+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපට ලේ ගිවිසුමක් තිබේ - මනූ මැතානි
February 11, 2024 Sunday Sermon Notes

 

 ඔබත් මමත් ජීවමාන දෙවියන්වහන්සේ ගැන දැන ගනු ලැබූවේ තවත් කෙනෙක් නිර්භීතව දැරූ සාක්ෂියකිනි.

මනුෂ්‍යයන් එක් සැනෙකින් හැරී නාවත්, ඔබ වැපුරූ බීජය හිස්ව හැරී නොඑයි. එය යම් දිනක නිසැකයෙන්ම ඵල දරනු ඇත.

යම් දිනක ඔවුන් ඔබ දැරූ සාක්ෂිය මතක් කර ස්වාමීන්වහන්සේට හඬ නගනු ඇත.

සොරුන් දෙදෙනෙක් අතර එක් සොරෙක් තම වරද තේරුම් ගෙන අවසන් මොහොතේදී යේසුස්වහන්සේව පිළිගන්නා ලදි. (ලූක් 23:39-42)

එක් සොරෙක් සමච්චල් කරන අවස්ථාවේ සැබෑ ලෙස පසුතැවී යේසුස්වහන්සේව පිළිගත් සොරාට යේසුස්වහන්සේගෙන් පොරොන්දුවක් ලැබුණි. එනම් අද නුඹ මා සමඟ පාරාදීසයේ සිටින්ට යන බවයි. (ලූක් 23:43)

පාරාදීසය යනු නිරයේම කොටසකි. පරණ ගිවිසුමේ සිටි මිය ගිය ශුද්ධවන්තයන් සිටියේ එහිය. එය වධ විදින ස්ථානය නොවේය. එහි සිටි අය බලා සිටියේ යේසුස්වහන්සේ පැමිණෙන තුරුය.

එදින යේසුස්වහන්සේ පාරාදීසයට ගොස් එතැන සිටි සියල්ලන් ලෙහා ස්වර්ගෙට ගෙන යන ලදි. තවත් පාරාදීසයක් නොමැත.

දැන් යේසුස්වහන්සේ පිලිගත්තාවූ කෙනෙක් මරණයට පත්වුවහොත් එම පුද්ගලයා ස්වර්ග රාජ්‍යයටත්, උන්වහන්සේව නොහදුනන්නන් සදාකාල මරණයටත් යයි. අපගේ සාක්ෂියෙන් කවදා හෝ දවසක එවැන්නන් විනාශයෙන් මිදී නිදහස් විය හැක.

ශුද්ධාත්මාණන්වහන්සේ අපව අලංකාර ගිවිසුමකට ඇතුලත් කර ඇත.

අපට දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් තිබේ. උන්වහන්සේ සාදා තිබෙන මෙය ඉතා වටිනා පොරොන්දු වලින් පිරුණාවූ ගිවිසුමකි.

අපි ගිවිසුමේ දරුවෝය. අප තනිවී නොමැත. අප සමඟ ගිවිසුමට ඇතුලත්වූ තැනැණ්වහන්සේ නිතරම අප ගැන සලකන සේක.

‭‭හෙබ්‍රෙව්‬ ‭13:21‬
තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ අප සමඟ ඇති කළේ සදාකාලික ගිවිසුමකි.

මේ ගිවිසුම සදාකාලිකයි.

‭‭ගීතාවලිය‬ ‭89:34‭-‬35‬
[34] මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි, මාගේ තොල්වලින් නික්මුණු දේද වෙනස් නොකරන්නෙමි. [35] මාගේ ශුද්ධකම කියා එක් වරක් දිවිරීමි; දාවිත්ට බොරු නොකියන්නෙමි;

ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ගිවිසුම කිසිදා කඩ නොකරන්නේය. එම නිසා අපට ”ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන්නම්, ඇයි ස්වාමීනි මේ දේ……….” වැනි නොහැදිලිකාරකමේ යාච්ඤා කිරීමට අවශ්‍යය වන්නේ නැත.

උන්වහන්සේ අපගේ සැනසිලිකරුතුමන් නිසා ඒ ගිවිසුම වෙනස් නොකරනසේක.

ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ගිවිසුම ඉෂ්ට කරන්නට නොහැකියි කියා කවදාවත් පවසන්නේ නැත.

උන්වහන්සේ අපට වචනයක් දී තිබෙනවා නම් ඒක පවත්වන්නාවූ කෙනෙකුය. උන්වහන්සේගේ තොල් වලින් පැවසු කිසිවක් උන්වහන්සේ වෙනස් නොකරන සේක.

විවිධ හේතුන්, වාතාවරන, ව්‍යසන මත ලෞකික ගිවිසුම් කැඩී ගියත්, කුමන කාල වකවානු, වාතාවරන, ව්‍යසන මතවත් ස්වාමීන්වහන්සේ ඉෂ්ඨ කරන්නාවු දේ වලක්වන්නේ නැත. එය කඩ නොකරන, වෙනස් නොකරන ගිවිසුමකි.

දෙවියන්වහන්සේ කවදාවත් වෙනස් නොවන තැනැන්වහන්සේය.

යෙරෙමියා ‭31:3‬
[3] ස්වාමීන්වහන්සේ පුරාණයේදී මට ප්‍රකාශවී–එසේය, සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේමකෙළෙමි. එබැවින් දයාබරකමින් නුඹ ඇදගතිමියි කීසේක.

ස්වාමීන්වහන්සේ සදාකාල ප‍්‍රේමයකින් අපට ප‍්‍රේම කරන සේක.

සදාකාල යන වචනයෙහි අර්ථය කිසිදා වෙනස් නොවන යන්නය. එය කිසිවෙකුට වෙනස් කල නොහැක.

ඔබගේ මුල් අවධියේ ස්වාමීන්වහන්සේගේ අභිමුඛත්වය දැනීමට ඔබට යම් යම් දේ හැගෙන්නට, දැනෙන්නට පුළුවන.

නමුත් ඔබ වචනය තුළ පරිනත වන කළ ඔබට යම් යම් දේ නොහැගෙයි, නොදැනෙයි, උන්වහන්සේ ඔබෙන් ඈත්වී….. යයි සිතමින් ඔබ හැගීම්බරව ජීවත්විය යුතු නැත.

අප වර්ධනය වන විට තේරුම් ගත යුතුයි, ”මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, නුඹ සමඟ සිටිමි” දෙවියන්වහන්සේ පැවසු බව. (උත්පත්ති 28:15, හේබ්‍රෙව් 13:5) මෙය ගිවිසුමේ වාක්‍යයකි.

සමහර විට අප අපටම සාදා ගත් හැඟීම් ඇත. දෙවියන්වහන්සේ මෙලෙස මට හැගෙන්ට, දැනෙන්ට අවශ්‍යයයි යනාදී ලෙසින්.

ස්වාමීන්වහන්සේගේ ගිවිසුමේ වචනය අප විශ්වාස කළ යුතුයි.

දෙදෙනෙක් හෝ තිදෙනෙක් රැස්වෙන ස්ථානයේ උන්වහන්සේ අප සමඟ සිටී. උන්වහන්සේගේ මහිමය එතැන ඇත. ඒ දේ අපට හැඟෙන්නට අවශ්‍ය නැත. අප විශ්වාස කළ යුතුයි.

දෙවියන්වහන්සේගේ ආත්මය අප සමඟයි කියා අප විශ්වාස කල යුතුය.

අපගේ හැඟීම් වෙනස්වෙන සුළුයි. බොහෝ විට මනුෂ්‍යයෝ හැඟීම් වලට රැවටී සිටිති.

දෙවියන්වහන්සේ කිසිදා උන්වහන්සේගේ අභිමුඛත්වය අපගෙන් ඈත් නොකරන සේක. උන්වහන්සේ එකාකාරව සදාකාල ප‍්‍රේමයකින් අපට ප‍්‍රේම කරන සේක.

දේව වචනය තුළින් හෝ අනාගතවාක්‍යයක් තුළින් දෙවියන්වහන්සේ ඔබට කථා කළ හැකිය. උන්වහන්සේගේ ආත්මයාණන්ට කැමති ලෙස ඔබ තුළ ක‍්‍රියා කිරීමට ඉඩ දෙන්න.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනා ක‍්‍රියාත්මක වන්නේ උන්වහන්සේගේ කැමැත්තේ ප‍්‍රකාරයටය. සියල්ලන්ටම එක හා සමාන ලෙස ක‍්‍රියාත්මක වන්නේ නැත.

