+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ජීවනය හා සමාදානය භුක්ති විඳින පිණිස ආත්මිකව වර්ධනය වන්න - මනූ මැතානි
December 17, 2023 Sunday Sermon Notes

 

ගැළවීම ලබා ගෙන ඔබට හැමදාම බිළින්ඳෙකු ලෙස ජීවත්විය නොහැක. ඔබ වර්ධන වී යම් මට්ටමකට පැමිණිය යුතුය.

ආත්මික වර්ධනයට වයස් සීමාවක් නැත.

ආරම්භයේ සිට ඔබ දෙවියන්වහන්සේ සමඟ ආත්මික සම්බන්ධකමක් ගොඩනඟා ගන්න. ඔබ ආත්මිකව වචනය තුළ වර්ධනය වන්න. ආත්මිකව වර්ධනය වූ කෙනෙක් නිතරම අන් අයව ශක්තිමත් කළ යුතුයි.

දිනෙන් දින අපි ආත්මිකව වර්ධනය වෙමු.

ආරම්භයේ සිට ඔබ දෙවියන්වහන්සේ සමඟ ආත්මික සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමෙන් ඔබට ආත්මික අත්දැකීමක් ලැබෙයි. ඒ ආත්මික අත්දැකීම තුළ ඔබට ඕනෑම අවස්ථාවක දෙවියන්වහන්සේගේ දෙනෙත් තුළින් දේවල් දකින්නට පුලුවන.

ආත්මික වර්ධනයට වයස බලපාන්නේ නැත.

යෙසායා 40:30-31
30 තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය. 31 නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

තරුණයන් පවා වෙහෙසට පත් වෙති. නමුත් ආත්මිකව වර්ධනයවූ දෙවියන්වහන්සේව ආරම්භයේ සිට දැන හඳුනන්නාවූ මනුෂ්‍යයෙක්, ක්ලාන්තව වෙහෙසට පත්නොවී සිටින්නේ ආත්මිකව ශක්තිමත්ව සිටින නිසයි.

තවත් කෙනෙකුව නිතරම ධෛර්යමත් කිරීමටද, ශක්තිමත් කිරීමේ හැකියාවද ඔහු තුළ ඇත.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකුට නියම කළ ස්ථානය එයයි.

සමහරුන් කොපමණ කල්ගියත් වර්ධනයක් නැතිව, එකම ලෙසින් ළදරුවන්ව සිටිති. එය දුක් සහිත කාරණාවකි.

ආත්මිකව වර්ධනයවූ කෙනා හොඳින් සිතා බලා වචන හසුරුවයි.

ආත්මිකව වර්ධනයවීම ජීවිතයට ඉතා වැදගත් දෙයකි.

අපි ගමන් කරන්නේ තාවකාලික ගමනක් නොවේ, දිගුකාලීන ගමනක්.

යේසුස්වහන්සේ ආත්මිකව වර්ධනයවූ පියෙක් මෙන් කටයුතු කළ සේක.

‭‭යොහන්‬ ‭2:23‭-‬25‬ ‭
[23] උන්වහන්සේ පාස්කු මංගල්‍යයේදී යෙරුසලමෙහි සිටි කල්හි බොහෝ දෙනෙක් උන්වහන්සේ කළ ලකුණු දැක, උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්තෝය. [24] නුමුත් යේසුස්වහන්සේ සියල්ලන් දන්නා බැවින්ද මනුෂ්‍යයා තුළ තිබෙන්නේ කුමක්දැයි දන්න නිසා, [25] මනුෂ්‍යයා ගැන යමෙකුගේ සාක්ෂියෙන් උන්වහන්සේට ඕනෑකමක් නැති බැවින්ද තමන්ම ඔවුන්ට භාරනුවූසේක.

යේසුස්වහන්සේ කවදාවත් මනුෂ්‍යයන්ට භාරවුණේ නැත්තේ උන්වහන්සේ ආත්මිකව වර්ධනය වූ කෙනෙකු ලෙස සිටි නිසයි.

යේසුස්වහන්සේ මනුෂ්‍යයන් කොයි ආකාරයෙන් ක‍්‍රියා කරන්නේද කියා දැනසිටියේය. අද හෝසන්නා කියූ අය හෙට කුරුසිපත් කරන බව උන්වහන්සේ දැන සිටිසේක.

දෙවියන්වහන්සේ දේශකයින් පත් කර තිබෙන්නේ දේශනා කරන්නටයි, වචනය උගන්වන්නටයි.

