+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි උන්වහන්සේගේ සාක්ෂිකාරයන් වන්නෙමු - මනූ මැතානි
January 7, 2024 Sunday Sermon Notes

 

සාක්ෂිදැරීම ඉතා වැදගත්.

ඔබ යේසුස්වහන්සේව පිළිගත් කෙනෙක් නම් සාක්ෂිකරුවෙකු ලෙසයි ඔබ සිටින්නේ.

සාක්ෂි දරනවා පමණක් නොව, ඔබගේ ජීවිතය සාක්ෂියක්ව තිබිය යුතුය.

ගෙරසේනයන්ගේ රටේ දම්වැල් වලින්, විලංගු වලින් බැඳ, ඇදුම් නොහැද, සොහොන් ගෙවල්හි විසූ, යක්ෂාවේශව සිටි මනුෂ්‍යයාගේ යක්ෂ ආත්ම යේසුස්වහන්සේ දුරු කිරීම ගැන ඒ රටේ මනුෂ්‍යයක් කැමැත්තක් නොදැක්විය. (‭‭ලූක්‬ ‭8:26-38) ‭

යේසුස්වහන්සේ යක්ෂ ආත්ම දුරු කළායින් පසු ඒ මනුෂ්‍යයා යේසුස්වහන්සේ සමඟ සිටින්නට අවසර ඉල්ලීය.

ඒ මොහොතේ ඒ මනුෂ්‍යයා එම ප‍්‍රදේශයටම බලවත් සාක්ෂියක් විය.

‭‭ලූක්‬ ‭8:38‬ ‭
[38] යක්ෂයන් දුරුවුණ මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ සිටින්ට උන්වහන්සේගෙන් ඉල්ලුවේය. නුමුත් උන්වහන්සේ ඔහු යවමින්:

යේසුස්වහන්සේ සුවවූ මනුෂ්‍යයාට පැවසුවේ, ගොස් ඔහුගේ සාක්ෂිය නිවැසියන්ට ප‍්‍රකාශ කරන ලෙසටය.

‭‭ලූක්‬ ‭8:39‬ ‭
[39] නුඹේ ගෙදරට හැරී ගොස්, දෙවියන්වහන්සේ නුඹට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා ප්‍රකාශකරන්නැයි කීසේක. ඔහු ගොස්, යේසුස්වහන්සේ තමාට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා නුවර මුළුල්ලේ ප්‍රසිද්ධකෙළේය.

දෙවියන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන එකම දෙය නම් අප සාක්ෂිකාරයෙකු මෙන් ජීවත් වීමයි.

ඔබගේ ගැළවීම, සුවය, මිදීම, නව මැවීමේ සාක්ෂිය සදහටම පවතින සාක්ෂියකි.

දළඹුවා සමනලයා ලෙස පරිවර්තනය වූ ආකාරයට දෙවියන්වහන්සේ අපගේ ජීවිත වෙනස් කර ඇත.

නැවත ආපස්සට හැරී යාමක් අපගේ ජීවිතවල නොමැත.

යේසුස්වහන්සේ අප තුළ වාසය කරන බව විශ්වාස කරමු.

අපි ස්වාමීන්වහන්සේගේ සාක්ෂිකාරයන් ලෙස ජීවත් වෙමු.
අප දරණ සාක්ෂි දෙස දෙවියන්වහන්සේ බලා සිටින සේක.

මේ සුවය ලබාගත් මනුෂ්‍යයා ගොස්, යේසුස්වහන්සේ තමාට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා නුවර මුළුල්ලේ ප්‍රසිද්ධකෙළේය.

ඔබ ස්වර්ගය නියෝජනය කරන්නාවු තානාපතියෙකි. දේව රාජ්‍යය ගැන භය නොවී සාක්ෂි දරන්න.

‭‭යෙසායා‬ ‭44:8‬ ‭
තැතිගන්ටවත් භයවෙන්ටවත් එපා; මම පුරාණයේ පටන් නුඹට ප්‍රකාශකර නොදැන්නුවෙම්ද? නුඹලා මාගේ සාක්ෂිකාරයෝය. මා ඇර වෙන දෙවිකෙනෙක් ඇද්ද? නැත, වෙන පර්වතයක් නැත; අන් කිසිවෙකු ඇති බවක් නොදනිමි.

