+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි මනුෂ්‍යයන්ට සාක්ෂියක් වී සිටිමු - යෝෂා මනූ
January 14, 2024 Sunday Sermon Notes

 

යේසුස්වහන්සේගේ උතුම් නාමය අපට ගැළවීම, නිදහස ගෙන දුන්නේය. උන්වහන්සේගේ නාමය වර්ණනා කිරීමට අපට කාලය මදිය.

ඒ නාමය අද පවා මනුෂ්‍යයන්ව ගළවමින්, නිදහස් කරමින්, ජීවනය ගෙන දෙමින් තිබෙන්නේය. මනුෂ්‍යයන් දණ දැමිය යුත්තේ මේ නාමයටය.

අපට ගැළවීම ගෙන දුන්නේ මේ නාමයයි. අප එම උතුම්වූ නාමය වර්ණනා කරමු.

ක‍්‍රියා 4:1
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.

අප උදෑසන අවදිවූවිට “ස්වාමීනී, මා පව්කාරයෙක්යැයි නොපවසා, මාව ධර්මිෂ්ඨ, නිර්දෝෂ, දේව දරුවෙකු කරමින්, ස්වර්ගීය පුරවැසියෙකු බවට පත් කළ නිසා ස්තූතියි” කියා උන්වහන්සේට ප‍්‍රශංසා කිරීම කොතරම් අගනේද?

දවස ආරම්භයේදීම මා අද දවස ගෙවන්නේ කෙසේදැයි කියමින් කනස්සලු නොවන්න. මන්ද දේව අභිමුඛත්වයේ ඇත්තේ ප‍්‍රීතියයි.

ස්වාමීන්වහන්සේ අපගේ සුවකරන්නාවූ වෛද්‍යවරයාණෝය. උන්වහන්සේ අප සුවකරන්නට කැමැත්තෙන් සිටී. අප ශක්තිමත්ව සිටීම දේව කැමැත්තයි.

ඔබගේ ශරීරයට ඇතිවන වේදනාවට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න. යේසුස්වහන්සේගේ නාමයෙන් එය දුරු වෙන්නට කියා ඔබ අණ කරන්න.

යේසුස්වහන්සේ පවසන්නේ, ඔබගේ කඳු වැනිවූ ප‍්‍රශ්න වලට කථා කරන ලෙසය. ඔබගේ ජීවිතයේ ප‍්‍රශ්න මුල් ඇද තිබේනම් එම මුල් වලට ඔබ කථා කළ යුතුය.

අත්තික්කා ගසට යේසුස්වහන්සේ ශාප කළා සේ (මතෙව් 21:18-22) ලෙඩ රෝග වලට ඔබ ශාප කළ යුතුයි.

ඔබ ශාප කළ යුත්තේ, මනුෂ්‍යයන්ට නොව, ඔබගේ ජීවිතයේ මුල් ඇද ඇති ප‍්‍රශ්න, කරදර, ලෙඩ රෝග වලටයි. ඔබ ඒවාට ශාප කරමින් දුරු වෙන්නට කියා අණ කරන කල, ඒවා ඔබේ ජීවිතයෙන් ඉවත්ව යයි.

ස්වාමීන්වහන්සේගේ කැමැත්ත වන්නේ, අප ප‍්‍රශ්න කරදර වලින් ජය ගැනීමයි.

දෙවියන්වහන්සේ අපට ජය ගන්නට උන්වහන්සේගේ ආත්මය දී තිබේ. ඒ ආත්මයාණන්වහන්සේ නිතරම අප තුළ සාක්ෂි දරන්නේ මෙසේය: “මා ඔබව තෝරා ගෙන, ඔබගේ නාමය කියා කැඳවා, දැන් මනුෂ්‍යයන් වෙතට යවන්නේ සාක්ෂිකාරයෙක් වන පිණිසයි.”

එමනිසා, අපි මනුෂ්‍යයන්ට සාක්ෂියක් වී සිටිමු. එය ඉතා වැදගත් වේ.

යේසුස්වහන්සේ නිතරම පැවසුවේ, කාල වේලාව ගැන නොසිතන ලෙසයි.

ඔබ මේ පොළොවේ සිටින තුරු සාක්ෂිකාරුවෙකු ලෙස ජීවත් වන්න.

ජීවිතයේ සාක්ෂියක් තිබෙන්නේ ගැළවීම ගැන පමණක් නොවේ.

ගැළවීම ලැබුවායින් පසු, ඔබ වර්ධනය වී අභියෝග ජයගත් ආකාරය ගැනද සාක්ෂි දරන්න.

එපමණක් නොව, අප වර්ධනය වී, පරිනතවූවා නම් අපට වෙන කෙනෙකුට සාක්ෂි දැරිය හැකිය. අප ලබාගත් ආශීර්වාදය වෙන කෙනෙකු හා බෙදා ගන්නට පුලුවන.

