+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ සාක්ෂිය - යෝෂා මනූ
January 21, 2024 Sunday Sermon Notes

 

අප සාක්ෂියක් බෙදා ගන්නේ තව කෙනෙකුව ධෛර්යමත් කරන්ට, පුබුදුවන්න, ශක්තිමත් කරන්නටය.

දෙවියන්වහන්සේ අපට දී ඇති වචනයෙන් අප දිනපතා ශක්තිමත් වෙමු.

විශ්වාස සැබෑ සාක්ෂිකරු අපගේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය.

‭‭‭එළිදරව්‬ ‭3:14‬ ‭‬‬
තවද ලවොදිකයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ආමෙන් නමැත්තාවූ, විශ්වාස සැබෑ සාක්ෂිකාරවූ, දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මුලවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක.

විශ්වාසවන්තවූ හා සැබෑ සාක්ෂිකරුවූ ආමෙන් තැනන්වහන්සේගේ වචනය:

ආමෙන් කියන තැනන්වහන්සේ මමයි! මම විශ්වාසවන්තවූ හා සැබෑ සාක්ෂිකරුවාවූ සහ දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මූලාශ‍්‍රය වෙමි. මා කියන දේ අසන්න.

දේව වචනය තුළ අපට යේසුස්වහන්සේගේ සාක්ෂිය දැකිය හැකියි.

උන්වහන්සේගේ සාක්ෂියේ වචනය, උන්වහන්සේ ගැන අපට දැන ගන්නට අවශ්‍ය නම් එය දේව වචනයේ ලියා ඇත.

යේසුස්වහන්සේ කළ දේවල්, උන්වහන්සේගේ ක‍්‍රියාවන් දේව වචනය තුළ අපට දක්නට ලැබේ. දේව වචනය සුළු නොකරන්න.

දෙවියන්වහන්සේගේ වචනය පිළි නොගෙන වැරදි තීරණ ගෙන ක‍්‍රියා කළ පුද්ගලයින් පිළිබඳවද දේව වචනයේ සඳහන්ව ඇත.

දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේගේ වචනය ගැන සැබෑ සාක්ෂිකාරයෙක් ලෙස ජීවත්වන ලෙසය.

අපව කැඳෙව්වේ විශ්වාසවූ සැබෑ සාක්ෂිකාරවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය. අපගේ නාමය කියා හඬ ගැසුවේ. අප එම සාක්ෂිකාරයාණන් වෙනුවෙන් ජීවත්වෙමු.

උන්වහන්සේ කළ දේවල් අපි ප‍්‍රකාශ කරමු.

ඔබ තුළ තිබෙන සාක්ෂිය නම්, ඔබ දැකපු දේ, ඔබට දැණුනු ද ඔබ අත් දැකපු දේ සහ යේසුස්වහන්සේ ඔබගේ ජීවිතයට කරපු දේය.

එළිදරව්‬ ‭19:10‬ ‭
මේවා දෙවියන්වහන්සේගේ සැබෑ වචනයයිද ඔහු මට කීවේය. මම ඔහුට නමස්කාරකරන පිණිස ඔහුගේ පාමුල වැටුණෙමි. ඔහුද: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්න. මක්නිසාද, යේසුස්වහන්සේගේ සාක්ෂිය අනාගතවාක්‍යයේ ආත්මයයයි මට කීවේය.

අප දණ නැමිය යුත්තේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේට පමණි. වෙන කිසිවෙකුට අප දණ නොනැමිය යුතුය.

(දෙවියන්වහන්සේ තම අනාගතවක්තෘවරුන්ට පණිවිඩයක් දුන් විට ඔවුන් කතා කළේ යේසුස්වහන්සේ ගැනයි.)

දේවානුභාවයෙන් කියන්නාවූ සාක්ෂිය අනාගතවාක්‍යයක් ලෙස ආත්මයාණන්වහන්සේ තුළින් කතා කරයි.

දේව වචනයේ අපගේ අනාගතය ගැන යහපත් දේ ලියා ඇත.

දේව වචනය තුළ යේසුස්වහන්සේගේ හඬ ඇත. අප වචනය කියවමින් ආත්මයාණන්වහන්සේ තුළ උන්වහන්සේගේ හඬ අසමු.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට කථා කරන කල, ඔබ නිශ්චලව වචනය අසමින් එයට කීකරුවන්න.

වචනය අසන්නෝ පමණක් නොවී ආශීර්වාද ලැබීමට එය පිළිපදින්නෝ වන්න.

යේසුස්වහන්සේ පොළොවට කරන්නට ආ කාරණා දේව වචනයේ සඳහන්ව ඇත.

