+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පරීක්ෂාවන් ජය ගැනීමට ස්වාමීන්වහන්සේ අපට හැකියාව දෙයි - මනූ මැතානි
April 7, 2024 Sunday Sermon Notes

 

අප අපගේ අත්තිවාරම දැන සිටිය යුතුය. නැතහොත් වැරදි ඉගැන්වීම් ඔබව ඇද ගැනීමට පුළුවන. එමනිසා නිතර නිතර ඔබගේ අත්තිවාරම සවිමත්ද කියා සෝදිසිකර බලන්න එය

සෑම ඉගැන්වීමක්ම ඔබගේ අත්තිවාරම තුළින් සන්සන්දනය කර බැලීමට ඔබට පුළුවන් කමක් ඇත.

අත්තිවාරමක් නොමැතිව කිසිදින ඔබගේ ආත්මික ජීවිතය ගොඩනඟා ගැනීමට නොහැකිය.

අත්තිවාරමක් තිබීමෙන් කිසිවෙකුට ඔබව රැවටීමට නොහැක. එය ඔබට මෙන්ම අන්අයටද ප‍්‍රයෝජනවත්ය. එමෙන්ම එය ඔබගේ ජයග‍්‍රහණයට, සතුටට කරුණකි.

ලෝකයේ සිටින සියලු සෙනඟට වඩා අප තුළ ඇති ගැළවීමේ ප‍්‍රීතිය ඉතා උතුම්ය.

අප ඉතා ශක්තිමත් සෙනඟක්ය. කිතුණු ජීවිතය පරාජිත ජීවිතයක් නොවේ.

‭යෙසායා 25:3
එබැවින් බලවත් සෙනඟ ඔබට ගෞරවකරන්නෝය, භයානක ජාතීන්ගේ නගරයද ඔබට භයවන්නේය.

බලවත් සෙනඟක් යනු යේසුස්වහන්සේව අදහන්නාවු සෙනඟය.

මේ ලෝකයේ අපට පීඩා පරික්ෂා, කරදර තිබෙනවා.

යේසුස්වහන්සේ පැවසුවේ මා ජය ගත් ආකාරයෙන්ම ඔබටත් ජය ගන්නට පුළුවන කියාය. (යොහන් 16:33)

අප සිටින්නේ භයානක මනුෂ්‍යයන් සිටින්නාවු භයානක ලෝකයකය. නමුත් දෙවියන්වහන්සේගේ ආලෝකය අප තුළ බැවින් අපට බියක් දැනෙන්නේ නැත.

ඔබගේ පක්ෂයේ සිටින්නේ බලවත්ම දෙවියන්වහන්සේ නිසා ඔබ තනිව නොවෙයි සිටින්නේ.

ඔබට විරුද්ධව මනුෂ්‍යයන්ට කිසිවක් කළ නොහැක.

යමෙක් ඔබට අලාභයක් පැමිණෙව් විට එය සත් ගුණයකින් ඔබට ලබා දෙන ලෙස යක්ෂයාට අණ කරන්න. එවැනි ඇදහිල්ලක් ඔබ තුළ පිහිටුවා ගන්න.

හිතෝපදේශ 6:30-31
[30] හොරෙක් තමාට බඩගිනි නිසා තමාගේ ආශාව සන්සිඳුවාගන්න පිණිස හොරකම් කළත්, මනුෂ්‍යයෝ එය නොසලකා නොහරිති. [31] නුමුත් ඔහු අසුවුණොත් සත් ගුණයක් ගෙවන්ට ඕනෑය; තමාගේ ගෙයි මුළු සම්පත වුවත් දෙන්ට ඕනෑය.

ඔබට කරන අලාභය පිටුපස සිටින්නේ යක්ෂයාය. ඔබ අණ කළ යුත්තේ යක්ෂයාටය. ඔබ යක්ෂයාට බිය විය හෝ ගරුකළ යුතු නැත.

යේසුස්වහන්සේ යක්ෂයාගේ හිස පොඩිකර හමාරය. ඔබගේ ජීවිතය පාලනය කිරීමට යක්ෂයාට ඉඩ නොදෙන්න.

