+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

භයාදුකමට ඉඩ නොදෙන්න - යෝෂා මනූ
December 3, 2023 Sunday Sermon Notes

 

අප නමස්කාර කරන දෙවියන්වහන්සේ ජීවමාන බව සැබවින් අප දැන සිටිය යුතුය.

ආත්මික පිබිදීමක් ඔබ තුළ තිබේනම් ඔබට වෙන කෙනෙකුට උපස්ථාන කිරීමේ හැකියාව ඇත.

ඇල්මැරුණු කෙනෙක් කිසිදා තව කෙනෙකුට ශුභාරංචිය ප‍්‍රකාශ කිරීමට නොයයි.

ඔබ පිබිදීමෙන් ජ්වලිතභාවයෙන් ආත්මිකව දෙවියන්වහන්සේ සමඟ සබඳතාවයකින් සිටින්නෙක් නම් තව කෙනෙකුට ශූභාරංචිය පැවසීමේ පිපාසයක් ඔබ තුළ ඇතිවේ.

ඔබ තුළ දෙවියන්වහන්සේ සිටී නම්, උන්වහන්සේ ඔබ තුළ ආරම්භ කළ යහපත් දේ යේසුස්වහන්සේව නාඳුනන සෙනඟ වෙතට ගොස් පවසන්න.

අපි භයාදුකමට ඉඩ නොදෙමු.

අද කාලයේ ‘’භය’’ කියන්නාවූ දෙය සෑහෙන්න පැතිරී යන්නක් සහ ශීඝ‍්‍රයෙන් ප‍්‍රචාරය වන්නක් බවට පත් වී ඇත.

අනතුරු, ආබාධ, ලෙඩ රෝග, රැකියා ප‍්‍රශ්න, ආර්ථික හිඟකම් වැනි දේ වලින් භය ඇතිවේ.

බයිබලයේ පවසන්නේ ‘’භය නොවන්න’’ කියාය.

දෙවියන්වහන්සේ පවසන්නේ, “මම ඔබගේ පක්ෂයෙහි සිටින්නේනම් භය නොවන්න” කියාය. (ගීතාවලිය 118:6-7)

බයිබලයේ විනිශ්චයකාරයන්ගේ කාලයේ සතුරු හමුදා පැමිණ දෙවියන්වහන්සේගේ සෙනඟට පීඩා කොට ඔවුන්ගේ දේ කොල්ලකා ගිය විට, දෙවියන්වහන්සේ බියෙන් සිටි උන්වහන්සේගේ සෙනඟව ගළවා මුදවන පිණිස ගිඩියොන්ව නැඟිටෙවු සේක.

ගිඩියොන් තුළින් දෙවියන්වහන්සේ, සතුරු හමුදා පරාජය කොට උන්වහන්සේගේ සෙනඟට ජය අත්පත් කරදෙන ලදි. (විනිශ්චයකාරයා 6-7 පරිච්ඡේද)

භයාදුකමට විරුද්ධව නැඟී සිටිමු.

භයාදුකමට ඉඩ නොදෙමු.

භය පැමිණෙන්නේ යක්ෂයාගෙන්ය.

භය ඇදහිල්ලට විරුද්ධ දෙයකි.

“මම භය නොවන්නෙමි. භයට ඉඩ නොදෙන්නෙමි” යන්නෙන් ඔබ තීරණය කරගත යුතුය.

එපීස 4:27 යක්ෂයාට ඉඩ නොදෙන්න (අවස්ථාවක්, ස්ථානයක්)

එපීස 4:26
[26] කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.

යක්ෂයාගේ උපාය අප තුළ කෝපය, වියවුල ඇති කරවා ඒ තුළින් අපගේ මුඛයෙන් වැරදි වචන පිට වෙන්ට සලස්වා භයක් හටගැන්වීමය. අප එයට ඉඩ නොදිය යුතුය.

භයාදුකමේ මෙන්ම කෝපයේ කර්තෘද යක්ෂයාය.

යක්ෂයා කෝපය තුළින් භයක් හටගන්වා, ඔබට තීරණයක් ගැනීමට නොහැකි දෙමනසක කටයුතු කරන්නෙකු බවට පත් කරයි.

