+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි සුවයේ පද ප‍්‍රකාශ කරමු- යෝෂා මනූ
November 05, 2023 Sunday Sermon Notes


ස්වාමීන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ වචනය යහපත්. උන්වහන්සේ කරන ක්‍රියා යහපත්. උන්වහන්සේ ඔබටත් මටත් යහපත්.

උන්වහන්සේගේ වචනයෙන් අපි දකින්නේ උන්වහන්සේගේ ස්ථීර ප්‍රේමය කිසිදා නොනවතින බවයි.

බයිබලයේ පවසන්නේ උන්වහන්සේ අපට සදාකාල ප්‍රේමයෙන් ප්‍රේම කර තිබෙන බවයි.

අපි උන්වහන්සේට හඬ ගසන විට උන්වහන්සේ කන් වසා සිටින්නේ නැත. අනිවාර්යයෙන්ම උන්වහන්සේ අපට සවන් දෙන සේක.

උන්වහන්සේට හඬ ගසන ඕනෑම කෙනෙකුට උන්වහන්සේ සවන් දෙන්නේය.

උන්වහන්සේ කීවේ මා වෙතට පැමිණෙන්න. ඔබ කිසි කෙනෙකු හරහා හෝ වෙන කෙනෙකු තුළින් එන්නට අවශ්‍ය නැත. අපට දැන් දෙවියන්වහන්සේගේ අභිමුඛයට පැමිණිය හැකියි.

යෙරෙමියා 33:3
[3] මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි.

උන්වහන්සේ පවසන්නේ ඔබට අමාරු වූ, අපහසු වූ, කළ නොහැකි දේවල් කරන්නට උන්වහන්සේ සමර්ථව සිටින බවයි.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවි පියාණන්වහන්සේව නමස්කාර කරන පිණිසත් උන්වහන්සේ වෙතට ඇතුල් වීමටත් අපට මාර්ගයක් පිළියෙල කර දී තිබෙන සේක.

අපි අද සුවයේ පද ප‍්‍රකාශ කරමු.

සුවය, සනීපය, ශක්තිය, නීරෝගිභාවය, සහ ජීවනය යන මේ සියල්ලම අප ලබා ගන්නේ උන්වහන්සේව දැන ගැනීමෙනි.

සුවය යනු අපගේ සුවකරන්නාවූ වෛද්‍යවරයාණෝ දෙන බෙහෙතයි. එය උන්වහන්සේගේ ඖෂධයයි.

අපි උන්වහන්සේගේ සුවයෙන්, ශක්තියෙන් ජීවත් වෙන්නේ නම් අපට උන්වහන්සේ අවශ්‍යමයි.

උන්වහන්සේගේ පොරොන්දු මෙනෙහි කිරීමෙන්, උන්වහන්සේ ගැන කථා කිරීමෙන්, හා එතුමාගේ වචන ක්‍රියාවට නැංවීමෙන් අපට සුවය ලබා ගත හැකියි.

මේ පොළොවේදීම අපට සුවයෙන් ජීවත් වීමට හැකිය.

අපගේ ආත්මයට ගැළවීමත්, අපගේ ශරීරයට සුවයත් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

වචනය ප‍්‍රකාශ කර ඇදහිල්ල ගොඩනඟා ගැනීමෙන් සුවයෙන් ජීවත් වීමට ඔබට හැකිය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත නම් අපි මුළු අවුරුද්ද පුරාම සුවයෙන් ජීවත් වනු දැකීමයි.

හාස්කමක් යනු දේව දාසයාගේ ඇදහිල්ල නිසා හෝ දෙවියන්වහන්සේගෙන්ම හෝ අපට ලැබෙන දෙයකි.

දෙවියන්වහන්සේ නාඳුනන සෙනඟ හාස්කමක් බලාපොරොත්තු වෙයි.

උන්වහන්සේ දිනපතා අප මධ්‍යයේ හාස්කම් කරන තැණැන්වහන්සේයි.

දෙවියන්වහන්සේ අපගේ ශාරීරික සුවය අපගේ ගැළවීමට ඇතුළත් කර ඇති බව දැන ගැනීම ඉතා වැදගත්. මෙය ඉතා වැදගත් සත්‍යයකි.

“සුවකරන්නා වූ” යේසුස්වහන්සේ හා “ගැළවුම්කාර” යේසුස්වහන්සේ අතර වෙනසක් නැත.

‘’යේසුස්’’ යන්නෙහි අර්ථය ගැළවුම්කරු යන්නයි.