දේශකයා වචනය කියා දුන් පසු එය ක‍්‍රියාවට නංවන්නේද නැද්ද යන වගකීම අසන්නා සතුයි.

හෙබ්‍රෙව්‬ ‭13:17‬
[17] නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රුකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.

ආත්මික ප්‍රධානින් කරන දේවල් නිතරම ප්‍රීතියෙන් කළ යුතුයි. තමා උගන්වන දේවල් හරියට උගන්වනවාද කියා ඔහු ගණන් දිය යුතු වේ.

දේශකයන් උගන්වන යහපත් දේවල් සතුටින් ප්‍රීතියෙන් අප කරන්නට අවශ්‍යයයි.

දේශකයාගේ වගකීම වන්නේ, ඔහු විසින් අසන්නාට කියා දෙන්නාවු දේ ප‍්‍රීතියෙන් උගන්වනවාද යන්නය. එය මනසට ඇතුල්වන්නේ කෙසේද යන්නෙන් වචනයෙන් ඔවුන්ගේ සිත වෙනස්වනවාද කියා දැන ක‍්‍රියාකිරීම අසන්නාගේ වගකීමයි.

දෙවියන්වහන්සේ ඔබගේ ආත්මය ගලවා ඇත. උන්වහන්සේ ඔබගේ ආත්මය සමඟ එක්ව සිටින්නේය. දෙවියන්වහන්සේ කවදාවත් අපව අත් හැරදා නොයන බැවින් අපගේ ආත්මය නැතිවන්නේ නැත. ඔබගේ අත්තිම හුස්ම දක්වා උන්වහන්සේ ඔබ සමඟය.

අසන්නාගේ ප‍්‍රාණය දියුණුවීමට තමන් උගන්වන්නේ කුමක්ද කියාත් එය කරන්නේ ප‍්‍රිතියෙන්ද සුසුම්ලෑමෙන්ද කියා දේශකයා විසින් ගණන් දෙන්ට අවශ්‍යයි.

දේශකයා තමාගේ අසීරුකම් අසන්නා වූ අය ඉදිරියේ ප‍්‍රකාශකිරීම නුසුදුසුය.

3 යොහන්‬ ‭1:2‬
ප්‍රේමවන්තය, නුඹේ ආත්මය (ප්‍රාණය) සඵලවන්නාක්මෙන්ම නුඹ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාච්ඤාකරමි.

ඔබගේ ප්‍රාණය (මනස) ඔබ දියුණු කරගන්න (අලුත් කරගන්න) තරමට, අපි හොඳ සුවයෙන් හා සෑම දෙයකින් සඵලවත්ව ජීවත් වන්නෙමු.

ප‍්‍රාණය යනු ඔබගේ මනසයි. ඔබගේ හැඟීම්, ඔබගේ කැමැත්ත තිබෙන්නේ ඔබගේ ප‍්‍රාණය තුළයි.

ඔබගේ මනස දියුණු විය යුතුය.

අප නමස්කාර කරන්නේ මුලු මැවිල්ලම අයිති දෙවියන්වහන්සේටය. (ගීතාවලිය 95:3-7)

නමුත් ඔබගේ මනස, ජීවත්වීමේ අසීරුකම ගැන කථා කරන්නේ නම් ඔබ තවමත් අළුත් කර නොගත් කුඩා මනසකින් ජීවත් වන්නේය.

අපගේ සිතුවිලි අදහස් දෙවියන්වහන්සේ තුළ වෙනස් කර ගත යුතුයි.

දීමට නොපැකිලෙන්න. දීමෙන් ඔබ ආශීර්වාද ලබා ගන්නේය.

ඔබ ජීවත් විය යුත්තේ ස්වාමීන්වහන්සේගේ තේජස් සම්පතේ ප්‍රකාරයටයි.

ඔබ මනස වෙනස් කර ගත් විට, ඔබ ජීවත් වෙන්නට යන්නේ ඔබගේ සාක්කුවේ තිබෙන ප‍්‍රමාණයට නොව, උන්වහන්සේගේ සැපයීමේ ප‍්‍රකාරයටයි.

යේසුස්වහන්සේ අපගේ සැපයුම්කරුයි.

යේසුස්වහන්සේට කිසි අඩුවක් තිබුණේ නැත. උන්වහන්සේට භාණ්ඩාගාරිකයෙක් පවා සිටියේය. (යොහන් 13:29)

දෙවියන්වහන්සේ අපට පවසන්නේ, අපගේ සිත වෙනස් කරගන්නටයි.

