+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

භය නොවන්න, දෙවියන්වහන්සේ ඔබගේ පක්ෂයේය - යෝෂා මනූ
November 19, 2023 Sunday Sermon Notes


ස්වාමීන්වහන්සේ වෙනස් වන්නේ නැත. ඔබගේ වාතාවරණය වෙනස් වන්නට පුලුවන්, මනුෂ්‍යයන් වෙනස් වෙන්නට පුලුවන්, නමුත් දෙවියන්වහන්සේ වෙනස් වන්නේ නැත.

අපට ස්ථීරව උන්වහන්සේගේ වචනය විශ්වාස කළ හැකියි.
උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි අපගේ ඇදහිල්ල අපට තබන්නට පුලුවන්.

සාරා ආබ්‍රහම්ගේ භාර්යාවයි. ඇයට දරුවන් සිටියේ නැත. ඒ නිසා ඇය බොහෝසේ පීඩනයට පත්වී සිටියාය.

ඇයට දරුවන් නැතිවීම නිසා තද කෝපයෙන් සිටිමින්, වැරදි තීරණ ගනු ලැබුවාය.

සාරා තම දාසිය වූ හග්ගයිගෙන් දරුවෙකු ලබා ගන්නා පිණිස ඇයව තම ස්වාමිපුරුෂයා වූ ආබ‍්‍රහම්ට පාවා දුන්නාය.
(උත්පත්ති 16:1-3)

දෙවියන්වහන්සේගේ පොරොන්දුව කෙරෙහි ඉවසිලිවන්තකමින් බලා නොසිට පොරොන්දුව ඉක්මනින්ම උරුම කර ගැනීමට දෙවියන්වහන්සේට උදව් කිරීමට සාරා ඉදිරිපත් වූවාය.

එම නිසා බොහෝ ගැටලු වලට මුහුණ දීමට ඔවුන්ට සිදු විය.

ආබ‍්‍රහම් සාරාගේ හඬ අසා, ගත් ඒ වැරදි තීරණයේ ප‍්‍රතිඵල අද වන විටත් මුළු ලෝකයටම විඳීමට සිදුව ඇත.

නමුත් කාලයක් ගත වූ පසු සාරා ස්වාමීන්වහන්සේගේ පොරොන්දුව සිහි කරන්නට ඇති.

‭‭හෙබ්‍රෙව්‬ ‭11:11‭‬ ‭‬‬
[11] ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.

ඇය ස්වාමීන්වහන්සේ කෙරෙහි බලා සිටියාය.

අවුරුදු 90 ක් වූ ඇයගේ කුස තුළ දරුවා ගැබ් ගැනීමට පළමුවෙන් දෙවියන්වහන්සේ ඇයගේ ශරීරය අලුත් කළ සේක.
(උත්පත්ති 21:1-2)

පොරොන්දුව දුන්න දෙවියන්වහන්සේ විශ්වාසවන්තයි.

අපි දෙවියන්වහන්සේ තුළ රැදී සිටිමු, කොතරම් කාලයක් ගත වූවත් උන්වහන්සේ පොරොන්දු ඉටු කරන සේක.

ගීතාවලිය 37:3
ස්වාමින් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව;

අයහපත කිරීමට, කෝප වීමට අවස්ථාවන් ඔබට සැලසෙනු ඇත, නමුත් ඔබ යහපතම කළ යුතුයි.

දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව. [4] ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක.

ඔබ උන්වහන්සේගේ වචන කෙරෙහි විශ්වාසය තබා යහපත් වචන කථා කරමින්, යහපත් දේ විශ්වාස කර, උන්වහන්සේ තුළ පවතින විට ඔබගේ සිතෙහි ආශාවන් උන්වහන්සේ ඉෂ්ට කරනසේක.

ගීතාවලිය 37:1
නපුරකරන්නන් නිසා කල නොකිරෙව, අධර්මිෂ්ඨකම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරව.