‭‭හෙබ්‍රෙව්‬ ‭2:4‬
[4] දෙවියන්වහන්සෙත් ලකුණුවලින්ද පුදුමවලින්ද අනේකාකාර ආශ්චර්යවලින්ද ස්වකීය කැමැත්ත ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාවලින්ද ඊට සාක්ෂිදුන්සේක.

අප හැඟීම් පැත්තට බර වන කල බොහෝ රැවටිලි ආත්ම ක‍්‍රියා කරනු ඇත.

යක්ෂයාට ඕනෑ කරන්නේ අපව හැඟීම් මට්ටමට ගෙනෙන්නටයි.

‭‭1 කොරින්ති‬ ‭12:11‬
[11] නුමුත් ඒ එකමවූ ආත්මයාණන්වහන්සේ තමන් කැමතිලෙස එකිනෙකාට වෙන වෙනම බෙදාදෙමින්, මේ සියල්ල කරවනසේක.

‭‭1 කොරින්ති‬ ‭12:18‬
[18] නුමුත් දෙවියන්වහන්සේ තමන්ගේ කැමැත්ත ලෙස ඒ සියලු අවයවයන් වෙන වෙනම ශරීරයේ තැබූසේක.

මේ දීමනා ක්‍රියා කරනුයේ උන්වහන්සේගේ කැමැත්තේ ප්‍රකාරයටයි.

අපට අර දීමනාව, මේ දීමනාව නැතැයි කියමින් අප දුක් විය යුතු නැත.

දෙවියන්වහන්සේ අප සියලු දෙනාට දී ඇති සදාකාල ජීවනය උතුම් දීමනාවකි.

‭‭රෝම‬ ‭6:23
මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.

එම දීමනාවෙන් දෙවියන්වහන්සේ අපට පොළොවේ රජකම් කිරීමට ධර්මිෂ්ඨකම දී ඇත.

‭‭රෝම‬ ‭5:17
[17] මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.

ධර්මිෂ්ඨකමේ දීමනාවෙන් පව්කාරකමෙන් ධර්මිෂ්ඨකමට, උන්වහන්සේ අපගේ ස්ථානය වෙනස් කර ඇත.

දෙවියන්වහන්සේ දෙන්නාවු දීමනාවන් හා කැඳවීම උන්වහන්සේ කිසිදා නැවත උදුරා නොගනී.

‭‭රෝම‬ ‭11:29‬
[29] මක්නිසාද දෙවියන්වහන්සේගේ දීමනාද කැඳවීමද වෙනස් නොවන්නේය.

දෙවියන්වහන්සේ දී තිබෙන සියල්ලම දී ඇත්තේ සදාකාලයටම පැවතීමටය. සදාකාල ගිවිසුමක්…. සදාකාල ප‍්‍රේමය….. සදාකාල ජීවනය……..

සදාකාල යනු ප්‍රමිතියෙන් ප්‍රමාණයෙන් එක හා සමානව දීර්ඝ කාලීකව එක ලෙස පවතින්නාවූ දෙයකි. එය පහවී යන්නේවත්, දිරාපත් වන්නේ වත්, අඩුවන්නේවත්, වැඩිවන්නේවත් නැතිව එකාකාරව පවතී.

වැඩි බලයක් ලෙස මනුෂ්‍යයා සොයන්නේ හැඟීම්ය.

දෙවියන්වහන්සේ පවසන්නේ තිබෙන දේ පාවිච්චි කරන ලෙසය.
උන්වහන්සේ ඔබව බලවත් කර ඇත, ධර්මිෂ්ඨකර ඇත, සදාකාල ජීවනය තුළ රජකම් කිරීමට අවස්ථාව දී ඇත.

‭‭රෝම‬ ‭5:17‬
[17] මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.

මරණයේ අධිපතියා යක්ෂයා නිතරම පෙන්වන්නේ මරණය තුළ තිබෙන දේවල් බලවත් බවයි. රෝගයේ බලය සුවයට වඩා බලවත් බවයි. මරණයේ ඉල්ලුම බලවත් බවයි.

