+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මූලික කරුණු - අත්තිවාරමක් ගොඩනඟා ගැනීම - යෝෂා මනූ
March 17, 2024 Sunday Sermon Notes


ගැළවීම ලැබුවායින් පසු ආරම්භ කරන මේ ගමනේදී අප විසින් දැන ගත යුතු දේවල් තිබේ.

යේසුස්වහන්සේ “ස්වාමීන්” කියා ගැළවීමේ යාච්ඤාව කළ පසු, අප ආත්මිකව නව උපතක් ලබන්නේය. ඉන් අනතුරුව වැදගත්ම දේ ඔබ ආත්මිකව වර්ධනය වීමයි.

අප ගමන් කළ යුතු ආත්මික ගමනට අපගේ ජීවිතය අපට හරවාදුන් ආරම්භකයා යේසුස්වහන්සේය. එයින් පසු දේව වචනයට අනුකූලව ගමන් කිරීම අපගේ වගකීමවේ.

යේසුස්වහන්සේ අපට මෙම නව උපත දෙනු ලැබුවේ කුණු නොවන්නාවු බීජයෙනි.

මෙය අප ප‍්‍රාථමික පන්තියකට ඇතුල්වූවා සේය. ඉන් ඔබ්බට ආත්මිකව වර්ධනයවීම, ඇදහිල්ලෙන් ගොඩනැඟීම ඉතා වැඳගත්ය. එය අප සතු වගකීම වේ.

අපගේ ආත්මය යේසුස්වහන්සේ හා එක්වී තිබුණොත් ලෝකාකාර සිතුවිළි අදහස් වලින් පිරී ඇති අපගේ මනස අප වෙනස් කර ගත යුතුය.

ඇදහිල්ලේ මූලික කරුණු අතර අත්තිවාරම ඉතා වැඳගත්ය.

ගොඩනැගිල්ලක ශක්තිමත්භාවය රැදී තිබෙන්නේ අත්තිවාරම මතය. ඇදහිල්ලේ ගමනේදීත් අපගේ ජීවිතේ අත්තිවාරම වැදගත්ය.

අත්තිවාරම විනාශවුවහොත් ධර්මිෂ්ඨයාට කිසිවක් කළ නොහැකිය.

ඔබගේ ආත්මික ජීවිතය ආරම්භ කරන විට වැදගත්ම දේ ඔබ දැන් කථා කරන්නේ පරාජිතයෙකු ලෙස නොව, ජයග‍්‍රහයෙකු ලෙසය.

ඔබ ජයග‍්‍රහයෙකු ලෙස ගමන් කරනවාට සතුරා විරුද්ධය. සතුරාට අවශ්‍ය වන්නේ ඔබ පරාජිතව, සමාදානයක් නොමැතිව අසතුටෙන්, කෝපයෙන් මාංශාකර දේවල් වලින් පූර්ණ වී සිටීමය.

ඔබව පරාජිතයෙකු කිරීමට යක්ෂයා පිටතින් බලපෑම් ඇති කරයි. එහෙයින් යේසුස්වහන්සේ දැමුවාවූ අත්තිවාරම මේ කුණු නොවන බීජය මත අපගේ කිතුණු ජීවිතය ගොඩනඟා වර්ධනය වීමට වගකීමක් ගත යුතුය.

ඔබගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ වචනයට මුල් ස්ථානය දෙන්න.

දේව වචනය කියවීමට මෙනෙහි කිරීමට ආශාවක් පිපාසයක් ඇති කර ගන්න. මන්ද දේව කැමැත්ත, සැලැස්ම සඳහන්ව ඇත්තේ දේව වචනය තුළයි.

දේව වචනය තුළ ඔබට භුක්තිවිඳීමට පොරොන්දු රාශීයක් ඇත.

ඔබ කුමන තත්වයක සිට පරිවර්ථනය වුවත් දැන් ඔබ ස්ථාවරත්වයකට පත්විය යුතුය.

අත්තිවාරම ගැන දෙවියන්වහන්සේගේ ප‍්‍රකාශයන් ඇත.

ගීතාවලිය 102:25
ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක; ආකාශය ඔබගේ අත් වැඩය වේ.

පොළොව අලංකාර කිරීමට පෙර දෙවියන්වහන්සේ පොළොවේ අත්තිවාරමක් දැමුවේය.

ඔබගේ ජීවිතයේද දෙවියන්වහන්සේ ආරම්භ කරන්නාවු යම් දෙයක් උන්වහන්සේ ගොඩනඟන්නේ අත්තිවාරම මතය.

කෙනෙකු අත්තිවාරමක් දැමු පසු එය නොකඩා ඒ මත ගොඩනැගිල්ල ශක්තිමත්ව ගොඩනගයි.

යෙසායා 48:13
එසේය, මාගේ හස්තය පොළොව පිහිටෙවුවේය, මාගේ දකුණතද අහස අතුරා තැබුවේය. මා ඒවාට අඬගසන විට ඒවා එක්ව නැගිට සිටින්නෝය.

දෙවියන්වහන්සේත් යම් දේවල් ආරම්භ කළේ අත්තිවාරමක් මතය.

සෙකරියා 12:1
ඉශ්‍රායෙල් ගැන තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය. අහස දිගහරින්නාවූ, පොළොවේ අත්තිවාරම තබන්නාවූ, මනුෂ්‍යයා තුළ ඔහුගේ ආත්මය උපදවන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:

යේසුස්වහන්සේද අත්තිවාරම ගැන පැවසුසේක.

