+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සැබෑවේ වචනය හරි ආකාරව පහදා දීම - මනූ මැතානි
May 4, 2024 Sunday Sermon Notes


ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය තිබෙන නිසා අපි මාංසයෙන් ගමන් කළ යුතු නැත.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරන සේක.

පරණ ගිවිසුමේ මනුෂ්‍යයන් තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ වාසය නොකළ අතර, ඒ අය ක‍්‍රියා කළේ පෙනීමේ හැටියට හා ඔවුන්ට හැඟුනු ආකාරයටය.

ඔවුන් ගැළවීම ලබා සිටියේ නැත. ඔවුන් තුළ සිටියේ පරණ මනුෂ්‍යයාය. නමුත් දෙවියන්වහන්සේ ඔවුන් සමඟද ගිවිසුමක් ඇති කරන ලදි.

ඒ මනුෂ්‍යයන් අතරද ඇදහිල්ලෙන් ක‍්‍රියා කළාවු, දේව වචනය විශ්වාස කළාවු, ශුද්ධකමින් ජීවත්වෙමින්, හැඟීමේ හැටියට ක‍්‍රියා කළාවු අය සිටින ලදි.

අලුත් ගිවිසුමත්, පරණ ගිවිසුමත් හරියාකාරව වටහා නොගන්නාවු අය තමුන්ගේ ජීවිත පටලවා ගනිති.

නමුත් අපගේ ජීවිත හරි ලෙස ගෙනයා යුතු නම් අප එය හරියාකාරව පහදා ගත යුතුය.

පරණ ගිවිසුමේ දෙවියන්වහන්සේ නව ගිවිසුමෙත් දෙවියන්වහන්සේමය.

නමුත් උන්වහන්සේ පරණ ගිවිසුම අහෝසි කරමින් නව ගිවිසුම ස්ථීර කළේ පරණ ගිවිසුමේ මනුෂ්‍යයන්ට සම්පූර්ණත්වයට පත්වීමට නොහැකි වූ බව උන්වහන්සේ දැන සිටි නිසාවෙනි.

සතුන්ගේ ලේ පුජා කළත් ඔවුන්ට සම්පූර්ණත්වයට පත්වීමට, පාපයේ හැඟීම් වලින් නිදහස් වීමට නොහැකිව තිබුණි.

දෙවියන්වහන්සේ පරණ ගිවිසුමෙත් ඇදහිල්ලට අවශ්‍යවූ ප‍්‍රකාශ කළාවු දේවල්, සහ පොරොන්දු අප ලබා ගත යුතුය.

2 තිමෝති 2:15
[15] සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.

සැබෑවේ වචනය හරියාකාරව පහදා ගැනීම තුළින් අප ලැජ්ජාවට පත් වන්නේ නැත.

පරණ ගිවිසුමේ මනුෂ්‍යයන්ගේ දුර්වලකම් ඔබගේ නව ජීවනයට සංසන්දනය නොකගරන්න.

නව ජීවනය තුළ ඔබගේ ශරීරය ක‍්‍රිස්තුස්වහන්සේගේ ශරීරයයි. ඔබගේ හිස ක‍්‍රිස්තුස්වහන්සේය. ඔබ තුළ වාසය කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරයෙන් අප හරියාකාරව වචනය පහදා ගනිමු.

ගීතාවලිය 51:10
[10] දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.

දාවිත් මේ ආකාරයෙන් යාච්ඤා කළත් අප ඒ අනුව කියන්නට අවශ්‍ය නැත.

දෙවියන්වහන්සේ අපව පවිත‍්‍ර කර අවසන්ය. අප කළ යුත්තේ දිනපතා දෙවියන්වහන්සේගේ වචනයෙන් අපගේ මනස සොදා ගැනීමය.

ගීතාවලිය 51:10-11
[11] ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව; ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව.

දාවිත් කෙරෙහි ශුද්ධාත්මයාණන් වහන්සේ පැමිණ ඔහුට උපකාර කරමින් මඟ පෙන්වූයේය. යම් අවස්ථාවන්වලදී ජයග‍්‍රහණයන් ගෙන දුන්නේය. රජ කෙනෙක් හා අනාගතවක්තෘ කෙනෙක් ලෙසට දෙවියන්වහන්සේ දාවිත්ව පාවිච්චි කරන ලදි. නමුත් දාවිත් තුළ උන්වහන්සේගේ වාසය කළේ නැත.