අපි ස්වාමීන්වහන්සේගේ සාක්ෂිකාරයන් වන්නෙමු.

දෙවියන්වහන්සේ අපව මුදවා ගත්තේ සාක්ෂිකාරයන් වන පිණිසය.

දෙවියන්වහන්සේ ඔබට කළාවු දේ දන්නේ ඔබය. ඒ පරිවර්ථනයවූ නව මැවිල්ලේ ජීවිතය ගැන භය නොවී අන් අයට සාක්ෂි දරන්න. ඔබේ වෙනස දකින්නාවූ මනුෂ්‍යයන්ට යේසුස්වහන්සේ ගැන කියා දීම ඔබගේ වගකීම වේ.

දෙවියන්වහන්සේ අපගේ එකම දෙවියන්වහන්සේය. උන්වහන්සේ හැර වෙන කිසිම ස්ථීර දෙයක් මේ පොළොවේ නොමැත.

දෙවියන්වහන්සේ පර්වතයක් හා සමානය. උන්වහන්සේගේ රාජ්‍යය කිසිදා නොසෙල්වේ.

‭‭යෙසායා‬ ‭43:9‭-‬12‬ ‭
[9] සියලු ජාතීහු එකට රැස්වෙත්වා, ජනයෝද එකතුවෙත්වා. ඔවුන්ගෙන් කවුරු මෙය දන්වා පළමු දේවල් අපට ප්‍රකාශකරනවා ඇද්ද? ඔව්හු තමුන්ගේ සාක්ෂිකාරයන් ගෙනැවිත් තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වත්වා. නැත්නම් ඔව්හු අසා: ඒක සැබෑයයි කියත්වා. [10] මම ඒ තැනන්වහන්සේ බව නුඹලා දැනගන මා විශ්වාසකර තේරුම්ගන්න පිණිස, නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත, මට පසුව සිටින්නෙත් නැත. [11] මම, මමම, ස්වාමීන්වහන්සේය; මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත. [12] මමම දැන්වීමි, මමම ගැළවීමි, මමම ප්‍රකාශකෙළෙමි, අන් දෙවිකෙනෙක් නුඹලා අතරේ සිටියේ නැත. එබැවින් නුඹලා මාගේ සාක්ෂිකාරයෝය, මම දෙවියන්වහන්සේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

දෙවියන්වහන්සේ පවසන්නේ අප උන්වහන්සේගේ සාක්ෂිකාරයන් බවය. අප මනුෂ්‍යයාට කථා කරන කල ඒ අය වෙත ඇදහිල්ල පැමිණේ.

ඔබගේ සාක්ෂිය සේම පළමුකොට ඔබගේ හැසිරීමද නිසියාකාරව තිබිය යුතුය.

ඔබගේ නව මැවිල්ලේ සාක්ෂිය අසන්නවුන් තුළ ඇති වෙන්නාවු විශ්වාසයෙන්, ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේ ඔවුන්ව ගළවනු ලබයි.

‭‭රෝම‬ ‭10:11‬
[11] උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ල කියන්නේය.

දෙවියන්වහන්සේ ඔබට ලබා දුන් ජීවිතය, නව මැවිල්ල තුළ උන්වහන්සේ කිසිදා ඔබව ලැජ්ජාවට නොපමුණුවයි.

‭‭රෝම‬ ‭10:12‬ ‭
[12] මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ට ස්වාමිව, උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටිනසේක.

යුදෙව්වරුන්ටත් අන්‍ය භක්තිකයන් වන අප සියල්ලන්ටමත් මේ සුභාරංචිය අවශ්‍යයයි.

ඔබගේ සාක්ෂිය ඉතාම වැදගත්.

යේසුස්වහන්සේ යහපත් බව, උන්වහන්සේ අහස පොළොව මැව් ස්වාමීන්ව සිට මනුකයක් රැගෙන මෙළොවට පැමිණ කුරුසියේ දිවි පුදා අපට ගැළවීම දුන් බව මනුෂ්‍යයා දැන ගන්නේ ඔබගේ සාක්ෂියෙනි.