ඔබ බලවත්, ශක්තිමත් පුද්ගලයෙක්, දෙවියන්වහන්සේට ගෞරවය මහිමය ගෙන එන්නේ ශක්තිමත් පුද්ගලයින්ය.

ඔබ දෙවියන්වහන්සේට ගෙන එන ප‍්‍රශංසා මධ්‍යයේ දෙවියන්වහන්සේ වැඩ වාසය කරනු ඇත.

ගීතාවලිය 22:3
නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක.

අපි ආත්මික ඉශ්‍රායෙල් සෙනඟ වන්නෙමු. ගලාති 6:16

දෙවියන්වහන්සේ ආත්මිකව අපගේ පරණ ස්වභාවය චර්මඡේදනය කර ඇත. උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය අප තුළ තබමින්, උන්වහන්සේ අපගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිඟාව කර, උන්වහන්සේගේ ආත්මයෙන් අපව පුරවා ඇත.

එයයි ආත්මික ඉශ‍්‍රායෙල්භාවය.

යමෙක් ආත්මික ඉශ‍්‍රායෙල් බවට පත් නොවුවහොත් ඔහු තුළ ගැළවීමක් නොමැත.

අපව යේසුස්වහන්සේ වෙතට ගෙන ආවේ අප උන්වහන්සේව අදහන නිසාය. උන්වහන්සේ අපව පුත‍්‍රකමට ඇතුල් කරන ලදි. අප තුළ වහලෙකුගේ ස්වභාවයක් නොමැත.

අප ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේගේ උරුමක්කාරයන්ය.

අපි බලවත්, ශක්තිමත්, දෙවියන්වහන්සේ සන්තක භක්තිමත් සෙනඟක්ය.

අප ලෝකයේ ආලෝකයයි. පොළොවේ ලුණු මෙන්ය. (මතෙව් 5:13-14)

දෙවියන්වහන්සේ තුළ අප වටිනා සෙනඟකි. ඔබ තුළින් දෙවියන්වහන්සේව ප‍්‍රදර්ශනය කරන කෙනෙකි.

දෙවියන්වහන්සේගේ මාළිඟාව වූ අප තුළින් නිතරම ප‍්‍රශංසාව, ගෞරවය, මහිමය පිටවිය යුතුය.

ශුද්ධාත්මයාණන් ඔබ තුළ වාසය කරයි. දේව දූතයන් ඔබ වටා සිටියි. අප යන එන සැම තැන ස්වාමීන්වහන්සේ අප සමඟය.

‭යොහන් 16:33
මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.

අපට තිබිය යුත්තේ දෙවියන්වහන්සේ තුළ සමාදානයයි.

දෙවියන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි අප විශ්වාසය තැබිය යුතුය.

දෙවියන්වහන්සේගේ කඳු මුදුනේ සිටින දෙවියන්වහන්සේය. මිටියාවතේ ජයග‍්‍රහණය දෙන තැනැන්වහන්සේය.

සිරියේ රජගේ සේවකයන් සිතුවේ ඔවුන්ට මිටියාවතේ සටන් කෙරුවහොත් ජය ලැබෙයි කියාය.

1 රාජාවලිය 20:23
තවද සිරියේ රජුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවිකෙනෙක්ය; එබැවින් ඔව්හු අපට වඩා බලවත්වූවෝය. නමුත් සමභූමියෙහි ඔවුන්ට විරුද්ධව සටන්කරමු, එවිට අපි සැබවින් ඔවුන්ට වඩා බලවත් වන්නෙමුව.

