+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අප මෙපමණ මහත් ගැළවීමක් නොසලකා හරින්නේ කෙසේද? - මනූ මැතානි
November 26, 2023 Sunday Sermon Notes

 

සැබවින්ම අපේ දෙවියන්වහන්සේ හාස්කම් කරන දෙවියන්වහන්සේය.

උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටීම පවා විශාල හාස්කමකි.

ඒ තුළින් අපටත් දෙවියන්වහන්සේගේ දරුවන් හැටියට නැවත නැඟිටීමට පුළුවන්කම ලැබී තිබේ.

අපේ ගැළවීම විශාල හාස්කමකි.

යේසුස්වහන්සේ වෙතට පැමිණි ආගමික නායකයන් කීවේ ‘’අපට හාස්කමක් පෙන්වන්නට’’ කියාය, යේසුස්වහන්සේ ඔවුන්ට පෙන්වා දුන්නේ යෝනාගේ හාස්කමය. යෝනා මත්ස්‍යයාගේ බඩේ සිටියා හා සමානව මනුෂ්‍ය පුත‍්‍රයා දින 3ක් පොළෝ ගැබෙහි සිටින බව ප‍්‍රකාශ කළ සේක. (මතෙව් 12:38-40)

අපේ ගැළවීම උතුම්, වටිනා එකක් බව අපි තේරුම් ගත යුතුයි.

ඔබේ ගැළවීම නොසලකා නොහරින්න. (හෙබ්‍රෙව් 2:3)

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ඔබව ගළවා ඇත, ඔබේ ජීවිතයේ උතුම්ම හාස්කම එයයි.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිට ඔබවත් ජීවත් කරවීම විශාල හාස්කමකි. ‭‭

මෙම උතුම්වූ ගැළවීම අප නොසලකා හරී නම්, අප ගැළවෙන්නේ කෙලසද?

හෙබ්‍රෙව්‬ ‭2:3‬ ‭
[3] පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?

ඔබට ලැබී තිබෙන්නේ පාපයට කමාව පමණක් නොවෙයි, ඔබව ස්වර්ගයේ පුරවැසියෙක් කර ඇත, දෙවියන්වහන්සේගේ පවුලට ඔබව පිළිගෙන තිබේ.

අපි උන්වහන්සේගේ පවුලට අයත් නිසා ‘’දෙවියන්වහන්සේ’’ කියන වචනයට වඩා ඉහළ ගිවිසුමේ වාක්‍යයක් තිබේ, එනම් ‘’ස්වර්ගයේ වැඩ වාසය කරන මාගේ පියාණන්වහන්සේ’’ කියාය.

පුත‍්‍රවූ යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔබත් මමත් දෙවියන්වහන්සේගේ පුත‍්‍රයන් විය.

ඔබ දෙවියන්වහන්සේගේ වහලෙක් නොවේ, දේව දූතයෙක් නොවේ, උන්වහන්සේගේ පුත‍්‍රයෙකි.

දෙවියන්වහන්සේගේ පවුලට මා ඇතුලත් කර ඇත, ඒ වචනයෙන්, කුණු නොවෙන බීජයෙන් මම නැවත ඉපදී සිටියි.

අපගේ උපත පුදුමාකාරය, මන්ද අප මේ ශරීරයේ සිටින ගමන්ම අභ්‍යන්තරයෙන් අපට උපතක් ලැබී ඇත. එය විශාල හාස්කමකි.

මෙම ගැළවීම සත්‍යයයි, එය සුළු නොකළ යුතුය, එය ඉතා වැදගත්ය, එමඟින් අපේ ජීවිත ගමනද, අපේ කථා විලාශයද, අප සිතන දේවල්ද, අපේ සම්බන්ධකම්ද, වෙනස් වේ.

අපි මනුෂ්‍යයන් සමඟ ඕපාදූප නොව, ශුභාරංචියේ වචනයම කථා කරමු.

ගැළවීම තුළින් දෙවියන්වහන්සේ අපට දී තිබෙන්නේ පාපයට කමාව පමණක් නොවේ, ඒ තුළින් උන්වහන්සේ අපේ ගල් සිත ඉවත් කර, උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය ඇතුල් කර තිබේ.

