+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේගේ සත්‍ය වචනය ඔබව පිළිවෙළකට තබයි - මනූ මැතානි
November 12, 2023 Sunday Sermon Notes


ඔබ සම්පූර්ණ සමාදානයෙන් සිටීම දේව කැමැත්තයි.

මනුෂ්‍යයන් වන අප සමාදානයෙන් සිටීමට කැමතිය.

දෙවියන්වහන්සේ අපගේ සමාදානයයි.

වෙන්කිරීමේ මැද බිත්තිය බිඳ දමා උන්වහන්සේ අපව එක නව මනුෂ්‍යයෙක් කර ඇත.

දේව සමාදානයෙන් ජීවත්වීම අපගේ ප‍්‍රකාශය කර ගනිමු.

එලෙස ප‍්‍රකාශ කිරීම අපේ ජීවිතයේ පුරුද්දක් කර ගනිමු.

ඔබගේ ප‍්‍රකාශනයේ දිගටම යෙදී සිටීමෙන් කාලයක් ගත වන විට ඔබගේ ඇදහිල්ලේ, සමාදානයේ වෙනස ඔබටම දැක ගත හැකි වනු ඇත.

ලෝකයා කැලඹෙන විට, වටපිටාවේ පවා අසමාදානය ඇති විට ඔබ සමාදානයෙන් ක‍්‍රියා කරනු ඇත.

අපට ඇත්තේ දෙවියන්වහන්සේගේ සමාදානයයි.

යොහන් 14:27
නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.

ලෝකයේ සමාදානය කෙටි කාලීනයි, නැවතත් කැලඹිලි ඇතිවනු ඇත.

නමුත් දේව සමාදානය නිසා අපට කිසිදා බියෙන් ජීවත් වීමට අවශ්‍ය නොවේ.

කිතුනුවන් පවා ලෝකයේ සමාදානයෙන් ජීවත් වෙයි, නමුත් අපි කවදාවත් නොවෙනස්වන දේව සමාදානය ඇතිව ජීවත් වෙමු.

අපි තීරණ ගැනීමට යන සෑම විටම දෙවියන්වහන්සේගේ සමාදානයට ඉඩ දෙන්න ඔබගේ විනිශ්චය වන පිණිස.

‭‭කොලොස්සි‬ ‭3:15‬ ‭
[15] ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න;

මනුෂ්‍යයන් පසුතැවිලි වී සැබවින්ම වෙනස්වන්නේ නම් ඔහුව නැවත පිහිටුවීමට දෙවියන්වහන්සේට හැකිය.
‭‭
හෙසකියා රජතුමා තමන් මැරෙන්නට යන ඒ අනාගතවාක්‍ය යෙසායා අනාගතවක්තෘගෙන් ඇසූ විට ඔහු හැරී, පසුතැවිලි වීම නිසා දෙවියන්වහන්සේ නැවත යෙසායා තුළින් කථා කරමින්, හෙසකියා රජුට තවත් අවුරුදු පහළොවක කාලයක් ජීවත් වීමට ආශිර්වාද කළ සේක. (2 රාජාවලිය 20:1-6)

දෙවියන්වහන්සේ ඔහුගේ හදවත දුටු සේක.

දෙවියන්වහන්සේ සාවුල් රජතුමා ගැනත් සාමුවෙල් අනාගතවක්තෘට පැවසූ දේ එනම් ඔහුගේ රජකම පහ කරන බව කී විට රජතුමාගේ ප‍්‍රතිචාරය වෙනස් විය.

ඔහු පසුතැවිලි නොවී, කෝප වූ බවත්, මනුෂ්‍යයන් ඉදිරියේ හා වැඩිමහල්ලන් ඉදිරියේ තමන්ව පිළිගන්නා ලෙසත් අනාගතවක්තෘගෙන් ඉල්ලා සිටි බවත් දැකගත හැකිය.

1 සාමුවෙල්‬ ‭15:23‬ ‭
[23] මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් නුඹ රජකමෙන් පහකළසේකැයි කීවේය.

කැරළිකාරකමෙන් සිටීම කොඩිවින කිරීමේ හා කට්ටඩි ගුරුකම් කරන්නාවූ පාපය හා සමානයි.

