටයි.

හිතෝපදේශ 10:22
ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.

ඔබ දෙවියන්වහන්සේව නොහඳුනන්නේ නම් ඔබ දිළිඳු කෙනෙකි, ඔබට ධනය, වත්කම තිබුණත් ඔබ දෙවියන්වහන්සේ ඉදිරියේ දිළිඳුය.

අපි දෙවියන්වහන්සේව හඳුනන්නේ නම් උන්වහන්සේගේ පොහොසත්කම අපට ලබා ගැනීමට පුළුවන.

ආත්මිකව දෙවියන්වහන්සේව හඳුනා ගැනීම තුළින් අපි ආශීර්වාදයට සම්බන්ධ වෙනවා පමණක් නොව, ආශීර්වාදයේ දෙවියන්වහන්සේට සම්බන්ධ වන්නෙමු.

ආශීර්වාදයේ උල්පත, මූලාශය උන්වහන්සේය.

ඔබට ලැබී ඇති පොහොසත්කමට, දියුණුවට, වැඩි වීමට, මේවන විට යම් දුකක් එකතු වී ඇත්නම් එය දෙවියන්වහන්සේගෙන් නොවේය.

බාධා, ප‍්‍රශ්න, කරදර ඇති වන විට එය අභියෝගයක් ලෙස සිතා එයින් ජය ගත හැකියි.

ඔබගේ දියුණුවට, පොහොසත්කමට මනුෂ්‍යයන් ඊර්ෂ්‍යා කළ හැකියි.

බයිබලයේ ඊසාක් බොහෝ ආශීර්වාද ලැබුවේය.

ඔහු එම අවුරුද්දේම එකෙන් සියයක් ආශීර්වාද ලැබුවේය.
දෙවියන්වහන්සේ ඔහුට බොහෝ ආශීර්වාද කළේය.

ඔහු අවට සිටි පිලිස්තිවරු සියල්ලෝ ඊසාක්ට ඊර්ෂ්‍යා කළෝය.

උත්පත්ති 26:12-14
ඊසාක් ඒ දේශයෙහි බීජ වපුරා එම අවුරුද්දෙහිම එකෙන් සියයක් අස්වැන්න ලැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක. 13ඒ මනුෂ්‍යයා පොහොසත් වී, ඉතා පොහොසත් වන තුරු වඩ වඩාම වර්ධනයවුණේය. 14ඔහුට එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද බොහෝ ගෙයි වැසියෝද සිටියෝය. පිලිස්තිවරු ඔහුට ඊර්ෂ්‍යාකළෝය.

ඔබට ඊර්ෂ්‍යා කරන විට ඔබ උඩඟු නොවී, යටහත් පහත්ව සිටින්න.

උඩඟුකම භයානකය, පොහොසත්කම පැමිණෙන විට ඒ සමඟම උඩඟුකමද පැමිණිය හැකිය.

යේසුස්වහන්සේගේ චරිත ගුණාංග මෘදු, යටහත්පහත් සිතකි.

උන්වහන්සේ පොහොසත්වද සිටිසේක, උන්වහන්සේට කිසි අඩුවක් වූයේ නැත, තමන් වෙතට පැමිණි 50000 කට අධික සෙනඟකට කෑම දීමේ හැකියාව උන්වහන්සේ සතු වූයේ උන්වහන්සේ දෙවියන්වහන්සේ සමඟ තිබූ සම්බන්ධකම නිසයි.

පසුගිය සතියේ අපි කළාවූ ඇදහිල්ලේ ප‍්‍රකාශ ගැන, ඒවා මොනවා දැයි තවදුරටත් විමසා බලමු.

අපි ගැළවීම ලැබූ විට යමෙකුගෙන් සුභාරංචිය අසා තිබෙන්නට පුළුවන්.

නමුත් රෝම 10:9-10 ට අනුව ඒ යාච්ඤාව, ඒ ඇදහිල්ලේ ප‍්‍රකාශය අපගේ මුඛයෙන් ප‍්‍රකාශ කළ යුතුයි.
එනම් යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බවත්, දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් නැඟිටෙවූ බවත් සිතින් අදහා, අපගේ මුඛයෙන් ප‍්‍රකාශ කළ යුතු බවයි.

