+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

       ඔබ ආශීර්වාදයක් වීමට බලය ලබා ඇත - මනූ මැතානි

October 15, 2023 Sunday Sermon Notes


ඇදහිල්ලේ වචනය අපි නිතරම කථා කළ යුතුයි.

එය අපේ ජීවිතයේ පුරුද්දක්, ජීවිත රටාවක් කර ගත යුතුයි.

පෙනෙන දේ නොව නිතරම නොපෙණෙන දේ කථා කරන්න.

යොහන්‬ ‭6:63‬ ‭
[63] ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.

මාංශයේ දේවල් හා ආත්මික දේවල් සංසන්දනය නොකළ යුතුය, මන්ද ආත්මිකව දෙවියන්වහන්සේට කළ නොහැකි දෙයක් නැත්තේය.

ඔබට මාංශික මට්ටමින් සියල්ලම පෙනෙන්නට, හැඟෙන්නට අවශ්‍ය නැහැ, නමුත් ඒවා ඔබ අදහා ගත යුතුයි.

දෙවියන්වහන්සේගේ වචන නොපෙණෙන නමුත් ඒවා ජීවනයේ වචනයි.

‭යොහන්‬ ‭6:64‬ ‭
[64] නුමුත් විශ්වාස නොකරන සමහරෙක් නුඹලා අතරෙහි සිටිතියි කීසේක. මක්නිසාද විශ්වාස නොකරන්නෝ කවුරුද කියාත් තමන්වහන්සේ පාවාදෙන්ට සිටියේ කවුද කියාත් යේසුස්වහන්සේ මුල පටන් දැනගෙන සිටිසේක.

‭‭යොහන්‬ ‭6:65‬ ‭
[65] එහෙයින් උන්වහන්සේ කියනසේක්: මාගේ පියාණන්වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්ට බැරි බව නුඹලාට කීවෙමියි කීසේක.

යොහන්‬ ‭6:66‬ ‭
[66] මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබටවී, උන්වහන්සේ සමඟ තවත් නොහැසුරුණෝය.

බොහෝ අය යේසුස්වහන්සේගේ වචනය ගැඹුර වැඩි යයි කියමින් උන්වහන්සේව අතහැර ගියෝය.

යේසුස්වහන්සේගේ වචනය සරළයි. ඒවා අපට වටහා ගන්නට පහසුයි.

යොහන්‬ ‭6:67‬
[67] නුඹලාත් අහක්ව යන්ට කැමතිදැයි යේසුස්වහන්සේ දොළොසගෙන් ඇසූසේක.

සමහර අය මාංශාකාර වචන පමණක් අසන්නට කැමතියි.

සත්‍යයෙන් අහක්ව ගොස් සතුට ලබන වචන අසන්නට අපි කැමති වීමෙන් කිසිදු ප‍්‍රයෝජනයක් නැත.

ආත්මික වචන සුළු කිරීමෙන් වැළකෙමු.
‭‭
මනුෂ්‍යයන්ගේ ජීවිත වල වර්ධනයක් නැති වීමට හේතුව නම් තැනින් තැනට ගොස් තමන් කැමති වචනය අසන්නට හුරු වීමෙන් තමුන්ගේ මුල් වල ජීවනයේ බලය නැති කම නිසාවෙනි.

අපි ඉගෙන ගන්න වචනය ක‍්‍රියාවට නැංවිය යුතුයි.

ඒ වචන බීජ හා සමානයි, ඒ වචන කථා කිරීම එනම්, වැපිරීම තුළින් නියම කාලයේදී අස්වැන්නක් ලැබෙන්නට නියමිතයි.

ඉවසීමෙන්, ඇදහිල්ලෙන් ක‍්‍රියා කිරීම තුළින් අපට පොරොන්දු උරුම කර ගත හැකිය.

හිතෝපදේශ‬ ‭21:5‬ ‭‬‬
[5] කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.

