+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

  ප‍්‍රකාශ කිරීම යනු අප අදහන දේ තහවුරු කිරීමයි - යෝෂා මනූ
           October 15, 2023 Sunday Sermon Notes


ඇදහිලිවන්තයන්ගේ සහභාගීකම සභාවට අයත් චැනලයන් හඳුන්වා දීම

අපි වට්ස්අප් වලින් අලුත් චැනලයක් හඳුන්වා දී ඇත. .
මීට අමතරව U tube නාලිකාව හරහා දැනට
Believers’ Fellowship Sinhala ලෙසිනුත්,
Believers’ Fellowship English ලෙසිනුත්,
දරුවන් සඳහා Racing up Champions ලෙසිනුත් චැනලයන් පවත්වන්නෙමු.

දරුවන් සඳහා පවත්වන චැනලය මඟින් ගීතිකා සහ දේව වචනයේ කථාන්දර කියාදෙන අතර දේව ආශීර්වාදය ලබන පිණිස ඔබ සියලු දෙනාට අප හා එක්වන ලෙස ආරාධනා කරන්නෙමු.

අප බොහෝ අය සමඟ කථා කරන්න, ඔවුන්ව ශක්තිමත් කරන්න කාලය දීම අවශ්‍යයි.

යේසුස්වහන්සේ පවා මනුෂ්‍යයන් සමඟ කථාකරන්න, සමහර අවස්ථාවන් වල එක් එක් මනුෂ්‍යයාට තනි තනිවම උපස්ථාන කිරීමට උන්වහන්සේගේ කාලය දුන් බව ශුද්ධ ලියවිල්ලේ සඳහන්ව තිබේ.

උන්වහන්සේ ළිඳ ළඟ හිටිය සමාරියේ කාන්තාවව මුන ගැසීමට දහවල් කාලයේ ඒ ස්ථානයට ගිය සේක. (යොහන් 4:4-6)

අපි එකිනෙකාව දේව වචනයෙන් ශක්තිමත් කිරීම උන්වහන්සේ අපගෙන්ද බලාපොරොත්තු වන සේක.

ඔබටත් එවැනි කැඳවීමක් ඇත්නම් එය අතපසු නොකරන්න.

පළමුව අප දේව වචනයෙන් ශක්තිමත් වී එහි ස්ථීර වීම අවශ්‍යයි.

දෙවියන්වහන්සේගේ වචනය කිසිදින පහව නොයයි.

දෙවියන්වහන්සේගේ වචනය කිසිදා වෙනස් නොවේ, එය ඊයෙත් අදත් සදාකාලයටම එකාකාරයි. (හෙබ්‍රෙව් 13:8)

දේව වචනය ප්‍රකාශ කරමු

ඒ ප‍්‍රකාශනය තුළින් අලුත් ගිවිසුම තුළ පොරොන්දු, අයිතිවාසිකම් උරුම කර ගැනීමට අපට හැකිවේ.

දෙවියන්වහන්සේ දේව වචනයෙන් දිනපතා අපට කථා කරන පොරොන්දුව හෝ පදය අමතක කර නොදමා, ඒ වචනය අපගේ මුඛයෙන් ප‍්‍රකාශ කළ යුතුයි.

එයින් එය අපගේ මනසට ඇතුල් වී, අපගේ මනස හා ප‍්‍රාණය ශක්තිමත් වේ.

ඔබ ණය තුරුස් භාවයෙන් සිටින්නේ නම් දෙවියන්වහන්සේ සැපයුම්කරු බව විශ්වාස කිරීමෙන් සහ එය ප‍්‍රකාශ කිරීමෙන් ඔබට සියල්ල ලබා ගත හැකි වන්නේය.

අප ප‍්‍රකාශ කරන්නේ ධනාත්මක ප‍්‍රකාශයක් පමණක් නොවේ, එය දෙවියන්වහන්සේගේ සත්‍ය වචනයයි.