ඔබ කොයිම අවස්ථාවකවත් යක්ෂයාට ඉඩ නොදෙන්න.

බයිබලයේ පරණ ගිවිසුම තුළ දෙවියන්වහන්සේ එක් අයෙකු පාවිච්චි කර ජය ගෙන දුන් අවස්ථා ඇත. උදාහරණ ලෙස ගිඩියොන් ලවා මිදියන්වරුන්, දාවිත් තුළින් ගොලියත්, යොනාතාන් ලවා පිලිස්තිවරුන් දැක්විය හැකිය.

මේ දේවලින් අපට පෙනී යන්නේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනඟගෙන් එක් අයෙකු හෝ පාවිච්චි කරන්නට කැමති බවය.

එයට අවශ්‍ය මූලිකම දෙය කීකරුකමයි.

දෙවියන්වහන්සේ මෝසෙස් ලවා ඉශ‍්‍රායෙල් මිසරවරුන්ගෙන් මුදවා ගත් ආකාරය අප බලමු.

යෝසෙප්ගේ කාලයේ ලොව මුළුල්ලේ හටගත් සාගතය හේතුකොට ගෙන මිසරයට ආ ඉශ‍්‍රායෙල්වරු, යෝසෙප්ට ප්‍රේම කළාවූ ඵාරාවෝ නම් රජතුමාගේ අනුග‍්‍රහය යටතේ, කලක් එහි සැපවත් ජීවිකාවක් ගත කරන ලදි (උත්පත්ති 45-47 පරිච්ඡේද)

නමුත් පසුව මිසරයේ අලුත් රජෙක් පත්වී ඔහුගේ කෲර පාලනය යටතේ ඉශ‍්‍රායෙල්වරු අවුරුදු 400 වහල් භාවයෙන් ජීවත්වුණි. (නික්මයාම 1:8-14)

ඉශ‍්‍රායෙල් පුත‍්‍රයෝ බෝවී අතිශය බලවත් සෙනඟක් වන බව දුටු ඵාරාවෝ රජ භයවී, ඔවුන්ගේ බෝවීම වැලැක්වීමට ඔවුන්ට උපදින පිරිමි දරුවන් නයිල් ගඟට විසීකර මරා දැමීමට අණ කරන ලදි. (නික්මයාම 1:15-22)

එය ඉතා දුෂ්ට යක්ෂාකාර සිතුවිල්ලකි.

මේ කාලයේ උපන් පිරිමි දරුවෙක්ව ඔහුගේ මව විසින් සඟවා හදාගන්නා ලදි. (නික්මයාම 2:1-2)

දෙවියන්වහන්සේට අප සියලු දෙනා කෙරෙහිම යම්කිසි සැලැස්මක් ඇත. උන්වහන්සේ මිසර දේශයේ ගැළවුම්කාරයෙකු ලෙස මේ දරුවාව පාවිච්චි කිරීමට තෝරාගෙන තිබූසේක.

නමුත් ඒ සැලැස්ම නොදැන සිටියත් මෙම මව, තම දරුවාව සඟවා රැකවල් කර ගන්නා ලදි.

නමුත් දරුවාව වැඩිකල් සඟවා තැබීමට නොහැකිවූ නිසා මව පන් පෙට්ටියක දරුවා දමා දෙවියන්වහන්සේගේ හස්තයට දරුවා භාර කර නයිල් ගං ඉවුරේ දරුවා තබන ලදි. ඔහුගේ සහෝදරියවූ මීරියම් දුරින් සිට කුමක් සිදුවෙන්නේදැයි බලා සිටියාය. (නික්මයාම 2:3-4)

ඇයට දරුවාගේ රැකවරණය ගැන විශ්වාසයක් දෙවියන්වහන්සේ තුළ තිබුණි.

දෙවියන්වහන්සේ ඇයගේ ඇදහිල්ල දකිනා ලදි.