අප යේසුස්වහන්සේ ගැන සාක්ෂි දරණ විට ශුද්ධාත්මයාණන්වහන්සේ ඒ ස්ථානයේ ක‍්‍රියා කරමින් ඒ මනුෂ්‍යයාව නිදහස් කර ගැළවීමට ගෙනඑයි.

අප දෙවියන්වහන්සේගේ සේවකයන් පමණයි.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයාව ගැළවීමට පමණක් ගෙනෙන්නට පොහොසත්ව සිටින තැණැන්වහන්සේ නොව, මනුෂ්‍යයා සුවකිරීමටද, ආර්ථීක ප‍්‍රශ්න විසඳීමටද, යක්ෂ බන්ධන වලින් මුදවන්නටද පොහොසත්ව සිටින දෙවියන්වහන්සේය.

උන්වහන්සේ බහුලත්වයේ දෙවියන්වහන්සේය. උන්වහන්සේට කළ නොහැකි දෙයක් නැත.

විශ්වාසකරන්නන්ට සියල්ල කළ හැකිය.

සාක්ෂි දැරීමේ ගින්නක් අපගේ හදවත තුළ තිබිය යුතුය.

දෙවියන්වහන්සේ කෙනෙක් තුළින් බීජයක් වපුරයි, තව කෙනෙක් වතුර දමයි, ගැළවීමත් වර්ධනයත් දෙන්නේ යේසුස්වහන්සේය. (1 කොරනිති 3:6)

දෙවියන්වහන්සේගේ බීජය නැමැති වචනය කිසිදා සුළු නොකරන්න.

”ස්වාමීන්වහන්සේ මා පත්කර තිබෙන්නේ උන්වහන්සේගේ සේවකයෙක් ලෙස, තානාපතියෙක් ලෙස, උන්වහන්සේට සේවයකරන්නටයි, මනුෂ්‍යයන් අතර මාගේ වගකීම කුමක්දැයි මා දනිමි” යි කියමින් ඔබ සාක්ෂිකාරයෙක් ලෙස ජීවත්වන්න.

‭‭රෝම‬ ‭10:13‬
[13] මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.

ඔබ සාක්ෂි දරණ මනුෂ්‍යයා කවරෙකු වුවද, ඔහු පවිකාරයෙකු වූවත්, යහපත් අයෙක්වූවත් දෙවියන්වහන්සේ ඔහුව ගළවන සේක.

අපගේ යහපත්කම් දෙවියන්වහන්සේ ඉදිරියේ කිලුටු වැරහැල්ලක් මෙන්ය.

යෙසායා 64:6
අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.

ලොව ආරම්භයේම ආබෙල්ගේ ලේ වැගිරීම සිදුවුවත් (උත්පත්ති 4:8-10) එයින් එක් මනුෂ්‍යයයෙක්වත් ගැළවීමට පැමිණියේ නැත.

නමුත් යේසුස්වහන්සේගේ ලේ වැගිරීමෙන් විශාල වෙනසක් සිදු වුණා. මන්ද යේසුස්වහන්සේ තුළ තිබුණේ දෙවියන්වහන්සේගේ ශුද්ධ පවිත‍්‍ර ලේය.

යේසුස්වහන්සේට උන්වහන්සේගේ ලේ වැගිරීම තුළින් යක්ෂයාගේ බලය මුලුමනින්ම විනාශ කර දැමීමට හැකිවූයේය.

දෙවියන්වහන්සේ පිළිගන්නා වූ එකම පූජාව යේසුස්වහන්සේගේ ලේ වැගිරීම තුළින් කළාවූ ලේ පූජාව පමණයි. මනුෂ්‍යයන්ට ගැළවීම ලැබුණේ එම පූජාවෙන් පමණි.

මනුෂ්‍යයන් යේසුස්වහන්සේගේ නාමය ගැන අසන්නේ ඔබ තුළින්, ඔබගේ සාක්ෂිය තුළින්.

මනුෂ්‍යයාගේ මිදීම, ගැළවීම ආරම්භවූයේ යේසුස්වහන්සේගේ කුරුසපත්වීමන් හා උන්වහන්සේගේ ලේ වැගිරීමෙනි.

