+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ආත්මික දේවල් වලට ඇබ්බැහි වී සිටීම - යෝෂා මනූ
May 5, 2024 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේ යහපත් විශ්වාසවන්ත කෙනෙකුය. නිතරම අපගේ සාක්ෂිය විය යුත්තේ එයයි.

අපගේ ජීවිත ගමනේ මඟ පෙන්වන්න, සියල්ලක් කර දෙන්න දෙවියන්වහන්සේ විශ්වාසවන්තව සිටින සේක.

ඇදහිල්ලේ මූලික කරුණු දෙස බලමින් සිටින අතර, නව මැවිල්ලේ වර්ධනය තුළ ඔබ සිටින මට්ටම ඔබටම දැන ගත හැකිය.

සියල්ලන්ම නව ජීවනය තුළ ගමන් කරන්නේ යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ දෙස බලමිනි. එහෙයින් එකිනෙකාගේ ඇදහිල්ලේ මට්ටම් බලා කිසිවෙක් හෙළා දකින්නේ නැතිව, මඳ ඇදහිල්ලක් ඇති අය වුවද අප ක‍්‍රිස්තුස් යේසුස් වහන්සේගේ වචනය තුළින් ඔවුන් වර්ධනය කරමු.

පසුගිය සතියේ අප ආත්මික දේවලට ඇලුම්වී, ආශාවී සිටීම පිළිබඳ හැදෑරූ අතර, අද අප ආත්මික දේ වලට ඇබ්බැහි වී සිටීම පිළිබඳව බලමු.

ඇබ්බැහිවීම යනු යම් දෙයක් කිරීමට ආරම්භ කර එය නොකඩවා කරමින් එයින් මිදීමට නොහැකිව එයට බැඳී සිටීමයි.

යහපත් දෙයට ඇබ්බැහි වීම ඉතාමත් අගනා දෙයකි.

බයිබලය කියවීමට, යාච්ඤා කිරීමට, ගායනා කිරීමට, අලුයම නැඟිට ප‍්‍රශංසා කරමින් දෙවියන්වහන්සේ සෙවීමට ඇබ්බැහිවීමක් විය යුතුය.

අප අපගේ ස්ථාවරය කුමක්දැයි දන්නෙමු.

කොලොස්සි 3:1-2
1 ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක. 2 පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.

ඔබ ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ මළවුන්ගෙන් නැවත නැඟිටුවා තිබේ නම්, ඔබ දේව වචනයට ඇබ්බැහි විය යුතුය.

ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ හිඳුවා තිබෙන ඔබ උසස් දේ කෙරෙහී සිත යොමු කළ යුතුය.

එපීස 2:6
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.

ක‍්‍රිස්තුස්වහන්සේ ස්වර්ගයේ රජකම් කරන අතර ඔබ මේ පොළොවේ ඔබගේ ජීවිතයේ රජකම් කරයි.

උසස් ස්ථානයෙහි තිබෙන දේ ඔබ දන්නා කල, ඔබට ඒ දේවලින් මේ පොළොවේ ජීවත් වීමට හැකි වන්නේය.

ඔබ ඒ දේවලට ඇබ්බැහි වී සිටින විට, එය ඔබට නැතිවම බැරි දෙයක් බවට පත්වේ.

ක‍්‍රිස්තුස්වහන්සේගේ දකුණු පැත්තෙහි ඔබ සිටින බැවින් ඔබට උන්වහන්සේ සමඟ සමීප සම්බන්ධයක් ඇති කර ගත හැක.

අප සෙවිය යුත්තේ පොළොවේ තිබෙන දෙය නොව, පළමුකොට දේව රාජ්‍යයත්, ධර්මිෂ්ඨකමත්. (මතෙව් 6:33)

අප ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ හරි සම්බන්ධකමක් ගොඩනඟා ගත් කල, උන්වහන්සේ ඉතිරි සියල්ල අපගේ ජීවිතයට වැඩිකර දෙනු ඇත.

උසස් තැන්හී තිබෙන දේ සෙවීම වැදගත්ය. මන්ද අපට විපාක ලැබෙන්නේ එවිටය.

ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් ඔබට සහැල්ලු ජීවිතයක් හිමි වී ඇත. එය සැහැල්ලුවෙන් භුක්තිවිඳීම වැදගත්.