කැරළිකාරකමෙන් ජීවත්වන මනුෂ්‍යයන්ට ඇසෙන්නේ යක්ෂයාගේ හඬවල්ය.

ඔවුන් කිසිවෙකුට යටත් නොවී, කිසිවෙකුට ගෞරවය නොදී, තමන් නිවැරදි යයි සිතමින් ජීවත් වෙයි.

ඔබේ සම්බන්ධය දෙවියන්වහන්සේ සමඟ පවතින්නේ නම් ඔබ කැරළිකාරකමින් ජීවත් නොවී, මනුෂ්‍යයන්ට ප්‍රේම කළ යුතුයි.

‭‭1 යොහන්‬ ‭4:20‬ ‭
[20] යමෙක්: දෙවියන්වහන්සේට ප්‍රේමකරමියි කියා තමාගේ සහෝදරයාට වෛරකෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු දෙවියන්වහන්සේට ප්‍රේමකරන්ට ඔහුට නුපුළුවන.

දිනපතා දේව වචනය කියවා අපේ දුබලකම් නිවැරදි කරගෙන ජීවත් වීමට උත්සහ දැරිය යුතුයි.
‭‭
අපි අපේ සහෝදරයන්ව පැකිලීමට පත් නොකර, විනිශ්චයට පත් නොකර ඔවුන්ට ප්‍රේම කළ යුතුය.

1 සාමුවෙල්‬ ‭15:24 ‭‬‬
[24] සාවුල් සාමුවෙල්ට කථාකොට: මම පව්කෙළෙමි. මක්නිසාද මම සෙනඟට භයවී ඔවුන්ගේ හඬට කීකරුවූ බැවින් ස්වාමීන්වහන්සේගේ ආඥාවද ඔබගේ වචනද කඩකෙළෙමි.

සාවුල් රජතුමා මනුෂ්‍යයන් සමඟ එකමුතුව ඒ සතුන් මරා නොදමන්නට තීරණ කළේය.

1 සාමුවෙල්‬ ‭15:9‬ ‭
[9] එහෙත් සාවුල් සහ සෙනඟ ආගග්ද බැටළුවන් හා ගවයින්ගෙනුත් තර සතුන්ගෙනුත් ඉතා හොඳ එවුන්ද බැටළු පැටවුන්ද සියලු හොඳ දේවල්ද සහමුලින්ම විනාශකර දමන්ට අකැමැතිව ඉතිරි කරගත්තෝය. නුමුත් නුසුදුසුවූ නොවටින්නාවූ සියල්ලම ඔව්හු විනාශකර දැමුවෝය.

සාවුල් රජතුමා මනුෂ්‍යයන් සමඟ එකඟ වී මෙම ක‍්‍රිියාව කළේය.

ඔහු කැරළිකාරකමින් හා මුරණුඩුකමින් ක‍්‍රියා කළේය, එය දේව කැමැත්ත නොවේ.

කැරළිකාර මනුෂ්‍යයා නිතරම දෙවියන්වහන්සේට යටත් වෙන්නට අකමැතිව සිටී.

යටහත් පහත් මනුෂ්‍යයන්ගේ ජීවිතවල අනුග්‍රහය අධික ලෙස පෙනෙන්නට තිබෙනවා.

මනුෂ්‍යයෙක් කැරළිකාරකමින් ජීවත් වන විට දෙවියන්වහන්සේ කථා කරනවා හා සමානව යක්ෂයාගේ හඬවල් ඔහුට ඇසෙනන්ට යන්නේය.

යුදස් කැරලිකාරකමෙන් සිටිය නිසා යක්ෂයාගේ හඬට සවන් දී යේසුස්වහන්සේව රිදී කාසි 30 කට පාවා දෙන්න කැමති විය. (මතෙව් 26:14-16)

දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන්නේ අප යටහත් පහත් මනුෂ්‍යයන් වීමය.

1 කොරින්ති‬ ‭11:1‬ ‭
[1] මා ක්‍රිස්තුස්වහන්සේව ආදර්ශයට ගන්නාක්මෙන් නුඹලා මා ආදර්ශයට ගන්න.