සමහර මනුෂ්‍යයන් ඔබට නපුර කළ හැකියි, නපුරු වචන කථා කළ හැකියි, නමුත් ඒ අය දෙස වත්, ඒ වචන දෙස වත් බලා අධෛර්යය නොවී, පැකිලීමට පත් නොවී, ධෛර්යයමත්ව, ශක්තිමත්ව සිටිමු.

ගීතාවලිය 119:165
ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිළීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.

අපි දේව වචනය තුළ පවතින විට, එය අපේ හදවතෙහි සඟවා ගන්න විට අපි කවදාවත් පැකිලීමට පත් නොවී සිටින්නෙමු.

වචනයට උතුම් ස්ථානයක් දීම අවශ්‍යය.

දෙවියන්වහන්සේ අපට නිතරම පවසන්නේ ‘’භය නොවන්න’’ කියාය.

ස්වාමීන්වහන්සේ ඔබ සමඟයි, දෙවියන්වහන්සේ ඔබගේ පක්ෂයේය.

භය ඇතුල් වූයේ ඒදන් උයනේදීය, දෙවියන්වහන්සේ ආදම් ඒවාට අණ කළා තහනම් ගස - එනම් යහපත හා විපත්ති ගෙන දෙන ගසෙන් නොකන ලෙසට. නමුත් ඔවුන් රැවටී එයින් කෑ නිසා භයව සැඟවුනා. (උත්පත්ති 3:3-8)

ඔවුන් නිර්වස්ත‍්‍ර බව ඔවුන් දැන ගත් නිසා, ලැජ්ජාව වසා ගන්නා පිණිස අත්තික්කා කොළ වලින් ඇඳුම් මසා ගත්හ.
(උත්පත්ති 3:7)

සවස් කාලයෙහි ඔවුන් සමඟ කථා කරන පිණිස දෙවියන්වහන්සේ පැමිණි සේක. (උත්පත්ති 3:8)

දෙවියන්වහන්සේ ආදම්ට කථා කළ සේක, උන්වහන්සේ ආදම් සැඟව සිටි බවද, සැඟව සිටි තැන දැන සිටියද ඔහුට කථා කළ සේක. (උත්පත්ති 3:9)

දෙවියන්වහන්සේ අපට පවසන්නේ භය නොවන්න, මන්ද උන්වහන්සේ අපට භයාදුකමේ ආත්මයක් දී නැත.

භය පැමිණෙන විට අපි වැරදි තීරණ ගත හැකියි, භය නිසා දෙවියන්වහන්සේගෙන් සැඟවී සිටීමට සිදු විය හැකියි, නමුත් අප කළ යුත්තේ භය පැමිණෙන විට දෙවියන්වහන්සේ වෙතට යාමයි.

උන්වහන්සේ අපේ පියාණෝය. අපි වරදක් කළ විට උන්වහන්සේ අපට දොස් තබන්නේවත්, තලන්නේවත්, දඬුවම් කරන්නේවත් නැත.

උන්වහන්සේ තමන් වචනයෙන් ඔබව හරි ගස්වනු ඇත.

ඒ වචනයට ඔබ යටත් විය යුතුයි, අපි උන්වහන්සේ වෙතට මිස උන්වහන්සේ වෙතින් ඈතට නොයමු.

දිනපතා ප‍්‍රකාශ කිරීමට හැකි වන පරිදි දෙවියන්වහන්සේගේ පොරොන්දු රාශියක් අපට ඇත.

විනිශ්චයකාරයන්ගේ පොත 6-7 පරිච්ජේද

විනිශ්චයකාරයන්ගේ පොත 6:1
ඉශ්‍රායෙල් පුත්‍රයෝ වනාහි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය.

දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල් සෙනඟට මෝසෙස් තුළින් කථා කරමින් පැවසුවේ ඔවුන්ව කිරි හා පැණියෙන් ඉතිරෙන දේශයකට ගෙන යන බවය, ඒ සතුරන්ව විනාශ කරන ලෙස උන්වහන්සේ පැවසූ සේක. (නික්මයාම 3:7-8)

පළමුව ඒ දේශයට පැමිණියේ ආබ‍්‍රහම්ය, නමුත් පසුව යාකොබ්ගේ ගෝත‍්‍ර 12 සහ මෝසෙස්ගේ නායකත්වය තුළින් ඉශ‍්‍රායල් සෙනඟ ඒ දේශයට පැමිණියහ.

