+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබව ගොඩනඟා ගෙන අන් අයට ප්‍රයෝජනවත් වන වචන කතා කරන්න - මනූ මැතානි
December 10, 2023 Sunday Sermon Notes

 

භය නොවී ජීවත්වෙන්ට අවශ්‍ය නම් ඔබ දිනපතා පුරුද්දක් වශයෙන් දේව වචනය කථා කළ යුතුවේ. එය අප පුරුද්දක් කර ගත යුතුය.

සමහර අය පුරුද්දක් ලෙස ඕපදූප, බිය වැනි අනවශ්‍ය කථා කථා කරති. එයින් ඉවත්විය නොහැකි පුරුද්දක් ලෙස පවසමින් නොකඩව ඒ තුළ පවතී. එයද ප‍්‍රකාශනයකි. එම ප‍්‍රකාශනයට ඔබ අසුවී සිටියි.

බොහෝ විට අපි යම් යම් දේවල් පුරුද්දක්යැයි පවසමින් එයට ඇබ්බැහි වී සිටිමු. එය වෙනස් නොකර අපේම වචන වලින් අපි එවැනි දේ ස්ථීර කරගනිමු.

හිතෝපදේශ‬ ‭6:2‬ ‭
නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්,

අපි කථාකරන දේවල් අපගේ මුඛයෙන්ම එය ප‍්‍රතිපත්තියක් කරගෙන සිටිමු. ඔබ පවසන දේ පුරුද්දක් කර ගතහොත් එය ඔබගේ දුර්වලකමයැයි පවසන්නේය.

දෙවියන්වහන්සේ දුර්වලයන්ට විසඳුමක් දී ඇත.
දුර්වලභාවයෙන් මිදීමට නම් තමා බලවන්තයෙක්යැයි පැවසිය යුතුය. ඔබට ජයගත හැකි වන්නේ එම ප‍්‍රකාශය තුළිණි.

‭‭යෝවෙල්‬ ‭3:10‬ ‭‬‬
නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.

කිසිවෙකුට ඔබව වෙනස්කළ නොහැකියැයි ඔබ තදින්ම ප‍්‍රකාශ කරමින් සිටියහොත් දෙවියන්වහන්සේද ඔබව වෙනස් කරන්නට උත්සාහ කරන්නේ නැත.

නමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ආත්මයෙන් හා උන්වහන්සේගේ වචනය මෙහෙහි කිරීම තුළින් ඔබට වෙනස් වීමට උපකාර කරයි.

ස්වාමීන්වහන්සේට මුළුමනින්ම අපගේ ජීවිතය භාර කරන්නට අපි තෝරාගනිමු.

‭‭රෝම‬ ‭6:16‬ ‬‬
නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමකට නුඹලාම භාරදෙන්නහුද, එය මරණයට පමුණුවන්නා වූ පාපය වේවා, ධර්මිෂ්ඨකමට පමුණුවන්නාවූ කීකරුකම වේවා, නුඹලා කීකරු වන එකට දාසයන් වන බව නොදනිවුද?

ඔබ යම් දෙයකට භාරවුවහොත් එයට දාසයෙක් බවට පත්වේ. එමනිසා දෙවියන්වහන්සේට භාරවීම කෙතරම් වටීද?

ඔබගේ දිව දෙවියන්වහන්සේට භාරදී, ඔබගේ දිවෙන් ඔබගේ හදවත නැමැති කෙතට වපුරා ඇති වල් පැලෑටි උදුරා දමන්න.

ඔබගේ ප‍්‍රකාශන වෙනස්කර ගැනීමෙන් ඔබට ජය ගැනීමට පුළුවන.

ඔබට හොඳ වචන කථා කළ නොහැකිනම් කට පියා සිටීම වඩා හොඳය.

නිතරම ප‍්‍රශංසා ගී ගායනා කිරීම අගනේය.

යක්ෂයාගේ කැමැත්ත වන්නේ, ඔබ දෙමනසකින්, කැළඹිලි තත්වයෙන්, මරණයත්, ජීවනයත් මුඛයේ තබාගෙන ජීවත්වීමය.