යේසුස්වහන්සේ කීවේ මනුෂ්‍යයන්ට ගැළවීම ලබා ගැනීමේ ක්‍රියාව කළ හමාරයි කියාය.

යේසුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේ සියල්ලන්ටම සමාව දී අවසන් බවය.

උන්වහන්සේ මනුෂ්‍යයන්ට සමාව දී තිබෙන බව අප මනුෂ්‍යයන්ට පැවසිය යුතුය.

ගැළවීම ලැබෙන්නේ උන්වහන්සේ මට සමාව දුන්නා කියා විශ්වාස කළහොත් පමණි.

යේසුස්වහන්සේ කුරුසපත්වූ අවස්ථාවේදී දෙවියන්වහන්සේ දේව මාළිගාවේ තිරය ඉහළ පටන් ඉරා දැමුවා. (මතෙව් 27:51)
ඉන් අදහස් කළේ අති ශුද්ධ ස්ථානයට යාමට තවත් පාප කමාව ලබා ගැනීමට සතුන්ගේ පුජාවක් තුළින් ලේ වැගිරීමක් අවශ්‍යය නොවන බවයි.

ගැළවීම, මිදීම දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවය දැන් අපට ලැබී හමාරයි. පිළිගන්නට තිබෙන්නේ දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය පමණි. එනම් යේසුස්වහන්සේගේ ලේ වැගිරීමෙන් අපට පව්කමාව ලැබුණු බවයි.

මිදීම ඇත්තේ රන් රිදී වලින් නොව, යේසුස්වහන්සේගේ ලෙයින් පමණි.

රෝම‬ ‭10:14‬ ‭
[14] එසේ නම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසුවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?

ඔබගේ සාක්ෂිය දැන් අසන මනුෂ්‍යයන්ට දේශනයක්.

සත්‍යය පවසන විට එය මනුෂ්‍යයගේ සිතට වධදෙන්නට පටන් ගනී.

යේසුස්වහන්සේග්‍රෙ නාමය හඬගසන්නාට ගැළවීම හිමිවේ.

ගැළවීම යන්නෙන් අදහස් වන්නේ ජීවිත වෙනස් වීම හ්ස නිදහස් වීමය.

කවදා හෝ දිනක ඔබ වපුරන බීජයට වතුර වැටී ඵල දරන්නට පුළුවන.

ගැළවීම ඉතාම අනර්ඝය.

ඔබගේ සාක්ෂිය වසා දැමීමට, ආලෝකය නැතිකර දැමීමට, ගින්න නිවාලීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.

ගීතාවලිය‬ ‭49:6‭-‬9‬ ‭
[6] ස්වකීය ධනය විශ්වාසකරන්නාවූ, තමුන්ගේ වස්තු වැඩිකමෙන් අහංකාර වෙන්නාවූ කිසිවෙක්, [7] තමාගේ සහෝදරයා සදාකල් ජීවත්වන පිණිසද කුණුවීම නොදක්නා පිණිසද [8] ඔහු නිදහස්කරන්ටවත් ඔහු උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් දෙන්ටවත් කිසිසේත් සමර්ථ නොවේ. [9] ඔවුන්ගේ ආත්ම මිදීම අගනා දෙයක් බැවින්, ඒක කරන්ට කිසිකලක උත්සාහ නොකළ යුතුය.

ආත්ම මිදීම අගනා දෙයකි. එය මුදල්වලට කළ නොහැකිය.

සුභාරංචිය අසන තුරු මිදීමට අවස්ථාවක් නොලැබේ.

ගැළවීම ලබන්නාට කළ යුත්තේ කුරුසියේ පූජාව විශ්වාස කිරීම, ඇදහීම, එයට යටත්වීම පමණි.

සිරියේ රජුගේ සේනාපතියාවූ නාමන් බලවත් මනුෂ්‍යයෙක් වුවත් ඔහුට කුෂ්ඨ රෝගයක් වැළඳී තිබුණේය.

