+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ලේ මූලික කරුණු
ආත්මයෙන් ගෙනයනු ලැබීම - යෝෂා මනූ

May 12, 2024 Sunday Sermon Notes

 

අපගේ ස්වාමීන්වහන්සේ ශුද්ධය.

ස්වාමීන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් අපටත් ශුද්ධව සිටින ලෙසටයි.
(1 පේතෘස් 1:15-16)

මේ පොළොවේ ශුද්ධකමෙන් ජීවත් වන පිණිස අපට ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය ලැබී තිබේ.

යේසුස්වහන්සේ තම ගෝලයන්ට ශුද්ධාත්මයාණන් ඔවුන් මත වගුරුවන තුරු යෙරුසලමේ නැවතී සිටින්නැයි පැවසුවේ මේ නිසාය. (ක‍්‍රියා 1:4)

ශුද්ධාත්මයාණන්ගේ මඟ පෙන්වීම, උපකාරය උන්වහන්සේ අපට දෙන්නාවු වචන නොමැතිව අප කතා කරන්නාවු වචන නිශ්ඵලය.

අප ආත්මිකව දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධ වී සිටින්නෙමු.
මේ ජීවන සම්බන්ධකම තුළින් උන්වහන්සේ කියන්නාවු ඕනෑම දෙයක් ඇසීමට පුළුවන් වන්නේ අප ඒ හඬ හඳුනන නිසයි.

උන්වහන්සේගේ හඬ අසන්නේ උන්වහන්සේගේ බැටළුවන්ය. (යොහන් 10:27)

ඇදහිල්ලෙන් ස්ථීරව සිටීමත් ස්වාමීන්වහන්සේගේ හඬ අසමින් සම්බන්ධකමක් ගොඩ නඟාගෙන ජීවත්වීමත් ඉතා වැදගත් වන්නේය.

ගැළවීම ලබාගත් පසු අප විසින් දැනගත යුතු මූලික කරුණු අතරින් තවත් වැදගත් දෙයක් පිළිබඳ අද අපි බලමු. එනම්:
ආත්මයෙන් ගෙන යනු ලැබීම.

ආත්මිකව ඉපදුනාවු අප තුළ ස්වාමීන්වහන්සේ වැඩ වාසය කරයි. අපට මේ ඇදහිල්ලේ ගමන තනිව ගමන් කළ නොහැකියි.

ස්වාමීන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව අප ජීවත්වුවහොත් අපගේ ගමන සැහැල්ලු වනු ඇත.

අපගේ ගමන සැහැල්ලු කිරීමට ස්වාමීන්වහන්සේ අපට සැනසිලිකරුවෙකු දී ඇත.

අප කනස්සල්ලෙන්, වේදනාවෙන් නැතහොත් යම් කෙනෙකු නිසා පැකිළීමට ලක්වුවහොත් අපව සනසන්නට ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුළම සිටී.

අප ආත්මික දේ වලට ඇලුම්ව ඇබ්බැහි වී සිටින්නාක් සේම,
ආත්මයාණන්වහන්සේගේ උපකාරයෙන් අපව ගෙන යනු ලැබීමද ඉතා වැදගත්ය.

ගෝලයන්ටත් සමූහයන්ටත් යේසුස්වහන්සේ කියා දුන් කල, ඔවුන්ට ඒ ආත්මික දේවල් දැනගැනීමට පහසු වන පිණිස ස්වභාව ධර්මයේ දේ උපයෝගි කරමින් උපමා මගින් සරල කරමින් උගන්වන ලදි.

ගැළවීම ලබා ගන්නට පෙර, අපගේ ජීවිත රථය අපිම පදවමින් කැමති, කැමති ආකාරයට ගමන ගමන් කෙරුවෙමු.

නමුත් අපි යේසුස්වහන්සේ ස්වාමීන් කියා ප්‍රකාශ කර, ගැළවීම ලබාගත් පසු, අපගේ ජීවිතයේ ස්වාමීත්වය යේසුස්වහන්සේට භාර කළෙමු.