උන්වහන්සේ සමඟ අපව එක් කර තිබේ.

දෙවියන්වහන්සේ මැවූ පළමු ආදම් ඔහුගේ ජීවිතය වරද්ද ගත්තේය. නමුත් ‘’දෙවෙනි ආදම්’’ නොහොත් ‘’අන්තිම ආදම් වූ යේසුස්වහන්සේ’’ වරද්ද ගත්තේ නැත.
‭‭
උන්වහන්සේ කුරුසිය දක්වා විශ්වාසවන්තව, පළමු ආදම් කළ ද්‍රෝහීකම, ඒ පාපිෂ්ට ක‍්‍රියාව, අකීකරුකම සම්පූර්ණයෙන්ම නිවැරදි කර දෙවියන්වහන්සේට ප‍්‍රසන්න වූ කාරණාවක් කරමින් මළවුන්ගෙන් නැඟිටිනු සේක.

1 කොරින්ති‬ ‭15:45‬ ‭
[45] එසේම: පළමුවෙනි මනුෂ්‍යයාවූ ආදම් ජීවමාන ප්‍රාණයක් වුණේයයි ලියා තිබේ. අන්තිම ආදම් ජීවනදායක ආත්මයක් විය.

අපි ‘’මාගේ ස්වාමිනී, මාගේ දෙවියනී’’ යයි උන්වහන්සේට හඬගැසූ විට උන්වහන්සේ අපගේ යාච්ඤාවට පිළිතුරු දෙන සේක.

දෙවියන්වහන්සේ තුළ ගැළවීම ලබා ගත් මනුෂ්‍යයන් ලෙස අපි වෙනස් අය වෙමු.

සමහර ගැළවීම ලැබූවන්ගේ ජීවිත වල වෙනසක් අපි නොදකිනවා ඇත, නමුත් කවුරු කුමනාකාරයෙන් ජීවත් වූවත් අප අපේ ජීවිතය සෝදිසි කර බැලිය යුතුයි, මගේ ඇදහිල්ල ගැන මා සෝදිසි කර බැලිය යුතුයි.
‭‭
2 කොරින්ති‬ ‭13:5‬ ‭‬‬
[5] නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්ෂාකර බලන්න; නුඹලාවම සෝදිසිකර බලන්න. නොහොත්, නුඹලා එපා කරනලද තැනැත්තෝ නොවෙත් නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළෙහි වසන බව නුඹලාම නොදනිවුද?

අපි ඇදහිල්ලෙන් ගැළවීම ලැබූ අදහන සෙනඟක්ය, දෙවියන්වහන්සේගේ දේ සුළු කරන හිතුවක්කාර සෙනඟක් නොවෙමු.

අපි උන්වහන්සේගේ අනර්ඝ ලෙයින් ශුද්ධ පවිත‍්‍ර වී, ස්වාමීන්වහන්සේ තුළ නව මැවිල්ලක් වී සිටින ශුද්ධවන්ත
සෙනඟ වන්නෙමු.

අපගේ විශ්වාසය තිබෙන්නේ දෙවියන්වහන්සේ කෙරෙහිය. අප අපගේ ඇදහිල්ල විභාග කර බැලිය යුතුය.

ඇදහිල්ල යන වචනය බයිබලයෙන් බලන කළ එය ‘’යේසුස්වහන්සේ කෙරෙහී ඇදහීමයි’’.

අපි උන්වහන්සේව අදහන්නේ උන්වහන්සේ අප වෙනුවෙන් පාප පූජාවක් වී දිවි පිදූ නිසයි.

යක්ෂයාට තිබූ මරණයේ බලය යේසුස්වහන්සේ කුරුසියේදී සම්පූර්ණයෙන්ම විනාශ කළ සේක,

යක්ෂයෙකුට භය වෙන්න ඔබට කොහොත්ම අවශ්‍ය නොවේ.

මන්ද ඒ භයාදුකමේ ආත්මයෙන් උන්වහන්සේ අපව නිදහස් කර ඇති නිසාය.

භිය සහ ඇදහිල්ල එක හා සමාන නොවෙයි, ඒ දෙකම හාත්පසින්ම වෙනස්.

