+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

‭‭යමෙකු තුළ ඇදහිල්ල ඇත්නම් ඔබට එය දකින්නට පුළුවන  - මනූ මැතානි
March 10, 2024 Sunday Sermon Notes

 

අපි යාච්ඤා ජීවිතයක් ගතකරමින්, දෙව් වචනය තුළ ජීවත්ව සිටියහොත්, අපට කව්රුවත් කියන නිසා නොව අභ්‍යයන්තරයෙන්ම, අප තුළින්ම උල්පතක් ගලන්නා සේ අපගේ සාක්ෂිය නික්මෙනු ඇත. එය ජීවිත රටාවකි.

ඒ රටාව අප තෝරා ගතහොත් අපට ආශීර්වාදාත්මක ජීවිතයක් හිමිවේ.

දෙවියන්වහන්සේ සමඟ සහභාගිකම් පැවැත්වීමට ඔබ තෝරා ගන්න. ඒ තුළින් තවත් කෙනෙකුට ආශීර්වාදයක් වීමට ඔබට හැකිවේ.

පාවුල් හා බාර්ණබස් ලුස්ත‍්‍රාවේදී කොර මනුෂ්‍යයෙක් සුවකෙරූ විට එහි වැසියෝ පාවුල් සහ බර්ණබස්ව දේවත්වයෙන් පිදීමට ගියත් ඔවුන් එය තමන්ට ගෞරවය ලබා ගැනීමේ තුරුම්පුවක් ලෙස යොදා ගැනීමට අකමැති විය. (ක‍්‍රියා 14:8-14)

ඔවුන් එම ගෞරවය දෙවියන්වහන්සේට අයත් බව පෙන්වා දෙන ලදි. (ක‍්‍රියා 14:15-18)

ඔබ යමෙකු මාර්ගයෙන් සුවයක්, හාස්කමක් ලබා ගත්තානම් එහි ගෞරවය එම පුද්ගලයාට නොව දෙවියන්වහන්සේට ලබා දෙන්න.

බොහෝ මනුෂ්‍යයන් අද හාස්කම් කරමින් ඒ තුළින් මනුෂ්‍යයන් ඔවුන් වෙත ඇද ගනි.

මනුෂ්‍යයන් මේ දේවල් තුළින් රැවටීමකට හසුවේ.

යොහන් 7:17
[17] යමෙක් උන්වහන්සේගේ කැමැත්ත කරන්ට කැමති නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන්වහන්සේගෙන් වූ ඉගැන්වීමක් ද නොහොත් මා විසින් උපදවා කියනවාදැයි දැනගන්නේය.

යමෙක් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින් සිටින්නේ නම්, ඔහුට දෙවියන්වහන්සේගේ ඉගැන්වීම්ද, නැත්නම් මනුෂ්‍යයෙකුගෙන් එන ඉගැන්වීම්ද කියා පැහැදිලිව වටහා ගන්නට පුළුවන.

“මෙය ගැඹුරු ඉගැන්වීමක්, මෙම සභාවේ පමණයි මේවා තිබෙන්නේ” කියා යමෙක් ඔබව එක් තැනක පමණක් රඳවා තබා ගැනීමට උත්සාහ දරයි නම්, එයින් ඉවත් වෙන්න. එයට අසු නොවන්න.

බොහෝ අය අද සිටින්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත තුළ නොවන බැවින් ඔවුන් මුළාවෙයි.

ඔවුන් දෙවියන්වහන්සේගේ කැමැත්ත නොකරති.

දෙවියන්වහන්සේගේ කැමැත්ත කරනවානම් අප මෙය තේරුම් ගත යුතුයි.

යේසුස්වහන්සේව පිළිගැනීමෙන් පසු, මා සිටින්නේ මාගේවත්, මනුෂ්‍යයන්ගේවත් ආශාවන් ඉෂ්ට කිරීමට නොව, දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමටයි.

එවැන්නන්ට හරි දේ තේරුම් ගැනීමේ හැකියාව ඇත.