මන්ද ඔබගේ මුඛය තුළින් ඔබ මරණීය වචන කතා කරන විට යක්ෂයාට ඔබ තුළ තිබෙන ජීවනය සොරකම් කරන්නට පුළුවන.

හෙබ්‍රෙව්‬ ‭13:15‬
එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.

දෙවියන්වහන්සේට නොකඩවා උන්වහන්සේගේ නාමයට අපගේ මුඛයෙන් නිතරම ස්තුති ප්‍රකාශ කරමු. දෙවියන්වහන්සේගේ නාමය වර්ණනා කරමු.

‭‭එපීස‬ ‭4:29‬ ‭
[29] නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.

දූෂ්‍ය කථා, නිෂ්ප්‍රයෝජන කථා, හිස් දෙඩවිලි වලට අපි ඉඩ නොදෙමු.

“මම මහල්ලෙක්ය, මගේ භාර්යාවත් වයස්ගතය” යි කියමින් එවැනි ප‍්‍රකාශ වලින් යොහන් බව්තීස්තගේ ඉපදීමේ සැලැස්ම, සෙකරියස් තමාගේ මුඛයේ වචන වලින් විනාශ කරන්නට උත්සාහ කරන ලලද්දේය. (ලුක් 1:18)

දේව දූතයා ගෙන ආ පණිවුඩය සෙකරියා විශ්වාස කළ නැති නිසා ඔහුගේ මුඛය කෙටි කාලයකට වසා දැමීමට දේවදූතයාට දෙවියන්වහන්සේගෙන් අවසර ලැබුණි. (ලූක් 1:19-20)

සෙකරියස්ගේ මුඛය නැවත විවරවූයේ දරුවා ඉපදී ඔහුට නම තබන්නට ගිය අවස්ථාවේදීය. (ලූක් 1:63-64)

ඔබ දෙවියන්වහන්සේ පවසන දේ කරමින් ඔබගේම වචන වලින් ඔබේ ජීවිතය නාස්ති නොකර ගන්නට වග බලා ගන්න.

ඔබ කථා කරන වචන වල ඵල භුක්ති විඳීමට වන්නේ ඔබටමය.
මරණයත් ජීවනයත් තිබෙන්නේ ඔබගේ දිවෙහිය.

හිතෝපදේශ 18:21
මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.

ඔබ යම් පීඩනයක් තුළින් වචන පැවසුවොත් ඒවා පිටවන්නේ ඔබගේ සිතේ පූර්ණකමෙන්ය.

මතෙව්‬ ‭12:34‬
පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි.

අපගේ සිතේ තිබෙන දේ අප වෙනස් කර ගනිමු.

ඔබ දේව දරුවෙකුය, යහපත් පුද්ගලයෙක් වූවත් ඔබගේ දිව හසුරුවා ගැනීමට පුරුදුවෙන්න.

ඔබ අනවශ්‍යය වචන පාවිච්චි කළහොත් ඔබට රජෙකු මෙන් හැසිරීමට නොහැකියි.

දෙවියන්වහන්සේ පිළිගත් පසු ඔබ සැබෑවන්ම රජෙක්ය.
ඔබගේ වචන බලවත්ය.

දේශනාකාරයා ‭8:4‬ ‭
එසේය, රජුගේ වචනය බල සහිතය; ඔබ මක්කරනවාදැයි ඔහුට කියන්නේ කවුද?

ඔබ යම් ප‍්‍රකාශයක් කළ විට එය ඉෂ්ටවන බව විශ්වාස කළ යුතුය.

ඔබ රජෙක් නම්, ඔබගේ වචන වලින් ඔබටත් අසන්නන්ටත් ප්‍රයෝජනවත් වන ආකාරයට යහපත්ව තිබිය යුතුයි.

එපීස‬ ‭4:29‬ ‭
නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.

