+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

නව ගිවිසුමේ මැදිහත්කරු යේසුස්වහන්සේය - මනූ මැතානි
December 3, 2023 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේගේ වචනය කිසිදා අපට භය උගන්වන්නේ නැත.

උන්වහන්සේගේ වචනයෙන් නිතරම පවසන්නේ නිර්භීතව සිටින ලෙසත්, අප ජයලද්දෙකු බවත්, නොසැලී, නොවෙනස්ව සිටින ලෙසය.

අපට අසන්නට ලැබෙන විනාශය, ආර්ථික ප‍්‍රශ්න, ලෙඩදුක් පැමිණෙන බව බයිබලයේ සඳහන්ව තිබුනත්, අපට දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ දෙස බලමින් මේ දිවීම දුවන ලෙසය.

ලෝකයා දෙවියන්වහන්සේ දෙස නොබලා සියලු ප‍්‍රශ්න තමා පිට පටවා ගනී.

ලූක් 21:25-26
[25] ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළ ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක්වේදනාද වන්නේය. [26] මක්නිසාද ආකාශයේ පරාක්‍රමධාරීන් සොලවනු ලබන බැවින් භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්තවන්නේය.

අපගේ සමාදානය තිබෙන්නේ අභ්‍යන්තරයේය.

‘’සමාදානය’’ යන වචනයට බයිබලය දෙන අර්ථය නම් වටාපිටාව තුළ කුමක් සිදුවූවත් ඔබ තුළ දෙවියන්වහන්සේ තබා තිබෙන සමාදානය තුළ ජීවත්වීමය.

ඔබගේ විශ්වාසය තැබිය යුත්තේ ඔබ තුළ තබා තිබෙන සමාදානය මතය.

අපට අසන්නට ලැබෙන යහපත් ආරංචි මත පමණක් සමාදානය රැඳී නොපවතියි.

අපගේ සමාදානය තිබෙන්නේ අභ්‍යන්තරයෙහිය.

දේව රාජ්‍යය සමාදානයයි, ධර්මිෂ්ඨකමයි, ප‍්‍රීතියයි. එය ඇත්තේ ඔබ තුළෙහිය (රෝම 14:17).

ඔබ ජීවත්විය යුත්තේ එම සමාදානය තුළය.

පිටස්තර වාතාවරණය මත ජීවත් නොවන්න. ඔබගේ වාතාවරණය මොනම තත්වයක තිබුණත් ස්වාමීන්වහන්සේ කෙරෙහි ඔබගේ විශ්වාසය තබන්න.

ලූක් 21:27-28
[27] එකල මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් සහ මහත් තේජසින් යුක්තව වලාකුළකින් එනවා ඔව්හු දකින්නෝය. [28] මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවන්නැයි කීසේක.

උන්වහන්සේගේ පොරොන්දු දෙස බලමින් ඒවා ඔබගේ ජීවිතයේ ඉටු වන බව විශ්වාස කරමින් ජීවත්වන්න.

යේසුස්වහන්සේ පන්දහසකට කෑම දීමට ප‍්‍රථමයෙන් ඔවුන් ළඟ තිබුණු රොටී රැගෙන ස්වර්ගය දෙස බලා එයට ආශීර්වාද කොට, ස්තූති කොට සෙනඟට බෙදා දෙන පිණිස දුන් සේක.
(මතෙව් 14:19, යොහන් 6:11)

එවිට පන්දහසකට පමණ සෙනඟට එය සෑහී ඉතුරුත් විය.

ඔබ ළඟ තිබෙන දෙයට දෙවියන්වහන්සේගේ ආශීර්වාදය අයදින්න, ඉන්පසු ඔබට එයින් අන් අයට ආශීර්වාදයක් විය හැකියි.

ලෝකයේ ක‍්‍රමය නොව දෙවියන්වහන්සේ කෙරෙහිම විශ්වාසය තබමු.

දෙවියන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි අපේ විශ්වාසය තබමු, උන්වහන්සේ පොරොන්දු වූ දේවල් ඔබේ ජීවිතයේ ඉෂ්ට කරන සේක.

අධර්මිෂ්ඨ ලෝකයක් අප වටා තිබුණත් අප සිටින්නේ දේව රාජ්‍යය තුළ බව විශ්වාස කරමු.