1 රාජාවලිය 20:24-27
[24] මෙසේ කරන්ට ඕනෑය; රජවරුන් තම තමුන්ගේ ස්ථානවලින් අහක්කර, ඔවුන් වෙනුවට සේනාපතියන් සිටවා, [25] නැතිවුණ ඔබගේ සේනාවමෙන් සේනාවක්ද අශ්වයන් මෙන් අශ්වයන්ද රථ මෙන් රථද ගණන් කරගතමැනවි. එවිට අපි සමභූමියෙහි ඔවුන්ට විරුද්ධව සටන්කරන්නෙමුව, එවිට අපි සැබවින් ඔවුන්ට වඩා බලවත් වන්නෙමුයයි ඔහුට කීවෝය. ඔහු ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී එසේ කෙළේය. [26] ඊට පසු අවුරුද්දේ බෙන්-හදද් සිරියවරුන් රැස්කොට ඉශ්‍රායෙල්ට විරුද්ධව සටනට අපෙක්ට ගියේය. [27] ඉශ්‍රායෙල් පුත්‍රයෝ රැස්කරනු ලැබුවෝය, ඔව්හු ආහාර ලැබ ඔවුන්ට විරුද්ධව ගියෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ කුඩා එළු රැළවල් දෙකකට සමානව ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියෝය; නුමුත් සිරියවරුන්ගෙන් දේශය පිරී තිබුණේය.

ස්වාමීන්වහන්සේ උන්වහන්සේට සමභූමියෙත් ජය දිය හැකි බව පෙන්වීය.

‭1 රාජාවලිය 20:28-29
[28] දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ළංවී ඉශ්‍රායෙල් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ කඳුවල දෙවිකෙනෙක්වා මිස මිටියාවත්වල දෙවිකෙනෙක් නොවේයයි සිරියවරුන් කී නිසා, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහත් සමූහයා නුඹ අතට පාවාදෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
[29] තවද එක සෙනඟක් අනික් සෙනඟට ඉස්සරහපිටින් සත් දවසක් කඳවුරු බැඳගන සිටියේය. සත්වෙනිදා යුද්ධය කෙරුණේය; ඉශ්‍රායෙල් පුත්‍රයෝ සිරියවරුන්ගෙන් පාබළ මනුෂ්‍යයන් ලක්ෂයක් එක දවසකදී මැරුවෝය.

කොයි ස්ථානයක සිටියත් දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේමය.

අප කොයි ස්ථානයක සිටියත් දෙවියන්වහන්සේ අපට ගැළවෙන මාර්ගයක් පිළියෙළ කර ඇත.

පීඩා මධ්‍යයේ දෙවියන්වහන්සේ අප අතහැර දමන්නේ නැත.

ජල මැදින් ගියත්, ගිනි මැදින් ගියත් උන්වහන්සේ අප සමඟය. (යෙසායා 43:2-3)

අපට ලෝකයෙන් ජයගත හැකි වන්නේ අපගේ ඇදහිල්ලෙනි.

ගීතාවලිය 34:19
ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.

සියලු පීඩා වලින් ස්වාමීන්වහන්සේ අපව ගළවන බවට පොරොන්දු වී ඇත.

ශුද්ධාත්මයාණන්වහන්සේට කීකරුව ආත්මයෙන් ගමන් කිරීමට පුරුදුවන්න. කවදාවත් ඔබ පරාජයට පත්වන්නේ නැත.

භයාදුකමේ ආත්මයට ඔබගේ ජීවිතය පාලනය කිරීමට ඉඩ නොදෙන්න.

ඔබ අත තබන සියල්ලේදී ආශීර්වාදලද්දෙක් බව විශ්වාස කරන්න. (ද්විතීයකථාව 28:8)

ගෝලයන් වචනය දේශනාකරන විටයි ආත්මයාණන්වහන්සේ වචනය සනාථ කළේ.

මාර්ක් 16:20
ඔව්හු පිටත්ව ගොස්, සියලු තැන්වලම දේශනා කළෝය. ස්වාමීන්වහන්සේද ඔවුන් සමඟ ක්‍රියාකරමින් ඔවුන් අතින් සිදුවූ ලකුණුවලින් වචනය ස්ථිරකළසේක. ආමෙන්.

වචනයට පටහැනි දෙයක් දෙවියන්වහන්සේ ස්ථීර කරන්නේ නැත.

ඔබගේ ප‍්‍රකාශනය තදින් අල්ලා ගන්න.

‭හෙබ්‍රෙව් 10:23
අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.

දෙවියන්වහන්සේ අපට උගන්වන්නේ ප‍්‍රයෝජන ලබා ගැනීමටය.

යෙසායා 48:17
නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.

අප කන්නේ යහපත හා නපුර ගහෙන් නොව, ජීවන වෘක්ෂයෙනි.