ශාප වචන කථා නොකරන්න.
ආශීර්වාදයත් ශාපයත් එක මුඛයෙන් පිට විය යුතු නැත.

යාකොබ්‬ ‭3:9‭-‬12
[9] එයින් ස්වාමිවූ පියාණන්වහන්සේට අපි ප්‍රශංසාකරමුව; එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වය ලෙස මවනලද මනුෂ්‍යයන්ට අපි ශාපකරමුව. [10] ප්‍රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත. [11] උල්පත එක සිදුරෙන් මිහිරි දියත් තික්ත දියත් නිකුත්කරයිද?
[12] මාගේ සහෝදරයෙනි, අත්තික්කා ගහේ ඔලීව ඵලවත් මුද්‍රික වැලේ අත්තික්කා ඵලවත් හටගන්ට පුළුවන්ද? කරදියෙන් මිරිදිය නික්මෙන්ට නුපුළුවන.

ආශීර්වාද හා ශාප වචන එකවිට මුඛයෙන් කතා කරන්නේ මනුෂ්‍යයා පමණයි.

එමනිසා ආශීර්වාදයත් ශාපයත් එක මුඛයෙන් පිට නොකරන්න.

මනුෂ්‍යයන් ඔබට ශාප කරන කල, යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබගේ ඇදහිල්ලේ පලිහෙන් ඒවායේ බල ඔබ කඩා බිඳ දමන්න.

ඔබගේ ජීවිතයට ශාපයක් ඇතිවන්නට යක්ෂයා මනුෂ්‍යයන් පාවිච්චි කරනු ලබයි. සමහර මනුෂ්‍යයන් ඒ දේවල් භාරගනී. ඒ වචනවල බල ඔවුන් බිඳ දමන්නේ නැතිනම් ඔවුන්ට බලපෑමක් ඇති වේ.

‭‭යෙසායා‬ ‭54:17‬
නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

භයේ සිතුවිලි පැමිණි විට ඒවා ඔබ විසින් ප්‍රතික්ෂේප කළ යුතුයි.

දෙවියන්වහන්සේ මෝඩකමේ සුභාරංචියෙන් මනුෂ්‍යයන් ගළවා ඔවුන්ව ප‍්‍රඥාවන්තයන් කරනු ලැබේ.

ප‍්‍රඥාව තුන් පොලකින් පැමිණෙන්නේය.
ඉහළින්, භූමිකව නැතහොත් මාංශාකාරව සහ යක්ෂාකාරව පැමිණේ.

යාකොබ් 3:15
ඒ ප්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංසිකව යක්ෂාකාරව තිබේ.

අපි ක්‍රියා කරන්නේ ඉහළින් පැමිණෙන ප්‍රඥාවෙන්ය.

සුභාරංචිය කථා කරන කල මනුෂ්‍යයා අපව මෝඩයන් සේ සලකයි.

1 කොරින්ති‬ ‭1:18‬ ‭
මක්නිසාද කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය.

ගැළවීම ලැබුවා වූ අපට මේ ශුභාරංචි පණිවිඩය කොතරම් බලවත්ද?

කුරුසියේ පණිවිඩය දෙවියන්වහන්සේගේ බලයයි.

යේසුස්වහන්සේගේ තුවාල වලින් අපට සුවය ඇත.

‭‭1 කොරින්ති‬ ‭1:20‭-‬21‬ ‭‬‬
[20] ප්‍රඥාවන්තයා කොතැනද? ව්‍යවස්ථාව උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ වාදකරන්නා කොතැනද? ලෝකයාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේ විසින් මෝඩකළා නොවේද? [21] මක්නිසාද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේව ඇඳින නොගත් බැවින්, “දේශනාකිරීමේ මෝඩකම” කරණකොටගෙන අදහන්නන් ගළවන්ට දෙවියන්වහන්සේ සතුටුවූසේක.

දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ වචනය සුළුකරන තරමට, යක්ෂයා කෲර අදහස්වලින් අහිංසක මනුෂ්‍යයන්ගේ ජීවිත විනාශ කරයි.

