+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි ඇදහිල්ලෙන් පසුබට වන්නේ නම් දෙවියන්වහන්සේ ප්‍රසන්න නැත - මනූ මැතානි
February 18, 2024 Sunday Sermon Notes

අප යාච්ඤා කළ පසු අපට පිළිතුරු ලැබෙන බව විශ්වාස කිරීම ඉතා වැදගත්ය.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ සුවකරන්නාය. උන්වහන්සේ අප සමඟය.

රෝග ලක්ෂණයක් පැමිණි සැනෙකින් අප එයට යටවීමට හෝ හැඟීම්බර වීමට නොගොස් ඇදහිල්ලෙන් සිටිය යුතුය.

අප කොයි කාටත් පරීක්ෂා පැමිණේ. යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝ යැයි සොයමින් ඔබමොබ ඇවිදියි. (1 පේතෘස් 5:8)

යක්ෂයාට ඔබව ගිල ගැනීමට ඉඩ නොදෙන්න. ස්වාමීන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කරමින් එහි ප‍්‍රතිඵල ලබා ගන්න.

‭මතෙව් 18:19
[19] නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය.

ස්වර්ගයේ කිසි ප්‍රශ්නයක් නැත.

පොළොවේ අප එක්සත්ව කරන යාච්ඤාවට ස්වර්ගයේ පියාණන්වහන්සේ පිළිතුරු දෙන සේක.

ඕනෑම දෙයකට කලින් අපි මුලින්ම කළ යුතු වන්නේ යාච්ඤා කිරීමයි. යාච්ඤාව සුළු නොකරන්න.

අපි දේව වචනය විශ්වාස කරන කෙනෙකු සමඟ එකඟව යාච්ඤා කරමු.

යේසුස්වහන්සේ තුළින් අපට සුවය තිබෙනවා බවට එළිදරව්වක් නොමැති පුද්ගලයෙකු සමඟ යාච්ඤා කරන්නට නොයන්න.

‭‭යොහන් 8:17-19
[17] එසේය, මනුෂ්‍යයන් දෙදෙනෙකුගේ සාක්ෂිය සැබෑයයි නුඹලාගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබේ. [18] මා ගැන සාක්ෂිදෙන්නේ මමය, මා එවූ පියාණන්වහන්සේද මා ගැන සාක්ෂිදෙනසේකැයි කීසේක. [19] එබැවින් ඔව්හු: නුඹේ පියාණන් කොතැන්හිදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා මාවත් මාගේ පියාණන්වහන්සේවත් අඳුනන්නේ නැත. නුඹලා මා ඇඳින්නහු නම් මාගේ පියාණන්වහන්සෙත් අඳුනනවා ඇතැයි කීසේක.

යේසුස්වහන්සේ එකඟවුණේ පියාණන්වහන්සේ සමඟය.

ඔබට එකඟ වීමට කෙනෙකු නොමැතිනම් යේසුස්වහන්සේගේ තුවාලවලින් මා සුවකරනු ලැබුයේයැයි (1පේත‍්‍රැස් 2:24) විශ්වාසව ප‍්‍රකාශ කරමින්, යාච්ඤා කරමින් ඔබගේ සුවය ලබාගනිමින්, දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරමින් සතුටින් ඔබ සිටින කල ඔබගේ යාච්ඤාවට පිළිතුරු ඔබට දැකිය හැකිය.

සියල්ල අපට සපයා දෙන්නේ අපගේ දෙවියන්වහන්සේ. උන්වහන්සේ අපට පවසන්නේ ඔබ අදහන්න එවිට මම ඔබට සපයා දෙන්නෙමි.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට කථා කරන කල, ඔබ අනුමාන නොකර විශ්වාස කරන්න.

මාර්ක් 11:24 ‬‬
[24] එබැවින් නුඹලාට කියමි–නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලාට ලැබෙන්නේය.

ස්වර්ගය සමඟ සම්බන්ධ වීම යනු වචනය සමඟ එකඟ වීමයි. අපගේ ඇදහිල්ලයි.