දෙවියන්වහන්සේ ඔවුන්ගෙන් අපේක්ෂා කළේ, ඔවුන්ට පැවසුවේ ඒ දේශයේ සෙනඟගේ පුරුදු හා නමස්කාරයන් ඔවුන් නොකළ යුතු බවයි. (නික්මයාම 23:24/ 32-33)

දෙවියන්වහන්සේගේ හඬ අසමින්, උන්වහන්සේට කීකරු වීම උන්වහන්සේ බලාපොරොත්තු විය, නමුත් සෙනඟ අකීකරු වී අන්‍ය ජාතීන් සමඟ මිශ‍්‍ර වෙමින් විවාහයන් කරගත්හ.

ඒ අයගේ චාරිත‍්‍ර වලට බැඳී ඒවා ජීවිතයට අදාල කර ගත් නිසා එය ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවේ නපුරු දෙයක් විය.

‘ස්වාමීන්වහන්සේ ඔවුන් මිදියන්වරුන් අතට සත් අවුරුද්දකට පාවාදුන්සේක. (විනිශ්චයකාරයන්ගේ පොත 6:1)

මෙම කාලය තුළ ඊශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියේ නපුරු ක්‍රියා කළ නිසා, ඔවුන් මිදියන්වරුන් (දෙවියන් වහන්සේගේ සතුරන්) විසින් පීඩාවට පත් කරන ලද්දේය. (පීඩාවට ලක් වන්නට ඉඩ හැරිය සේක).

ඔවුන්ගේ අකීකරුකම හා පාපය තුළින් ඔවුන් යක්ෂයාට පහර දෙන්නට දොරවල් විවර කළා, ඉඩ දුන්නෝය.

ඔබ කැමැති යමක් ගැන තදින්ම තීරණය කරගන්නේ නම් ‘’මම මේ දෙය කරනවාමයි කියා, එය දෙවියන්වහන්සේට විරුද්ධ වූවත්, දෙවියන්වහන්සේ අකමැති වූවත් මම ඒ දෙය කරනවාමය’’ කියා ඔබ තීරණය කර ගන්නේ නම් උන්වහන්සේ එය නවත්වන්නේ නැත.

ආදම් ඒවටත් දෙවියන්වහන්සේ තහනම් කළ දේට ඔවුන් කීකරු නොවී එම පාපය කරන විට, උන්වහන්සේ එය නොවැලැක්වුව සේක.

දෙවියන්වහන්සේ යමක් ගැන කී දේ පිළිපැදිම අපගේ යුතුකමයි.

විනිශ්චයකාරයන්ගේ පොත 6:2
[2] මිදියන්වරුන්ගේ අත ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ කඳුවල තිබෙන බිම්ගෙවල්ද ගුහාවල්ද කොටුද සාදාගත්තෝය.

ඊශ්‍රායෙල් පුත්‍රයෝ කොතරම් භයින් සිටියද කියා දකින විට, ඔවුන් ගුහාවල සහ කඳුවල සැඟවී සිටියා.

විනිශ්චයකාරයන්ගේ පොත 6:3-4
[3] ඉශ්‍රායෙල්වරුන් වැපුරුවාට පසු මිදියන්වරුද අමෙලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද ඔවුන්ට විරුද්ධව ඇවිත්, [4] ඔවුන්ට විරුද්ධව කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භෝග ඵල නාස්තිකළෝය, ඔව්හු ආහාරවත් එළුබැටළුවන්වත් ගවයන්වත් කොටළුවන්වත් ඉශ්‍රායෙල්වරුන්ට ඉතිරිනොකළෝය.

