+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේගේ දීමනාව - යෝෂා මනූ
December 24, 2023 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේ යහපත්ය. උන්වහන්සේ විශ්වාසවන්ත එඬේරාණෝය. උන්වහන්සේ අප තුළ කළා වූ ක‍්‍රියාව නිසා අපි උන්වහන්සේට ස්තූතිවන්තවෙමු.

නත්තල යනු දෙවියන්වහන්සේ අපට දුන් උතුම් දීමනාව වූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ සැමරීමය.

උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටි කුළුදුලාය. ඔබ උන්වහන්සේව අදහන කල එම මළවුන්ගෙන් නැඟිටි ආත්මය ඔබ තුළ බලවත් සේ ක්‍රියා කරන්නේය.

එමනිසා අප බිළිඳාව පමණක් නොව, රජුන්ගේ රජවු, මළවුන්ගෙන් නැඟිටි කුළුඳුලා වූ දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණුපස වැඩ හිඳින්නාවු තැනැන්වහන්සේ වන යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේව සැමරිය යුතුය.

ක‍්‍රිස්තුස්වහන්සේ තුළ නව ජීවනයක් ලැබූ අපද සිටින්නේ ක‍්‍රිස්තුස්වහන්සේ තුළය.

දෙවියන්වහනසේගේ චරිතය හා, ගුණාංගය වන්නේ දීමයි. උන්වහන්සේ නිතරම ප‍්‍රීතිවන්නේ ද යමක් දීම තුළින්ය.

ආදම්ගේ වැරැද්ද නිසා දෙවියන්වහන්සේට උන්වහන්සේගේ පුත‍්‍රයාණන් මෙලොවට එවීමට සිදුවිය.

යොහන් 3:16
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ඒකජාතක පුත‍්‍රයාණන් අප වෙනුවෙන් මෙලොවට එවූ සේක.

දෙවියන්වහන්සේ ඔබටත් මටත් ලෝකයාටත් දැක්වූ පේ‍්‍රමයට කිසි සීමාවක්, කොන්දේසියක් නැත. ඒ පේ‍්‍රමය අපට මේ කුඩා මනසින් කිසිසේත්ම වටහා ගත නොහැකිය.

ඒ පේ‍්‍රමය දෙවියන්වහන්සේ පෙන්වා දුන්නේ කුරුසියේදීය. දෙවියන්වහන්සේව මනුෂ්‍යයකුට සමාන නොකරන්න.

ඔබට විනාශ නොවී සදාකාල ජීවනය ලබා ගත හැකි වන්නේ උන්වහන්සේව අදහා ගැනීමෙන් පමණි.

යොහන් 3:35
පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේමකරනසේක, සියල්ල උන්වහන්සේ අතට භාරදී තීබේ.‍

කුරුසියේ පූජා වූ යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිට දෙවියන්වහන්සේගේ දකුණු පසෙහි දැන් වැඩහිදින සේක.
(කොලොස්සි 1:2, හෙබ්‍රෙව් 1:3, 10:12, 12:2)

දෙවියන්වහන්සේ මහිමයට පත්කළ එම ස්ථානයේම යේසුස්වහන්සේ වැඩ සිටින සේක. දෙවියන්වහන්සේ පුත‍්‍රයාණන්ට සියල්ල භාරදී ඇත.

යොහන් 3:34
මක්නිසාද දෙවියන්වහන්සේ විසින් එවනලද තැනන්වහන්සේ දෙවියන්වහන්සේගේ වචන කථාකරනසේක. කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ මිම්මක් සහිතව ආත්මයාණන් නොදෙනසේක.

දෙවියන්වහන්සේ දේව වචනය තුළින් අපට කථා කරන සේක. විනිශ්චය පවා දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට භාරදී තිබේ.

යොහාන් 3:36
පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත; නුමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය, දෙවියන්වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතියි.

අප අදහාගැනීමෙන් සදාකාල ජීවනයට ඇතුල්වේ. අදහා නොගන්නාවු පුද්ගලයා ජීවනය අත්නොදකී.

සුභාරංචිය නම් යේසුස්වහන්සේ පවසන්නේ උන්වහන්සේව පිළිගන්නා ලෙසයි.

යේසුස්වහන්සේ මේ පොළොවට පැමිණියේ දෙවියන්වහන්සේත් මනුෂ්‍යයාත් අතර සමාදානය ඇති කිරීමටය.

ලූක් 2:14
ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.

