+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සාක්ෂිකරුවෙකුගේ ජීවිතය - මනූ මැතානි
February 25, 2024 Sunday Sermon Notes

 

 

ඔබ සාක්ෂිකරුවෙකු පමණක් නොව, ඔබගේ ජීවිත රටාව, ගමන් බිමන්, කථා විලාශය, ඇසුරුකරන්නන්, මේ සියල්ලේම ඔබ සාක්ෂියක්ව ජීවත්විය යුතුය.

නුසුදුසු පුද්ගලයන් හා නිතර ගැවසීමෙන් ඔබගේ සාක්ෂියට හානිවිය හැකිය.

ඔබ සාක්ෂිකරුවෙකු ලෙස ඔබගේ සාක්ෂිය උතුම් කොට සලකමින් එය රැකගන්න. මන්ද ඔබට හොඳ සාක්ෂියක් තිබිය යුතුය.

යේසුස්වහන්සේ සැබවින්ම ඔබව ශුද්ධවන්තයෙක්, දේවදරුවෙක් කරමින් ඔබගේ ජීවිතය සහමුලින්ම වෙනස්කර ඇති හෙයින් ඔබ ශුද්ධ ජීවිතයක් ගත කරන්නට කැපවිය යුතුවේ.

ලෝකයේ මනුෂ්‍යයා බලන්නේ ඔබගේ පිටස්තරයයි.

‭‭1 පේතෘස් 1:15
[15] නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න.

මුළු හැසිරීමේදී හා ඔබගේ ප්‍රකාශයෙන් ඔබ ශුද්ධව සිටින්න.

යේසුස්වහන්සේ වෙනස් කළාවු ඔබගේ ජීවිතය නැවත පරණ පුරුදුවලට යොමු නොකරන්න.

‭‭1 පේතෘස් 1:16
[16] මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.

ශුද්ධව සිටින්න යන්නෙන් අර්ථවත් වන්නේ, ඔබගේ සිතින්, ක්‍රියාවෙන් හා වචනවලින් ශුද්ධව, වෙන්ව සිටින්න යනනයි.

දෙවියන්වහන්සේ ඔබව කැඳවා තිබෙන්නේ ශුද්ධකමටයි.

ඔබ වර්ධනයවෙමින්, ශක්තිමත්ව සාක්ෂියක් ඇතිව ජීවත්වන්න.

මනුෂ්‍යයන් බලන්නේ ඔබ දරන සාක්ෂිය දෙස නොව, ඔබගේ හැසිරීම, තීරණ, ඇසුරුකරන්නන් යනාදී දේය.....

සාක්ෂිකාරයෙකු ලෙස ඔබ පවසන දේ ඔබගේ ජීවිතයේ තිබේද කියා මනුෂ්‍යයන් බලනු ඇත.

සාක්ෂිකරුවෙකු ලෙස ඔබට සාක්ෂියක් තිබිය යුතු සේම, ඔබ එය රැකගත යුතුද වේ.

‭‭ගලාති 5:16-21
[16] නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි. [17] මක්නිසාද මාංසය ආත්මයාණන්වහන්සේට විරුද්ධවද ආත්මයාණන්වහන්සේ මාංසයට විරුද්ධවද ආශාකරයි. නුඹලා කැමතිවන දේ නොකරන ලෙස මොව්හු එකිනෙකාට විරුද්ධවෙති. [18] නුමුත් නුඹලා ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන්නහු නම්, නුඹලා ව්‍යවස්ථාව යටතේ නොවන්නහුය. [19] ඉදින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම; [20] රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද; [21] වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි.

මාංසයේ ක‍්‍රියා ප‍්‍රකාශවන්නේ පරණ මනුෂ්‍යයා තුළය. එවැන්නෙකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම නොවන්නේය. ඔබ පරණ මනුෂ්‍යයා හා සම්බන්ධ නොවන්න.

‭‭ගලාති 5:22-23
[22] නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, [23] විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.

ආත්මයාණන්වහන්සේගේ ඵල නම්, යන්නෙන් අදහස් කරන්නේ
ඔබගේ ආත්මය තුළ නිපදවෙන ඵල.

