+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමු - යෝෂා මනූ
December 17, 2023 Sunday Sermon Notes

 
කඳු හෙල් පහව ගියත් උන්වහන්සේගේ ප්‍රේමය ඔබගෙන් කිසිදා පහව යන්නේ නැත.

උන්වහන්සේ යහපත් විශ්වාසවන්ත දෙවියන්වහන්සේය.

දාවිත් පැවසුවේ කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි කියයි.

ගීතාවලිය 121:1 කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද?

එයට හේතුව ඔහු දුටුවේ ඉශ‍්‍රායෙලය වට කර ඇති කඳුය.

“මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය.” යෙසායා 54:10

අප අපගේ ඇස් කඳු දෙසට නොව දෙවියන්වහන්සේ වෙතට ඔසවමු. අපට උපකාරය හා ශක්තිය ලැබෙන්නේ ස්වාමීන්වහන්සේගෙනි.

කෙනෙකු ඔබගෙන් අසන්නේ නම්, “ඔබට උපකාර ලැබෙන්නේ කොතැනින්ද? කියා” ඔබ කියන්න ස්වාමීන්වහන්සේගෙනි.

ඔබට මේ ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද? දෙවියන්වහන්සේගෙනි.

මේ අඳුරු වේලාවේදී, රට තුළ මෙතරම් ප‍්‍රශ්න කරදර තිබෙන අවස්ථාවේදී ඔබ ජීවත් වන්නේ කෙසේද? කියා මනුෂ්‍යයන් ඔබගෙන් ප‍්‍රශ්න කරන්නට පුළුවන. දේව කරුණාවෙන්.

දේව අනුග‍්‍රහය අපට අධික ලෙස දී තිබේ. අපි උරුමක්කාරයන් වෙමු. අපි දේව දරුවන් වන්නෙමු.

අපි තුළ බලවත් තැනැන්වහන්සේ ජීවමානව වැඩවසන බැවින් අපට ඒ උපකාරය ලබාගෙන උන්වහන්සේගේ යහපත්භාවයෙන් ජීවත් වෙන්නට පුළුවන.

අප කවදාවත් සෙලවෙන්නට අවශ්‍ය නැත.
මන්ද අපට උපකාර ලැබෙනුයේ අහස පොළොව මැව්ව ස්වාමීන්වහන්සේගෙන්ය.

ගීතාවලිය 121:2 මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන්ගෙන්මය.

ඔබවහන්සේමයි මාව ආරක්ෂා කරනු ලබන්නේ. අපි උන්වහන්සේ වෙතට අපගේ ඇස් ඔසවමු.

අපට උපකාර ලැබෙන්නේ මේ විශ්වය මැවූ දෙවියන්වහන්සේගෙනි. ඒ නිසා ඔබගේ නෙත්, ඔබගේ හදවත උන්වහන්සේ කෙරෙහි යොමු කරන්න.

ගීතාවලිය 121:3 උන්වහන්සේ ඔබේ පය සෙලවෙන්ට නොදෙනසේක.

ඔබ යන මාවතෙන් ඔබ ඉවත් වන්නේ නම්, ඔබට පැකිලීමට ලක්වෙන කාරණාවන් පැමිණෙන කල ඔබ පවසන්න, “නැත, මම මගේ පය සෙලවෙන්නට ඉඩ නොදෙන්නෙමි. මා උසුලාගෙන යන්නේ දෙවියන්වහන්සේමය.”

ඔබ ආරක්ෂාකරන තැනන්වහන්සේ නොනිඳනසේක.

අපි නිදාගන්නා නමුත් දෙවියන්වහන්සේ නිදාගන්නේ නැත; උන්වහන්සේ නිතරම අවදිව සිටිමින් අපව රැක බලා ගන්නා සේක.

ගීතාවලිය 121:4 බලව, ඉශ්‍රායෙල් ආරක්ෂාකරන තැනන්වහන්සේට නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නැත්තේය.

ඉශ්‍රායෙල් කියා මෙතැනින් අර්ථවත් වන්නේ, ඉශ්‍රායෙල් හි සිටින යුදෙව් සෙනඟ පමණක් නොව; නව ගිවිසුමේ සභාව උන්වහන්සේගේ ඉශ්‍රායෙල් සෙනඟ වනු ලබන්නේ ගැළවීම ලබාගෙන උන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගෙන සිටින නිසා දැන් අපි ආත්මික ඉශ්‍රායෙල් සෙනඟ වන්නෙමු. අන්‍ය ජාතීන් වන අප සමඟද යේසුස්වහන්සේ දැන් ගිවිසුමක් ඇති කරගෙන තිබේ.