දෙවියන්වහන්සේ අපගේ ඇදහිල්ලේ ක‍්‍රියා දකින සේක. සමහර විට එය මනුෂ්‍යයන් ඉදිරියේ මෝඩකමක් විය හැකිය.

කුඩා දරුවෙකු මෙලෙස භයංකර ගඟක පා කර හැරීම මනුෂ්‍ය ඥානයෙන් මෝඩ ක‍්‍රියාවක් විය හැක.

නමුත් මේ මව තුළ භයක් නොතිබුණි. ඇය දෙවියන්වහන්සේ තුළ ඇදහිල්ලෙන් සිට ගන්නා ලදි.

භයාදුකමට ඔබ ඉඩ නොදෙන්න.

තම දරුවා ‘’කෙසේ හෝ බේරා ගන්නෙමි’’ යි අධිශ්ඨානයක් මෙම මව තුළ තිබුණි.

ගඟේ නාන්නට ආ ඵාරාවෝගේ දියණිය දෙවියන්වහන්සේ තුළ සැලැස්මක් තිබූ මෙම දරුවා දැක ඔහුව රජ මාළිඟාවට ගෙන යන ලදි. (නික්මයාම 2:5-10)

හෙබ්‍රෙව් දරුවන් මරන්නට අණ කළ තිබූ යුගයක මෙම දරුවා හෙබ්‍රෙව් දරුවෙක් බව දැන ගෙනත් එලෙස රජ මාළිගාවේදීම දරුවා හදා ගැනීම දෙවියන්වහන්සේගේ පුදුමවූ ක‍්‍රියාවකි.

දෙවියන්වහන්සේ ක‍්‍රියා කරන්නේ අප සිතන ආකාරයට නොවේය.

අප යටහත් පහත් වන කල සියළු ප‍්‍රශ්න කරදර වලින් අපව ගැළවීමට දෙවියන්වහන්සේට පුළුවන.

මෙම දරුවා වතුරෙන් ඇදගත් නිසා ඇය ඔහුට ‘’මෝසෙස්’’ යන නම තබන ලදි. (නික්මයාම 2:10 )

මෝසෙස් කුඩා කාලයේ ඔහුට කිරිදී හදන පිණිස ඔහුගේ සහෝදරිය විසින් කිරි මවක් ලෙස දරුවාගේ මව කැඳවා එන ලදි.

ඇය දරුවා වැඩෙන තුරු කිරි දී හැදුවාය. මේ කාලය තුළ ඇය බොහෝ විට දරුවාට හෙබ්‍රෙව් ආභාෂය උගන්වන්නට ඇති.

දරුවෙකුට කුඩා කාලයේ උගන්වන දේ ඉතා වැදගත්ය. ඔබගේ දරුවන්ට කුඩා කාලයේ සිට දේව වචනයේ බීජ වපුරන්න.

භය නොවපුරා ඇදහිල්ලේ වචන වපුරන්න.

වැඩි වයසට පත්වූ මෝසෙස් තම සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටියදී හෙබ්‍රෙව්වෙකුට මිසරයෙක් පහර දෙනවා දැක, මිසරයා මරා සැඟවීය. ඔහු එතැනදී ඉක්මන් වී ජීවිතය වරද්දා ගන්නා ලදි.

පසුවදා ඔහු දබර කරමින් සිටි හෙබ්‍රෙව්වරු දෙදෙනෙකුට අවවාද කරන්නට යන විට ඔවුන් ඔහු කළාවු ක‍්‍රියාව සැලකළ හෙයින් එයට බියවූ මෝසෙස් මිසරයෙන් පලා යන ලදි. (නික්මයාම 2:11-15 )

මිසරයෙන් පලා යන විට වයස 40ක් වූ මෝසෙස් තමන්ටම දොස් පැවරීමෙන් තව අවුරුදු 40ක සැඟවුනු ජීවිතයක් කාන්තාරයේදී ගත කරනලදි. (නික්මයාම 2:15-25 )

නමුත් අවුරුදු 80 දී දෙවියන්වහන්සේ මෝසෙස්ව කැඳවන ලදි. (නික්මයාම 7:7 )

ඇවිලෙන පඳුරකින් දෙවියන්වහන්සේ මෝසෙස්ට කථා කළ සේක.
(නික්මයාම 3-4 පරිච්ඡේද)

දෙවියන්වහන්සේට ඕනෑම කෙනෙකුට කථා කළ හැක.