එමනිසා දාවිත් මෙන් අප ”ඔබගේ අභිමුඛයෙන් මා පහා නොකළ මැණව, මා අත් නොහරින්නයැයි” පැවසිය යුතු නැත.

දෙවියන්වහන්සේ පැවසුවේ මා කිසිසේත් නුඹව දාලා නොයන බවයි.

‭හෙබ්‍රෙව් 13:5
මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.

සැබෑවේ වචනය හරියාකාරව පහදා ගැනීමෙන් අපට මෙවැනි පරණ ගිවිසුමේ යාච්ඤා නව ගිවිසුමට අනුව සකසා පැවසිය හැකිය.

“ස්වාමීනි, ඔබවහන්සේගේ වචනය මට ලබා දුන් නිසා ස්තූතියි, මගේ සිත පවිත‍්‍ර කිරීමට මා හට දී ඇති ඔබ වහන්සේගේ වචන නිසා ස්තූතියි, මා නව මැවිල්ලක් කළ නිසා ස්තූතියි, ඔබවහන්සේ කිසිදා මා අතහැර නොයන බව මා විශ්වාස කරමි.” මෙලෙසින් අපට යාච්ඤා කළ හැකිය.

දෙවියන්වහන්සේගේ වචනය මෙනෙහි කරමින් අපගේ මනස පවිත්‍ර කර ගනිමින් වෙනස් කර ගත හැකියි.

බයිබල් පද යාච්ඤා නොකර එහි එළිදරව්ව ලබා ගන්න.

මේ පදය අනුව, මාව යටත් කරන්න කියා අපි යාච්ඤා කරන්න අවශ්‍ය නැත.

ස්වාමීන්වහන්සේ පවසන්නේ අපට යටත් වන ලෙසයි.

යාකොබ් 4:6-7
[6] නුමුත් උන්වහන්සේ වඩා කරුණව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය. [7] එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.

වචනය පිළිනොපැද අප යාච්ඤා කළාට ඵලක් නොමැත. ඒවා හිස් දෙඩවිලිය.

ඔබගේ සිත වෙනස් වන වීමෙන් ඔබ නොදැනුවත්වම යටත් වෙන්නට ගනී. මනුෂ්‍යයන් ඒ සිදු වුණ දේවල් දකින්නෝය.

යටහත් මනුෂ්‍යයා උඩඟුකමින් ඔහුගේ සියලු කාරණා කල්පනා කරන්නේ නැත. ඔහුගේ සියලු කරදර ස්වාමීන්වහන්සේ පිට තබා දවස ස්වාමීන්වහන්සේට භාරදෙයි.

අප පරණ ගිවිසුම පටලවා ගත යුතු නැත. නව ගිවිසුම ඉතා පහසුයි.

පරණ ගිවිසුමේ මනුෂ්‍යයන්ගේ ජීවිත තුළ දෙවියන්වහන්සේට ක‍්‍රියා කිරීමට හැකිවූයේ ඔවුන්ගේ ක‍්‍රියාවන් අනුවය.

මේ වචනය පවත්වන්නට, නව ගිවිසුම තුළ ස්වාමීන්වහන්සේගේ අනුග්‍රහය අපට සෑහේ.

පේතෘස් තේරුම් ගත් දෙය නම් උන්වහන්සේගේ අනුග‍්‍රහයේ වර්ධනය විය යුතු බවයි.

‭2 පේතෘස් 3:18
[18] එහෙත් අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේ දැනගැන්මෙහිද වර්ධනයවෙන්න. දැනටත් සදාකාලයටත් උන්වහන්සේට ගෞරවය වේවා. ආමෙන්.

දෙවියන්වහන්සේ තුළ සමීප සම්බන්ධතාවය තුළින් ඔබ අනුග්‍රහයෙන් වර්ධනය වෙන්න. යේසුස්වහන්සේ අනුග්‍රහයයි.

අපට ව්‍යවස්ථාවෙන් වර්ධනය වන්නට කියා ලියා නැත.