‭‭1 කොරින්ති‬ ‭1:23‭-‬25‬ ‭‬‬
[23] නුමුත් අපි කුරුසියෙහි ඇණගසනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ දේශනාකරමුව. උන්වහන්සේ යුදෙව්වරුන්ට පැකිලීමක්ය, අන්‍යජාතීන්ට මෝඩකමය; [24] නුමුත් කැඳවනු ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීක්වරුන්ටත් දෙවියන්වහන්සේගේ බලය සහ දෙවියන්වහන්සේගේ ප්‍රඥාවත්ය. [25] මක්නිසාද දෙවියන්වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවන්තය; දෙවියන්වහන්සේගේ දුර්වලකම මනුෂ්‍යයන්ට වඩා බලවත්ය.

ලෝකයේ මනුෂ්‍යයන් ක‍්‍රියා කරන්නේ ඔවුන්ට හැඟෙන, පෙනෙන දේ හැටියටය. යක්ෂයා ඔවුන්ව මුළා කරමින් ඒ අයගේ පෙනීමේ හැටියට ඔවුන්ව ගෙනයයි.

ඔබගේ ආශීර්වාද, සුවය, නිදහස තිබෙන්නේ ආත්මික තලයේය.

ඔබ ඒ දේවල් ලබා ගන්නේ ඔබගේ වචන වලින්ය. ඔබගේ සිතින් විශ්වාස කර ඔබගේ මුඛයෙන් එය ලබා ගත යුතුය.

යක්ෂයා මෙම ක‍්‍රියාවලිය හඳුනන බැවින් ඔබ එලෙස ක‍්‍රියා කරනවාට ඔහු අකමැතිය.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ මරණයද, උන්වහන්සේගේ නැවත නැඟිටීමද තුළින් අපට මෙම ගැළවීම භුක්තිවිදීමට පුළුවන් බව කිසිවෙකු දැන සිටියේ නැත. යක්ෂයා පවා දැන නොසිටියේය. එසේ දැන සිටියානම් යේසුස්වහන්සේව කුරුසපත් කරන්නේද නැත.

‭‭1 කොරින්ති‬ ‭2:8‬ ‭
ඒ ප්‍රඥාව මේ ලෝකයේ මුලාදෑනීන්ගෙන් කිසිවෙක් නොදනියි. දැනගන සිටියා නම් ඔවුන් මහන්තත්ත්වයේ ස්වාමීන්වහන්සේව කුරුසියෙහි ඇණගසන්නේ නැත.

යේසුස්වහන්සේ යක්ෂයන් දුරු කරනවිට යුදෙව්වරුන් පැවසුවේ; උන්වහන්සේ යක්ෂයන් දුරු කරන්නේ යක්ෂයාගේ බලයෙන් කියාය. (මතෙව් 12:24)

යේසුස්වහන්සේ කළාවූ යහපත් දේ වලට යුදෙව්වරු උන්වහන්සේට දොස් පවරන ලදි. එක්තරා අවස්ථාවකදී ඔවුන් යේසුස්වහන්සේට ගසන්නට ගල් අතට ගත් කල, යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ඇසුවේ, නුඹලා මා කළ කොයි ක‍්‍රියාව නිසා ගල් ගසන්නේද? කියාය. (යොහන් 10:31-32)

අන්ධකාර බලවේග යහපතට එරෙහිවීමෙන් පෙනී යන්නේ දෙවිකෙනෙතු සිටින බවයි. මේ දෙවියන්වහන්සේ ප‍්‍රකාශවන්නේ යේසුස්වහන්සේ තුළින්ය.

මනුෂ්‍යයන් අපට පීඩා කරන විට අපි දැනගත යුතු වන්නේ මේ ලෝකයේ යක්ෂයෙකු සිටින බවයි.

යක්ෂයාට විරුද්ධව සිට, දෙවියන්වහන්සේ සමඟ ගමන් කිරීම ඉතාම ආශීර්වාදාත්මක දෙයකි.