ඔබට සපයා දීමට දෙවියන්වහන්සේට විවිධාකර මාර්ග තිබේ.

දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් කවරෙකු හෝ සුදානම් කළ විට එය ඔහුට වපුරන්නාවූ බීජයකි. ඔබ කපා ගන්නාවු අස්වැන්නකි. ඔබටද එයින් නැවත වැපිරීමක් කළ හැකිය, තවත් කෙනෙකුට කපා ගැනීමට අස්වැන්නකි. මෙය ස්වර්ග රාජ්‍යයේ දෙවියන්වහන්සේ ගෙන යන ක‍්‍රමවේදයයි.

ස්වර්ග රාජ්‍යය සමඟ එකඟ වීමට ඔබට අවශ්‍ය ඇදහිල්ල පමණි.

සියයකට මුලෑදෑනියාගේ ඇදහිල්ලේ වචන දැක යේසුස්වහන්සේ පුදුමයට පත්වුණි.

මතෙව් 8:5-8
[5] උන්වහන්සේ කපර්ණවුමට ඇතුල්වූ කල්හි, සියයකට මුලාදෑනියෙක් උන්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේට කන්නලව්කරමින්: [6] ස්වාමිනි, මාගේ මෙහෙකරුවා අංශභාග රෝගීව බලවත්ලෙස වේදනා විඳිමින් ගෙයි ඔත්පළව ඉඳීයයි කීවේය. [7] මම ඇවිත් ඔහු සුවපත්කරමියි උන්වහන්සේ ඔහුට කීසේක. [8] සියයකට මුලාදෑනියා උත්තරදෙමින්: ස්වාමිනි, මාගේ පියස්ස යටට ඔබගේ ඊමට මම නොවටිමි. වචන මාත්‍රයක් කිව මැනව, එවිට මාගේ මෙහෙකරුවාට සුවවන්නේය.

සියයකට මුලෑදෑනියා ඔහුගේ සේවකයාගේ සුවය උදෙසා යේසුස්වහන්සේගෙන් ඉල්ලා සිටියේ වචන මාත‍්‍රයක් පමණක් පවසන ලෙසය.

මෙම සියයකට මුලෑදෑනියා යහපත් ගුණාංග වලින් යුතු අයෙකි.
යේසුස්වහන්සේ සියයකට මුලෑදෑනියාගේ දාසයා සුව කළේ එතැන සිටියවුන් ඔහුගේ ගුණ වර්ණනා කල නිසා නොවේය.

‭‭ලූක් 7:2-5
[2] එක්තරා සියයකට මුලාදෑනියෙකුගේ ප්‍රියවූ දාසයෙක් රෝගීව මරණාසන්නව සිටියේය. [3] ඔහු යේසුස්වහන්සේ ගැන අසා, උන්වහන්සේ ඇවිත් තමාගේ දාසයා සුවපත්කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලන පිණිස යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලන් උන්වහන්සේ වෙතට යැවීය. [4] ඔව්හු යේසුස්වහන්සේ ළඟට පැමිණ: ඔහු ඔබගෙන් ඒක ලබන්ට සුදුස්සෙක්ය. [5] ඔහු අපේ ජාතියට ප්‍රේමවන්නේය, ඔහුම අපේ සිනගෝගය අපට සාදාදුන්නේය කියා බොහෝසෙයින් ඉල්ලුවෝය.

යේසුස්වහන්සේ මවිතවූයේ සියයකට මුලෑදෑනියාගේ ප‍්‍රකාශයටය.

‭‭ලූක් 7:8-9
[8] මක්නිසාද මමත් ආණ්ඩුබලයට යටත් මනුෂ්‍යයෙක්මි, මා යටතෙහිද හේවායෝ සිටිති. එක්කෙනෙකුට–යවයි මා කී කල ඔහු යන්නේය; තවත් කෙනෙකුට එවයි කී කල ඔහු එන්නේය; මාගේ දාසයාට–මේක කරවයි කී කල ඔහු ඒක කරන්නේයයි උන්වහන්සේට කියා යැවීය. [9] යේසුස්වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිතව, හැරී තමන් අනුව ආ සමූහයාට කථාකොට: ඉශ්‍රායෙල්වරුන් අතරේවත් මෙබඳු මහත් ඇදහිල්ලක් මට සම්බවුණේ නැතැයි නුඹලාට කියමියි කීසේක.