ක‍්‍රිස්තුස්වහන්සේව අපගේ ගැළවුම්කරු වශයෙන් අප පිළිගත් මොහොතේ දී අපට ශාරීරික සුවය උන්වහන්සේගෙන් ලැබී ඇත.

එමෙන්ම සඵලත්වය, සමාදානය, ශාපයෙන් නිදහස ඇතුළු සියල්ලක්මද අපට අයිතිය.

ඔබ ගැළවීම ලැබූ දවසේදීම සුවය, ඔබට අයිති වූවා.

‘’SOZO’’ යන ග‍්‍රීක් වචනයේ අර්ථය ගැළවීම, සුවය, නිදහස, සමාදානය, සම්පූර්ණකම යේසුස්වහන්සේ අපට දී තිබෙන බවයි.

ස්වාමීන්වන්සේට අවශ්‍ය වන්නේ අපේ පාපවලට සමාව දී අපේ ශරීරයද සුව කරන්නටයි.

1 පේත්‍රැස් 2:24
[24]අප පාපවලට (වරදවල්, අපරාධ වෙනුවෙන්, විරෝධතා, දෙවියන්වහන්සේගේ දිව්‍යමය නීති කඩ කිරීම, උල්ලංඝනය කිරීම, සිතුවිල්ලෙන් හෝ ක්‍රියාවෙන්) නැසී (කුරුසියේදී මැරණා) උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; (විඳ දරා ගත්සේක) (අපගේ දඬුවම දරා ගත්තා) අපි (පව්කාරයන් මෙන්) පාපය තුළ තවත් ජීවත් නොවන පිණිස …..

යේසුස්වහන්සේ අපේ සියලු පාපවලට සමාව දී, උන්වහන්සේගේ ලේ වලින් අපගේ පාපය මකා දැමුව නිසා අපි ‘’පව්කාරයන්’’ යයි තවත් නොකියමු.

උන්වහන්සේ ළඟ අපේ පාප ලැයිස්තුවක් නැත, නැවත කිසිදා අපේ පාප සිහි නොකරන සේක.
‭‭‭‭
යේසුස්වහන්සේ තමන් ආත්මයෙන්, ප‍්‍රාණයෙන්, ශරීරයෙන් අපගේ දඬුවම උසුලා ගත් සේක.

ආදම් පටන් සියලුදෙනාම පව් කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් ඈත්ව සිටියද, අපි අපේ පව් කියා දෙන්නේ නම් අපව නැවත පිළිගන්න බව උන්වහන්සේ පවසන සේක.

අපි නිර්දෝෂ, ධර්මිෂ්ඨ සෙනඟක් ලෙස දිනපතා උන්වහන්සේ සමඟ පංගුකාරකමක් ඇතිව ජීවත්වෙමු.

සුවයේ උරුමය අපට ඇත.

රෝම‬ ‭6:2‬ ‭
[2‬]එසේ නොවේවා. පාපයට මළාවූ අපි තවත් එහි කෙසේ ජීවත්වමුද?

ගලාති 2:20
[20] මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක.

රෝම‬ ‭6:7‬ ‭
[7‬]මක්නිසාද මැරුණාවූ තැනැත්තේ පාපය ගැන නිර්දෝෂකරනු ලැබ සිටියි.

අපි ඇදහිල්ලෙන් කුරුසපත් වී ඇත, උන්වහන්සේව තැන්පත් කළ ආකාරයෙන් අපද වතුර බෞතීස්මයේදී පරණ මනුෂ්‍යයා වළලා දමා, යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිටුනු ආකාරයෙන්ම ශුද්ධාත්මයාණන්වහන්සේ අපවද ජීවත් කරවන සේක.
‭‭
රෝම‬ ‭6:10‬ ‬‬
[10‬]මක්නිසාද උන්වහන්සේ මැරුණු මරණයෙන් එක වරක් පාපයට මළසේක, නුමුත් ජීවත්වන ජීවිතයෙන් දෙවියන්වහන්සේට ජීවත්වනසේක.

දැන් අපි ජීවත්වන්නේ දෙවියන්වහන්සේ උදෙසාය.

‭‭රෝම‬ ‭6:11‬ ‭
[11‬]එලෙසම නුඹලාත් පාපයට මැරී සිටින්නන් කොටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතාගන්න.

අපි සිටින්නේ ධර්මිෂ්ඨකමට (ධර්මිෂ්ඨව) ජීවත්වන පිණිසය,

අපි ලෝකයේ සිටියද අපි ලෝකයට, ලෝකයේ ක‍්‍රමයට අයිති නැත, උන්වහන්සේ අපව මිලදී ගෙන ඇත. (යොහන් 17:14-16)

ඔබේ පරණ පාපය සිහි නොකර යේසුස්වහන්සේ ඔබ වෙනුවෙන් කළාවූ දේවල් සිහි කරන්න.

