+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපගේ සාක්ෂිය අන් අයට දකින්නට පුලුවන (2 කොටස) - යෝෂා මනූ
March 10, 2024 Sunday Sermon Notes


ඔබගේ සාක්ෂිය කුඩා වුවත් එය ඉතා වැදගත්ය.

ඉතාලි හේවා කණ්ඩායමකට අයත්ව සියයකට මුලෑදෑනියෙක්වූ කොර්නේලියස්ගේ භක්තිවන්තකම, දන්දීම, යාච්ඤාව හා නමස්කාරය හේතුවෙන් දෙවියන්වහන්සේ ඔහුට දර්ශනයකින් කථා කරමින් පේත‍්‍රැස්ව ගෙන්වා ගන්නට යැයි පැවසීය. (ක‍්‍රියා 10:1-6)

ඔහුගේ යහපත් ක‍්‍රියාවන් නිසා දෙවියන්වහන්සේ එම නිවසට ගැළවීමේ පණිවිඩය ගෙන ඒමට මඟ පාදන ලදි.

පේත‍්‍රැස් සිතා සිටියේ ගැළවීමේ පණිවිඩය අයිති යුදෙව්වරුන්ට පමණක්ය අන් සියලු ජාතීන් අශුද්ධයයි කියාය.

දෙවියන්වහනන්සේ දර්ශනයකින් පේත‍්‍රැස්ගේ ආත්මික ඇස් විවර කරන ලදි. උන්වහන්සේට කිසිවෙකු අශුද්ධ අපවිත‍්‍ර නැති බව පෙන්වා දෙන ලදි. (ක‍්‍රියා 10:10-16)

දෙවියන්වහනන්සේගේ සුභාරංචිය සියලු දෙනා වෙත යා යුතු බව උන්වහන්සේ ඔහුගේ ආත්මික ඇස් විවර කරමින් ඔහුට වටහා දෙන ලදි.

පේත‍්‍රැස් තමා දුටු දර්ශනය ගැන මවිතයට පත්වෙමින් ඒ ගැන කල්පනා කරමින් සිටි අතර ඔහුව ගෙන එන්නට කොර්නේලියස් යැවු මනුෂ්‍යයන් ඔහුගේ නිවසට පැමිණ කොර්නේලියස් පිළිබඳව සාක්ෂි දැරූහ. (ක‍්‍රියා 10:17-22)

කොර්නේලියස් යැවූ මනුෂ්‍යයන් කොර්නලියස් ගැන සාක්ෂි දරමින් ඔහුව හඳුන්වා දුන්නේ දේව භය ඇති මනුෂ්‍යයෙක් ලෙසටය.

ක‍්‍රියා 10:22
ඔව්හු කථාකොට: ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්වූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙක්වූ, යුදෙව්වරුන්ගේ මුළු ජාතිය විසින් යහපතැයි ප්‍රකාශකරනලද්දාවූ, සියයකට මුලාදෑනියෙක්වූ කොර්නේලියස් තමාගේ ගෙදරට නුඹ කැඳවා, නුඹෙන් වචන අසන පිණිස දෙවියන්වහන්සේ විසින් ශුද්ධවූ දේවදූතයෙකු ලවා අණදෙනු ලැබුවේයයි කීවෝය.

කොර්නේලියස් තමාගේ නෑයන්, මිත‍්‍රයන් කැඳවාගෙන දෙවියන්වහන්සේ පේත‍්‍රැස් ඔහුට පවසනවා යැයි කියු වචනය දැන ගන්නා පිණිස බලාපොරොත්තුවෙන් ඔහුගේ ඊම බලා සිටින ලදි.

ක‍්‍රියා 10:24
ඊට පසුවදා ඔව්හු කායිසාරියට පැමිණියෝය. කොර්නේලියස් තමාගේ නෑයන්ද හිතේසි මිත්‍රයන්ද කැඳවාගන ඔවුන්ගේ ඊම බලා සිටියේය.

කොරනේලියස් පේත‍්‍රැස්ව පිළිගත්තේ ඔහුගේ පාමුල වැඳ වැටී නමස්කාර කරමිනි.

