+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

  ඇදහිල්ලේ ප්‍රකාශනයන් පෞද්ගලිකව අයිතිකරගෙන ප‍්‍රකාශ කරමු- යෝෂා මනු

             October 8, 2023 Sunday Sermon Notes


ප‍්‍රීතියේ බලය පොත හඳුන්වා දීම.

මෙය නොමිලයේ බෙදා හරින තවත් පොතකි.

මෙම පොත තුළින් ප‍්‍රීතිය ගැන පුදුමාකාර එළිදරව්වක් ලැබුණි.

ප‍්‍රීතිය ඉතාම බලවත් බලවේගයකි.

එය දෙවියන්වහන්සේ අප තුළ තැන්පත් කර ඇති ආත්මික ඵලයකි.

එහි ප‍්‍රතිඵල කියා නිම කළ නොහැකි තරම්ය.

අප වටා තිබෙන්නේ යක්ෂයාගේ සිතිවිලි හා අදහස්ය.

අපි දකින දේ වලින් අපට ප‍්‍රීතියක් ඇති නොවේ.

ප‍්‍රීතිය හා සතුට වෙනස්ය, සතුට යනු අන් අයගෙන් අපට පිටතින් පැමිණෙන දෙයකි.

නමුත් ප‍්‍රීතිය අප තුළ ඇති බලයකි. එය බලවේගයකි. එය දෙවියන්වහන්සේගේ බලයයි.

එය ඔබ තුළින් ඔබගේ හදවත තුළින් මනුෂ්‍යයෙකුට, යක්ෂයාට, හෝ කිසිවෙකුට සොරකම් කළ නොහැක.

එය ඔබ තුළ ඇති ආත්මික ඵලයකි.

ගලාති 5:22-23
නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, 23විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.

ප‍්‍රීතිය ඔබ තුළ ක‍්‍රියා කරන උල්පතක් වැනිය.

ඔබගේ ප‍්‍රීතිය නැති කිරීමට යක්ෂයා මාන බලමින් සිටියි, එම නිසා ප‍්‍රීතියෙන් ජීවත් වීමට පුහුණු විය යුතුය.

යක්ෂයාගේ ක‍්‍රියා නිසා, මනුෂ්‍යයන්ගේ වචන නිසා, අපගේ ප‍්‍රීතිය නැති වන අවස්ථාවන් ඇති විය හැකිය.

ඒ සෑම විටම අපට ජයගත නොහැකිව, පරාජය වන අවස්ථාවන් උදා විය හැකිය, නමුත් එහිම නොසිට අපි නැගී සිටිය යුතුය. ජයග‍්‍රහණය එයයි.

හිතෝපදේශ 24:16
මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය;

මෙහි 7 වතාවක් යනු ‘’මුළුමණින්ම වැටුණත්’’ ලෙසයි.

ඔබගේ ජීවිතය මුළුමණින්ම කඩා වැටුනත් ඔබව එසවීමට දෙවියන්වහන්සේට හැකියි.

උන්වහන්සේ ඔබව ඔසවන්නේ ඔබ වැටුණේ නැති ලෙසටයි.

ප‍්‍රීතිය යක්ෂයා අකමැතිම දෙයයි.

මෙම පොත කියවාගෙන යන අතර මෙම පොතේ අන්තිම පිටුවෙන් එළිදරව්වක් ලැබුණි.

යක්ෂයා එනම් ලුසිෆර් බලවත් අග්‍ර දේව දූතයෙක් ලෙස ස්වර්ගයේ දේව දූත සේනාව සමඟ සිටි අවස්ථාවේදී දෙවියන්වහන්සේට ප‍්‍රසංශාව නමස්කාරය දෙන පිණිස පත් වී සිටියා.

දෙවියන්වහන්සේ පුදුමාකාර අලංකාර භාවයක් මේ දේවදුතයා තුළ තබන ලදි.

ඔහු තුළ සෑම තූර්යභාණ්ඩ වාදනයක්ම තිබූ බව සඳහන් වේ. (එසකියෙල් 28:12-18)

යෙසායා 14:12-15
දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි! 13 නුඹ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැගී, මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි. 14 මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි; මහෝත්තමයාණන්ට සමානවන්නෙමියි කීයෙහිය. 15 එහෙත් නුඹ පාතාලය නම් වළේ ගැඹුරටම බසිනවා ඇත.

දෙවියන්වහන්සේට දෙන ප‍්‍රසංශාව, නමස්කාරය තමන්ට ලබා ගැනීමට ලුසිෆර් තුළ කුඩා බීජයක් වැනි සිතුවිල්ලක් හටගන්නා ලදි.