නමුත් දැන් අප පවසන්නේ සුවයේ බලය රෝගයට වඩා බලවත් බලවන්තයි කියාය. යේසුස්වහන්සේ තුළ බහුලත්වයේ සැපයුම තුළින් හිඟකමට, රෝගයට, මරණයට, පාපයට එරෙහිව ජීවනය රජකම් කරන බවයි.

යක්ෂයා මරණයයි. දෙවියන්වහන්සේ ජීවනයයි.

මරණයේ අධිපතියාවූ යක්ෂයාව යේසුස්වහන්සේ කුරුස ගසේදී විනාශ කරන ලදි .

‭‭හෙබ්‍රෙව්‬ ‭2:14‭-‬15‬
[14] එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට, [15] ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.

මරණය කෙරෙහී බලය තිබුණේ යක්ෂයාටය. යේසුස්වහන්සේ මරණය තුළින් යක්ෂයාගේ බලය විනාශ කල සේක.

දැන් ඇත්තේ සදාකාල ජීවනයයි. අප රජකම් කරන්නේ මේ ජීවනය තුලින්ය.

යක්ෂයා බලය පවත්වන්නේ ඌට භයවන්නන් කෙරෙහිය.

යක්ෂයා යම් කාලයකදී මනුෂ්‍යයන්ට යමක් දී තවත් කාලයකදී ඔහුම ඒවා සොරකම් කර ගනී.

යක්ෂයාට මැවීමේ බලයක් නොමැත. දෙවියන්වහන්සේ මැව් දේවල් ඌ සොරකම් කරගෙන වැරදි ලෙස පාවිච්චි කරමින් මනුෂ්‍යය ජීවිත විනාශ කරයි.

යේසුස්වහන්සේව හදුනා ගැනීමෙන් ඔබ තුළ තිබෙන සදාකාල ජීවනයෙන් ඔබ ඔබගේ සිතුවිලි වෙනස්කරගෙන ඇත.

මීට පෙර ඔබ ජීවත්වුනේ සිතේ ප‍්‍රකාරයටය. සිතේ ප‍්‍රකාරයයි ඔබට සිද්ධවුනේ.

‭‭හිතෝපදේශ‬ ‭23:7‬
[7] මක්නිසාද තමාගේ සිතෙන් ගණන්ගන්නා ලෙසම ඔහු වන්නේය. කන්න බොන්නැයි ඔහු නුඹට කියයි; නුමුත් ඔහුගේ සිත නුඹ සමඟ නැත.

මුතුන් මිත්තන් තුළ තුබුණු පරම්පරා ශාප දැන් අපට අයිති නැත.

පරම්පරා ශාප පවතින්නේ පරම්පරා හතරක් තුළය. සමහර විට ඔබ මේ පරම්පරාවකට අයත්ව සිටියත්, යේසුස්වහන්සේව පිළිගෙන වතුර බව්තිස්මයේදී ඔබ තුළ ඒ පරම්පරාවට අයිති මනුෂ්‍යයා මියගොස් නැවත නැඟිටියේ අලුත් මනුෂ්‍යයෙක්ය.

ඔබ දැන් සිටින්නේ අලුත් පරම්පරාවකය. ඔබට දැන් සිටින්නේ ඒ පැරණි මිතුන් මිත්තන් නොව, දෙවිපියාණන් වහන්සේ පමණි.

දැන් ඔබට තිබෙන්නේ ඒ ශාපය නොව දෙවිපියාණන් වහන්සේගේ ආශීර්වාදය පමණි.

දෙවිපියාණන් වහන්සේත් ඔබත් අතර දැන් සිටින්නේ අප වෙනුවෙන් මැදිහත්වී අපව දෙවියන්වහන්සේට සම්බන්ධ කළාවු යේසුස්වහන්සේ පමණි.

අප වෙනුවෙන් මැදිහත්කම් කළාවු යේසුස්වහන්සේ අප වෙනුවෙන් මරණයට පත්වී එතුළින් මරණයේ යක්ෂයාව විනාශ කරන ලදි.

