+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව වචනයෙන් උපදෙස් - මනූ මැතානි
December 31, 2023 Sunday Sermon Notes

 


දෙවියන්වහන්සේ අපගේ ජීවිතයට යහපත කර තිබේ, කරමින් පවතිනවා සේම ඉදිරියටද කරනු ලබනවා ඇත.

අප ජීවත්වීම ඉතාමත් වටී. අපගේ ජීවිතය අවතක්සේරු කරමින් එය නැතිවීයාම යහපතැයි කිසිදා නොකියන්න.

ඔබගේ ජීවිතයට වටිනාකමක් දීමට යේසුස්වහන්සේ තම ජීවිතය පූජා කළ සේක.

යේසුස්වහන්සේට දේව මාළිඟාවෙන් පහළට පනින්න යැයි කියා උන්වහන්සේව අකාලයේ මියයාමට සැලැස්වීමට යක්ෂයා ප‍්‍රයත්න දැරුවද යේසුස්වහන්සේ එම පරික්ෂාවට ඉඩ නොදෙන ලදි. (මතෙව් 4:6)

ඔබද පරික්ෂාවට ඉඩ නොදෙන්න.

බොරු වර්ණනා කරන මනුෂ්‍යයන්ගෙන් ඵලක් නොමැත. ඔබ අවංක ලෙස හැසිරෙන කල ඔබට අවංක මනුෂ්‍යයන් හමුවනු ඇත.

මෙවැනි කාලවල්වල යක්ෂයා ඔබව අකාලයේ මේ පොළොවෙන් ඉවත් කිරීමට උත්සාහ කරයි. එයට හේතුව ඔබ දෙවියන්වහන්සේ ඉදිරියේ බලවත් පුද්ගලයෙක් නිසාත් ඔබ යේසුස්වහන්සේගේ නාමයෙන් යමක් පැවසූ විට ඔබ තුළ වාසය කරන ආත්මයාණන්වහ්සේ ඔබ තුළින් කථා කරන බව යක්ෂයා දනී. ඒ නිසා ඌට එයට අවනතවීමට සිදුවන්නේය.

ඔබ, ඔබ ගැන සුළු කොට නොසිතන්න. ඔබ වටිනා පුද්ගලයෙකි. දුර්වල සිතුවිලි පසෙකට දමා ඔබ දෙවියන්වහන්සේ ඉදිරියේ කවුරුන්දැයි වටහා ගන්න.

දේව වචනය ඔබගේ කැඩපතයි. දෙවියන්වහන්සේ මේ වචනය තුළින් පුදුමාකාර ලෙස ඔබට කතා කරයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ ගැන සලකන බව වටහා ගන්න. උන්වහන්සේ ඔබගේ සිත්ද සිතුවිලි ද දන්නාසේක.

ඔබගේ සිතට පැමිණෙන සියල්ලෙන් ඔබ ජීවත් වෙන්නට අවශ්‍ය නැත. දෙවියන්වහන්සේ මග පෙන්වා දෙන ආකාරයට කතා කරන්න.

ඔබගේ මනසට පැමිණෙන සිතුවිලි අනුව ජීවත් නොවී ආත්මයෙන් ගමන් කරන්න.

ඔබ වැරදි වචන, විශේෂයෙන් මරණීය වචන කතා නොකරන්න.

යක්ෂයා ඔබගේ මනසට ගෙනෙන මරණීය සිතුවිලි ඔබ කිසිදා ප්‍රකාශ නොකරන්න. එය ඔබගේ මනසට විෂබීජයකි. ඒ තුළින් ඔබ යක්ෂයාට මරණීය දොරටුවක් විවෘත කරයි.

ඒ යක්ෂාකාර සිතුවිලි බිඳ හෙළා දමන්න.

ඔබ කතා කර තිබෙන මරණීය වචන වලට යේසුස්වහන්සේගෙන් සමාව ඉල්ලා, ඒවා මුල් වලින්ම ඔබගේ ජීවිතයෙන් උදුරා දමන්න.

අකාලයේ මිය යාමට, දිවිනසා ගැනීමට ඔබගේ ජීවිතයට ඉඩ නොදෙන්න.