අප කෙනෙකුට අපගේ සාක්ෂිය බෙදා ගන්නා කල, එය අසමින් සිටින වෙනත් අය ඒ තුළින් ආශීර්වාද ලබා සමහරවිට
ගැළවීමද ලැබිය හැකියි.

අප කාලය, යුගය ගැන නොසිතා මනුෂ්‍යයන් ඉදිරියේ සාක්ෂිකාර ජීවිතයක් ගතකරමින් අපගේ සාක්ෂිය බෙදා ගනිමු.

මේ ලෝකයේ අවසානය පැමිණෙන්නේ අප වචනය ගැන මනුෂ්‍යයන්ට සාක්ෂි දැරීමෙන් අනතුරුවය. (මතෙව් 24:14)

සාක්ෂිකාරයෙක් වීමත්, අපගේ සාක්ෂිය අන් අයට ප‍්‍රකාශ කිරීමත් යේසුස්වහන්සේ අපට භාරදුන් අප සතු වගකීම වේ.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිටීම සමහරුන් සැක කරන ලදි. ඔවුන්ට සාක්ෂිකාරයන් වීමට නොහැක.

මතෙව් 28:16-18
16ගෝලයෝ එකොළොස්දෙනා යේසුස්වහන්සේ තමුන්ට නියමකළ ගලීලයේ කන්දට ගියෝය. 17 ඔව්හු උන්වහන්සේ දැක උන්වහන්සේට නමස්කාරකළෝය. නුමුත් සමහරෙක් සැකකළෝය. 18 යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට: ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ.

යේසුස්වහන්සේ ඔවුන්ට පැවසුවේ ස්වර්ගයෙහිත්, පොළොවෙහිත් සියලු බලය උන්වහන්සේට අයත් බවය.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට සුභාරංචි වචනය සැම තැන්හී පතල කරන්නට අණ කරන ලදි.

මතෙව් 28:19-20
19 එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරන්න. 20 මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.

අවසන් කාලයේ මුළාව මහත් ලෙස පැතිර යන බැවින්, අපි එයට අසුනොවී, ලබාගත් ගැළවීම තුළ ස්ථීරව සිටිමු. ඒ ගැන දෙවියන්වහන්සේ දුන් පොරොන්දු තදින් අල්ලා ගෙන එය අන් මනුෂ්‍යයන්ටද කියා දෙන ලෙස යේසුස්වහන්සේ පැවසීය. (මතෙව් 24:4-14)

සාක්ෂියක් තුළින් හෝ බයිබල් පාඨමාලාවක් ලෙස හෝ ඔබ අන් අයට කියාදීමේදී ඒ තුළින් ඔබගේ ආත්මික වර්ධනයද හටගනී.

මතෙව් 24:14
රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.

අන්තිමය පැමිණෙන්නේ අපගේ වගකීම ඉටුවූ පසුවය.

ලොව පුරා සුභාරංචියේ වචනය සෑම රටකටම, ගෝත‍්‍රයකටම පතලවූවාට පසුවයි අන්තිමය පැමිණෙන්නේ.

දෙවියන්වහන්සේ මේ අන්තිම කාලයේ අපව පොළොවේ තබා තිබෙන්නේ සාක්ෂි දරන්නටය.

ඔබ ප‍්‍රකාශ කරන්න: ”ස්වාමීනී මා තෝරා ගත් නිසා ස්තූතියි. මා සියල්ලන්ටම සාක්ෂි දරමි.”

ලූක් 24:47-48
47 යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ. 48 නුඹලා මේ දේවලට සාක්ෂිකාරයෝය.

යේසුස්වහන්සේ ගෝලයන්ට පැවසුවේ ඔබ දැකපු දේ ගැන සාක්ෂිදරන්න කියාය.

සාක්ෂිකාරයෙක් සාක්ෂි දෙන්නේ තමා දුටු දේ හෝ තමා අසපු දේය.

දෙවියන්වහන්සේ පවසන්නේ අන් අයගේ දේ නොව, ඔබ අත්දුටු දේ සාක්ෂිදරන ලෙසය.

ඔබගේ සාක්ෂිය ප‍්‍රකාශ කරමින් ඔබ එයින් ජයගත් ආකාරයත්, එහි ප‍්‍රතිපත්ති, මූලධර්ම කියා දෙමින් ඔවුන්ටද ජය ගැනීමට ක‍්‍රියාකල යුතු ආකාරය ඔබට ඒ අයට ඉගැන්විය හැකිය.