ඔබ ව්‍යවස්ථාවෙන් වර්ධනය වුවහොත් ඔබ ඔබ ගැන දකින්නෙත් අන් අය විනිශ්චය කරන්නෙත් වැරදියටය.

අනුග‍්‍රහය යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේමය. අනුග‍්‍රහයෙන් වර්ධනය වුවහොත් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ දැනුමත් සමඟ අප කිසිදු අපහසුතාවයකට පත්වන්නේ නැත.

නව ගිවිසුම අනුව අපට පවසන්නේ අනුග‍්‍රහයෙන් ජීවත්වන ලෙසය.

‭2 තිමෝති 2:1
[1] එබැවින්, මාගේ දරුව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන කරුණාවෙන් ශක්තිමත්වෙන්න.

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන අනුග්‍රහයෙන් ශක්තිමත්වෙන්න. එවිට ව්‍යයස්ථාව පෙන්වා ඔබව දෝෂාරෝපණයට ලක් කිරීමට යක්ෂයාට නොහැකි වන්නේය.

ව්‍යයස්ථාව අපට ලැබුණේ මෝසෙස්ගෙනි. එහෙත් අනුග‍්‍රහය පැමිණියේ යේසුස්වහන්සේගෙනි.

යේසුස්වහන්සේ අපට අනුග‍්‍රහය දී තිබෙන්නේ ශුද්ධකමින් සාක්ෂියක් ඇතිව ජීවත්වීමටයි.

යොහන් 1:17
[17] මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.

යේසුස්වහන්සේ අනුග‍්‍රහය ලෙස මේ පොළොවට පැමිණ, අනුග‍්‍රහය දක්වමින් අනුග‍්‍රහයෙන් මනුෂ්‍යයන් සුවකරමින්, නිදහස් කළා. යක්ෂාවේශයෙන් සිටි අයවද උන්වහන්සේ මුදවා අසහන තත්වයෙන් සිටි අයට සමාව දීමෙන් ඔවුන්ව පිළිගත්සේක. එපමණක් නොව අපව ව්‍යවස්ථා ශාපයෙන් මුදවා ගැනීමට අනුග‍්‍රහය තම ජීවිතය පූජා කරන ලදි.

අනුග්‍රහය යේසුස්වහන්සේය, උන්වහන්සේ කෙනෙකුය. අනුග්‍රහය තමාගේ ජීවිතය අප වෙනුවෙන් කුරුසපත් වූවා.

අනුග‍්‍රහය තුළ වර්ධනය වෙමින් අප ජීවත්වෙමු.

අනුග‍්‍රහය තුළ ශක්තිමත් වන විට පාපය ඔබට ප‍්‍රශ්නයක් නොවෙයි. ඔබ දැන් පුත‍්‍රයෙක් හැටියටයි සිටින්නේ.

ගලාති 4:7
[7] මෙසේ නුඹ තවත් දාසයෙක් නොව පුත්‍රයෙක්ය; පුත්‍රයෙක් නම් දෙවියන්වහන්සේ කරණකොටගෙන උරුමක්කාරයෙක්ය.

අනුග‍්‍රහයෙන් ජීවත්වෙන්නා කරුණාවන්තවූ, ධර්මිෂ්ඨ පුත‍්‍රයෙක්ය. මනුෂ්‍යයන්ට එය ඔහුගේ ජීවිතයෙන් පිළිබිඹු වන්නේය.

ඔබ අනුග‍්‍රහය තුළ ජීවත්වන පුත‍්‍රයෙක්. අනුග‍්‍රහය තුළ තව තවත් ශක්තිමත් වන්න, දියුණුවන්න, දැන ගන්න.

ව්‍යවස්ථාව කියවා එය ජීවිතයට ඇතුල් කරගෙන ඔබ දුර්වල කෙනෙකු නොවන්න.

අනුග‍්‍රහයෙන් ශක්තිමත්ව සිටින කල කුඩා සිවලුන්ට ඔබගේ ජීවිතයට ඇතුල්ව නාස්ති කළ නොහැක.