ගීතාවලිය‬ ‭118:17‬ මම නොනැසී, ජීවත්ව සිට, ස්වාමීන්ගේ ක්‍රියා ප්‍රකාශකරන්නෙමි.

නිෂ්ප‍්‍රයෝජන වචන කතා නොකරන්න. පීඩනයේදී ප‍්‍රශංසා කරන්න. සතුරාට ඔබගේ ජීවිතයේ ඉඩ නොදෙන්න.

ඔබගේ වටිනාභාවය දැනගන්න. ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජීවිතය පූජා කළේ ඔබ වෙනුවෙනි.

දෙවියන්වහන්සේ ඔබ ගැන සලකන බව විශ්වාස කරන්න.

ඔබගේ නොවටිනාභාවය ඔබ කතා නොකරන්න. එය ප‍්‍රතික්ෂේප කරන්න.

ද්වීතීය කථාව‬ ‭32:10‬
කාන්තාර දේශයකදීද පාළුවූ භයංකරවූ වනයේදීද ඔහු උන්වහන්සේට සම්බවිය; උන්වහන්සේ ඔහු වටකරගෙන, ඔහු රැක බලාගෙන, තමන් ඇසේ කළුරුවාව මෙන් ඔහු රක්ෂාකළ සේක.

දෙවියන්වහන්සේගේ ආරක්ෂාව විශ්වාස කරන්න. උන්වහන්සේ ඔබට නපුරක් නොකරන බවත්, අවශ්‍ය වේලාවේදී අවශ්‍ය දේ සපයන බවත් විශ්වාස කරන්න.

‭‭සෙකරියා‬ ‭2:8‬
මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගෞරවය පැමුණුනායින් පසු උන්වහන්සේ නුඹලාගෙන් කොල්ලකෑ ජාතීන් ළඟට මා ඇරියසේක. මක්නිසාද නුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය.

ඔබ සම්පූර්ණයෙන් දෙවියන්වහන්සේගේ ආරක්ෂාව යටතේ සිටින්නේ‍ය. දකින, අසන වාර්ථා විශ්වාස නොකරන්න.

සතුරා විසින් දෙන ලද පුවත් බලා සිටින්නේ අපගේ ඇදහිල්ල නැත්තටම නැතිකර දමන්නටය.

ඔබ වටිනා පුද්ගලයෙකු බව විශ්වාස කරන්න. උන්වහන්සේ පූජා වී මැරුණේ ඔබ වෙනුවෙනි.

යේසුස්වහන්සේගේ මරණය සිදුවූයේ අපගේ යහපතටය. යේසුස්වහන්සේගේ සේවා කාලය නිම වන විට දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව කුරුසියේ පුජා කළසේක.
යේසුස්වහන්සේම කුරුසියේදී අප වෙනුවෙන් පූජා වූසේක.

යේසුස්වහන්සේ තම දිවි පූජා කළේ අපගේ පාපය උදෙසාය. අපට නව ජීවනයක් දීමටය.

යේසුස්වහන්සේ තම සේවයේ අවසන් කාලයේ ගෝලයන්ට පැවසූ වදන් වලින් උන්වහන්සේ නැතිව ඔවුන් කෙසේ ජීවත්වන්නේදැයි ඔවුන්ට භියක් හට ගැන්වුණි.

නමුත් යේසුස්වහන්සේ කළේ දෙවියන්වහන්සේගේ කැමැත්තයි.

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ කව්රුන්ද කියා මනුෂ්‍යයන්ට පෙන්වාදුන්සේක. උන්වහන්සේ පැවසුවේ ඔබ මා දුටුවානම් දෙවියන්වහන්සේ දුටුවා හා සමානය කියාය. (යොහන් 14:9)

යේසුස්වහන්සේ පැවසුවේ, සොරා එන්නේ සොරකම් කරන්ටත්, මරන්ටත්, විනාශකරන්ටත්ය. නමුත් මා ආවේ නුඹලාට දෙවියන්වහන්සේගේ ජීවනය දෙන පිණිස කියාය. (යොහන් 10:10)

යේසුස්වහන්සේ යුදෙව්වරුන්ට පැවසුවේ, ඔවුන් වහල්වී සිටිනේ මිනීමරුවෙකු යටතේ බවය.