සත්‍යයේ දෙවියන්වහන්සේ අපට කථා කරන මේ සත්‍ය වචන ධනාත්මක ප‍්‍රකාශයන්ට වඩා උසස්ය.

මේවා අපේ ජීවිතයේ මෙනෙහි කර ප‍්‍රකාශ කිරීම ඉතාම වැදගත්.

අපි ගැළවීම ලැබූ විට දෙවියන්වහන්සේ අප තුළ යහපත් වැඩක් ආරම්භ කළ සේක.

අලුත් ගිවිසුම තුළ යේසුස්වහන්සේ කළා වූ දේවල් ප්‍රකාශ කරමු.

ඔබ බයිබලය කියවීමේදී අලුත් ගිවිසුම කියවීම ඉතාම වැදගත්ය.

එමඟින් දෙවියන්වහන්සේගේ අයිතිවාසිකම්, උරුමය, පොරොන්දු පිළිබඳ ඔබ දැන ගැනීමට යන්නේය.

ක‍්‍රිස්තුස්වහන්සේ ඔබ වෙනුවෙන් කළාවූ දේවල් ඔබ දැන ගැනිම අවශ්‍යයි.

උන්වහන්සේ ඔබ වෙනුවෙන්, ඔබව ඇදහිල්ලට ගෙනෙන පිණිස විශාල මිලයක් ගෙවූ සේක.

උන්වහන්සේ උතුම් අනර්ඝ පොරොන්දු අපට දී ඇත.

පිලිප්පි 1:6
නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.

යේසුස්වහන්සේ අප තුළ ආරම්භ කළ ඒ යහපත් වැඩයට හවුල්කාරයන් ලෙස අපි දිනපතා ඒ තුළ වර්ධනය විය යුතුයි.

එවිට ඔබේ ජීවිතයේ ස්ථීරභාවය ඔබ දකින්නට යන්නේය.

ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේ ආරම්භ කළ දේ අත්තිවාරමයි.

නිතරම ඔබ වෙනුවෙන් යාච්ඤා කරන්නට කියා වෙන කෙනෙකු මත යැපීමෙන් වලකින්න, මන්ද කිසිවෙකු නොමැතිව ඔබ තනි වූ අවස්ථාවකදී ඔබට ඔබවම ශක්තිමත් කර ගැනීමට සිදුවනු ඇත.

ඔබ තුළ වාසය කරන දෙවියන්වහන්සේ නිසා ඔබට එය කළ හැකි වන්නේය.

ඕනෑම තත්ත්වයක් යටතේ, යහපත් හෝ අයහපත් වාර්තාවක් වූවත් ඔබගේ ප‍්‍රකාශයෙන් ඔබ සුදානමින් සිටින්න. ඔබගේ ප‍්‍රකාශය දේව වචනයට අනුකූල බව ඔබ දනී.

එළිදරව් 12:11,
“ඔවුහු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය.”

ඔබට යක්ෂයාගෙන් ජයගෙන, ඇදහිල්ලේ ජයග‍්‍රාහී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් ඔබ දේව වචනය දැන එය ප‍්‍රකාශ කිරීම කළ යුතුයි.

ප‍්‍රකාශ කිරීම යනු අප අදහන දේ තහවුරු කිරීමයි

එය අප දන්නා වූ කාරණාවක් ගැන සාක්ෂි දැරීමයි.

එය අප ජීවිතයට අදාල කරගත් සත්‍යතාවයක් ගැන සාක්ෂි දැරීමයි.

කිතුනුවන් තුළ ප‍්‍රකාශ කිරීම ඉතා ඉහළ ස්ථානයක් ගත යුතුයි

දිනපතා අපි එකිනෙකාව ශක්තිමත් කිරීම පිණිස අපගේ මුඛය, හදවත දේව වචනයෙන් පුරවා, වචනය කථා කිරීමට පුහුණු වී සිටිය යුතුයි.

පළමුව, දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ අප වෙනුවෙන් නිර්මාණය කරන ලද දේවල්ය.