අප ගමන් කරන්නේ දෙවියන්වහන්සේගේ වචනයේ පොරොන්දු විශ්වාස කරගෙනය.

ඔබ අන්‍ය භාෂාවෙන් යාච්ඤා කරන කළ ඔබ යාච්ඤා කරන්නේ දේව කැමැත්තයි.

දේව වචනයට කන යොමු නොකර කරන යාච්ඤාව නිශ්ඵලයි.

හිතෝපදේශ 28:9
ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.

අපි යාච්ඤා කළ යුතු වන්නේ දේව වචනයයි.

අප යාච්ඤා කරන විට දෙවියන්වහන්සේගේ පොරොන්දු කියමින් විශ්වාස කර ආමෙන් කිව යුතුය.

ඔබගේ යාච්ඤාවට පොරොන්දු, ස්තුතිදීම්, ප‍්‍රශංසා ඇතුලත් කර ගන්න.

දානියෙල් යාච්ඤා කළේ දෙවියන්වහන්සේට ස්තුති දෙමිනි. (දානියෙල් 6:10)

2 කොරින්ති 1:20
මක්නිසාද දෙවියන්වහන්සේගේ පොරොන්දු කොපමණ වුණත් උන්වහන්සේ තුළ එසේය කියා වේ. එහෙයින් අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය පැමිණෙන පිණිස, උන්වහන්සේ කරණකොටගෙන ආමෙන්ය කියාත් වේ.

දේව වචනය සුළු නොකරන්න. එය කියවන්න, අසන්න, මෙනෙහිකරන්න.

දේව වචනයට එකඟවන දේශනා අසන්න. ඔබ නොදැනම ඔබගේ ආත්මික වර්ධනය ඉබේම සිදුවේ.

වචනයත් සමඟ කරන යාච්ඤාව ප‍්‍රයෝජනවත්ය.

පරීක්ෂාවක් පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන් නොවේ. අපගේ වැරදි තීරණ, නොදැනුවත්කම හා තෘෂ්ණා හේතුවෙනි.

‭1 කොරින්ති 10:13
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

දෙවියන්වහන්සේ ඔබට පරීක්ෂාවෙන් ගැළවෙන පිණිස මාර්ගයක් සාදා දෙන්ට විශ්වාසවන්ත කෙනෙක්ය.
දෙවියන්වහන්සේ විශ්වාසවන්තය විශ්වාසවන්ත කෙනෙක් කවදාවත් පීඩා පරික්ෂා ගෙනෙන්නේ නැත.

දෙවියන්වහන්සේ සාදා දෙන මාර්ගයේ ගමන් කරන්න.

යේසුස්වහන්සේ පිළිගත් පසු ඔබ ශක්තිමත් කෙනෙක් ඔබ දුර්වල කෙනෙකු නොවේ.

දෙවියන්වහන්සේ දුර්වලයාට පවසන්නේ ඔබ ශක්තිමත් යැයි පවසන්න කියාය.

යෝවෙල් 3:10
නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.

මනුෂ්‍යයන්ගේ බැල්මට භය නොවන්න. අපගේ එඬේරා අප ඉදිරියෙන් සිටින්නේ.

ඒ අය පළවා හරින පිණිස අප වටා දේව දූතයින් සිටී.
එක් රාත‍්‍රියක එක දේවදූතයෙක් එක් ලක්ෂ අසූපන්දහසක සේනාවක් විනාශ කරා. (2 රාජාවලිය 15:35)

යෙහෝෂාපාට් රජතුමාට දෙවියන්වහන්සේ පැවසුවේ ප‍්‍රශංසා කරන්න කියාය. (2 ලේකම් 20:17-21)

ස්වාමීන්වහන්සේ ඔහුට ජය අත්පත් කර දෙන ලදි. ඔවුන්ට තිබුණේ කොල්ලය එකතුකර ගන්නටය. (2 ලේකම් 20:22-25)

අධර්මිෂ්ඨයාගේ වස්තුව රැස්කරන්නේ ධර්මිෂ්ඨයාය.

දෙවියන්වහන්සේ අපට අවශ්‍ය දේවල් නියමිත වේලාවේදී සපයා දෙන සේක.