සාවුල්ට ආ පීඩාව නිසා ඔහු ඉක්මන් වුණා.

සතුරු හමුදාව නිසා, තමන් වටා හිටි මනුෂ්‍යයන් ඔහු අතහැර යාමට පටන් ගත් නිසා, භයෙන් වෙවුලමින් ගුහාවල සැඟවී සිටීමට ගත් නිසා ඔහුට ඉක්මන් තීරණයක් ගැනීමට සිදුවිය.

‭‭ඔහුගේ ඉක්මන් තීරණය අණුවන බව සාමුවෙල් පැවසීය

1 සාමුවෙල්‬ ‭13:10‭-‬11‬
[10] ඔහු දවන පූජාව ඔප්පුකර තීන්දුවුණ හැටියේම සාමුවෙල් ආයේය; සාවුල්ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමගට ගියේය. [11] සාමුවෙල්: නුඹ කුමක් කෙළෙහිදැයි ඇසීය. සාවුල් කථාකොට: සෙනඟ මා වෙතින් විසිර යන බවත් නියමකළ දවස් ඇතුළතදී ඔබ නා බවත් පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස්වී සිටින බවත් දුටු බැවින්,

‭‭1 සාමුවෙල්‬ ‭13:12‬
[12] මම කථාකොට: මා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව්කරන්ට මත්තෙන් පිලිස්තිවරු මට විරුද්ධව ගිල්ගාල්ට එන්නෝය කියා, අකැමැත්තෙන් දවන පූජාව පූජාකෙළෙමියි කීවේය.

දෙවියන්වහන්සේ දුන් වචනය තදින් අල්ලා ගෙන භිය නොවී, තීරණය වෙනස් නොකර සිටිය යුතුයි.

ඔබගේ ඇදහිල්ලේ ප‍්‍රකාශය සමඟම භාරවීමේ යාච්ඤාවක් ද කළ යුතුයි.

‘’එය මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා’’. (ලූක් 22:42)

ඔබ ප‍්‍රඥාවන්තයෙක් ලෙස ක‍්‍රියා කළ යුතුයි.

‭‭ගීතාවලිය‬ ‭29:3‬
[3] ස්වාමීන්ගේ ශබ්දය (හඬ) ජල මතුයෙහිය මහිමයෙන් යුක්තවූ දෙවියන්වහන්සේ, එනම් ජල රාශි මතුයෙහි වැඩසිටින ස්වාමීන්වහන්සේ ගර්ජනා කරනසේක.

දෙවියන්වහන්සේගේ හඬ තිබෙන්නේ දේව වචනය තුළයි.

දෙවියන්වහන්සේගේ වචනය ඔබ තුළ තිබෙනවා නම් උන්වහන්සේ එය තුළින් අවශ්‍ය වේලාවේදී ඔබට කථා කරනු ඇත.

හදිසි තීරණ ගැනීමට පෙර බෙහෝ අය සොයා නොගොස් දෙවියන්වහන්සේගේ හඬ නමැති ‘’රේමා’’ වචනයට සවන් දෙන්න.

ඔබ මාංශාකාර කෙනෙක් ලෙස මාංශයෙන් ක්‍රියා කරන්නේ නම් ඔබට රැවටෙන්නට ඉතා පහසුයි.

යක්ෂයාට මාංශාකාර කෙනෙකුව රවට්ටන්නට ඉතාම පහසුයි

අන් අයට බෙදා දෙන්නට ඔබ තුළ ජලය, ජීවනයේ වචනය පිරී තිබිය යුතුයි.

ඔබ පොකුණක් නොවෙයි, ඔබ වචනය ගලා යන ජලධාරාවක් නැතහොත් ගංගාවක්.

ඔබගෙන් පිටවිය යුත්තේ අතීතයේ සිදුවූ දුක් වේදනා, ඔබට මනුෂ්‍යයන්ගෙන් සිදුවූ දේවල් නොව ඒ අවස්ථාවට ගැළපෙන අවශ්‍ය කරන වචනයයි.
‭‭
යෙසායා‬ ‭50:4‬
[4] විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක.

