+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

භයාදුකමට විරුද්ධව ඔබ නැගී සිටින්න - යෝෂා මනූ
November 26, 2023 Sunday Sermon Notes


ස්වාමීන්වහන්සේ යහපත්ය, උන්වහන්සේ ඉතා යහපත්ය.

දෙවියන්වහන්සේගේ වචනයෙන් උන්වහන්සේ අපව ස්ථීර කරන සේක.

උන්වහන්සේ යහපත් යයි ප‍්‍රකාශ කරන්න අපට අපහසු නොවේ, යමෙක් දෙවියන්වහන්සේ යහපත්යැයි ප‍්‍රකාශ කරන කල අපට එයට ‘’ආමෙන්’’ යැයි කියමින් එකඟ විය හැකිය.

මන්ද උන්වහන්සේ කිසිදිනක අපව අත්නාරින, බොරු පොරොන්දු නොදෙන තැණැන්වහන්සේ නිසාය.

උන්වහන්සේ පවසන දේ උන්වහන්සේ ඉෂ්ට කරන සේක.

උන්වහන්සේට කළ නොහැකි දෙයක් නැත.

කාලය ගත වුණත් ඔබ අදහා ගෙන සිටීම තුළින් උන්වහන්සේ ඒ දේ අනිවාර්යයෙන්ම ඔබට දෙන සේක.

අපට මුහුණ දෙන්නට සිදුවන අවස්ථාවන්ට, අප භය නොවිය යුතුය. මන්ද භය වුවහොත් භයවෙන දෙයම සිදුවේ. (යෝබ් 3:25)

දෙවියන්වහන්සේගේ වචනයෙන් උන්වහන්සේ නිතරම පවසන්නේ ‘’භය නොවෙන්න, නොකැලඹෙන්න, දෙවියන්වහන්සේ ඔබ සමඟයි’’ කියාය. (යෙසායා 41:10)

භයාදුකමට විරුද්ධව ඔබ නැඟී සිටිය යුතුයි.

යාච්ඤාවෙන් බොහෝ දේවල් වෙනස් කළ හැකිය.

අපගේ දෙවියන්වහන්සේ හාස්කම් කරන්නාවු තැණැන්වහන්සේය. සුවකරන්නාවු දෙවියන්වහන්සේය.

වෛද්‍යවරුන් කුමන වාර්තා ඉදිරිපත් කළද යේසුස්වහන්සේගේ ලේ වලින් අපට සුවය ඇත.

1 පේත‍්‍රැස් 2:24
[24] අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාල වලින් නුඹලා සුවකරනු ලැබුවහුය.

භයට ඉඩ නොදී එයට විරුද්ධව සිටින්න.

ගිඩියොන් සිටියේ වැරදි ස්ථානයකයි. ඔහු මිදියන්වරුන්ගෙන් සැඟවීමට, භයෙන් තිරිඟු මඩිමින් සිටි අතරතුරයි දේව දූතයා ඔහුට කථා කලේ.

විනිශ්චයකාරයන්ගේ පොත 6:12
[12] ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට පෙනී: ධෛර්යමත් බලවත් මනුෂ්‍යය, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීය.

මිදියන්වරුන් ඉශ‍්‍රායෙල් වරුන්ට විරුද්ධව පැමිණෙන ලදි. (විනිශ්චයකාරයා 6:1-6)

මිදියන්යවරුන්ට භයෙන් සිටි ගිඩියොන්ව ස්වාමීන්වහන්සේගේ දූතයා ධෛර්යමත් කරන ලදි.

අපි ධෛර්යමත්ව, බලවත්ව සිටින සෙනඟක්ය.

ස්වාමීන්වහන්සේ අප සමඟ සිටින සේක.

ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට පැවසුවේ ‘’නුඹේ බලවන්තකමින් ගොස් මිදියන්වරුන් අතින් ඉශ‍්‍රායෙල් සෙනඟ ගළවන්න’’ කියාය.

විනිශ්චයකාරයන්ගේ පොත 6:14
[14] ස්වාමීන්වහන්සේ ඔහු දෙස බලා: නුඹේ මේ බලවත්කමින් ගොස් මිදියන්වරුන් අතින් ඉශ්‍රායෙල් ගළවන්න. මා නුඹ යැවුවා නොවේදැයි කීසේක.