උන්වහන්සේගේ වචනය දේව කැමැත්තයි. ඔබගේ මනස ඔබ වෙනස් කරමින් ඔබ දේව කැමැත්ත කරමින් සිටින්න.

රෝම 12:1-2
[1] එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ. [2] නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

සිත අලුත් කර ගැනීමෙන් දෙවියන්වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත ඔබට දැනගැනීමට පුළුවන.

දිනපතා වචනය අසමින්, මෙනෙහිකරමින්, දේශනා අසමින් අප සිටින විට, අපගේ මනස ඉබේම සේදී අපට ලෞකික රටාවට අසු නොවී සිටිය හැකිය.

අපගේ සිත (මනස) අපි වෙනස් කර ගනිමින් සිටිමු.

‭‭කොලොස්සි 2:18-19
[18] පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී, [19] මුළු ශරීරයට පුරුක් සහ නහර කරණකොටගෙන උපකාර කොට, එය සම්බන්ධකර දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනයකරන්නාවූ හිසට නොබැඳී සිටින්නේය.

වැරදි ඉගැන්වීම් දෙන්නා දෙවියන්වහන්සේගේ හිසට නොබැඳී සිටී.

අප දේව දූතයන්ට මහිමයවත්, නමස්කාරයවත් දෙන්නේ නැත. එයට හේතුව අපව උන්වහන්සේ තබා තිබෙන්නේ
දෙවියන්වහන්සේගේ දේවදූතයන්ට වඩා ඉහළ මට්ටමකයි.

‭‭ගීතාවලිය 8:5
[5] ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක.

දෙවියන්වහන්සේ උන්වහන්සේට මඳක් පහතින් අපව සාදා ඇත. අප දෙවියන්වහන්සේගේ පුත‍්‍රයන්ය.

දේව දූතයන්ට දෙවියන්වහන්සේ කවදාවත් පුත‍්‍රයන් යැයි පැවසුවේ නැත.

යොහන් ඔහුට එළිදරව්ව දුන් දූතයාට නමස්කාර කරන්නට ගිය විට, ඔහු මෙහෙකරුවෙකු බව පවසමින් එය වැලැක් වූයේය.

එළිදරව් 19:10
[10] මේවා දෙවියන්වහන්සේගේ සැබෑ වචනයයිද ඔහු මට කීවේය. මම ඔහුට නමස්කාරකරන පිණිස ඔහුගේ පාමුල වැටුණෙමි. ඔහුද: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්න. මක්නිසාද, යේසුස්වහන්සේගේ සාක්ෂිය අනාගතවාක්‍යයේ ආත්මයයයි මට කීවේය.

දේව දූතයන් සිටින්නේ අපට මෙහෙකරන්නටය.

ආපනමස්කාර කළ යුත්තේ දෙවියන්වහන්සේට පමණි.

දෙවියන්වහන්සේ ආත්මයක් නිසා අපි ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කරමු.

යොහන් 4:23-24
[23] නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක. [24] දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.

දෙවියන්වහන්සේ සොයන්නේ ආත්මයෙන් හා සැබෑකමින් නමස්කාර කරන්නන්.

සියලු ආත්ම දෙවියන්වහන්සේගෙන් නොවෙයි. එමනිසා ඔබ එය විමසා බලන්න.

‭‭1 යොහන් 4:1
[1] ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න.

ඔබ ආත්මයෙන් නමස්කාර කරන්න නමුත් සැබෑ වචනය තුළ පවතින්න.

සියලු ආත්ම විශ්වාස නොකරන්න මන්ද යක්ෂ ආත්ම, මනුෂ්‍යයන්ගේ උඩඟු ආත්මද තිබේ.

දේව වචනයත් සමඟම උගන්වන මිශ‍්‍ර ඉගැන්වීම් වලට මුළා නොවන්න.

අපි ක්‍රිස්තුස්වහන්සේගේ හිසට බැඳී සිටිමු. එසේ නොසිටියොත් කවදාවත් දෙවියන්වහන්සේ සමඟ වර්ධනයක් ඇති නොවේ.