ඔබ උගතෙක් නොවුණත් අවශ්‍ය තත්පරයේදී අවශ්‍ය පණිව්ඩය, ශුද්ධාත්මයාණන්වහන්සේගේ කැමැත්ත ඔබ තුළින් අදාල පුද්ගලයාට කථා කරනු ඇත.

යේසුස්වහන්සේ නිතරම අත්‍යාවශ්‍ය වචනය කතා කරමින් යක්ෂයාව පලවා හැරිය සේක.

යක්ෂයා උන්වහන්සේව රවටන්නට තැත් කරද්දී යේසුස්වහන්සේ ප‍්‍රඥාවන්තව වචනය කථා කරමින් කීවේ, වචනයේ ‘’මෙසේ ලියා ඇත’’ කියාය. (ලූක් 4:1-13)

දෙවියන්වහන්සේ උගතුන්ගේ දිවක් මට දී ඇත.

ඔබ ආත්මික කෙනෙකුය.

ඔබ හැඟීම් බරව කතා නොකරන්න.

ඔබ ඇදහිල්ලේ වචන කතා කරමින් ජීවත් වෙන්න.

ඔබ ජීවත් වෙන්නේ රොටී වලින් පමණක් නොවෙයි දෙවියන්වහන්සේගේ වචනයෙන්ය. (ලූක් 4:4)

1 තිමෝති 4:4
[4] දෙවියන්වහන්සේ මැවූ සියල්ල යහපත්ය, ස්තුතිදීමෙන් යුක්තව පිළිගන්නවා නම් කොයිදෙයක්වත් එපාකරන්ට යුතු නැත. [5] මක්නිසාද එය දෙවියන්වහන්සේගේ වචනයෙන්ද යාච්ඤාවෙන්ද පිරිසිදු කරනු ලබන්නේය.

ඔබගේ ආහාර වේල වචනය නැමැති වතුරෙන් පිරිසිදු කර ගන්න.

මරණීය වචන කතා කිරීම ඔබ නතර කරන්න.

නිතරම ස්තූතිවන්ත හදවතකින් සියල්ල කරන්න.
ඔබගේ වචන වලට අසුවීමට, පටලැවීමට ඉඩ නොදෙන්න.

ඔබ ආහාරයට යාච්ඤා කර, ස්තූති කර එය ලබා ගන්න.

සෑම අවස්ථාවකම දෙවියන්වහන්සේගේ වචනයෙන් ජීවත් වීමට පුරුදු විය යුතුය.

‭‭1 තිමෝති‬ ‭4:6‬
[6] නුඹ මේ දේවල් සහෝදරයන්ට සිහිකරවන්නෙහි නම්, ඇදහිල්ලේද මේ දක්වා නුඹ අනුව ගිය යහපත් ගුරුකමේද වචනවලින් නුඹ පෝෂ්‍යවී, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් සේවකයෙක් වන්නෙහිය.

ඇදහිල්ලේ වාක්‍ය වලින් ඔබව පෝෂණය කර ගත යුතුය

හිතෝපදේශ 6:2
[2] නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්,

ඔබ නිදහස් වෙන්න.

‭‭හිතෝපදේශ‬ ‭6:3‭-‬5‬
[3] මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියා අතට නුඹ අසුවී සිටින නිසා, මෙසේ කොට ගැළවීයන්න: නුඹ ගොස් නුඹේ අසල්වාසියාගේ පාමුල වැටී කන්නලව්කරන්න. [4] නුඹේ ඇස්වලට නින්දවත් නුඹේ ඇසිපියවලට නිදිබරවත් නොදී, [5] දඩයක්කාරයාගේ අතින් තිත්මුවෙකුමෙන්ද පක්ෂි වැද්දාගේ අතින් පක්ෂියෙකු මෙන්ද ගැළවීයන්න.