‭‭1 කොරින්ති‬ ‭11:2‭-‬3‬ ‭
[2] ඉතින් නුඹලා සියල්ලෙහිදී මා සිහිකර, මා විසින් නුඹලාට භාරදුන් නියෝග භාරදුන් හැටියට පවත්වන නිසා නුඹලාට ප්‍රශංසාකරමි. [3] නුමුත් එක එක පුරුෂයාගේ හිස ක්‍රිස්තුස්වහන්සේ බවද, ස්ත්‍රියගේ හිස පුරුෂයා බවද, ක්‍රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ බවද නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.

ආධිපත්‍යය ආරම්භ වන්නේ දෙවියන්වහන්සේගෙන්, ක්‍රිස්තුස්වහන්සේගෙන් හා ස්වාමිපුරුෂයාගෙන්ය.

යටත්කම අපට ආවරණයක්, ආරක්ෂාවක් වැනිය.

යටත් නොවන මනුෂ්‍යයා බොහෝ විනාශකාරී දේවල් සිදු කරයි.

කැරලිකාරකමේ ස්වභාවයෙන් සිටින්නන් තමන්ගේ වැරැද්ද නොදකින අතර කිසි විට තමන්ගේ වැරැද්ද පිළි නොගනී.

කැරළිකාරකමේ ස්වභාවය ආරම්භයේ පටන් තිබුණේ යක්ෂයා තුළයි.

යක්ෂයා දෙවියන්වහන්සේට වඩා ඉහළ ස්ථානයක සිටින්නට ආශා කළේය. (යෙසායා 14:12-15)

ඊශ‍්‍රායෙල් සෙනඟ විනාශ වූයේ යෙසබෙල් නමැති නපුරු කාන්තාව නිසයි.

ඇයගේ ස්වාමිපුරුෂයා වූ ආහබ් රජතුමා තම ආධිපත්‍යය භාවිතා නොකර, තම භාර්යාවට ඉඩ හැර සිටීම නිසා ඇය තම කැරලිකාරකමේ බලය පාවිච්චි කරමින් දේවල් අත්පත් කර ගන්නා ලදි. (1 රාජාවලිය 21:1-16)

කැරළිකාරකමේ සිටින එවැනි අය තුළින් පැමිණෙන්නේ දේව වචනය නොවේ, මාංශික හා යක්ෂයාගෙන් මිශ‍්‍ර වචනය.

ඔවුන් තමන් සියල්ලන්ටම වඩා දන්නා බව සිතමින් සිටියි.

ඔවුන් අස්ථීර මනුෂ්‍යයන්ව අල්ලා ගැනීමට වෑයම් කරයි.

2 පේතෘස්‬ ‭2:13‭-‬14‬ ‭
[13] ඔව්හු දවාලෙහි ක්‍රීඩා ඝෝෂාව ප්‍රීතියක්යයි සලකති, ඔව්හු ලප හා කැලැල්ව සිටිති, ඔව්හු නුඹලා සමඟ මංගල්‍ය පවත්වන අතර තමුන්ගේ මංගල්‍යවලදී ක්‍රීඩා ඝෝෂා පවත්වති; [14] ඔව්හු කාමමිථ්‍යාචාරයෙන් පිරුණාවූ, පාපයෙන් වලකින්ට නුපුළුවන් ඇස් ඇත්තෝය; ඔව්හු අස්ථිර ආත්ම (මනස්) පොලඹවන්නෝය; තණ්හාවට පුරුදු සිතක් ඇත්තෝය; ශාපයේ දරුවෝය;

ඔබ අස්ථිරව සිටියහොත් යක්ෂයා විසින් පොළඹවනු ලබන අයට ඔබ පහසුවෙන් ගොදුරක් වනු ඇත.

ප්‍රේමෙන් ඇත්ත කතා කරන්න.

අපේ ජීවිත දේව වචනය තුළින් හදා ගැනීම අවශ්‍යයි.

තමන්ගේ අත්තිවාරම කැරලිකාරකම කරගත් මනුෂ්‍යයන් නිතරම අනිත් අයව රවටා නොමඟ යැවීමට උත්සාහ කරයි.
‭‭
2 යොහන්‬ ‭1:6‭-‬7‬ ‭
[6] ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමය. ආඥාව නම් නුඹලා පටන්ගැන්මේ සිට ඇසූ ලෙස ප්‍රේමයෙහි හැසිරීමය.