මේ ප‍්‍රකාශනයෙන් අපේ ඉරණම වෙනස් වේ.

අපි යක්ෂයාගේ බලයෙන් එනම් අන්ධකාරයෙන් නිදහස් වී, දෙවියන්වහන්සේ එනම් ආලෝකය වෙතට පැමිණෙන්නෙමු.

මෙයත් ඔබගේ ඇදහිල්ලේ ජීවිතයේ අත්තිවාරම් පදයයි.

ඔබ යක්ෂයාගේ වහල්භාවයෙන් මිදී, දේව දරුවෙක් බවට වෙනස් වේ.

රෝම 10:9-10
කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය. 10මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.

අපි මෙලෙස ප‍්‍රකාශ කළ යුතුය,
දෙවියනි, යේසුස්වහන්සේගේ නාමයෙන් අද දින මම ඔබවහන්සේ වෙතට පැමිණෙනවා, ඔබවහන්සේගේ වචනයේ ප‍්‍රකාරයට මට කීවේ යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැඟිටෙවූ බව මගේ සිතින් අදහාගෙන මගේ මුඛයෙන් ප‍්‍රකාශ කරන්නයි. ඒ තුළින් සදාකාල ජීවනය මම ලබා ගෙන ගැළවීමට ඇතුල් වෙනවා. ස්තූතියි ස්වාමිනී, මට මේ දුන්න නව ජීවනය, සදාකාල ජීවනය උදෙසා, ස්තූතියි. යේසුස්වහන්සේගේ නාමයෙන්. ආමෙන්!

මේ ප‍්‍රකාශය තුළින් ඔබ විශාල පරිවර්ථනයකට ඇතුල් විය.

මෙමඟින් ඔබ තුළට මුළු දේවත්යම එනම්, පියාණන්වහන්සේ, පුත‍්‍රයාණන්වහන්සේ, ශුද්ධාත්මයාණන්වහන්සේ පැමිණි සේක.

මුළු දේවත්යම ඔබ තුළ නම් ඔබ බලවත් ගෘහයකි.

ඔබේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි, දැන් ඔබට කැමති ලෙස ජීවත් විය නොහැකියි.

ඔබ ශුද්ධවූ, පවිත‍්‍රවූ භාජනයක් ලෙස ජීවත් වන්නේ නම් දෙවියන්වහන්සේට ඒ භාජනය පාවිච්චි කළ හැකියි.

ඔබ ඇදහිල්ලේ ප‍්‍රකාශනය කළා නම් ජයග‍්‍රහණය ඔබ තුළයි, සමාදානයේ දෙවියන්වහන්සේ ඔබ තුළයි, එඬේරා ඔබ තුළයි.

උන්වහන්සේ සෑම දෙයින්ම පූර්ණව ඔබ තුළ සිටියි.

එපීස 1:4
ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.

ස්වර්ගයේ සියලුම ආශීර්වාද ඔබ තුළයි, ඒ ආකාරයෙන්ම අනිත් සියල්ලම ඔබට ලබා ගත හැකියි.

ගැළවීමේ ප‍්‍රකාශයෙන් ඔබේ ඉරණම වෙනස් කර ගත් සේ අනිකුත් සියල්ලමද ඔබට ලබා ගත හැක්කේ ප‍්‍රකාශ කිරීමෙන්ය.

ලෝකයේ දේවල් ප‍්‍රකාශ කිරීමෙන් දෙවියන්වහන්සේගේ දේ අත් දැකිය නොහැකියි.

දෙවියන්වහන්සේ අපට කළ දේ අප ප‍්‍රකාශ කළ යුතුයි.

2 කොරින්ති 5:17
එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.

2 කොරින්ති 5:21පදය
අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට * පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක. (* එනම් - පාපය තමන් පිටට ගන්ට)

ඔබ කිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම ලැබූ දේව දරුවෙක්ය.

