+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මූලික කරුණු - ඔබ අලුත් මැවිල්ලකි - යෝෂා මනූ
March 24, 2024 Sunday Sermon Notes


පළමුවැන්න - අත්තිවාරම ගොඩනගා ගන්නේ කෙසේද කියා අප පසුගිය සතියේ හැදෑරුවෙමු.

දෙවැන්න - අලුත් මනුෂ්‍යයා ගැන අප කරුණු දැන ගත යුතුයි.

රෝම 10:9-10
9 කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය. 10 මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.

රෝම 10:9-10 පද අනුව යේසුස්වහන්සේ ”ස්වාමීන්” කියා අපගේ මුඛයෙන් ප‍්‍රකාශ කරමින් යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිටුනු බව අපගේ හදවතින් විශ්වාස කරන කළෙමු.

ඒ මළවුන්ගෙන් නැඟිටීම තුළින් උන්වහන්සේ අපට මේ නව උපත හෙවත් සදාකාල ගැළවීම දෙන ලද්දේය.

ගැළවීම් නව උපතට පමණක් සීමා නොවේ. ගැළවීම යනු අප සම්පූර්ණකමට පැමිණීමයි.

සුවය, ආරක්ෂාව, හා සමාදානය ඇතුව ජීවත්වන පිණිස සම්පූර්ණකම තුළට දෙවියන්වහන්සේ අපව ඇතුල් කළේය.

ගැළවීම ලබා ඔබගේ ජීවිතයේ අත්තිවාරම ගොඩනඟා ගත්විට ඔබ අලුත් මනුෂ්‍යයෙක් බවට පත්වේ.

ඔබ ගැළවීම ලබාගත් පසු මතු අනාගතය උදෙසා ජීවනය අල්ලා ගන්නට ඔබගේ අත්තිවාරම ඉතා වැදගත්වේ.

1 තිමෝති 6:19
සැබවින් ජීවනයවූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක් තබාගන්ටත් අණකරන්න.

ආත්මික ජීවතයකට අපගේ ජීවිතය තැනපත් කළොත් අපට සැබෑ ජීවිනයේ අර්ථය දැනගෙන උතුම් ජීවිතයක් ගත කරන්නට පුලුවන.

අපගේ අත්තිවාරම යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය.

1 කොරින්ති 3:11
මක්නිසාද දමා තිබෙන අත්තිවාරම ඇර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් නුපුළුවන, ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.

ගැළවීම ලබාගෙන අප නව මැවිල්ලක් බවට පත්වේ.

2 කොරින්ති 5:17 එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.

අප නව මැවිල්ලක් බවට පත්වන්නේ ක‍්‍රිස්තුස්වහන්සේ තුළින්ය.

අප ලබා ගත් මෙම නව ස්වභාවය තැන්පත්ව ඇත්තේ අපගේ හදවත තුළය. නව මැවිල්ලක් වී තිබෙන්නේ ඔබගේ ආත්මයයි. දැන් ඔබගේ මනස වෙනස්කරගෙන ඔබගේ ශරීරය ශුද්ධව තබාගත යුතු වගකීම අප සතුයි..

එපීස 4:24 සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය.

අප තුළ සිටි පරණ මනුෂ්‍යයයා ඉවත්ව අප නව ස්වභාවයකට පත්ව ඇති බැවින් අප නව මනුෂ්‍යයාව පැළඳගත යුතුය.

අප තුළ සිටි පරණ මනුෂ්‍යයා කතා කළේ නිතරම රෝගය, නොහැකියාව, දුර්වලකම, අස්ථීරභාවය ගැනය.

අලුත් මනුෂ්‍යයා පැළඳ නව ස්වභාවයක සිටින ඔබ කතා කළ යුත්තේ නව ස්වභාවය පිළිබඳවය.

”මා නව මැවිල්ලකි. යේසුස්වහන්සේගේ ලේ වලින් මා සුවයි, මා තුළ ජීවත්වන්නේ බලවත් තැනැන්වහන්සේ, මට ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් සියල්ල කළ හැකියි, ඇදහිල්ල මා තුළ පවතී, මා එම ඇදහිල්ලේ ජයග‍්‍රාහිකයෙක් යනාදී වචන අප ප‍්‍රකාශ කළ යුතුය.

ධර්මිෂ්ඨකම යනු ඔබගේ නව ස්වභාවයයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ වාසය කරන්නේ ඔබ තුළයි. එමනිසා ඔබ දැන් ශුද්ධය.

කොලොස්සි 3:10 අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය.

අලුත් මනුෂ්‍යයා ගැන කතා කිරීමෙන් හා ප්‍රකාශ කිරීමෙන් ඔබගේ මනස, හැසිරීම, කතා විලාශය, ගමන් බිමන් යනාදී සියලු දේම එනම් ඔබගේ මුළු ජීවිතයම දැන් වෙනස්විය යුතුය.