ගීතාවලිය 121:5 ස්වාමීන්වහන්සේ නුඹ ආරක්ෂා කරන තැනන්වහන්සේය. අපව ආරක්ෂා කරන්නේ ස්වාමීන්වහන්සේ බැවින් අපි නිදා ගන්නා වේලාවේදී පවා භය වන්නට අවශ්‍ය නැත.

ස්වාමීන්වහන්සේ දකුණතින් නුඹට සෙවණය.

ගීතාවලිය 121:6 දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය.

ගීතාවලිය 121:7 ස්වාමීන්වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂාකරනසේක. නුඹේ ප්‍රාණය ආරක්ෂාකරනසේක.

ගීතාවලිය 121:8 දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂා කරනසේක.

අපි පිටතට යන විටද ඇතුළට එන විටද ආශීර්වාද ලත් සෙනඟ වන්නෙමු.

අපි ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබන කල, අපට රැකවරණය තිබෙන බවට බයිබලයේ පද රාශියක් සොයා ගත හැකිය.

උන්වහන්සේ අප සමඟයි කියන පොරොන්දුව ස්ථීර වන්නේය, මන්ද අප හැමදෙනාටම අඳුරු කාලයක් පැමිණෙන්නේය. පරීක්ෂා කාලයේදී අපි යාච්ඤා කරන්න අවශ්‍ය වන්නේ, “ස්වාමිනි, මට ගැළවෙන මාර්ගයක් සාදා දුන්න නිසා ස්තූතියි!” එවිට උන්වහන්සේ ඔබට ගැළවෙන මාර්ගය පෙන්වා දෙනසේක.

ගීතාවලිය 23:4
එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමගය, ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.

“මිටියාවත” යනු කඳු දෙකක් අතර ඇති පහත් ස්ථානයකි. සමහර විට කන්ද උඩ සිටින්නන්ගෙන් මිටියාවතේ සිටින්නන්ට පහර එල්ලවිය හැකිය.

මරණය යනු යක්ෂයා ඔබව භය කිරීමට තැත්කරන්නාවූ සෙවනැල්ලක් පමණි. ඒ භයාදුකමෙන් ඔබ ජය ගන්නේ ස්වාමීන් කෙරෙහි විශ්වාස කිරීමෙනි.

ඔබගේ ප‍්‍රකාශය විය යුත්තේ ”මම භය නොවන්නෙමි” කියාය.
මෙලෙස පැවසීමෙන් අපට භයාදුකමෙන් ජය ගත හැකිය.

බයිබලයෙහි පොරොන්දු රාශියක් ඇත. මෙම පොරොන්දු අපට උරුමකර ගත හැකි වන්නෙත්, අපගේ ජීවිතයට අදාල කරගත හැකිවන්නෙත්, ඇදහිල්ලත් විශ්වාසයත් කිරීම තුළින් පමණි. විශ්වාසය නොමැතිව කිසිවක් ලබා ගත නොහැකිය.

දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන් හා උන්වහන්සේගේ ප්‍රේමය කෙරෙහි අපට සැනසීම් ලැබෙන නිසා භිය අපගෙන් දුරු කරයි.

ස්වාමීන්වහන්සේ අප සමඟය. අපට උන්වහන්සේගෙන් සැඟවී සිටීමට නොහැකිය. (ගීතාවලිය‬ 13‭9:7-16)

දෙවියන්වහන්සේ අපහට උන්වහන්සේගේ දණ්ඩෙන් හා සැරයැටියෙන් මඟ පෙන්වයි.

සිත් වේදනා, බිඳ වැටීම් එන කල ස්වාමීන්වහන්සේ වෙතට දිවයමු. දෙවියන්වහන්සේ ඔබව සනසනු ඇත.

අප දෙවියන්වහන්සේගේ වචනයට ප්‍රේමකරන විට, ඇලුම්වන විට අපට මහත් සමාදානයක් ලැබේ.

ගීතාවලිය 119:165
ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිළීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.

භියට අප කෙරෙහි ආධිපත්‍යය නැත.