මේ සේවකයා සුවය ලබා ගත්තේ සියයකට මුලාදෑනියා ඇදහිල්ලෙන් විශ්වාස කළ නිසයි. වචනයේ බලය විශ්වාස කළ නිසාය.

”වචනයක් කථා කළහොත් රෝගය, වේදනාව ඉවත්ව යනු ඇත.”

ස්වාමීන්වහන්සේ ඔබගේ ජීවිතයේ ඔබගේ සිතෙහි මේ වචන දමා තිබේ.

ඔබට තිබෙන්නේ වචන කථා කරන්නටය. ඒ දිව්‍යමය පොරොන්දු ප‍්‍රකාශකරන්නය.

දෙවියන්වහන්සේගේ වචන ඔබගේ මුඛයේ තබා ගෙන යේසුස්වහන්සේගේ නාමයයෙන් යක්ෂයාට, රෝගයට, වේදනාවට දුරුවීයන්න කියා අණ කරන්න.

ඔබගේ ඇදහිල්ල විශ්වාසය තහවුරු කර ගන්න.

ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේව ප‍්‍රසන්නකර නොහැකිය. (හෙබ්‍රෙව් 11:6)

ඔබගේ ජීවිතය ගොඩනඟා ගත හැක්කේ, පසුගිය කාලයේ දේවල්, අමතක කළ යුතු සිද්ධි, අමතක කළ හැක්කේ ඇදහිල්ලෙන් පමණි.

අපගේ ඇදහිල්ලේ කර්තෘ ආරම්භකයා යේසුස්වහන්සේය.

ඇදහිල්ල යනු ඔබගේ මනුෂ්‍ය බලය, ශක්තිය හෝ ආත්ම ශක්තියවත් නොව, යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසයයි.

විශ්වාස නොකරන්නා කෙරෙහි දෙවියන්වහන්සේ ප‍්‍රසන්න නැත.

‭‭හෙබ්‍රෙව් 10:38
ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.

අපගේ ඇදහිල්ල, විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි තබමු.

ඉශ‍්‍රායල් මනුෂ්‍යයන් බොහෝ හාස්කම් දුටුහ.
රතු මුහුද දෙබෑවීම (නික්මයාම 14:19-22) මෙය වතුර බව්තිස්මයට සමාන කරයි.

ඔවුන් මුහුද තාප්පයක් මෙන් දෙපැත්තට බෙදී තිබෙනවා දුටීය.
සතුරාද එම මාර්ගයේ පසුපස ලුහුබැඳ ගොස් ඔවුන් අල්ලා ගැනීමට උත්සහා කරහ. (නික්මයාම 14:23)

දෙවියන්වහන්සේ සාදන මාර්ග, මනුෂ්‍යයා විනාශ කිරීමට සතුරාට පාවිච්චි කළ නොහැක.

සතුරු හමුදාව ඒ මාර්ගය පාවිච්චි කළවිට වතුර ඔවුන් යට කරන ලදි. (නික්මයාම 14:24-28)

මෙතරම් මහත් හාස්කම් ඉශ‍්‍රායෙල්වරු අත් දුටූහ.
එහෙත් ඔවුන් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය අත් හරින ලදි.

‭‭ද්වීතීය කථාව 32:20 ‬‬
[20] උන්වහන්සේ කථාකොට: මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවා ගන්නෙමි, ඔවුන්ගේ කෙළවර කුමක් වන්නේදැයි බලන්නෙමි. මක්නිසාද ඔව්හු හිතුවක්කාර වංශයක, අවිශ්වාස දරුවෝය.

දෙවියන්වහන්සේ පවසන්නේ, මේ අය ඇදහිල්ලක් නැතිව සිටි දරුවෝ.