‭‭යොහන්‬ ‭8:44‬ නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.

යක්ෂයා පටන් ගැන්මේ සිට මිනීමරන්නෙක්ය.
කායින් තුළට ඇතුල්වී ආබෙල්ව මරා දමන ලදි. (උත්පත්ති 4:8)

යක්ෂයා පටන් ගැන්මේ සිට බොරුකාරයෙක්ය. (උත්පත්ති 3:1-5)

යේසුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේ පැමිණියේ ජීවනය අධික ලෙස දෙන පිණිස කියාය. (යොහන් 10:10) එලෙසම යක්ෂයාගේ ප‍්‍රතිරූපය පෙන්නුම් කිරීම සඳහාය.

උන්වහන්සේගේ නාමයේ බලයෙන් ආධිපත්‍යයෙන් යක්ෂයන් පාගා දැමීමේ බලය දුන්සේක.

ඔබ තුළ එම ආධිපත්‍යය තිබෙන බව අදහන්න.

‭‭ලූක්‬ ‭10:19‬
බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය.

ඔබ යක්ෂ බලතලවලට භය නොවන්න. යක්ෂ බළකොටු බිඳ දැමීමේ බලය දෙවියන්වහන්සේ ඔබට දී ඇත.

යක්ෂයාට මනුෂ්‍යයන් ගෞරවය දෙන්නේ ඔවුන් ඌට භයවන නිසයි.

ඔබ යේසුස්වහන්සේගේ පිළිගෙන ඇත්නම්, බොරුකාර යක්ෂයාට භය නොවන්න.

යේසුස්වහන්සේ ඔබට දී ඇති ආධිපත්‍යයෙන් ඔබ ජීවත්වන්න

යේසුස්වහන්සේ ඔබ තුළයි. ඔබගේ පියා යක්ෂයා නොව, ඔබගේ පියා ස්වර්ගයේ වැඩ වාසය කරන්නාවූ තැණැන්වහන්සේය.

පියාණන්වහන්සේ වෙතට යාමේ මාර්ගය යේසුස්වහන්සේය. (යොහන් 14:06)

ඔබ ආලෝකයේ ජීවත්වන්නාවු කෙනෙකි. ඉන් ඉවත්ව නොයන්න.

‭‭1 යොහන්‬ ‭1:5‬ ‭
අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන්නාවූ, නුඹලාට දන්වන්නාවූ පණිවිඩය නම්, දෙවියන්වහන්සේ ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නැති බවත්ය.

දෙවියන්වහන්සේ ආලෝකයයි.

අන්ධකාරය යක්ෂයාගේ රාජ්‍යයයි.

ස්වාමීන්වහන්සේ තුළ කිසි අන්ධකාරයක් නැත. යක්ෂයා සමඟ අපට කිසි සම්බන්ධතාවයක් නැත.

1 යොහන්‬ ‭1:6 ‭
අපි උන්වහන්සේ සමඟ පංගුකාරකම ඇතැයි කියමින් අන්ධකාරයෙහි හැසිරෙමුනම්, අපි බොරු කියනවා මිස සැබෑව නොකරමුව.

ඔබ යේසුස්වහන්සේ තුළ සිටිනවායැයි පවසමින් අන්ධකාරයේ හැසිරේනම්, එය බොරුකාර ජීවිතයකි.

බොරුවේ ජීවිතයක් ගත කරන්නේ නම් ඔබව පාලනය කරන්නේ යක්ෂයාය.

ඔබ බොරුකාරකමෙන් හැරී පසුතැවිලිවී ආලෝකයේ ගමන් කරන්න.

‭‭1 යොහන්‬ ‭1:7‬ ‭
නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.

අප ආලෝකයේ ගමන් කරන කල යෙසුස්වහන්සේගේ ලේ ආරක්ෂාව අපට හිමිවේ.

යේසුස්වහන්සේ අපගේ ජීවිතයේ ස්වාමීන් බව පවසමින් උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටුනු බව අදහමින් (රෝම 10:9) අපගේ ජීවිතයට යේසුස්වහන්සේට ආරාධනා කළ මොහොත් පටන් උන්වහන්සේ අපව අන්ධකාර රාජ්‍යයෙන් ගලවා ජීවනයේ රාජ්‍යයට ගෙනා සේක.