දෙවනුව, දෙවියන්වහන්සේ වචනය හා ආත්මය තුළින් අප තුළ නිර්මාණය කරන ලද දේය.

තෙවනුව, ක්‍රිස්තුස්වහන්සේ තුළ පියාණන්වහන්සේට අප කවුදැයි යන්න වේ.

ඔබ දේව දරුවෙකි, ආලේප ලත් කෙනෙකි, ඔබ නව මැවිල්ලකි.

යොහන් 1:12
නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන්වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.

අවසානයට, දෙවියන්වහන්සේට අප තුළින් කළ හැකි දේ, හෝ වචනය අපගේ තොල්වල කරන්නට යන්නාවූ දේය.

වචනය ප‍්‍රකාශ කිරීම වැදගත් වන්නේ යේසුස්වහන්සේ පවා වචනයට කාලය දුන් බැවිනි, වර්ණනා කළ බැවිනි.

සියයකට මුලාදෑනියා තමන්ගේ මෙහෙකරුවාට සුවය ලබා ගැනීම පිණිස යේසුස්වහන්සේ වෙතට ආවේය.

යේසුස්වහන්සේ ඔහු සමඟ පැමිණීමට සූදානම් වූවත් ඔහු පැවසුවේ,

මතෙව් 8:8-13
සියයකට මුලාදෑනියා උත්තරදෙමින්: ස්වාමිනි, මාගේ පියස්ස යටට ඔබගේ ඊමට මම නොවටිමි. වචන මාත්‍රයක් කිව මැනව, එවිට මාගේ මෙහෙකරුවාට සුවවන්නේය.

ඔබ ඉන්න ස්ථානයේ සිටම වෙන කෙනෙකු වෙනුවෙන් යාච්ඤා කරන්නටද, ඔබ ඉදිරියේ ඇති කඳු වලට කථා කරන්නටද ඔබට පුළුවන.

යුදෙව්වෙක් නොවූ ඔහු යේසුස්වහන්සේගේ වචනයේ බලය දැන ගෙන සිටියා.

මක්නිසාද මමත් ආණ්ඩු බලයට යටත් මනුෂ්‍යයෙක්ය, මා යටතෙහිද හේවායෝ සිටිති. එක්කෙනෙකුට: යවයි මා කී කල, ඔහු යන්නේය; තව කෙනෙකුට: එවයි කී කල, ඔහු එන්නේය; මාගේ දාසයාට: මේක කරවයි කී කල, ඔහු ඒක කරන්නේයයි කීවේය.

ඔහු යටතේ සිටි සේවකයන් ඔහුගේ අණට කීකරුව දේවල් කරන්නේ ඔහුට තිබූ බලය හා ආධිපත්‍යය නිසයි.

යේසුස්වහන්සේ යක්ෂයන් දුරු කරන්නේ, ලෙඩ රෝග සුව කරන්නේ උන්වහන්සේගේ වචන වල තිබූ මෙම බලය හා ආධිපත්‍යය තුළින් බව ඔහු විශ්වාස කළේය.

යේසුස්වහන්සේ ඒ අසා, මවිතව, තමන් අනුව එන්නන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි, ඉශ්‍රායෙල්හිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නුදුටිමි. තවද නුඹලාට කියමි: නැගෙනහිරින්ද බස්නාහිරින්ද බොහෝ දෙනෙක් ඇවිත්, ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ ස්වර්ගරාජ්‍යයෙහි හිඳගන්නෝය. එහෙත් රාජ්‍යයේ පුත්‍රයෝ පිටත අඳුරෙහි දමනු ලබන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේයයි කීසේක. යේසුස්වහන්සේ සියයකට මුලාදෑනියාට කථාකොට: යන්න; නුඹ අදහාගත් ලෙසම නුඹට වේවයි කීසේක. ඒ පැයේදීම මෙහෙකරුවා සුවපත්විය. " -

ඔබ ඇදහිල්ලේ වචන කථා කරද්දී එය ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වන අතර ඔබ භයාදුකමේ වචන කථා කරද්දී එයත් ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වන බව මතක තබා ගන්න.