කොලොස්සි 3:3
මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.

ඔබ පාපයට මැරී දැන් ජීවත්වන්නේ ධර්මිෂ්ඨකමටය.

ගලාති 2:20
මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.

ඔබ ගැළවීම ලැබූ දවසේ ඔබගේ පරණ මනුෂ්‍යයා මියයන ලදි.

ක‍්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් සැබවින්ම කුරුසපත්වූ සේක.

ඔබ කුරුසපත්වූයේ ඇදහිල්ලෙනි.

බීජයක් ඵල දැරීමට මැරී පොළොව යට වැළලිය යුතුය. එයාකාරයෙන් ඔබගේ ජීවිතය ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ සඟවා ගත යුතුය. එවිට පැළයක් හට ගන්නා සේ නව ජීවනයෙන් ඔබ උත්පාදනය ලබයි.

ඔබගේ ජීවිතයේ කුරුසපත් වුණාම එය වෙිදනාකාරී වුවත් උන්වහන්සේගේ ජීවනය ඔබ තුළ රජකම් කරනු ඇත.

නව ජීවනය තුළ ඔබට ශක්තිමත්ව, ජයග‍්‍රාහීව උන්වහන්සේ සමඟ මේ ජීවිත ගමන, ගමන් කළ හැක.

ක‍්‍රිස්තුස්වහන්සේට අප තුළ ජීවත්වීමට අපි උන්වහන්සේට ඉඩ දෙමු.

අපගේ ජීවිත ගමන මඟ පෙන්වීමට උන්වහන්සේට ඉඩ හරිමු. නිසි ස්ථානයට උන්වහන්සේ අපව ගෙනයයි.

අපගේ ශරීරය ක‍්‍රිස්තුස් වහන්සේගේ මාළිඟාවයි. එය අලංකාරව තබා ගන්න.

නව මැවිල්ලක්ව සිටින ඔබ අන් අය හා ප‍්‍රේමයෙන් කටයුතු කරන්න.

රෝම 8:1-3
එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත. 2 මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය. 3 මක්නිසාද දෙවියන්වහන්සේ තමන්වහන්සේගේම පුත්‍රයාණන් පාපමාංසයේ සමානකමෙන්ද පාපය නිසාද එවා, මාංසයේ පාපය දඬුවමට පත්කරමින්, මාංසය කරණකොටගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ටකළසේක.

රෝම 8:4-5
4 එසේ කළේ මාංසික ලෙස නොව ආත්මිකලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණවෙන පිණිසය. 5 මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති.

රෝම 8:6-9
6 මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය. 7 කුමක්හෙයින්ද, මාංසයේ ඇල්ම දෙවියන්වහන්සේට සතුරුකමය; ඒක දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත, යටත්වෙන්ටත් බැරිය. 8 මෙසේ, මාංසයෙහි සිටින්නන්ට දෙවියන්වහන්සේ සතුටුකරන්ට නොහැකිය. 9 නුමුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වාසයකරනසේක් නම්, නුඹලා මාංසයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත.

ආත්මයාණන්වහන්සේ යම් කෙනෙකු තුළ නොමැති නම් ඔහු දෙවියන්වහන්සේට අයිති නැත.
එහෙත් උන්වහන්සේගේ ආත්මය ඔබ තුළයි. ඔබ උන්වහන්සේට අයිති කෙනෙකි.

රෝම 8:10-11
ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සිටිනසේක් නම්, පාපය නිසා ශරීරය මැරී තිබෙන නුමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත්වෙයි.
11 තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

ඔබ තුළ ජීවත්වන්නේ ක‍්‍රිස්තුස්වහන්සේය.

යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැඟිටවූ එම ආත්මය ඔබ තුළයි.

එවිට ඔබගේ ක‍්‍රියාකාරීත්වය වෙනස් වෙයි. ඔබ ඇබ්බැහි වෙන දේවල් වෙනස් වනු ඇත.

දැන් ඔබ ගත කළ යුත්තේ මලානික ජීවිතයක් නොව, නැවත නැඟිටුනු ජීවිතයකි.