භයේ කර්තෘ යක්ෂයාය. ඔබගේ මුඛයෙන් දෙවියන්වහන්සේගේ වචනය කතා කරන කල භයාදුකමේ ආත්මය ඔබට දුරු කළ හැකිය. ඒ වචනය ඔබගේ මුඛයේ බලවන්තය.

හෙබ්‍රෙව් 4:12 මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.

දේව වචනය ආත්මික කඩුවකි. අප එය කථා කරන කල, එය සතුරාට පහර දෙයි.

දෙවියන්වහන්සේ අපට දුන්නේ භයාදුකමේ ආත්මයක් නොවේය.

2 තිමෝති 1:7 මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් මනසකි.

අපි භයට ඉඩ නොදී අපගේ මනස පාලනය කර ගනිමු.

දෙවියන්වහන්සේගේ ආත්මය අප තුළද නිතරම අප වටාද සිටින බැවින් අපි වැරදි වචන කථා නොකරමු.

භියෙන් අපට ජය ගත හැකිය. භියට අපගෙන් ජයගත නොහැකියි. භිය සහ ඇදහිල්ල එකට ගමන් නොකරයි.

ගීතාවලිය‬ ‭9:10‬ ‬‬
ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාසකරන්නාහුය; මක්නිසාද ස්වාමිනි, ඔබ සොයන්නන් ඔබ අත්නෑරියසේක.

කුණාටු අපි හැමෝම පොදුවේ මුහුණ දෙන දයක්. වෙනස නම්, ඒ කුණාටුවේදී අප සමඟ ස්වාමීන්වහන්සේ සිටීමයි. උන්වහන්සේ අප සමඟ නම් අපේ ජීවිත ගමනේ භය නොවී සිටිමු.

‭‭ගීතාවලිය‬ ‭20:7‬ ‭සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව.

අපේ දෙවිවු ස්වාමීන්ගේ නාමය අප වචන වලින් ප‍්‍රකාශ කරමු. උන්වහන්සේ අපගේ රැකවරණයයි, බලකොටුවයි, රක්ෂස්ථානයයි කියා අප ප‍්‍රකාශ කරමු. (ගීතාවලිය‬ 91‭:2‬)‭

ඇදහිල්ලෙන් අපට ඕනෑම දෙයක් ජයගන්නට හැකියි.
මන්ද ලෝකයෙන් ජයගන්න ඇදහිල්ල ඔබ තුළයි.

1 යොහන් 5:4 මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.

ඔබ තුළ සිටින්නේ ලෝකයෙන් ජයගත් තැනැන්වහන්සේය. දැන් ඔබ තුළ සිටින ස්වාමීන්වහන්සේ බලවන්තයි.

1 යොහන් 4:4 මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.

යේසුස්වහන්සේ විශ්වාස කිරීමත් උන්වහන්සේගේ වචනය විශ්වාස කිරීමත් එක හා සමානය.

යෙරෙමියා 31:3 ස්වාමීන්වහන්සේ පුරාණයේදී මට ප්‍රකාශවී - එසේය, සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේමකෙළෙමි. එබැවින් දයාබරකමින් නුඹ ඇදගතිමියි කීසේක.

දෙවියන්වහන්සේට ප්‍රේම කරන තැනැත්තා තුළ භය නැත.

දෙවියන්වහන්සේ අපට සදාකාල ප්‍රේමයකින් ප්‍රේම කරන සේක.

ග‍්‍රීක් භාෂාවේ ප්‍රේමයට අර්ථ 4ක් ඇත.
පීලියෝ ප්‍රේමය නම්, හැඟීම්බරව තිබෙන ප්‍රේමයයි.
අගාපේ ප්‍රේමය නම්, දෙවියන්වහන්සේ අපට දක්වන කොන්දේසි රහිත ප්‍රේමයයි.

කරදර පීඩා මධ්‍යයෙදීත් අප දෙවියන්වහන්සේට මොරගසමු.

උන්වහන්සේ සදාකාලයටම එකාකාරය. (හෙබ්‍රෙව් 13:8)

ඔබගේ මනසේ ඇතිවන සැක සහිත අදහස් ප‍්‍රකාශ කරමින් ඒවාට ජීවයක් නොදෙන්න.

දේව වචනය තුළින් දෙවියන්වහන්සේ ඔබට කථා කර ඇති පොරොන්දු නැවත නැවත සිහිකරමින් ඔබ ශක්තිමත්වන්න.