මිදියන්වරු විශාල සෙනඟක් පැමිණ ඔවුන්ගේ සියලු වගාවන් විනාශ කර, ඔවුන්ගේ සියලු ගවයන් ඔවුන්ගෙන් පැහැර ගත්හ. ඔවුන් ජීවත් වූයේ දිළිඳුකමෙන්.

මේ සියල්ල සිදුවුනේ ඔවුන්ගේ අකීකරුකම නිසයි.

විනිශ්චයකාරයන්ගේ පොත 6:5
[5] මක්නිසාද ඔව්හු තමුන්ගේ ගවයන්ද කූඩාරම්ද ඇතුව නැගී ආවෝය, ඔව්හුද ඔවුන්ගේ ඔටුවෝද ගණනින් පළඟැටියන් මෙන් ගණනාවක් නැතුව ඇවිත්, දේශය විනාශකරන පිණිස එහි ඇතුල්වුණෝය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුහු උපකාර පතා යෙහෝවා දෙවියන්වහන්සේට මොරගැසූහ.

දෙවියන්වහන්සේ තම සෙනඟට ප්‍රේම කළ අතර ගැළවුම්කරුවෙකු නැඟිටුවා ඔවුන්ට කරුණාව පෙන්වූ සේක.

මෙවැනි තත්වයන් වලදී දෙවියන්වහන්සේගේ හඬ අසා, උන්වහන්සේගේ සෙනඟ නිදහස් කර ගැනීමට හැකි අයව දෙවියන්වහන්සේ සොයමින් සිටි සේක.

උන්වහන්සේ මේ සෙනඟ පොරොන්දු දේශයට ගෙන එන පිණිස මෝසෙස් නම් මනුෂ්‍යයා තෝරාගෙන, ඔහුව ඔසවා ශක්තිමත් කළ සේක. (නික්මයාම 3:1-10)

ඔහු අවුරුදු 40 ක කාලයක් කාන්තාරයේ අධෛර්යමත්ව සිටියේය.

නමුත් දෙවියන්වහන්සේට ඕනෑම කෙනෙකුව පාවිච්චි කළ හැකිය.

‘’මම අධෛර්යමත්ව සිටින්නේ මාව පාවිච්චි කිරීමට දෙවියන්වහන්සේට නොහැකි බව’’ ඔබ සිතනවා නම් මෝසෙස්ව උන්වහන්සේ පාවිච්චි කළ ආකාරය ඔබ බැලිය යුතුයි.

මෝසෙස් මිසර දේශයේ මිනීමරුවෙක්ව සිට ඒ දේශයෙන් පළා යාමට සිදුවූ අයෙකි.

ඔහු බොහෝ කාලයක් (අවුරුදු 40 ක් පුරාවටම) දොස් පැවරීමෙන් සිටින්නට ඇති.

ඔබ කියනවානම් ‘’මම කරපු දේවලට සමාව දෙන්නට දෙවියන්වහන්සේට බැහැ’’ කියා ඔබ වැරදියි, උන්වහන්සේට පුළුවනි.

ඔබ කළ සියලු පාප වලට සමාව දී, ඔබව ඔසවා, ඔබව පාවිච්චි කිරීමට උන්වහන්සේට පුළුවන.

අලුත් ගිවිසුමෙන් තුනෙන් දෙකක් පමණ ලියූ පාවුල් තුමාද මිනිමරුවෙකි.

ඔහු යේසුස්වහන්සේ පිළිගත් සෙනඟ මරාදැමූ අතර සමහරුන් හිර ගෙවල්වලට දැමුවා, නමුත් දෙවියන්වහන්සේ දවසක ඔහුට ප‍්‍රකාශ වී, ඔහුව වෙනස් කර ඔහුව පාවිච්චි කළ සේක. (ක‍්‍රියා 9:1-9)

උන්වහන්සේ මෙවැනි දේවල් කිරීමට බලසම්පන්න තැණැන්වහන්සේය.

උන්වහන්සේට ඕනැ කරන්නේ එක මනුෂ්‍යයෙකි.

‭‭විනිශ්චයකාරයන්ගේ පොත‬ ‭6:12‬ ‭
[12] ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට පෙනී: ධෛර්යමත් බලවත් මනුෂ්‍යය, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීය.