පරණ දේ පහව ගොස් සියල්ල අලුත් වී තිබේ.

උන්වහන්සේගේ තුවාල වලින් ඔබලා සුවකරනු ලැබුවහුය.

උන්වහන්සේ අපේ සියලු අයුතුකම් කමා කළ ආකාරයට අපේ සියලු රෝගද සුව කළ හමාරයි.

යෙසායා 53:4-5
[4]සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, (අසනීප, ලෙඩරෝග) දරාගත්තේ අපේ ශෝකය (වේදනා). එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව. [5] නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ (කැරළිගැසීම, බලවත් විරෝධය, නීතිය උල්ලංඝනය කිරීමත්, නීති විරෝධි නපුරු ක්‍රියා, දුෂ්ටකම, වැරැද්ද), නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් (පාපය, දණ්ඩනය, වරදකාරිත්වය) නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ.

ගීතාවලිය 103:1-5
[1] මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව; මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකරව්. [2] මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව. [3] උන්වහන්සේ ඔබේ සියලු අයුතුකම් කමාකරනසේක; ඔබේ සියලු රෝග සුවකරනසේක; [4] ඔබේ ජීවිතය විනාශයෙන් මුදා කරුණාගුණය හා දයාව නමැති ඔටුන්නෙන් ඔබ සරසනසේක. [5] රාජාලියෙකු මෙන් ඔබෙගේ යෞවනකම අලුත්වන පිණිස උන්වහන්සේ ඔබගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක.

අපි යේසුස්වහන්සේව පිළිගත් ආකාරයට සුවය ලබා ගත් බව විශ්වාස කරමින්, උන්වහන්සේට ක්‍රියා කරන්නට ඉඩ දෙමු.

ගැළවීම සහ පව් කමාව දෙවියන්වහන්සේ අප සමඟ ඇති කළ ගිවිසුමට ඇතුළත් කර තිබේ.

අලුත් ගිවිසුම තුළ උන්වහන්සේගේ අනුග‍්‍රහයෙන් අපට ගැළවීම ලබා දී ඇත.

ගැළවීම ලැබූ නමුත්, ඔබ සුවය ලැබීමට ප‍්‍රමාද වන්නේ ඔබගේ දිව නැතහොත් වචන හරි ආකාරව භාවිතා නොකිරීම නිසාය.

අපගේ මුඛය නිවැරදි වචන වලින් පුරවා ගත යුතුයි.

නික්මයාම 23:25-26
[25]ඔබ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න, උන්වහන්සේ ඔබේ භෝජනයටත් ඔබේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම ඔබ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි. [26]ඔබේ දේශයෙහි කිසි ගබ්සාවීමක්වත් වඳව සිටීමක්වත් නොවන්නේය. මම ඔබේ දවස් ගණනද සම්පූර්ණකරන්නෙමි.

මෙහෙකරන්න යන වචනයේ තවත් අර්ථයක් නම් නමස්කාර කිරීම‍යි.

දෙවියන්වහන්සේ සොයනුයේ නමස්කාර කරන සෙනඟක්ය.

අපගේ භෝජනයට, වතුරට දෙවියන්වහන්සේ ආශීර්වාද කර ඇති නිසා යාච්ඤා කර, ස්තූති දීමෙන් එය ලබා ගන්න.

අපි සුවයේ පද ප‍්‍රකාශ කරමු.

දෙවි පියාණෙනි, අද දින මම ඔබවහන්සේ වෙතට පැමිණෙන්නේ යේසුස්වහන්සේගේ නාමයෙන්!

ඔබවහන්සේ මා වෙනුවෙන් දඬුවම විඳ දරාගෙන මට කමාව දී ඔබවහන්සේගේ තුවාල වලින් මා සුව කළ නිසා ස්තුතියි.

ඔබවහන්සේ කුරුසියේදී මා වෙනුවෙන් මැරී මට ජීවනය හා නිරෝගීභාවය දුන් නිසා ස්තුතියි.


යේසුස්වහන්සේ දැන් මාගේ ස්වාමීන්වහන්සේ නිසා, අසනීප හා ලෙඩ රෝගවලටත්, මානසික හා ශාරීරික වේදනාවලටත්
මා කෙරෙහි අධිපතිකම් කරන්නට මම ඉඩ නොදෙන්නෙමි.

