+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සභාව පෝෂණය හා ඵල දරන ස්ථානයකි- මනූ මැතානි
March 3, 2024 Sunday Sermon Notes

 

අපට විශ්වාස කරන්නට දෙවියන්වහන්සේ වචනය තුළ ඉමහත් අලංකාර දේ ඇත. අප ඉන් එකක්වත් අත් නොහැරිය යුතුය.

අපගේ ජීවිතය ගොඩනඟන්නට දෙවියන්වහන්සේගේ මුළු ලියවිල්ලම අවශ්‍යය. එහි කොටසක් පමණක් තෝරා නොගත යුතුය.

අපට අවශ්‍ය වචනය ශුද්ධාත්මයාණන්වහන්සේ දන්නා සේක. උන්වහන්සේ දිනපතා අපව වචනයෙන් පෝෂණය කරයි.

සභාවක් යනු, වින්දනයට පත්වන ස්ථානයක් නොව, පෝෂණය වන්නාවු ස්ථානයක් විය යුතුය.

ඔබට හොඳ පෝෂණයක් තිබේනම් සුවයෙන්, සතුටින් සාක්ෂිදරමින් ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකිය.

හොඳ පෝෂණයක් ලබා සිටීනම් ඔබ ශක්තිමත් පුද්ගලයෙකි.

පාවුල්තුමා එපීසයේ සමුළුවක් තුළ පැවසූ වදන් අපටද ඉතා අගනේය.

‭‭ක්‍රියා 20:27
[27] මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.

දෙවියන්වහන්සේගේ මුළු ලියවිල්ල අපට අවශ්‍යයයි. අලුත් ගිවිසුම තුළින් අපට පරණ ගිවිසුමේ දේවල්වල එළිදරව් දැන ගැනීමට පුලුවන්.

ක්‍රියා 20:28
දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.

ස්වාමීන්වහන්සේ තමාගේම ලේ වලින් උන්වහන්සේගේ සභාව මිලදී ගත්සේක.

බලහත්කාරයෙන් තබා ගන්නා සභාවක් තුළ නොසිටින්න.

මුළු සභාව උන්වහන්සේගේ සෙනඟයි. සභාවට අවශ්‍ය කරන්නේ හොඳ පෝෂණයක් ලබා ගැනීමයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ දිනපතා දෙන්නාවු පෝෂණය ලබා ජීවත්වන කල, අප ශක්තිමත්වී අපගේ දුර්වලකම් ඉවත්වී අප දෙවියන්වහන්සේගේ දේ තේරුම් ගනු ඇත.

දෙවියන්වහන්සේගේ දේ තේරම් ගත්විට අපට ඉවසීමෙන් කටයුතු කරමින් ප‍්‍රේමෙන් ගමන් කර ඵල දැරීමට හැකිවේ.

සභාවක වැදගත්ම වන්නේ ඵල දැරීමයි. ඵල යනු එහි සිටින සෙනඟ හෝ සංඛ්‍යාව වත් නොවේ.

ඵල යනු පෞද්ගලික ජීවිත තුළ ඒ අයට ලැබී තිබෙන පෝෂණය තුළින් ඒ අය ගත කරන ජීවිතයයි.

විශාල ගසක වුවත් එහි ඵල වලින් ප‍්‍රයෝජනයක් නොමැතිනම් එම ගහේ ඵල වලින් කිසි වැඩක් නැත.

ඵල තුළ උතුම්කම, රසය, ප‍්‍රමිතිය ඇත.

සභාව තුළ බැටළුවන් සහ එළුවන් කවුදැයි කියා දැන හඳුනන්නේ දෙවියන්වහන්සේ පමණි.

අපට එය දැනගත හැකි වන්නේ පිටස්තර ඵල වලිනි.

සභාවේ “ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ කව්රුන්ද” යන එළිදරව් සත්‍යය ඔබ ලබනවාද? ඒ තුළ ඔබ දිනපතා වර්ධනය වෙනවාද?

ක‍්‍රිස්තුස්වහන්සේත් ඔබත් අතර කිසිවෙකුට නොකැඩිය හැකි බැඳීමක් තිබේද?

ක‍්‍රිස්තුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේ අප තුළ බවය.