මරණීය වචන කතා කිරීම නතර කරන්න. එයින් නිදහස් වෙන්න.

‭‭හිතෝපදේශ‬ ‭18:21‬
[21] මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.

ජීවනයේ ඵල භුක්ති විදිමු.

යොහන් 6:67
[67] නුඹලාත් අහක්ව යන්ට කැමතිදැයි යේසුස්වහන්සේ දොළොසගෙන් ඇසූසේක.

‭‭යොහන්‬ ‭6:68‬
[68] සීමොන් පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමීනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය.

සදහටම පවතින වචන ඇත්තේ යේසුස්වහන්සේ තුළ පමණි.

අපට ඒ වචන තිබේ නම් අපිට කිසිදා නොවරදිනු ඇත.
‭‭
එය ‘’එසේය, ආමෙන්’’ කියා පිළිගත යුතුය. (2 කොරින්ති 2:20)

කිසිවෙකුට මෙම වචන අහෝසි කළ නොහැක.

යෙසායා‬ ‭55:11‬
[11] මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.

දෙවියන්වහන්සේ කතා කරන වචන සදාකාලිකයි, ජීවනයයි.

දෙවියන්වහන්සේගේ වචන අපි කතා කරන විට එම ප‍්‍රතිඵලයම අපටත් ලබා ගත හැකිය.

යෙරෙමියා 15:19
[19] එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ හැරීආවොත්, මම නුඹ නැවත ගෙනෙන්නෙමි, නුඹද මා ඉදිරියෙහි සිටින්නෙහිය; නුඹ අනර්ඝ දෙය නීච දෙයින් වෙන්කළොත්, නුඹ මාගේ මුඛය මෙන් සිටින්නෙහිය. ඔව්හු නුඹ වෙතට හැරීඑන්නෝය, එහෙත් නුඹ ඔවුන් වෙතට හැරී නොයන්න.

ජීවන වචන සහ මරණීය වචන දෙකම ඔබට කථා කළ නොහැකියි.

දෙවියන්වහන්සේගේ ජීවන වචනය කවදාවත් වෙනස් වන්නේ නැත.

ඔබ ධෛර්යයමත් සෙනඟක්, ජීවන වචන කතා කරන කෙනෙක්.

ඔබ විශ්වාස කරනවා නම් ඔබට කිසිවක් අපහසු නොවෙයි.

පිලිප්පි 4:13
[13] මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ වචන වලින් මරණ ගෙය මංගල්‍යය ගෙදරක් කළ සේක. (මතෙව් 9:18-26)

අපි ජීවන වචන කතා කරමු. මට හොඳ සිහිකල්පනාවක් තිබෙනවා.

හිතෝපදේශ‬ ‭10:7‬
[7] ධර්මිෂ්ඨයා සිහිකිරීම ආශීර්වාද ලද්දේය; එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය.

ඔබගේ ප‍්‍රකාශයෙන් ජීවත් වීමට පුරුදු වෙන්න.

ඔබ ආත්මයක්, ඔබට ප‍්‍රාණයක් ඇත, ඔබගේ ශරීරය ඔබගේ නිවසයි.

ඔබගේ ආත්මය බලවන්තයි. එබැවින් ඔබ ශක්තිමත් මනුෂ්‍යයෙකි.

ඔබ වයසින් පරිණත වුවද ඔබ සිංහයෙකි.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ බලවත් නාමයෙන් දිනෙන් දින ඔබ ශක්තිමත් වේ.

ඔබ කථා කළ යුත්තේ ඔබේ අනාගතයටයි.

අවුරුදු ගණනාවක් තිස්සේ ඔබ කථා කළ දේ ඔබේ අද දවස වී තිබේ.