ක‍්‍රියා 10:25
තවද පේතෘස් ගෙට ඇතුල්වන කල, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස්, ඔහුගේ පාමුල වැටී නමස්කාරකෙළේය.

කිසිවෙක් තවෙකෙකුට නමස්කාර නොකළ යුතුය.

ක‍්‍රියා 10:26
නුමුත් පේතෘස්: නැගිටින්න, මමත් මනුෂ්‍යයෙකැයි කියා ඔහු නැගිටෙව්වේය.

අප නමස්කාර කළ යුත්තේ ජීවමාන දෙවියන්වහන්සේට පමණි.

යක්ෂයා යේසුස්වහන්සේගේ සිතට පරීක්ෂාව ගෙනා කල්හි උන්වහන්සේව උස් කන්දකට පමුණුවා එහි සියලු රාජ්‍යයන්ද ඵෙශ්චර්යයන්ද පෙන්වා, ඒවා දීමට බිම වැටී ඌට නමස්කාර කරන්නැයි පැවසීය. (මතෙව් 4:8-9)

මතෙව් 4:9
ඔබ බිම වැටී මට නමස්කාරකරන්නෙහි නම්, මේ සියල්ල ඔබට දෙන්නෙමියි උන්වහන්සේට කීවේය.

යක්ෂයට අවශ්‍යය එකම දේ නමස්කාරයයි.

කිසිවෙක් කිසිවෙකුට දණ නමා බිම වැටී හෝ බිම වැතීරී හෝ නමස්කාර නොකළ යුතුය.

පාවුල් හා බර්ණබස්ටද එක්තරා අවස්ථාවකදී මිනිසුන් දෙවිවරන් ලෙසින් නමස්කාර කරද්දී ඔවුන් එම නමස්කාරය ප‍්‍රතික්ෂේප කළා. (ක‍්‍රියා 14:11-18)

නමස්කාරය ලැබිය යුතු නමස්කාර කළ යුතු එකම පුද්ගලයා දෙවියන්වහන්සේ පමණි. එය යේසුස්වහන්සේම පවසයි.

මතෙව් 4:10
එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්වයව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක.

කවුරුන් හට හෝ බිම වැටී නමස්කාර කරන්නේ නම්, එය දේව වචනයට පටහැනි දෙයකි.

පේත‍්‍රැස් කොර්නේලියස්ගේ නිවසේ රැස්ව සිටි සියල්ලන්ට
තමා දුටු දර්ශනයත්, අන්‍ය ජාතීන් පිළිබඳ ඔවුන් අශුද්ධ සෙනඟක් ලෙසින් ඔහු තුළ තිබූ ආකල්පය දෙවියන්වහන්සේ වෙනස් කර කිසි මනුෂ්‍යයෙන් අකැප, අපවිත‍්‍ර නැතැයි දෙවියන්වහන්සේ ඔහුට පැවසූබව ප‍්‍රකාශ කළේය.

ක‍්‍රියා 10:28-29
28 ඔවුන්ට කියනුයේ: යුදෙව් මනුෂ්‍යයෙකුට අන්‍යජාතී කෙනෙකු හා සමාගම් වීමවත් ඔහු ළඟට ඊමවත් අයුතු බව නුඹලාම දන්නහුය; නුමුත් කොයි මනුෂ්‍යයෙක්වත් අකැපය නොහොත් අපවිත්‍රයයි නොකියන්ට දෙවියන්වහන්සේ මට දැන්වූසේක. 29 එබැවින් මා කැඳවා යැවූ කල මම අකමැති නොවී ආවෙමි. මොන අදහසක් පිණිස නුඹලා මා කැඳෙවුවාද කියා අසමියි කීවේය.

පේත‍්‍රැස් තමාව කැඳවු කාරණය කොර්නේලියස්ගෙන් විමසයි

කොර්නේලියස් තමා දුටු දර්ශනයත් ඔහුට දේව දූතයා කියු දේත් පේත‍්‍රැස්ට පැවසුවේය. (ක‍්‍රියා 10:30-33)

කොර්නේලියස්ගේ ප‍්‍රකාශයෙන් පසු පේත‍්‍රැස් නිවසේ රැස්ව සිටි සියල්ලන්ට සුභාරංචි වචනය කථා කරමින්, යේසුස්වහන්සේගේ මළවුන්ගෙන් නැඟිටීම පවසන ලද්දේය.