හෙබ්‍රෙව් 13:5-6
“මම කිසිසේත් ඔබෙන් අහක් ව නොයන්නෙමි; කිසි අයුරකින් ඔබගේ අත් නොහරිමි” යි මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.

දෙවියන්වහන්සේ කවදාවත් අපගෙන් අහක්ව යන්නේවත්, උන්වහන්සේගේ දෙනෙත් අපගෙන් ඉවත් කරන්නේවත් නැත.

උන්වහන්සේ අපගේ අත අල්ලාගෙන සිටින බැවින් අප වැටෙන්නේ නැත. කිසිවෙකුට උන්වහන්සේගේ අතින් අපව උදුරා ගැනීමටද නොහැකිය.

අපව දෙවියන්වහන්සේගෙන් වෙන් කරන්ට තැත්කරන්නාවූ ඒ පරීක්ෂකයාමයි යේසුස්වහන්සේ වෙතටත් පරීක්ෂා කරන්නට පැමිණියේ. (මතෙව් 4:1, මාර්ක් 1:13, ලූක් 4:1-14)

ගීතාවලිය‬ ‭5:11‭-‬12‬ ‭
[11] නුමුත් ඔබ සරණකොට ගන්න (විශ්වාස කරන) සියල්ලෝ සන්තෝෂවෙත්වා, ඔබ ඔවුන් ආරක්ෂාකරන බැවින් සදාකල් ප්‍රීතිනාදකෙරෙත්වා. ඔබගේ නාමයට ප්‍රේමකරන්නෝ ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා. [12] මක්නිසාද ඔබ ධර්මිෂ්ඨයාට ආශීර්වාද කරනසේක; ස්වාමිනි, ඔබ පලිහකින් මෙන් කරුණාවෙන් ඔහු වටකරනසේක.

දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන කල, අපට නොසැලී ප‍්‍රිතියෙන්, සන්තෝෂයෙන් සිටිය හැකිය.

ඔබ ප‍්‍රීතියෙන් සිටින විට ඔබ වටා දේවදූතයන් බලවත් සේ ක‍්‍රියාකරයි. ඔවුන් ඔබට උපස්ථාන කිරීමට ඔබගේ මුඛයෙන් පිටවන වචන දෙස බලා සිටියි.

දෙවියන්වහන්සේට අප උස් හඬින් ප‍්‍රිති නාද පවත්වමු.

අප ගැළවීම ලැබූ කල්‍හි යේසුස්වහන්සේගෙන් ධර්මිෂ්ඨකම ලබා ගෙන ධර්මිෂ්ඨවූ, ආශීර්වාදලත් සෙනඟක්ව සිටින්නෙමුව.
දෙවියන්වහන්සේ අපට පලිහක්ව සිටින සේක.

‭‭ගීතාවලිය‬ ‭7:1‬ ‭
[1] මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ සරණ කොට (විශ්වාසය තබන්නා) ගනිමි. මා ලුහුබැඳ එන්නාවූ (පීඩා කරන්නන්) සියල්ලන්ගෙන් මා ගළවා නිදහස්කළ මැනව.

බයිබලයේ පරණ ගිවිසුමේ පද අප අලුත් ගිවිසුමට හරවා අපි යාච්ඤා කරමු. “ස්වාමිනී ඔබවහන්සේ මාව සියල්ලෙන් ගළවා නිදහස් කල නිසා ස්තූතියි” යනාදි ලෙසින්.

අපි වචනය අසන විට අපගේ සිතේ වැපිරූ දේ උදුරා ගැනීමට පැමිණෙන්නේ යක්ෂයාය. (මතෙව් 13:19)

මාර්ක්‬ ‭4:14‭-‬15‬ ‭‬‬වචනය ඇසූ කල තමුන්ගේ සිත් තුළ වපුළ වචනය සාතන් එකෙණෙහිම ඇවිත් පැහැරගනීද, වචනය වපුරනලද මග අසල වූවෝ නම් ඔව්හුය.

‭‭ලූක්‬ ‭8:12‬ ‭මග අසල ඒවා නම් වචනය ඇසූ අයය; එකල ඔවුන් අදහා නොගැළවෙන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිත්වලින් වචනය උදුරාගන්නේය.