දෙවියන්වහන්සේගේ ආලෝකය නොබබළන හැටියට යක්ෂයා ලෝකයාගේ සිත් (මනස්) අන්ධ කර ඇත.

2 කොරින්ති‬ ‭4:4‬ ‭
නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.

දෙවියන්වහන්සේගේ වචනය තුළින් ආලෝකයෙන් බැබළෙමු. වාද කරන මනුෂ්‍යයන්ට ප්‍රේමයෙන් පහදා දී ඔවුන්ගේ අන්ධවූ සිත් හරවා ගනිමු.

දේව දූතයන් දෙවියන්වහන්සේගේ හඬට කීකරුවෙති.

‭‭ගීතාවලිය‬ ‭103:20‬
උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.

දෙවියන්වහන්සේගේ දරුවන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට දේව දූතයන්ට දෙවියන්වහන්සේ බලය දී ඇත.

දෙවියන්වහන්සේගේ දරුවන්ට පීඩා කරන්නට ආ මහත් සෙනඟකට එක් දේවදූතයෙක් පහර දුනි.

‭‭යෙසායා‬ ‭37:36‬ ‭
ඒ රාත්‍රියේදී ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණු විට, බලව, ඒ සියල්ලෝ මළකඳන් වූය.

ඔබේ ප‍්‍රකාශයන් ඉතා බලවත්ය. වචන ගැන ප‍්‍රවේසම්වන්න.

‭‭යාකොබ්‬ ‭3:5‬ ‬‬
එලෙසම දිව කුඩා අවයවයක් නුමුත් ලොකුවට පාරට්ටුකරයි. කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් පත්තුවෙනවා නොවේද? දිවද ගින්නක්ය.

දිව කුඩා අවයවයක් වූවත් දේවල් ලොකු කරමින් කතා කරයි.

සමහර විට මනුෂ්‍යයන් තමුන්ගේම දුර්වලකම් කථා කරති.

මේ දේව වචන ඔබට යහපත් ප්‍රතිපත්ති වේ.

දේව වචනය දෙමුහත් කඩුවකට සමානය. ඔබට අවශ්‍යය දේ ඔබට ගෙනදෙයි. ඔබ එපා කළ යුතු දේ ඔබගෙන් අහක් කරයි. (හෙබ්‍රෙව් 4:12)

ඔබගේ වචන වලින්ම ඔබ තුළ ඇති වල් පැල උදුරා දමන්න.

යේසුස්වහන්ටස්ගේ කීම් අනුව ක‍්‍රියා කිරීමට ගෝලයන් යේසුස්වහන්සේගෙන් ඇදහිල්ල වැඩි කර දෙන ලෙස ඉල්ලා සිටියා.

‭‭ලූක්‬ ‭17:5‬ ‬‬
එවිට ප්‍රේරිතයෝ කථාකොට: අපේ ඇදහිල්ල වැඩිකළ මැනවයි ස්වාමීන්වහන්සේට කීවෝය.

යේසුස්වහන්සේ ඔවුන්ට පැවසුවේ, ඇදහිල්ල ක‍්‍රියාවට නංවන විට එය වර්ධනය කර ගත හැකි බවයි.

‭‭ලූක්‬ ‭17:6‬
ස්වාමීන්වහන්සේ කියනසේක්: අබ ඇටයක ප්‍රමාණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කථාකොට: ඉදිරී මුහුදේ සිටවෙවයි කියන්නහු නම් ඒක නුඹලාට කීකරුවෙනවා ඇත.

අබ ඇටය කුඩා වුවත් එයින් හට ගන්න ශාකය සියළු පලා ගස් වලට වඩා විශාලය. (මතෙව් 13:31-32)

ඔබට නොපෙනෙන ඔබ ඇතුළාන්තයේ වාසය කරන තැනැන්වහන්සේගේ ඇදහිල්ල තුළින් ඔබට මහත් දේ කළ හැකිය.