ඔවුන් සතලිස් අවුරුද්දක් පුරා කාන්තාරයේද බොහෝ හාස්කම් අත්දැක්හ.

ඔවුන්ගේ පාවහන්වත්, වස්ත‍්‍රවත් පරණ නොවීය.

‭‭ද්වීතීය කථාව 29:5
[5] උන්වහන්සේද: මම සතළිස් අවුරුද්දක් නුඹලා කාන්තාරයෙහි ගෙනායෙමි. නුඹලාගේ වස්ත්‍ර නුඹලා පිට පරණ නොවීය, නුඹේ පයෙහි නුඹේ වහන් පරණ නොවීය.

ඔවුන්ගේ ආහාරයට මන්නා ලැබුණි. (නික්මයාම 16:14-18)
එහෙත් ඔවුන් තුළ තිබුණේ කෙඳිරීම පමණි.

දෙවියන්වහන්සේ ඔවුන්ව හඳුන්වන්නේ හිතුවක්කාර පරම්පරාවක් ලෙසය.

අපගේ මෙම ගමන ඇදහිල්ලේ ගමනකි. මරණයේ වචන නොව ජීවනයේ වචන පැවසිය යුතුය.

ඔබගේ ජීවිතය ගැන අවිශ්වාසයෙන් කථා නොකරන්න. මන්ද ඒවා ශාප වචනය. ක‍්‍රිස්තුස්වහන්සේ කුරුසියේදී ඔබව එම ශාපයෙන් මුදවා ගන්නා ලදි.

යම් දේවල් ඔබට හැඟෙන්නට පුළුවන. නමුත් ඔබගේ හැඟීම් දෙවියන් බවට පත්කර නොගන්න.

‭‭ද්වීතීය කථාව 28:65-68
[65] ඒ ජාතීන් අතරෙහි නුඹට කිසිපහසුවක්වත් නුඹේ පතුලට කිසි සහනයක්වත් නොලැබෙන්නේය. එහි ස්වාමීන්වහන්සේ මවිතවන සිතක්ද ඇස් වැහැරයාමද ආත්මයේ ක්ලාන්තකමද නුඹට දෙනසේක. [66] නුඹේ ජීවිතය ගැන නුඹට අනුමාන ඇතිවන්නේය; නුඹ රෑ දාවල් භය ඇතුව, නුඹේ ජීවිතය ගැන විශ්වාසයක් නැතුව සිටින්නෙහිය. [67] නුඹේ සිතට පැමිණෙන භීතියද නුඹේ ඇස්වලින් දකින කාරණාද නිසා නුඹ උදයකාලයෙහි: අහෝ, දැන් සවස නම් හොඳය කියාද, සවස්කාලයෙහි: අහෝ, දැන් උදය නම් හොඳය කියාද කියන්නෙහිය. [68] නුඹ තවත් ඒක නොදකින්නෙහියයි මා විසින් නුඹ කී මාර්ගයෙන් නැව්වලින් ස්වාමීන්වහන්සේ නුඹ මිසරයට නැවත ගෙනයනසේක. එහිදී නුඹලාගේ සතුරන්ට දාසයන්ද දාසීන්ද කොට නුඹලාම විකුණනු ලබන්ට සෑදී සිටින නුමුත් කිසිවෙක් නුඹලා මිලේට නොගන්නේයයි කීවේය.

අපි මරණීය වචන කතා කරන විට අපට පහර දෙන පිණිස අපි සතුරාට දොරක් විවර කරන්නෙමු.

ඔබට ශක්තිමත් මනුෂ්‍යයෙක් ලෙස ජීවත්වීමට අවශ්‍ය නම් නිතර ජීවනයේ වචන කථා කරන්න.

ඔබගේ ඇදහිල්ල නිතරම සම්බන්ධ වී තිබෙන්නේ ඔබගේ වචන වලටය.

ඔබගේ හදවතින් ඔබ අදහන දේ ඔබගේ මුඛයෙන් පවසන්න.

දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල් සෙනඟට කොතරම් මහත් දේ කළත් ඔවුන් දෙවියන්වහන්සේව විශ්වාස නොකරන ලදි.

