+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබගේ සිත ස්වාමීන් කෙරෙහි ස්ථීරව තබන්න - යෝෂා මනූ
December 31, 2023 Sunday Sermon Notes


ස්වාමීන්වහන්සේගේ වචනයෙන් උන්වහන්සේ අපව දිනපතා පෝෂණය කරනු ලබනවා.

දේව වචනය පවසන්නේ නිතරම ප‍්‍රීතිවන්න කියාය. මන්ද සතුටු සිතක් තිබෙන මනුෂ්‍යයා නිතරම සිනාමුසු මුහුණෙන් සිටියි.

හිතෝපදේශ 15:13
තුෂ්ටිමත් සිත මුහුණ පැහැපත්කරයි; එහෙත් සිතේ ශෝකයෙන් ආත්මය බිඳෙයි.

ප‍්‍රීතිමත් සිත ඔබගේ මුහුණේ පැහැය ඇතිකරයි. ප‍්‍රශංසාවේ, ප‍්‍රීතියේ ආත්මය ඔබගේ ඇට මස් නහර ජීවත් කරවයි, ප‍්‍රාණවත් කරවයි, නැවත පිහිටුවාලයි.

ඔබගේ මුහුණ අලංකාර කර ගැනීමට නම් ඔබගේ මනස යහපත් දේ වලින් පුරවාගන්න.

මනස තුළට ලෝකාකාර ආත්මයක් ඇතුළත් කර නොගන්න. මන්ද එය වධ වේදනා වලින් පිරුණු ආත්මයකි.

ලෝකයේ ආත්මය දෙවියන්වහන්සේගේ දේවල් වලට විරුද්ධව ක‍්‍රියා කරයි. දෙවියන්වහන්සේගේ දේවල් ප‍්‍රතික්ෂේප කරයි. එය අන්ත- ක‍්‍රිස්තුගේ ආත්මයයි.

මනස අලුත් කරගත හැකි වන්නේ දේව වචනය මෙනෙහි කිරීමෙන් හා ඔබගේ මුඛයෙන් ප‍්‍රකාශ කිරීමෙනි.

නිතරම ඔබගේ මුඛයෙන් ප‍්‍රශංසාවේ ගීතිකාවක් නික්මෙන්නේ නම් එය ඔබගේ ශරීරයට ඖෂධයක් හා සමානය.

සතුට තාවකාලික දෙයකි. නමුත් දෙව් ප‍්‍රීතිය අපගේ ශක්තියයි.

අපගේ මනසට දුක, මරණය, ශෝකය වැනි පුවත් අප ඇතුල් කරගන්නේ නම් අපගේ ප‍්‍රාණය අපම වියවුල් කරන්නේය.

අප දේව වචනය අපගේ මනසට ඇතුල් කරන කල එහි පටක එක්වරම සස්ශ‍්‍රිකත්වයෙන් පිබිදෙයි.

අප වැරදි දේ ඊර්ෂ්‍යාව, වෛරය, කෝපය, තරහව ඇතුල් කරන කල එම පටක වියලී සංකෝචනයවෙයි. එය නූල් බෝලයක් සේ පැටලී යයි.

අපගේ මනසේ ඇතිවන පටලැලි ලිහිය හැක්කේ දෙවියන්වහන්සේට පමණි. මනුෂ්‍යයන්ට එය කළ නොහැක.

අප ලෝකයේ දේවල් අපගේ මනසට ඇතුල් කර නොගෙන සිටිමු.

ගීතාවලිය 112:1-10
1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා පිනැත්තේය. 2 ඔහුගේ වංශය පොළොවෙහි බලවත්වන්නේය. අවංකයන්ගේ පරම්පරාව ආශීර්වාද ලබන්නේය. 3 සම්පත්ද වස්තුද ඔහුගේ ගෙයි ඇත්තාහ. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. 4 සත්පුරුෂයාට අන්ධකාරයෙහිදී ආලෝකය උදාවේ. ඔහු දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය, ධර්මිෂ්ඨය. 5 කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභසිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය. 6 මක්නිසාද ඔහු කිසි කලෙකත් නොසෙල්වන්නේය; ධර්මිෂ්ඨයා සදාකල්ම සිහිකරනු ලබන්නේය. 7 ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ. 8 ඔහුගේ සිත සවිව තිබේ, තමා කැමති ලෙස එදිරිකාරයන්ට සිදුවෙනවා දකිනතුරු ඔහු භය නොවන්නේය. 9 ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය. 10 දුෂ්ටයා ඒ දැක ශෝකවන්නේය; ඔහු දත්මිටිකා පහව යන්නේය. දුෂ්ටයන්ගේ ආශාව ඉෂ්ට නොවන්නේය.

ගීතාවලිය 112, 7 වන පදය පවසන්නේ, යහපත් ධර්මිෂ්ඨ මනුෂ්‍යයා දයාවන්තයි, අනුකම්පාවෙන් පූර්ණයි, අන් මනුෂ්‍යයන් ගැන සිතයි. ඔහු කවදාවත් නොසෙල්වෙයි.

