+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සම්පූර්ණ සමාදානය තුළ ජීවත් වෙමු- යෝෂා මනූ
November 12, 2023 Sunday Sermon Notes


දේව සමාදානයෙන් ජීවත්වීම ඉතා යහපත්ය.

එය වචනවලින් කියා නිම කළ නොහැකියි.

දේව සමාදානය අපට මැණිය නොහැකියි.

එහි අලංකාරභාවය, වටිනාකම අපට නොතේරෙනවා විය හැකියි, නමුත් අපට මේ සමාදානය ලැබී තිබෙන්නේ යේසුස්වහන්සේ නිසා බව අපි විශ්වාස කළ යුතුයි.

යෙසායා‬ ‭48:22‬ ‭
[22] දුෂ්ටයන්ට සමාදානය නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
දෙවියන්වහන්සේ නාඳුනන සෙනඟ එනම්, පවුකාරයන් (පාපයෙහි නිරත වෙමින්, ඊට ආශා කරමින්, එහි ඇලී ගැලී සිටින්නන්) එවැනි අයට යේසුස්වහන්සේ පිළිගන්නා තෙක් සමාදානයක් නැති බව උන්වහන්සේ පවසන සේක.
‭‭
යෙසායා‬ ‭57:21‬ ‭
[21] දුෂ්ටයන්ට සමාදානය නැතැයි මාගේ දෙවියන්වහන්සේ කියනසේක.

සමාදානය ගෙන ආවේ යේසුස්වහන්සේය. උන්වහන්සේ සමාදානයේ කුමාරයාණෝය.

අපි දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සමාදානය තුළ ගමන් කරමු, ජීවත් වෙමු.

දිව්‍යමය සමාදානය සම්පූර්ණයි.

අපගේ වාතාවරණයට ‘’සමාදානය වේවා’’ කියා කථා කරමු.

අපි කලබල ගතියෙන් ජීවත් වීම නවත්වා එකිනෙකා අතර, පවුල තුළ, දරුවන් සමඟ, වැඩ කරන ස්ථානයේ මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් ජීවත් වීමට තීරණය කර ගනිමු.

සමාදානය ඇති කරන්නෝ දෙවියන්වහන්සේගේ දරුවන් බව යේසුස්වහන්සේ ප‍්‍රකාශ කළ සේක. (මතෙව් 5:9)

සමාදානය සඳහා හෙබ්‍රෙව් වචනය “ෂාලෝම්” වන අතර එයට අර්ථ කිහිපයක්ම තිබෙනවා:

ආරක්ෂාව ඇතුව සිටීම,
දෙවියන්වහන්සේ අපව ආරක්ෂා කරන තැනැන්වහන්සේය. උන්වහන්සේ සමඟ සමාදානය ඇතිව සිටීමෙන් අපට දෙවියන්වහන්සේගේ ආරක්ෂාව, රැකවරණය ඇත.
හොඳ සතුටින් වාසය කිරීම,
- “ෂාලෝම්” දෙවියන්වහන්සේ පිළිගැනීම තුළින් අපගේ නිවස තුළ සතුටින්, ප‍්‍රීතියෙන් ජීවත්විමට අපට හැකිවේ.

නීරෝගිමත්ව හොඳ සෞඛ්‍යයක් ඇතුව සිටීම, දිව්‍යමය සුවය ඇතුව ජීවත් වීම,

සඵලත්වයෙන් ජීවත් වීම,
දේව සමාදානය නැතිනම් ඔබ නිතරම අවශ්‍යතාවයන් වලින් පෙළී සිටිනු ඇත, නමුත් ඔබ දෙවියන්වහන්සේ සමඟ සමාදානයෙන් ජීවත් වන විට ඔබ සඵල වන්නේය, මන්ද උන්වහන්සේගේ කැමැත්ත ඔබ සඵලවත් කිරීමටයි.
ඔබ හිඟතාවයෙන්, නැති බැරිකමෙන් නොව, දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ඇතුව සිටීම උන්වහන්සේගේ කැමැත්තයි.