ගීතාවලිය‬ ‭92:12‭-‬15‬
[12] ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය. ඔහු ලෙබනොන්හි කිහිරි ගසක්මෙන් වැඩෙන්නේය. [13] ස්වාමීන්ගේ ගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය. [14] ස්වාමීන්වහන්සේ අවංක බවත්, මාගේ පර්වතය බවත්, උන්වහන්සේ තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස, [15] ඔව්හු මහලු වයසේදීත් ඵලදෙමින් සාරවත් වන්නෝය, සශ්‍රීකවන්නෝය.

ඔබ මහලු වුවද තවමත් ඵල දරන්නේ ඔබගේ වචන ඔබගේ බීජව තිබෙන නිසාය.

අද දවසේ පටන් අනවශ්‍ය නිශ්ප‍්‍රයෝජන වචන වලින් නිදහස් වෙන්න.

දේවදූතයා ඉදිරියේ අවිශ්වාසවන්ත වචන කථා කිරීම නිසා සෙකරියස්ට තාවකාලිකව නිහඬ වීමට සිදුවිය. (ලූක් 1:13-22)

නියමිත වේලාවේදී දරුවාගේ නම තිබන විට ඔහුට නැවත කථා ශක්තිය ලැබුණි. (ලූක් 1:59-64)

ඔබගේ මාංශයෙන් කළ නොහැකි දේවල් ඔබගේ ආත්මය තුළින් ඔබට කළ හැකියි.

සියයකට මුලාදෑනියාට තිබූ ඇදහිල්ල ගැන යේසුස්වහන්සේ කීවේ,

‘’යේසුස්වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිතව, හැරී තමන් අනුව ආ සමූහයාට කථාකොට: ඉශ්‍රායෙල්වරුන් අතරේවත් මෙබඳු මහත් ඇදහිල්ලක් මට සම්බවුණේ නැතැයි නුඹලාට කියමියි’’ කීසේක. (ලූක් 7:9)

‭‭සිරෝපිනීසි ජාතියේ ග්‍රීක් ස්ත්‍රියගේ දුව සුවය ලබා ගත්තේ ඇය තුළ තිබුණු ඇදහිල්ල නිසයි.

මාර්ක් 7:25-30
එකෙණෙහිම අශුද්ධාත්මයක් ආවේශවූ කුඩා දුවෙක් ඇති ස්ත්‍රියෙක් උන්වහන්සේ ගැන අසා ඇවිත් උන්වහන්සේගේ පාමුල වැටුණාය. 26ඈ වනාහි සිරෝපිනීසි ජාතියේ ග්‍රීක් ස්ත්‍රියෙක්ය. ඇගේ දුවගෙන් යක්ෂයා දුරුකරන ලෙස ඈ උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවාය. 27උන්වහන්සේ කථාකොට: පළමුකොට දරුවෝ තෘප්තියට පැමිණෙත්වා. මක්නිසාද දරුවන්ගේ රොටි ගෙන බල්ලන්ට දැමීම නුසුදුසුයයි ඈට කීසේක. 28එහෙත් ඈ උත්තරදෙමින්: එසේය, ස්වාමිනි. මේසේ යට සිටින බල්ලෝ පවා දරුවන්ගේ කෑම කැබෙලිවලින් ගෙන කතියි උන්වහන්සේට කීවාය. 29උන්වහන්සේද: මේ කීම නිසා යන්න; යක්ෂයා නුඹේ දුවගෙන් දුරුව ගියේයයි ඈට කීසේක. 30ඈ ගෙදර ගිය කල ඇගේ දුව ඇඳේ සැතපී ඉන්න බවද යක්ෂයා දුරුවී සිටින බවද දුටුවාය.

ග්‍රීක් ස්ත්‍රිය තම ස්වභාවය වෙනස් කර දේව දරුකමට ඇතුල් වීමට කැමති විය.

සියයකට මුලාදෑනියා, ග්‍රීක් ස්ත්‍රිය යන මේ දෙදෙනාම හාස්කම දුටුවේ නැති නමුත් ඇදහිල්ලෙන් විශ්වාස කරමින් එය ලබාගත්තෝය.

