+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මූලික කරුණු -
අපි ආත්මික ලෙස හැසිරෙමු - යෝෂා මනූ

May 19, 2024 Sunday Sermon Notes


ස්වාමීන්වහන්සේ නිතරම යහපත් දේ කරන දෙවියන්වහන්සේය.
අප සිතනවටත් වැඩියෙන් ඉල්ලනවටත් වැඩියෙන් උන්වහන්සේ බලා සිටින්නේ අපට ආශීර්වාද කරන්නටය.

උන්වහන්සේගේ කැමැත්ත අප සම්පූර්ණකම තුළ ගමන් කිරීමයි.

යේසුස්වහන්සේ කළ යුතු සියල්ල කළ හමාරය. උන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ කළ ක‍්‍රියාවන් තුළ උන්වහන්සේගේ ශක්තියෙන් අපට ජීවත් වන ලෙසය.

ස්වාමීන්වහන්සේගේ වචනය අපගේ ජීවිතයට අදාල කර, අපගේ මනස වෙනස් කරමින්, කීකරුකමේ හදවතක් ඇතිව ක‍්‍රියාවට නැංවීම ඉතා වැදගත්ය.

එවිට බලයෙන් පිරුණු ජීවිතයක් අපට ගත කළ හැකිය.

නව ජීවිතය ගත කිරීමට වචනය තුළින් අපට උපදෙස් ලැබේ.

අපගේ ජීවිත ගමනට මාර්ගය පෙන්වන්නේ දේව වචනයයි.

දේව වචනය තුළ ආලෝකය ඇත. එයින් අපට තේරුම් ගැනීමේ හැකියාව ලැබෙයි.

දේව වචනය අපගේ පාදයට පහනකි. (ගීතාවලිය 119:105)

පහනේ ආලෝකයෙන් ඔබට ඔබගේ මාර්ගය දැන ගත හැක.

අප දිනපතා දේව වචනය තුළ පැවතිය යුතුය. ඒ සඳහා අප කාලය හසුරුවා ගත යුතුය.

අප දේව වචනයට ආදරය කළ යුතුය, මුල් ස්ථානය දිය යුතුය.

ඔබ නව ගිවිසුම තුළින් බයිබලය කියවන්න. එවිට ඔබට වචනය පැහැදිලිව තේරුම් ගත හැකිවේ.

”මම නොවටිනා කෙනෙක්, දූවිල්ලක්, පණුවෙක්” වැනි නුසුදුසු දේ නොකියන්න. මන්ද යේසුස්වහන්සේ ඔබව වෙනස්කර ඔබව උන්වහන්සේගේ අනුග‍්‍රහයෙන්, ලේ වලින් මුදවා ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අළුත් කර ඇත. ඒ නව ගිවිසුමේ ආලෝකයෙන් ඔබ බලන්න.

තරුණයෙක් හෝ තරුණියක් ලෙස ඔබගේ මාර්ගය පවිත‍්‍ර කර ගන්නේ කෙසේද?

ගීතාවලිය 119:9
තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.

දෙවියන්වහන්සේ කියනා දේ අසා වචනය ප‍්‍රකාරයට අපි ජීවත්වන්නේ නම් දෙවියන්වහන්සේ සමඟ බැඳී ජයග‍්‍රාහි ජීවිතයක් අපට ගත කළ හැකිය.

ගීතාවලිය 119:10
මාගේ මුලු සිතින් ඔබ සෙවීමි. ඔබගේ ආඥාවලින් මුලාවයන්ට මට ඉඩ නුදුන මැනව.

ඔබගේ මුලු හදවතින් ස්වාමීන් සොයමින් ඔබගේ සිත මුලාවේ යන්නට ඉඩ නොදෙන්න.

ගීතාවලිය 119:105
ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.

ඔබ වචනය මෙනෙහි කරන කල ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ සමඟින් සිටිමින් ඔබට කතා කරයි. එවිට ඔබ මේ වචනයට කීකරුවෙයි, අදහාගනියි, එලෙසයි පහන දැල්වෙන්නේ.

අප කලකිරෙන විට, දුක්වන විට, මනුෂ්‍යයන් අපව පැකිළීමට ලක් කරන විටද දේව වචනයෙන් අපට කතා කරයි. නොකැළඹෙන්න, කල නොකිරෙන්න යයි පවසමින් අපව ධෛර්යමත් කරමින්, අපව ආලෝකමත් කරයි.