ප්‍රේමය නම් දේව වචනය අනුව ගමන් කිරීමත්, ජීවත් වීමත්ය.

අලංකාර, මෘදු වචන කථා කරන අය පසුපස නොයා යුතුය.
‭‭
යෙසායා‬ ‭30:9‭
[9] මක්නිසාද ඔව්හු කැරළිකාර සෙනඟක්ය, බොරුකාර දරුවෝය, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අසන්ට කැමති නැති දරුවෝය.

කැරළිකාර මනුෂ්‍යයන් දේව වචනයට ප‍්‍රිය නොවන්නේ ඔවුහු එයට සවන් නොදෙන නිසාය. නමුත් ඔබ ශුද්ධාත්මයාණන්ගේ හඬට ඇහුම්කන් දෙන්න, ජීවිතය වෙනස් කර ගන්න ඔවුන්ට සිදු වන දේවල් ඔබට සිදුවන්නට අවශ්‍ය නැත.

යෙසායා‬ ‭30:10‬ ‭
[10] ඔව්හු දිවස් ඇත්තන්ට: නුඹලා දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: නුඹලා හරිවූ දිවස්වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද:

අප සභාවට පැමිණිය යුත්තේ දේවවචනය අසන්නට මිස මෘදු වචන අසන්නට වත්, අපේ යහපත්කම් ගැන වර්ණනාවන් අසන්නට වත් නොවේ.

‭‭යෙසායා‬ ‭30:11‬ ‭‬‬
[11] නුඹලා මාර්ගයෙන් පහවී මාවතින් අහක්ව යන්න, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ අප ඉදිරියෙන් පහකරන්නය කියාද කියති.

‭‭යෙසායා‬ ‭30:12‭-‬13‬
[12] එබැවින් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා මේ වචනය සුළුකර, බලාත්කාරකම සහ වංකකම කෙරෙහි විශ්වාසකොට, [13] ඒ කෙරෙහි පිහිටා සිටින බැවින්, මේ අපරාධය උස්වූ භිත්තියක පිපිරී වැටෙන්ට තිබෙන කැඩුමක් මෙන් නුඹලාට වන්නේය. ඒකේ කැඩීම ඇසිල්ලකින්ම පැමිණෙන්නේය.

දෙවියන්වහන්සේගේ වචනය එපා නොකළ යුතුය, එසේ කළහොත් අපේ යාච්ඤාව උන්වහන්සේට පිළිකුලක්ය.
‭‭
හිතෝපදේශ‬ ‭28:9‬ ‭
[9] ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.

අප සත්‍යතාවයේ වචනයට සවන් දෙන්නේ නම් සඵල වීමට, දියුණු වීමට, සුවය ලැබීමට, නිවසේ සියලු ප‍්‍රශ්න වලින් නිදහස් වීමට ලැබෙනු ඇත.

නිවසක් තුළ විවිධ ආත්මික මට්ටම් තිබිය හැක, නමුත් නිවසේ සමාදානය පිණිස ආධිපත්‍යය ඇති ස්වාමිපුරුෂයාට ගරු කළ යුතුය.

දෙවියන්වහන්සේ ක‍්‍රියා කරනුයේ උන්වහන්සේගේ වචනයට අනුවය. ‭‭

කැරලිකාරකමේ වචන වලින් ඒ ආත්ම පිට වන්නේය.

ආධිපත්‍යයට විරුද්ධව කැරළි ගැසීම නොකරමු.

2 යොහන්‬ ‭1:6‬ ‭‬‬
[6] ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමය. ආඥාව නම් නුඹලා පටන්ගැන්මේ සිට ඇසූ ලෙස ප්‍රේමයෙහි හැසිරීමය.

පටන්ගැන්මේ සිට ඇසූ දේවල් වෙතට යන්න.

‭‭2 යොහන්‬ ‭1:7‬
[7] මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව එන බව ඒත්තු නොගන්නාවූ බොහෝ රැවටිලිකාරයෝ ලෝකයට පැමිණ සිටිති. රවටන්නාද විරුද්ධ-ක්‍රිස්තුස්ද මොහුය.