ඔබ තුළ ඇත්තේ ප්‍රේමයයි, වෛරයට ඔබ තුළ ඉඩක් නැත. වෛරය සහ ප්‍රේමය එකට ගමන් නොකරයි.

ඔබේ ගැළවීම ගැන ස්ථීර භාවයක් ඇතිව සිටියහොත් පමණයි ඔබට එය වෙනත් කෙනෙකු හා බෙදා ගත හැකි වන්නේ.

ඔබට ගැළවීම ගැන ස්ථීරභාවයක් නොමැති නම්, ඒ පිළිබඳ අපහැදිලි භාවයක් ඇතිනම්, එයින් අදහස් වන්නේ ඔබ ගමන් කරන්නේ වැරදි මාර්ගයේය.

අපට තිබෙන්නේ ඉවසීමෙන් හා ඇදහිල්ලෙන් ආත්මික ගමනක් ගමන් කරන්නටය. හැඟීම්බර හා පෙනීමේ අනුව ගමන අපට අයත් නොවේ.

ගැළවීම ලැබූ පසු අප ගමන් කරන්නේ ඇදහිල්ලෙන්ය, ආත්මිකවය. අප ජීවත්වන්නේ ඉවසීමෙන් කටයුතු කරමින්ය.

ඔබේ හැඟීම් වලට ඔබට කතා කරන්නට ඉඩ නොදෙන්න.

ඔබේ ජීවිතය උන්වහන්සේ සහමුලින්ම, සම්පූර්ණයෙන්ම පරිවර්ථනය කර ඇත.

පාපයට කමාව පමණක් නොවෙයි අප දැන් නව මැවිල්ලක්ය. වතුර බව්තිස්මයේදී අපගේ පරණ මනුෂ්‍යයා වළ දැමු බව අප විශ්වාස කළ යුතුය. එම ස්ථානය අපගේ සුසාන භූමියයි.

ඔබ තුළ දැන් ජීවත් වෙන්නේ පරණ මනුෂ්‍යයෙකු නොවෙයි, ඔබ තුළ ජීවත් වන්නේ ක්‍රිස්තුස්වහන්සේය.

ස්වාමීන්වහන්සේ ඔබට සියලුම ආශීර්වාද තබා තිබෙන්නේ ඔබගේ ගැළවීම තුළයි.

ගැළවීම තුළ උන්වහන්සේ තබා තිබෙන ගිවිසුම තුළ ඔබට සුවය තිබේ.

ගලාති‬ ‭2:20‬ ‭
[20] මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.

පෙනීමෙන් ජීවත්වන්නා ගැළවීම ගැන කලකිරීමට පත්වේ. ඔහුට ගැළවීම ගැන විශ්වාසයක් නැත. සැකසහිත සිතුවිලි ඇතිව ජීවත්වෙයි.

සියලු ආශීර්වාද ඇදහිල්ලෙන් හා ඉවසීමෙන් ඔබට තිබේ.

ගැළවීම තුළ ලැබී ඇති අපේ උරුමය ලබා ගත හැකි වන්නේ ඇදහිල්ලෙනි.

මනුෂ්‍යයන්ට ගැළවීම ගැන නිර්භීතකමක්, විශ්වාසයක් නැතිව සිටින්නේ ඒ ගැන ඔවුන් නොදැන සිටීම නිසයි.

බයිබලයේ පවසන්නේ උන්වහන්සේගේ සෙනඟ විනාශ වීමට හේතුව නොදැනුවත්කම නිසා බවයි. (හොෂෙයා 4:6)

ඔබ ගැළවීම ලබා ගත් පසු ඔබට දෙවියන්වහන්සේගේ දැනුම අවශ්‍යවේ. උන්වහන්සේගේ දේවල් දැන ගන්නා පිණිස උන්වහන්සේ ඔබට වචනය උගන්වයි.

අපට පෙන්නුම් කර දීමට දෙවියන්වහන්සේට බොහෝ දේවල් ඇත.

දෙවියන්වහන්සේගේ බොහෝ කාරණා දැන ගන්නා පිණිස අපට ශුද්ධාත්ම බලය අවශ්‍ය වේ.