‘’ඇයි මේ ප‍්‍රශංසාව, නමස්කාරය, ගෞරවය, ස්තුතිදීම මට ගන්න බැරි?’’

‘’ඇයි මේ දේවදූත ප‍්‍රශංසාව, නමස්කාරය දෙවියන්වහන්සේට පමණක්?’’

‘’එය මටත් ලබාගත යුතුය’’ යන සිතුවිල්ල ඔහු තුළ ඇතිවූ කෙනෙහිම දෙවියන්වහන්සේ ඔහුව ස්වර්ගයෙන් නෙරපා දමන ලදි.

ලූක් 10:18 හි යේසුස්වහන්සේ
ඔවුන්ට කියනසේක්: සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි.

එයින් පසු යක්ෂයාට ස්වර්ගයට ඇතුලු වීමට කිසිදු අවසරයක් නොලැබුණි.

දෙවියන්වහන්සේ ඉදිරියේ කළාවූ ඒ ප‍්‍රසංශාව, නමස්කාරය, මධ්‍යයේ පුදුමාකාර ප‍්‍රීතියක් තිබූ අතර යක්ෂයා අදටත් ප‍්‍රීතියට අකමැති ඒ නිසයි.

අද පවා අපගේ ප‍්‍රීතිය සොරා ගැනීමට යක්ෂයා තැත් කරන්නේ ඒ නිසයි.

ප‍්‍රශ්නයක් පැමිණෙන විට ඒ දෙස බලා සිනාසීමට අප මතක තබා ගත යුතු දෙයකි.

එය අපහසු දෙයක් ලෙස තිබුණත් එයට පුහුණු වීම අවශ්‍යය.

ප‍්‍රශ්න ගැන කතා කිරීමෙන්, එය වර්ණනා කිරීම මඟින් එය විශාල කර නොගත යුතුය.

අපි ප‍්‍රීති වීමට තීරණය කර ගනිමු.

අපගේ ප‍්‍රීතිය සොරා ගැනීමට ප‍්‍රශ්න වලට ඉඩ නොතබමු.

පිලිප්පි 4:4
ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.

ඔබ ප‍්‍රීති වන විට එය විසඳා ගත යුතු ආකාරය ගැන ප‍්‍රඥාව දෙවියන්වහන්සේ ඔබට දෙනවා ඇත. එවිට ඔබේ ප‍්‍රශ්නයේ දම්වැල් ලිහී, නිදහස්කමට ඇතුළු වීමට ඔබට හැකි වේවි.

කර්තෘ ගැන හදුන්වා දීමක්..

මෙම පොතේ කතෘ ජෙරී සවෙල්.

අවුරුදු 35කට කලින් හවඩ් විලාඩ් දේශකයා මගින් මෙම කර්තෘගේ සමහර පොත් හා කැසට් පට අපට අසන්නට ලැබුණි.

ඇදහිලිවතුන්ගේ සහභාගිත්වය යන අපගේ සභාවේ සිටි රොහාන් මීගම හා ඔහුගේ භාර්යාව මීරියම් යන යුවල දැන් විදෙස් ගතව ඔස්ට්‍රේලියාවේ සිටින අතර ඔවුන් මේ වසරේ මුලදී ලංකාවට පැමිණ අපගේ ආත්මික පිබිදීමේ රැස්වීම් ඔවුන් දකින ලදි.

එහිදී ඔහුට ආ සිතුවිල්ලක් අනුව, ඔහු ඔස්ට්‍රේලියාවේ ජෙරී සවෙල් නම් කර්තෘ සමඟ තිබූ බැඳීම, දැන හැඳුනුම්කම හේතුවෙන් ඔහු මෙම කර්තෘගෙන් මෙම පොත අපහට සිංහල භාෂාවට පරිවර්ථනය කිරීමට අවසර ලබාදී එහි මුද්‍රනයට යන වියදමද ඔවුන් සම්පූර්ණයෙන්ම දරන ලදි.

එනිසා අපහට මෙම පොත ඔබට නොමිලේ දීමට හැකියාව ලැබුණි.

ඹබට මෙම පොත අවශ්‍ය නම් අපගේ තිරයේ දැක්වෙන දුරකථන අංක අමතා ඔබට එය ලබා ගත හැක.

යක්ෂයාගේ වෑයම අපගේ ප‍්‍රීතිය උදුරාගැනීමය. නමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත අප ප‍්‍රීතියෙන් පිරී සිටීමය.