‭ගලාති 4:8-9
[8] එසේවී නුමුත් නුඹලා ඒ කාලයේදී දෙවියන්වහන්සේ නෑඳින, ස්වභාවෙන් දෙවිවරුන් නොවන්නන්ට වහල්ව සිටියහුය. [9] නුමුත් දැන් නුඹලා දෙවියන්වහන්සේ ඇඳිනගෙන සිටිද්දී නොහොත් ඊට වඩා දෙවියන්වහන්සේ විසින් අඳුනනු ලැබ සිටිද්දී, නුඹලා ඒ දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම්වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව, ඒ දෙසට නැවත හැරෙන්නේ කොහොමද?

යහපත් දෙවියන්වහන්සේ ඔබ තුළ සිටින හෙයින් සෑම දවසක්ම ඔබට යහපත්ය.

ඔබ තුළ ආශීර්වාදලත් තැනැන්වහන්සේ වාසය කරමින් සිටී. ආශීර්වාදය ඔබ තුළින් ගලා යයි. සුවයෙන්, සමාදානයෙන්, සඵලත්වයෙන්, ස්වාමීන්වහන්සේගේ දේ විශ්වාස කරමින් සැම අතින්ම ඔබ දියුණු වන්නේය.

ඔබ නොවටිනා කෙනෙකු නොව, දැන් ඔබ වටිනා කෙනෙකුය. දවස්, මාස, අවුරුදු ඔබ නොසලකා සිටින්න.

ගලාති 4:10
[10] නුඹලා දවස්ද මාසද කාලවල්ද අවුරුදුද සලකන්නහුය.

සෑම දවසක්ම දෙවියන්වහන්සේට නමස්කාර කරන්නාවු දවසකි.
දවස පුරාම නොකඩවා දෙවියන්වහන්සේට නමස්කාර කරන්න.

ඇදහිල්ලෙන් දුර්වල තැනැත්තා ව්‍යවස්ථාවට ප‍්‍රමුඛත්වය දෙන අනුග‍්‍රහය ගැන වැඩි අවබෝධයක් නැති කෙනෙකි. එවැනි අය සමඟ වාදයට නොයන්න.

රෝම 14:1-3
[1] ඇදහිල්ලෙන් දුර්වල තැනැත්තා පිළිගන්න, එහෙත් සැක සහිතවූ වාදකිරීමට නොවේය. [2] සියලු දේ කන්ට පුළුවනැයි එක්කෙනෙක් විශ්වාසකරන්නේය; නුමුත් දුර්වල තැනැත්තේ එලවලු පමණක් කන්නේය. [3] කන තැනැත්තා නොකන තැනැත්තා සුළුකොට නොසිතාවා; නොකන තැනැත්තාද කන තැනැත්තා විනිශ්චය නොකෙරේවා. මක්නිසාද දෙවියන්වහන්සේ ඔහු පිළිගත්සේක.

ඇදහිල්ලෙන් දුර්වල කෙනෙකු සමඟ සහභාගිකම් පැවැත්වීමේදී ඔබ අහංකාර නොවන්න.

දේව රාජ්‍යය කෑමත් බීමත් පමණක් නොව, ධර්මිෂ්ඨකම, ශුද්ධකම, ප‍්‍රීතිය, සමාදානය වැනි බොහෝ කාරණා ඒ තුළ ඇත.

‭රෝම 14:17
[17] මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.

දෙවියන්වහන්සේ පිළිගත් කෙනාව ඔබ ප‍්‍රතික්ෂේප නොකරන්න. විනිශ්චය නොකරන්න.

‭රෝම 14:4
[4] අනිකෙකුගේ වැඩකාරයා විනිශ්චයකරන්නාවූ නුඹ කවුද? ඔහු සිටියත් වැටුණත් ඒක අයිති තමාගේම ස්වාමියාටය. එසේය, ඔහු සිටුවනු ලබන්නේය; කුමක් හෙයින්ද ඔහුව සිටුවන්ට ස්වාමීන්වහන්සේට බලය ඇත්තේය.

වැදගත් දේ සමඟියෙන් සිටීමයි.

කන දේ නොව ප‍්‍රකාශ කරන දේ ගැන සිතන්න.