මතෙව් 7:24-27
24 එහෙයින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද, ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය. 25වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; එය පර්වතය පිට පිහිටා තිබුණු බැවින් නොවැටුණේය. 26 යමෙක් මාගේ මේ වචන අසා, ඒවා පිළි නොපදීද, ඔහු වැලි මත්තෙහි තමාගේ ගෙය සාදාගත් නුවණ නැති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය. 27 වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; ඒක වැටුණේය. එහි වැටීමද බලවත්විය.

අත්තිවාරමක් මත හා අත්තිවාරමක් නොමැතිව ගොඩ නැගූ නිවස් දෙකක් ගැන එහි සඳහන්වේ.

වැසි වැස, ජලය ගලා, හුළං හැමූ විට අත්තිවාරමක් නොමැතිව තිබූ නිවස කඩා වැටුණේය.

යේසුස්වහන්සේ මෙයින් පැහැදිලි කළේ, වචනය අසා එම වචනය ක‍්‍රියාවට නංවා, එයට කීකරුවන මනුෂ්‍යයා, අත්තිවාරමක් මත ගොඩ නැගූ නිවස හා සමාන බවය.

කොයි ආකාර කුණාටුවක් පැමිණියත් ඔහු නොසැලී, දෙවියන්වහන්සේගෙන් ඈත් නොවී ශක්තිමත්ව සිටියි.

වචනය අසා ක‍්‍රියාවට නැංවුයේ නැතිනම් වැලි මත්තේ ඉක්මනින් තැනූ නිවසට සමානය.

අසන්නෝ කවදාවත් ආශීර්වාද නොලබයි. අප දේව වචනය අසා එය ක‍්‍රියාවට නැංවිය යුතුය.

ලූක් 6:48-49
48 ඔහු ගැඹුරට හාරා, පර්වතයක් පිට අත්තිවාරම ලා, ගෙයක් සාදාගත් මනුෂ්‍යයෙකුට සමානය. ජල ගැල්මක් පැමිණ සැඩපාර ඒ ගෙට ගැසූ නුමුත්, ඒක හොඳින් ගොඩනගා තිබුණු බැවින් සොලවන්ට බැරිවිය. 49 නුමුත් අසා, නොකරන අය අත්තිවාරමක් නැතුව පොළොව පිට ගෙයක් සාදාගත් මනුෂ්‍යයෙකුට සමානය; සැඩපාර ඒ ගෙට ගැසුවේය, එවෙල්ම ඒක වැටුණේය; ඒ ගෙයි විනාශයද මහත්වියයි කීසේක.

ඔබගේ ජීවිතයේ පීඩා, පරික්ෂා, කරදර, රෝග එනවිට ඔබ දේව වචනය මත සිට ගැනීමට නොදන්නේ නම්, ඔබගේ අත්තිවාරම ශක්තිමත්ව නොපවතී. ඒ නිසාම ඔබ අනිවාර්යයෙන්ම දෙවියන්වහන්සේගෙන් ඈත්වී ඔබගේ ඇදහිල්ලේ ජීවිතයද කඩා වැටෙන්නේය.

යේසුස්වහන්සේ පවසන්නේ එය ක්ෂණයකින් කඩා වැටුණු බවයි.

ඔබගේ ඇදහිල්ලේ ගමනේදී අත්තිවාරම ඉතාම වැදගත් වන්නේය

හෙබ්‍රෙව් 1:10
ස්වාමිනි, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක, ස්වර්ගවල් ඔබගේ හස්තකර්ම වෙති.

පොළොව සෑදීමට ප‍්‍රථමයෙන්ද දෙවියන්වහන්සේ පොළොවට අත්තිවාරමක් දැමුසේක.

දෙවියන්වහන්සේට අවශ්‍ය ඔබ ගැළවීම ලැබුවාට පසු ඔබගේ ජීවිතයේද යම් අත්තිවාරමක් තිබීමය.

ඒ අත්තිවාරම මත අපගේ ඇදහිල්ලේ ජීවිතය ගොඩනගා ගත යුතුය.

අපගේ ජීවිතයේ අත්තිවාරමක් නොමැතිනම් අප අනිවාර්යයෙන්ම විනාශ වනු ඇත.

ගීතාවලිය 11:3
අත්තිවාරම් විනාශවූවොත් ධර්මිෂ්ඨයා කුමක් කළ හැක්කේද?

අපි රෝම 10:9-10 ප‍්‍රකාශ කරමින් “මා ධර්මිෂ්ඨයි, යේසුස්වහන්සේ මාගේ ස්වාමීන්, මා දේව දරුවෙක්ය” කියා පවසන්නෙමු.

යේසුස්වහන්සේ උන්වහන්සේගේම ධර්මිෂ්ඨකම අපට ලබා දෙන්නේය.

2 කොරින්ති 5:21
21 අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට * පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක. (* එනම් - පාපය තමන් පිටට ගන්ට)

ක‍්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපට ලැබුණත් ඒ ධර්මිෂ්ඨයා අත්තිවාරම විනාශකර ගතහොත් ඔහුට කිසිවක් කළ නොහැකිය.

අත්තිවාරම ඉතාම වැදගත්ය.


Watch the Sermon Video

Read 82 times