එය ඔබේ මුඛයෙන් කියා දිය යුතුය.

ධර්මිෂ්ඨයාට දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ඇත.

ඇදහිල්ලේ ප‍්‍රකාශනයන් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

ඇදහිල්ලේ ප‍්‍රකාශනයන් නිතරම ප‍්‍රීතිමත්ව කරන ප‍්‍රකාශයන්ය.

දෙවියන්වහන්සේව පිළිගැනීම නිසා අපට ලැබෙන සමාදානය නිසා ප‍්‍රීතියෙන් සිටිමු.

එම ප‍්‍රකාශනයන් ප‍්‍රීතියෙන් කිරීමෙන් අපේ ජීවන රටාව කර ගනිමු.

දේව වචනය මෙනෙහි කරන විට එහි පොරොන්දු වලට අපේ අයිතිය අපගේ මුඛයෙන් ප‍්‍රකාශ කරමු.

මෙනෙහි කිරීම - එය අපේ මනසේ රැඳී, අපිට හිඟයක් පැමිනෙද්දීත් අපෙන් පිට වෙන්නේ ඒ වචනයමයි.

ගීතාවලිය 23:1
ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය.
හිඟකම හා ණයභාවය, ප‍්‍රශ්න යෝධයෙකු ලෙස අප ඉදිරියට පැමිණියත් අපගේ ප‍්‍රකාශයෙන් ඒ යෝධයා පරාජය කළ හැකියි.

දාවිත් ගොලියත් එක්ක සටනට යන්න කලින්ම යෝධයාගේ විශාලත්වය ඔහු දුටු නමුත් ඔහු එය වර්ණනා නොකර තමන් කරන්නට යන දේ ප‍්‍රකාශ කළේය.

1 සාමුවෙල් 17:46
අද දවසේ ස්වාමීන්වහන්සේ තා මා අතට පාවාදෙනසේක; මම තට ගසා, තාගේ හිස කපාදමා, පිලිස්තිවරුන්ගේ සේනාවේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ වන මෘගයන්ටද දෙන්නෙමි.

ඇදහිල්ලේ ප‍්‍රකාශනයන් නිතරම ජීවමාන වචනය මත පදනම් විය යුතුයි.

අපේ හැඟීම්වත් මනුෂ්‍යයන්ගේ වචනවත් නොව දේව වචනය අපි ප‍්‍රකාශ කළ යුතුයි.

ඇදහිල්ලේ ප‍්‍රකාශනයන් නිතරම ඔබව ධෛර්යයමත් කරනු ලබයි.

එමඟින්, ඔබ දෙවියන්වහන්සේ සමඟ කතා කළා හා සමානව ඔබව ධෛර්යයමත් කරයි.

බයිබලය කියවීමෙන් ඔබ කිසි විටක අධෛර්යය නොවේ, ඔබ බයිබලයේ කුමන ප‍දයක් කියවූවත් එය දෙවියන්වහන්සේගේ ජීවන වචන නිසා දෙවියන්වහන්සේ ඔබට කථා කරනු ඇත.

ඇදහිල්ලේ ප‍්‍රකාශනයන් නිතරම ඔබව ශක්තිමත් කරයි.

ඔබ ඇදහිල්ලෙන් ඇදහිල්ලට, ශක්තියෙන් ශක්තියට, මහිමයෙන් මහිමයට ගමන් කරන පිණිස ඔබව ශක්තිමත් කරනු ඇත.

ඇදහිල්ලේ ප‍්‍රකාශනයන් ජයග්‍රාහී ප්‍රකාශනයන්. පරාජය අපව වහල්කමේ තබා සිටියදීම එය ජයග‍්‍රහණය ප‍්‍රකාශ කරයි.

දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් කරන්නට යන දේවල් ඔබ ඇදහිල්ලෙන් දකිමින්, මෙලෙස ප‍්‍රකාශ කිරීමෙන් ඔබ ජයග‍්‍රහණය ලබන්නට යන්නේය.