අන් භාෂාවෙන් කතා කිරීමෙන් දෙවියන්වහන්සේ අපට බොහෝ දේවල් වටහා දෙනසේක. එපමණක් නොව එහි පරිවර්ථනයෙන් දෙවියන්වහන්සේගේ රහස් උන්වහන්සේ අපට එළිදරව් කරයි.

ඔබ අන් භාෂාවෙන් කතා කිරීම ඉතා වැදගත්ය.

අන් භාෂාවෙන් කථා කිරීම සුළු නොකරන්න.

‭‭හිතෝපදේශ‬ ‭13:13‬ ‬‬
[13] දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි.

දේව වචනය සුළු කිරීමෙන් ඔබේ ගැළවීම තුළ කිසිදු ආශීර්වාදයක් ඔබට ලබා ගත නොහැකි වනු ඇත.

යක්ෂයා සහනය සොයන්නේ ඔබේ මනස තුළයි.

මනුෂ්‍යයෙකුගෙන් යක්ෂයෙක් දුරුවී ගිය විට ඌ වියළි ස්ථාන සොයා ගොස් නැවත පෙරළා පරණ නිවසට පැමිනේ, එය ශුද්ධ පවිත‍්‍ර කර, හිස්ව තිබුණහොත් නැවත ඌ එම මනුෂ්‍යයාට, ඔහුගේ මනස හා ශරීරයට වධදෙන පිණිස හැරී එන්නේමය.
(මතෙව් 12:43-45)

යක්ෂයාට පුළුවන්කම ඇත්තේ ඔබගේ ශරීරයට හා මනසට වධ වේදනාව ගෙන ඒමට පමණකි.

යක්ෂයා ඔබ තුළින් සහනය සොයා ගත් විට ඔබ අසහන තත්වයට පත් වනු ඇත.

යක්ෂයාට ඔබගේ මනස තුළ ඇති කරන සිතුවිලි තුළින් ඔබට ගැළවීම ගැන අවබෝධය නැතිවී යයි. සියල්ලෝම බොරුකාරයන් යන හැඟීම ඔබ තුළ ඇතිවේ.

ඔබේ සිත පාලනය කිරීමට යක්ෂයාට ඉඩ නොදෙන්න.

අපගේ මනස, සිතුවිලි සකසා ගත යුතුයි.

සතුරාගේ දේවල් අසමින් දෙවියන්වහන්සේ දී ඇති හික්මවීමේ මනස සුළු කර නොගත යුතුයි.

ස්වාමීන්වහන්සේ බලහත්කාරයෙන් කිසි දෙයක් අප තුළ කරන්නේ නැත.

උන්වහන්සේ ඔබේ සිත නමැති දොරටුවට තට්ටු කරමින් සිටින සේක.

අපගේ සිත උන්වහන්සේට විවෘත කර, දෙවියන්වහන්සේට අවනතව ජීවත් වූ විට අපි කිසිවිටෙක වියවුල් තත්වයට පත් නොවන්නෙමු.

දෙවියන්වහන්සේ වියවුල්කමේ දෙවි කෙනෙකු නොවේ, නමුත් සමාදානයේ දෙවියන්වහන්සේය.

‭‭1 කොරින්ති‬ ‭14:33‬ ‭
[33] මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.

උස්පහත් වන ජීවිතයක් නොව දිනපතා මහිමයෙන් මහිමයට, ඇදහිල්ලෙන් ඇදහිල්ලට, ආශීර්වාදයෙන් ජීවත් වන ජීවිතයක් තෝරා ගත යුතුය.

ආශීර්වාදයෙන් හා ශාපයෙන් ජීවත් වීම අප තෝරා ගත යුතුයි.

අපගේ ජීවිතයේ ආශීර්වාදය කරා ගෙන යාමට අපගේ සිතුවිලි අදහස්, ප‍්‍රකාශන, ගමන් බිමන්, විශ්වාස කරන දේ, ආරංචි තොරතුරු තෝරා ගැනීම අපි කළ යුතුයි.

දෙවියන්වහන්සේ බලෙන් අපට ආශීර්වාදය දෙන්නේ නැත.

‭‭යෙසායා‬ ‭1:19‬ ‭
[19] නුඹලා කැමැතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය.

ඔබගේ පොරොන්දු දේශය නම් ඔබේ කීකරුකම සහ ඔබේ කැමැත්තයි.