දෙවියන්වහන්සේ ගිඩියොන් වෙතට ආවේ ඔහු තුළින් සම්පූර්ණයෙන්ම මිදියන්වරුන්ව විනාශ කරන පිණිස ඔහුව තෝරා ගැනීමටය.

විනිශ්චයකාරයන්ගේ පොත 6:16
[16] ස්වාමීන්වහන්සේද: සැබවින් මම නුඹ සමඟ සිටින්නෙමි, නුඹ එක්කෙනෙකුට මෙන් මිදියන්වරුන්ට පහරදෙන්නෙහියයි ඔහුට කීසේක.

නමුත් ගිඩියොන් භයව සිටි හෙයින්, නිදහසට බොහෝ හේතු කාරනා කියන ලදි. (විනිශ්චයකාරයන්ගේ පොත 6:15-23)

ඔහුගේ භයාදුකමේ චරිතය නිසා දෙවියන්වහන්සේම ඔහුට සෙනඟක් තෝරා දුන් සේක. (විනිශ්චයකාරයන්ගේ පොත 7:1-8)

ගිඩියොන් දෙවියන්වහන්සේම ඔහුට තෝරා දුන් ඒ තුන්සිය දෙනෙක් වූ සෙනඟ සමඟ මිදියන්වරුන්ගෙන් සම්පූර්ණයෙන්ම ජය ලැබුවේය. (විනිශ්චයකාරයන්ගේ පොත 7:9-25)

සාවුල් රජුගේ පුත‍්‍රවූ යොනාතාන්ට තනිව ගොස් ඔවුන්ගේ සතුරු හමුදාව වූ පිලිස්තිවරුන් ගැන සෝදිසි කිරීමට අවශ්‍ය වුණි.

ඔහු තම ආයුධ ගෙන යන තරුණයාට පැවසුවේ ‘’අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු’’ කියාය.

1 සාමුවෙල් 14:6
[6] යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත.

අචර්මඡේදිතයන් යනු ගිවිසුමක් නැති සෙනඟක්ය.

මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය.

සාවුල් රජතුමා සහ ඔහුගේ මුළු සේනාවම පිලිස්තිවරුන්ට භයෙන් සිටියදී, දාවිත් දෙවියන්වහන්සේගේ වචනයෙන් පූර්ණ වී, ගොලියත්ව පරාජය කර, මුලු සතුරු හමුදාවම විනාශ කර දැමුවේය. (1 සාමුවෙල් 17 පරිච්ඡේදය)

එලෙස එක මනුෂ්‍යයෙක් කරණකොටගෙනද, බොහෝ පිරිසක් කරණකොටගෙනද ඉශ‍්‍රායෙල් සෙනඟ නිදහස් කර ගැනීමට දෙවියන්වහන්සේට පුළුවන.

ඔබ සමහර විට කියනවා ඇති ‘’මම තනිවම, මගේ නිවසේ මම පමණයි ගැළවීම ලබා තිබෙන්නේ’’ කියලා, නමුත් භය නොවන්න, දෙවියන්වහන්සේ ඔබ සමඟයි, උන්වහන්සේගේ මුලු සේනාවම ඔබ සමඟය.

ඔබ ‘’තනියි’’ කියා කිසිදා ප‍්‍රකාශ නොකරන්න.

පිලිස්තිවරුන්ගේ සේනාව වෙත ගිය යොනාතාන් හා ඔහුගේ සහකාර සේවකයා ඔවුන්ට පහර දී ජය ගන්නා ලදි. (1 සාමුවෙල් 14:7-16)

දෙවියන්වහන්සේ සිරියවරුන් අතින්ද ඉශ‍්‍රායෙල් මුදවන ලදි.
(2 රාජාවලිය 6:8-17)

සිරියාවේ රජතුමා සිටියේ නිතරම ඉශ‍්‍රායෙල් සෙනඟට කරදර කරමින්ය.

ඔහු ඒ සෙනඟ විනාශ කරන ආකාරය ගැන බලමින් සිටියේය.