අප තුළ ආත්මික මනසක් නොමැතිනම්, අපට ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කළ නොහැකි වනු ඇත.

අපගේ මනස දෙවියන්වහන්සේගේ වචනයෙන් පූර්ණ කරගත යුතුය.

ලෝකයේ සියල්ලන්ගේ ප‍්‍රශ්න ඔබගේ මනසට දමා නොගන්න. මන්ද ඔබට එය දරා ගැනීමට අසීරුය.

දෙවියන්වහන්සේ පවසන්නේ ඔබගේ සිතට එන කනස්සල්ල පවා උන්වහන්සේට භාර දෙන ලෙසය. (මතෙව් 6:25-34)

ස්වාමීන්වහන්සේ අපට අවශ්‍ය දේ, අවශ්‍ය වේලාවේදී සපයා දෙන සේක.

රෝම‬ ‭8:6‬ ‭
මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.

මාංශාකාර මනසක් තිබීමෙන් ඔබ දෙවියන්වහන්සේ සීමා කරන්නේය.

අප විශ්වාස කරන්නේ අපට දකින්න තිබෙන දේය. පෙනෙන, හැඟෙන දේය. ඊට එහා යමක් නැත. මාංසික ලෙස සිටින්නන් කථා කරනුයේ මාංසාකාර මනසකින්.

‭‭රෝම‬ ‭8:5‬
[5] මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති.

ආත්මිකව සිටින්නන් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් ජීවත් වෙති.

ඔබ ඇදහිල්ලෙන් වර්ධනය වන තුරු ඔබගේ ඖෂධ වලට යාච්ඤා කරමින් ”ස්වාමීනී මේ බෙහෙත් බලවත් සේ ක‍්‍රියාකරමින් මා හට අතුරු ආබාධ නොමැතිව, මට මේ රෝගයෙන් සම්පූර්ණ නිදහස දුන්න නිසා ස්තූතියි. මා හට නිතිපතා බෙහෙත් වලින් ජීවත් වෙන්නට අවශ්‍යය නැත. ඔබවහන්සේ තුළ වර්ධනය වෙමින් දිනපතා මෙම බෙහෙත් ප‍්‍රමාණය අඩු කරමින් ජීවත්වෙන්ට මට අවශ්‍යයයි. මට නිදහසේ ගමන් කරන්නට අවශ්‍යයි. යේසුස්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ ශරීරයේ තුවල දරාගත්සේක. ඒ තුළින් අපව සුව කරනු ලැබුවාය. 1 පේත‍්‍රැස් 2:24 යන පොරොන්දුවේ ඔබවහන්සේගේ සත්‍යය තුළ ජීවත් වෙමි” යැයි පවසමින් ඔබගේ ඇදහිල්ලේ යම් මට්ටමකට එන තුරු එය ලබා ගන්න.

බෙහෙත් පෙති විසිකිරීමෙන් ඇදහිල්ල පැමිණෙන්නේ නැත.

ඇදහිල්ල වර්ධනය වන්නේ දෙවියන්වහන්සේගේ වචනය ඇසීමෙන්.

ආත්මික ලෙස හැසිරෙන්න. ආත්මික දේ වලට අවනත වන්න. ආත්මික මනුෂ්‍යයන් හෙළා නොදැක, ඒ අයගෙන් උදාහරණ ගන්න.

ආත්මික කෙනා පැමිණ සිටින ස්ථානයට ඔබවත් ගෙන එන්නට දෙවියන්වහන්සේට හැකි බව විශ්වාස කරන්න.

ආත්මිකව වර්ධනය වන කෙනෙකුව කිසිදා සුළු නොකරන්න. එසේ කිරීමෙන් විනාශයට පත්වන්නේ ඔබමයි.

හිතෝපදේශ‬ ‭13:13‬ ‭
[13] දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි.

දෙවියන්වහන්සේ කථා කරන්නාවු දේ පිළිගමු.

නොසැලකිලිමත් කමෙන් කිසිදා දියුණු විය නොහැකිය.

උන්වහන්සේ කිසි දෙයක් අපතේ වීසි කළේ නැත. ඉතුරු වූ කෑම කූඩ දොළහක් එකතු කරගන්න කී සේක. (යොහන් 6:12)

ඒ තුළින් අප ජීවිතයේ ගෙන යා යුතු ආකාරය යේසුස්වහන්සේ ඉගැන්වූ සේක.

දෙවියන්වහන්සේගේ දේවල් සුළු නොකරමු.