”මම නව මනුෂ්‍යයෙක්, මම නව මැවිල්ලක්” යන ප්‍රකාශය අපගේ හදවතට ඇතුළත් කරගත යුතුය. අපගේ ප‍්‍රකාශය තුළින් එය ස්ථීර කර ගැනීම ඉතා වැදගත්ය.

සමහරුන් ගැළවීම ලැබුවත් ඔවුන්ගේ ප‍්‍රකාශ හරිනැති බැවින් ඔවුන් තුළ කිසි වර්ධනයක් නැත.

පළමුව, ඔබ තුළ දේව වචනය කෙරෙහි පිපාසයක් ඇති කර ගන්න.

‭‭ගලාති 6:15
මක්නිසාද අලුත් මැවිල්ල මිස, චර්මඡේද්‍යවත් අචර්මඡේද්‍යයවත් කිසිවක් නොවේ.

අලුත් මැවිල්ල දෙස මිස දෙවියන්වහන්සේ වෙනත් කිසිඳු පිටස්තර දෙයක් බලන්නේ නැත.

ඔබගේ ශරීරය දැන් දෙවියන්වහන්සේගේ මාළිඟාවයි. ඔබ යන යන සැම තැන දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටී.

නව මැවිල්ලක් වූ අපට ජීවන මාර්ගයේ ගමන් කරන ලෙස දේව වචනය පවසයි.

‭‭හෙබ්‍රෙව් 10:19-22
[19] එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්, [20] උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුල්වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද, [21] දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම්වූ පූජකයෙක් සිටින බැවින්ද, [22] නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.

යේසුස්වහන්සේගේ ලේ කරණකොටගෙන අපට දැන් නිදහස්කමෙන් උන්වහන්සේට නමස්කාර කිරීමට හැකියාව ඇත.

අප දැන් පව්කරුවන් නොව, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවු මිදීම ලද්දාවු සෙනඟයි.

දේව වචනය කැඩපතක් හා සමානය (යාකොබ් 1:23). අප එය මෙනෙහි කළ යුතුය. එය අපගේ මනසේ තිබෙන දේ පෙන්නුම් කර දෙයි, මෙම කැඩපතින් අපගේ ජීවිතයේ සාදා ගත යුතු තැන් පෙන්වා දෙයි. අප ඒ අනුව කටයුතු කළ යුතුය.

අපට ඇත්තේ අලුත් වූ ජීවමාන මාර්ගයකි.

අප දිනපතා දේව වචනයෙන් පවිත‍්‍ර විය යුතුය. (එපීස 5:27)

යේසුස්වහන්සේ අපට පවිත‍්‍රවීමේ ගිවිසුමක් දී ඇත.

‭‭මතෙව් 26:28 (මාර්ක්14:24)
මේක පව් කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය.

යේසුස්වහන්සේගේ ලේ ඉතා වටිනාම දෙයයි.

අලුත උපන් බිළිඳුන් මෙන් අප දේව රාජ්‍යයට ඉපදී ඇත. සමහර විට අපේ අතින් වැරදි සිදුවිය හැකිය. නමුත් යේසුස්වහන්සේ අප සමඟය. උන්වහන්සේ අපට කමාව දීමට ගිවිසුමක් සාදා ඇත.

1 යොහන් 1:9 කියවා ඔබ පව් සමාව ලබා ගන්න.

“පරණ පව් පවසමින් නිතරම මා වැරදිකරුවෙකුයි” කියා පවසන්නට අවශ්‍ය නැත.

ඔබ දොස් පැවරීමෙන් ජීවත්වීමට අවශ්‍ය නැත. යේසුස්වහන්සේගේ ලේ අපට පව්කමාව දීමට බලා සිටී.

යේසුස්වහන්සේ අපට සමාව දීමට ගිවිසුමකට බැඳී ඇත.

‭මාර්ක් 14:25
සැබවක් නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී මුද්‍රිකඵල අලුතෙන් බොන දවස දක්වා එය තවත් නොබොන්නෙමියි කීසේක.

යේසුස්වහන්සේ මෙම ගිවිසුම සෑදුවේ උන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරුය. පෙන්තකොස්ත දින ශුද්ධාත්ම වැගිරීම තුළින් මෙම රාජ්‍යය පමිණෙන ලදි. ශුද්ධාත්මයාන් තුළින් සියල්ලන් නව මුද්‍රිකපානයෙන් පිරුණේය.

‭‭හෙබ්‍රෙව් 12:24
අලුත් ගිවිසුමේ මැදහත්කාරවූ යේසුස්වහන්සේද ආබෙල්ට වඩා උතුම්ලෙස කථාකරන ඉසීමේ ලේද වෙතටත්ය.

අලුත් ගිවිසුම තුළ යේසුස්වහන්සේගේ ලේ සියල්ලට වඩා වටී. උන්වහන්ස් ලේ වැගිරුවේ අප වෙනුවෙනි. උන්වහන්සේ අප උදෙසා මැදිහත්කාරයෙකු ලෙස සිටී. උන්වහන්සේ අප වෙනුවෙන් යාච්ඤා කරමින් සිටිසේක.