දෙවියන්වහන්සේට ඕනෑම දොරටුවක් විවර කර ඔබ වෙනුවෙන් යම් මාර්ගයක් විවෘත කළ හැකිය.

ඔබ දෙවියන්වහන්සේට විවෘත වන්න.

මෝසෙස් ‘’මිසරවරු පැමිණ ඔහුව මරා දමයි’’ යන බියෙන් ජීවත්වුණි.

නමුත් දෙවියන්වහන්සේ ඔහුට පැවසුවේ මිසරයේ වහලුන්ව සිටින ඔහුගේ සෙනඟව මුදා ගැනීමට උන්වහන්සේ ඔහුව මිසරයට යවන බවයි. (නික්මයාම 3:4-11 )

තමා භයවූ සෙනඟ අතරටම දෙවියන්වහන්සේ මෝසෙස්ව යැවීමට තීරණය කරන ලදි.

දෙවියන්වහන්සේ පවසන්නේ මනුෂ්‍යයන්ට භය නොවී දෙවියන්වහන්සේට භයවන ලෙසයි.

මෝසෙස්ගේ කැඳවීම තුළ ඔහු එයට සුදුසු නැතැයි පෙන්වීමට කොපමණ හේතු කාරණා පෙන්වූවත්. දෙවියන්වහන්සේ පැවසුවේ උන්වහන්සේ ඒ සඳහා තෝරාගත් පුද්ගලයා ඔහු බවයි. (නික්මයාම 3:11-4:17)

අවසානයේ මෝසෙස් මිසරයට ගොස් ඵාරාවෝ ඉදිරියේ දෙවියන්වහන්සේ කියු කාරණා දන්වා උන්වහන්සේ කියු ආකාරයට ක‍්‍රියා කරයි. (නික්මයාම 4:18-11:10)

දෙවියන්වහන්සේ මෝසෙස්ට පාස්කුව පැවැත්විය යුතු ආකාරය ගැන නියෝග දී උන්වහන්සේ මිසරයේ කුලුඳුලන්ට පහර දෙන විට උන්වහන්සේගේ සෙනඟට එයින් හානි නොවන පිණිස ඔවුන්ගේ නිවාස වල උළුවහු කණු දෙකේ හා උඩ පඩි කඳේ බැටළුපැටවාගේ ලේ ලකුණක් ලෙස ගල්වන්නට අණ කරන ලදි. (නික්මයාම 12:1-28)

භයින් සිටි මෝසෙස් ඵාරාවෝ ඉදිරියේ පුදුමාකාර නිර්භීතකමකින් කථා කරන ලදි. ඵාරාවෝ නිතරම තම සිත දැඩි කරගෙන සිටින ලදි.

ලක්ෂ 6 කට වැඩිව සිටි ඉශ‍්‍රායෙල් පුත‍්‍රයන්ද වහල්භාවයෙන් මුදවාගෙන මෝසෙස් එම ගමන පිටත්වෙයි. (නික්මයාම 12:37-51)

මිසරයේ කුලුඳුලන්ට පහර දුන් පසු ඵාරාවෝ දැඩි සිතකින් සිටියත් ඉශ‍්‍රායෙල්වරුන්ට යන්ට ඉඩ හරින ලද නමුත් ඔවුන් රතු මුහුද අසළට යන විට ඵාරාවෝ නැවත ඔවුන්ව ලුහුබදින්නට අණ කරයි. (නික්මයාම 14:5-8)

මිසරයේ හමුදාව තමන් ලුහුබැද එන බව දුටු ඉශ‍්‍රායෙල්වරු බියපත්ව මොරගසන ලදි. (නික්මයාම 14:10)

අපි භයවූ විට අප තුළින් වැරදි වචන පිටවේ.