‭‭ක්‍රියා 14:8-9
[8] මවුකුස පටන් කොරවූ, පාද දුර්වලවූ කිසිකලකත් නෑවිද්දාවූ එක්තරා මනුෂ්‍යයෙක් ලුස්ත්‍රාවෙහි ඉඳගන උන්නේය. [9] ඔහු පාවුල් කථාකරනවා ඇසුවේය. පාවුල් ඔහු දෙස ඇස් යොමා, සුවය ලබන්ට ඇදහිල්ල ඔහුට තිබෙන බව දැක:

ඒ මනුෂ්‍යයා පාවුල් දේශනා කරාවු දේවල් ඕනෑ කමින් අසමින් සිටියේ.

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙනි.

පාවුල් තේරුම් ගත්තා ඒ මනුෂ්‍යයාට සුවය ලැබීමට ඇදහිල්ල තිබෙන බව.

අප දේව වචනය අසන කල, අප තුළ ඇදහිල්ල වර්ධනය වී අපට සුවය ලබා ගත හැකිය.

දේව වචනය ඇසීම ඉතා වැදගත් වන්නේ ඒ නිසයි.

දෙවියන්වහන්සේ මැජික් කරුවෙක් නොව, උන්වහන්සේට අවශ්‍ය වන්නේ වචනය තුළින් මනුෂ්‍යයා පසුතැවිල්ලට පමුණුවා ඇදහිල්ල ගෙන දෙමින් ඒ අයව සුව කිරීමටය.

එපමණක් නොව ඔවුන්ට ගැළවීම, සදාකාල ජීවනය ගෙන දීමටය.

ගැළවීම ලබා ගැනීම තුළින් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියේ සම්පූර්ණත්වයට පැමිණෙයි.

ඔබ ඇදහිල්ලෙන් සුවය ලබා ගත්තේ නම්, එම සුවය රක්ෂා කර ගැනීමට ඇදහිල්වන්තයෙකු බවට පත්වන්න. නැතහොත් යක්ෂයා නැවත පැමිණෙන විට ගැළවීමක් නොමැතිව පාළුව, හිස්ව ඇති ජීවිතයට තවත් යක්ෂයන් 7ක් සමඟ ඇතුල්වේ.

එයට හේතුව එදින පටන් දේව වචනයට ඇහුම්කන්දී උන්වහන්සේ අනුව ගමන් කිරීමට ඔහු තෝරා නොගැනීමයි.

‭‭මතෙව් 12:43-44
[43] අපිරිසිදු ආත්මය මනුෂ්‍යයෙකුගෙන් දුරුව ගිය කල්හි, ඔහු දිය නැති තැන්වල ඇවිදිමින් විශ්‍රාම සොයා නොලැබ: [44] මම පිටත්ව ආ මාගේ ගෙට හැරීයමියි කියයි; ඔහු එහි පැමිණි කල, ඒ ගෙය හිස්ව, අතුගා, සරහා තිබෙන බව දකියි.
[45] එවිට ඔහු ගොස් තමාට වඩා දුෂ්ටවූ වෙන ආත්මයන් සත්දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය, ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එසේ ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරුවන්නේය. මේ නපුරු පරම්පරාවටද එසේම වන්නේයයි කීසේක.

ආත්මික ජීවිතය ගැන නොසැලකිලිමත්ව සිටියහොත් මේ දේ සිදුවිය හැකිය.

යක්ෂ ආත්මයක් කෙනෙකුගෙන් පිට වූ පසු ඔහු යේසුස්වහන්සේව තමාගේ හදවත තුළට පිළිගත යුතුයි.

ඔබගේ දිවෙන් ජීවන වචන, ප‍්‍රේමනීය වචන නික්මෙන්නේ නම් යක්ෂයාට ඔබ වෙතට බලපෑම් එල්ල කළ නොහැකිය.

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ මනුෂ්‍යයාව සහමුලින්ම නිදහස් කිරීමටය.

ඔබ සත්‍යය දැනගත් විට, සත්‍යය ඔබව නිදහස් කරනු ඇත.