‭‭2 යොහන්‬ ‭1:8‬
[8] අප විසින් කළ දේ නුඹලාට නැති නොවන ලෙසත් සම්පූර්ණවූ විපාකයක් නුඹලාට ලැබෙන ලෙසත් නුඹලාම බලාගන්න.

අපේ විපාක නැති කර නොගනිමු.

දෙවියන්වහන්සේගේ වචනයට පටහැණි දේවල් උගන්වන අයගෙන් ප‍්‍රවේසම් වීම අවශ්‍යය.

‭‭2 යොහන්‬ ‭1:9‬ ‭
[9] ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවතී ඉස්සරහට යන්නාවූ කිසිවෙකුට දෙවියන්වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමෙහි පවතින්නාටම පියාණන්වහන්සේද පුත්‍රයාණන්වහන්සේද සිටිනසේක.

මෙවැනි අය දෙවියන්වහන්සේගේ නාමය පාවිච්චි කළද ඔවුන්ගේ ජීවිතවල ඵල නැත.

යූදස් (යූද්)‬ ‭1:12‬ ‭‬‬
[12] මොව්හු නම් නුඹලා සමඟ මංගල්‍ය කෑම කන විට නුඹලාගේ ප්‍රේම–මංගල්‍යවල නොපෙනී තිබෙන්නාවූ පර්වතයෝය, නිර්භීතව තමුන්ම පෝෂ්‍යකරගන්න එඬේරුය; හුළඟින් ගහගෙනයන වතුර නැති වලාකුල්ය; ඵල නැත්තාවූ, දෙවරක් මළාවූ, මුලින් උදුරනලද්දාවූ ශරත්කාලයේ ගස්ය.

දේව වචනය වත්, ඵල වත්, ගැළවීමක් වත් නැත්තාවූ අය අප වෙතට පැමිණි විට අපි ස්ථීරව දේව වචනයෙහිම පවතිමින් සිටිය යුතුය.
‭‭
2 යොහන්‬ ‭1:9‬ ‭
[9] ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවතී ඉස්සරහට යන්නාවූ කිසිවෙකුට දෙවියන්වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමෙහි පවතින්නාටම පියාණන්වහන්සේද පුත්‍රයාණන්වහන්සේද සිටිනසේක.

අපට දෙවියන්වහන්සේගෙන් උසස් කැඳවීමක්, ශුද්ධ කැඳවීමක් සහ ස්වර්ගීය කැඳවීමක් ලැබී ඇත.

‭‭2 යොහන්‬ ‭1:10‬ ‭‬‬
[10] නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම්, ඔහු ගෙදරට පිළි නොගන්න, ඔහුට ශුභසිද්ධවේවයි නොකියන්න.

නිවැරදි ඉගැන්වීමක් නැති දෙවියන්වහන්සේගේ වචනයට පළමු තැන නොදී අනාගතවාක්‍ය, කැඳවීම ගැන එළිදරව්කිරීම් දෙන ඔබට සමාදානයක් නැති පුද්ගලයන්ගෙන් ඉවත්වී යා යුතුය.

ඔබ දන්න සත්‍යය තුළ කථා කරමින් එහිම පැවතිය යුතුය.

හෙබ්‍රෙව් 12:14
[14] සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න. [15] කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,

අපි අනුග‍්‍රහයෙන් නොවැටී සිටිමු.

තිත්තකමේ මුලක් අපේ ජීවිතයේ හට ගැනීමට ඉඩ නොදිය යුතුය.

කැරලිකාරකමේ කුඩා හෝ බීජයක් ඔබේ ජීවිතයේ හට ගැනීමට ඉඩ නොදිය යුතුය.
සාවුල් රජතුමා කැරලිකාරකමේ සිටි නිසා ඔහුට දේව වචනය ලෙස වැඩිපුරම ඇසුනේ යක්ෂයාගේ හඬය.

ඔහු දෙවියන්වහන්සේගේ පණිවිඩය ගෙනා සාමුවෙල් අනාගතවක්තෘට විරුද්ධ විය.