කරුණාව ලබා ගැනීම, සම්පූර්ණ වී සිටීම, නැතහොත් පූර්ණත්වයෙන් සිටීම,
ශුභසිද්ධ වීම.

ඔබ නිතරම යක්ෂයාගේ පහර වලට ලක් වී දෙවියන්වහන්සේගෙන් ඈත්ව සිටීම නොව, ඔබගේ යහපත හා ශුභසිද්ධිය උන්වහන්සේ අපේක්ෂා කරන සේක.

මානසික හා ශාරීරික සුවයෙන් සිටීම,
දුෂ්ටයන්ද, ලෝකයේ මනුෂ්‍යයන්ද සොයන්නේ සමාදානයයි. නමුත් දේව දරුවන් වන අපට සමාදානය, මානසික හා ශාරීරික සුවයද උන්වහන්සේ දී ඇත.

නිශ්චලභාවයෙන් හා ශාන්ත සමාදානයෙන් සිටීම, සන්සුන්ව, තෘප්තිමත්ව, දෙවියන්වහන්සේ සමඟ මිත්‍රත්වයක් ගොඩනගා ගෙන ජීවත් වීම.

දැන් ග්‍රීක භාෂාවෙන් සමාදානය වෙනුවෙන් භාවිතා කරන වචනය: (I-ray-nay) ඉරේනේ.
ඒ වචනයේද තේරුම් කිහිපක්ම තිබෙනවා:

දියුණුව, සඵලත්වය, විශ්‍රාම ගැනීම, ශාන්ත නිශ්චලභාවය, ආරක්ෂාව.
—පුද්ගලයන් අතර සමගිය, සමාදානය, එකඟතාවය.
—මෙසියස්වහන්සේගේ සමාදනය ගැන නම් ගැළවීම කරා ගෙන යන මාර්ගය දැනගැනීම.

ක්‍රිස්තියානි ධර්මයට අනුව, ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තම ගැළවීම සහතික කරන ලද ආත්මයක ශාන්ත නිශ්චල තත්වය සහ දෙවියන්වහන්සේගෙන් කිසිවකට භය නොවී පෙළොවේ සෑහීමකට පත්වීමෙන් ජීවත් වීම.

අලුත් ගිවිසුම තුළ අපගේ මෙසියස්වහන්සේ යේසුස්වහන්සේමය.

උන්වහන්සේ සමඟ සමාදානය අප ලබා ගන්නේ ගැළවීමේ මාර්ගය තුළින්ය.

ගැළවීම නැතිව අපට කිසිදු සමාදානයක් නැත.

යෙසායා 9:6 මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.

පරණ ගිවිසුම තුළ දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ ගැන අනාවැකි පළ කළ සේක.
‭‭
ලූක්‬ ‭2:13‬‬‬
[13] එකෙණෙහිම ඒ දේවදූතයා සමඟ මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්:

ලූක් 2:14 ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.

යේසුස්වහන්සේ තමන්වහන්සේගේ මරණය ගැන කලබල වූ ගෝලයන්ට උන්වහන්සේගේ සමාදානය දුන් සේක.

යොහන් 14:27 ඔබලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය ඔබලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.

ඔබ භයවෙන විට, කැලඹෙන විට ඔබ ක‍්‍රියා කරන්නේ සමාදානයෙන් නොවේ.

එවැනි අවස්ථා වල ‘’ස්වාමීන්වහන්සේ මාගේ සමාදානය නිසා මම භය වෙන්නේ වත් කැලඹෙන්නේ වත් නැත’’ බව අප ප‍්‍රකාශ කළ යුතුය.