රාත‍්‍රී කාලයේ යේසුස්වහන්සේ හමුවන්නට ආ නිකදේමුස්ට උන්වහන්සේ බොහෝ දේ පහදා දුන් සේක. (යොහන් 3:1-21)

‭‭යොහන් බව්තිස්ත යේසුස්වහන්සේ ගැන සාක්ෂි දරමින් පැවසුවේ, උන්වහන්සේ ස්වර්ගයෙන් පැමිණි බවයි.

යොහන් 3:31-35
ඉහළින් එන්නාවූ තැනන්වහන්සේ සියල්ලන්ට වඩා උතුම්ය. භූමියෙන් වූ තැනැත්තේ භූමිකව, භූමික දේ ගැන කථාකරන්නේය. ස්වර්ගයෙන් එන්නාවූ තැනන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය. උන්වහන්සේ දුටුවා වූ ඇසුවා වූ දේ ගැන සාක්ෂිදෙනසේක; එහෙත් කවරෙක්වත් උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නේ නැත. උන්වහන්සේගේ සාක්ෂිය පිළිගත් තැනැත්තේ දෙවියන්වහන්සේ සැබෑවන්ත බවට මුද්‍රාව තබා තිබේ. මක්නිසාද දෙවියන්වහන්සේ විසින් එවනලද තැනන්වහන්සේ දෙවියන්වහන්සේගේ වචන කථාකරනසේක. කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ මිම්මක් සහිතව ආත්මයාණන් නොදෙනසේක. පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේමකරනසේක, සියල්ල උන් වහන්සේ අතට භාරදී තීබේ.‍

ස්වර්ගයෙන් පැමිණි යේසුස්වහන්සේ ස්වර්ගය ගැන හොඳින් දන්නා සේක. උන්වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ දේවල් අපට උගන්වන්නටත්, පෙන්වීමටත් ඒවා උරුමකර ගන්නා ආකාරය කියාදීමත්ය.

යේසුස්වහන්සේ සාක්ෂිකාරයාණන්ය. උන්වහන්සේ ඇසුවාවවූ දුටුවාවූ දේ ගැන අපට සාක්ෂි දරණ සේක.

අපි ඒ සාක්ෂිය අසා පිළිගෙන, අපගේ ජීවිතයට අදාල කරගන්නේ නම්, උන්වහන්සේ සැබෑව කියන මුද්‍රාව අප තුළ තිබෙන්නේය.

ඔබ දෙවියන්වහන්සේගෙන් ඉපද සිටිනවානම්, දෙවියන්වහන්සේගේ වචන, පොරොන්දු කථා කරන්න.

යේසුස්වහන්සේ ඇසුවාවූ දුටුවාවූ දේ ගැන සාක්ෂි දෙන්නා සේම ඔබත් දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයේ කර තිබෙන දේවල් ගැන සාක්ෂි දරන්න.

යොහන් 15:26-27
නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක. 27 පටන්ගැන්මේ සිට නුඹලා මා සමඟ සිටි බැවින් නුඹලාත් සාක්ෂිදෙන්නහුය.

යේසුස්වහන්සේ පැවසුවා උන්වහන්සේ ස්වර්ගයට ගිය පසු සැනසිලිකරුවාණන් එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ එවන බව.

සත්‍යතාවේ ආත්මයාණෝ යනු ශුද්ධාත්මයාණන්වහන්සේය.

ඔබ තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ සිටින්නේ නම්, ඒ සාක්ෂි දරන්නේ උන්වහන්සේය. උන්වහන්සේ තුළින් ඔබට සැබෑවත්, බොරුවත් වෙන්කොට හඳුනාගත හැකිය.

ඔබට යමෙක් වැරදි ඉගැන්වීමක් උගන්වන්නේ නම්, ආත්මයාණන්වහන්සේ ඔබට එය සැබෑවක් නොවන බවට මඟ පෙන්වයි.

යේසුස්වහන්සේ ගෝලයන්ට පැවසුවේ ඔවුන් බලය ලබාගත් පසු සාක්ෂි දරණ ලෙ‍සයි. (ක‍්‍රියා 1:8)

සාක්ෂි දැරීම යනු හිස් දෙඩවිලි පැවසීම නොව, ස්වාමීන්වහන්සේ කර ඇති දේ පැවසීමය.

සාක්ෂි දැරීමෙන් සිදුවිය යුත්තේ මනුෂ්‍යයන් ධෛර්යමත් කිරීමත්, දෙවියන්වහන්සේව මහිමවත් කිරීමත්ය.

යොහන් 5:39
ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි;

ක්‍රියා 1:8
8 නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

යේසුස්වහන්සේ ගෝලයන්ට පැවසුවේ ඔවුන් ශුද්ධාත්මයාණන්ගෙන් බලය ලැබූ පසු ලොව මුළුල්ලට ගොස් සාක්ෂි දරන්නටයි.


Watch the Sermon Video

Read 87 times