අපි ආත්මිකව දේවල් දකිමු.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ තේජස් සම්පතේ ප‍්‍රකාරයට අපට පොරෙන්දු දී ඇත. (පිලිප්පි 4:19)

රෝම‬ ‭8:6‬ ‭
[6] මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.

ආත්මික මනසක් තිබෙන විට අපට දේව සමාදානයෙන්, සඵලත්වයෙන් ජීවත්වීමට පුළුවන.

දෙවියන්වහන්සේගේ ඝනයේ ජීවනය අපට අත්දකින්නට පුළුවන.

සඵලත්වයෙන් ජීවත්වෙන්නට තීරණයක් කරගන්න.

ඔබට දී තිබෙන ප්‍රමාණය ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාද කරයි. නමුත් ඔබ දියුණුවෙන්න තීරණය කරගන්න.

මාංසාකාර මනසක් ඇති අය, ගත කරන්නේ මළා වූ ජීවිතයකි.
මන්ද? ඔවුන් ආත්මිකව වර්ධනය වී නොමැති හෙයිනි.

ඔවුන් ආත්මිකව මනස වෙනස් කර නොමැත.

ඔබගේ ප‍්‍රාණයට නැත්නම්, ඔබගේ ජීවිතයට වර්ධනයක් ඇති නොවන විදියට ඔබට ඇඟිල්ල දික්කර හෝ නැත්නම් ඔබව පරාජයට පත් කරන්නට කිසි කෙනෙකුටවත් ඉඩ දෙන්න.

ඔබට ආත්මිකව වර්ධනය වෙන්න නොහැකිවීම ගැන අන් අය පිට දොස් නොපවරන්න.

ඔබ තුළ තිබෙන කම්මැලි ස්වභාවය නිසා එලෙස නොපවසන්න.

මාංසාකර මනසක් ඇතිව ඔබ සිටියොත්, දිනපතා ඔබට ජීවත්වීමට වන්නේ පරාජයෙන්. මාංශාකාර මනසක් ඇතුව සිටීම පරාජිතව ජීවත් වීමයි. මරණය කියන්නේ පරාජයයි.

බයිබලයේ, “මරණය” යන වචනය පාවිච්චි වෙන්නේ පරාජීත ජීවිතයක් ගත කිරීම ගැනයි.

ලූක්‬ ‭15:24‬ ‭
[24] මක්නිසාද මේ මාගේ පුත්‍රයා නැසී, නැවත ජීවත්ව සිටියි; ඔහු නැතිවී, සම්බවීයයි කීවේය. එවිට ඔව්හු ප්‍රීතිවෙන්ට පටන්ගත්තෝය.

අකීකරු පුත්‍රයා මාංශාකාරව ජීවත් වූ නිසා ලැබුනු වස්තුව නැතිකරගන්නා ලදි. ඔහු පරාජිතව මළාවූ කෙනෙකු ලෙසයි සිටියේ. (ලූක්‬ ‭15:16-17) ‭

සැබවින්ම ඔබ මාංසාකාරව ජීවත්වන කෙනෙක් නම් ඔබ මැරුණු කෙනෙක් හා සමානය.

1 තිමෝති‬ ‭5:6‬ ‭
නුමුත් සැප සෙල්ලමින් පසුවෙන තැනැත්තී ජීවත්ව සිටියදීම මැරී සිටින්නීය.

කෙනෙකු පරාජිතව මාංශාකාරව සිටියොත් ඒ කෙනා ජීවත් වන්නේ මැරුණු පුද්ගලයෙකු ලෙසයි. මරණය ඒ ජීවිතයේ රජකම් කරයි.

ආදම් සහ ඒවට පැවසුවේ, යහපත හා නපුර ගහෙන් කන්ට එපාය කියාය. කෑවොතින් ඔවුන් ඒකාන්තයෙන්ම නසින බවයි. (උත්පත්ති 2:17)

එහෙත් ඔහුන් එය කෑ සැනකින් මිය ගියේ නැත. දෙවියන්වහන්සේ හා සබඳතාවය විසන්දිවුණි. නිවසේ භේද ඇතිවුණි. පලමු මරණය ඇතිවුණි. (උත්පත්ති 4:6-11)

එතැන් පටන් ලොව තුළ බොහෝ මලානික දේ සිදුවුණි.

අදටත් පාපයේ හා මරණයේ ව්‍යවස්ථාව මනුෂ්‍යයන්ගේ ජීවිතවලට බොහෝසේ බලපෑම් ඇති කරයි.