‭‭‭‭2 රාජාවලිය‬ ‭5:1‬ ‬‬
[1] සිරියේ රජුගේ සේනාපතියාවූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙක්ව ගරුකරනු ලැබූ මනුෂ්‍යයෙක්ව සිටියේය, මක්නිසාද ඔහු කරණකොටගෙන ස්වාමීන්වහන්සේ සිරියවරුන්ට ජය දී තිබුණේය. හෙතෙම බලසම්පන්න වික්‍රමාන්විත කෙනෙක්වූ නුමුත් කුෂ්ඨ රෝගියෙක් විය.

ඔහුගේ නිවසේ වහලෙක්ව සිටි කුඩා දැරිය ඇගේ ස්වාමිදුවට දෙවියන්වහන්සේ ගැන සාක්ෂි දැරුවාය.

[2] සිරියවරුන් හමුදා වශයෙන් පිටත්ව ගිය විටක ඔවුන් ඉශ්‍රායෙල් දේශයෙන් කුඩා කෙල්ලක් අල්ලාගෙන ඇවිත් තිබුණේය; ඈ නාමන්ගේ භාර්යාවට සේවයකළාය.

‭‭2 රාජාවලිය‬ ‭5:3‬ ‭
[3] ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කථාකොට: මාගේ ස්වාමියා සමාරියේ අනාගතවක්තෘ ඉදිරියෙහි පෙනීසිටියොත් හොඳය, එවිට ඔහු ඔහුගේ කුෂ්ඨය සුවකරනවා ඇතැයි කීවාය.

දැරිය පැවසුවේ ඉශ‍්‍රායෙල් අනාගතවක්තෘ වෙත යන්න ඔහු සුව කරාවි කියාය.

නාමන් සිරියේ රජගේ බලතල සහිත ලිපියක්ද සමඟ රන්, රිදී හා තෑගිද අතැතිව ඉශ‍්‍රායෙල් රජ වෙත යන ලදි. (2 රාජාවලිය‬ ‭5:5-6‬)‭

සිරියේ රජගේ ලිපිය දුටු ඉශ‍්‍රායෙල් රජ කැළඹීම පත්විය.
(2 රාජාවලිය‬ ‭5:7‬)‭

ඉශ‍්‍රායෙල් රජගේ කැළබීම ඇසූ එලිෂා අනාගතවක්තෘ ඒ මනුෂ්‍යයා ඔහු වෙත එවන්න යැයි රජුට කියා යවන ලදි. (2 රාජාවලිය‬ ‭5:8)‭

එලිෂාගේ ගෙයි දොරකඩට ගිය නාමන් හට යොර්දාන් ගඟින් සත් පාරක් ගිලෙන්න එවිට ඔහු සුවවී පවිත‍්‍රවන්නේයැයි කියා එලිෂා තම පණිවිඩකරුවෙකු අත කියා හැරියේය. (2 රාජාවලිය‬ ‭5:9‭-‬10)‭

නාමන් අනාගතවක්තෘගේ වචනයට කෝපවිය. (2 රාජාවලිය‬ ‭5:11)‭

2 රාජාවලිය‬ ‭5:12‭-‬13‬ ‭
[12] දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්‍රායෙල් දේශයේ සියලු ජලවලට වඩා හොඳ නොවේද? ඒවායේ නාලා පවිත්‍රවෙන්ට මට බැරිදැයි කීවේය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේය.

මෙහිදී වැදගත් වූයේ දෙවියන්වහන්සේගේ වචනයට කීකරුවීම පමණි.

[13] ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කථාකර: මාගේ පියාණෙනි, අනාගතවක්තෘ මහත් දෙයක් කරන්ට ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද්ද? එසේවී නම් නාලා පවිත්‍රවන්නැයි ඔහු ඔබට කී කල ඒක කරන්ට බැරිදැයි කීවෝය.

නාමන්ගේ සේවකයන් පැවසුවේ අනාගතවක්තෘ පැවසූ කුඩා දෙයට කීකරුවන ලෙසයි. අනතුරුව නාමන් එයට කීකරුවිය.

‭‭2 රාජාවලිය‬ ‭5:14‬ ‭
[14] එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය.