‭‭සඵලවත් වීමට සියල්ලන්ම කරන දේ ඔබත් නොකළ යුතුයි.
‭‭
හිතෝපදේශ‬ ‭10:22‬ ‭
[22] ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.

ඔබේ ආශීර්වාදය මුදල් නොව දෙවියන්වහන්සේය. ඔබේ මුදල් වලට ආශීර්වාද කරන්නේ උන්වහන්සේය.

අශුද්ධව නොව ශුද්ධකමට ජීවත් විය යුතුයි.

ගීතාවලිය‬ ‭73:3-4‬
‭[3] මක්නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධිය දුටු කල, අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යාකෙළෙමි. [4] මක්නිසාද ඔවුන්ගේ මරණයේදී වේදනා නැත. ඔවුන්ගේ ශක්තිය ස්ථිරය.

නපුරු, අපවිත‍්‍ර මනුෂ්‍යයන්ගේ සඵලත්වය ගැන ඊර්ෂ්‍යා නොවිය යුතුයි.

‭‭ගීතාවලිය‬ ‭127:2‬ ‭
[2] වේලාසනින් නැගිටීමත්, බොහෝ රෑවෙනකල්ම නිවාඩු නොගැනීමත්, වෙහෙසව සපයාගත් භෝජන බුදීමත් නුඹලාට නිෂ්ඵලවේ. මක්නිසාද උන්වහන්සේ තමන් ප්‍රිය තැනැත්තාට එසේ නින්ද දෙනසේක.

සුව නින්ද පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය.

යහපත් වචන, දෙවියන්වහන්සේ ප‍්‍රසන්න වචන කථා කරමින් සිටිමු.

අපට ලැබී ඇති සුව නින්ද ගැන, ලැබී ඇති ආශීර්වාදය ගැන, සුවය ගැන, දේව කැමැත්ත කරමින් ජීවත් වීමට දී ඇති නිදහස, ශුභාරංචියේ වචනය කථා කිරීමට අපව භාජනයක් ලෙස පාවිච්ච් කිරීම ගැන දෙවියන්වහන්සේට ස්තූති කළ යුතුය.

අපි නිදහසින්, ආශීර්වාදයෙන් උතුරා යමින් ජීවත් වීම දෙවියන්වහන්සේගේ කැමැත්තය.

අප ජීවත්ව සිටියේ මරණයේය, උන්වහන්සේව පිළිගත් පසු අප ජීවනයට ඇතුල් වී සිටියි.

අපට මරණය අයිති වන්නේ නැත.

යේසුස්වහන්සේ ඔබ වෙනුවෙන් එකම එක වතාවයි මැරුණේ, උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිට උන්වහන්සේ ඔබට ජීවනය දී ඇත.

යොහන්‬ ‭5:24‬ ‭
[24] සැබවක් සැබවක් නුඹලාට කියමි-මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.

මරණය තුළ සිටි අප මරණය පසු කර දැන් ජීවනයට ඇතුල් වී සිටියි.

මරණය, අසහනය, ගැළවීමක් නොමැතිව, නොවටිනාභාවයෙන්, ශෝකයෙන්, බලාපොරොත්තු විරහිතව, වියවුල්තාවයේ, ගැළවීමෙහි ස්ථීර භාවයක් නොමැතිව සිටි අප දැන් ඒ සියල්ල අතහැර ජීවනයට පැමිණ සිටියි.

එය නිකම්ම ‘’හුස්මක්’’ පමණක් නොව දෙවියන්වහන්සේගේ ඝණයේ ජීවනයකි.

එනම් අධික බහුලත්වයේ, කිසිදා නොමැරෙන ජීවනයක් අපට ඇත.

මරණයේදී අපි තවත් ඉහළට යාමක්, දෙවියන්වහන්සේව මුහුණට මුහුණ දැකීමට යාමක් සිදුවේ.

මාංශයත්, රුධිරයත් දේව රාජ්‍යය උරුම කර ගන්නේ නැති බව බයිබලය පවසයි. (1 කොරින්ති 15:50)

අපි මාංශයෙන් සිටියදී පොළොවට සීමා වී සිටියි.