අප දෙවියන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවයෙන් ජීවත් වී සිටිමු.

දෙවියන්වහන්සේ දෙස හිස ඔසවා ඇදහිල්ලෙන්, අපට එන භයානක සිතුවිලි දිනපතා අපි පරාජය කරමු.

ලූක්‬ ‭22:31‭-‬32‬ ‭
[31] සීමොන්, සීමොන්, බලව, නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය. [32] නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි කීසේක.

ඔබට සැලෙන්නට කරුණු කාරණා එන කල ඔබගේ ඇදහිල්ලට මැරුණු ස්වභාවයක් නොදෙන්න.

යේසුස්වහන්සේ ඔබගේ ඇදහිල්ල උදෙසාද යාච්ඤා කර තිබේ.

යේසුස්වහන්සේගේ කැමැත්ත තුළ ඔබ ක‍්‍රියා කරන්න. එනම්, ඔබ ශක්තිමත්ව සිට ඔබගේ සහෝදරයන් ශක්තිමත් කිරීමය.

ඔබ හදවතින් දේව වචනයෙන් ගීතිකාවලින් පිරී සිටින්න. ස්වර්ගය තිබෙන්නේ ඔබගේ හදවත තුළයි.

ස්වර්ගික ජීවිතයක් පොළොවෙහි ගත කරමු. ස්වාමීන්වහන්සේ අපව ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ ස්වර්ගීක ස්ථානවල හිඳුවා ඇත (එපීස 2:6).

දෙවියන්වහන්සේ අපට ස්වර්ගීක ආශීර්වාදවලින් ආශීර්වාද කර ඇත.

එබැවින් අපගේ හැසිරීම, ප‍්‍රකාශය, කථා විලාශය සම්පූර්ණයෙන්ම වෙනස් කර ක‍්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් කළ දේවල් ගැන අපි කතා කරමු.

අප අසන හැම දෙයක් ගැනම විශ්වාස නොකර දෙවියන්වහන්සේගේ පොරොන්දු පමණක් විශ්වාස කරමු.
‭‭
එපීස‬ ‭1:4‬
[4] ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශීර්වාදවලින් උන්වහන්සේ අපට ආශීර්වාද කළසේක.

යේසුස්වහන්සේ අප සමඟයි, අප තුළයි. උන්වහන්සේ කවදාවත් අපව කිසිදා අතහැර යන්නේ නැත. යේසුස්වහන්සේ අපගේ විශ්‍රමයයි, සැනසිල්ලයි.

යේසුස්වහන්සේ පැවසුවේ ‘’වෙහෙසවන්නාවු බර උසුලන්නාවු සියල්ලෙනි මා වෙත එන්න කියාය’’. (මතෙව් 11:28)

අප අන් අයව ධෛර්යයමත් කළ යුත්තේ, සැනසිය යුත්තේ දෙවියන්වහන්සේගේ වචනය තුළින්ය.

දෙවියන්වහන්සේ සදහටම අපගේ සැපයුම්කරු ලෙස සිටී.

යේසුස්වහන්සේ පැවසු ආත්මික වචන ඇසූ මනුෂ්‍යයන් උන්වහන්සේ අතහැර යන ලදි.

යේසුස්වහන්සේ පැවසුවේ, මම ඔබගේ ජීවනදායක රොටිය වෙමි.

ජීවන රොටිය යනු උන්වහන්සේ අපගේ හුස්මය, සැපයුම්කරුය, සුවය හා සියල්ලෙන් සියල්ලය.

මනුෂ්‍යයන්ට එය විශ්වාස කළ නොහැකි විය.

‭‭යොහන්‬ ‭6:33‭-‬35‬ ‭
[33] මක්නිසාද දෙවියන්වහන්සේ දෙන කෑම නම් ස්වර්ගයෙන් බැස ලෝකයාට ජීවනය දෙන කෑමයයි කීසේක. [34] එබැවින් ඔව්හු: ස්වාමීනි, ඒ කෑම නිතරම අපට දුන මැනවයි කීවෝය. [35] යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය, මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය.

ලෝකයේ නිතරම අසන්නට ලැබෙන්නේ ‘’නැහැ’’, ‘’බැහැ,’’ ‘’අපහසුයි’’ යන වචනය. මේ ලෝකයේ අප ජීවත් වන තුරු අනිවාර්යයෙන්ම ප්‍රශ්න ගැටලු තිබෙන්නේය.