නමුත් ඔහු කොපමණ හොඳින් සැළසුම් කළද, ඔහු ඒ ස්ථානයට යන විට ඉශ‍්‍රායෙල් සෙනඟ හැම විටම ඔහුගෙන් බේරී පලා යන්නෝය. (2 රාජාවලිය 6:9-10)

මෙය රජතුමාට ප‍්‍රශ්නයක් විය, මන්ද ඔහුගේ සෙනඟ අතරෙහි ඔත්තුකාරයෙක් ඇති බව ඔහු සැක කළේය. (2 රාජාවලිය 6:11)

නමුත් එක් මනුෂ්‍යයෙක් පැමිණ ඉශ‍්‍රායෙල් සෙනඟ අතර සිටින එලීෂා නම් අනාගතවක්තෘවරයා ගැන ඔහුට දන්වනලදි, රජතුමා ඇතුළු කාමරයේ සැලසුම් කරන දේවල් ඔහු දෙවියන්වහන්සේ තුළින් දැනගෙන සිය සෙනඟට එය දන්වන බව ප‍්‍රකාශ කරන ලදි. (2 රාජාවලිය 6:12)

සිරියාවේ රජ කෝප වී ඒ අනාගතවක්තෘවරයාව අල්ලා ගැනීමට සිය සේනාව පිටත් කර එවන ලදි. (2 රාජාවලිය 6:13-14)

එලිෂාට ‘’ගෙහාසි’’ නම් වැඩකාරයෙක් විය, ඔහුට කිසිම ඇදහිල්ලක් තිබුණේ නැත, ඔහු නිතරම සිටියේ භයෙන්ය.

2 රාජාවලිය 6:15
[15] දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා අලුයම නැගිට පිටතට ගිය කල හමුදාවක් අශ්වයන් හා රථ ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේය. එවිට ඔහු: අහෝ ස්වාමිනි, අපි මක්කරමුදැයි ඔහුට කීය. [16] ඔහුද: භයනොවන්න, මක්නිසාද ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝයයි කීවේය.

සිරියේ රජ මෙතරම් මහත් හමුදාවක් එව්වේ එක මනුෂ්‍යයෙකු අල්ලා ගැනීමටය.

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා තම සේවකයාවු ගෙහාසිට පැවසුවේ ‘’භය නොවන්න, මන්ද ඔවුන් සමඟ සිටින හමුදාවට වඩා අපගේ හමුදාව මහත් බවයි.”

ගෙහාසි දුටුවේ සතුරු හමුදාවයි, ඔහුට එලීෂාගේ වචනය විශ්වාස කළ නොහැකි විය.

[17] එවිට එලිෂා යාච්ඤාකොට: ස්වාමීන්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් පැහැදුවමැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ තරුණයාගේ ඇස් පැහැදූසේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.

දෙවියන්වහන්සේගේ උන්වහන්සේගේ මහත් හමුදාව දකින පිණිස ගෙහාසිගේ ඇස් පැහැදූ සේක.

දෙවියන්වහන්සේගේ දේව දූත සේනාව දුටු විට එය සිරියාවේ රජතුමාගේ සේනාවට වඩා මහත් බව ඔහු දුටුවේය.

නොපෙණෙන තලයේ ඔබ වෙනුවෙන් ක‍්‍රියාත්මක වන දේව දූතයන් පිරිසක් සිටින්නේය.

ඔබ තනි වෙන්න පුළුවන්, නමුත් භය නොවෙන්න. ගණනින්, සංඛ්‍යාවෙන්, තරමින්, ප‍්‍රමාණයෙන් දෙවියන්වහන්සේව සීමා කිරීමට ඔබට නොහැක.

ඔබ දෙවියන්වහන්සේව සීමා නොකරන්න. ඔබ කොතැන සිටියත් දෙවියන්වහන්සේගේ ආරක්ෂාව ඔබ සමඟය.

බොහෝ දෙනෙකු සමඟ හෝ කීහිප දෙනෙකු සමඟ ඔබට ජය දෙන්න දෙවියන්වහන්සේට හැකි වන්නේමය.


Watch the Sermon Video

Read 397 times