රෝම 8:12-13
12 එබැවින් සහෝදරයෙනි, අපි ණයකාරයෝව සිටිමුව, නුමුත් මාංසිකලෙස ජීවත්වෙන්ට මාංසයට නොවේය. 13 මක්නිසාද නුඹලා මාංසිකලෙස ජීවත්වෙනවා නම් මැරෙන්ට ඕනෑය, නුමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත්වෙනවා ඇත.

දැන් ඔබ මාංසාකාරව ජීවත්වීමට මාංසයට බැඳී නැත. මාංසාකාර දේ කිරීමට අවශ්‍යතාවයක් නොමැත.

දැන් අප ආත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීමට අනුව ජීවත්විය යුතුය.

යොහන් 3:6
මාංසයෙන් උපදින දේ මාංසයය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය.

ඔබ ආත්මික දේවල් සොයනුයේ ඔබ ආත්මික උපතක් ලද නිසාය.

ආදම්ගේ පාපය නිසා අප සියල්ලන් තුළම පව්කාර ස්වභාවය තිබුණි. පව්කාර ස්වභාවයෙන් සිටින කෙනා ආත්මික දේට ඇලුම් නොවෙති.

නමුත් නව ජීවනය ලැබූ කෙනා ආත්මික දේට ඇබ්බැහිවී සිටියි.

1කොරින්ති 15:45-49
45 එසේම: පළමුවෙනි මනුෂ්‍යයාවූ ආදම් ජීවමාන ප්‍රාණයක් වුණේයයි ලියා තිබේ. අන්තිම ආදම් ජීවනදායක ආත්මයක් විය. 46 එසේවී නුමුත් ප්‍රථමවන්නේ ආත්මික එක නොව ස්වාභාවික එකය; පසුව ආත්මික එක විය. 47 පළමුවෙනි මනුෂ්‍යයා භූමියෙන්ය, භූමිකය. දෙවෙනි මනුෂ්‍යයා ස්වර්ගයෙන්ය. 48 භූමික තැනැත්තා යම්සේද භූමිකයොත් එසේමය. ස්වර්ගීක තැනැත්තා යම්සේද ස්වර්ගීකයොත් එසේමය. 49 අපි භූමිකවූ තැනැත්තාගේ රූපය දැරුවා සේම ස්වර්ගීක තැනැත්තාගේ රූපයද දරන්නෙමුව.

ඔබගේ ජීවිතය දැන් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ සඟවා තිබෙන්නේය. ඒ නිසා ඔබට මේ පොළොවේ ආත්මික ජීවිතයත් ගත කරන්නට හැකියි.

මේ පොළොවේ අපට හොඳ සුවයෙන්, ජයග‍්‍රාහිකව, සමාදානයෙන්, ස්වර්ගීය ජීවිතයක් ගත කිරීමට පුළුවන. ඇදහිල්ලේ ජීවිතය එයයි.

ඔබ මාංසාකාරයෙන් නොව ආත්මික චරිත ගුණාංගයක් ඇතිව ජීවත්වෙන කෙනෙකි.

2 කොරින්ති 10:3-4
3 මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව. 4 (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)

ආත්මයාණන් වහන්සේට අපගේ ජීවිතය තුළින් ගළා යාමට අප ඉඩ දිය යුතුය.

අපගේ යුධායුධ වලින් බලකොටු බිඳ හෙළීමට පුළුවන. අපගේ යුද්ධායුධ පාවිච්චි කළ යුත්තේ අපගේ මුඛයෙනි.

කඩුව යනු ආත්මයාණන් වහන්සේගේ වචනයයි.

ඔබ උපත ලැබුවේ කුණු නොවන උන්වහන්සේගේ බීජය නැමැති වචනයෙනි.

වචනය පාවිච්චි කිරීමෙන් ඔබට සතුරාගේ ක‍්‍රියා බිඳ හෙළන්නට පුළුවන. මනසේ තිබෙන බලකොටු බිඳ හෙළිමින් ඔබට මනුෂ්‍යයන්ට උපකාර කළ හැකිය.

අපි මෙම ආත්මික යුද්ධායුධ පාවිච්චි කරමු.

අපි මේ පොළොවේ ආත්මික ජීවිතයක් ගත කරමින් යහපත් දේට ඇබ්බැහි වෙමින් ජීවත් වෙමු.


Watch the Sermon Video

Read 330 times