අප කොඳුරමින්, ඕපදූප කථාකරමින්, රජය විවේචන කර සිටීමෙන් එයින් කිසිවක් නොලැබේ.

නමුත් අපි ස්වාමීන්වහන්සේ ප්‍රශංසා කරමු. වර්ණනා කරමු.
ප‍්‍රශංසා මධ්‍යයෙහි දෙවියන්වහන්සේ වැඩ වාසය කරන සේක.

‭‭ගීතාවලිය‬ ‭22:3‬ ‭‬‬
[3] නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක.

අපි ප‍්‍රශංසා කළ යුත්තේ යම් දෙයක් ලැබීමට පෙරය.

යෙරිකෝ පවුර බිඳ වැටුණේ ප්‍රශංසා කිරීමෙනි. (යෝෂුවා 6:1-20)

යෙහෝෂාපාට් යහපත් රජ කෙනෙකි. ඔහුට විරුද්ධව සතුරු හමුදාවක් ආ විට ඔහු ස්වාමීන්වහන්සේට යාච්ඤා කරන ලදි. එවිට ඔහුට හැඟුනේ ස්වාමීන්වහන්සේ ඔහු උදෙසා සටන් කරන බවය. ඔහු සෙනඟට පැවසුවේ ස්වාමීන්වහන්සේට ගීතිකා ගායනා කරමින් ප‍්‍රශංසා කරන ලෙසය.

යෙහෝෂාපාට් රජ ප්‍රශංසා කරමින් සතුරු සේනාව විනාශ කළේය. (2 ලේකම් 20:20-22)

යක්ෂයා බලනුයේ අපව රාමුවක් තුළ සිරකර තැබීමටයි. නමුත් ප‍්‍රශංසාව තුළින් අපට එයින් පිටතට පැමිණිය හැකිය.

අප දෙයක් ලැබුණාට පසු ප‍්‍රශංසා කරනවා සේම වඩා වැදගත්ම දෙය එය ලැබීමට පෙර ප‍්‍රශංසා කිරීමය. එය ප‍්‍රශංසා කිරීමට නියම කාලයයි.

සාවුල් සහ සීලස් සිරගෙදරදී යාච්ඤා කර, ගීතිකා ගායනා කරමින් ප‍්‍රශංසා කරමින් සිටියදී මහත් පොළෝකම්පාවක් වී දොරවල් ඇරී මනුෂ්‍යයන් නිදහස් වුණි.

‭‭ක්‍රියා‬ ‭16:25‭-‬26‬ ‭
[25] නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන්දීගන සිටියෝය; [26] හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය, එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. එකෙණෙහිම සියලු දොරවල් ඇරුණේය; සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය.

යෝවෙල් පොතේ දෙවියන්වහන්සේ පවසන්නේ සතුරු හමුදාව විනාශ කරමින් ඔවුන්ගේ අවුරුදු උන්වහන්සේ නැවත ඔවුන්ට දෙන බවයි. (යෝවෙල් 2:25)

දෙවියන්වහන්සේ සතුරු හමුදා එව්වේ නැත. නමුත් සෙනඟගේ හිතුවක්කාර ක‍්‍රියාවන් හේතුවෙන් උන්වහන්සේ එයට ඉඩ හැරියා පමණි.

දෙවියන්වහන්සේ කිසිදා ඔබට වේදනාවන්, රෝග එවන්නේ නැත.

උන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට කිසිදා නපුරක් කරන්නේ නැත. (ලූක් 11:11-12)

යොවෙල්‬ ‭2:25‭-‬26‬ ‭‬‬
[25] මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි. [26] නුඹලා වනාහි කෑම කා තෘප්තියට පැමිණ, නුඹලා ගැන පුදුමලෙස ක්‍රියා කළාවු නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය වර්ණනාකරන්නහුය. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට පත් නොවන්නෝය.

දෙවියන්වහන්සේ ඔබ විසින් නැතිකරගත් සියල්ලම නැවත පිහිටුවනසේක. දිනපතා එය විශ්වාස කරමින් ප‍්‍රකාශ කරන්න.