ජීවිත මුලුල්ලේම මරණයට භයවී සිටි අපව උන්වහන්සේ මුදවාගත් සේක.

දැන් අපට මරණ බයක් නැත. එය ගිවිසුමේ දරුවන් තේරුම් ගෙන ජීවත්විය යුතුය.

ඔබ භයංකාර ජීවිතයක් ගත කරමින් සිටියහොත් ඔබ භයවන දෙයම ඔබට සිදුවෙයි.

යෝබ්‬ ‭3:25‬
[25] මක්නිසාද මා භයවන දේ මට මා භයපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.

යෝබ් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව සිටියත් ඔහුට පීඩාව පැමිණි වේලේ ඔහුගේ මුඛයෙන් ඔහු පැවසුවේ මා භයවූ දේ මට සිදුවූ බවයි.

ඔහු පවුල වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් පුද පුජා පැවැත්වූයේ ඇදහිල්ලෙන් නොව, ඔහු තුළ පැවති බිය නිසාය. ඔවුන්ට එළිදරව්වක් නොතිබුනි. අපට තිබෙන්නාවු එළිදව්ව ඔවුන්ට නොතිබුනි.

අලුත් ගිවිසුම තුළ අපට දෙවියන්වහන්සේගේ රහස් එළිදරව් කර තිබෙනවා. අලුත් ගිවිසුමේ එපීස, කොලොස්සි පොත් වල දෙවියන්වහන්සේගේ බොහෝ රහස් එළිදරව් කර ඇත.

පාවුල් පැවසුවේ අන්‍ය භක්තිකටන්ට දෙවියන්වහන්සේගේ රහස් එළිදරව් කරන්නට උන්වහන්සේ ඔහුව පත්කර ඇති බවයි. (ක‍්‍රියා 26:17-18)

ආරම්භයේ සිට තිබූ කාරණා දෙවියන්වහන්සේ දැන් අපට එළිදරව් කර ඇත. ඔබ එළිදරව් වචනය අනුව ජීවත් වෙන්න.

මාංශයටවත්, රුධිරයටවත් කිසිදා එළිදරව්වේ වචන ගෙනෙන්නට නොහැකිය.

මතෙව්‬ ‭16:13‬
[13] යේසුස්වහන්සේ පිලිප්පි කායිසාරියේ පළාත්වලට පැමිණි කල: මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ය කියා මනුෂ්‍යයෝ කියද්දැයි තමන්ගේ ගෝලයන්ගෙන් ඇසූසේක.

මනුෂ්‍යයන් යේසුස්වහනසේ ගැන වටහා ගෙන ඇති ආකාරය ගැන උන්වහන්සේගේ ගෝලයන්ගෙන් යේසුස් වහන්සේ විමසන ලදි.

‭‭මතෙව්‬ ‭16:14‬
[14] ඔව්හු කථාකොට-සමහරෙක්: යොහන් බව්තීස්තය කියාද, අන් සමහරෙක්: එලියාය කියාද, තවත් අය: යෙරෙමියා නොහොත් අනාගතවක්තෘන්ගෙන් එක්කෙනෙක්ය කියාද කියතියි කීවෝය.

යේසුස්වහන්සේගේ කථා විලාශය, උන්වහන්සේගේ ක‍්‍රියාවන් සැබවින්ම බලා සිටියානම් මේ පැමිණෙන්නට සිටි මෙසියස්වහන්සේ, ආලේපලත් තැනැන්වහන්සේ බව යුදෙව්වරුන්ට එළිදරව් වන්නට තිබුණි.

යේසුස්වහන්සේගේ ක‍්‍රියාවන් දුටු ගෝලයන්ටත් එය වටහා ගැනීමට නොහැකිවුණි. යේසුස්වහන්සේ කුණාටුව සන්සිදවූ අවස්ථාවේ උන්වහන්සේ සුළඟට මුහුදට කථාකරනවා දුටු ගෝලයන් පවා මවිතයට පත්වන ලදි (මතෙව් 8:26-27)

‭‭මතෙව්‬ ‭16:15‬
[15] නුමුත් නුඹලා මා කවුරුය කියා කියනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක.