ආරම්භයේ මනුෂ්‍යයන්ගේ වැටීම තුළින් ඔවුන් දෙවියන්වහන්සේගෙන් ඈත්වුනි. (උත්පත්ති 3:22)

දෙවියන්වහන්සේ හා මනුෂ්‍යයා අතර සම්බන්ධතාවයක් නොතිබුණේය.

රෝම 5:8
නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය.

අප පාපයේ ඇලී ගැලී සිටියදීම දෙවියන්වහන්සේ අපට පේ‍්‍රමය පෙන්වූ සේක.

පව්කාරකමින් අපව ගළවා මුදවා ගැනීමට දෙවියන්වහසේට අවශ්‍යය වුණි. අප වෙනුවෙන් යේසුස්වහන්සේ මරණය වින්ඳසේක.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතැබූසේක.

2 කොරින්ති 5:19
එනම්, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන්වහන්සේට සමඟිකරගනිමින් සිටියසේක, සමඟිකිරීමේ වචනයද අපට භාරදුන්සේක.

දෙවියන්වහන්සේ ඔබ සමඟ කෝපයෙන් නොසිටින සේක. වරදට සමාව දීමට උන්වහන්සේ බලා සිටියි.

ඔබ දැන් පව්කාරයෙක් නොව, ධර්මිෂ්ඨ දේව දරුවෙකුය. ඒ ගැන සතුටුවන්න.

යේසුස්වහන්සේ මේ ලොවට පැමිණි කාරණාව මනුෂ්‍යයාට ප‍්‍රකාශ කිරීමට ඔබ සත්‍යය දැන සිටිය යුතුය.

ඔබ මනුෂ්‍යයන් ඉදිරියේ සාක්ෂිකාරයෙක් වන්න.

2 කොරින්ති 5:20
එබැවින් දෙවියන්වහන්සේ අප ලවා ඉල්වන්නාක්මෙන් අපි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවියන්වහන්සේ හා සමඟිවෙන්නැයි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව.

ඔබ යේසුස්වහන්සේව පිළිගත් කල ඔබ ස්වර්ගය නියෝජනය කරන, දෙවියන්වහන්සේගේ ප‍්‍රීතිය, සමාදානය, යහපත්කම නියෝජනය කරන, තානාපතියෙකු වන්නේය. ඒ සඳහා ඔබව මේ පොළොවේ තබා ඇත.

ස්වාමීන්වහන්සේගේ අභිමුඛත්වයේ තිබෙන්නේ ප‍්‍රීතිය, ප‍්‍රශංසාව, නමස්කාරයයි.

ඔබ මේ පොළොවේ සිටින්නේ, දෙවියන්වහන්සේ දෙන්නාවූ වචනය මනුෂ්‍යයන්ට කියා දෙන්නටත් ස්වර්ග රාජ්‍යය කොයි ආකාරද කියා මනුෂ්‍යයන්ට පවසන පිණිසත් ය.

යේසුස්වහන්සේව ඔබගේ හදවතට පිළිගත් මොහොතේම ඔබට ස්වර්ගීය පුරවැසිභාවය හිමිවේ.

2 කොරින්ති 5:21
අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට * පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක. (* එනම් - පාපය තමන් පිටට ගන්ට)

අප ධර්මිෂ්ඨකම වන පිණිසත් දෙවියන්වහන්සේ සමඟ හරි සම්බන්ධකමක් අපට ඇති කරන පිණිසත් උන්වහන්සේ යේසුස්වහන්සේව පාපය වෙන්ට සැලැස්වූ සේක.

සත්‍යය දැන ගත් විට, ඒ දැනගත් සත්‍යය ඔබව නිදහස් කරයි.

තීතස් 3:4-5
නුමුත් අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ගුණවන්තකමද මනුෂ්‍යයන් කෙරෙහි ඇති ප්‍රේමයද ප්‍රකාශවූ කල, 5අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත්කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක.

දෙවියන්වහන්සේ පේ‍්‍රමයෙන් ප‍්‍රකාශවූයේ අපගේ කිසිම යහපත්කමක් නිසා නොව, යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම නිසාවෙනි.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළට පැමිණි කල අපට ශුද්ධකමින් ජීවත්වීමට අපහසු නැත.

ඔබට උපකාර කිරීමට උන්වහන්සේට ආරාධනා කරන කල උන්වහන්සේගේ උපකාරය ඔබට ලැබෙනු ඇත.