එම නිසා ප‍්‍රීතිය තදින් අල්ලා සිටින්න.

අපි පසුගිය සතියේ බැලුවාවූ ඇදහිල්ලේ ප‍්‍රකාශන ගැන තවදුරටත් විමසා බලමු,

ඇදහිල්ලේ ප‍්‍රකාශන ඉතාම වැදගත්ය.

එය නිකම්ම ප‍්‍රකාශයක් නොවේ, අප දේව වචනය සමඟ එකඟ වී එම වචනය ප‍්‍රකාශ කිරීමයි.

එම සත්‍ය වචනය අපේ හදවතේ තැන්පත් කළ යුතුයි.

අපට යම් පීඩාවක් එන විට එය අපගේ මුඛයෙන් තොල් වලින් පිට වේ.

ඇදහිල්ලේ ප‍්‍රකාශයන්, පොරොන්දු අප පෞද්ගලිකව අයිති කරගෙන ප‍්‍රකාශ කළ යුතුය.

මා වෙනුවෙන් එය වෙන අයෙකුට කළ නොහැක, එය මාගේ තොල් වලින් ප‍්‍රකාශ කළ යුතුයි.

රෝම 10:9-10
කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය. 10මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.

මෙය ගැළවීම ලබා ගැනීමට ප‍්‍රකාශ කළ යුතු බයිබල් පදයයි.

නමුත් එම පදය සෑම දෙයකටම අපට අවශ්‍යයි, මන්ද අපි යමක් බලාපොරොත්තු වන්නේද එය දෙවියන්වහන්සේට කළ හැකියි කියා පළමුව අප සිතින් අදහා ගැනීමට අවශ්‍යයි, පසුව එය අපගේ මුඛයෙන් ප‍්‍රකාශ කිරීම කළ යුතුයි.

අපේ ජීවිතයට පොරොන්දු උරුම කර ගැනීමට මෙලෙස කිරීම අවශ්‍යයි.

අපි අදහා ගත් වචනය හදවත තුළ ක‍්‍රියා කරමින්, එය ප‍්‍රකාශ කිරීම සඳහා අපගේ තොල් පෙළඹවිය යුතුයි.

අපි අභ්‍යන්තරව ප‍්‍රසංශා කළද එය අපගේ තොල් වලින් පිටතට පැමිණ අපගේ දෙසවනට ඇසීම වැදගත්ය.

ගීතාවලිය 119:89
ස්වාමිනි, සදාකාලේටම ඔබගේ වචනය ස්වර්ගයෙහි පිහිටා තිබේ.

අප දේව වචනය මෙනෙහි කර එය හදවත තුළ පිහිටුවා ගත යුතුයි.

ලූක් 1:37
මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය.

අපහසු, බලරහිත වූ කිසිදු කාරණාවක් උන්වහන්සේට නැත.

මරියා පැවසුවේ එයයි,
‘’මරියාද: බැලුව මැනව, ස්වාමීන්වහන්සේගේ දාසීය; ඔබගේ වචනය ලෙස මට වේවයි’’ කීවාය. (ලූක් 1:38)

ඇදහිල්ලේ ප‍්‍රකාශයන් නිතරම බලන්නේ ඉදරි අනාගතය ගැනය.

දෙවියන්වහන්සේගේ පොරොන්දු අප ලබා ගන්නේ මේ ප‍්‍රකාශයන් තුළිනි.

පිලමොන් 1:5-6
නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැනගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ හවුල්කාරකම ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බලවත්වන පිණිස, 6මාගේ යාච්ඤාවලදී නුඹ ගැන මතක්කරමින් නිතරම මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි.

ඔබ තුළ පවතින සියලු යහපත් දේ ඔබ දැන ගත යුතුයි, මන්ද ක‍්‍රිස්තුස්වහන්සේ ඔබ තුළයි.

සෑම යහපත් දේම දෙවියන්වහන්සේ ඔබ තුළ තැන්පත් කර ඇත.

ඔබ මූලාශ‍්‍රයට සම්බන්ධ වී සිිටියි.

අපේ මූලාශ‍්‍රය දෙවියන්වහන්සේයි.

සුවය, සමාදානය, ජයග‍්‍රහණය ඔබ තුළයි.

එපීස 1:4
ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.

ඔබ තුළ පවතින යහපත් දේවල් ඔබ දැනගෙන එම ඇදහිල්ලේ ප‍්‍රකාශ කිරීමෙන් ඔබ බලවත් වන විට ඒ ප‍්‍රකාශයෙන් ඔබ ජීවත් වනු ඇත.