දෙවියන්වහන්සේ අපගේ නැතිවූ අවුරුදු පමණක් නොව, නොකඩවා අපට ප‍්‍රශංසා ජීවිතයක් ගත කිරීමට උන්වහන්සේ අපගේ සැපයුම්කරුද වේ.

අපගේ සියළු වැරදි යේසුස්වහන්සේ දරාගත් සේක.

ඔබ තවමත් ඔබගේ වැරදි ගැන වධ විඳිමින් සිටින්නේ නම් එය යේසුස්වහන්සේගේ කුරුස පූජාවට කරන අපහසයකි. උන්වහන්සේ ඔබට සමාව දී එය දරාගෙන් අවසන්ය.

යොවෙල්‬ ‭2:26‬
‘’මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට පත් නොවන්නෝය’’.

ඔබට තිබෙන්නේ යේසුස්වහන්සේ දෙස බලමින් මේ දිවීම දුවන්නය.

දෙවියන්වහන්සේ ඔබව කිසිදා ලැජ්ජාවට පමුණුවන්නේ නැත.

ස්වාමීන්වහන්සේ කිසි හේතුවක් නිසාවත් ඔබව අත හරින්නේ නැත. මනුෂ්‍යයා ඔබගේ ආශීර්වාද, සමාදානය, සිනහව දැක පුදුමවනු ඇත.

දෙවියන්වහන්සේ තුළ ස්ථීරව සිටින මනුෂ්‍යයෙක් කිසිදා ලැජ්ජාවට පත් වන්නේ නැත.

දෙවියන්වහන්සේ දිනෙන් දින අපට උගන්වනු ඇත. උන්වහන්සේගේ කැමැත්ත අප උන්වහන්සේට කීකරු වී ගමන් කිරීමයි.

යේසුස්වහන්සේ කිසිදා අපව තනි කරන්නේ නැත. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ තුළ බැඳී සිටිනවා සේම, අප යේසුස්වහන්සේ තුළ බැඳී පවතිමු.

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පසින් සිටින්නේ අපේ ගැළවීම කෙළවර දක්වාම උන්වහන්සේ මැදිහත්කාරකමේ යාච්ඤාවේ යෙදී සිටින්නය. (1 යොහන් 2:1)

දෙවියන්වහන්සේ සිංහාසනයේ, යේසුස්වහන්සේ දෙවියන්වහන්සේට පසුව, අප යේසුස්වහන්සේගේ දකුණු පසින් සිටියි.

අප ජීවත්වන්නේ වඩා හොඳ පොරොන්දු මතයි.

හෙබ්‍රෙව්‬ ‭8:6‬ ‭
[6] නුමුත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවනලද්දාවූ වඩා හොඳ ගිවිසුමක මැදහත්කාර කෙනෙක්ව සිටින්නා සේම උන්වහන්සේ වඩා උතුම් සේවයක් ලැබූසේක.

පරණ ගිවිසුම දෝෂාරෝපණයේ ගිවිසුමක්ය, නමුත් නව ගිවිසුම ධර්මිෂ්ඨකමේ ගිවිසුමක්ය.

අප දෙවියන්වහන්සේගේ දෙයට ඇහුම්කන් දෙන්නෙක් පමණක් නොවී, ඒවා ක‍්‍රියාවට නංවමු.

ඔබ දෙවියන්වහන්සේගේ වඩා උතුම් ගිවිසුමක් ඇතිව සිටින දේව දරුවෙක්ය, ශුද්ධවන්තයෙක්ය.

කනස්සල්ල ගෙන එන්නේ යක්ෂයාය, ඒ නිසා අපගේ පසුගිය අතීතයේ, වර්තමානයේ හා අනාගතයේ ඇති සෑම කනස්සලු සිතුවිලි යේසුස්වහන්සේට භාරදෙමු.

1 පේත‍්‍රැස් 5:7
[7] උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න.

කුරුසියේදී යේසුස්වහන්සේගේ පූජාවෙන් යක්ෂයාගේ හිස පොඩි කර, මරණයේ බලය නැති කර දමා ඇත.

යේසුස්වහන්සේගේ ලේ අප වෙනුවෙන් වැගිරූසේක.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිටීමේදී ඔබවත්, මාවත් එලෙසින්ම මළවුන්ගෙන් නැඟිටෙවූ සේක.