1 සාමුවෙල් 15:25
[25] එහෙත් ඔබ දැන් මගේ පාපයට කමාවී, මා විසින් ස්වාමීන්වහන්සේට නමස්කාර කරන පිණිස මා සමඟ හැරී අව මැනවැයි සාමුවෙල්ට කීවේය. [26] මම නුඹ සමඟ හැරී නොඑමි. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකෙළෙහිය, ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටීමෙන් නුඹ පහකළසේකැයි සාමුවෙල් සාවුල්ට කීවේය. [27] සාමුවෙල් යන්ට හැරෙන විට සාවුල් ඔහුගේ සළුවේ කෙළවර අල්ලාගත්තේය, එවිට ඒක ඉරුණේය. [28] සාමුවෙල් ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ අද ඉශ්‍රායෙල් රජකම නුඹෙන් පැහැරගෙන නුඹට වඩා යහපත්වූ නුඹේ අසල්වාසියෙකුට දී තිබේ. [29] ඇරත් ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණෝ බොරු නොකියනසේක, නොතැවෙනසේක. මක්නිසාද තැවෙන්ට උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේයයි කීවේය. [30] එවිට ඔහු: මම පව්කෙළෙමි. එහෙත් දැනට මාගේ සෙනඟගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල්වරුන්ද ඉදිරියේදී මට ගෞරවය දී, මා විසින් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරන පිණිස මා සමඟ හැරී ආවමැනවැයි කීවේය.

දෙවියන්වහන්සේ අප සියල්ලෝද ප්‍රේමයෙන්, සත්‍යයෙන්, ඇදහිල්ලෙන් රජකම් කරන පිණිස පත් කර ඇත.

සත්‍යය ඉතා වැදගත්ය.

එය කිසිදා නොපැරදෙන බවත්, නිතරම දිනන බවත් දැන ගත යුතුයි.
අප සත්‍යයට මුහුණ දිය යුතුයි, එය අපේ ජීවිතයේ ක‍්‍රියාත්මක කිරීමට පටන් ගනිමු.

එය ඖෂධයක් ලෙස ක‍්‍රියා කරයි.

එයට මුහුණ දීම අසීරුයි කියා හැඟුනත් එයට මුහුණ දී වෙනස් විය යුතුයි.

ඔබ ආධිපත්‍යයෙන් ක‍්‍රියා කරන අයෙකු නම් ඔබට වැඩි වශයෙන් සත්‍යය අවශ්‍යයි.

යේසුස්වහන්සේ සභාවට ප්‍රේම කළ ආකාරයෙන් පුරුෂයන් තම භාර්යාවට ප්‍රේම කළ යුතුයි.
(මලාකි 2:14-15)

දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරන ආකාරයටම ඔබේ තරුණ වයසේ භාර්යාවට ප්‍රේම කිරීමෙන් ඔබේ දරුවන් පවා යහපත් මාර්ගයේ ගමන් කරනු ඇත.

අපි සත්‍යයෙන් යුතුව ක‍්‍රියා කරන විට එය ඖෂධයක් ලෙස ක‍්‍රියා කරමින් අපේ ජීවිත සුව කරනු ඇත. එය මිලදී ගත යුතුය.

හිතෝපදේශ 23:23
[23]සත්‍යයද ප්‍රඥාවද ඉගනගැන්මද නුවණද මිලේට ගන්න, ඒවා නොවිකුණා තබාගන්න.

දෙවියන්වහන්සේගේ සත්‍යතාවයේ වචනයෙන් අපගේ සියලු වියගස් කඩා දමා අප නිදහස් කර ඇත.

යේසුස්වහන්සේව එපා කළ ඵරිසිවරු, සද්දුසිවරු, ආගමික නායකයන් සත්‍යයවූ උන්වහන්සේට විරුද්ධ වන පිණිස එකතු වූවද සත්‍යය ජය ලැබුවේය.

ඔබට බොහෝ විරුද්ධකම් පැමිණියද ඔබ සත්‍යය තුළ ජිවත්වන්නේ නම් ඔබ නිතරම ජය ගන්නේමය.


Watch the Sermon Video

Read 100 times