ශු. මතෙව් 15:15-19
[15] එවිට පේතෘස් උත්තරදෙමින්: මේ උපමාව අපට තෝරාදුන මැනවයි උන්වහන්සේට කීවේය. [16] උන්වහන්සේ කියනසේක්: නුඹලාත් තවම තේරුම් නැතුව සිටින්නහුද? [17] කටට ඇතුල්වෙන සියල්ල බඩට පැමිණ වැසිකිළියට යන බව නුඹලාට තේරෙන්නේ නැද්ද? [18] නුමුත් කටින් පිටවෙන දේ නික්මෙන්නේ සිතින්ය; මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ එයින්ය. [19] මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය.

මනුෂ්‍යයෙක් අපවිත්‍ර වන්නේ නැතහොත් අසනීප වන්නේ කටින් පිටවෙන දේ තුළින්ය.

අනවශ්‍ය වචන ප‍්‍රකාශ කිරීමෙන් ජීවිතය නාස්තිවේ.

නිතරම මුඛයෙන් දෙවියන්වහන්සේට ප‍්‍රශංසාවද යාච්ඤාද කරමින් ඔබ කන බොන දේ වලින් පවා දෙවියන්වහන්සේට ගෞරවය දක්වන්න.

සුවයෙන් ජීවත්වීම අගනා දෙයකි. එය දෙවියන්වහන්සේගේ කැමැත්තයි.

ගීතාවලිය 91:14
[14] ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.

ඔබ දෙවියන්වහන්සේ සමඟ සමීප සම්බටන්ධයක් තිබෙන නිසාත් උන්වහන්සේ ඔබව දන්නා නිසාත් උන්වහන්සේ ඔබව ඔසවනු ඇත.

‭ද්වීතීය කථාව 28:1
[1] තවද මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස් කොට තබනසේක.

දෙවියන්වහන්සේගේ පොරොන්දු අල්ලා ගෙන ප‍්‍රකාශ කරන්න, ඒ අනුව ජීවත්වෙන්න, වචනයට කීකරු වී ගමන් කරන්න. එවිට දෙවියන්වහන්සේ ඔබව සියල්ලන් අතරේ උසස් කරයි.

ඔබ දෙවියන්වහන්සේට යාච්ඤා කරන විට උන්වහන්සේ ඔබේ හඬට පිළිතුරු දෙන බව විශ්වාස කරන්න.

ගීතාවලිය 91:15-16
[15] ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි. [16] දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.

දුක් කම්කටොලු තුළින් ඔබ ගමන් කිරීමෙදී දෙවියන්වහන්සේගේ සැනසීම ඔබ ළඟයි.

ගිණි මැදින් යන විටත් දෙවියන්වහන්සේ ඔබ තුළයි.

ෂද්‍රක්, මේෂක්, අබෙද්-නෙගෝ යන යුදෙව් තරුණයන් තිදෙනාව ගිණි උඳුනට දැමූ අය පවා ඒ රස්නෙන් මළෝය.

එහෙත් මේ යුදෙව් තරුණයන් තිදෙනා කිසි උපද්‍රවයකින් තොරව නිදහස්ව ගිණි මැද ඇවිදිනවාත්, ඔවුන් සමඟ දේව පුත‍්‍රයෙකුට සමාන කෙනෙක් සිටිනවාත් දුටු රජතුමා, ගින්නෙන් ඔවුන් ගෙන්වා, තමන්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවාවු මෙම යුදෙව් තරුණයන් තිදෙනාව උසස් කොට ඔවුන්ව එම පළාතෙහි උත්තමයන් කරන ලදි. (දානියෙල් 3:16-30)

ඔබගේ ප‍්‍රශ්න, කරදර තුළින් ගමන් කිරීමේදී දෙවියන්වහන්සේ ඔබ සමඟයි.

ඔබේ දෙපසින්ම උන්වහන්සේගේ ආරක්ෂාව ඇත. උන්වහන්සේගේ දූතයන් ඔබ වෙනුවෙන් පත් කර ඇත.

දෙවියන්වහන්සේ ඔබට දීර්ඝායුෂ නියම කර ඇත. මරණීය වචන ප‍්‍රකාශ නොකරන්න.

සුවයෙන් ජීවත්වීමට තෝරා ගන්න.

මරණයත් ජීවනයත් තිබෙන්නේ ඔබගේ මුඛයේය. එහි ඵල භුක්ති විඳින්නේ ඔබයි. අනවශ්‍ය දෙඩවිලි නතර කරමු.