ලේ වැගිරීමක් නැතිව ක්ෂමාකිරීමකුත් නැත. (හෙබ්‍රෙව් 9:22)

‭‭කොලොස්සි‬ ‭1:13‬ පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

යේසුස්වහන්සේ ස්වාමීන් කියා ප්‍රකාශ කළ නිසා ඒ විශ්වාසය තුළ ඔබ ජීවත් වන්නේය.

යේසුස්වහන්සේගේ අනර්ඝ, කැළැලක් නැත්තාවු ලේ වලින් අප මිදීම ලබා ඇත.

මිදීම ලබා ගත් අයට එළිදරව් 5:9 සඳහන් නව ගීය ගායනා කිරීමේ හැකියාව ඇත.

යක්ෂයාගේ ක‍්‍රියාවන්ගෙන් ජය ලබාගත හැකි වන්නේ යේසුස්වහන්සේගේ ලේ වල බලයෙනි.

‭‭එළිදරව්‬ ‭12:11‬
ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.

මම ලේවල බලයෙන් ජයගන්නාවු කෙනෙකු වන්නෙමි.

ඔබ මරණයට භය නොවිය යුතුයි. මන්ද යේසුස්වහන්සේ ඉන් අපව නිදහස් කළ සේක.

හෙබ්‍රෙව් 2:15
යේසුස්වහන්සේ පැමිණියේ ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.

මරණ භයින් නිදහස්වී ජීවත්වීමට පුරුදුවන්න.

ඉහළ තැන්වලින් කිසිදා නපුරු සිතුවිලි එන්නේ නැත. ඒවා භූමිකවය, යක්ෂාගෙන් පැමිණෙන්නේය.

යාකොබ් 3:15-17
ඒ ප්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංසිකව යක්ෂාකාරව තිබේ. මක්නිසාද ඊර්ෂ්‍යාවත් පක්ෂවාදිකමත් ඇති තැන, අවුල්කමත් සියලු නපුරු ක්‍රියාවලුත් ඇත්තේය. නුමුත් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ.

ඉහළින් පැමිණෙන සිතුවිලි පිරිසිදුව, සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව අවංකව තිබේ.

ශුභාරංචි පණිවිඩය ප්‍රචාරය කරන්න. අසුභ පුවත් නොපතුරුවන්න.

මනුෂ්‍යයන්ට ප‍්‍රයෝජන දේ පමණක් කථා කරන්න.

‭‭එපීස‬ ‭4:29‬
නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.

අනුග්‍රහයේ වචන කතා කරන්න.

දෙවියන්වහන්සේ ඔබව ගැළවුයේ ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නයි.

යේසුස්වහන්සේ මේ පොළොවෙන් ඉවත්ව යනවා කියා කැළඹී සිටි ගෝලයන්ට උන්වහන්සේ යම් ප‍්‍රතිපත්තියක් ලබා දෙන ලදි.

ජීවත් කරන්නේ ආත්මයයි.

‭‭යොහන්‬ ‭6:62‭-‬63‬ ‭
මේක නුඹලාට බාධාවක්ද? එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටිය තැනට නගිනවා නුඹලා දුටුවොත් කිමෙක්ද? [63] ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.

යේසුස්වහන්සේ සියල්ලක්ම කළේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙනි.

‭‭ක්‍රියා‬ ‭10:38‬
දෙවියන්වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය යේසුස්වහන්සේ ආලේපකළ බවත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩාකරනලද සියල්ලන් සුවකරමින්ද හැසුරුණු බවත්ය.

යේසුස්වහන්සේව දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් ආලේප කළසේක. ඒ ආලේපයෙන් උන්වහන්සේ යක්ෂයා විසින් පීඩාකරනලද සියල්ලන් සුව කළසේක.

ඔබ විසින් ඔබට කිසිවක් කළ නොහැක. දෙවියන්වහන්සේගේ බලයෙන්ද, උන්වහන්සේගේ ආත්මයෙන්ද උන්වහන්සේ ඔබව පුරවා ඒ තුළින් යක්ෂයන් දුරු කිරීමේ බලයද, යහපත්කම් කිරීමද ඔබට දී ඇත.