දැන් අපගේ ජීවිත රථය හසුරුවීමට උන්වහන්සේට භාරදිය යුතුය. අපි රථයේ පිටුපසින් වාඩිවී ගමන් කරමු.

ස්වාමීන්වහන්සේ අපට මඟ පෙන්වා දීම යනු, අපට පෙන්වන මාර්ගය ඔස්සේ යාමයි.

එහෙත් ගෙනයනු ලබනවා යනු, අපගේ අතින් අල්ලාගෙන අපත් සමඟ උන්වහන්සේ ගමන් කිරීමයි.

අපි ආත්මිකව ඉපදුන නිසා අපි ආත්මික පුද්ගලයන් ලෙස ආත්මයාණන්වහන්සේ විසින් අපව ගෙනයනු ලබන්නට අවශ්‍යයයි.

මාංසාකාරව සිටින්නන්ට දෙවියන්වහන්සේගේ හඬ ඇසෙන්නේවත්, ඔවුන්ව ගෙනයනු ලබන්නේවත් නැත.

ගෙනයනු ලැබීම යන වචනයේ අර්ථ කිහිපයක් බලමු.
ස්වාමීන්වහන්සේ කියන්නේ…
මට ඔබගේ රිය පදවන්නට දෙන්න.
මට ඔබව රැගෙන යන්නට දෙන්න.
ඔබව ගෙන යන්නට නායකත්වය මට දෙන්න.

යේසුස්වහන්සේට අපගේ ජීවිතයේ ස්වාමීත්වය භාර දෙන්ට අපි තෝරාගත් විට උන්වහන්සේ නිතරම අපව හරි මාර්ගයේ ගෙනයන බවට විශ්වාසයක් අප තුළ තිබිය යුතුයි.

රෝම 8:13 මක්නිසාද නුඹලා මාංසිකලෙස ජීවත්වෙනවා නම් මැරෙන්ට ඕනෑය, නුමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත්වෙනවා ඇත.

ඔබ ගැළවීම ලැබුවත් වෙනස්වීමට කැමති නැතිනම් ඔබ ගෙවන්නේ මලානික ජීවිතයකි.

අවශ්‍ය වන්නේ යේසුස්වහන්සේගෙන් ඉගෙන ගෙන ඒ දේ ක‍්‍රියාවට නැංවීමය.

රෝම 8:6
මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.

නැවත ඉපදුන කෙනෙක් තුළ මලානික ජීවිතයක් නොතිබිය යුතුය. අප ජ්වලිතභාවයෙන් ජීවත් විය යුතුය.

එක් වරක් දෙවියන්වහන්සේ ඔබට නොකරන්නයැයි කියු දේ දිගින් දිගට කිරීමට නොයන්න. මන්ද අවසානයේ ඔබට ශුද්ධාත්මයාණන් වහන්සේගේ හඬ නෑසීම යයි.

අප ගමන් කරන මේ ආත්මික ජීවිතයේ මාංසාකාර දේවල් අප නැසිය යුතුයි.

රෝම 8:14 මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.

ආත්මයාණන්වහන්සේ විසින් අපව ගෙනයනු ලබන්නේ නම් එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.

ආත්මයාණන් වහන්සේට ගෙනයනු ලබන්නට අප ඉඩ දිය යුතුය.

යේසුස්වහන්සේ අපගේ රජතුමාය. උන්වහන්සේ පියාණන්වහන්සේගේ දකුණු අත පැත්තෙහි වාඩිවී සිටී.

උන්වහන්සේ අපව පොළොවේ රජකම් කිරීමට රාජකීය පූජකයන් කොට පත් කොට ඇත. (1පේතෘස් 2:9)

ඒ සඳහා උන්වහන්සේ අපව ගෙනයනු ලබනවා.

ගලාති 4:1 තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින්: අබ්බා, පියාණෙනී, කියා හඬගසන්නාවූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන්වහන්සේ අපේ සිත්වලට එවූසේක.