යොහන් 16:33 යේසුස්වහන්සේ තමන්වහන්සේ සමඟ සිටි ගෝලයන්ට පැවසුවේ, “මා තුළ ඔබට සමාදානය තිබෙන පිණිස මේ දේවල් ඔබලාට කීවෙමි. ලෝකයෙහි ඔබලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත්වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.”

ලෝකයට හා මාංශයට බර වී ජීවත් වීමෙන් පමණක් නොව, යේසුස්වහන්සේගේ නාමය දරමින් ජීවත් වීමෙන්ද අපට පීඩා පැමිණිය හැකියි.

සමහර විට අපට පිළිතුරක් නැතිව සිටීමට ඉඩ ඇත.

යේසුස්වහන්සේටද ආගමික නායකයන්, පිලාත් සහ හෙරොද් රජ ඉදිරියේ නිශ්චලව සිටීමට සිදු වූවා සේ අපි පිළිතුරු දීමට ඉක්මන් නොවී නිශ්චලභාවයෙන් සමාදානයෙන් ක‍්‍රියා කරමු.
එවිට පීඩා කරන්නන් අපව අතහැර යනු ඇත.

යේසුස්වහන්සේගේ මරණයෙන් පසු භයින් සිටි ගෝලයන්ට උන්වහන්සේගේ පළමු වචනය වූයේ ‘’ඔබලාට සමාදානය වේවා’’ කියාය.

යොහන් 20:19 සතියේ පළමුවෙනිවූ ඒ දවසේ සවස්වූ කල, යුදෙව්වරුන්ට භයින් දොරවල් වසා තිබෙද්දී, ගෝලයන් එක්ව සිටිතැන්හි යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: ඔබලාට සමාදානය වේවා කියා ඔවුන්ට කීසේක.

ඔබ භයෙන් සිටින විට උන්වහන්සේගේ සමාදානයෙන් ඔබව ශක්තිමත් කරනු ඇත.

යොහන් 20:21
යේසුස්වහන්සේ: ඔබලාට සමාදානය වේවයි නැවතත් ඔවුන්ට කියා-පියාණන්වහන්සේ මා එවුවාක්මෙන්ම මමත් ඔබලා යවමියි කීසේක.

යොහන් 20:24
[24]යේසුස්වහන්සේ ආ කල, දොළොස් දෙනාගෙන් එක්කෙනෙක්වූ දිදිමුස් නම් තෝමස් ඔවුන් සමඟ නොසිටියේය. [25]එහෙයින් අනික් ගෝලයෝ: අපි ස්වාමීන්වහන්සේ දුටිමුයයි ඔහුට කීවෝය. නුමුත් ඔහු ඔවුන්ට කථාකොට: උන්වහන්සේගේ අත්වල ඇණ ලකුණු දැක, ඒ ලකුණුවල මාගේ ඇඟිල්ල තබා, උන්වහන්සේගේ ඇළයෙහි මාගේ අත තබා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමියි කීවේය.

තෝමස් යේසුස්වහන්සේ අවිශ්වාස කළ නිසා දෙවෙනි වරටත් යේසුස්වහන්සේ ඔවුන්ට ප‍්‍රකාශ වූ සේක.

යොහන් 20:26-29
අට දවසකට පසු උන්වහන්සේගේ ගෝලයෝ නැවතත් ගේ ඇතුළෙහි සිටියෝය, තෝමස්ද ඔවුන් සමඟ සිටියේය. දොරවල් වසා තිබියදී යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: ඔබලාට සමාදානය වේවයි කීසේක.
[27] එකල උන්වහන්සේ තෝමස්ට කථාකොට: නුඹේ ඇඟිල්ල මෙහි දිඟුකොට, මාගේ අත් බලන්න; නුඹේ අත දිඟුකොට, මාගේ ඇළයෙහි බහාලන්න. අවිශ්වාස නොකොට, විශ්වාසකරන්නැයි කීසේක. [28] තෝමස් උත්තරදෙමින්: මාගේ ස්වාමීනි, මාගේ දෙවියනියි උන්වහන්සේට කීවේය. [29] නුඹ මා දුටු බැවින් විශ්වාසකෙළෙහිය. නුදුටු නුමුත් විශ්වාසකළාවූ අය ආශීර්වාදලද්දෝයයි යේසුස්වහන්සේ කීසේක.