දෙවියන්වහන්සේ අපට ජීවනයක් දී ඇත. ඔබ එය ඔබගේ සිතට දැනුවන් කළ යුතුය.

ඔබ දිනපතා වැරදි දේ නොසිතා හරි දේ සිතන්නට පුරුදු වෙන්න.

දෙවියන්වහන්සේ කථා කරන්නේ මේ ආකාරයටයි. මාංසාකරව ඔබ සිටියොත් මරණය අත්දකින්නේය. නමුත් ආත්මිකව සිටියොත් ඔබට ජීවනය ලබා ගත හැකිය.

යේසුස්වහන්සේ පැවසුවේ, මා පැමිණියේ ඔබට ජීවනය දෙන පිණිසයි.

ග‍්‍රීක් භාෂාවෙන් එය ”zoe” යන වචනයෙන් හඳුන්වයි.

එහි අර්ථය ”දෙවියන්වහන්සේගේ ඝනයේ ජීවනයයි.”

“මා පැමිණියේ ඔබට ජීවනය දෙන්නයි“ කියා යේසුස්වහන්සේ පැවසුවේ, මළාහු අයට නොව ජීවත්වන හුස්ම ගන්න මනුෂ්‍යයන්ටය.

‭‭යොහන්‬ ‭10:10 ‭
[10] සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ තුළට පැමිණි කල, ඔබ සාක්ෂිකරුවෙකු වන්නේය. දෙවියන්වහන්සේ ඔබව ලකුනක් හා පුදුමයක් කර තිබෙන්නේය.

දෙවියන්වහන්සේ පුදුමාකාර දේවල් කරන්නාවූ කෙනෙකුය.
එමනිසා ඔබ දිනපතා දෙවියන්වහන්සේගේ යහපත් දේ ජීවිතය තුළ අත්දකින්න.

යෙසායා 8:18
බලව, මමද ස්වාමීන්වහන්සේ මට දුන් දරුවෝද සියොන් කන්දෙහි වසන සේනාවල ස්වාමීන්වහන්සේ කෙරෙන් ඉශ්‍රායෙල්ට ලකුණුද පුදුමද පිණිස සිටිමුව.

ඔබ සිටින්නේ සීයොන් කන්දෙහිය. සීයොන් කන්ද යනු දෙවියන්වහන්සේගේ අභිමුඛත්වයයි.

මනුෂ්‍යයා ඔබ දෙස බලන්නේ ඔබගේ වචන හා හැසිරීමෙනි.

හෙබ්‍රෙව් 12:22
නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්,

ස්වාමීන්වහන්සේ ඔබව ස්වර්ගීය ස්ථාන වල සිදුවා සිටින්නේ.
ඔබ ස්වර්ගීය පුරවැසිභාවයක් ලබාගත් කෙනෙකු නිසයි.

පෝතිඵර්ගේ භාර්යාව ඇය හා වැරදි ඇසුරකට යෝසෙප්ව පෙළඹවීමට උත්සාහ කළ විට යෝසෙප් පැවසුවේ, දෙවියන්වහන්සේට විරුද්ධව මා කෙසේ පව් කරන්නද කියාය. (උත්පත්ති 39:9)

ඔහු සිටින්නේ දෙවියන්වහන්සේගේ අභිමුඛත්වයේ බවත් දෙවියන්වහන්සේට සියල්ල පෙනෙන බවත් ඔහු දැන සිටියාය.

අපට ද්විත්ව පුරවැසිභාවයක් ඇත. පොළොවේ නාමයක් හා ස්වර්ගයේ පුරවැසිභාවයක් අපට දී ඇත.

ආත්මික තලයේ ජීවත්වීම ඉතාමත් වටී. අපට ජීවනය අධික ලෙස ඇත.

යේසුස්වහන්සේ කථා කල දේවල් ගැන මනුෂ්‍යයන් පුදුමයට පත්වුණි.

යොහන් 8:51-52
සැබවක් සැබවක් නුඹලාට කියමි-යමෙක් මාගේ වචනය රක්ෂාකරන්නේ නම් ඔහු කිසිකලක මරණය දකින්නේ නැතැයි කීසේක. යුදෙව්වරු උන්වහන්සේට කථාකොට: නුඹට යක්ෂයෙක් ආවේශවී සිටින බව දැන් අපි දනිමුව. ආබ්‍රහම්ද අනාගතවක්තෘහුද මළෝය; යමෙක් මාගේ වචනය රක්ෂාකරන්නේ නම් ඔහු කිසිකලක මරණයේ රස නොවිඳින්නේමයයි නුඹ කියයි.