ඊශ්‍රායෙල්වරුන්ගෙන් එක් කෙනෙක් වන ගිඩියොන්ද සැඟවී සිටියා. ඔහුත් සිටියේ බියෙනි.

විනිශ්චයකාරයන්ගේ පොත‬ ‭6:11
[11] ස්වාමීන්වහන්සේගේ දූතයා ඇවිත් අබියෙශ්‍රීය යෝවාෂ්ට අයිතිවූ ඔප්‍රාහි තිබෙන අලෝන ගස යට හිඳගත්තේය. යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඩිමින් සිටියේය.

ගිඩියොන් සිටියේ අධෛර්යමත්ව, වැරදි ස්ථානයකයි.
ඔහු කිසිදු ඇදහිල්ලක් නැතිව සිටියේය.

[13] ගිඩියොන් ඔහුට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක් නම් මේ සියල්ල අපට සිද්ධවී තිබෙන්නේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අප මිසරයෙන් ගෙනාවා නොවේද කියා අපේ පියවරුන් අපට කියාදුන් උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොයිද? දැන් නම් ස්වාමීන්වහන්සේ අප අත්හැරදමා මිදියන්වරුන් අතට අප පාවාදුන්සේකැයි කීවේය.

ඉශ්‍රායෙල් සෙනඟ තමන්ගේ වැරැද්ද නොව, දෙවියන්වහන්සේ ඔවුන්ව පාවා දුන්න බව සිතුවෝය.

එහෙත්, ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහු වෙත පැමිණ, ඔහු ගොසින් මිදියන්වරුන් විනාශ කරන පිණිස ඔහුව ශක්තිමත් කර ධෛර්යයමත් කළේය.

[14] ස්වාමීන්වහන්සේ ඔහු දෙස බලා: නුඹේ මේ බලවත්කමින් ගොස් මිදියන්වරුන් අතින් ඉශ්‍රායෙල් ගළවන්න. මා නුඹ යැවුවා නොවේදැයි කීසේක.

උන්වහන්සේ ඔහුට ශක්තිය ලබාදී මුළු සතුරු සේනාවම පරාද කරවීමට හැකියාව ලබා දුන් සේක.

[15] ඔහු උන්වහන්සේට කථාකොට: අහෝ, ස්වාමිනි, කුමකින් මම ඉශ්‍රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමියි කීවේය.

ගිඩියොන් කී දේ නොව දෙවියන්වහන්සේ දුටුවේ ඔහු තුළින් උන්වහන්සේට කළ හැකි දේය.

ගිඩියොන් ඔහුට එය කළ හැකි යැයි නොසිතූ අතර නිදහසට කරුණු ඉදිරිපත් කළේය, “මගේ පවුල දුප්පත්, මම මගේ පියාගේ නිවසේ අඩුම තැනැත්තාය.”

අපේ තත්වය දෙවියන්වහන්සේ දන්නා සේක

[16] ස්වාමීන්වහන්සේද: සැබවින් මම නුඹ සමඟ සිටින්නෙමි, නුඹ එක්කෙනෙකුට මෙන් මිදියන්වරුන්ට පහරදෙන්නෙහියයි ඔහුට කීසේක.

දෙවියන්වහන්සේ අප සමඟ සිටිනවා නම් අප ඉතා බලවත් අයයි.

අපි එකතු වී එක්කෙනෙකු මෙන් දේව මෙහෙවරෙහි යෙදෙමු.

ඔබ තුළින් බලවත් දේවල් කරන්න උන්වහන්සේට අවශ්‍යයි.

ඒ පිණිස ඔබේ කීකරුකම උන්වහන්සේ බලාපොරොත්තු වන සේක.

ඔබ නිදහසට කැරුණු කීම නවත්වා දැමිය යුතුයි.

ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් මට සියල්ල කළ හැකි වේ, ඒ පොරොන්දු අල්ලා ගෙන ඉදිරියට යමු.


Watch the Sermon Video

Read 360 times