දෙවියන්වහන්සේ අප සමඟ සාදා තිබෙන ගිවිසුම උන්වහන්සේ කවදාවත් කඩකරන්නේ නැත.

මාගේ ආත්මය උන්වහන්සේගේ ආත්මය සමඟ එක් කර තිබේ.

අපගේ ආත්මය තුළ තිබූ පරණ, පාපිෂ්ඨ, දෝෂාරෝපණ ස්වභාවය ස්වාමීන්වහන්සේ ඉවත්කර උන්වහන්සේ අප තුළට එක්වී සිටී.

‭1 කොරින්ති 6:17
නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.

ඔබ යේසුස්වහන්සේව පිළිගත් දවසේ උන්වහන්සේ හා සමඟ එක ආත්මයක් බවට පත්වෙ.

‭‭2 කොරින්ති 11:2
මක්නිසාද පිරිසිදු කන්‍යාවකු මෙන් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ වන එක පුරුෂයෙකුට පාවාදීම පිණිස මා විසින් විවාහබස් දුන් බැවින් දිව්‍යවූ ජ්වලිතයකින් නුඹලා ගැන මම ජ්වලිතව සිටිමි.

අපි යේසුස්වහන්සේ සමඟ එක්වී උන්වහන්සේ හා විවාහ බස්දී සිටිමු.

යේසුස්වහන්සේ විශ්වාස කරන දේ ඔබ විශ්වාස කළහොත් ඔබ උන්වහන්සේ හා එක් වන්නේය.

ගැළවීමේ දිනය අදයි.

හෙබ්‍රෙව් 3:7
එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම්,

‭‭ගීතාවලිය 95:7
මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අද දවසේ නුඹලා උන්වහන්සේගේ හඬට කීකරුවන්නහුනම් යහපත!

ඔබ අද දින යේසුස්වහන්සේව පිළිගන්නේ නම්, ගැළවීම ගැන උන්වහන්සේ ප‍්‍රමාද වන්නේ නැත.

ප‍්‍රේමනීය දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධ වීමට ඔබ දෙවරක් සිතීමට අවශ්‍ය නැත. උන්වහන්සේගේ හඬට ඔබ ඇහුම්කන් දෙන විට උන්වහන්සේ පවසන්නේ ගැළවීමේ දවස අද බවයි.

දෙවියන්වහන්සේගේ වචනය එකාකාරයි එය නොවෙනස්ව පවතී.

අහස පොළොව පහව ගියත් උන්වහන්සේගේ වචනය පවතී. (මතෙව් 5:18)

ගැළවීම ස්ථිර දෙයකි.

සතුරාගේ ක‍්‍රියාකාරීත්වයට දෙවියන්වහන්සේගේ අවවාදය......

2 තෙසලෝනික 2:9-10
ඔහුගේ ඊට සාතන්ගේ ක්‍රියාකිරීමේ හැටියට බොරුවූ සියලු ආකාර ආශ්චර්ය වලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද, විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද යුක්තවේ; මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය.

2 තෙසලෝනික 2:11-12
මේ නිසා සැබෑව විශ්වාස නොකොට අධර්මිෂ්ඨකමට ප්‍රසන්නවූ සියල්ලන්ම විනිශ්චය කරනු ලබන පිණිස, බොරුව විශ්වාස කරන හැටියට දෙවියන්වහන්සේ මුළාවේ ක්‍රියාකිරීමක් ඔවුන්ට එවනසේක.

සැබෑකමට ප‍්‍රේම නොවන්නා මුළාවේ ආත්මයකට අසුවේ. එය වැටහෙන විට ප‍්‍රමාද වැඩිය.

ඔබගේ නම ජීවන පොතේ ලියුවාට පසු කිසිවෙකුට එය මකා දැමිය නොහැකිය. එය ගිවිසුමකි.

එළිදරව් 3:5
ජයගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳවනු ලැබේ; ඔහුගේ නම ජීවන-පොතෙන් කිසිසේත් මකා නොහැර, මාගේ පියාණන්වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියෙහි ඔහුගේ නාමය පිළිගන්නෙමි.

යේසුස්වහන්සේව පිළිගත් පසු ඔබගේ නාමය ස්වර්ගයේ සියල්ලන් හඳුනයි.

උන්වහන්සේ ඔබ සමඟ සාදා තිබෙන ගිවිසුම කිසි කෙනෙකුට නැති කරන්නට නොහැකියි.