ද්වීතීය කථාව 29:6
[6] නුඹලා රොටි කෑවේවත් මුද්‍රික රස හෝ මද්‍යපානය බීවේවත් නැත. මෙසේ වූයේ මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව නුඹලා විසින් දැනගන්නා පිණිසයයි කියනසේක.

යම් දෙයක් දැකීමෙන් විශ්වාස කිරීම තුළ කිසි ඇදහිල්ලක් අවශ්‍ය වන්නේ නැත.

ඔබ අදහන කෙනෙක් නම් නොදැක විශ්වාස කරන්නාවු කෙනා ආශීර්වාදලද්දෙකි.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිට ගෝලයන්ට ප‍්‍රකාශවූ අවස්ථාවේ එතැන තෝමස් නොසිටින ලදි.

යොහන් 20:24
[24] යේසුස්වහන්සේ ආ කල, දොළොස් දෙනාගෙන් එක්කෙනෙක්වූ දිදිමුස් නම් තෝමස් ඔවුන් සමඟ නොසිටියේය.

තෝමස් යේසුස්වහන්සේ සමඟම සිටි ගෝලයෙකි. ඔහු යේසුස් කළාවු හාස්කම්, මළවුන්ගෙන් නැඟිටීම් සියැසින්ම දුටු අයෙකි.

යේසුස්වහන්සේ දේශනා වලදී තම මරණය හා මළවුන්ගෙන් නැඟිටීම ගැනද පවසා තිබුණි.

එහෙත් ඔහු ගෝලයන් පැවසූ යේසුස්වහන්සේගේ මළවුන්ගෙන් නැඟිටීම අවිශ්වාස කළහ.

තෝමස් විශ්වාස කරනවායැයි කීවේ, යේසුස්වහන්සේට අතගසා අල්ලා බැලුවොත් පමණකින් බවය.

‭‭යොහන් 20:25
[25] එහෙයින් අනික් ගෝලයෝ: අපි ස්වාමීන්වහන්සේ දුටිමුයයි ඔහුට කීවෝය. නුමුත් ඔහු ඔවුන්ට කථාකොට: උන්වහන්සේගේ අත්වල ඇණ ලකුණු දැක, ඒ ලකුණුවල මාගේ ඇඟිල්ල තබා, උන්වහන්සේගේ ඇළයෙහි මාගේ අත තබා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමියි කීවේය.

විශ්වාසය නොමැති නිසයි අද බොහෝමයක් ප‍්‍රශ්නයෙන්, රෝගයෙන් ජය නොගෙන සිටින්නේ.

බයිබලය පවසන්නේ අප දෙවියන්වහන්සේ තුළ සැබෑ ප‍්‍රඥාවන්තයන් වීමට ලෝකයේ දේවලට මෝඩයන් විය යුතු බවය.

‭‭1 කොරින්ති 3:18
[18] කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.

ප‍්‍රඥාවන්තයන් නිතර පවසනනේ තෝමස් මෙනි, එනම් තමා දුටුවොත් විශ්වාස කරන බවයි; අදහන බවයි.

යේසුස්වහන්සේගේ කුරුසපත්වීම ගැන කථා කිරීම ගැන නොඅදහන්නන් සිතන්නේ එය මෝඩකමක් කියාය.

යක්ෂයා පවා සිතුවේ යේසුස්වහන්සේගේ කුරුසපත්වීම හොඳයි එය උගේ ජයග‍්‍රහණයක් කියාය.

ලෝකයා මෙම මෝඩකමයයි කියන්නාවු පණිවිඩය විශ්වාස කළ නිසයි අප ගැළවීම ලබා තිබෙන්නේ.

‭‭1 කොරින්ති 1:18
[18] මක්නිසාද කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය.

සාමාන්‍ය ඇසට නොපෙණෙන්නාවූ, කනට නොඇසෙන්නාවූ, ශරීරයට නොදැනෙන්නාවූ දෙවියන්වහන්සේගේ බලය කෙරෙහි විශ්වාස කිරීම, දෙවියන්වහන්සේ ඉදිරියේ ප‍්‍රඥාවන්තයෙකු වන්නාවූ අප ලෝකයා ඉදිරියේ මෝඩකමය.