ඔවුන්ගේ ඇදහිල්ල ගැන යේසුස්වහන්සේ පුදුම වූ ලෙසම ඒ ආකාරයේ ආකාරයේ ඇදහිල්ලක් ඔබටත් තිබිය යුතුයි.

ඇදහිල්ලේ වාක්‍ය, ගීතිකා ගායනා කරමින්, ඒ ප‍්‍රකාශන තුළින් ඔබගේ ඇදහිල්ල වැඩි කර ගන්න.

ඔබ දෙවියන්වහන්සේගේ බලයේ මධ්‍යස්ථානයකි.

සුවය ලැබීමට විශේෂිත දවසක් නැත, යෙහෝවා රාෆා අපගේ වෛද්‍යවරයාණෝය, අපගේ ඖෂධයයි.

යේසුස්වහන්සේට කුදු ස්ත‍්‍රිය සුව කිරීමට විශේෂ දවසක් අවශ්‍ය නොවිණි. (ලූක් 13:10-16)

දේවදූතයා පොකුනේ වතුර කලඹන විශේෂ මොහොතක් බලා නොසිටින්න. (යොහන් 5:2-9)

අලුත් ගිවිසුමේ යේසුස්වහන්සේ ඔබේ සුවයයි, ඔබේ ශරීරය සුවයේ මධ්‍යස්ථානයයි.

ඔබගේ අත් වෙනත් අයෙක් මත තබන විට සුවය ගලා යන බව විශ්වාස කරන්න.

ඔබගේ මුඛය දෙවියන්වහන්සේගේ මුඛය මෙන් සිටින්නේය.

ඔබ මහලු වුවද ඵල දරන අයෙකි, ඔබගේ වයස ගැන කරදර නොවන්න.

යේසුස්වහන්සේට අවුරුදු 50 ක් වත් නැතිව ආබ‍්‍රහම්ට පෙර සිටියේ කෙසේදැයි මිනිසුන් ප‍්‍රශ්න කළෝය. (යොහන් 8:56-59)

සැබවින්ම උන්වහන්සේ ආබ‍්‍රහම්ට පෙර සිටිය සේක.

ඔබ ඇදහිල්ලේ වචන අසමින්ම සිටින්න.

පාවුල් තුමා ඇදහිල්ලේ වාක්‍ය දේශනා කරමින්, අවසානය දක්වාම ඇදහිල්ල රක්ෂා කරමින් සිටියේය.

අනර්ඝ දෙය, නීච දෙයින් වෙන් කරන විට ඔබගේ මුඛය දෙවියන්වහන්සේගේ මුඛය මෙන් සිටින්නේය.

දෙවියන්වහන්සේගේ වචනය උන්වහන්සේ නියම කළ කාරණය සඵල නොකොට, හිස්ව හැරී නොඑන්නේය.

2 කොරින්ති 2:20
[20] මක්නිසාද දෙවියන්වහන්සේගේ පොරොන්දු කොපමණ වුණත් උන්වහන්සේ තුළ එසේය කියා වේ. එහෙයින් අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය පැමිණෙන පිණිස, උන්වහන්සේ කරණකොටගෙන ආමෙන්ය කියාත් වේ.

ආමෙන් යනු ‘’මම විශ්වාස කරනවා, එය එසේම වේවා’’ යන්නයි.

‭‭දෙවියන්වහන්සේට මහිමය, ගෞරවය ලැබෙන පිණිස අපි සුවය ලබා යහපත්ව ජීවත් වෙමු.

පොරොන්දුව මත ජීවත් වෙමු.

ධර්මිෂ්ඨයන් ලෙස අපට අයුතු ආශාවන් නැත.

හිතෝපදේශ‬ ‭11:23‬
[23] ධර්මිෂ්ඨයන්ගේ ආශාව යහපතමය; දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව උදහසය.

