+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව වචනය ප්‍රකාශ කිරීමෙන් පොරොන්දු අත්පත් කර ගන්න- යෝෂා මනූ
October 22, 2023 Sunday Sermon Notes

 

අප සියලු දෙනා කාලයක් පීඩනයෙන් සිටි බව මතකද?

අප දේව සමාදානයෙන් නැතහොත් ශාන්ත සමාදානයෙන් ජීවත්වෙන විට පුදුමාකාර බලයක් නිදහස් වේ.

ඒ බලයට ඔබ තුළ ක‍්‍රියා කරන්නට ඔබ ඉඩ දිය යුතුයි.

දේව ප්‍රේමය බලයකි.

එමනිසා සමාදානයෙන්, දෙවියන්වහන්සේ ජීවත්වන රටාව අනුව ජීවත් වීමට අපි තීරණය කර ගනිමු.

උන්වහන්සේගේ වචනයෙහි ඇති පොරොන්දු අපි දැන ගනිමු.

යෙසායා 26:3
ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.

උන්වහන්සේ කෙරෙහි අපේ සිත තැබීම කොන්දේසිය වේ, එවිට මෙම ආශීර්වාදය අපට හිමි වනු ඇත.

ඔබ වෙනත් දේවල් කෙරෙහි ඔබේ සිත තබා සිටින විට මෙම පොරොන්දුව ඔබ අහිමි කර ගනු ඇත.

අපි සියල්ලෝ ශාන්ත සමාදානයෙන් ජීවත් වීමට කැමැත්තෙමු.

ඔබගේ වාතාවරණය සකසන්නට හෝ එය වියවුල් කරන්නට හැක්කේ ඔබටමයි.

ඒ තීරණය ඔබ සතුයි.

ඔබ නරක වචන කථා කිරීමෙන්, කෝපයෙන් ක‍්‍රියා කිරීමෙන්, කැළඹීමට පත්කරන දේවල් කිරීමෙන්, නිවසේ සමාදානය නැති කර ගන්නේය. ඒ තූළින් යක්ෂයාට ප‍්‍රහාර එල්ල කරන පිණිස ඔබ දොරටුවක් විවෘත කරන බවද මතක තබා ගත යුතුය.

එබැවින් සාතන්ට ඇතුල් වීමට හැකි සියලු දොරටු වසා තබන්නේ කෙසේද?

කෝප වුනත් පව් නොකරන්න යැයි එපීස 4:26 හි පවසයි.

අපි කෝපයෙන් ක‍්‍රියා නොකර, ප්‍රේමයෙන්, ඉවසිලිවන්තව ක‍්‍රියා කරමු.

දේව වචනය ප‍්‍රකාශ කිරීම ඉතාම වැදගත්ය.

එය අප අදහන දේ තහවුරු කිරීමයි.

දේව වචනයේ යහපත් පොරොන්දු අපගේ උරුමයයි, එය අපගේ අයිතිවාසිකමයි.

ඒ සියල්ල අපට ලැබෙන්නේ මේ පොළොවේ සිටිනදීමයි.

අපි ඇදහිල්ලේ සටන යහපත් ලෙස සටන් කරමු. (1 තිමෝති 6:12)

මන්ද යක්ෂ ආත්ම සිටින්නේ මේ ලෝකයේමයි, මනුෂ්‍යයන් යක්ෂ ආත්ම වලින් පොළඹවනු ලැබ ඔබට විරුද්ධව ක‍්‍රියා කිරීමට පැමිණිය හැකියි.

නමුත් ජයග‍්‍රහණය ඔබටයි, මන්ද ජයග‍්‍රාහකයා ඔබ තුළයි.

ජය දෙන්නාවූ යෙහෝවා නිස්සී ඔබ තුළයි. (නික්මයාම 17:15)

යෙහෝවා නිස්සී අපගේ ධජයයි.

අපගේ මුඛයේ ප‍්‍රකාශයෙන් එය ඔසවනු ලබයි.

පරාජිතයෙකු ලෙසද, කනස්සලුභාවයෙන් සිටින කෙනෙකුද අන් අයවත් අධෛර්යමත් ක‍රයි.

ඔබේ ප‍්‍රීතිය නැති කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.

ඔබ ප‍්‍රීතියෙන් සිටින විට අන් අය ඔබ කෙරෙහි කෝප වීමට ඉඩ ඇත.

නමුත් ඔබ ඔබගේ ජයග‍්‍රහණය සමරන්න.