දෙදෙනෙකු හා එකඟතාවයකට පැමිණ යාච්ඤා කිරීම, වචන මාත‍්‍රයක් කෙරෙහි විශ්වාස කර ජය ලැබේයැයි ඇදහීම ලෝකයේ මනුෂ්‍යයා ඉදිරියේ මෝඩකමකි.

එහෙත් එකඟතාවයකට පැමිණ වචනයේ බලය කෙරෙහි විශ්වාසකර එය ලැබුණේයැයි අදහන කල එය අපට ලැබෙනු ඇත.

අප ඇදහිය යුත්තේ ලැබුණාට පසුව නොව ලැබීමට පෙරය.

එයාකාරව අප පියවරෙන් පියවර අපගේ යාච්ඤා දෙවියන්වහන්සේ වෙත යොමුකිරීමෙන් පිළිතුරු හිමිකර ගත හැකිය.

ඔබට විශ්වාස කළ හැකි තරමට ඇදහිල්ල පැමිණි විට දේව වචනයෙන් ජීවත්වීමට තෝරා ගන්න. මන්ද දේව වචනය අපට ආත්මික ඖෂධයයි.

ඔබට විශ්වාස කරන්නට පුළුවන්නම්, විශ්වාස කරන්නාට කිසිවක් අපහසු නැත.

‭‭හිතෝපදේශ 3:7
[7] නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න.

දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස නොකර තමා ප‍්‍රඥාවන්තයෙක්යැයි සිතා තම මතයේ සිටීම උඩඟුකමයි.

අප දෙවියන්වහන්සේට භය විය යුතුය. දෙවියන්වහන්සේට භය යන්නෙන් අදහස් වන්නේ අප උසස්තම ගෞරවය උන්වහන්සේට දීමය.

දෙවියන්වහන්සේ සිංහාසනයේ සිටින බව විශ්වාස කරමින් එම දෙවියන්වහන්සේ ඔබට බොහෝසේ ප්‍රේම කරන බව අදහන්න.

‭‭ගීතාවලිය 8:4-6
[4] ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද? [5] ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක. [6] ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සාදා මේ සියල්ලෙහි බලය දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට උත්පත්ති පටන් දී ඇත. (උත්පත්ති 1:26)

දෙවියන්වහන්සේ මනුෂ්‍යයාව සෑදුවේ දේව දූතයන් ලෙස නොව, දෙවියන්වහන්සේට මදක් පහතින්ය. දෙවියන්වහන්සේ සමඟ උන්වහන්සේගේ දකුණු පසින් සිට ගැනීමට පුළුවන් ආකාරයටය.

දෙවියන්වහන්සේ අපව ඇදහිල්ලෙන් ගළවා, ඔසවා ස්වර්ගික ස්ථානවල උන්වහන්සේ සමඟ අපව හිදුවා ඇත. මෙය ගැළවීමෙන් අපට ලැබෙන්නාවූ ප‍්‍රධානම දෙයයි.

‭‭එපීස 2:6
[6] ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.

දෙවියන්වහන්සේගේ සමානත්වයට, ස්වරූපයට සෑදූ මනුෂ්‍යයාට උන්වහන්සේ මුළු මැවිල්ලේ ආධිපත්‍යය භාර දෙන ලදි.

‭‭උත්පත්ති 1:26
[26] තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක.

සාතන්ගේ බලපෑමෙන් පළමු මනුෂ්‍යයාට ඇතුල් වූ මරණයේ විෂබීජය නිසා මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ස්වරූපයක් නැති තත්වයකට පත්වුණි.

එසේ හෙයින් යේසුස්වහන්සේ මෙළොවට පැමිණ පළමු මනුෂ්‍යයා කළාවු දේ නිවැරදි කරමින් නැවත මනුෂ්‍යයාව නියම ස්ථානයට ගෙනා සේක.