යොහන් 8:34-36
[34] යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි–පව්කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය. [35] වාලා නිතරම ගෙදර නැවතී නොසිටියි. පුත්‍රයා නිතරම නැවතී සිටියි. [36] එහෙයින් පුත්‍රයා නුඹලා නිදහස්කරන්නේ නම් සැබැවින් නුඹලා නිදහස්වන්නහුය.

පුත‍්‍රයෙක් නම් ඔහු යේසුස්වහන්සේ අනුව යන්නට තෝරා ගනී.

යේසුස්වහන්සේව පිළිගන්නාට උන්වහන්සේ පුත‍්‍රයෙක් වීමට බලය දී ඇත. (යොහන් 1:12)
කිතුනුවෙකු වීමට නම්, ඔබ නැවත උද්පාදනය විය යුතුයි.

අප දේව සමාදානයෙන් ගමන් කරන විට යක්ෂයාගේ නියම ස්ථානය අපගේ පාද යටයි.

‭‭රෝම 16:20
[20] සමාදානයේ දෙවියන්වහන්සේද නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා පොඩිකරනසේක. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය නුඹලා සමඟ වේවා.

දේව වචනය තුළ ජීවත්වෙන කල, ඔබ ශක්තිමත් පුද්ගලයෙකි.

පාවුල් අන්තිමය දක්වා ඔහුගේ ඇදහිල්ල රක්ෂා කරගත් බව පවසයි.

‭‭2 තිමෝති 4:7
[7] මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවරකළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි.

යේසුස්වහන්සේ නැවතත් මේ පොළොවට පැමිණෙන කල, උන්වහන්සේ සොයන්නේ ඇදහිල්ලයි.

‭‭ලූක් 18:8
[8] උන්වහන්සේ ඔවුන්ට වහාම යුක්තිය ඉෂ්ටකරනසේකැයි නුඹලාට කියමි. එසේවී නුමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළොවේ ඇදහිල්ල සම්බවේදැයි කීසේක.

ඇදහිල්ලේ පණිවිඩයෙන් කිසිදා අහක්ව නොයන්න. ඔබගේ ජයග‍්‍රහණය තිබෙන්නේ ඇදහිල්ලෙනි.

ඇදහිල්ලෙහි ස්ථීරව සිටින්න. ඇදහිල්ල සුළු නොකරන්න.

ප්‍රේමය ක්‍රියා කරන්නේ ඇදහිල්ලෙනි.
ගැළවීම තිබෙන්නේ යේසුස්වහන්සේ ස්වාමීන් බව ප‍්‍රකාශ කිරීමෙනි. උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටි බව ඇදහීමෙනි.

‭‭රෝම 10:9
[9] කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය.

ගැළවීම යන වචනයට මේ සියලු දේම ඇතුලත් වී තිබේ. පාපයට කමාව, සුවය, සමාදානය, සම්පූර්ණකම, සඵලත්වය, ජයග්‍රහණය, ආශීර්වාද….

හැඟීම්බරව ජීවත්වන්නාට යක්ෂයා පහර එල්ල කරයි.

දෙවියන්වහන්සේ අපට ප‍්‍රේම කරන සේක. උන්වහන්සේගේ ප‍්‍රේමය බන්ධනයක් නොවෙයි.

‭‭රෝම 8:1
[1] එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.

දඬුවමට පත්කිරීමක් නැත යන්නෙන් අර්වත් වන්නේ, දැන් ඔබට කිසි දෝෂාරෝපණයක් නැත කියාය.

දේව ප්‍රේමය කොන්දේසියක් රහිත ප්‍රේමයක්. අපි උන්වහන්සේට ප්‍රේම කරත් නැතත් උන්වහන්සේ අපට ප්‍රේම කරනසේක.

දෙවියන්වහන්සේ ප‍්‍රේමය.

ශෝකය දෙයාකාරයකින් පවතී.

‭‭2 කොරින්ති 7:10
[10] මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.