ඔබගේ මනස තුළට පැමිණෙන සිතුවිලි නිසා වචන වලින් ඔබට පීඩා ගෙනෙන්නට යක්ෂයාට ඉඩ නොදෙන්න. ඔබේ සිතුවිල්ල මුඛයෙන් පිට වීමට පෙර නැතිකර දමන්න.

මුඛයෙන් පිට වෙන්නාවූ දේ බීජයක් බවට පත්වේ. එය මරණයේ හෝ ජීවනයේ බීජයක් විය හැකිය.

අනවශ්‍ය සිතුවිලි නෙරපා දමන්න.

මරණයේ, රෝගයේ, දිළිඳුකමේ, සෑම වැරදි සිතුවිල්ලක්ම ඔබ මනස තුළින් උගුල්ලා දමන්න.

සිතුවිල්ල වර්ධනය වූ විට එය ඔබේ ජීවිතයේ බලකොටුවක් බවට පත්වේ.

‭‭පිලිප්පි‬ ‭4:7‭-‬8‬
[7] එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත. [8] ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.

දෙවියන්වහන්සේගේ සමාදානය ඔබගේ සිත ආරක්ෂා කිරීමට නම් ඔබ යහපත් දේවල් ගැන සිතන්න.

දෙවියන්වහන්සේගේ වචනයයි ආත්මයයි ඔබ තුළ ක‍්‍රියා කරන හෙයින්, ඔබට යේසුස්වහන්සේ තුළින් උපකාරය ලැබෙනු ඇත. උන්වහන්සේ වචනය ඔබ තුළ සනාථ කරයි.

ඔබ යේසුස්වහන්සේ පිළිගත් පසු ළදරුවෙන් මෙන් දෙවියන්වහන්සේගේ වචනයට ආශා කළ යුතුයි.

‭‭1 පේතෘස්‬ ‭2:1‭-‬3‬
[1] එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකරදමා, [2] ස්වාමීන්වහන්සේ යහපත් බව නුඹලා රසබලා දැනගත්තහු නම්, [3] ආත්මිකවූ අමිශ්‍රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනයවන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝ ආශාවෙන්න.

ගැළවීම ලබා ගෙන කිරෙන් පෝෂණය වූවාට පසු ඔබ පාපයේ හැඟීමෙන්, දෝෂාරෝපණයෙන් ඉවත්ව වර්ධනය විය යුතුය.

‭‭1 තිමෝති‬ ‭1:6‭-‬7‬
[6] ඒ දේවලින් සමහරු අහක්ව නිෂ්ඵල කථාවට හැරී ගියෝය. [7] තමුන් කියන්නේ කිමෙක්ද කියාවත් නිසැකකොට සහතිකකරන්නේ කුමන දේගැනද කියාවත් තේරුම් නොගෙන සිටින නුමුත්, ඔව්හු ව්‍යවස්ථාවේ ගුරුවරු වෙන්ට කැමැත්තෝය.

ව්‍යවස්ථාව උගන්වන්නා මනුෂ්‍යයාව හැඟීම්බර කිරීම පිබිදීම නොවේ. නිතිපතා හැගීම්බරව සිටින්නා තුළ කිසි වර්ධනයක් නොමැත.

නිෂ්ප‍්‍රයෝජන කථා වලින් ඉවත්වෙමු.

යේසුස්වහනසේගේ ප‍්‍රකාශවල නිතරම ජීවනය තිබුණි.
උන්වහන්සේ පැවසුවේ ලාසරුස් මැරිලා කියා නොව, සැතපී ඉන්නේය කියාය. (යොහන් 11:11)
යායිරස්ගේ දුව මැරිලා නොව, නිදන්නීය කියාය. (මතෙව් 9:24)

යේසුස්වහනසේගේ වචන වලට මනුෂ්‍යයන් සිනහාසුණා. (මතෙව් 9:24)

ඔබගේ ඇදහිල්ලේ ප‍්‍රකාශ වලටද මනුෂ්‍යයන් ඔබට සිනහාසෙනු ඇත. නමුත් ඔබගේ ප‍්‍රකාශ ඉතා වැදගත් කියා ඔබ විශ්වාස කරන්න.