ඕනෑම ස්ථානයක සිට දේව පොරොන්දු ප‍්‍රකාශ කළ හැකියි, ඒ ප‍්‍රකාශනයෙන් ඔබගේ ඇදහිල්ල ගොඩනැගීමට හැකියි.

යේසුස්වහන්සේ ඇදහිල්ලේ මිම්ම මනින ආකාරය ගැන දේව වචනයේ සඳහන් වේ,

මාර්ක් 4:40
උන්වහන්සේද: නුඹලා භයව සිටින්නේ මන්ද? තවම නුඹලාට ඇදහිල්ල නැද්දැයි කීසේක.

මතෙව් 17:17
යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාව, මම නුඹලා සමඟ කොපමණ කල් සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? මෙහි මා ළඟට ඔහු ගෙනෙන්නැයි කීසේක.

ඔබගේ හදවත තුළ ඇති ඇදහිල්ල ඔබටම මැන ගත හැකියි.

යායිරස් නම් පුද්ගලයෙක් තමන්ගේ මරණාසන්න දුව සුව කර දෙන මෙන් යේසුස්වහන්සේගෙන් ඉල්ලා සිටියේය.
(මාර්ක් 5:23-24)

උන්වහන්සේ ඔහු සමඟ ගමන් කරද්දී මහ ලේ රෝගී ස්ත‍්‍රිය උන්වහන්සේගේ සළුවට අත ගසා සුවය ලැබිය. (මාර්ක් 5:25-34)

යායිරස්ගේ නිවසින් ආ පණිවිඩකරුවෙක් දියණිය මිය ගිය බව යායිරස්ට දැන්නුවේය, නමුත් යේසුස්වහන්සේ ඒ මරණීය පණිවිඩය සමඟ එකඟ නොවූ නිසා ‘’භය නොවන්න ඇදහිල්ලෙන්ම සිටින්න’’ යයි යායිරස්ට පැවසු සේක.
(මාර්ක් 5:35-36)

භය ඔබගේ ඇදහිල්ල බිංදුවටම හරවන්නේය.

ඔබගේ ව්‍යවහාරයෙන් භය නමැති වචනය සම්පූර්ණයෙන්ම ඉවත් කර දමන්න.

2 තිමෝති 1:7
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

ඔබ භය වන්නේ නම් ඔබ භය වන දේ ඔබට සිද්ධ වන්නේය.

යේසුස්වහන්සේ යායිරස්ව ශක්තිමත් කළ සේක.

ඔවුන් නිවසට එන විට සියල්ලන් අඬමින් සිටියත්, දියණිය මැරී නොමැති බව යේසුස්වහන්සේ පැවසූ විට සියල්ලන් උන්වහන්සේට සිනාසුණෝය. (මාර්ක් 5:36-40)

ඔබ ඇදහිල්ලේ වාක්‍ය කථා කරන විට අන් අය ඔබට සිනා සිමට පුළුවන, නමුත් ඔබ නොසැලී සිටින්න.

උන්වහන්සේ සියල්ලන්ව පිටතට දමා දෙමව්පියන් හා පේතෘස්ද, යාකොබ්ද, යොහන්ද සමඟ ගොස් දියණියව මළවුන්ගෙන් නැඟිටෙවු සේක (මාර්ක් 5:40-43)

ලාසරුස්ව මරණයෙන් නැඟිටවීමේදීද යේසුස්වහන්සේ කීවේ ‘’අපගේ මිත‍්‍ර ලාසරුස් සැතපී සිටින්නේය, ඔහු පුබුදුවන පිණිස යමි’’ ලෙසයි (යොහාන් 11:11)

යේසුස්වහන්සේ ජීවනයේ වචන කථා කළ සේක.

අපිද ඇදහිල්ලේ වචන කථා කරමු.


Watch the Sermon Video

Read 160 times