ගැළවීම මට හිමිව තිබේ, මන්ද මම ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤා කර ඇත්තෙමි.

රෝම 10:13 අනුව – “ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤා කරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය” යයි මම ප‍්‍රකාශ කරමි.

සියලු ආකාර නපුරෙන් ආරක්ෂාව මට හිමිව තිබේ.

ගීතාවලිය 121:7 අනුව – “ස්වාමීන්වහන්සේ සියලු නපුරෙන් මා ආරක්ෂා කරනසේක” යයි මම ප‍්‍රකාශ කරමි.

යේසුස්වහන්සේගේ ලේ මා හදවතින්ම පවිත‍්‍ර කළ බැවින් මම දෙවියන්වහන්සේ දකින බවට සහතිකය මට හිමිව තිබේ.

මතෙව් 5:8 අනුව – “සිතින් පවිත‍්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය: මක්නිසාද ඔවුහු දෙවියන්වහන්සේ දකින්නෝය” යයි මම ප‍්‍රකාශ කරමි.

දිනපතා ශක්තියද අධික සමාදානයේ බහුලත්වයද මට හිමිව තිබේ.

ගීතාවලිය 29:11 අනුව – “ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට ශක්තිය දෙනසේක; ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට සමාදානයෙන් ආශීර්වාද කරනසේක” යයි මම ප‍්‍රකාශ කරමි.

දවස්පතා ස්වාමීන්වහන්සේගේ ප‍්‍රතිලාභ වලින් බහුලවූ ජීවිතයක් මට හිමිව තිබේ.

ගීතාවලිය 68:19 අනුව – “දවස්පතා අපට ප‍්‍රතිලාභ වලින් පුරවන්නාවූ ස්වාමීන්වහන්සේට ප‍්‍රශංසාවේවා” යයි මම ප‍්‍රකාශ කරමි.

මා යේසුස්වහන්සේ අනුව යන බැවින් ජීවිත මාර්ගයේ ආලෝකය මට හිමිව තිබේ.

යොහන් 8:12 අනුව – “මම ලෝකයේ ආලෝකයය: මා අනුව එන්නා අන්ධකාරයේ නොහැසිර, ජීවනයේ ආලෝකය ලබන්නේය” යයි ප‍්‍රකාශ කරමි.

සියලු අනුග‍්‍රහය, අධික අනුග‍්‍රහය, ගැළවීමේ අනුග‍්‍රහය, සුවයේ අනුග‍්‍රහය, බව්තීස්මයේ අනුග‍්‍රහය හා මට සියල්ල සෑහෙන අනුග‍්‍රහය මට හිමිව තිබේ.

2 කොරින්ති 9:8 අනුව – “තවද ඔබ සියලු දේ වලදී නිතරම පූර්ණකම ලැබ සියලු යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස ඔබට සියලු අනුග‍්‍රහය වැඩිකර දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන” යයි මම ප‍්‍රකාශ කරමි.

මම දිව්‍යමය උපත මගින් දෙවියන්වහන්සේට සම්බන්ධ වී ඇති බැවින්, නොහැකියාවන් යථාර්ථයන් බවට පත්වීම මට හිමිව තිබේ. `
ලූක් 1:37 අනුව – “දෙවියන්වහන්සේට කළ නොහැකි දෙයක් නැත්තේය” යයි මම ප‍්‍රකාශ කරමි.

මගේ ජීවිතය මත නොකඩව ආත්මයාණන්වහන්සේගේ වැගිරීම මට හිමිව තිබේ.

ක්‍රියා 2:17 අනුව – “මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි” යැයි මම ප‍්‍රකාශ කරමි.

මාගේ පාප මාගෙන් ඉවත්කර තිබෙන බවට සහතිකය මට හිමිව තිබේ.

ගීතාවලිය 103:12 අනුව – “නැගෙනහිර බස්නාහිරෙන් දුරුව තිබෙන්නාක් මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරු කළසේක” යයි මම ප‍්‍රකාශ කරමි. හාලේලූයා!

දෙවියන්වහන්සේ දිනපතා ඔබට පවසන දේ සටහන් කර එය ඔබටම අත්පත් කර ගන්න.

එය ඔබට හිමියි කියා ප‍්‍රකාශ කරන්න.

අපි ශක්තිමත්ව අපේ ඇදහිල්ල ගොඩනඟා ගනිමු.


Watch the Sermon Video

Read 166 times