මන්ද අපි පොළොවේ සාක්ෂිකාරයන්ය.

අපි අමරණීයභාවයෙන් ජීවත් වන්නේ.

සියලු දේට භය වීම නැවැත්විය යුතුය.

‭‭2 තිමෝති‬ ‭1:7‬
[7] මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

යක්ෂයාට භයව, වැද නමස්කාර නොකළ යුතුයි.

ගැළවීම ලැබූ අයගේ ලකුණ නම් යක්ෂයන් දුරු කිරීමයි.

පරණ ගිවිසුමට වඩා අළුත් ගිවිසුම තුළ යක්ෂයාගේ ක‍්‍රියාකාරීත්වය පැහැදිලිව දැකගත හැකි වූයේ යේසුස්වහන්සේගේ පැමිණීම නිසාය.

යේසුස්වහන්සේ ප‍්‍රකාශ වූයේ යක්ෂයාගේ ක‍්‍රියා විනාශකරන පිණිසය.

‭‭1 යොහන්‬ ‭3:8‬ ‭
[8] පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය.

අන්ධකාරයේ ජීවත්වෙන්නන් ආලෝකයට අකමැතිය.

අපි ආලෝකයේ ජීවත් වන දරුවන්ය.

‭‭මාර්ක්‬ ‭16:17‬
[17] අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;

අපි අකීකරුකමේ ජීවත් වන්නේ නම් යක්ෂයාට අපේ මනස හා ශරීරයට බලපෑම් ඇති කළ හැකියි.

අදහන සියලු දෙනාට යක්ෂයන් දුරු කළ හැකිය.

ශෝකය, ඔබට දොස් තබන නපුරු ආත්මයක්ය.

දෝෂාරෝපණයෙන් ඔබව නිදහස් කර ඇත.

යොහන් 5:24
ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.

විනිශ්චය යනු දෝෂාරෝපණයට ලක් වීමයි.

කුමන හේතුවක් නිසාවත් දෝෂාරෝපණයට පත් නොවෙන්න, උන්වහන්සේ ඔබව නිදහස් කර ඇත.

අපේ අතින් වැරුද්දක් සිදුවූ කල, එය කියාදී, සමාව ඉල්ලමින්, දෙවියන්වහන්සේ දුන් සමාව භාරගත යුතු මිස, අපි අපටම දොස් තබා ගනිමින් ජීවත් නොවිය යුතුයි.

ආත්මයාණන්වහන්සේ අපගේ විනිශ්චයකරු, මඟ පෙන්වන්නා සහ අපට උපදෙස් දෙන තැණැන්වහන්සේය.

මාංශයේ හඬට සවන් නොදී ආත්මයෙන් තීරණ ගැනීමෙන් ඔබට කවදාවත් දොස් පැවරීමක් සිදු නොවනු ඇත.

දෙවියන්වහන්සේගෙන් අප යම් දෙයකට සමාව ලබා සිටියදී නැවත නැවතත් එය අල්ලා ගෙනම සිටීම, එය මතක් කරදීම උන්වහන්සේට අකමැති දෙයකි.

අපි ජීවත්වෙන්නේ දෙවියන්වහන්සේගේ වචනය නමැති ව්‍යවස්ථාව යටතෙහිය.

පරණ ගිවිසුමෙහි වේවා, අලුත් ගිවිසුමෙහි වේවා ලියා තිබෙන දේව වචනය, සත්‍යය වචනය ලෙස අපේ නව ජීවිතයට පිළිගත යුතුයි.

හෙබ්‍රෙව් 10:17-18
ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමියි කියනසේක. ඉඳින් ඒවාට කමාව තිබෙන තැන, පාපය ගැන පූජා ඔප්පුකිරීමක් තවත් නැත.

දිනපතා සිදුවන වැරදි ගැන පූජාවීමක් අවශ්‍ය නැත.

අපේ අතීතයේ, වර්තමානයේ කළ වැරදි ගැන සහ අනාගතයේ සිදුවීමට යන වැරදි ගැන උන්වහන්සේ එකම එක වරක් කුරුස පත් වූ සේක.

ඔබට අවශ්‍ය යේසුස්වහන්සේගේ ලේ කෙරෙහි ඇදහීමට පමණයි.