උන්වහන්සේව නුදුටු නමුත් විශ්වාස කරන අපි ආශීර්වාද ලද්දන් වෙමු.

රෝම 5:1
එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.

එපීස 2:14
මක්නිසාද වෙන්කිරීමේ මැද භිත්තිය බිඳදමා, ඒ සතුරුකම නමැති නියෝගවල අන්තර්ගතවූ ආඥාවල ව්‍යවස්ථාව තමන්ගේ මාංසයෙන් නැතිකොට, 15 දෙගොල්ල එක්කළ උන්වහන්සේම අපේ සමාදානයව සිටිනසේක; එසේ කළේ සමාදානකරමින් තමන් තුළ දෙගොල්ල එක අලුත් මනුෂ්‍යයෙක් කොට මවන පිණිසත්, 16 කුරුසියෙන් සතුරුකම නැසූ බැවින් දොගොල්ලම එක ශරීරයක් කොට, කුරුසිය කරණකොටගෙන දෙවියන්වහන්සේට සමඟිකරදෙන පිණිසත්ය. 17 උන්වහන්සේ ඇවිත් දුර සිටියාවූ නුඹලාට සමාදානයද, ළඟ සිටියවුන්ට සමාදානයද දේශනාකළසේක.
යේසුස්වහන්සේගේ පූජාව තුළින්, ඒ ලේ තුළින් යුදෙව්වන්, අන්‍යජාතීන් ඕනෑම අයෙකුට දෙවියන්වහන්සේ වෙතට නිර්භීතකමින් පැමිණිය හැකියි.

අපි දේව සමාදානය ගැන පද කිහිපයක් ප‍්‍රකාශ කරමු

පියාණෙනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති කර ගත් ඔබවහන්සේගේ සමාදානය මාගේ ගිවිසුමේ අයිතිය නිසා මම ඔබවහන්සේට යේසුස්වහන්සේගේ නාමයෙන්, ස්තුති කරන්නෙමි.

යෙසායා 26:3 පදය අනුව මම මාගේ මනස (සිත) ඔබවහන්සේ කෙරෙහි තබා ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි, ඔබවහන්සේ මාව සම්පූර්ණ සමාදානයෙන් තබන බව මම දනිමි.

පිලිප්පි 4:6-8 පද අනුව මාගේ සිතෙහි කල්පනාවන් ඔබවහන්සේ කෙරෙහි පිබිද තිබෙන බැවින් මාගේ මනස ඔබ කෙරෙහි නිසැකවම සම්පූර්ණවූ සමාදානයෙන් පුරවා, වට කර ඇති නිසා මම පියාණන්වහන්සේට ස්තූතිවන්ත වෙමි.


පියාණෙනි, මම කිසි දෙයක් ගැන කරදර නොවන්නෙමි, කනස්සල්ලට පත් නොවන්නෙමි, නමුත් සෑම වාතාවරණයකදී හා සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද අයැදීමෙන්ද, මාගේ අවශ්‍යතා ඔබවහන්සේට දන්වන්නෙමි.

එවිට සියලු නැණනුවණ ඉක්මවා යන, කිසි නුවණකින් දැනගත නොහැකිවූ, ඔබවහන්සේගේ සමාදානය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ මනස සහ හදවත, මාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂා කරනු ඇත.

සැබෑවූ, ගෞරවයට සුදුසුවූ, උදාරවූ, සාධාරණවූ නිර්මලවූ (පිරිසිදුවූ), සුන්දරවූ, දයාවන්තවූ හා කරුණාවන්තවූ දේ කෙරෙහි පමණක් මම මාගේ සිත යොමු කරන්නෙමි.