පසුගිය සතියේ අප බැලුවාවූ යායිරස්ගේ සිදුවීමේදී යේසුස්වහන්සේ පැවසුවේ, ‘’භය නොවන්න, …. ඇදහිල්ලෙන්ම සිටින්න..’’ ලෙසයි.
(ලූක් 8:50)

භය වන විට අපගේ මුඛයෙන් භය වචන පිට වනු ඇත.

යායිරස්ගේ දියණිය ඇත්තටම මිය ගොස් සිටියද යේසුස්වහන්සේ ඇයව ජීවත් කළ සේක.

ඔබ ජීවිතයේ මරණීය ස්වභාවයක් ඇතිව සිටින්නේද? ලෙඩරෝග වලට මුහුණ දෙමින් යම් ප‍්‍රශ්න වල සිටින්නේද? එවැනි අවස්ථාවල හොඳ වචන කථා කිරීමට මතක තබා ගන්න.

යක්ෂයා ඔබ වෙත ගෙනෙන නරක සිතුවිලි, පරාජිත සිතුවිලි වලට ඔබ ප‍්‍රතිචාර දැක්විය යුත්තේ ප‍්‍රීතියෙනි, ප්‍රශංසාවෙනි.

ඔබ මුලු දවස පුරාම පොරොන්දු කථා කළත්, ප්‍රශංසා කළත් පරීක්ෂාවන් පැමිණි විට වාතාවරණය කථා කරන්නේ නම් ඔබට කිසිදා ජයග‍්‍රහණය අත් දකින්නට නොහැකි වනු ඇත.

නිතරම දේව වචනය කථා කිරීම ජීවිත රටාවක් කර ගනිමු.

මහ ලේ රෝගී කාන්තාව අවුරුදු 12 ක් එම රෝගයෙන් පීඩා වින්ද බව සඳහන් වේ.

මෙම සිදුවීම ශුභාරංචි 3 ක සඳහන්ව ඇත.

මතෙව් 9:20-22/ මාක් 5:25-34 /ලූක් 8:43-48

මෙම කාන්තාව ඇයගේ සුවය ලබා ගත්තේ ඇයගේ ප‍්‍රකාශයෙනි.

දවස තුළ ඔබ කථා කරමින් සිටින්නේ මොනවාද?

අපි අපටම, නැතහොත් භාණ්ඩ වලට, ඒ වගේම අපගේම සිතුවිලි වලටද කතා කරන අවස්ථාවන් ඇත.

යේසුස්වහන්සේ සුව කරන්නාවූ තැනැන්වහන්සේ බව මෙම ස්ත්‍රිය දැනගත් ආකාරය ගැන සඳහනක් නැත.

ඇයගේ රෝගය නිසා ඇය අශුද්ධව, සමාජයෙන් ශාප ලත් කාන්තාවක් ලෙස සිටියාය. (ලෙවී කථාව 15:25-28)

මතෙව් 9:20-22
එවිට දොළොස් අවුරුද්දක් මහලේ රෝගයෙන් පෙළුණාවූ ස්ත්‍රියෙක් උන්වහන්සේ පස්සේ ඇවිත්, උන්වහන්සේගේ සළුවේ දාවල්ලට අතගැසුවාය.

මාක් 5:25-34
දොළොස් අවුරුද්දක් මහෙල් රෝගය ඇතුව සිටි ස්ත්‍රියෙක් [26] නොයෙක් වෙදුන්ගෙන් බොහෝ දේ විඳ, තමා සතු සියල්ල වියදම්කළ නුමුත් කිසි පලක් නොලැබ, වඩා අමාරුවට පැමිණ සිටියාය.

ඇය වෛද්‍යවරුන්ගෙන් බොහෝ ප‍්‍රතිකාර ලබන්නට ඇති,

ඒ වෙනුවෙන් ඇය තමා සතු සියල්ල වියදම් කළ නමුත් කිසිවෙකුගෙන් සුවයක් ලබන්නට බැරිවූ බව සඳහන් වේ.

ලූක් 8:43
දොළොස් අවුරුද්දක් මහලේ රෝගය ඇතුව, වෙදුන්ට තමාගේ සියලු සම්පත් වියදම්කොටත් කිසිවෙකුගෙන් සුවයක් ලබන්ට බැරිවූවාවූ ස්ත්‍රියෙක් පස්සෙන් ඇවිත්,

බලාපොරොත්තු රහිතව සිටි ඇයට යේසුස්වහන්සේ ගැන ලැබුන ආරංචිය නිසා ඇය යේසුස්වහන්සේ වෙතට පැමිණියා.