ඔබගේ මුඛයෙන් නිතරම දෙවියන්වහන්සේට ස්තුතිදීමක්, ගෞරවයක්, නමස්කාරයක් ඇතිව හදවතින්ම ස්වාමීන්වහන්සේට ගී ගයමින් ජීවත්වන්න.

දෙවියන්වහන්සේ ඔබ තුළින් මනුෂ්‍යයන් ගළවනු ඇත.

ඔබ යන එන තැන්හී දෙවියන්වහන්සේ ඔබව ආරක්ෂා කරනු ඇත.

ඔබගේ මහලු වයසේ පවා ඔබ ඵලදරනු ඇත. (ගීතාවලිය 92:15)

ගීතාවලිය 92:12-14
12 ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය. ඔහු ලෙබනොන්හි කිහිරි ගසක්මෙන් වැඩෙන්නේය. 13ස්වාමීන්ගේ ගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය. 14 ස්වාමීන්වහන්සේ අවංක බවත්, මාගේ පර්වතය බවත්, උන්වහන්සේ තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස, 15 ඔව්හු මහලු වයසේදීත් ඵලදෙමින් සාරවත් වන්නෝය, සශ්‍රීකවන්නෝය.

ඔබ ඵලදරන කෙනෙක් බවට පත්ව සිටින මනුෂ්‍යයෙක්. සියල්ලෙන්ම දියුණු වී සිටින කෙනෙක්.

දෙවියන්වහන්සේගේ වචනය සුළු නොකර, දේව වචනය තුළින් දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයෙන් ජීවත්වන්න.

ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේය. උන්වහන්සේට යමක් කිරීමට අවශ්‍ය නම් උන්වහන්සේ එය කරනු ඇත. මනුෂ්‍යයාගේ අනුමැතිය එයට අවශ්‍ය නැත.

දෙවියන්වහන්සේ ක‍්‍රියා කරනුයේ ප‍්‍රඥාව කරණකොටගෙනය.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ගැළවීම සඳහා මේ පොළොවේ යේසුස්වහන්සේගේ නාමය දී ඇත.

අප වෙනුවෙන් කුරුසපත්වූ යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිට ජීවමානව සිටී. උන්වහන්සේට අවශ්‍ය අපගේ මරණීය ශරිරයට නව ජීවනයක් දීමටයි.

අපගේ ශරීර දෙවියන් වහන්සේගේ මාළිඟාවක් කිරීමට උන්වහන්සේ මෙළොවට පැමිණි සේක.

යේසුස්වහන්සේගේ ලේ වලින් උන්වහන්සේ අපව ශුද්ධ පවිත‍්‍ර කරමින්, උන්වහන්සේගේ බලයත්, හැකියාවත් පුළුවන්කමත් තුළින් අපට යක්ෂයාගේ ක‍්‍රියාවන්ට විරුද්ධව සිටීමට දී ඇත.

ඔබ නිතරම වල්ගය නොව, හිසව සිටින්නට යන්නේ. (ද්විතිය කථාව 28:14)

ලෝකයේ වාර්ථා විශ්වාස නොකර දෙවියන්වහන්සේගේ සුභාරංචිය විශ්වාස කරන්න.

යහපතින් නපුර පරාජය කරන්න. (රෝම 12:21)

රෝම 12:21
නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න.

යහපත නපුරට වඩා බලවන්තය.

බහුතර දේ ගැන විශ්වාස නොකරන්න.

නොවාගේ කාලයේ ජලගැල්මෙන් ගැළවුනේ අට දෙනෙක් පමණි. (උත්පත්ති 7:7)

දෙවියන්වහන්සේ නිතරම මනුෂ්‍යයාගේ හදවතේ දොරටුවට තට්ටු කරමිනි සිටින්නේ, ඔහුට අවස්ථාවක් දී ඔහු හා සමබන්ධතාවයක් ඇති කර ගැනීමටයි. (එළිදරව් 3:20)

දෙවියන්වහන්සේ කිසිදින බලෙන් මනුෂ්‍යයන් කැඳවන්නේ නැත. සියල්ලන්ට නිදහස් කැමැත්තක් දී ඇත.


Watch the Sermon Video

Read 160 times