අපි යේසුස්වහන්සේ තුළ ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් වන්නෙමු.

අප නරක ආරංචි වලට කන් නොදිය යුතුයි. බියේ ප‍්‍රවෘත්ති වලට සවන් නොදෙන්න.

දෙවියන්වහන්සේ අපට භයාදුකමේ ආත්මයක් නොදුන් සේක. (2 තිමෝති 1:7)

මේ ලෝකයේ ආකාරයට සමාන නොවී අප අපගේ මනස අලුත් කර ගනිමු. මනුෂ්‍යයන් දෙස නොව, යේසුස්වහන්සේ දෙස බලමින් මේ ජීවිත ගමන ගමන් කරමු.

රෝම 12:1-2
1 එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ. 2 නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

අපගේ ශරීර දෙවියන්වහන්සේට පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පු කරමු.

අප ගැළවීම ලැබූ පසු ආත්මිකව ඉපදී ශරීරය නැමැති කූඩාරමේ ජීවත්වන්නේය.

අපගේ ආත්මික සේවය නම් අපගේ ශරීරදෙවියන්වහන්සේට කැපකිරීමය. යහපත් දෙයට යොමුකිරීමය.

අප අශුද්ධ දේ නොකර එය මනසින් සිතීමද පාපයකි. (මතෙව් 5:28)

දෙවියන්වහන්සේට විරුද්ධ දේ ලෝකයා කරන කල එයට එකඟ නොවන්න.

දෙවියන්වහන්සේගේ කැමැත්ත එකකි. එය යහපත්වූ, පිළිගත යුතුවූ, සම්පූර්ණවූ කැමැත්තයි.

යේසුස්වහන්සේ කරණකොටගෙන අපට ජය දෙන්නාවු දෙවියන්වහන්සේට ස්තූති කරමු.

1 කොරින්ති 15:57
නුමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.

ඔබගේ මනස පිරී තිබිය යුත්තේ ජයග‍්‍රහණයෙනි.

අප ඇදහිල්ලේ ගමන ආරම්භ කරනුයේ ජයග‍්‍රහණයෙනි.

යේසුස්වහන්සේ සාතන්ව පරාජය කර අපට ජයග‍්‍රහණය ලබාදුනි.

ඔබගේ ජීවිතයේ යහපත් දේ ප‍්‍රකාශ කරමින් ඔබගේ හදවත එයින් පුරවාලන්න.

ඔබට වැරදුනු තැන් පසුගිය කාරණා වෙනස් කරගෙන, පසු පස තිබෙන දේ අතහැර ඉදිරිය බලා ගමන් කරන්න.

ඇදහිල්ලෙන් ජය දෙන්නාවු දෙවියන්වහන්සේට ස්තූති දෙමින් ගමන් කරන්න.

1 කොරින්ති 15:58
එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.

දෙවියන්වහන්සේ ඔබට භාරදුන් සේවය නිෂ්ඵල නොවන ලෙසින් හරියාකාරව ඉටු කරන්න.

ඔබ දෙවියන්වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් කුඩා දෙයක් කරන්නේ නම් එයට විපාකයක් නොලැබ නිෂ්ඵල වන්නේ නැත. එය නොසෙල්වී පවතී.

මේ පොළොවෙත්, ස්වර්ග රාජ්‍යයයෙත් ඔබගේ විපාකය ලැබෙයි.

ස්ථීරවන්න, චංචලව දෙමනසකින් ක‍්‍රියා නොකරන්න.

දේව වචනය කියවමින්, ඇදහිල්ලේ ගමන වර්ධනයක්, පරිනතභාවයක් ඇතිකර ගනිමු. ආත්මික දිළිඳුභාවයෙන් මිදෙමු.

පසුගිය වැරදි ගැන ලතනොවී සිටිමු. දෙවියන්වහන්සේ දොස් නොපවරන සේක.

රෝම 8:33
දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨකරන්නේ දෙවියන්වහන්සේය; වරදට පත්කරන්නේ කවුද?

ඔබගේ බයිබලය කියවන්න, යාච්ඤා කරන්න කාලයක් වෙන් කරවා ගන්න. සුභාරංචිය අන් අයට කියන්න. ඔබට දෙවියන්වහන්සේ කර ඇති දෙය තවකෙකු හා සමඟ බෙදාගන්න.

දෙවියන්වහන්සේ අපට උගතුන්ගේ දිවක් දී ඇත.

යෙසායා 50:4
විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක.

සුභාරංචිය පැවසීමට ඔබගේ මුඛය අරින විට දෙවියන්වහන්සේ ඔබට වචන දෙයි. එම පුද්ගලයා සැනසීමට දෙවියන්වහන්සේගේ එළිදරව්වේ ප‍්‍රඥාව ඔබට ලැබෙයි.

සුභාරංචිය පැවසීම අපට ඇති වටිනාම සේවයයි. කෙටියෙන් සුභාරංචිය පවසන්න. යාච්ඤාව අවශ්‍යය අයට එම සේවය ලබා දෙන්න. එය අපගේ සේවයයි.


Watch the Sermon Video

Read 101 times