රෝම 8:32-33
තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද? දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨකරන්නේ දෙවියන්වහන්සේය; වරදට පත්කරන්නේ කවුද?

දෙවියන්වහන්සේ තොරාගත් දෙයට විරුද්ධව නැඟී සිටින්නට කාටවත් නොහැකිය.

උන්වහන්සේ ඔබව අයිති කර ගත්තේ ගිවිසුමක් තුළින් ඔබගේ කැමැත්ත ඇතුවයි.

ඔබව මේ ලෝකයෙන් පන්නා දමන්නට කාටවත් අයිතියක් නොමැත.

ඔබ දැනටමත් ශුද්ධවන්තයෙකු නිසා මේ පොළොවේ ජීවත් වෙන්නට උන්වහන්සේ ඔබට උරුමයක්ද අයිතියක්ද දී තිබේ.

ඔබට මේ ලෝකයේ යම් දේවල් කරන්නට උන්වහන්සේ වගකීමක් දී ඇත. එනම්, සාක්ෂිකාරයෙකු ලෙස ජීවත්වෙන්නටය.

සැබෑ කිතුනුවෙකු නිතර කථා කරන්නේ ස්වර්ගික දේවල්ය.

1 පේත්‍රැස් 4:11
යමෙක් කථාකෙරේ නම්, දෙවියන්වහන්සේගේ වාක්‍ය වශයෙන් කථාකරාවා; යමෙක් සේවයකෙරේ නම්, දෙවියන්වහන්සේ සපයාදෙන ශක්තියේ ප්‍රකාර සේවයකරාවා. දෙවියන්වහන්සේට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සියලු කාරණාවලදී ගෞරව පැමිණෙන පිණිස එසේකරන්ට ඕනෑය. මහිමයත් පරාක්‍රමයත් සදාකාලේටම උන්වහන්සේගේය. ආමෙන්.

දෙවියන්වහන්සේගේ දේ කථා කිරීම ඔබට හොඳය, ඔබගේ මනසටත් හොඳය, අසන්නන්ටත් එය ප‍්‍රයෝජනවත්ය.

යොහන් 1:12
නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන්වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.

යේසුස්වහන්සේ ඔබව පිළිගත් නිසා උන්වහන්සේ ඔබව පුත‍්‍රයෙක් උරුමක්කාරයෙක් කර ඇත.

දෙවියන්වහන්සේ ඔබව පිළිගෙන ඇත්නම් මනුෂ්‍යයා ඔබව මෝඩ කොට සැලකුවාට ගණන් නොගන්න.

1 කොරින්ති 1:19-20
ඒ හැටියට: මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කරන්නෙමි, බුද්ධිමත් අයගේ බුද්ධිය පහකරන්නෙමියි ලියා තිබේ. ප්‍රඥාවන්තයා කොතැනද? ව්‍යවස්ථාව උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ වාදකරන්නා කොතැනද? ලෝකයාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේ විසින් මෝඩකළා නොවේද?

ප‍්‍රඥාවන්තයන්ගේ අදහස මරණයෙන් පසු ජීවිතය ලබා ගැනීමට අප යමක් කළ යුතු බවය. යේසුස්වහන්සේ පවසන්නේ, අප එලෙස කිසිවක් නොකළ යුතු බවයි.

අපගේ ධර්මිෂ්ඨකම දෙවියන්වන්සේ ඉදිරියේ කිලිටි වැරහැල්ලක් සේය. (යෙසායා 64:6)

ප‍්‍රඥාවන්තයන්ගේ ප‍්‍රඥාව දෙවියන්වහන්සේ නිෂ්ඵල කර ඇත.

අප දෙවියන්වහන්සේ නොදැන සිටියදී අපගේ පාපය යේසුස්වහන්සේව කුරුසපත් කළා. (ලුක් 23:34) ඒ තුළින් දැන් අපට කමාව ලැබී තිබේ.

යේසුස්වහන්සේගේ කුරුස පත්වීමෙන් මහත් ගැළවීමක් වෙන බව යක්ෂයා දැන සිටියානම් උන්වහන්සේව කුරුස පත්වීමට දෙන්නේ නැත.