නාමන්ගේ මාංසය කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවූවා සේ යේසුස්වහන්සේ පිළිගත් විට ඔබ අලුත් මැවිල්ලක වන්නේය. කුඩා ළදරුවෙකු සේ නැවත ඉපදෙයි. යේසුස්වහන්සේ කියන දෙයට කීකරු වන කළ නව ජීවනයක් ඔබට ලැබෙයි.

දෙවියන්වහන්සේ යමක් කරන විට එය විශාල ලෙස කරයි. මනුෂ්‍යයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්වේ.

දෙවියන්වහන්සේගේ වචනයට කීකරුව විශ්වාස කල පසු නාමන්ගේ ජීවිතය මුලුමනින්ම වෙනස් වුණාය.

‭‭2 රාජාවලිය‬ ‭5:15‬ ‭
[15] එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හැරී ඇවිත් ඔහු ඉදිරියේ සිට කථාකොට: ඉතින් ඉශ්‍රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි. එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවාගෙන් සතුටු පඬුරක් පිළිගත මැනවැයි කීවේය.

නාමන් පැවසුවා මුළු පොළොවේ සිටින්නේ ඉශ‍්‍රායෙල්හි දෙවියන්වහන්සේ පමණක් බව.

මෙහි ආරම්භය සිදුවූයේ කුඩා දැරිය සාක්ෂි දැරූ නිසාය.

නාමන් නැවත නිවසට ගියේ සුවය පමණක් නොව, සුභාරංචි පණිවිඩයද රැගෙනය.

එහි විපාකය කුඩා දැරියට හිමිවේ.

2 රාජාවලිය‬ ‭5:16‭-‬17‬ ‭
[16] ඔහුද: මා සේවයකරන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම කිසිවක් පිළිනොගනිමියි කීවේය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේය; එහෙත් ඔහු නොකැමති විය. [17] එවිට නාමන්: එසේ නැත්නම් අශ්වතරයන් දෙන්නෙකුගේ බරට පස්වත් ඔබගේ මෙහෙකරුවාට ලැබේවා; මක්නිසාද මින් මතු ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන පූජාවක්වත් යාගයක්වත් ඔප්පුකරන්නේ නැත.

නාමන්ගේ ජීවිතයේ සුවය පමණක් නොව, විශාල පරිවර්ථනයක් ඇතිවුණා

කුඩා දැරියගේ සාක්ෂියෙන් සිරියාවටම දෙවියන්වහන්සේ ගැන දැනගන්නට ලැබුණි.

ගැළවීම යන්නෙන් අදහස් කරන්නේ ඔබ සාක්ෂිකාරයෙකු මෙන් ජීවත් වීමයි.

ගැළවීම අනර්ඝ දෙයකි. ගැළවීමේ පණිවිඩය ඔබගේ තොල්වල ඇත. එය ප‍්‍රකාශ කිරීමට සිසිදා ලැජ්ජා නොවන්න.

ඔබ කථා කරන්නේ සුභාරංචියේ පණිවිඩයයි. සදාකාල ජීවනයයි.

යේසුස්වහන්සේව පිළිගන්නා සදාකාල ජීවනය පිළිගනී. එදා පටන් ඔහු සදාකාල ජීවනය තුළ ජීවත්වේ. ඔහු කවදා හෝ පොළොවෙන් ඉවත් වී ගියත් ඔහු සිටින්නේ දෙවියන්වහන්සේගේ අභිමුඛයේය.

ගැළවීම ලැබුවාට පසු ඔබ ස්වර්ගීය පවුලට එකතුවේ.

පරණ දේ පහව ගොස් සියල්ල අලුත්වී තිබේ. (2කොරින්ති 5:17)

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ වචනය විශ්වාස කිරීමයි.

දෙවියන්වහන්සේ නාමන්ට අලුත් ජීවිතයක් දුන්සේක.

කුඩා දැරිය සාක්ෂි නොදරා සිටියානම් නාමන්ට සුවයක් නොලැබෙන්නට තිබුණි. ඔබගේ කෙඳිරීම නවතා සාක්ෂි දරන්න.

කුෂ්ඨ රෝගයෙන් සුව වීම පාපයෙන් නිදහස් වූවා හා සමානයි.