යක්ෂයාගේ කැමැත්ත අප අන්ධකාර ලෝකයේ වචනය නොමැතිව ජීවත්වීමයි.

ඔබව නිතරම ජයග‍්‍රාහයෙකු කරන්නේ වචනයයි.

ගීතාවලිය 119:130
ඔබගේ වචන එළිදරව්වීමෙන් ආලෝකය ලැබේ; එයින් නුවණ නැත්තන්ට තේරුම් ලැබේ.

දේව වචනය අපගේ හදවත තුළ තිබෙන විට එය ආලෝකය වී එළිදරව්වේ.

“එළිදරව්ව” යන වචනයේ සරල අර්ථය නම්, වැසී තිබෙන යම් දෙයක් විවර කළ විට දකින්නට පුළුවන් වීමයි.

ඔබ වචනය මෙනෙහි කරන කල ඒ වැස්ම සම්පූර්ණයෙන් ඉවත්වී සත්‍යතාවේ වචනය එළිදරව්වක් වී එයින් ඔබට ආලෝකය ලැබෙයි.
ඒ ආලෝකය තුළ අප ගමන් කරන කල අප නිදහස තුළ ගමන් කරයි.

ගීතාවලිය 119:165
ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිළීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.

ඔබ වචනයට ප‍්‍රේම කිරීමට පටන් ගන්නා කල, ඔබට ඇතුළාන්තයෙන් පුදුමාකාර සමාදානයක් ගෙන දෙයි.

ඒ සමාදානය තුළ කැළඹිල්ල, කලබලය, ඇති නොවන්නේය.

ඔබ තීරණ ගැනීමේදී ස්වාමීන්වහන්සේ ඔබට යා යුතු මාර්ගය පෙන්වා දෙයි.

පැකිළීමට, බාධාවීමට කාරණයක් නොමැත. අප වචනය කියවන්නට, අසන්නට, මෙහෙහි කරන්නට කාලය දෙමු.

ගැළවීම ලබා ගත් පසු දැනගත යුතු මූලික කරුණු අතරින් ආත්මයාණන් කරනකොටගෙන ගෙනයනු ලබන්නේ කෙසේදැයි අප පසුගිය සතියේ බැලුවෙමු.

ආත්මයාණන් වහන්සේ කරණකොට ගෙන හැසිරෙන්නේ කෙසේදැයි අප අද බලමු.

“හැසිරීම” යන වචනය ගමන් කිරීම යන අර්ථය ගෙන දෙයි.

එයින් අදහස් වන්නේ මුලු ජීවිත රටාවම වෙනස් වීමයි. අප කළාවු දේවල්, අපගේ කතාව, හැසිරීම සියල්ල වෙනස් වීමයි.

අප ලෝකයේ සිටියාට ලෝකයේ ආකාරයට ජීවත් නොවිය යුතුය.

අප තුළ ඇති ආලෝකයට අපි බැබළීමට ඉඩ දිය යුතුය. (මතෙව් 5:16) සාක්ෂිකාරයන් ලෙස අප ජීවත් විය යුතුය.

අපගේ ජීවිත ගමන අප වෙනස් කර ගැනීමට තීරණය කර ගත යුතුය. දෙවියන්වහන්සේ අපගේ තීරණ වෙනස් කරන්නේ නැත. ඒ නිසා තීරණය ගත යුත්තේ අපයි.

ඔබගේ ජීවිත රටාව මුල ඉදන්ම වෙනස්කර ගැනීම වැදගත්ය. නැතහොත් ඔබ එයට ඇබ්බැහි වී සිටීමට පුළුවන.

සමහර විට අප නරඹන දේ වලින් අප මුලින් අසුවී සිටි බන්ධනයට නැවත හසුවීමට පුළුවන.

සැබෑව අපව නිදහස් කර ඇත. (යොහාන් 8:32) අපේ දම්වැල් කැඩී අප මුලිමනින්ම නිදහස් වී සිටී.

පරණ ඇබ්බැහිවීම් වලින් මිදී අප නව ජීවනයට ඇබ්බැහිවෙමු.

ගලාති 5:16 නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.

අප කරන කියන දේ දෙවියන්වහන්සේ කැමතිදැයි අප සිතා බැලිය යුතුය.

ස්වාමීන්වහන්සේට සියල්ල පෙනේ. (ගීතාවලිය 139:1-8)

අපගේ ජීවිත රටාව සම්පූර්ණයෙන් වෙනස් කර ගත යුතුය.