ඵල දැරීමට හැකිවන්නේ යේසුස්වහන්සේ හා සමඟ සම්බන්ධවීමෙනි.

‭‭යොහන් 15:4
[4] මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය.

පැවැත්වීම යනුවෙන් අදහස් කරන්නේ, යාච්ඤා කිරීම, උන්වහන්සේ සමඟ කාලය ගත කිරීම, වචනය ඇසීම, මෙනෙහි කිරීම.

අපට තිබෙන වගකීම යේසුස්වහන්සේ සමඟ පැවතීමයි.

දුර්වල ගති ඇත්තන් හා ඇසුරුකිරීමෙන් ඔබ තුළින්ද එවැනි ගති පිළිබිඹු වීමට පුළුවන.

‭‭හිතෝපදේශ 22:24
[24] තරහ ගති ඇත්තෙකු සමඟ මිත්‍රනොවෙන්න; කෝපාධික මනුෂ්‍යයෙකු සමඟ නොගැවසෙන්න.

වැරදි පුද්ගලයන් හා ඇසුරු කිරීමෙන් ඔබ යක්ෂයාට හසුවේ.

‭‭හිතෝපදේශ 22:25
[25] එසේ කළොත් සමහරවිට නුඹත් ඔහුගේ මාර්ගවල පුහුණුවී, නුඹේ ප්‍රාණයට මලපතක් පමුණුවාගන්නෙහිය.

යක්ෂයාට අසුවී සිටින නිසා මළපතකට අසු වී සිටින්නේය.

මාධ්‍යයෙන් වැරදි දේ නැරඹීමෙන්ද සමහර විට ආත්ම ඔබ තුළට පැමිණිය හැකිය.

වැරදි දේට ඔබ යොමුවන විට පළමුකොට ඔබ දෝෂාරෝපණයට පත්වේ. දෙවියන්වහන්සේ ඔබගේ වරද අඟවාදෙයි. මුලදීම එය හැඟෙන විට එය තේරුම්ගෙන එයින් ඉවතට හැරෙන්න.

දරුවන්ගේ මුරණ්ඩු ගති දිස්වන්නේ නම් එයට හේතු කාරණා සොයා බලා කුඩා අවදියේම ඔවුන්ව නිසි මඟට යොමු කරන්න. නැතහොත් ඔවුන් වැඩිවියට පැමිණි පසුවද ඒ මුරණ්ඩු ගති ඉස්මතුවී ඔවුන් විනාශය කරා යයි.

ඉබේම ඔබගේ ජීවිතයේ ආත්මික ඵල හටගන්නට යන්නේ නැත. අපි ස්වාමීන්වහන්සේ තුළ පැවතිය යුතුයි. ඒ තුළින් ඔබට ඔබගේ සාක්ෂිය රැකගන්නට, ඵලදරන්නට පුලුවන.

නොසැලකිලිමත්කමෙන් ඔබගේ සාක්ෂිය නැතිවිය හැකියි.

කිතුනුවෙකුට දෙයාකාර ජීවිතයක් ගත කළ නොහැක.

හෘද සාක්ෂියට විරුද්ධව වැඩ නොකර සාක්ෂිය රැකගමු.

‭‭ලූක් 6:22
[22] මනුෂ්‍ය පුත්‍රයා නිසා මනුෂ්‍යයන් නුඹලාට වෛරකරන කලද තමුන්ගේ සමාගමනේ නුඹලා වෙන්කර, නුඹලාට නින්දාකර, නුඹලාගේ නාමය නපුරුයයි පහකරන කලද නුඹලා ආශීර්වාදලද්දෝය.

ක‍්‍රිස්තු විරෝධි ආත්මවලට එකඟ නොවන කල ඒ අය ඔබව පීඩාවට ලක් කරයි, වෛර කරයි, එපා කරයි. ඒවාට දුක් නොවන්න.

මනුෂ්‍යයන් අපව ලැජ්ජාවට පත් කරන කල අපි ඒ දවසේදීම ප්‍රීති වෙමු, මක්නිසාද අපි ආශීර්වාද ලත් සෙනඟක් බව දැන ගනිමු.