ප්‍රශංසාව ලබන්ට යුතු සුදුසු දෙයක් තිබේ නම්, මම ඒ දේවල් වැදගත් සේ සලකා ඒ ගැන පමණක් සිතන්නෙමි (මෙනෙහිකරන්නෙමි).

කොලොස්සි 3:15 අනුව
දෙවියන්වහන්සේගේ සමාදානයට මාගේ හදවත පාලනය කරන්නට මම ඉඩ දෙන්නෙමි.

හිතෝපදේශ 14:30 අනුව
මා මෙසේ කරන කල, ශාන්තභාවයෙන් හා බාධාවකින් තොරව මාගේ හදවතටත් මනසටත්, මාගේ කායික ශරීරයටත් ජීවනයද සුවයද ඇති බව මම විශ්වාස කරමි.

1 පේත‍්‍රැස් 5:6-7 අනුව
මම දෙවියන්වහන්සේගේ බලවත් හස්තයට යටහත් පහත් වන්නෙමි, මාගේ සියලු කරදර සහ කනස්සල්ල උන්වහන්සේ මත එකවරටම සදහටම තබන්නෙමි, මන්ද උන්වහන්සේ මා කෙරෙහි ප්‍රේමයෙන් සලකන බව මම දනිමි.

2 තිමෝති 1:7 අනුව
පියාණෙනි, ඔබවහන්සේ මට භයාදුකමෙන්, කුරිරු බියෙන් හා තැතිගැන්මෙන් බිය උපදවන ආත්මයක් දුන්නේ නැති නිසා මම ඔබවහන්සේට ස්තූතිවන්ත වෙමි.

ඔබවහන්සේගෙන් මා ලබා ඇති ආත්මය බලයෙන්ද, ප්‍රේමයෙන්ද, සමාදානයෙන් ශාන්තභාවයෙන් හා සමබර මනසකින්, පුහුණුවක් ලැබු හා හික්මවීමෙන්ද යුක්තය.

ගීතාවලිය 118:6 අනුව
ස්වාමීනි, ඔබවහන්සේ මාගේ පක්ෂයෙහිය; මම භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද?


ගීතාවලිය 27:1
ඔබ ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම භය වන්නේ කාටද? ඔබ ස්වාමීනි, මාගේ ජීවිතයේ රැකවරණයත් බලකොටුවත්ය; මා කාට භීතවන්නෙම්ද?

ගීතාවලිය 119:165
ස්වාමිනි, ඔබවහන්සේගේ ව්‍යවස්ථාවට (වචනයට) මම ප්‍රිය කරමි. අමනාපවන්නට හෝ පැකිළෙන්නට කිසිවක් මට නැත්තේය. යේසුස්වහන්සේගේ නාමයෙන් මම මහත් සමාදානයෙන් ගමන් කරන්නෙමි. ආමෙන්!


ස්වාමිනි, ඔබවහන්සේ මා අනුභව කරන ආහාර වලටත්, මම පානය කරන වතුරටත් ආශීර්වාද කර, අද මේ ලෝකය පුරාම පැතිරී යන සෑම වෛයිරස් හා ඩෙංගු උණ රෝග මාගෙන් ඉවත් කර, මට ආරක්ෂාව දී ඇති නිසාද, මාව මරණ භයින් මුදවා මට සමාදානයේ මනසක් දුන්න නිසා ස්තූතියි, ස්තූතියි, ස්තුතියි.

එබැවින් මාගේ දවස් ගණන මම සුවයෙන් ශක්තිමත්භාවයෙන් ශාන්ත සමාදානයෙන් ගත කරන්නෙමි! නික්මයාම 23:25

අපි නිතරම සමාදානයෙන් ක‍්‍රියා කරමු.


Watch the Sermon Video

Read 150 times