මාර්ක් 5:27-28
ඈ යේසුස්වහන්සේ ගැන අසා, සමූහයා අතරෙන් පස්සෙන් ඇවිත්, උන්වහන්සේගේ සළුවට අතගැසුවාය. [28] මක්නිසාද: උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණවත් අතගැසුවොත් මට සුවය ලැබේයයි ඈ කීවාය.

ඇය කිසිවෙකුට නොපවසා යේසුස්වහන්සේ වෙත යාමට තීරණය කළාය.

යේසුස්වහන්සේගේ වස්ත‍්‍රවලට අත ගැසුවොත් ඇය සුව වන බව ඇයගේ ප‍්‍රකාශය ඇය ආරම්භ කළේ නිවසේ සිටය.
ඒ වන විට ඇය සුව ලබා සිටියේ නැත.

ඔබගේ නිවස තුළ ඔබ ප‍්‍රකාශ කරන දේවල් මොනවාද?

වෛද්‍යවරුන්ගෙන් කිසිම බලාපොරොත්තුවක් නැතිව සිටි ඇයට සුවය පිළිබඳ සැකයේ සිතුවිලි තිබෙන්නට ඇති, නමුත් ඇය බාධාවන් ගැන නොසිතා ඇයගේ ප‍්‍රකාශය තදින් අල්ලා ගත්තාය.

මාක් 5:31
උන්වහන්සේගේ ගෝලයෝ: ඔබට තෙරපෙීගන සිටින්නාවූ සමූහයා දැක දැකත්-මට අතගැසුවේ කවුද කියා අසනසේක්දැයි කීවෝය.

යේසුස්වහන්සේ ගමන්කරන මාර්ගයේ සෙනඟ තෙරපීගෙන සිටියත්, කාන්තාවක් වූ ඇය ඒ මධ්‍යයේ වුවත් යේසුස්වහන්සේ වෙතට ආවාය.

ඔබටත් ජීවිතයේ බොහෝ බාධාවන් තිබෙන්නට පුළුවන, නමුත් කුමන බාධාවක් ආවත් දෙවියන්වහන්සේගේ වචනය තුළ පැවතීමට ඔබ තීරණය කරගන්න.

ඔබ දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරන විට සියල්ලෙන් ජය ගැනීමට ඔබට හැකි වනු ඇත.

ලූක් 8:44
උන්වහන්සේගේ සළුවේ දාවල්ලට අතගැසුවාය. එකෙණෙහිම ඇගේ ලේ ධාරාව නැවතුණේය.

මාර්ක් 5:28-29
මක්නිසාද: උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණවත් අතගැසුවොත් මට සුවය ලැබේයයි ඈ කීවාය. [29] එකෙණෙහිම ඇගේ ලේ ධාරාව වියළී ගොස්, ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ශරීරය තුළෙහි ඈට දැනුණේය.

ඇයට සුවය දැනුන විට ඇය නිහඬව එතැනින් පිටව යාමට තීරණය කළාය.

නමුත් යේසුස්වහන්සේට එය දැනුණේය.

කිසිවෙකු ඇදහිල්ලෙන් කථා කරන හඬ උන්වහන්සේට ඇසෙන්නේය.

අන්ධ මනුෂ්‍යයා යේසුස්වහන්සේට මොර ගැසූ විට උන්වහන්සේට එය ඇසුණු සේක. (මාක් 10:47-48)

ඔබ ඇදහිල්ලෙන් ප‍්‍රකාශ කරන දේ දෙවියන්වහන්සේ ඉදිරියේ ඇදහිල්ලේ හඬ හා සමානයි.

උන්වහන්සේ එයට පිළිතුරු දෙන සේක.

‘’යෙහෝවා ශාලොම්’’- සමාදානය හා සඵලත්වයයි.

මේ ස්ත‍්‍රියට සුවය පමණක් නොව ඇයගේ ජීවිතය යළි පිහිටුවන්නටද යේසුස්වහන්සේට අවශ්‍ය විය.