ඒදන් උයනේදී මනුෂ්‍යයා තමා නග්නව සිටින බව දැනගත්තේ, දෙවියන්වහන්සේගේ ස්වරූපයට, සමානත්වයට සෑදූ මනුෂ්‍යයාගෙන් දෙවියන්වහන්සේගේ මහිමය ඉවත්වූ නිසාවෙනි. එතැන් පටන් ඔවුන්ගේ පංචඉන්ද්‍රයන් ක‍්‍රියාත්මකවුණි. පෙනෙන දේ, ඇසෙන දේ, දැනෙන දේ අනුව ජීවත්වුණි. (උත්පත්ති 3:7-8)

ඔවුන් තුළ භයාදුකමේ ආත්මයත් හට ගත්හ. (උත්පත්ති 3:10)
ඔවුන් භයාදුකමට වහලුන් මෙන් ජීවත්වුණි.

යේසුස්වහන්සේ තුළින් මෙම භයාදුකමේ ආත්මය ඉවත්ව අපට පුත‍්‍රකමේ ආත්මය ලැබුණි.

රෝම 8:15
[15] මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.

දෙවියන්වහන්සේට අවශ්‍යවූයේ මනුෂ්‍යය පුත‍්‍රයෙක් ලෙස මෙළොවට පැමිණ; උන්වහන්සේව අදහන සියලු දෙනාවම දෙවියන්වහන්සේගේ පුත‍්‍රයන් බවට පත් කිරීමටය.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ගැන මෙතරම් තැකීමක් කිරීමට හේතුව උන්වහන්සේට මදක් පහතිත් සෑදූ මනුෂ්‍යායට දීමට උන්වහන්සේ ළඟ තේජසේ ඔටුන්නක් ඇත. (‭‭ගීතාවලිය 8:5)

දෙවියන්වහන්සේට මදක් පහතින් යන පදය හෙබ්‍රෙව් භාෂාවෙන් “එලෝහීම්” ලෙස සඳහන් කර ඇත.

“එලෝහීම්” යනු හේබ්‍රෙව් අර්ථය සර්වබලධාරී දෙවියන්වහන්සේ.

දෙවියන්වහන්සේට සියල්ලෙහි බලතල මනුෂ්‍යයන්ට දී තිබුණත් අද ඔවුන් සිටින්නේ යක්ෂබලතල වලට භියෙන්, වටපිටාවේ සිදුවන දේ වලට බියෙන් වහලුන් මෙන්ය.

නමුත් දෙවියන්වහන්සේ අපට භයාදුකමේ ආත්මයක් දී නොමැත.

‭‭2 තිමෝති 1:7
[7] මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

දෙවියන්වහන්සේ අපට වියවුල්කමේ නොව, සමාදානයේ මනසක් දී ඇත.

අපට මාංශයෙන් කළ නොහැකි දේ ආත්මයෙන් කළ හැකිය.

‭‭හිතෝපදේශ 3:7-8
[7] නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න. [8] ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.

නපුරෙන් වැලකී දේවභයෙන් ජීවත්වීමෙන් අපගේ නහර වලට සනීපය සුවය ලැබේ.

දේව භයින් ජීවත් වෙන්නා සම්පූර්ණ ඇදහිල්ලෙන් ජීවත් වන්නේය.

දෙවියන්වහන්සේ ආබ්‍රහම් තුළ දේව භය, කීකරුකම සහ ඇදහිල්ල දුටුවේය.

‭‭උත්පත්ති 22:10-12
[10] තවද ආබ්‍රහම් තමාගේ අත දිගුකොට තම පුත්‍රයා මරන පිණිස පිහිය ගත්තේය. [11] එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ස්වර්ගයෙහි සිට ඔහුට අඬගසා: ආබ්‍රහම්, ආබ්‍රහම්යයි කීයේය. ඔහුද: මම මෙහියයි කීය. [12] දේවදූතයා: නුඹේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය.