ඔබ අසන්නාවූ දේව වචනයේ පොරොන්දුව විශ්වාස කරමින් එය තදින් අල්ලාගෙන එය ඉටුවනතුරු ස්තූතිදෙමින් ස්ථීරව සිටින්න. මන්ද ඔබ එය අදහා නොගැළවෙන පිණිස යක්ෂයා ඔබගේ සිතින් එය සොරකම් කරන්නට බලා සිටියි.

අසන්නාවූ වචනයට ඵල දරන්නට ඔබ ඉඩ දිය යුතුය.

යක්ෂයා අකාලයට යේසුස්වහන්සේ මරා දමන්නට තැත් කළා.

සතුරා අපට එරෙහිව ක්‍රියා කරන්නේ අප දෙවියන්වහන්සේගේ ස්වරූපයට සමානත්වයට මවා තිබෙන නිසාය.

අපි දෙවියන්වහන්සේව හඳුනන සෙනඟක් වන්නෙමු. නපුරාගෙන් ජයගෙන සිටින්නන් වන්නෙමු.

යේසුස්වහන්සේගේ ගෝලයෙකු වූ යොහන් යේසුස්වහන්සේට ළංව, පේ‍්‍රමයෙන් උන්වහන්සේ අසලම සිටි නිසා අන් සුභාරංචි වල නොදකින දේවල් ඔහුගේ පොත්වල අපට දකින්ට ලැබේ.

‭‭‭‭1 යොහන්‬ ‭2:13‭-‬14‬ ‭‬‬
පියවරුනි, මා නුඹලාට ලියා එවන්නේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවන්නේ, නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පියාණන්වහන්සේ අඳුනන බැවින්ය. [14] පියවරුනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්ය.

දෙවියන්වහන්සේ කෙරෙහි ඔබගේ විශ්වාසය දිනපතා වැඩිකරගන්න. එසේ කළ හැකිවන්නේ ඔබ උන්වහන්සේව හඳුනාගැනීමෙනි.

යොහන් තම පොතේ තුන්ගොල්ලකට කථා කරයි. පියවරුන්ට, තරුණයන්ට, දරුවන්ට.

ගැළවීම ලැබූ අලුත අප දරුවන් මෙන්ය. පසුව තරුණභාවයට පත්ව අනතුරුව පියවරුන් වන්නෙමු.

පියවරුන් සිටින්නේ දෙවියන්වහන්සේව දැන හඳුනාගෙන, පරික්ෂා පීඩා හමුවේ ජයගෙන දෙවියන්වහන්සේ තුළ ඉදිරියට ගියාවු අය ලෙසයි. ඔවුන්ට තරුණ අයට හොඳ උපදෙස් දිය හැකි වේ.

තරුණයන්ටත්, දරුවන්ටත් පවසන්නේ, දෙවියන්වහන්සේව හඳුනාගෙන විශ්වාසකරමින් ඇදහිල්ලෙන් ඉදිරියට යන ලෙසයටයි.
තරුණයන් දෙවියන්වහන්සේ ඉදිරියේ භාරවී නපුරාගෙන් ජයගත යුතුය.

දේශනාකාරයා 12:1
තවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ මැවුම්කාරයා සිහිකරන්න, මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය, මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළංවන්නේය.

ඔබගේ යෞවන කාලය දෙවියන්වහන්සේට භාර දෙන්න. අප යේසුස්වහන්සේව පිළිගන්නා විට උන්වහන්සේව දැන හඳුනා ගන්නෙමු. උන්වහන්සේ තුළ අපගේ විශ්වාසයද, ඇදහිල්ලද වැඩිකර ගන්නෙත් උන්වහන්සේව හඳුනාගනිමිනි.

පියවරුන්ටත්, තරුණයන්ටත්, දරුවන්ටත් පවසන්නේ දෙවියන්වහන්සේව හඳුනා ගෙන ජීවිතය ගොඩනගා ගන්න කියාය.
ස්වාමීන්වහන්සේ හඳුනාගැනීමෙන්, පංගුකාරකම් පැවැත් වීමෙන් ආත්මිකව වර්ධනය වනු ඇත.

ඔබ අදහාගෙන තිබෙන, අසා තිබෙන දෙවියන්වහන්සේගේ වචනය, නපුරාට උදුරාදමන්නට ඉඩ නොදෙන්න.

ඔබගේ ඇදහිල්ල, විශ්වාසය දෙවියන්වහන්සේ මතම තබන්න.


Watch the Sermon Video

Read 114 times