වචනයේ බලය ඔබ රසවිඳින්නේ නම් ඔබ කිසිකලක මරණයේ රස නොවිඳින්නේය.

යේසුස්වහන්සේ කියු වචන වල අර්ථය යුදෙව්වරුන්ට වැටහුනත් ඔවුන් එය පිළිගන්නට කැමතිවූයේ නැත. ඔවුන් යේසුස්වහන්සේට යක්ෂයෙක් ආවේශවී යයි පැවසීය. අද ඔබටත් මනුෂ්‍යයන් එලෙසින් පැවසිය හැකිය.

යොහන් 8:53-55
නුඹ අපගේ පියාවූ ආබ්‍රහම්ට වඩා උතුම් කෙනෙක්ද? ඔහු මළේය; අනාගතවක්තෘවරුද මළෝය. නුඹ කවරෙක කියා කියාගන්නෙහිදැයි කීවෝය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම මටම ගෞරව කරම් නම් මාගේ ගෞරවය හිස්ය. මට ගෞරවකරන්නේ මාගේ පියාණන්වහන්සේය; උන්වහන්සේ නුඹලාගේ දෙවියන්වහන්සේයයි නුඹලා කියහුය; නුඹලා උන්වහන්සේ ඇඳිනගත්තේ නැත. නුමුත් මම උන්වහන්සේ අඳුනමි; උන්වහන්සේ නාඳුනමියි කීවොත් මමත් නුඹලා හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. නුමුත් මම උන්වහන්සේ අඳුනමි; උන්වහන්සේගේ වචනයද රක්ෂාකරමි,

යුදෙව්වරුන් ආත්මික මනුෂ්‍යයන් යැයි තමන් ගැනම ප‍්‍රකාශ කළාට ඔවුන් දෙවියන්වහන්සේ හඳුනාගෙන සිටියේ නැත. ඔවුන් තුළ ආත්මිකභාවයක් නොතිබුණි. ඔවුන් මෙපමන කලක් බලා සිටි මෙසියස්වහන්සේ ඔවුන් අතරට පැමිණි බව ඔවුන් විශ්වාස නොකරන ලදි.

යොහන් 8:56-59
නුඹලාගේ පියවූ ආබ්‍රහම් මාගේ දවස දකින්ට ප්‍රීතියෙන් සිටියේය; ඔහු ඒ දැක සන්තෝෂවීයයි කීසේක. එබැවින් යුදෙව්වරු: නුඹ තවම අවුරුදු පණහක් වයස නැතුව, ආබ්‍රහම් දුටුවෙහිදැයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් සැබවක් නුඹලාට කියමි- ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටියිමි කීසේක. එබැවින් ඔව්හු උන්වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ සැඟවී දේවමාළිගාවෙන් පිටවී ගියසේක.

යේසුස්වහන්සේ පැවසූ සත්‍යය විශ්වාස නොකල යුදෙව්වරු උන්වහන්සේට ගසන්නට ගල් අතට ගන්නා ලදි.

අදටත් මනුෂ්‍යයන් ඔබ කථා කරන වචනය ගැන, ඔබගේ ආත්මික ජීවිතය ගැන ඔබව සුළුකරයි. ඔබගේ ආත්මික වචන වලට උසුළු විසුළු කරයි.

එහෙත් දෙවියන්වහන්සේ ඔබගේ මෝඩකමින් ප‍්‍රඥාවන්තයන් ලැජ්ජාවට පත් කරයි.

ඔබ සිටින මට්ටමෙන් ඔබ ආත්මික මට්ටමට ගිය කල ආත්මික මනුෂ්‍යයා කියු සත්‍යය ඔබ අත්දකිනු ඇත.

ඔබ ජීවත්වන්නේ එළිදරව්වෙනි.

ගෝලයන් මුළු රාත‍්‍රියේ වෙහෙසුනත් ඔවුන්ට එක් මත්ස්‍යයෙක්වත් අසු නොවුනි. එහෙත් යේසුස්වහන්සේ පැවසූ එක් එළිදරව්වේ වචනයකින් ඔවුන්ට මසුන් රාශියක් අසුවුණි. (ලුක් 5:5-6)

නව ගිවිසුම කියවමින් ජීවනයේ වචන මෙහෙහි කරන්න.


Watch the Sermon Video

Read 84 times