තීතස් 3:6
එසේය, උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨකරනු ලැබ, සදාකාල ජීවනයේ බලාපොරොත්තුවේ හැටියට උරුමක්කාරයන් වන පිණිස, …

යේසුස්වහන්සේ මේ පොළොවට පැමිණ ක‍්‍රියා කරන්නේ ශුද්ධාත්ම බලය කරණකොටගෙන බව උන්වහන්සේ දැන සිටින ලදි.

මරියාගේ කුස තුළ යේසුස්වහන්සේගේ පිළිසිඳ ගැනීම වූයේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙනය. (ලුක් 1:35, මතෙව් 1:20)

යේසුස්වහන්සේ මුල පටන් ශුද්ධාත්මයෙන් පිරී සිටින ලදි.

අප ගැළවීම ලබා යේසුස්වහන්සේට ස්වාමීන් යැයි පවසන්නේ ශුද්ධාත්මයාණන්වහන්ස්ගේ බලයෙනි. (රෝම 10:9-10)

ශුද්ධාත්මයාණන්වහන්සේ නොමැතිව අපට මේ පොළොවේ ශුද්ධකමින් ජීවත් වීමට නොහැකි වන්නේය.

1 යොහාන් 4:9-10
අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත්වන පිණිස උන්වහන්සේ ලෝකයට එවූ කාරණයෙන්ය. 10ප්‍රේමය මේය, එනම් අප දෙවියන්වහන්සේට ප්‍රේමකළා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය.

අප වෙනුවෙන් දෙවියන්වහන්සේත් මනුෂ්‍යයාත් අතර මැදහත්කාරයාණෝ යේසුස්වහන්සේය.

යේසුස්වහන්සේගේ පූජාවෙන් යේසුස්වහන්සේ දෙවියන්වහන්සේත් මනුෂ්‍යයාත් සමඟි කළ සේක.

දෙවියන්වහන්සේගේ කැමැත්ත මනුෂ්‍යයාව පාපයෙන් ගළවා ගන්නටත්, මුදවා ගන්නටත්‍ ය.

යොහන් 1:14
තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.

මාංසවත්වූයේ දේව වචනයයි.

පරණ ගිවිසුමේ අවුරුදු 4000 ක් දෙවියන්වහනසේ යේසුස්වහන්සේගේ නාමය සඟවා තබමින් තම පුත‍්‍රයාණන් පැමිණෙන බව පවසමින් සිටිසේක. මාංසවත්වූයේ වචනයයි.

යේසුස්වහන්සේ කථාකළ දෙවියන්වහන්සේගේ වචන වලින්ද යේසුස්වහන්සේගේ ප්‍රේමයෙන්ද මනුෂ්‍යයන් යේසුස්වහන්සේ තුළ තිබූ දෙවියන්වහන්සේගේ මහිමය දුටුවෝය.

යේසුස්වහන්සේ මනුෂ්‍යයන් නිදහස් කළ සේක. මනුෂ්‍යයාට සහනය ගෙන දුන්නේය. එයින් දෙවියන්වහන්සේගේ ප‍්‍රකාශවීම සිදුවුණි.

යොහන් 1:18
කිසිවෙක් කිසිකලක දෙවියන්වහන්සේ දුටුවේ නැත; පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශකළසේක.

යේසුස්වහන්සේ පොළොවට පැමිණ දෙවියන්වහන්සේව ප‍්‍රකාශ කළ සේක.

රෝම 5:10
මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමඟිකරනු ලැබුවෙමු නම්, සමඟිවුණාවූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව.

සමඟි කළා යනු, යේසුස්වහන්සේ තුළින් අපව එක්සත් කිරීමය. එක්සත් වීමෙන් ඔබට ජීවනයේ රජකම් කිරීමට පුළුවන.

ඔබට විරුද්ධව පැමිණෙන සතුරන්ට එරෙහිව සිටින්නට ඔබට ආධිපත්‍යය දී ඇත.

ඔබගේ ජීවිතයේ ඔබ රජකම් කරන්න. එවිට ඔබගේ වචන වලින් ඔබට මනුෂ්‍යයන්ට උපස්ථාන කළ හැකිය.

යේසුස්වහන්සේ පැමිණියේ මනුෂ්‍යයාට දීමනා බෙදා දීමටයි. (රෝම 8:32)

ආරම්භයේම දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට දීමනා දුන් සේක.

උත්පත්ති 2:16
ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥාකරමින්: නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන;

රෝම 8:32
තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?