1 කොරින්ති 2:8
ඒ ප්‍රඥාව මේ ලෝකයේ මුලාදෑනීන්ගෙන් කිසිවෙක් නොදනියි. දැනගන සිටියා නම් ඔවුන් මහන්තත්ත්වයේ ස්වාමීන්වහන්සේව කුරුසියෙහි ඇණගසන්නේ නැත.

යේසුස්වහන්සේගේ කුරුසපත් කිරීමට යක්ෂයා මනුෂ්‍යයන් පෙළඹීමෙන් ඉටු වුයේ දෙවියන්වහන්සේගේ කැමැත්තය.

යක්ෂයා සිතුවේ යේසුස්වහන්සේගේ කුරුසපත්වීමෙන් ස්වර්ගයෙත්, පොළොවෙත්, අපායෙත් සියලු බලය ඔහුට අයිති වන බවය. නමුත් සිදුවූයේ ඌට තිබූ බලයත් නැතිවී යාමය.

යක්ෂයාට අවශ්‍ය වූයේ සියල්ලට ඉහළින් සිටින්නටය.

යෙසායා 14:12-14
දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි! නුඹ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැගී, මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි. මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි; මහෝත්තමයාණන්ට සමානවන්නෙමියි කීයෙහිය.

අලුයම් පුත‍්‍රය, තාරකාවේ පුත‍්‍රයා යනු - ලුසිෆර්ය.

කලක් දෙවියන්වහන්සේගේ අග‍්‍ර දේවදුතයෙක්ව සිට දෙවියන්වහන්සේගේ තාරකාවයත් ඉහළින් යන්නටත්, දෙවියන්වහන්සේත් ඔහුට යටත්විය යුතුයයි සිතා පහතට වැටුණේය.

යක්ෂයා නිතරම යේසුස්වහන්සේවත් යටත් කිරීමට මාන බැලුවාය. නමුත් යේසුස්වහන්සේ ඌට යටපත් නොවුණේය.

කාලයට ප‍්‍රථම මෙහි ආවේ මන්දැයි කියමින් යේසුස්වහන්සේට තර්ජනය කළා. (මතෙව් 8:29)

අපි ලෙගියොන් නම් විශාල සේනාවක් බව යේසුස්වහන්සේට පැවසීය. (මා‍ර්ක් 5:9, ලුක් 8:30)

යේසුස්වහන්සේ යක්ෂයා සමඟ කථාවට නොයා පැවසුවේ “දුරුවීයන්න” කියාය. (මාර්ක් 5:8)

යක්ෂයාගේ වැටීම අපි දැන් දකින්නට අවශ්‍යයයි.

යෙසායා 14:15-17
එහෙත් නුඹ පාතාලය නම් වළේ ගැඹුරටම බසිනවා ඇත. නුඹ දකින්නෝ නුඹ දෙස ඕනෑකමින් බලමින් කල්පනාකොට: පොළොව වෙවුලවා රාජ්‍යයන් සෙලෙවුවාවූ, ලෝකය කාන්තාරයක් මෙන් කළාවූ, එහි නුවරවල් නාස්තිකළාවූ, තමාගේ හිරකාරයන් ගෙදරට යන්ට නෑරියාවූ මනුෂ්‍යයා මොහුදැයි කියන්නෝය.

නපුරු යක්ෂයාගේ බලය දෙවියන්වහන්සේ බිංදුවටම හරවා ඇත. මනුෂ්‍යයන් එය දැන ගන්නේ පසුවය.

යක්ෂයා දැන් සිටින්නේ ඔබගේ පාද යටය.

යක්ෂයාට විරුද්ධව පාවිච්චි කිරීමට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ උසස්තම නාමය වූ යේසුස්වහන්සේගේ නාමය අපට දී ඇත. ගණන් කළ නොහැකි දේව දූත සංඛ්‍යයාවක් ඔබ වටා ඇත. (හෙබ්‍රෙව් 12:24)

ලූක් 10:17-18
ඉන්පසු සැත්තෑදෙනා ප්‍රීතියෙන් හැරී ඇවිත්: ස්වාමිනි, ඔබගේ නාමය නිසා යක්ෂයෝ පවා අපට යටත්වෙතියි කීවෝය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි.