1 තිමෝති‬ ‭1:8‬ ‭
නුමුත් යමෙක් ව්‍යවස්ථාව නියමලෙස භාවිතාකරන්නේ නම්, ව්‍යවස්ථාව යහපත් බව අපි දනිමුව.

ව්‍යවස්ථාව තුළ ජීවත්වීම යහපත්ය. නමුත් දෙවියන්වහන්සේ ඔබව කැඳවා තිබෙන්නේ ආත්මයෙන් ගමන් කිරීමටය. අනුග‍්‍රහයෙන් ජීවත්වීමටය.

‭‭1 තිමෝති‬ ‭1:9‬ ‭
ඔහු මෙය දන්නවා ඇත: එනම්, ව්‍යවස්ථාව වනාහි ධර්මිෂ්ඨයෙකු නිසා නොව අධර්මිෂ්ඨයන් සහ අකීකරුවන්ද අභක්තීන් සහ පව්කාරයන්ද අපිරිසිදුවන් සහ දේව අපහාසිකයන්ද පියවරුන් මරන්නන් හා මවුවරුන් මරන්නන්ද මිනීමරන්නන්ද,

ඔබගේ පරණ මනුෂ්‍යයා වතුර බව්තීස්මයෙන් වල දැමුවාට පසු නැවත නැවත ඒ පසුගිය දේවල් ගැන ලත නොවන්න.

‭‭රෝම‬ ‭3:23‭-‬24‬ ‭
[23] මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. [24] එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.

යේසුස්වහන්සේව පිළිගත්තායින් පසු ඔබ ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ය. තවත් පව්කාරයෙක් යැයි නොපවසන්න. (රෝම‬ ‭3:‬24‬) ‭

‭‭1 තිමෝති‬ ‭1:10‭-‬11‬ ‬‬
[10] වේශ්‍යාකම්කරන්නන්ද පුරුෂයන් සමඟ දූෂ්‍ය ක්‍රියාකරන්නන්ද මිනිසුන් සොරකම්කරන්නන්ද බොරුකාරයන්ද බොරු දිවුරන්නන්ද නිසාත්, [11] මට භාරදෙනලද ශුභාන්විත දෙවියන්වහන්සේගේ තේජවත්වූ ශුභාරංචියේ හැටියට සාරවූ ඉගැන්වීමට විරුද්ධවූ වෙන කිසිවක් ඇද්ද, ඒ නිසාත් පිහිටුවනලද බවය.

ව්‍යවස්ථාව තිබෙන්නේ වැරදි කරන්නන් හා පව්කාරයන් උදෙසාය.

රෝම‬ ‭6:11‬
එලෙසම නුඹලාත් පාපයට මැරී සිටින්නන් කොටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතාගන්න.

මම ධර්මිෂ්ඨයෙක්, ශුද්ධවන්තයෙක් කියා ඔබ හදවතින් දැනගත යුතුය. ඔබගේ මනස ඔබ අලුත් කර ගත යුතුය. ඔබ තුළ ධර්මිෂ්ඨ මනුෂ්‍යයාට ක‍්‍රියා කිරීමට ඉඩ දෙන්න.

ඔබේ ශරීරයත් ඔබගේ ආත්මයත් අතර තිබෙන්නේ ඔබගේ මනසය. අපගේ මනස ප‍්‍රාණයේ කොටසකි.

ප‍්‍රාණය ඔබගේ ආත්මය නොව, ආත්මය අභ්‍යන්තරයේ ක‍්‍රිස්තුස්වහන්සේ වාසය කරයි.

අපගේ මනස දේව වචනයෙන් අලුත් කරගනිමින් එය වෙනස්කර ගත හොත් අපගේ ශරීරයෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ මහිමවත් ජීවිතයක් අපට ගත කළ හැකිය.


Watch the Sermon Video

Read 167 times