දෙවියන්වහන්සේ අපගේ මැවුම්කරුය. උන්වහන්සේට සියල්ල දිය හැක. ඔබ උන්වහන්සේගේ උදාරභාවය, සැපයීම් විශ්වාස කරන්න. උන්වහන්සේට කිසි අඩුවක් නැත.

උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබේ විශ්වාසවන්තකමයි. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ යහපත අපට දෙන්නට ආශාවෙන් සිටී.

1 තිමෝති 1:15-16
පව්කාරයන් ගළවන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට ආසේක යන කීම විශ්වාසවූ සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය; ඔවුන් අතුරෙන් මම ප්‍රධාන පව්කාරයාය. 16එසේවී නුමුත් මට කරුණාව ලැබුණේ මේ නිසාය. එනම්, සදාකාල ජීවනය ලැබීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහන්ට සිටින අයට ආදර්ශයක් කොට උන්වහන්සේ විසින් ප්‍රධාන පව්කාරයාවූ මා කෙරෙහි තමන්වහන්සේගේ මුළු ඉවසිලිවන්තකම දැක්වීම පිණිසය.

යේසුස්වහන්සේගේ එකම ආශාව පව්කාරයන්ව ගැළවීමයි. පව්කාරයන්ව එපා නොකරන්න. ඒ අය ගැළවීම ලැබිය යුතු අයයි.

සුභාරංචි වචනය ඇසූ විට මනුෂ්‍යයන් නිදහස්වේ. යේසුස්වහන්සේ පැමිණියේ ධර්මිෂ්ඨයන් නොව, පව්කාරයන් ගළවන්නටය. ( මාක් 2:17)

පාවුල්තුමා ඔහුව ප‍්‍රධාන පව්කාරයා ලෙස හඳුන්වයි. ඔහු එලෙස පවසන්නේ ඔහු කිතුණුවන්ට කළ පීඩා නිසාවෙනි. යුදෙව්වෙක් ලෙස ඔහු සිතුවේ ඔහු කල ක‍්‍රියාව නිවැරදි කියාය. එහෙත් යේසුස්වහන්සේගේ පේ‍්‍රමය ඔහුව වෙනස් කළ කරන ලදි.

1 කොරින්ති 2:12
නුමුත් දෙවියන්වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය නොව දෙවියන්වහන්සේගෙන් වූ ආත්මය ලැබීමුව.

දෙවියන්වහන්සේව දැනගන්නට, සියල්ල තේරුම්ගන්නට, උන්වහන්සේ සමඟ සහභාගිකම පවත්වා ගැනීමට, දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේ ආත්මය දී ඇත.

2 කොරින්ති 11:7
නොහොත් නුඹලා උසස්වෙන ලෙස මා විසින් මාම පහත්කරගනිමින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නිකමට දේශනාකළ නිසා පාපයක් කළෙම්ද?

දෙවියන්වහන්සේ අපට නොමිලේ ලබා දුන් සුභාරංචිය අප මනුෂ්‍යයන් හට නොමිලේ පැවසිය යුතුය.

දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන්නේ ඔබ උන්වහන්සේ වෙතට පැමිණීම පමණි. වෙන කිසිවක් උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නේ නැත. දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි.

දෙවියන්වහන්සේ අපව නොමිලේ ධර්මිෂ්ඨ කළ සේක.

රෝම 3:24
එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.

අපව සමඟි කිරීමට දෙවියන්වහන්සේගේ දීමනාව උන්වහන්සේ අපට නොමිලේ ලබා දී ඇත.

එළිදරව් 21:6
උන්වහන්සේ මට කථාකොට: ඒවා ඉෂ්ටවුණේය. මම අල්ඵා සහ ඕමෙගාය, පටන්ගැන්ම හා අන්තිමය. පිපාසාය ඇත්තාට මම ජීවන-වතුර-උල්පතෙන් නොමිලයේ බොන්ට දෙන්නෙමි.

සදාකාල ජීවනය තුළින් ඔබට ජීවනදායක ගංඟාවට පිවිසිය හැකිය. ඒ සඳහා දෙවියන්වහන්සේ සෙවීමේ පිපාසයක් ඔබ තුළ තිබිය යුතුය.

එළිදරව් 22:7
ආත්මයාණන්වහන්සේද මනමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.

දෙවියන්වහන්සේගේ නොමිලේ දීමනාව ඔබ එපා නොකරන්න.

ඔබ වෙනුවෙන් ජීවනය දෙන පිණිස දෙවියන්වහන්සේ කැමැත්තෙන් සිටී.


Watch the Sermon Video

Read 122 times