1 යොහන් 3:5-7
පාපය නම් නොපනත්කමය. [5] පව් දුරුකරන පිණිස උන්වහන්සේ ප්‍රකාශකරනු ලැබූ බව නුඹලා දනිහුය; කිසි පාපයක්ද උන්වහන්සේ තුළ නැත. [6] යමෙක් උන්වහන්සේ තුළ පවතීද, ඔහු පව්කරන්නේ නැත. පව්කරන තැනැත්තේ උන්වහන්සේ දුටුවේවත් උන්වහන්සේ ඇඳිනගත්තේවත් නැත.

අපි දෙවියන්වහන්සේ තුළ පවතින අය වෙමු.

අත්ත මිදිවැලට බැඳී සිටින ආකාරයෙන් අපි උන්වහන්සේට බැදී සිටින නිසා අප පව් කිරීමට බලා නොසිටින අයවලුන්ය.
(යොහන් 15:4)

අපේ පාපයට සමාව ලබා අවසන්ය.

වැරදි කිරීමට ආශාවක් ඇතිව නොව, ධර්මිෂ්ඨකමින් දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කිරීමට අපි බලා සිටිමු.

[7] මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා මුළාකරන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින්නාක්මෙන් ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨව සිටියි.

ඔබ ධර්මිෂ්ඨයෙක්, ශුද්ධවන්තයෙක්, දේව දරුවෙක් බැවින් ඔබ කිසිවෙකුට මුළා නොවිය යුතුය.

1 යොහන් 3:8-10
[8] පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය.

අපි නොඇදහිල්ලෙන් සිටින නිසා තවමත් යක්ෂයා ක‍්‍රියා කරමින් සිටියි.

අප තුළ ඇත්තේ යක්ෂයාගේ ස්වභාවය නොව දෙවියන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවයයි.

අප යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහීමෙන් යක්ෂයාගේ ක‍්‍රියාව බිංදුවට හරවා තිබේ.

යක්ෂයාගේ නියම ස්ථානය ඔබේ හිස මතවත්, ශරීරය තුළවත් නොවේ, ඔබේ පාද යටයි.

ඔබව රැවටීමට යක්ෂයාට ඉඩ නොදෙන්න.

යක්ෂයා ඔබගේ මනසට ගෙනෙන සිතුවිලි පරාද කිරීමට දෙවියන්වහන්සේ ඔබට වචන දී තිබේ, එයින් ඔබේ මනස අලුත් කර ගත යුතුයි.

[9] දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව්කරන්නේ නැත, මක්නිසාද ඔහු තුළ උන්වහන්සේගේ බීජය පවතින්නේය. දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව්කරන්ට ඔහුට නුපුළුවන. [10] මෙයින් දෙවියන්වහන්සේගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවියන්වහන්සේගෙන් නොවෙයි.

ඔබ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහා ගන්නේද ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙකි,

උන්වහන්සේව අදහන සියලු දෙනාම දෙවියන්වහන්සේගේ දරුවන්ය.

ඔබ උරුමක්කාරයෙකි. ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබ හවුල් උරුමක්කාරයෙකි.

ගැළවීම ගැනවත්, බයිබලය වත්, ශුද්ධාත්මයාණන්වහන්සේ වත් සුළු නොකළ යුතුය.

‘’කිතුනුවන් බොරුකාරයන්’’ යයි යක්ෂයාගේ වචන වලට සවන් නොදෙන්න, මන්ද අවංක කිතුනුවන් ඇත.

ගීතාවලිය 68:6
[6] දෙවියන්වහන්සේ හුදකලාවූවන් පවුල්වල වස්වනසේක. හිරකාරයන් අභිවෘද්ධියට පමුණුවනසේක. නුමුත් කැරළිකාරයෝ දාගිය තැනක වසති.

මුරණ්ඩු කමින් ජීවත්වන අය වියළි භාවයෙන් ජීවත් වන අයය.

අද දවසේදී ඔබ වියළි භාවයෙන්, මුරණ්ඩු කමින්, කැරළිකාර කමින්, වියවුල්තාවයෙන් නිදහස් වන්න.


Watch the Sermon Video

Read 207 times