මාංසයේ තෘෂ්ණාවෙන් අපගෙන් ඉවත් කළ යුතුය.

ගලාති 5:17
මක්නිසාද මාංසය ආත්මයාණන්වහන්සේට විරුද්ධවද ආත්මයාණන්වහන්සේ මාංසයට විරුද්ධවද ආශාකරයි. නුඹලා කැමතිවන දේ නොකරන ලෙස මොව්හු එකිනෙකාට විරුද්ධවෙති.

අප ආත්මයේ දේවල් වලට ඇලුම්ව ඒ තුළ හැසිරෙමින් ජීවත්වන කල අපට එයට ආශාවක් ඇතිවේ.

අපි මාංශාකාර ක්‍රියාවන් නැවත නැවතත් කරන කල ඒවා තෘෂ්ණාවේ ආත්ම බවට පත් වීමෙන් අපව ඒවාට හසුකර ගනී. ඉන්පසු යක්ෂයා කපටිකමින් මනුෂ්‍යයාව බන්ධනයට හසු කර ගනී.

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප සම්පූර්ණයෙන් නිදහස් කර ඒ නිදහස්කම තුළ ජීවත්වීමයි.

මාංසයේ ජීවත්වන්නන්ට දේව රාජ්‍යය උරුම වන්නේ නැත.

ගලාති 5:21
මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි.

ඔබ කොයි ආකාර ජීවිතයක් ගත කරන්නේද කියා ඔබගේ ජීවිතය ඔබම මැන බලන්න.

ගලාති 5:25 අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ජීවත්වෙමු නම්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙමු.

මනුෂ්‍යයන් ඔබගේ හැසිරීම වෙනස් බව දැකිය යුතුය.

“හැසිරෙන්න” යන වචනයෙන් අදහස් කරන්නේ, ගමන් කරන්න
නැතහොත් ජීවිතය ගත කරන්න.

ගලාති 5:26
නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු.

මාංසයේ ක‍්‍රියා වලින් අප ඉවත් වෙමු.

පාවුල්තුමා රෝම පොතේ බොහෝ දේ එළිදරව් කර ඇත.

රෝම 6:1-3
1 එසේවී නම් කුමක් කියමුද? අනුග්‍රහය බොහෝ වන පිණිස පාපයෙහි පවතිමුද? 2 එසේ නොවේවා. පාපයට මළාවූ අපි තවත් එහි කෙසේ ජීවත්වමුද? 3 නොහොත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළට බව්තීස්ම ලැබුවාවූ අප සියල්ලන් උන්වහන්සේ මරණයට බව්තීස්ම ලැබූ බව නුඹලා නොදැන සිටිනහුද?

ඔබගේ පරණ ස්වභාවය වළලා ඔබ දැන් නව ජීවනයේ ජීවත්වන්නෙක්. අප ජීවනයේ අලුත් ලෙස හැසිරිය යුතුවේ.

රෝම 6:4
[4] එබැවින් ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේගේ මහිමය කරණකොටගෙන මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවා සේම, අපිත් ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස, මරණය තුළට බව්තීස්මය කරණකොටගෙන උන්වහන්සේ සමඟ තැන්පත්කරනු ලැබුවෙමුව.

ඔබගේ ජීවිතය ඔබ ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ ඇදහිල්ලෙන් කුරුසපත් වූයේය, ඇදහිල්ලෙන් තැන්පත් කරණු ලැබුවේය, ඇදහිල්ලෙන් නැවත නැඟිටුණු ලැබුවේය.

යේසුස්වහන්සේගේ ආත්මය ශුද්ධාත්මයාණන්වහන්සේ මහිමය කරණකොටගෙන මළවුන්ගෙන් නැඟිටුවු සේ, වතුර බව්තිස්මයේදී අපවද මහිමය කරණකොටගෙන නැවත නැඟිටුවනු ලබයි.

අප ජීවනයේ අලුත්කමින් හැසිරිය යුතුය. බයිබලය කියවන්න, යාච්ඤා කරන්න වැනි අලුත් පුරුදු ඔබ ඇති කර ගත යුතුවේ.

ඔබගේ ජීවිතයේ ආත්මික වර්ධනය ඔබම ඇති කර ගත යුතු දෙයකි.

‭රෝම 8:1
[1] එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.

ඔබගේ ජීවිතය වෙනස් කිරීමට ඔබ තෝරා ගත් විට ඔබව දෝෂාරෝපණයට ලක් කිරීමක් නැත.