ඉශ‍්‍රායෙල්වරුන්ට ලුහුබැඳ එන සතුරන් දුටු පමණින් මෙතරම් මහත් හාස්කම් කර දෙවියන්වහන්සේ ඔවුන්ව ගැළවූ ආකාරය අමතක වුණි.

ඔවුන් මෝසෙස්ගෙන් ‘’මිසරයේ මිනිවලවල් නැති නිසාද අපට මෙසේ කළේ’’ කියා ඇසුවෝය. (නික්මයාම 14:11-12)

භය කියන දේ ඔබගේ සිතේ තිබෙනවානම් භයාදුකමේ වචන මයි ඔබ තුළින් පිටවන්නේ.

මේ මනුෂ්‍යයන් තුළ කිසි ඇදහිල්ලක් නොතිබුණි. නමුත් මෝසෙස් ස්වාමීන්වහන්සේ තුළ ශක්තිමත්ව ගොඩ නැඟී සිට එඩිතරව ඔවුන්ට කථා කරන ලදි.

නික්මයාම 14:13
[13] මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලන්න.

“මේ සෙනඟව ධෛර්යයමත් කරන්න” කියා දෙවියන්වහන්සේ මෝසෙස්ට ශක්තිමත්කම දුන් සේක. ස්වාමීන්වහන්සේට එක් අයෙකු සිටියොත් ප‍්‍රමාණවත්ය.

ඔබගේ නිවසේ අන් අය භයෙන් සිටින්නන් විය හැකිය. ඔබ තනිව ශක්තිමත්ව සිටින්නෙක් වන්න.

ස්වාමීන්වහන්සේගේ උපකාරය අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනු ඇත.

භය කියන දෙයට ඔබ ඉඩ නොදෙන්න.

ලක්ෂ 6ක සෙනඟක් මෝසෙස්ටත් දෙවියන්වහන්සේටත් විරුද්ධව මොර ගසන කල, භය නොවී එඩිතරව සිටින්නට මෝසෙස් තීරණය කළේය.

නික්මයාම 14:13-14
[13] මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය. [14] ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය.

අපට කෑ කෝ ගසමින් ප‍්‍රශ්න විසඳිය නොහැක. අප දෙවියන්වහන්සේගේ පොරොන්දු ප‍්‍රකාශ කරමින් නිහඬව, නිශ්චලව සිටිය යුතුය. එවන් මොහොතක අපගේ මුඛයෙන් ඇදහිල්ලේ වචන නිකුත් විය යුතුය.

මෝසෙස් ඇදහිල්ලේ වචන කියමින් ලක්ෂ 6ක සෙනඟක් ශක්තිමත් කරන ලදි. එලෙස නොකළා නම් නායකයෙකු වශයෙන් ඔහුට මේ සෙනඟට මඟපෙන්වන්නෙක් විය නොහැකි වන්නට තිබුණි.

දෙවියන්වහන්සේ මෝසෙස්ට ඔහුගේ සැරයැටිය දිගුකර රතු මුහුද දෙබෑ කරන ලෙසට පැවසූ සේක. (නික්මයාම 14:16-17)

භයෙන් මෙවැනි දේ කළ නොහැකිය. කළ හැක්කේ ඇදහිල්ලෙන් පමණි.

ඔබ භය වුවහොත් ඔබ ඉදිරියේ තිබෙන දේ නොපෙණෙනු ඇත.

ස්වාමීන්වහන්සේ සිදු කර දෙන ගැළවීම අපේ ඇස් වලට නොපෙණෙන නමුත් එය බලා සිටිමු.

ද්වීතීය කථාව 3:22
[22] ඔවුන්ට භය නොවන්න. මක්නිසාද නුඹලා උදෙසා සටන්කරන්නේ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීමි.

දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරන බැවින් ඔබ භය නොවී සිටින්න.

ප‍්‍රශ්න දෙස බලමින් එය වර්ණනා නොකර, දෙවියන්වහන්සේව වර්ණනා කරන්න.

ඔබ වෙනුවෙන් බලවත් දේ කරන්න උන්වහන්සේට හැකිය.


Watch the Sermon Video

Read 117 times