අපගේ සාක්ෂිය අපි රැකගෙන ගැළවීම ගැන ප්‍රීති වෙමු.

ඔබ ළඟම සිටින කෙනා ඔබට පීඩා කළ හැකියි, ඒත් ප්‍රීති වෙන්න.

ඔබගේ සිත පූර්ණ වී සිටින දෙයින් පිටතට යහපත ගලා එයි.
ඔබ තුළ තිබෙන ප්‍රීතිය කවදාවත් නැති නොකරගන්න.

දහස් ගණන් සෙනඟක් ඔබව අතහැරියත් යේසුස්වහන්සේ ඔබ සමඟ බැවින් ප‍්‍රීතිවන්න.

ඔබ ජීවන පොතේ නාමය ලියා ඇති ස්වර්ගික පුරවැසියෙකි. ඒ නාමය උන්වහන්සේ කවදාවත් මකා දමන්නේ නැත.

ඔබට පීඩා කළාවූ, එපා කළාවු අය සමඟ තික්තකමක්, වෛරයක් ඇති කර නොගන්න.

ඔබගේ හදවත දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කිරීමෙන් පූර්ණ කර ගන්න.

‭‭ගලාති 5:22-23
[22] නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, [23] විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.

ඔබ ගැළවීම ලබා ගත් පසු ස්වාමීන්වහන්සේ තුළ පවතින හෙයින්, දැන් ඔබ ඵල දරන කෙනෙකි.

ඔබ ස්වාමීන්වහන්ස් තුළ කාලය ගත කරන කල උන්වහන්සේ තුළින් ඔබ ඵල දරයි.

මේවා ඔබගේ ආත්මික ඵලය. ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම……
මේවා ඔබ තුළින් නිපදවෙන ඵල.

ඔබ තුළ තිබෙන විශ්වාසවන්තකම ඔවුන් දකී. ස්වාමීන්වහන්සේ ඔබට විපාක දෙනසේක.

ඔබගේ පෞද්ගලික සාක්ෂිය රැකගෙන ජීවත්වන කල, එයට පටහැනි නොයෙක් දේ පැමිණියත් ඔබගේ සාක්ෂිය රැකගන්න.

කොලොස්සි 3:22
[22] දාසයෙනි, මනුෂ්‍යයන් සතුටුකරන්නන් මෙන් පෙනීමට නොව ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හිතේ අවංකකමෙන්, මාංසාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට සියල්ලෙහිදී කීකරුවෙන්න.

ඔබ කරනාවු දේවල් මනුෂ්‍යයන් සතුටු කිරීමට නොව, දේව භයෙන් යුක්තව කරන්න.

ඔබ මනුෂ්‍යයන් අතර සිටින කල, සාක්ෂියක් වන්න. ඔබ බොරුව නොකර ජීවත් වන්න.

‭‭කොලොස්සි 3:23-24
[23] නුඹලාට නුඹලාගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන, [24] නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවයකරන්නේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේටය.

ඔබගේ කන්තෝරුවේ ස්වාමියා දෙන්නේ මාසික වැටුප නමුත් ස්වාමීන්වහන්සේ ඔබට දෙන්නේ විපාක.

ස්වාමීන්වහන්සේ ඔබට විපාක ලෙසින්; හොඳ සුවය, අනුශාසනා, දීමනා, ආශීර්වාද, උසස්වීම් ලබා දෙයි.

දේව දරුවන් වන අප ජීවත්වන්නේ වැටුපෙන් නොව විපාක වලින්ය.
දෙවියන්වහන්සේ දෙන්නාවු විපාක කිසිවෙකුට වැලැක්විය නොහැකිය. ඒවා ලැබෙණුයේ උතුරා යන ලෙසින්ය.

ඔබ කරන දේ තුළ ඔබ විශ්වාසවන්තව, අවංකව සිටින්න. කරන සේවය හදවතින් කරන්න.

දෙවියන්වහන්සේගේ විපාක වලින් අපට හොඳ සුවය, සනීපය, යහපත් මානසිකත්වයක් ලැබේ. උන්වහන්සේ අප වෙනුවෙන් ආත්මික ශල්‍යකර්ම කරනු ඇත.