දෙවියන්වහන්සේගේ මාළිගාව වන අපේ ශරීරයෙන්, ජීවිතයෙන් අන් අයට ආශීර්වාදයක් වීමට තීරණය කර ගනිමු.
‭‭
දෙවියන්වහන්සේ අපට අවශ්‍ය සියල්ල යහපත් ආකාරයෙන් සපයා දෙන සේක.

ගසක එල්ලෙන සියල්ලෝ ශාප ලදදෝය යයි ලියා තිබෙන ලෙස යේසුස්වහන්සේ අප වෙනුවෙන් ශාපයක් වී අපට ආශිර්වාදය ලබා දී ඇත. (ගලාති 3:13)

ගීතාවලිය‬ ‭145:16‬ ‭
[16] ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනසේක.

දෙවියන්වහන්සේගේ හස්තයෙන් අපේ සියලු ආශාවන් උන්වහන්සේ ඉෂ්ඨ කරන සේක.

උන්වහන්සේට සියල්ල කළ හැකියි.

යෙසායා 43:18-19
[18] පළමු කාරණා සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න.

[19] බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.

පරණ දේ සිහි කරගෙනම සිටීමෙන් අලුත් දෙයක් සිදු නොවෙයි.

සෙකරියස් තමන්ගේ දුබලකම ගැන සිතමින් සිටි අතර දෙවියන්වහන්සේ බලවත් දෙයක් කරමින් යේසුස්වහන්සේ ඉපදිමට මාස 6 කට පෙර උන්වහන්සේගේ පෙරමඟ සාදන්නා වන් යොහන් පොළාවට බිහි වෙන්නට සැලැස්වූ සේක. (ලූක් 1:5-18)

සෙකරියස් හා එලිසබෙත් දෙදෙනාම මහලු වයසේ සිටි අතර මරියා කන්‍යාවක්ව සිටියා.

මේ දෙපාර්ශවයටම දරුවන් බිහිකළ නොහැකි වූවත් දෙවියන්වහන්සේට කළ නොහැකි දෙයක් නැත.

එලිසබෙත්ගේ ජීවිතයේ දෙවියන්වහන්සේ කළ හාස්කම මරියාට ලකුණක් පිණිස විය.

ඇය එලිසබෙත්ව බැහැදකිමින් දෙවියන්වහන්සේගේ බලවත් ක‍්‍රියාව තම දෑසින්ම දැක ගත්තාය.(ලූක් 1:39-45)

අපගේ ජීවිතය ප‍්‍රීතිමත් කිරීමට උන්වහන්සේ බලා සිටින සේක.

අහිම් වූ දේ අතහැර දමා අලුත් දේවල් හිමි කර ගන්න.

ඔබට කිසිවක් අහිමිවී නැති බව ඇදහිල්ලෙන් විශ්වාස කරන්න.

ඇදහිල්ලේ තීරණය නිසා පසුබට වී ගිය අය ගැන දුක් නොවන්න.

මහලු වයසේදීද සෙකරියස් හා එලිසබෙත්ගේ ජීවිතයේ මහත් දේවල් සිදු කළාවූ දෙවියන්වහන්සේට ඔබේ ජීවිතයේද බලවත් දේවල් කළ හැකිය.

පසුගිය දේවල් අමතක කර දමා කාන්තාරයේ මාවත්ද, වනාන්තරයේ ගංගාද සාදන්නාවූ දෙවියන්වහන්සේ ඔබේ සියලු ආශාවන් සපුරන බව විශ්වාස කරන්න. (යෙසායා 43:19)

මනුෂ්‍යයන්ගේ පොරොන්දු නිරර්ථක වූවත් ඔබව අත් නොහරින දෙවියන්වහන්සේ සමඟම විශ්වාසයෙන් සියලු දෙනාට ආශීර්වාදයක්ව සිටින්න.


Watch the Sermon Video

Read 128 times