මාක් 5:30-31
එකෙණෙහිම යේසුස්වහන්සේ තමන් කෙරෙන් නිකුත් වන ආනුභාව පිටවී ගිය බව දැන, සමූහයා මැද හැරී: මාගේ වස්ත්‍රවලට අතගැසුවේ කවුදැයි ඇසූසේක. [31] උන්වහන්සේගේ ගෝලයෝ: ඔබට තෙරපෙීගන සිටින්නාවූ සමූහයා දැක දැකත්-මට අතගැසුවේ කවුද කියා අසනසේක්දැයි කීවෝය.

උන්වහන්සේට කිසිවෙකු අත ගැසූ බව සහ උන්වහන්සේගෙන් ආනුභාව ගලා ගිය බව යේසුස්වහන්සේ දැන සිටි සේක.

මාක් 5:32
ඒ දේ කළ ස්ත්‍රිය දකින පිණිස උන්වහන්සේ අවට බැලූසේක.

උන්වහන්සේ ඇදහිල්ලෙන් ක‍්‍රියා කරන, ප‍්‍රකාශ කරන අය දෙස අද දිනත් බලා සිටින සේක.

දේව වචනය කිසිදා හිස්ව හැරී නොඑයි.

යෙසායා 55:11
මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.

ඔබගේ මුඛයෙන් ප‍්‍රකාශ කරන දෙවියන්වහන්සේගේ වචනය සනාථ කිරීමට උන්වහන්සේ බලා සිටින සේක.

මාක් 5:33
නුමුත් ස්ත්‍රී තමාට සිදුවූ දේ දැන භයවී වෙවුලමින්, ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි වැටී, සම්පූර්ණ ඇත්ත උන්වහන්සේට කීවාය.

ඇය බය වූයේ ඇයි?

ඇය සුව වූ නමුත්, විශ්වාස කළ දේ ලැබුණු පසුවත් අවට සිටි මනුෂ්‍යයන් නිසා ඇයට භයාදුකමේ සිතුවිල්ල පැමිණියේය.

ඔබට ජයග‍්‍රහණයක් ලැබුණු පසුවද ඒ උදෙසා ස්තූති කරමින් වචනය තුළම පවතින්න.

එය සමරමු, නමුත් නැවත වචනය තුළම රැඳෙමු.

ඇය යේසුස්වහන්සේ ඉදිරියේ නමස්කාර කළාය.

ඒ නමස්කාරය තුළින් ඇය අභ්‍යන්තරව සමාදානයක් භුක්ති වින්දාය.

භයෙන්, වෙවුලමින් සිටින විට අපි නමස්කාර කළ යුතුයි.

යක්ෂයා අපගේ නමස්කාරයට අකමැතියි, එබැවින් ඒ නමස්කාරය අතරතුර අපගේ සිතුවිලි ඉවතට ගෙන යාමට යක්ෂයා තැත් කරයි.

මේ ස්ත‍්‍රිය යේසුස්වහන්සේ ඉදිරියෙහිද, යුදෙව් නායකයන් ඉදිරියෙහිද තමන්ට සිදු වුන දේ සාක්ෂි දැරුවාය.

එහි අවට සිටියවුන් ධෛර්යවත් වන්නටද ඇත.

මාක් 5:34
උන්වහන්සේද: දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේය; සමාදානයෙන් ගොස්, නුඹේ පීඩාවෙන් සුවපත්ව සිටින්නැයි ඈට කීසේක.

මේ ස්ත‍්‍රිය ඇයගේ ඇදහිල්ල පෙන්වූයේ නිවසේ සිටමය.

ඔබගේ ප‍්‍රකාශය ඉතාම වැදගත්ය.

යේසුස්වහන්සේ මනුෂ්‍යාකාරයෙන් මේ පොළොවේ නැති වූවත් උන්වහන්සේගේ වචනය අප සමඟම තිබේ.

එය ඉතාම බලවන්තයි, දෙමුවහත් කඩුවක් හා සමානයි.
(හෙබ්‍රෙව් 4:12)

යේසුස්වහන්සේ ඇයට සුවය, සමාදානය මෙන්ම සඵලත්වයද ලබා දුන් සේක.

අපිත් ඇදහිල්ලේ වචන ප‍්‍රකාශ කර සුවය ලබා ගනිමු.

අපගේ ප‍්‍රකාශයන් නොනවත්වා කරමු.

අප විශ්වාස කරන දෙය තදින් අල්ලා ගෙන දිගින් දිගටම එය ප‍්‍රකාශ කිරීමෙහි යෙදී සිටිමු.


Watch the Sermon Video

Read 930 times