අප අතින් වැරැද්දක් සිදු වන විට අප දෙවියන්වහන්සේගෙන් සමාව ඉල්ලා දෝෂාරෝපණයෙන් නිදහස් විය යුතුය.

‭රෝම 8:4
[4] එසේ කළේ මාංසික ලෙස නොව ආත්මිකලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණවෙන පිණිසය.

අපගේ ගමන අප ඇදහිල්ලෙන් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ගමන් කළ යුතුය.

යහපත් දේ තෝරාගෙන ඒවාට ඇලුම්වන්න.

‭රෝම 8:5
[5] මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති.

මාංසිකලෙස සිටින්නෝ යන වචනයෙන් අදහස් කරන්නේ
මාංසිකලෙස ජීවත් වෙන්නෝ, නැතහොත් මාංසයට අනුව දිවි ගෙවන අය. ඔවුන් තමුන්ගේ මනස රඳවා තබන්නේ, මාංසික දේවල් මතය. ආත්මයාණන්ට අනුව දිවි ගෙවන අය මනස රඳවා තබන්න, ආත්මයාණන්ගේ දේවල් මතය.

ඔබ මනසට ඇතුල් කරන දේ ඉතා වැදගත්ය.

රෝම 13:11-14
[11] තවද කාලය දැන, එනම් දැන් නුඹලා නින්දෙන් පිබිද සිටින්ට හරි වේලාවයයි දැන, එසේ කරන්න. මක්නිසාද අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැළවීම අපට ළංව තිබේ. [12] රාත්‍රිය බොහෝසේ ඉකුත්ව ගියේය, දවාල ළඟය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා අහකදමා, ආලෝකයේ ආයුධ පැළඳගනිමු. [13] ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු. [14] නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.

ඔබ ජීවත් වන කාලය දැන ගත යුතුය. වචනය අසමින් ආත්මිකව පිබිද සිටින්න.

ඔබගේ ජීවිත රටාවට ඔබින ලෙස ඔබගේ හැසිරීම වෙනස් විය යුතුය.

“මම නව මැවිල්ලක් වෙමි, මම ධර්මිෂ්ඨයි,”
“මම ජීවත්වන්නේ ස්වාමීන්වහන්සේගේ දරුවෙක් ලෙසය, මාව දේව පුත‍්‍රයෙක් කර ඇත.”
“මට දැන් කිසි දෝෂාරෝපණයක් නොමැත.”
“මා තුළ බලවත් තැනැන්වහන්සේ සිටිනු ඇත. උන්වහන්සේ මට උපකාර කරනු ඇත.”
“මා ඇදහිල්ලෙන් ලෝකය ජයගන්නෙමි.”
“යේසුස්වහන්සේ තුළින් මට සියල්ල කළ හැකිය.”

මෙවැනි බයිබල් පද ඔබගේ ව්‍යවහාරයට ඇතුල් කර ගත යුතුය. ඔබගේ ජීවිත රටාව ඔබ වෙනස් කර මාංසය අනුව ජීවත් නොවී ආත්මයෙන් ජීවත්වන බව එවිට ඔබට වටහා ගත හැකිය.

‭1 පේතෘස් 4:6
[6] මක්නිසාද මළවුන්ට පවා ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබුවේ, ඔවුන් මනුෂ්‍යාකාරයෙන් මාංසයෙන් විනිශ්චය කරනු ලැබූ නුමුත්, දේවාකාරයෙන් ආත්මයෙන් ජීවත්වෙන පිණිසය.

“දේවාකාරයෙන්” යන්නෙන් අදහස් කරන්නේ, ආත්මයෙන් දෙවියන්වහන්සේ මෙන් ජීවත් වීම, හෙවත් හැසිරීමය.

දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ ජීවත්වන ආකාරයෙන්ම අපටත් මේ පොළොවේ අපගේ ජීවිත රටාව ආත්මයෙන් ජීවත්වන ලෙසයි.

ස්වාමීන්වහන්සේ ඔබව කැඳෙව්වේ අන්ධකාරයේ ජීවත්වීමට නොව, ආලෝකයේ දේව දරුවෙක් මෙන් හැසිරීමටය. එහෙයින් ඔබගේ ක‍්‍රියාව, කතාව, වෙනස්කරගෙන මේ පොළොවේ ජයග‍්‍රාහයෙකු ලෙස ජීවත්වීමට ඔබ තීරණයක් කර ගත යුතුය.


Watch the Sermon Video

Read 330 times