යේසුස්වහන්සේ නුඹලා මා කව්රුන් කියා සිතන්නේදැයි ගොලයන්ගෙන් ඇසූ විට, පේත‍්‍රැස් පැවසුවේ ඔබ ක‍්‍රිස්තුස්වහන්සේ බවය.

යුදෙව්වරු බලා සිටියේ ක‍්‍රිස්තුස්වහන්සේ පැමිණ ඔවුන්ව නිදහස් කරන තෙක්ය. සැබවින් යේසුස්වහන්සේ පැමිණියේ ඒ උදෙසාය. නමුත් යුදෙව්වරු බලා සිටියේ එය රෝම ආණ්ඩුවෙන් සිදුවෙයි කියාය.

යේසුස්වහන්සේ පැමිණියේ ලොකයාවම ගළවන පිණිසය. යුදෙව්වරු එය නොදැන සිටියහ.
නමුත් පේත‍්‍රැස් ඔබවහන්සේ ක‍්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි එළිදරව්වක් දෙයි.

‭‭මතෙව්‬ ‭16:16‭-‬17‬
[16] සීමොන් පේතෘස් උත්තර දෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කීවේය. [17] යේසුස්වහන්සේ උත්තරදෙමින්: සීමොන් බර්-යෝනා, නුඹ ආශීර්වාදලද්දෙක්ය. මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ මිස මාංසය හා රුධිරය මේක ඔබට එළිදරව් නොකෙළේය.

යේසුස්වහන්සේ පවසනනේ “යෝනාගේ පුත‍්‍රවු සීමොන් නුඔ ආශීර්වාදලද්දෙක් මන්ද නුඹට මේ එළිදරව්ව පැමිණියේ මාංශයෙන්වත්, රුධිරයෙන් වත් නොවේය. මෙය මාගේ ස්වර්ගයෙහි සිටින පියාණන්වහන්සේගෙන් නුඹට ලැබුණු එළිදරව්වක් “ බවය.

අපි ජීවත් වන්නේ එළිදරව් වාක්‍ය තුළින්ය.

මේ එළිදරව් වාක්‍ය අපට දෙවියන්වහන්සේව වටහා දෙන්නේය.

යේසුස්වහන්සේ කව්දැයි අපට එළිදරව්වක් තිබිය යුතුය. උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාය. උන්වහන්සේ ක‍්‍රිස්තුස්වහන්සේය.

එලෙසින් අප යේසුස්වහන්සේව හදුනාගත්විට සැබවින්ම ක‍්‍රිස්තුස්වන්සේ දෙවියන්වහන්සේ බව අපට වටහා ගත හැකිය.

යුදෙව්වරුන්ට එය වටහා ගැනීමට නොහැකිවිය. යේසුස්වහන්සේ ඔවුන්ට පැවසුවේ උන්වහන්සේගේ ක‍්‍රියාවෙන්, උන්වහන්සේගේ වචනවලින් උන්වහන්සේ කව්දැයි ඔවුන්ට වටහා ගන්නා ලෙසය. උන්වහන්සේව දුටු තැනැත්තා පියාණන්වහන්සේව දුටුවා හා සමාන බවයි.

යොහන්‬ ‭10:30‭-‬32‬
[30] මමද පියාණන්වහන්සේද එකතැනැත්තායයි කීසේක. [31] යුදෙව්වරු උන්වහන්සේට ගසන්ට නැවතත් ගල් අතට ගත්තෝය. [32] යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: පියාණන්වහන්සේගෙන් බොහෝ යහපත් ක්‍රියා නුඹලාට දැක්වීමි; එයින් කොයි ක්‍රියාව නිසා මට ගල්ගසන්නහුදැයි ඇසූසේක.

යේසුස්වහන්සේගේ ප‍්‍රකාශයට යුදෙව්වරු උන්වහන්සේට ගසන්නට ගල් අතට ගත්හ.

මොන යහපත් ක‍්‍රියාව නිසා නුඹලා මට ගසන්නට ගල් අතට ගත්තේදැයි යේසුස්වහන්සේ ඔවුන්ගෙන් අසන ලදි.