දෙවියන්වහන්සේට එකඟ වන ශෝකය ඔබව පසුතැවීමට පමුණුවයි, එමෙන්ම ගැළවීමට ගෙන එයි. නිදහස ගෙන දෙයි.

ලෝකයේ ආකාරයට ශෝක වෙනවානම් ඔබ ඔබේ ජීවිතය පාලනය කරන්නට යක්ෂයාට ඉඩ දෙන්නේය.

මලානික ජීවිතයකට දෙවියන්වහන්සේ කැමති නැත.

දෙවියන්වහන්සේ එකඟ වන ශෝකයට ඔබ එකඟවන්න.

මරණයේ දවස ගැන කථා නොකරන්න.

දේව වචනය තුළ කිසි මරණයක් නැත.

දෙවියන්වහන්සේ ඍණාත්මක දෙවිකෙනෙක් නොවෙයි. උන්වහන්සේ ධනාත්මකයි. අහස, පොළොව අයත් උන්වහන්සේටයි. අපගේ ප‍්‍රශ්නයට පිළිතුර උන්වහන්සේය.

උන්වහන්සේ කථා කරන්නේ දේව වචනයමයි.

උන්වහන්සේගේ වචනය කවදාවත් හිස්ව හැරී එන්නේ නැත.
එය සඵලකරමින්, ඉටු කරමින් කවදාවත් බොරු කරන්නේ නැහැ.

අප කථා කරන්නේ ධනාත්මක වචන නොව, දේව වචනයයි.

දෙවියන්වහන්සේගේ කැමැත්තේ ප‍්‍රකාරයට කරන්නාවු යාච්ඤාවන්ට පමණයි පිළිතුරු තිබෙන්නේ.

1 යොහන් 5:14
උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.

පළමුකොට දේව කැමැත්ත සොයන්න.

යේසුස්වහන්සේගේ තුවාල වලින් අපට සුවය ලැබී ඇත. එය තදින්ම විශ්වාස කරන්න.

1 පේත්‍රැස් 2:24
අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාල වලින් නුඹලා සුවකරනු ලැබුවහුය.

අපට ගැළවීමත් සමඟ සුවයද ලැබී ඇත.

ගීතාවලිය 23:5
මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක. මාගේ හිස තෙලින් ආලේපකළසේක; මාගේ කුසලාන උතුරායයි.

දෙවියන්වහන්සේ අපට කෑම මේසයක් පිළියෙළ කර ඇත. ඔබගේ කුසලාන උතුරා යන තරමට උන්වහන්සේ ඔබට ආශීර්වාද කොට ඇත.

දෙවියන්වහන්සේ අපට කෑම මේසයක් පිළියෙළ කර ඇත්තේ
යක්ෂයාව ලැජ්ජාවට පත් කරන්නයි.

සතුරන් ඉදිරියේ පිළියෙළ කර ඇති කෑම මේසය ගිවිසුම් භෝජනයයි.

ගිවිසුම් භෝජනය තුළින් උන්වහන්සේ අප සමඟ ගිවිසුමකට බැඳී ඇත.

උන්වහන්සේ පවසන්නේ, ඔබට පුළුවන්නම් විශ්වාස කරන්න, විශ්වාස කරන්නාට සියල්ල පුළුවන කියා.

ඒ කෑම මේසය තුළ ප‍්‍රීතිය, සමාදානය, සුවය සඵලත්වය යන සියල්ලක්ම තිබේ. ඔබගේ ජීවිතයට මේ සියල්ල ලබා ගන්න.

ඔබ ඉන්න තත්ත්වයේම නොසිට දෙවියන්වහන්සේ විශ්වාස කරමින් ආශීර්වාදයේ ගමන් කරන්න.

යේසුස්වහන්සේ පැමිණියේ උන්වහන්සේගේ බහුලත්වය බෙදා ගැනීමටය.

2 කොරින්ති 8:9
මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, එනම්, උන්වහන්සේ ධනවන්තව සිටිය නුමුත්, තමන්වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන නුඹලා ධනවන්ත වන පිණිස, නුඹලා උදෙසා දිළිඳුවූ බව නුඹලා දන්නහුය.

දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය ඔබ දැන ගන්න.

දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය පවසන්නේ උන්වහන්සේ ධනවත්ව සිටියේ, උන්වහන්සේ දිළිදු වූයේ කුරුසියෙදීය.

යේසුස්වහන්සේ ළඟ බහුලත්වය තිබුණි. උන්වහන්සේ වටා සිටි විශාල සෙනඟක් උන්වහන්සේ දිනපතා පෝෂණය කරන ලදි.

ඔබ සත්‍යය දැනගතහොත් පමණයි, එම සත්‍යය ඔබ නිදහස් කරන්නේ.

යොහන් 8:32
නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක.

දෙවියන්වහන්සේගේ වචනයට එකඟව ශෝක වන්න. ඒක ඔබ පසුතැවිල්ලට පමුණුවා ඔබව නිදහස් කරයි.

ඔබගේ හදවතයි, ඔබගේ දිවයි ඔබ හරි ලෙස පාවිච්චි කළහොත් දෙවියන්වහන්සේ පවසන්නේ ඔබට සියලු දේ ලබා ගැනීමට පුළුවන කියා.

ඔබගේ ආශීර්වාදය තිබෙන්නේ දුර නොවෙයි. ආශීර්වාදය තිබෙන්නේ ඔබගේ දිවෙහි හා හදවතේය.

ද්වීතීය කථාව 30:14
නුමුත් ඒ වචනය ලෙස නුඹ කරන පිණිස එය නුඹට ඉතා ළංව නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේ.

දේව වචනය ඔබගේ සිතේ නොමැතිනම් ඔබගේ මුඛයෙන් පවසන්න ආරම්භ කරන්න එවිට ඔබගේ සිතට ඇතුලු වෙයි.

යේසුස්වහන්සේ ස්වාමීන් වහන්සේ බව පවසා ආරම්භ කරන්න. ඒ සමඟම දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් නැඟිට්ටෙව්ව යැයි කියා සිතින් අදහන්න. එවිට ඔබට ගැළවීම ලැබේ.
ඔබ ගැළවීම ලැබුවේ මුඛයෙන් ප‍්‍රකාශ කරමින් සිතින් ඔබ අදහාගත් නිසයි.

දැන් ඔබගේ සිත, දේව වචනයෙන් පිරී තිබෙන විට ඔබ කථා කරන්නේ සිතේ පූර්ණ දෙයන්‍ ය.

ඔබ මනුෂ්‍යයන් සමඟ නිශ්ඵල දේ නොව, ජීවනයේ වචන කථා කරන්න.

ඔබගේ මුඛයෙන් නීච දේ වෙන් කළහොත් දෙවියන්වහන්සේ ඔබගේ මුඛය වනු ඇත.

යෙරෙමියා 15:19
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ හැරීආවොත්, මම නුඹ නැවත ගෙනෙන්නෙමි, නුඹද මා ඉදිරියෙහි සිටින්නෙහිය; නුඹ අනර්ඝ දෙය නීච දෙයින් වෙන්කළොත්, නුඹ මාගේ මුඛය මෙන් සිටින්නෙහිය. ඔව්හු නුඹ වෙතට හැරීඑන්නෝය, එහෙත් නුඹ ඔවුන් වෙතට හැරී නොයන්න.

දෙවියන්වහන්සේගේ මුඛයේ ජීවනයත් මරණයත්, රෝගයත් සනීපයත් කියා දෙකක් නැත. උන්වහන්සේ තුළ තිබෙන්නේ ජීවනයත්, සුවයත් පමණි.

දෙවියන්වහන්සේගේ සෙනඟ ජීවත්වන්නේ එළිදරව්වෙන් එළිදරව්වට, ඇදහිල්ලෙන් ඇදහිල්ලට, දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනයට, මහිමයයෙන් මහිමයටත්, උන්වහන්සේගේ සමාදානයෙන් සමාදනයටත්, ප‍්‍රීතියෙන් ප‍්‍රීතියටත්ය.


Watch the Sermon Video

Read 26 times