දෙවියන්වහන්සේ ඔබව සාක්ෂිකාරයෙකු කර ඇත.

සභාවේ බොහෝ පසුතැවිලිවීම් සහ නැවත පිහිටුවීම් සිදුවන කළ එය ලෝකයා වෙත උතුරා යාමට පටන් ගනී.

නැවත පිහිටුවන්නාවූ අපගේ ජීවිතය රැගෙන අප ලෝකයා වෙත යන්නේ සාක්ෂිදැරීමටය.

ඔබ සුභාරංචි වචනය ගෙන යන මනුෂ්‍යයාගේ බැල්මට භය නොවන්න.

එසකියෙල් 2:1-2
උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නැගිට සිටින්න, මම නුඹ සමඟ කථාකරන්නෙමියි කීසේක. 2උන්වහන්සේ මට කථාකළ විට ආත්මය මා තුළට ඇතුල්වී, මා නැගුටුවා සිටෙවුවේය; මට කථාකළ තැනන් වහන්සේගේ වචනද මට ඇසුණේය.

දෙවියන්වහන්සේ පවසන්නේ නැගී සිටින්න කියාය.

එසකියෙල් 2:3
උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, මට විරුද්ධව කැරළිගැසුවාවූ කැරළිකාර ජාතීන් වන ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට නුඹ යවමි. ඔව්හුද ඔවුන්ගේ පියවරුද අද දවස දක්වාම මට විරුද්ධව ද්‍රෝහිකම් කළෝය.

ඉශ‍්‍රයෙල්වරු කාලෙන් කාලෙට දෙවියන්වහන්සේගෙන් ඈත්ව ගියෝය. දෙවියන්වහන්සේ විටින් විට උන්වහන්සේගේ අනාගතවක්තෘන් තුළින් ඔවුන් හට පණිවිඩ කතා කළේය.

උන්වහන්සේ සෙනඟට පවසන්නේ, නැවත හැරී එන්න කියාය.

දෙවියන්වහන්සේ එසකියෙල් අනාගතවක්තෘව යවන්නේ සෙනඟ දෙවියන්වහන්සේගේ ආධිපත්‍යයට යටත් නොවී කැරළිකාරව සිටි වෙලාවකය.

එසකියෙල් 2:4
තද මුහුණුද දැඩි සිත්ද ඇති පුත්‍රයන් වන ඔවුන් වෙතට නුඹ යවමි; නුඹද: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න.

ඔවුන් සිටියේ තද සිත් දැඩි මුහුණු සහිතවයි. ඒ අය අතරටයි දෙවියන්වහන්සේ පණිවිඩය අරින්නේ.

කුෂ්ඨ රෝගියා සිටියේත් දැඩි සිතක් ඇතුවය.

සමහර මනුෂ්‍යයන්ගේ සිත් දැඩිව තිබෙන්නේ ඔවුන්ගේ ප‍්‍රශ්න, වේදනා නිසාවෙනි.

දෙවියන්වහන්සේ පවසන්නේ එවැනි අය වෙත යන ලෙසටය.

එසකියෙල් 2:5
ඔවුන් කැරළිකාර වංශයක් බැවින්, ඔවුන් අසතත් නොඅසතත් තමුන් අතරෙහි අනාගතවක්තෘ කෙනෙක් සිටි බව ඔවුන් දැනගන්නවා ඇත.

වචනයට ඇහුම්කන් දුන්නත් නැතත්, ඔබව පිළිගත්තත් පිළිනොගත්තත් භය නොවී ඔවුන් අතරට යන්න.

ඔබ යන්නේ මනුෂ්‍යයන්ගේ ගැළවීමට ස්වර්ගයේ පණිවිඩයත් රැගෙනය.

දේශකයන් කැමති වන්නේ බොරු වර්ණනා වලටය. බොරු වර්ණනා තිබෙන තැන මනුෂ්‍යයන් සිටිති.

දෙවියන්වහන්සේ පවසන්නේ කෝපයෙන් පසුවන අය අතරටද ගොස් පේ‍්‍රමෙන්, කරුණාවෙන් සුභාරංචිය පවසන ලෙසය.