ලූක් 24:49
බලව, මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නුමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්නැයි කීසේක.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථානවී දවස් 40ක් මේ පොළොවේ වාසය කළසේක. ඒ කාල පරිච්ඡේදයේ උන්වහන්සේ මනුෂ්‍යන්ට හා ගෝලයන්ට ප‍්‍රකාශවෙමින් ඔවුන් ශක්තිමත් කළ සේක.

ගෝලයන්ට ප‍්‍රකාශවූ පළමු අවස්ථාවේ තෝමස් එතැන නොසිටි බැවින් ඔහු එය අවිශ්වාස කරන ලදි. (යොහන් 20:24-25)

තෝමස් සිටි අවස්ථාවෙදී නැවත ගෝලයන්ට ප‍්‍රකාශවූ යේසුස්වහන්සේ තෝමස්ට පැවසුවේ, ඔහු කී ලෙස උන්වහන්සේගේ අත්වලට හා ඇළයට ඔහුගේ අත් තබා බලන්න. නුඹ මා දැක විශ්වාස කලා නුමුත් නොදැක විශ්වාස කරන්නාවු අය ආශීර්වාදලද්දෝයයි කියාය. (යොහන් 20:26-29)

යේසුස්වහන්සේ ගෝලයන්ට පැවසුවේ බලය ලැබෙන තුරු නුවර නැවතී සිටින ලෙසය. යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිට දින 50 පසු ගෝලයන් ඇතුලු පිරිස ආත්මයාණන්වහන්සේගේ බලය ලැබූහ.

යේසුස්වහන්සේ පැවසුවේ, ඔවුන් බලය ලැබූ පසු සාක්ෂිකාරයන් වන බවය.

ක‍්‍රියා 1:8
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

කාලයන්ද ප‍්‍රස්තාවන්ද අපට අයිති නැති බව යේසුස්වහන්සේ කීසේක.

ක‍්‍රියා 1:6-7
එහෙයින් ඔව්හු රැස්වූ විට: ස්වාමිනි, මේ කාලයේදී ඔබ ඉශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙනසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. 7 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පියාණන්වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.

මේ අවසන් කාලයයි සිතමින් ඔබ සාක්ෂි දරමින්, ශුද්ධකමින් ජීවත්වන්න.

බලය ලබන්නේ ශුද්ධාත්මයෙන් පිරුණු පසුය.

ශුද්ධාත්ම බලය ඉතා වැදගත්ය.

ප‍්‍රථම සභාව ආරම්භවූයේ ශුද්ධාත්ම බලය ලැබීමෙන් අනතුරුවය.

ගෝලයන් සාක්ෂිදරන්න ආරම්භ කලේ යෙරුසලමෙන්ය. (ක‍්‍රියා 2:14-41)

යේසුස්වහන්සේ ගෝලයන් හට පැවසුවේ ඔවුන්ට පීඩා පැමිණෙන කල භය නොවන ලෙසය.

මතෙව් 10:16-19
වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.

යේසුස්වහන්සේ කීවේ අප වෘකයන් මැදට බැටළුවන් මෙන් යවන බවයි. අප උන්වහන්සේගේ බැටළුවන්ය. අප ප‍්‍රඥාවන්තව ක‍්‍රියා කළ යුතුය. අපගේ සතුරා මනුෂ්‍යයන් නොව යක්ෂයාය.

නුමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තළනවා ඇත; 18ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත.

පාවුල්තුමාට මේ ආකාරයෙන් මුහුණ දීමට සිදුවුණි. (ක‍්‍රියා 21:31-33)

ඔහු සාක්ෂිකාර ජීවිතයක් ගත කළේය. (ක‍්‍රියා 24:1-26:32)

නුමුත් ඔවුන් නුඹලා පාවාදෙන කල, නුඹලා කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය.

දෙවියන්වහන්සේ පාවුල්තුමාට පැවසුවේ ඔහු කායිසර් ඉදිරියේ සාක්ෂිදරන්නට යන බවය. (ක‍්‍රියා 27:23-24)

රජවරුන් ඉදිරියේ සාක්ෂි දැරීමට පවා දෙවියන්වහන්සේ අපව තෝරාගෙන ඇත.

ඔබ කුමන ස්ථානයක සිටියත් භය නොවී සාක්ෂිකාරයෙකු ලෙස ජීවත්වන්න.

මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව නුඹලා තුළ කථාකරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයාණෝය.

ඔබ කථාකරන දෙයට භය නොවන්න මන්ද කථාකරන්නේ ඔබ තුළ සිටින ශුද්ධාත්මයාණෝය.

පීඩා පරික්ෂා පැමිණෙන කල අපි භය නොවී ස්වාමීන්වහන්සේ කෙරෙන් පලා නොගොස් උන්වහන්සේ වෙතට දිවයමු.


Watch the Sermon Video

Read 89 times