1 පේත‍්‍රැස් 2:24 පදය අනුව, යේසුස්වහන්සේගේ ජීවනය හා ශක්තිය මාගේ සෑම සෛලයක්ම නැවත පිහිටුවා, මාගේ සෑම අභ්‍යන්තර අවයවයක්ම සුවකරමින් යථා තත්වයට පත් කළ නිසා ස්තුතියි.

යේසුනි, ඔබවහන්සේ මාගේ සෑම දුර්වලකම් දරාගත් නිසා ස්තුතියි. ඔබවහන්සේගේ මාගේ ශක්තියයි. ඔබවහන්සේගේ ජ්වලිතභාවයෙන් මම ජීවත් වන්නෙමි.

යේසුස්වහන්සේගේ ලේ මාගේ මුළු ශරීරය පුරාම ගමන් කරමින් ජීවනය හා පවිත‍්‍රකම ලබා දුන්න බැවින් ඊට විරුද්ධව ක්‍රියා කරන්නට තැත් කරන්නාවූ, සෑම පැතිරී යන වෛරස් උණ රෝගවලට හා බැක්ටීරියා මගින් බෝවෙන සෑම රෝගවලට මම යේසුස්වහන්සේගේ නාමයෙන් එකෙනෙහිම මැරෙන්නට කියාද, ඒවා මාගේ ශරීරයෙන් විනාශ වෙන්නට කියාද අණ කරන්නෙමි.


මාගේ පියාණෙනි, යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබවහන්සේගේ වචනය එවමින් මා සුව කරමින්, මට සනීපයත්, ආරක්ෂාවත් දුන්න නිසා ස්තුතියි.

මාගේ ශරීරයට, මම ඇදහිල්ලේ වචන කථා කරන්නෙමි.

යේසුනි, දැන් මේ ශරීරය ඔබවහන්සේගේ ශුද්ධ මාළිගාව බැවින්, මාගේ සෑම අභ්‍යන්තර හා භාහිර අවයවයන් සම්පූර්ණ ලෙස ක්‍රියා කරන්නට මම අණ කරන්නෙමි.

ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් හා ශුද්ධ වචනයේ බලයෙන් හා ආධිපත්‍යයෙන් මාගේ ශරීරය සම්පූර්ණයෙන්ම සුව වන්නටත්, සම්පූර්ණකමට පත්වන්නටත් මම අණ කරන්නෙමි.


පියාණෙනි, මාගේ ශරීරයට යක්ෂයා එවන්නාවූ සෑම භයාදුකමේ හා දුර්වලකමේ ආත්මයට මම දුරු වෙන්න කියා
යේසුස්වහන්සේගේ නාමයෙන් අණ කරනෙමි.

මට එරෙහිව පැමිණෙන සතුරාට මම විරුද්ධ වන්නෙමි.

ඔබවහන්සේගේ වචනයට අනුව, මාගේ ශරීරය ශක්තිමත් වන්නටත් සුව වන්නටත් අණ කරන්නෙමි.

ගලාති 3:13 අනුව, මම ශාපය ප‍්‍රතික්ෂේප කරමින් දෙවියන්වහන්සේගේ ජීවනය මාගේ ශරීරය තුළට ගලා එන්නට අණ කරන්නෙමි.


මාගේ ශරීරයේ සෑම සෛලයක්ම ජීවනයෙන් හා සුවයෙන් නැවත පිහිටුවා ඇති නිසා ඔබවහන්සේට ස්තුතියි.

ගීතාවලිය 118:17 වන පදය හා ගීතාවලිය 91:16 වන පදය
පවසන පරිදි, මම නොනැසී ජීවත්ව සිට, ස්වාමීන්ගේ ක්‍රියා ප‍්‍රකාශ කරන්නෙමි. මන්ද ඔබවහන්සේ දීර්ඝායුෂයෙන් මාව තෘප්තිමත්භාවයට පමුණුවා ඇති බව මම ප‍්‍රකාශ කරන්නෙමි.

යේසුස් ස්වාමිනි, ඔබවහන්සේ මාගේ සියලු පාප හා අයුතුකම් වලට කමා දී මාගේ සියලු අසනීප හා සෑම ලෙඩ රෝගයක්ම සුව කළ නිසා ස්තූතියි.

ඔබවහන්සේ මාගේ ජීවිතය විනාශයෙන් මුදවා, රාජාලියෙකු මෙන් මාගේ යෞවනකම අලුත්වන පිණිස ඔබවහන්සේ මාගේ මුඛය යහපත් දෙයින් තෘප්තියට පමුණුවා ඇති නිසා ඔබවහන්සේට ස්තුතියි. ගීතාවලිය 103:3,5

යේසුස්වහන්සේගේ නාමයෙන්. ආමෙන්!


Watch the Sermon Video

Read 146 times