2 කොරින්ති 5:17
[17] එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.

හෙබ්‍රෙව්‬ ‭12:24
‭‭[24] අලුත් ගිවිසුමේ මැදහත්කාරවූ යේසුස්වහන්සේද ආබෙල්ට වඩා උතුම්ලෙස කථාකරන ඉසීමේ ලේද වෙතටත්ය.

‭‭ආබෙල්ගේ ලේ කථා කරමින් තමාගේ නිදොස්කම ප‍්‍රකාශ කළේය, නමුත් යේසුස්වහන්සේ ඊට වඩා උතුම් ලෙස කථා කරන සේක.

උන්වහන්සේ පවසන්නේ, ‘’මම ඔබ සමඟ බැඳී සිටින නිසා මම ඔබෙන් කිසිසේත්ම අහක්ව නොයන්නෙමි’’ ලෙසය.

අපේ ඇදහිල්ල වර්ධනය කරගනිමු, කථාකරමින්, අණ කරමින් දෙවියන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කරමින් ක‍්‍රියා කරමු

අපි ආලේප ලත් මනුෂ්‍යයන්ය, දෙවියන්වහන්සේ අපව ආලේප කර ඇති නිසා අපේ දරුවන් මත අත් තබා යාච්ඤා කරමු.

යාකොබ් 5:14-15
[14] නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා. [15] එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමීන්වහන්සේ ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ.

අපේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි.

ඔබ වටා ගණන් කළ නොහැකි තරම් දේව දූතයන් සිටී.

හෙබ්‍රෙව්‬ ‭12:22
[22] නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්,

“ළඟාවී සිටින්නේ” යන්නෙන් අර්ථවත් වන්නේ, ඔබ දැනටමත් ස්වාමීන්වහන්සේගේ අභිමුඛයට ඇවිත් සිටින බවයි.

මන්ද උන්වහන්සේ අප තුළයි, අප වෙන්කරන ඒ තිරය ඉරා දමා අවසන්ය.

මතෙව් 27:51
[51] බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය;

යේසුස්වහන්සේ අපව ඉහළ ස්ථානයකට, එනම් උන්වහන්සේ ජීවත්වන ආකාරයටම අපවත් ගෙනාවේය.

1 යොහන්‬ ‭4:16‭-‬17‬ ‭
[16] දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාසකරගන සිටිමුව. දෙවියන්වහන්සේ ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටි, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටිනසේක. [17] අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.

ඔබ ගැළවීම ලබාගත් අයෙක් නම් ඔබ සම්පූර්ණ ප්‍රේමයයි.

වෛරය, පළිගැනීම ඔබ තුළ තිබිය නොහැක.

අවසාන හුස්ම දක්වා අවස්ථාව ඔබට තිබුණත් අන්තිම තත්පරය වෙන තෙක් නොසිට දැන්මම ඔබේ ජීවිතය දෙවියන්වහන්සේට භාර දෙන්න.

මම ජීවත් වෙන්නේ සදාකාල ජීවනයෙන්.

ඔබගේ ශරීරය දිනපතා ප‍්‍රාණවත් කරන තැනැන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න.

මහළු වයසේදීත් අප ඵල දැරිය යුතුය.

ගීතාවලිය 92:11-15
[11] මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසට පෙනුණේය, මට විරුද්ධව නැගිටින්නාවූ නපුරුකම්කරන්නන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ කන්වලට ඇසුණේය. [12] ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය. ඔහු ලෙබනොන්හි කිහිරි ගසක්මෙන් වැඩෙන්නේය. [13] ස්වාමීන්ගේ ගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය. [14] ස්වාමීන්වහන්සේ අවංක බවත්, මාගේ පර්වතය බවත්, උන්වහන්සේ තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස, [15] ඔව්හු මහලු වයසේදීත් ඵලදෙමින් සාරවත් වන්නෝය, සශ්‍රීකවන්නෝය.

ස්වාමීන්වහන්සේ කෙරෙහි බලා සිටින්නෝ තමන්ගේ සවිය අලුත් කර ගන්නෝය. (යෙසායා 40:31)

ස්වාමීන්වහන්සේ කෙරෙහි ප‍්‍රීතිවීම ඔබගේ ශක්තියය.
(නෙහෙමියා 8:10)

ශරීරය දුබල වන විට යේසුස්වහන්සේගේ නාමයෙන් ශක්තිය උපදවාගත යුතුය,

යෙසායා 60:1
[1] නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය.