‭‭ශු. යොහන්‬ ‭10:33‭-‬34‬
[33] යුදෙව්වරු උන්වහන්සේට උත්තරදෙමින්: අප නුඹට ගල්ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව දේව අපහාසය නිසාය; මනුෂ්‍යයෙක්වූ නුඹ දෙවියන්වහන්සේ වෙන්ට සාදන නිසායයි කීවෝය. [34] යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලා දෙවිවරුයයි මම කීමියි නුඹලාගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙනවා නොවේද? (ලියවිල්ල කඩවෙන්ට බැරිය.)

යුදෙව්වරු පවසන්නේ උන්වහන්සේත් පියාණන්වහන්සේත් එකයි කියා යේසුස්වහන්සේ දේව අපහාස කල බවයි.

යේසුස්වහන්සේ පැවසුවේ සැබෑවය. උන්වහන්සේත් පියාණන් වහන්සේත් එකය, යේසුස්වහන්සේ ශරීරයක් පමණි. ක‍්‍රියා කරන්නේ ආත්මයාණන්වහන්සේය. නමුත් යුදෙව්වරුන්ට එය නොවැටහුනි.

‭‭යොහන්‬ ‭10:35‭-‬36‬
[35] දෙවියන්වහන්සේගේ වචනය ලැබූවන්ට දෙවිවරුයයි උන්වහන්සේ කීසේක් නම්, [36] මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි මා කී නිසා පියාණන්වහන්සේ විසින් කැපකොට ලෝකයට එවනලද තැනැත්තා ගැන–නුඹ දෙවියන්වහන්සේට අපහාසකරන්නෙහියයි නුඹලා කියවුද?

යේසුස්වහන්සේ මනුෂ්‍යයාකාරව සිටි නිසා යුදෙව්වරු යේසුස්වහන්සේව ප‍්‍රතික්ෂේප කරන ලදි.

‭‭ගීතාවලිය‬ ‭82:6‬
[6] නුඹලා දෙවිවරුය, නුඹලා සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝයයි කීයෙමි.

අහසත් පොළොවත් මැව් දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට පොළොව දුන්නේ එහි ආධිපත්‍යය පතුරා රජකම් කරමින් ජීවත්වෙන්නටය.

‭‭ගීතාවලිය‬ ‭115:15‭-‬16‬ ‭SROV‬‬
[15] අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගෙන් නුඹලා ආශීර්වාදලද්දෝය. [16] ස්වර්ග වනාහි ස්වාමීන්ගේ ස්වර්ගය; නුමුත් පොළොව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක.

දෙවියන්වහන්සේ හා සමානව මනුෂ්‍යයාව මැව් දෙවියන්වහන්සේ ඔහුට ජීවත්වීමට පොළොවේ ස්වර්ගයක් දුන්හ.

ආදම් කල වැරැද්ද යේසුස්වහන්සේ නිවැරදි කරමින් අපට මේ පොළොවේ අධිපතිකම් කිරීමට ආධිපත්‍යය දෙන ලදි.

සිටින්නේ එකම එක දෙවි කෙනෙක් පමිණි.

නමුත් පොළොවේ දෙවිවරු හා සමානව අපව තබා ඇති ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ දරුවන් වන අපට යේසුස්වහන්සේ තුළින් පොළොවේ අධිපතිකම් කිරීමට බලය දි ඇත.

යක්ෂයාට දෙවියන්වහන්සේ නියම කළේ නිරය පමණි. නිරය තුළින් යක්ෂයා පැමිණ මනුෂ්‍යයා රවටා, මනුෂ්‍යයා තුළින් ආධිපත්‍යය ගෙන මේ ලෝකයේ දෙවියා ලෙස පෙනී සිටියි.

‭‭2 කොරින්ති‬ ‭4:4‬
[4] නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.

දෙවියන්වහන්සේ පොළොවේ ආධිපත්‍යය දුන්නේ මනුෂ්‍යයාටය. එහෙත් යකෂයා ප‍්‍රයෝගකාරව මනුෂ්‍යයා රවටමින් මේ ලෝකයේ දෙවියන් ලෙස සිටිමින් ඔවුන්ගේ සිත්, මනස්, අන්ධකර තිබේ. ඌ මරණය රජකම් කරවන්නට තැත් කරයි.