අපගේ පරණ පව්කාර ජීවිතය ගැන නොව, නව මැවිල්ල ගැන ගායනා කිරීමට දෙවියන්වහන්සේ අපට අලුත් ගීතිකාවක්ද දී ඇත.

‭‭ගීතාවලිය 40:3
උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන්වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබූසේක. බොහෝදෙනෙක් ඒ දැක, භයව,

අප ගායනා කළ යුත්තේ දේව වචනයයි. එවිට අප ගායනා කරන්නාවු දේ වලින් අපට ජය අත්පත් කර ගත හැකිය.

එකිනෙකාට ප‍්‍රේම කරන්න යැයි යේසුස්වහන්සේ අපට අලුත් ආඥාවක් දී ඇත.

‭‭යොහන් 13:34 (1 යොහන් 2:7-8)
මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි.

යේසුස්වහන්සේ අපට ප්‍රේමකළාක් මෙන් අපද එකිනෙකාට ප‍්‍රේම කළ යුතුය.

රෝම 12:1-2
1 එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.
2 නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

දෙවියන්වහන්සේගේ වචනයෙන් අපගේ මනස වෙනස් කරගෙන අප අන්‍යාකාර ඇත්තෝ විය යුතුය.

අපි ඇදහිල්ලෙන් ජීවත් වෙමු.

දිනපතා දේව වචනය ඇසිය යුතුය. ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසිමෙනි. (රෝම 10:17)

නව මැවිල්ල තුළින් අප අන්ධකාර බලයෙන් මිදී පුත‍්‍රයාණන්ගේ රාජ්‍යයට ඇතුල්වූවා. (කොලොස්සි 1:13)

අපි අලුත් මැවිල්ල ගැන ප්‍රකාශ කිහිපයක් කරමු.

මම පාපයෙන් අනුග්‍රහයට ඇතුල් වී සිටිමි.

මම මරණයෙන් ජීවනයට ඇතුල් වුණෙමි.

මම අන්ධකාරයෙන් ආලෝකයට ඇතුල් වුණෙමි.

මම වහල්කමෙන් පුත්‍රකම ලබා ගතිමි.

මම අශුද්ධකමෙන් ශුද්ධකමට ඇතුල් වුණෙමි.

මම හිඟකමෙන් බහුලත්වයට ඇතුල් වුණෙමි.

මම දිළිඳුකමෙන් සඵලත්වයට ඇතුල් වුණෙමි.

මම රෝගයෙන් සුවය ලබා ගත්තෙමි.

මම නොඇදහිලෙන් ඇදහිල්ලට ඇතුල් වුණෙමි.

මම ශෝකයෙන් ප්‍රීතියට ඇතුල් වුණෙමි.

මම වියවුල්කමෙන් සමාදානයට ඇතුල් වුණෙමි.

මම ශාපයෙන් ආශීර්වාදට ඇතුල් වුණෙමි.

මම තනිකමෙන් සහනය ලබා ගත්තෙමි.

මම ලෝකයෙන් දේව රාජ්‍යයට ඇතුල් වුණෙමි.

මම අධර්මිෂ්ඨකමෙන් ධර්මිෂ්ඨකමට ඇතුල් වුණෙමි.

මම අකීකරුකමෙන් කීකරු කමට ඇතුල් වුණෙමි.

මම අභක්තිකකෙම් භක්තිවන්තකමට ඇතුල් වුණෙමි.

මම බොරුවෙන් සත්‍යතාවයට ඇතුල් වුණෙමි.

මම මාංශයෙන් ආත්මික කෙනෙකු බවට පත් වුණෙමි.

මම අවිශ්වාසවන්තකමෙන් විශ්වාසවන්තකමට ඇතුල් වුණෙමි.

මම පරාජයෙන් ජයග්‍රහණයට ඇතුල් වුණෙමි.

පරණ මැවිල්ලෙන් නව මැවිල්ලක් බවට පත් වුණෙමි.

මම යක්ෂයාගෙන් දෙවියන්වහන්සේ වෙතට පැමිණියෙමි.

මම බන්ධනයෙන් නිදහස්කමට ඇතුල් වුණෙමි.

මම සදාකාල මරණයෙන් සදාකාල ජීවනයට ඇතුල් වුණෙමි.

මම වැළපීමෙන් සිනහවට ඇතුල් වුණෙමි.

මම විනිශ්චයෙන් කරුණාවට ඇතුල් වුණෙමි.

මම දොස් පැවරීමෙන් නිසැකභාවයට ඇතුල් වුණෙමි.

මම මෝඩකමෙන් ප්‍රඥාවන්තකමට ඇතුල් වුණෙමි.

මම නිරයෙන් ස්වර්ගයට ඇතුල් වුණෙමි.

මම දුර්වලකමෙන් ශක්තියට ඇතුල් වුණෙමි.

මම නපුරුකමෙන් යහපතට ඇතුල් වුණෙමි.

මෙම නව මැවිල්ලේ ප්‍රකාශන ඔබ නිතරම පවසන්න. ඔබ අනිවාර්යයෙන්ම ජයගත්තෙකුය.


Watch the Sermon Video

Read 40 times