ඔබ යමකට වහල්ව සිටින්නේද, මෙම ජයග‍්‍රහණයේ ප‍්‍රකාශ කිරීම මඟින් එම වහල්භාවයෙන් ඔබට නිදහස ලැබීමට හැකි වන්නේමය.

ඇදහිල්ලේ ප‍්‍රකාශනයන් කිරීමෙන් නොපෙනෙන ආත්මික තලයේ දැනටමත් තිබෙන දේවල් මේ පෙනෙන තලයට අපහට ගෙන දෙන්නේය.

සුවය, සැපයීම ඇතුළු ඔබ විශ්වාස කරන සියලු ආත්මික ආශීර්වාද ඔබ දැකිය යුතුයි.

එම ආත්මික ආශීර්වාද ඇත්තේ නොපෙනෙන තලයේ වන අතර ඔබගේ ප‍්‍රකශනයෙන් එය දකින තලයට ගෙන ආ හැකියි.

ඇදහිල්ලේ ප‍්‍රකාශනයන් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයක් ඇතුව ප්‍රකාශ කරයි. එමෙන්ම
නොදක්නා දේවල් ගැන නිසැකකමක් ඇතුව ඔප්පුවේ ඇති දේ ප්‍රකාශ කරයි. හෙබ්‍රෙව් 11:1 අනුව ඇදහිල්ල නම් එයයි.

බලාපොරොත්තුවක් නැති අය කිසිම දෙයක් නොකරයි, නමුත් ඇදහිල්ලේ ප‍්‍රකාශනයක් කිරීම තුළින් අපි නොදකින දේවල් ගැන නිසැකභාවය ලබා ගැනීමට හැකිවේ.

හෙබ්‍රෙව් 11:1
ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.

ඇදහිල්ලේ ප‍්‍රකාශනයන් කිරීමෙන් ඒවා සැබෑ වනවා දකිනවා පමණක් නොව, දෙවියන්වහන්සේ කෙරෙහි පුදුමාකාර විශ්වාසයක් ගොඩනැගෙන්නේය.

එමඟින් එක් ඇදහිල්ලකින් තවත් ඇදහිල්ලකට, පියවරෙන් පියවර ඔබේ ඇදහිල්ල ගොඩනැඟෙනු ඇත.

සුවය, නිදහස ඔබේ ප‍්‍රකාශනයෙන් ලබා නොගෙන, ඔබ එය අත් නොදැක වෙනත් අයෙකු වෙනුවෙන් යාච්ඤා කිරීමට ඔබට නොහැකිය.

ඔබේ ජීවිතය තුළ ඇදහිල්ලේ ප‍්‍රකාශනය සැබෑ විය යුතුයි.

එසේ වන විට ඔබේ විශ්වාසය ගොඩනැඟෙනු ඇත.

ඇදහිල්ලේ ප‍්‍රකාශනයන් කිරීමෙන් ඔබ හා ඔබේ දෙවියන්වහන්සේ හා සමඟ සම්බන්ධකම වැඩි වනු ඇත.

2 තිමෝති 1:12
ඒ කාරණය නිසා මේ දේවලුත් විඳීමි. එසේවී නුමුත් මම ලජ්ජා නොවෙමි. මක්නිසාද මා විසින් අදහාගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන, මා උන්වහන්සේට භාරදී තිබෙන දේ ඒ දවස දක්වා ප්‍රවේසම්කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාසකරගන සිටිමි.

අපි දෙවියන්වහන්සේව දැන හඳුනා ගෙන, උන්වහන්සේ අප තුළ කරන දේවල් විශ්වාස කරගෙන, ඇදහිල්ලේ ගමනක ජීවත් වීමට තීරණය කර ගනිමු.

“මා විසින් අදහාගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන උන්වහන්සේ එය ඉෂ්ටකරනවා පමණක් නොව, දැන් උන්වහන්සේ මා පිළිබඳ කාරණාවේ යහපත් දේ ඉෂ්ට කරනසේක.”


Watch the Sermon Video

Read 160 times