ඔබගේ සිත නිතර “දෙවියන්වහන්සේ අප සමඟයයි” පවසනු ඇත.

ඔබ දෙවියන්වහන්සේගේ හඬ අසමින් ගමන් කරන්නේ නම්, ඔබ දෙවියන්වහන්සේගේ කීකරු පුත‍්‍රයෙකි.

යේසුස්වහන්සේ මේ පොළොවට පැමිණියේ දේව කැමැත්ත කරන පිණිසය.

ලූක් 4:1 යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, යොර්දානෙන් හැරී ඇවිත්, යක්ෂයා විසින් පරීක්ෂාකරනු ලබමින්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන 2 සතළිස් දවසක් වනයෙහි ගෙනයනු ලැබූසේක.

යේසුස්වහන්සේ පරීක්ෂා කරනු ලබන්ට ගෙන කල, උන්වහන්සේ ආත්මයාණන්වහන්සේගෙන් පූර්ණව සිටියේය.

පරීක්ෂකයා ගෙනා පරීක්ෂා වලින් ජයගන්නට පියාණන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටින බව යේසුස්වහන්සේ දැන සිටින ලදි.

ආත්මයාණන්වහන්සේ ගෙනයනු ලැබූ හෙයින් යේසුස්වහන්සේට පැමිණි පරීක්ෂා තුනෙන්ම උන්වහන්සේ ජය ගන්නා ලදි. (මතෙව් 4:1-11)

කුමන පරීක්ෂාවක් පැමිණියත් යේසුස්වහන්සේ අපව ගෙනයනු ලබනවානම් අප භය විය යුතු නැත.

ගලාති 5:18 නුමුත් නුඹලා ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන්නහු නම්, නුඹලා ව්‍යවස්ථාව යටතේ නොවන්නහුය.

යේසුස්වහන්සේ නව ගිවිසුම තුළ දස පණත කොටස් දෙකකින් විදහා දක්වන ලදි.

එනම් නුඹේ මුලු හෘදයෙන්ද, නුඹේ මුලු ආත්මයෙන්ද, නුඹේ මුලු බුද්ධියෙන්ද නුඹේ දෙවිවු ස්වාමීන්වහන්සේට ප‍්‍රේමකරව කියාත්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප‍්‍රේමකරව කියාත්ය. (මතෙව් 22:37-39)

මෙම පනත් දෙක අප පැවැත්වුවහොත් අනෙකුත් අණ අප කඩ කරන්නේ නැත.

ආත්මයාණන් වහන්සේ අපට සමහර අවස්ථාවලදී කියන්නාවු දේවල් සමහර විට මාංසයෙන් වටහා ගත නොහැකිය.

සමහර විට එය තීරණයක් විය හැකිය. ආත්මයාණන්වහන්සේ ඔබව ගෙනයනු ලබනවානම්, ඔබ උන්වහන්සේගේ හඬ ඇසූ හෙයින් ඔබට කළ නොහැකි දේ කරන්ට උන්වහන්සේ උපකාර කරනු ලබයි.

යෙසායා 48:1 නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.

අපව ගෙනයනු ලබන්නේ ස්වාමීන්වහන්සේය. උන්වහන්සේ අපගේ මිදුම්කරුය, අපගේ ශුද්ධ තැනැන්වහන්සේය. අපගේ දියුණුව, ප‍්‍රයෝජනය, වර්ධනය සඳහා උන්වහන්සේ අපට උගන්වනු ඇත.

අප ස්වාමීන්වහන්සේගෙන් ඉගෙන ගත යුතුය.

ස්වාමීන්වහන්සේ උගන්වන දෙයට අප කීකරුවුවහොත් අප යායුතු මඟ උන්වහන්සේ අප ගෙනයනු ඇත.

ස්වාමීන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේය උන්වහන්සේට ඔබව ගෙනයාමට ඉඩ දෙන්න.


Watch the Sermon Video

Read 425 times