මනුෂ්‍යයන්ට ඔබේ ආත්මය නොපෙණෙන නමුත් ශරීරය පෙණෙන බැවින් එය යහපත්ව තබා ගත යුතුය.

උන්වහන්සේ අපව මිලදී ගනු ලැබුවේ යේසුස්වහන්සේගේ ලේ වලින් උන්වහන්සේගේ මහිමය සඳහාය.

අවසාන කාලය ආරම්භ වුණේ ක්‍රියා ‬පොතෙනි.

ශුද්ධාත්ම බලය වැඟිරෙවූ මොහොතේ අන්‍ය භාෂාවෙන් පිරුණු ගෝලයන් මැද සිටි පේත‍්‍රස් දේශනා කරමින් පැවසුවේ අන්තිම කාලයේ සිදු වනවා යයි කියූ දේවල් ආරම්භ වී ඇති බවය.

ක්‍රියා‬ ‭2:16‭-‬17‬
[16] නුමුත් මේ වනාහි අනාගතවක්තෘවූ යෝවෙල් කරණකොටගෙන කියනලද කාරණයය. කෙසේදයත්: [17] අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත.

‭‭ක්‍රියා‬ ‭2:18‬ ‭
[18] එසේය, ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; ඔව්හු අනාගතවාක්‍ය කියන්නෝය.

දෙවියන්වහන්සේ ඔබටත් මටත් දී ඇති වගකීම ඉටු කිරීමට උත්සාහවන්ත වෙමු.

ශුද්ධාත්ම බලයෙන් පිරුණාවූ අපි සෑම කෙනෙක්ම නොයෙකුත් ආකාරයෙන් දෙවියන්වහන්සේ පාවිච්චි කරන සේක.

ගැළවීම ලැබීමට පෙර මාංශයෙන් හා ශරීරයෙන් ජීවත් වූ අපි ගැළවීම ලබා ආත්මික මනුෂ්‍යයෙක් බවට වෙනස් වී ඇත.

ඔබ තුළ වාසය කරන තැනැන්වහන්සේ තුළින් ඔබට සියල්ල කළ හැකියි.

‭‭පිලිප්පි‬ ‭4:13‬ ‭
[13] මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.

අපි දෙවියන්වහන්සේ තුළ නිතරම ප‍්‍රීතියෙන් සිටිමු.

සෑම කිතුනුවෙක්ම යේසුස්වහන්සේ පිළිගත් මොහොතේ ඇති වන ඒ මහත් ප‍්‍රීතිය කාලයක් ගතවන විට ඇල් මැරී යාමට ඉඩ නොදෙන්න.

‭‭අපි ආත්මයෙන් ජීවත් වන, ගමන් කරන මනුෂ්‍යයන්ය.

ගීතාවලිය‬ ‭8:5‬ ‭
[5] ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක.

එලෝහීම් නම් - සර්ව බලධාරී දෙවියන්වහන්සේය.

අපි දේව දූතයන්ට වඩා ඉහළින් සිටින්නෙමු, ඔවුන් අපේ සේවකයන්ය.

එළිදරව් පොතේ යොහන් දේවදූතයාට නමස්කාර කිරීමට ගිය විට දේව දූතයා විසින් යොහන්ව නවත්වන ලදි (එළිදරව් 22:8-9)

යේසුස්වහන්සේ ජීවත් වූ ආකාරයට අපි ජීවත් වෙමු.

අපගේ ගැළවීම ගැන ප‍්‍රීතිවෙමින් අපේ අභ්‍යන්තරයේ ප‍්‍රීතිය අපගේ මුහුණින් මනුෂ්‍යයන්ට දැක ගැනීමට ඉඩ හැරිය යුතුය.

අපි සම්පූර්ණ ප්‍රේමයෙන් ජීවත් වන දෙවියන්වහන්සේගේ දරුවන්ය.

යක්ෂයා ගෙනෙන සියලු වේදනාවන්ට අණ කරමින්, ප‍්‍රසංශාවෙන් නමස්කාරයෙන් යුතු ජීවිතයක් ගත කරමු.


Watch the Sermon Video

Read 103 times