කොර්නේලියස්ගේ නිවසේ සිටි අයට සමාදානයේ සුභාරංචිය පැවසූ පේත‍්‍රැස් ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන යේසුස්වහන්සේ ගියාවු සෑම තැන්හීම යහපත් කම් කළ බවත්, යක්ෂාවේශයෙන් සිටි අය සුවකෙරූ බවත් පැවසීය.

ක‍්‍රියා 10:38
දෙවියන්වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය යේසුස්වහන්සේ ආලේපකළ බවත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩාකරනලද සියල්ලන් සුවකරමින්ද හැසුරුණු බවත්ය.

යේසුස්වහන්සේ තුළ වූ එම බලයම උන්වහන්සේ අද අපටත් දී ඇත. අප යන යන තැන සාක්ෂි දැරිය යුතුය. අප අත තබා මනුෂ්‍යයන් සුවවෙනවා දැකිය යුතුය. පීඩා ලද්දවුන් නිදහස් විය යුතුය. සුභාරංචි පණිවිඩය එයයි.

යේසුස්වහන්සේ තුළ ඔවුන් සාක්ෂිකාරයන් බව පේත‍්‍රැස් පැවසීය.

ක‍්‍රියා 10:39
උන්වහන්සේ විසින් යුදෙව්වරුන්ගේ රටෙහිද යෙරුසලමෙහිද කරනලද සියල්ලට අපි සාක්ෂිකාරයෝය;

පේත‍්‍රැස් යේසුස්වහන්සේ හා ඔවුන් අතර තිබූ සබඳතාවයත් උන්වහන්සේ ඔවුන්ව තෝරාගත් සාක්ෂිකාරයන් බවත් පවසයි.

ක‍්‍රියා 10:41
නුමුත් මුළු සෙනඟට නොව, දෙවියන්වහන්සේ විසින් කලින් තෝරාගන්නාලද සාක්ෂිකාරයන් වන, උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුණු පසු උන්-වහන්සේ සමඟ කෑවාවූ බීවාවූ අපටමය.

අපද යේසුස්වහන්සේ තෝරාගත් සාක්ෂිකාරයන්ය. ඔබ යේසුස්වහන්සේ සමඟ කාලය ගත කරමින් බලවත් සාක්ෂිකරයෙක් වන්න.

ඔබ අත්දකින දේ, දෙවියන්වහන්සේ ඔබට කරන්නාවූ දේ අන් අයට ගොස් සාක්ෂි දැරීමට ඔබට පුළුවන.

ක‍්‍රියා 10:42
ජීවත්වන්නන්ටද මළවුන්ටද විනිශ්චයකාරයා වන පිණිස දෙවියන්වහන්සේ විසින් නියමකරනලද තැනැත්තේ මුන්වහන්සේ බව සෙනඟට ප්‍රකාශකරන්ටත් සාක්ෂිදෙන්ටත් උන්වහන්සේ අපට අණකළසේක.

සාක්ෂිදැරීම දෙවියන්වහන්සේ ඔවුන්ට දුන් අණක් බව පේත‍්‍රැස් පවසයි.

ක‍්‍රියා 10:43
උන්වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට උන්වහන්සේගේ නාමය කරණකොටගෙන පාප කමාව ලැබෙන බවට සියලු අනාගතවක්තෘවරු උන්වහන්සේ ගැන සාක්ෂිදෙතියි කීවේය.

සාක්ෂිදරන්නාවූ වචනය මනුෂ්‍යයන් ඇදහිය යුතුය.

අදහන්නාට ගැළවීම ලැබේ.

මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේ ගැන සාක්ෂි දරන්නට ඔබ නිතරම සූදානමින් සිටින්න. 
              


Watch the Sermon Video

Read 50 times