යේසුස්වහන්සේ ඔබට සර්පයන් ගෝනුස්සන් පාගන්නට බලය දී ඇත. ඔබට කිසිසේත් තුවාල කරන්නට යක්ෂයාට නොහැකිය.

ලූක් 10:19-20
බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය. එසේවුවත් ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.

අප ප‍්‍රීති විය යුත්තේ අපගේ නාමය ස්වර්ගයේ ලියා තිබෙන නිසාය.

ක්‍රියා 19:15
නුමුත් නපුරු ආත්මය උත්තරදෙමින්: යේසුස්වහන්සේ අඳුනමි, පාවුල්ද දනිමි; නුමුත් නුඹලා කවුරුදැයි ඔවුන්ට කීවේය.

යක්ෂයා අනිවාර්යයෙන්ම ඔබව දනී. යක්ෂයාට භය නොවන්න.

ඔබ විශේෂ ආලේපලත් කෙනෙකි.

යක්ෂයා සමඟ කථාවට නොයන්න.

ආත්මික තලයේ ඔබට සිටින්නේ ස්වර්ගික පියාණන්වහන්සේ පමණි. යේසුස්වහන්සේ තුළින් ඔබ දෙවියන්වහන්සේව හඳුනාගත්තේය. දෙවියන්වහන්සේ දැන් ඔබගේ පියාණන්ව සිටී.
උන්වහන්සේ හැර කිසිවෙක් නැත.

යෙසායා 46:9
පුරාණයේ පළමු කාරණා සිහිකරන්න. මක්නිසාද මමම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මම දෙවියන්වහන්සේය, මා සමාන කෙනෙක් නැත.

දෙවියන්වහන්සේ අපට දී තිබෙන්නාවු නාමය විශ්වාස කරමින් අපි ගමන් කරමු.

1 කොරින්ති 3:20-23

නැවතද: ස්වාමීන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිෂ්ඵලව තිබෙන බව දන්නාසේකැයි ලියා තිබේ. එහෙයින් කවරෙක්වත් මනුෂ්‍යයන් ගැන පාරට්ටු නොකෙරේවා. මක්නිසාද සියල්ල නුඹලාගේය; පාවුල් හෝ අපොල්ලොස් හෝ කේපස් හෝ ලෝකය හෝ ජීවනය හෝ මරණය හෝ දැන් තිබෙන දේ හෝ මතු පැමිණෙන දේ හෝ සියල්ල නුඹලාගේය; නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේය; ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේය.

ප‍්‍රඥාවන්තයන්ගේ සිතුවිලි නිශ්ඵලය. මනුෂ්‍යයෙක් කොතරම් ප‍්‍රඥාවන්තව, උසස්ව, මහිමාන්විතව සිටියත් යේසුස්වහන්සේව ප‍්‍රතික්ෂේප කරනවානම් ඒ අයගේ පාරට්ටු අපට ඵලක් නැත. යේසුස්වහන්සේව පිළිනොගන්නා මෝඩයෙක්ය.

සදාකාල ජීවිනය තුළින් ස්වාමීන්වහන්සේ අපට සියල්ලක්ම දී තිබේ. මේ පොළොවේ ජීවත්වීමේ අයිතිය අපට ඇත.

යේසුස්වහන්සේ ඔබට ජය දී තිබෙනවා.

යක්ෂයාට විරුද්ධව කථා කරන්න. ඌ ඔබගෙත්, දෙවියන්වහන්සේගෙත් සතුරෙකි.

1 පේත්‍රැස් 5:8
සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.

ඔබ ක‍්‍රිස්තුස්වහන්සේගේ දරුවෙකුය, දේව වචනයෙන් පෝෂණය වන්නෙක් නම් එයාකාරයෙන්ම දිනපතා ඔබගේ දැනුම වැඩිවී ඔබ දැන් ජීවත් වෙන්නේ එළිදරව් වචනයෙනි.

උන්වහන්සේගේ මට තිබෙන අවශ්‍යතාවයටත් වඩා වැඩියෙන් සපයා දෙන්නේ තමාගේ තේජස් සම්පතේ ප‍්‍රකාරයටයි. මෙය උන්වහන්සේ තුළ ඔබට තිබෙන එළිදරව්වකි. (පිලිප්පි 4:19)

උන්වහන්සේගේ ස්වර්ගයේ කවුළු මා වෙනුවෙන් විවරව තිබේ.