මරණයට ඔබගේ ජීවිතයේ රජකම් කරන්නට නොහැකියි.

බයිබලයේ පැහැදිලිව පෙන්වන්නේ මරණය රජකම් නොකරන බවත්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ කම තුළින් ඔබ රජකම් කරන බවත්ය. ජීවනය රජකම් කරන බවයි.

එම නිසා ඔබ කිසිසේත් යක්ෂයාට භය විය යුතු නැත.

ඔබ විශේෂයි ඔබ දේව ආධිපත්‍යය ඇතුව ගිවිසුමක් ඇතිව ක්‍රියා කරන දේව දරුවෙකුය.

ස්වර්ගයේ වැඩ වාසය කරන තැනැන්වහන්සේ සමඟ ඔබට ගිවිසුමක් ඇත. ස්වර්ගයේ වැඩ වාසය කරන සිංහාසනයේ සිටන තැනැන්වහන්සේ මා සමඟ සිටියි.

මරණය සමඟ තිබූ ගිවිසුම මා කඩා දමා තිබේ.

යෙසායා‬ ‭28:15‬
[15] අපි මරණය සමඟ ගිවිසුමක් කොට ‍පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය.

දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා මනුෂ්‍යයෙක් ආකාරයට මෙළොවට පැමිණ අප වෙනුවෙන් කුරුසියේ ජීවිතය පූජා කරන ලදි. එතුළින් අද මට නිදහස තිබේ. ඒ නිදහස තුළින් මට දැන් ස්වර්ගය සමඟ ගිවිසුමක් තිබේ.

මට දැන් ජීවනයත් සමඟ ගිවිසුමක් තිබේ. මට විපත්ති එන විට ස්වර්ගයේ සිංහාසනයේ සිටින තැනැන්වහන්සේ මා තුළත් වැඩවාසය කරමින් සිටින්නේ. මරණයට මාව පාළනය කිරිමට අයිතියක් නොමැත.

දෙවියන්වහන්සේ මරණය හා අපාය යන ගිවිසුමෙන් මා නිදහස් කර උන්වහන්සේ මා හට නව ජීවනයක් දි ඇත. මා ජීවත්වන්නේ මේ නව ජීවනය තුළයි.

රෝම‬ ‭8:2‬
[2] මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.

පාපය සහ මරණය යන ව්‍යවස්ථාවට දැන් මා අයත් නැත. නමුත් ස්වාමීන්වහන්සේගේ ජීවනයෙන් උන්වහන්සේ මා නිදහස් කර ඇත.

යේසුස්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාට ස්වර්ගයේ පුරවැසිකම ලැබී ඇත. දෙවියන්වහන්සේගේ ඒකත්වයක් අප තුළ ඇත.

යේසුස්වහන්සේව ප‍්‍රකිත්ශේප කරන මනුෂ්‍යයන් තුළ රජකම් කරන්නේ මරණයයි. ඔවුන්ගේ මලානික වචන, විපත්තියේ වචන, විනාශකාරී වචන වලට පුදුම නොවන්න.

ඔබ තුළ රජකම් කරන්නේ ජීවනයයි. ඔබ කථා කරන ජීවන වචන වලින් ඔබ රජකම් කරනු ඇත.

ඔබ නව මැවිල්ලක්, දෙවියන්වහන්සේගේ දරුවෙක් හෙයින් අන්ධකාර බලවේග වලට විරුද්ධව නැඟී සිටීමට ඔබට අයිතියක් ඇත.

අපාය, මරණය සමඟ ඔබට ගිවිසුමක් නැත.

ඔබට ඇත්තේ ස්වර්ගය හා ජීවනය සමඟ ගිවිසුමකි.

ජීවනය යේසුස්වහන්සේය, ස්වර්ගයේ බලතල ඔබට තිබේ.
අප ඒ ගැන සතුටු වී, විශ්වාස කරමින් හැගීම් අනුව, පෙනීමේ අනුව නොව අදහමින් ගමන් කරමු.

යේසුස්වහන්සේගේ ලේ වලින් අපට සදාකාල ගිවිසුමක් ඇත.


Watch the Sermon Video

Read 36 times