ස්වර්ගීය තානාපතියෙක් ලෙස යේසුස්වහන්සේ කුරුසියේ පූජාව මනුෂ්‍යයන්ට සාක්ෂි දරන්න.

දෙවියන්වහන්සේ සියළු දෙනාවම කැඳවා තිබෙන්නේ සුභාරංචියේ වචනයට සාක්ෂි දෙන්නටය.

සමාරියේ ස්ත‍්‍රියව මනුෂ්‍යයන් එපා කළත්, ඇය ඒ මනුෂ්‍යයන් වෙතටම ගොස් තම සාක්ෂිය පැවසීය. උන්වහන්සේ වෙතට එන ලෙසට ආරාධනා කළාය. (යොහන් 4:29)

පසුව සමාරිතයන් ස්ත‍්‍රියට පැවසුවේ අප දැන් අදහන්නේ ඔබ කියූ නිසා නොව, අපිම අසා දැනගත් නිසායයි කියාය. (යොහන් 4:42)

එසේ කීමෙන් ඔවුන් සමහර විට ඇයව සුළු කිරීමකට ලක් කරන්නට ඇති. එහෙත් ඇය ඇයගේ කොටස කළාය.

ලාසරුස් මරණයට පත්වූ අවස්ථාවේ යේසුස්වහන්සේ ඔහුගේ නිවසට පැමිණි බව ඇසූ මාර්තා උන්වහන්සේට පෙරටුවට ගියේ තනිවමය.

ඇය පැවසුවේ, ඔබ මෙහි සිටියානම්, මාගේ සහෝදරයා නොමැරෙන බවයි.

යේසුස්වහන්සේ ඇයට පැවසුවේ, නැවත නැගිටීමද ජීවනයද උන්වහන්සේ බවය. (යොහන් 11:20-25)

මාර්තා ගොස් යේසුස්වහන්සේ පැමිණ ඇති බව මරියාට පැවසීය.
(යොහන් 11:28)

මරියා යේසුස්වහන්සේ සම්බවීමට පිටත්ව යන බව දුටු ඇගේ නිවසේ සිටි සියලු යුදෙව්වරුද ඇය පස්සේ ගියෝය. (යොහන් 11:31)

යේසුස්වහන්සේ සොහොන් ගෙයි ගල අයින් කරන්නැයි කියුවිට මාර්තා පැවසුවේ, මැරී සතර දවසක් නිසා දැන් ගඳ ඇතැයි කියාය.
(යොහන් 11:39)

යේසුස්වහන්සේට කළ නොහැකි දෙයක් නැතැයි කියා මාර්තා දැන සිටියත් ඇය සාක්ෂි දැරීමට ගියේ නැත. (යොහන් 11:22)

ගල අහක්කළ පසු යේසුස්වහන්සේ ලාසරුස්ට නම කියා හඬ ගැසූ සේක. (යොහන් 11:43)

ලාසරුස් පිටතට පැමිණි පසු යේසුස්වහන්සේ ඔහුව ඔතා තිබූ වස්ත‍්‍ර මුදා නිදහස් කරන්නැයි පැවසීය. (යොහන් 11:44)

මරියා නිසා එතැනට ආ යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් යේසුස්වහන්සේ කළ ක‍්‍රියාව දැක උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. (යොහන් 11:45)

යේසුස්වහන්සේ පැමිණ ඇති බව ඇසූ මරියාගේ ප‍්‍රතික‍්‍රියාව හේතුවෙන් එතැන සිටි යුදෙව්වරුන්ට ඇය සාක්ෂියක් වුණේය.

ඔබගේ මළාවු ජීවිතයට ජීවනය ගෙන දෙන්නට යේසුස්වහන්සේට පුළුවන. උන්වහන්සේට බැරි කිසිවක් නැත.

සාක්ෂිකාරයෙක්ට අවශ්‍යයම දේ ශුද්ධාත්ම බව්තීස්මයයි.

ක්‍රියා‬ ‭1:8‬
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

ශුද්ධාත්ම ගින්නෙන් අපට බොහෝ සාක්ෂි දැරිය හැකිය.


Watch the Sermon Video

Read 68 times