අපට තිබෙන්නේ උන්වහන්සේගේ ආශීර්වාද ලබා ජීවත්වන්නට පමණි.

ද්විතිය කථාව 28:3,6,8,14 මෙය එළිදරව් වාක්‍යයකි.

නුඹ නුවරෙහි ආශීර්වාදලද්දෙක් වන්නෙහිය, කෙතෙහිත් ආශීර්වාදලද්දෙක් වන්නෙහිය. (ද්විතිය කථාව 28:3)

නුඹ ඇතුළට එන කල්හිද පිටතට යන කල්හිද ආශීර්වාද ලද්දෙක් වන්නෙහිය. (ද්විතිය කථාව 28:6)

නුඹේ ගබඩා කෙරෙහිද නුඹ අත තබන සියල්ලෙහිද ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදය එවා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයේදී නුඹට ආශීර්වාදකරනසේක.
(ද්විතිය කථාව 28:8)

ස්වාමීන්වහන්සේ නුඹ වල්ගය නොව හිස වෙන්ට සලස්වනවා ඇත; නුඹද යටින් නොව ඉහළින්ම සිටිනවා ඇත. (ද්විතිය කථාව 28:14)

මෙය කිතුනු භක්තිකයන්ට සඵලත්වයේ ජීවත්වීමට දී ඇති එළිදරව් වාක්‍යයකි.

මනුෂ්‍යයා ජීවත්වන්නේ දෙවියන්වහන්සේගේ මුඛයෙන් පිටවන වචනයෙනි. (ද්වීතීය කථාව 8:3; මතෙව් 4:4)

ඔබ තුළ වාසය කරන්නේ දෙවියන්වහන්සේය.

දෙවියන්වහන්සේ, ක‍්‍රිස්තුස්වහන්සේ හා ඔබ මේ සියල්ල එකට බැඳී සිටී.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට දුන් මහිමය යේසුස්වහන්සේ අපට දුන්සේක.

යොහන් 17:20-22
මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා කෙරෙහි විශ්වාසකරන්නවුන් ගැනත්, ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස, පියවූ ඔබ මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක්මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාසකරන පිණිසත්, අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඤාකරමි. අප ඒකත්වයක්ව සිටින්නා සේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය ඔවුන්ට දුනිමි.

පියාණන්වහන්සේත් යේසුස්වහන්සේත් අපත් අතර ඇති ඒකත්වය තුළින් ලෝකයා ස්වාමීන්වහන්සේ ගැන දැන ගන්නේය.

යොහන් 17:23
මෙසේ කෙළේ මා ඔවුන් තුළෙහිද ඔබ මා තුළෙහිද සිටීමෙන් ඔවුන් ඒකත්වයට සම්පූර්ණලෙස පැමිණෙන පිණිසත් ඔබ මා එවූ බවද මට ප්‍රේමකළාක්මෙන් ඔවුන්ටත් ප්‍රේමකළ බවද ලෝකයා දැනගන්නා පිණිසත්ය.

කිසි වියවුලකින් තොරව ශුද්ධවු ත‍්‍රිත්වය හා බැඳී සිටින අපට යක්ෂයාට විරුද්ධව දුරුකිරීමේ අයිතිය ඇත.

1 පේත්‍රැස් 5:8
සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.

යක්ෂයා දෙවියන්වහන්සේ සුළුකරමින්, බියෙන්, තනිකමෙන්, එළිදරව්වක් නොමැතිව සිටින පුද්ගලයින් සොයමින් සිටී.

1 පේත්‍රැස් 5:9
ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.

නොසැලී ඇදහිල්ලෙන් ස්ථීරව සිටින්න. යක්ෂයාට පරාජය කිරීමට ඉඩ නොදෙන්න.

1 පේත්‍රැස් 5:10
එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.

සභාවට පැමිණ දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ එක්රැස්වී එකිනෙකා ධෛර්යමත් කරමු. දෙවියන්වහන්සේට නමස්කාර කරමින් වචනය තුළින් පෝෂණය ලබාගමු.

දෙවියන්වහන්සේට මුල් ස්ථානය දෙමින් හදවතින් දෙවියන්වහන්සේට ප‍්‍රේම කරමු.


Watch the Sermon Video

Read 26 times