ආබ‍්‍රහම් දෙවියන්වහන්සේ ඔහුට කී දෙයට දේවභයින් කීකරුව ඒ දේවල් කළ නිසා ආබ‍්‍රහම්ට හිමිවූ සියලු ආශීර්වාද අද අපටද හිමිව තිබේ.

ඊසාක්ව පූජා කිරීම වැළැක්වූ දෙවියන්වහන්සේ ඒ වෙනුවෙන් යේසුස්වහන්සේව අප උදෙසා පූජාවෙන්ට සැලැස්වූ සේක. ආබ‍්‍රහම්ගේ වංශයට අපව ඇතුලත් කරන ලදි.

‭‭රෝම 8:32
[32] තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?

අපව ස්වර්ගය සමඟ සම්බන්ධ කරන්නට දෙවියන්වහන්සේට යේසුස්වහන්සේව පුජා කරන්නට සිද්ධ වූයේය.

‭‭උත්පත්ති 22:13
[13] ආබ්‍රහම් ඇස් ඔසවා බැලූ විට, බලව, තමා පිටිපස බැටළුවෙක් උගේ අංවලින් අකුලේ පටලැවී සිටිනවා දුටුයේය. එවිට ආබ්‍රහම් ගොස් ඒ බැටළුවා රැගෙන තමාගේ පුත්‍රයා වෙනුවට දවන පූජාවක් කොට ඔප්පුකෙළේය.

මෙම බැටළු පැටවාගෙන් පෙන්නුම් කරන්නේ යේසස්වහන්සේගේ ඊම ගැනය. යොහන් බව්තිස්ත එය පවසන ලදි.

යොහන් 1:29
[29] පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!

ආබ‍්‍රහම් දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ව දකින ලදි. යේසුස්වහන්සේගේ දවසේ ඡායාව ඔහු දුටීය. මේ බව යේසුස්වහන්සේ පැවසුසේක.

‭‭යොහන් 8:56-58
[56] නුඹලාගේ පියවූ ආබ්‍රහම් මාගේ දවස දකින්ට ප්‍රීතියෙන් සිටියේය; ඔහු ඒ දැක සන්තෝෂවීයයි කීසේක. [57] එබැවින් යුදෙව්වරු: නුඹ තවම අවුරුදු පණහක් වයස නැතුව, ආබ්‍රහම් දුටුවෙහිදැයි උන්වහන්සේට කීවෝය. [58] යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් සැබවක් නුඹලාට කියමි–ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටිමියි කීසේක.

යේසුස්වහන්සේ ආරම්භයේ පටන් සිටි දෙවියන්වහන්සේම බව යුදෙව්වරුන්ට වටහා ගැනීමට නොහැකිවුණි.

ඔවුන් සියල්ල බැලුවේ බාහිරවයි. වයස 50ක් වත් නැති යේසුස්වහන්සේ ආබ‍්‍රහම් ගැන කථා කරන්නේ කෙසේදැයි ඔහුන් පැවසුවේ ඒ නිසාය.

දෙවියන්වහන්සේයි යේසුස්වහන්සේ තුළ සිටියේ. දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ තුළින් බලවත් දේ කරනු ලැබුවා. යක්ෂයින් දුරු කළා. රෝග සුවකරනු ලැබුවා.

යේසුස්වහන්සේ කුරුසපත්වූ වෙලාවේ යේසුස්වහන්සේව පියාණන්වහන්සේ අත්හැරියා.

එදින යේසුස්වහන්සේ මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත් හැරියේයැයි පැවසීය. (මතෙව් 27:46, මාර්ක් 15:34)

ඒ මොහොතේ යේසුස්වහන්සේ සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයෙකු ආකාරයෙන් මිය යන ලදි.

ආබ‍්‍රහම්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ ආශීර්වාදය………………….

‭‭උත්පත්ති 22:17
[17] මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරෙළහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය;

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ විශාල සැලැස්ම ඉෂ්ට කරන ලදි.

දෙවියන්වහන්සේ ඔබට දී ඇති අගනා ඇදහිල්ල තුළ ජීවත්වන්න.


Watch the Sermon Video

Read 30 times