අන්‍යජාතීන් අතර අපගේ සාක්ෂිය ආරක්ෂා කරගෙන ජීවත්වෙමු.

ඉලක්කයක්, චරිත ගුණාංගයන් නොමැතිව ජීවත්වන අය පසුපස ගමන් නොකරන්න.

ඔබ අවංකලෙස හැසිරුනොත් කිසි යහපතක් දෙවියන්වහන්සේ නොවලක්වනසේක.

‭‭ගීතාවලිය 84:11
[11] මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.

ස්වාමීන්වහන්සේගේ අනුග්‍රහයෙන් ඔබට සියලු යහපත් උපකාර ලැබෙන්නේය.

දෙවියන්වහන්සේ අපගේ ආශීර්වාදයයි. අපට හිමිව ඇත්තේ ආබ‍්‍රහම්ගේ ආශීර්වාදයයි.

ඔබට ශාප කරන්නන්ට ආශීර්වාද කරන්න. දෙවියන්වහන්සේ විනිශ්චයකාරයාව සිටින සේක.

‭‭1 තෙසලෝනික 4:9
[9] එහෙත් සහෝදර ප්‍රේමය ගැන නම් නුඹලාට ලියන්ට වුවමනා නැත. මක්නිසාද එකිනෙකාට ප්‍රේමකරන්ට නුඹලාම දෙවියන්වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහුය.

‭‭1 තෙසලෝනික 4:10-11
[10] සැබවින් නුඹලා මකිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ ප්‍රේමකරන්නහුය. එහෙත්, සහෝදරයෙනි, වඩ වඩා එසේ කරන මෙන්ද, [11] පිටත සිටින්නන් ගැන ඔබිනලෙස හැසිරෙන පිණිසත් කිසි හිඟයක් නැතුව සිටින පිණිසත්,

ලෝකයා අතර ඔබගේ සාක්ෂිය රැක ගන්න. ඒ අය අතර අවංක ලෙස ජීවත් වන්න. එවිට ඔබට කිසි හිඟයක් ඇතිවන්නේ නැත.

‭‭1 තෙසලෝනික 4:12
[12] අප නුඹලාට අණකළ ලෙස නිශ්චලව සිටින්ට උත්සාහකරන මෙන්ද, නුඹලාගේම කාරණා බලාගන්න මෙන්ද, නුඹලාගේ අත්වලින් වැඩකරන මෙන්ද, අපි නුඹලාට අවවාදකරමුව.

ඔබ දෙවියන්වහන්සේ තුළ පවතිමින් සාක්ෂිය රක්ෂාකර ගන්නා කල ඔබ ඵලදරන්නට, ඉවසීමෙන් කටයුතු කරන්නට පටන්ගනී.

‭‭ගලාති 5:22-23
[22] නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, [23] විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.

මෙවැනි ගතිගුණ ඔබගේ ජීවිතයේ තිබෙන විට, ඔබව වැලැක්වීමට කිසිදු ව්‍යවස්ථාවක් නොමැත.

ඔබ කිසිදු කලබලකාරීත්වයකින් තොරව ඇදහිල්ලෙන් ජීවත්වන්න.

ඇදහිල්ලෙන් ක‍්‍රියාකරන්නෙකු තුළ කිසි කලබලයක්, බියක් ඇති නොවේ.

දෙවියන්වහන්සේගේ දේවල් ජීවිතයට ලබා ගැනීමට නෝට්ටු කාසි වන්නේ අපගේ ඇදහිල්ලයි.

ඔබට විශ්වාස කළ හැකි නම්, දෙවියන්වහන්සේට කිසිවක් කරන්ට අසීරු නැත.

කොයිතරම් දේ සිද්ධවුවත් ඔබගේ සාක්ෂිය රක්ෂා කරගන්න ඒ තුළින් දෙවියන්වහන්සේගේ සැපයීම ඔබට ලැබේ.

ඔබගේ සාක්ෂිය රක්ෂාකර ගැනීම ඔබගේ දියුණූවීමේ මාර්ගයයි.


Watch the Sermon Video

Read 33 times