යහපත්කම් කිරීම ඔබගේ ජීවිතයේ පුරුද්දක් කර ගන්න.

ඔබ ලෝකයාට විසඳුමක් වී සිටින්නේය. යේසුස්වහන්සේ සිටි ආකාරයටම ඔබටත් මේ ලෝකයේ සිටීමට උන්වහන්සේ ඔබට අවස්ථාව දී ඇත.

යක්ෂයා පීඩා කලවුන් සුවකරන පිණිස යේසුස්වහන්සේ ඔබට ආලේපය දී ඇත.

ඔබ හිසව සිටින්නේය, වල්ගය නොවේ. ඔබ උඩින් සිටින්නේ යටින් නොවේ. ඔබ ආශීර්වාදලද්දෙකුය. ඔබ තුළින් ජීවනය ගලා යන්නේය.

ඔබ තුළ සිටින තැණැන්වහන්සේ ඔබව පාවිච්චි කරන්නේ ඔබට විපාක දීමටයි.

ආත්ම දිනාගත් කල ඔබට විපාක ලැබේ.

ඉලක්කයක් ඇතිව ජීවත්වන්න.

‭‭හිතෝපදේශ‬ ‭29:18‬
දර්ශනයක් නැති කල සෙනඟ හිතුවක්කාරවෙති; එහෙත් ව්‍යවස්ථාව රක්ෂාකරන්නා ආශීර්වාද ලද්දෙකුය.

වචනය තුළ ජීවත්වන්නේ නම් ඔබ ආශීර්වාදලද්දෙක්ය.
ඉලක්කයක්, දර්ශනක් නොමැති කල මනුෂ්‍යයන් විනාශය කරා යයි.

යොහන් 6:63
ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.

මාංසයට ජීවනය, සුවය, සඵලත්වය දෙන්නේ ආත්මයාණන්වහන්සේය.

අපට යමක් කරන්න හැකියාව, පුළුවන්කම දෙන්නේ ආත්මයාණන්වහන්සේය.

ඔබ දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරමින්, ගීතිකා ගායනා කරමින් සිටින කල ඔබගේ අදුරු සිතුවිලි නැතිවීයයි. බන්ධන වලින් නිදහස්වී සැහැල්ලුභාවයක් අත් දැකිය හැකිය. එවිට ඔබට දෙවියන්වහන්සේගේ හඬට කීකරුවී ක‍්‍රියා කිරීමට හැකියාව ලැබේ.

යොහන් 16:5-7
නුමුත් දැන් මා එවූ තැනන්වහන්සේ ළඟට යමි; කොතැනට යනසේක්දැයි නුඹලාගෙන් කිසිවෙක් මාගෙන් අසන්නේ නැත. නුමුත් මා මේ දේවල් නුඹලාට කී බැවින් නුඹලාගේ සිත් දුකින් පිරී තිබේ. එසේවී නුමුත් මම නුඹලාට සැබෑව කියමි: මාගේ අහක්ව යෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත්, සැනසිලිකාරයාණන්වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත; නුමුත් ගියොත්, උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි.

සැනසිලිකාරයාණෝ දැන් අප අතරට ඇවිත් සිටියි. අප තුළ වාසය කරයි.

යක්ෂයා යේසුස්වහන්සේව නැසීමට බොහෝවර උත්සාහ කළත් යේසුස්වහන්සේ ප‍්‍රඥාවන්තව ක‍්‍රියා කල හෙයින් එය කළ නොහැකිවිය.

යේසුස්වහන්සේ තම සේවය සම්පූර්ණ කළ පසු ස්ව-කැමැත්තෙන්ම කුරුසිපත්වූ සේක. උන්වහන්සේගේ නික්මයාමේදී උන්වහන්සේගේ සැනසිලිකාරයාණන් අපට ලබා දුන්සේක.

සැනසිලිකාරයාණන් අප තුළ සිටිමින්, අපට මඟ පෙන්වමින්, අපට උගන්වමින් උන්වහන්සේ තුළින් අපට මෙම ජයග‍්‍රාහී ජීවිතය ගත කිරීමට උපකාර කරනු ඇත.


Watch the Sermon Video

Read 69 times