යාකොබ් 1:12-13
පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ඒත්තුගනු ලැබූ කල, තමන්ට ප්‍රේමකරන්නවුන්ට ස්වාමීන්වහන්සේ විසින් පොරොන්දුවුණාවූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය. [13] යමෙක් පරීක්ෂාකරනු ලබන කල: මම දෙවියන්වහන්සේගෙන් පරීක්ෂාකරනු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවියන්වහන්සේ නපුරෙන් පරීක්ෂාකරනු ලබන්ට නුපුළුවන, උන්වහන්සේම කිසිවෙකු පරීක්ෂානොකරනසේක.

පරික්ෂා පීඩා පැමිණෙන කල එය දෙවියන්වහන්සේගෙන් යැයි නොපවසන්න.

පරීක්ෂා වලින් ඔබගේ ආත්මික ජීවිතය වර්ධනය වන්නේ නැත. පරීක්ෂා වලින් සිදුවන්නේ ආත්මික ජීවිතය නැතිවී යාමයි.

කුණාටුවකදී ඔබගේ අත්තිවාරමේ ශක්තිමත්භාවය දැන ගැනීමට පුළුවන.

යේසුස්වහන්සේ නැමති පර්වතය මත ඔබගේ අත්තිවාරම ගොඩ නගන්න.

මම ශක්තිමත් කියා පවසමින් දෙවියන්වහන්සේ ඉදිරියේ ගොඩනැගෙන්න.

ඔබ ඇදහිල්ලෙන් ජය ගන්නා කෙනෙක් බවට පත්වන්න.

1 යොහන් 5:4
මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.

දෙවියන්වහන්සේගේ උපකාරය ඇතිව දිනපතා ජයගන්නෙක් බවට පත්වන්න.
දෙවියන්වහන්සේගේ වචනයට ආපහු හැරී එන්නට තීරණය කරන්න.

නයෝමිගේ පවුල බෙත්ලෙහෙමින් මොවබ් දේශයේ පදිංචියට යයි. එහිදී ඇයගේ පවුල විනාශවී ඇය රූත් සමඟ තනිවේ.

නයෝමි නැවත බෙත්ලෙහෙමට යාමට තීරණය කරයි. (රූත්ගේ කථාව 1:1-22)

බෙත්ලෙහෙම යනු ”රොටී තිබෙන නිවස” යන අර්ථයයි.

නයෝමි බෙත්ලෙහෙමෙන් ගියේ සම්පූර්ණව නමුත් නැවත පැමිණියේ සියල්ල අහිමිව හිස් බවින්.

වචනයෙන් ඈතට ගොස් ඇය නැවත වචනය තුළට පැමිණියා.

ඇය නැවත බෙත්ලෙහෙමට ගිය පසු බොහෝ දේවල් වෙනස්වන ලදි.

ඇයගේ ජීවිතය වෙනස්වුණි. ඇය සඵලවත් වී, දියුණුවිය.

ඇයගේ ලේලිගේ නමින් බයිබලයේ පොතක් පවා ලියවුණි. හේතුව ඇය වචනය තිබෙන තැන තෝරාගත්තා. යේසුස්වහන්සේගේ පරම්පරාවට පවා ඇයගේ නම ඇතුලත් වුණි.

නයෝමි ඇයට නයෝමියැයි නොපවසා මරා ලෙසින් අමතන්නයැයි පැවසීය. නයෝමි යනු ප්‍රසන්නභාවයයි. ඇය ජීවිතයේ තික්ත අත්දැකීම් තුළින් ගිය නියි ඇය එසේ පැවසුවේ.

නමුත් බෙත්ලෙහෙමට, දේව වචනයට ගිය විට ඇයව හැම කෙනෙක්ම පිළිගන්නා ලදි.

දේව වචනය ඔබ ඉන්නා අයුරින්ම ඔබව පිළිගනී. ඔබව අලංකාර තත්වයට පත් කරයි.

දේව වචනයට හැරී යාමට තොරාගන්න. එවිට ඔබගේ යාච්ඤාවද මිහිරි යාච්ඤාවක් බවට පත්වෙයි. අපගේ ජීවිත ගමන වෙනස්වෙයි.


Watch the Sermon Video

Read 14 times